Saturday, October 30, 2010

මගේ පැටවුන් ට බෙහෙත් විදලා...........!!!



පුංචි කාලයේ මම එන්නත් වලට පණ බය ය. විදින තැනකවත් ඉන්නට කැමති නැත. නමුත් අද ඉන්නට සිදු විය.

උදේ රැස්වීමෙන් පසුව විදුහල්පති (උ) තුමා පැමිණ "ටීච අද 7 පන්තියට බෙහෙත් විදින්න පී.එච්. අයි. මහත්තයා එනවා කිව්වා" යැයි පැවසූ විට මට සෑහෙන්න රිදුණි. පන්තියට ගොස් කියන්නට එපා යැයි උපදෙස් ද ලැබුනි. 

3 වන කාලච්ඡේදයේදී මම සිටියේ 8 වන ශ්‍රේණියේ ය. වාහනයක් හා යතුරු පැදියක් පාසලට ඇතුල් වනු මට ඇසුණි. මම වහාම 8 පන්තියේ ඉශාන් ව ඒ කවුදැයි බැලීමට පිටත් කලෙමි. ඉශාන් දුවගෙන දුවගෙන නැවත පැමිණියේ ය. "ටීච ටීච සුදු පාට කැබ් එකකුයි බයික් එකක පොලිසියේ දෙන්නෙකුයි ආවා". මට බකස් ගා හිනා ගියේ පොලිසියේ දෙන්නා මතක් වීමෙනි.

පේළියක් සාදවාගෙන අමාරුවෙන් මම 7 පන්තීයේ පොඩ්ඩන් රැළ පුස්තකාලයට එක්කරගෙන ගියෙමි. හෙදියන් දෙදෙනෙක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු දෙදෙනෙක් ද, දොස්තරවරයෙක් ද පුස්තකාලයේ විය. හා හාපුරා චතුරංගට පලමු එන්නත ලැබුණි. 

පන්තියේ සිටින මැරයින් ටිකට දැන් උන ගැනී ඇත. මුහුණු බෙරි වී ගොස් ය. නම් දරා සිටි මැරයා වන උදාර "ටීච" ගාමින් මා වටා දැවටෙයි. අඩන්නට ඔන්න මෙන්නය. බලෙන්ම පුටුවක වාඩි කරවා ඉන්ජෙක්ශන් 2ක් දෙනවා යැයි තර්ජනය කර උදාරට එන්නත ලබා දුණි. 

නියම නැටුම නැටුවේ ඩිල්ශාන් ය. හේ පුටුව උඩ වාඩි වී දගලන්නට පටන් ගත්තේ ය. පී. එච්. අයි. මහත්තුරු දෙන්නා ඔහුගේ අත් දෙකෙන් අල්ල ගන්නා ලදි. නැටුම නවතින පාටක් නැත. මම සහ ධම්මිකා කකුල් දෙකෙන් අල්ල ගන්නා ලදි. මෙන්න මේ කොල්ලා හයියෙන් ඔලුව වනන්නට පටන් ගත්තේ ය. දොස්තර මහතා පැමිණ ඔහුගේ හිසින් තද කර අල්ලා ගන්නා ලදි. 5 දෙනෙකු අල්ලගෙන මෙල්ල කරගත් පසු විලාප තබන ඩිල්ශාන් ට එන්නත ලැබුණි. 

මී ළගට කෙලි පැටික්කියන් ගේ වාරයයි.

අනේ මගෙ කෙලි පැටික්කියෝ ටික අඩාගෙන පුස්තකාලය තුලට පැමිණියෝ ය. බය නැති පැටික්කියන් ටික ගිය පසු අඩන බබාලා ටික ඉතුරු විය. මීදුම් ට එන්නත දුන් විගස සිහිසන් නැති වුණි. ඕ ඔසවාගෙන ගොස් පුටුවක තබා හිස ඔසවන විට තව විලාපයකි. කාවින්ද්‍යා. ඕ කිසි කෙනෙකුට ඇගට අත තබන්නට එපා යැයි බෙරිහන් දී හඩන්නිය. "කාවින්ද්‍යා" ඕ මා බදා ගත්තීය. "අනේ ටීච එපා කියන්න" මා වැලදගෙන ඕ විලාප තියයි. මගේ පැටවුන් මා වැලදගෙන කෑ ගසන විට මගෙ පපුව රිදුම් දෙයි. කාවින්ද්‍යා මගේ පපුවට තුරුලු වී හඩන අතර එන්නත ලැබී තිබුණි. 

