Friday, August 13, 2010

කාලය ජීවිතය ඔබ සහ මම

ජීවිතය අරුමයක් යැයි දැනේ. නොසිතු දේ සිදුවන, සිතූ දේ නොමවන, පැතූ දේ පැන ගොස්, නොපතූ දේ ලං කරවන එකවරක් පමනක් කල හැකි ක්‍රීඩාවක් සේ මට හැගෙයි. මේ කුමන සෙල්ලමක් කළ ද එය කිසිවෙකුටත් කිසි දිනෙක මාරන්තික නොවේවායි මම පතමි.

ජීවිතය කරන සෙල්ලම් නිසා මනසට සිදුවන බලපෑම කෙතරම් පීඩිත දැයි මම අත් දුටිමි. ඇසුවෙමි. අනෙකුන්ගේ දෑස් වලින් දුටුවෙමි. වචන වලින් ඇසුවෙමි. ඒ එකදු පීඩාවක් වත් සදාකල් නොවන මුත් ඒවා අමතක කිරීමට සඩාකල් ගත නොවන මුත් ඉන් ඇති වෙන පීඩාව, වේදනාව දරන්නට සිතකට විශ්වයේ ම ශක්තිය උකහා ගැනීමට සිදුවේ.

මනස යන්ත්‍රයක් කොට, කදුලු ගල් කොට, හැගීම් දැනීම් නැති නපුරුකමින් පිරුණු මිනිසුන් ඔබ කෙතරම් දැක ඇත්ද? සැබවින් ම මෙලොව ජනිත වන සෑම මනුස්සයෙකුම අපගේ ම කොටසකි. තම පපු කුහරය සිදුරු කරවන වේදනා අමතක කිරීමට මිනිසුන් යන්ත්‍ර වෙයි. කදුලු ගල් කර ගනියි. හැගීම් දැනීම් අමතක කර දමයි. නපුරුකම ලං කරගෙන ලෝකයෙන් වෙන් වෙන්නට තැත් දරයි. කිසි දිනෙක අප නොසිතුව ද සැබවින්ම ඒ පීඩිත දුක් දැරූ සිතක චිත්ත වේග පිට කිරීමයි.

ඔබෙන් මම එක දෙයක් ඉල්ලා සිටිමි. සෑම සිතක් ම, සිතුවිල්ලක් තිබිය හැකි සෑම දෙයක් ම, මෙලොව සතුටින් වසන්නට තම දිවි කැප කරයි. කිසි දිනෙක අනුනට දුකක් දීමට තැත් නොකරන්න. ශය නොදෙන්න. කිසිවෙකුට කිසි දුකක් ඇති වීමට ඉඩ නොදෙන්න. මනුශ්‍ය පපු කුහරය තුල ගලන මනුස්සකම, ආදරය, සැමට දක්වන්න. සාර්ථක වීමට එක වචනයකින් හෝ දිරි දෙන්න.

ජීවිතයේ සැපේ දී නොව දුකේ දී ලං වන්න.

සිව් වසරකට පසු දුටු ඔබේ දෑස් දෙස බලා මම ඉගෙන ගත්තේ එයයි. ප්‍රේමය පිරි ඔබේ ඇස්, ප්‍රේමණීය කදුලු පිරි ඔබේ ඇස් ................ අද ඒ ඇස් වල දුටු සෑම හැගුමක් ම වදන් වී ඔබේ මුවෙන් පිට වන විට ඔබේ සතුටේ දී වඩා දුකේ දී ඔබ හා සිටින්නට මා පින් කර ඇති බව මට සිතේ. ඒ ඔබ මා හට ඉගැන් වූ අපූරු පාඩමයි. ඒ අප ජීවිතයේ රිද්මයයි.