Saturday, September 25, 2010

වැදගත් වීම

මීට වඩා ටිකක් වැදගත් විදියට මීට පස්සෙ ලියන්න කියලා හිතුණා. දැන් පිස්සු නටන වයස ඉවරයි කියලත් හිතෙනවා. ඒත් ඉතින් තාම අපේ අම්මලා මම 7 වසරෙ ඉන්න පොඩි එකී කියලා හිතාගෙන ඉන්න නිසා මට වැඩිය ප්‍රශ්නෙකුත් නෑ. (මම ඒ ගොල්ලන්ට කිව්වද මන්දා මම 7 වසරෙ ඉගෙන ගන්න කෙනෙක් නෙමේ 7 වසරේ පන්ති භාර ගුරුතුමී කියලා) ඔව්වා මෙව්වා කොහොම උනත් ඔන්න මම ටිකක් වෙනස් වෙන්නයි යන්නේ.

Wednesday, September 1, 2010

අපූරු ගීතයක්.....

මේ ගීතය මුලින්ම අහපු දවසේ සහ මේ ගීතයේ රූප පෙළ දැකපු මුල්ම දවසෙ මට ජීවිතේ එපා වුණා. ඒ පරණ දේවල් මතක් වෙලා මට ටිකක් රිදුණ නිසා. ඒත් රිදි රිදී හරි මම මෙ සිංදුව රස වින්දා. ඒ ඒකෙ පද මාලාව නිසා විතරක්ම නෙවෙයි. හරිම අපූරු සංගීතය නිසා. ඒත් මම පුළුවන් උපරිම මේ සිංදුව මග අරිනවා.


මග අරින සිංදුවක් ගැන ලියන්න හදන්නෙ මොකද කියලා ඔයාලා කල්පනා කරනවා නේද? ඒකට හේතුව තමයි මම මේ සිංදුව නිසා අපූරු අත්දැකීමක් ලබපු එක. ඒක නොකියම බැරි තරම් සුන්දර අත්දැකීමක්.


මම මේ දවස් වල වැඩමුළුවකට සහභාගී වෙනව.ඒක තියෙන්නෙ නුවර එළියේ.මට ඒකට නුවර එළියේ යන්න උනේ මම වැඩ කරන පාසල එහෙට අයිති නිසා. සීතලේ කටු කන්න බැරි නිසා මම මේ දවස්වල ගමනාගමනය AC බස් වල. දවසක් මම එද්දි මේ සිංදුව බස් එකේ රේඩියෝවේ වාදනය වුණා.


හරි පුදුමයි. බස් එකෙ සද්ද පද්ද ඔක්කොම ටික ටික අඩු වෙලා ගියා. කිසිම කෙනෙක් සද්ද කලේ නෑ. හැම කෙනාම මේ ගීතය ඇහුවා. අඩුම තරමින් බස් රථයේ රියදුරු අයියා බස් රථයෙ නලාව වත් නාද කළේ නෑ. (රියදුරු අයියා කිව්වෙ එයා අපේ ගමේ කෙනෙක්). මම බෙල්ල කරකවලා බස් එකෙ මිනිස්සු දිහා බැලුවා. හරි පුදුමයි හැමෝම සිංදුව අහනවා. සිංදුව ඉවර වෙලා ගිහාම තමයි හැමෝම ආපහු තමගෙ කතාවලට බැස්සේ.


ඒ තරමට මේ ගීතය හමෝටම සමීපයි. අපි කොච්චර පැනලා යන්න හැදුවත් අපි හැමෝගෙම මතකයන් අවුස්සන ගීතයක්. මේ පද වැලත් එක්කම මගේ ගෞරවය මෙහි රචකයාට සංගීත නිර්මාණකරුට සහ ගායකයින්ට.


හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ලං වුණා
අතීතයෙ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමු වුණා මේ පාරෙ ම
අපි හමු වුණා මේ පාරෙ ම


මල් යාය මැල වුණා
මල් දෙවැට හැඩි වුණා
සමනල්ලු ඉහ ඇරුණු අත ගියා
අපි ආයේ නොයනා නිසා


නිල් අහස කළු වුණා
ඉකි ගගහා වැලපුණා
කදුලින්ම පිරුණු වැව බොර වුණා
අපි නිතර ආව ගිය තැන නිසා