මීදුම් ට තවම සිහිය නැත. මම සෙමෙන් ඇයව තුරුල් කර ගතිමි. අවංකවම කිවහොත් ඇයට මම සෑහෙන්න ආදරය කරමි. අන් අයට නොදැනුන ද ඇය මගේ පන්තියේ පුංචි බෝනික්කියයි. එසේ කියා ඇයට මගෙන් විශේෂ සැලකිලි නොලැබේ. නමුත් මගේ සිතේ විශේෂ ස්ථානයක් ඇයට ඇත. යම් දිනෙක ඇය වැනි සුරතල් දියණියක් ලබන්නට මම පෙරුම් පුරමි. ඕ එතරම් නිවුණු දක්ෂ සුරතලියකි. ඇය මගේ ලග ගුලි වී කදුලු සලන්නට පටන් ගත්තාය. මේ වන විට පුස්තකාලය 7 වාට්ටුව වී තිබුණි. කෙලි පැටික්කියෝ 9 දෙනෙක් කලන්තය සෑදී පුස්තකාලයේ විය. (තරමක බෝ වන රෝගයක් බවට මෙ වන විට කලන්තය පත් වීමේ අවදානමක් ද ඇති වී තිබුණි.)  

මේ ලිපිය මා ලිව්වේ පොඩි උන් ට ඉන්ජෙක්ශන් ගැසු බව කියන්නට පමනක් ම නොවේ. දෙවසරක් මම ඔවුන් ගේ පන්ති භාර ගුරුතුමිය වී සිටියෙමි. දැන් මට ඔවුන් ට රිදෙනකොට හොදටම රිදේ. හඩන විට තුරුලට ගෙන සනසවන්න තරම් මම ඔවුන් හා බැදී සිටිමි. සැබවින් ම මම ඔවුන් ගෙන් මව් ගුණ පාඩම ඉගෙන ගතිමි. මුන් ට රිදෙන විට මගේ ඇසෙන් කදුලක් වැටෙන්නේ ඇයි දැයි මම සමහර විටෙක කල්පනා කරමි. ලබන වසරේදි සමහර විට ඔවුන් මගෙන් ඈත් වී යාවි. ඒ සිතන විටද මගේ පපුව රිදුම් දෙයි. මුළු පන්තියම වැලදගෙන තුරුලු කරගෙන හඩන්නට මට එවිට සිතේ. ඒ මගේ ජීවිතයට මව් ගුණ දැනුනු මුල්ම කාලයයි. අද ද මම ඒ මවු ගුණ විදිමි. මවු සිත් හදුනා ගනිමි.  

මගේ පැටවුනේ ඔබට මම ආදරය කරන තරම් ඔබ දනී නම්..............................



Saturday, October 16, 2010

සංජු in වොන්ඩර් land

හප්පේ..... වෙලාව කීයද? 6.30 යි කණ පැලෙන්න සීතලයි ඒත් පස්ස පැත්තට ඉර එලිය වැටිලා නෙවෙ. ඇදෙන් බිමට රෝල් උන සංජු ජනේලෙන් එලිය බැලුවා. නියමෙට සීතල පින්න. සිග්නල් ටිකක් බුරුසුවේ ගා ගත්තු සංජු තුවායත් ෆේස් වොෂ් එකත් අරගෙන බාත් රුම් එකට බඩ ගෑවා. අම්මපා මෙහෙ මෙච්චර අව්ව තියෙද්දිත් සීතල!!! 

කට සෝදන්නට වතුර කටවල් 2ක් ඇතිය. කටේ දත් සියල්ලම හිරි වැටී ඇත. කටක් තියේ ද නැද්ද කියාවත් නොදැනේ. සංජු ට සනීපයක් දැනේ.

සංජු කාමරයට දිව යයි. යාර 6ක් නමයි පටලවයි කටු ගසයි. කොණ්ඩය පීරයි. පෝනියෙක් දමයි කොණ්ඩ කටුද ගසයි. ක්‍රීම් ගායි ලිප් බාම් ගායි අවුට් ලිනෙ අදියි ලිප්ස්ටික් ගායි ග්ලොස් ගායි. ඒයෙ පෙරදා බොරුවට උස්සාගෙන ආ පොත් නැවත බෑගයට දමයි. සෙරෙප්පු දෙක දමාගෙන කුස්සියට දුවයි.  

බත රෙඩි ය.තේ එක රෙඩිය. ඕපාදූපයක් කියවා අසල ගොවිපලෙන් ලබෙන කිරි තේ එකෙන් බාගයක් විසි කොට බසයේ නලා ශබ්දයට දුවයි.  

"සුබ උදෑසනක් ටීච" 

වටේ ට ම සුබ පැතුම් ය.  

සංජු සතුටින් පාසල වෙත පිය නගයි. උදෑසන රැස්වීම. ළමෝ සියල්ලෝ ම තම තමන් ගේ කතා ය. ගුරු මණ්ඩලය තම තමන් ගේ කතා ය. විදුහල්පති(උ)තුමා තනිව බලා සිටියි. පහන් සුවද දුම් මල් ගෙන පොඩිත්තෝ පේලියක් ගුරු මණ්ඩලය ඉදිරියෙන් දුවති. නියෝජ්‍ය විදුහල්පති තුමා පසු කර දුවති. විදුහල්පති(උ)තුමා ද පසු කර දුවති. සියල්ලෝම හැකි පමන අත ගසා ගනිති. පන්සිල් දෙන්නට පටන් ගනියි. දිව්‍ය ලෝකයටද ඇසෙන පරිදි පන්සිල් හරිම සද්ද ය. 

පන්සිල් ඉවරය. සංජු ගේ සහෝදර ගුරු මණ්ඩලය ගොරවයි. "අද කතාව තියෙන්නේ කාටද?" එකෙක් ඉදිරියට ඇදෙයි. "ගරු විදුහල්පති (උ) තුමා ගෙන් ද, ආචාර්ය මණ්ඩලයෙන්ද, සහෝදර ඔබ සැමගෙන් ද අවසරයි. අදට නියමිත කතාව ට සුදානම් වීමට නොහැකි වූ බැවින් එය ඉදිරි දිනයට කල් දමමි. ස්තූතියි. " සියල්ලෝ ම අත්පුඩි තලති. වැඩියම සතුටු 1 හ 2 ශ්‍රේණි වල පොඩ්ඩන්ට ය. "ෂා මරු කතාව".  

සංජු ගේ විදුහල්පති (උ) තුමා උඩට නගියි. "මේ ඉස්කෝලෙ ගුරුවරු වෙලාවට පන්ති වලට යන්නෑ . උගන්නන්නේ නෑ. දවසට කාල පරිච්ඡේද 2ක් විතර තමා වැඩ කරන්නේ. රිලීෆ් දැම්මට යන්නේ නෑ. මීට පස්සේ මේ ළමයි තමා ගුරුවරු අධීක්ෂණය කරන්න ඕනේ. ගුරුවරයෙක් පන්තියට ආවේ නැත්නම් හරි එන්න විනාඩි 5ක් පරක්කු උනොත් හරි ළමයි ඒක වාර්තා පොතේ ලියන්න ඕනේ. ඊට පස්සෙ වාර්තා පොත මට ගෙනත් දෙන්න ඕනි මම ඒවට රතු ඉරි ගහනවා. (ගුරු මණ්ඩලයට මින් පසු වැසිකිලි යෑම තහනම් ය. පොතක් මාරු කර ගන්න ගුරු කාමරයට යෑම තහනම් ය. ) 
 
සංජු ඇතුලු ගුරු මණ්ඩලයට මාර ආතල් ය. චූන් ය. ආදි ශිෂ්‍ය විදුහල්පති (උ) තුමාගේ නිකැලැල් ගුරු ගෞරවය....විදුහල්පති (උ) තුමා වේදිකාවෙන් බැස යයි. ගුරුවරියක් මුමුණයි. " මූට පිස්සුද?" සිසුන් දෙකට නැමී කකුල් 2 අතරින් ගුරු මණ්ඩලය දෙස බලති. 3 - 1 ශ්‍රේණිධාරීගුරු මණ්ඩලය ඉදිරියේ 3-1ශ්‍රේණිධාරී විදුහල්පති (උ) තුමා සිංහ සෙයියාවෙන් අහක බලාගෙන සිටියි. 

8.20 ට සීනුව වදියි. 


ගුරුවරු පන්ති වලට දුවති. සංජු ද පොඩි කෙලි පැටික්කියන් හා කොලු පැටවුන් රැළ සොයාගෙන දිව යයි. උදේ ම රණ්ඩුවක්. "අනේ අහිංසක පැටව්න් ගේ පුංචි පුංචි රණ්ඩු නේ" 7 පන්තියේ කෙලි පැටික්කියක් 11 වසරේ අයියා කෙනෙකුට පෙම් හසුනක් ලියා ඇය විසින්ම අය්යාට භාර දී තිබිණ. සංජු ට දුක සිතේ. "අම්මපා මට මේ කාලේ මෙහෙම දෙයක් කර ගන්න පුලුවන් උනා නම් මෙලහකට මමත් දරුවො 3-4 දෙනෙකුගේ අම්ම කෙනෙක්" සංජු ට තමා ගැනම දුක සිතී ඇත. 

11.40 ට සීනුව වදියි. 

කපුටන් ට ආප්ප දැම්මා සේ එක බත් එක වටා ගුරුවරු රොක් වෙති. එක්ක එකාගේ බත් පාර්සල් කලවම් වෙවී කැවෙයි. ඕපාදූප ද දිග හැරෙයි. පාසලේ මාර්ගෝපදේශනය භාර ගුරුවරිය කට අරියි. ඒ කන්න නම් නොවේ.  

"සදුනුයි ප්‍රදීපයි, මලින්තයි රසිකා යි කතා කලොත් මට කියන්න" සියල්ලෝගෙම කුතුහලය ඇවිස්සෙයි. "ඒ ජෝඩු දෙක යාලුයි" .... "හා..................නේ" මාර්ගෝපදේශන න්‍යායන් හා මනෝ විද්‍යත්මක න්‍යායන් මගින් ඕ ඒ ප්‍රශ්නය විස්තර කරයි. සියල්ලෝ ම අසා සිටිති. විවේකය ඉවරය.  

12 ට සීනුව වදියි. 

සංජු දුවයි. ඒ 10 පන්තියට ය. දුවන ගමන් එකවරම ඇයගේ සාරි පොට පේර ගෙඩියට පැටලී "දඩෝං" . සංජු බිම.

සංජු ඇස් ඇර බැලුවේ සිහිනයෙන් අවදි වීමටයි.  

අහෝ දුකකි ඉරකි තිතකි.  

එය සිහිනයක් නොවේ. ඔබ මෙතෙක් වේලා කියෙව්වෙ සිහිනයක් නොවේ. ගුරුවරියක වශයෙන් 3 වසරක් සේවය කොට 4 වන වසර ආරම්භ කර මසක් යාමට පෙර පාසලේ ගත කල දිනයකි. වැඩි ඈතක නොවේ...... 2010 ක්වූ ඔක්තෝබර් මස 11 වන සදුදා දිනයි. එය කියවීමට ඔබ පින් කර ඇත. මම එය ලිවීමටත් එම කතාවේ කොටස්කාරියක් වීමටත් ආනන්තරීය පාප කර්මය හා සම පාප කර්මයක් කර සිටින සංජු ය.