Friday, December 31, 2010

අපි වෙනුවෙන් අපි ආයේ......!

අදත් ඔන්න ලියන්න ආවේ සින්දුවක් ගැන. මගේ හිත හූරලා රිද්දන්න පුලුවන් වුණ සින්දුවක් ගැන. වැඩි කතා නැතුව සින්දුව මෙතනින් ඕනෙ නම් බා ගන්නත් යූටියුබ් එකෙන් බලන්නත් පුලුවන්. 



මේ සින්දුව නිසා මේ තරම් රිදුනේ ඇයි කියලා සමහර වෙලාවට මටම හිතෙනවා. මගේ සමහර යාලුවෝ නම් කියන්නේ මම ගිය ආත්මේ හමුදා නිලධාරියෙක් ගෙ බිරිදක් වෙලා ඉන්න ඇතිලු. ඒ මනුස්සයා යුද්දෙන් මැරෙන්න ඇතිලු. මමත් ඒ දුකටම මැරෙන්න ඇතිලු. ඒක නිසා මේ වගේ ඒවට දැනටත් හිත සසල වෙනවා ඇතිලු. සමහර විට වෙන්නත් ඇති අප්පා. ආදරේ කරන කෙනෙක් නැති වුනාම ඒකෙ අමාරුව දන්නේ තනි උන කෙනාම තමා. මුහුණු පොත නිසා ඒ ආකාරයේ අපූරු අත්දැකීම් කිහිපයකට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. 

පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2009 දි මාව සසල කලා එක ගුවන් අනතුරක්. ඒ වෙලාවේ ඒ හෙලිකොප‍්ටරය තුල හිටපු ගුවන් නියමුවෝ දෙදෙනාත් අවිකරුවෝ දෙදෙනාත් එතනම මිය ගියා. එහි හිටපු ගුවන් නියමුවන්ගෙන් එක්කෙනෙක් බොහොම කඩවසම් තරුණයෙක්. පස්සේ මම පුවත්පතක කියෙව්වා ඔහු මේ අනතුර සිද්ධ වෙච්ච මාසෙට පස්සෙ මාසෙ විවාහ වෙන්න හිටපු කෙනෙක් කියලා. මට ඒ වෙලාවේ විදුලියක් කෙටුවා වගේ රිදුණා. ඔහු විවාහ වෙන්න හිටපු පෙම්වතිය මේ සිදුවීම මොන විදිහට දරා ගන්න ඇතිද කියලා මට හිතා ගන්න බැරි වුණා.  සමහර විට ඒ මමත් ඒ වයසෙම ඉන්න තරුණියක් නිසා වෙන්න ඇති.

එයින් මාසයකට විතර පස්සේ මම මුහුණු පොතේ කරන නරක වැඩක් වෙන අනුන්ගේ ෆොටො ඇල්බම් බලන එක කර කර හිටියා. ඒ විදියට එක එක්කෙනාගේ ලින්ක් අස්සෙන් ගිහින් ගිහින් මට එක පාරටම අර මිය ගිය ගුවන් නියමුවාගේ ඡායාරූප අඩංගු ඇල්බම් කිහිපයක් දකින්න ලැබුණා. මම බැලුවා කවුද මේ ෆොටෝ වල අයිතිකාරයා කියලා. වෙන කවුරුවත් නෙවෙයි මේ ඒ ගුවන් නියමුවාගේ පෙම්වතිය. මගෙ හිත නැවතත් සසල උණා. මම ඇයව මුහුණු පොතේ මිතුරියක් විදියට ඇතුල් කරගෙන ඇයට පණිවිඩයක් යැව්වා. ඇය ගැන මට මාසයකට කලින් කල්පනා වෙච්ච හැටි ගැන කියලා සහ ඇයව දකින්න ලැබීම ගැන මගේ සතුට පල කරලා. ඇය මාව මිතුරියක් විදියට ඇතුල් කර ගත්තා පමණක් නෙවෙයි මා එක්ක කතා බහත් කලා. ඇය හරිම සුන්දර උණුසුම් ආදරණීය යුවතියක්. පෙනුමින් වගේම හදවතිනුත් හරිම සුන්දර යුවතියක්. ඇත්තටම මම ඇය එක්ක කතා කළ දවසේ මට ඇඩුණා. මට ඇඩුණත් ඇය ඇඩුවේ නෑ. ඇය කිව්වේ එක දෙයයි. "මට මගේ ***** නැති වුනා නංගි. ඒ අඩුව කවදාවත් මගේ හිතෙන් නැති වෙලා යන්නේ නැතිවෙයි" කියලා විතරයි. ඒ සුන්දර තරුණියට අර කඩවසම් තරුණයා නැති වුණ එක පුදුමාකාර ඉරණමක්. අදටත් ඇයව දකින වාරයක් ගානේ මගේ හිතේ ඇදෙන්නේ අර කඩවසම් ගුවන් නියමුවා. ඒ සිද්ධිය අදටත් මගේ හිතේ හොල්මන් කරනවා. 

දෙවනි සිද්ධිය වුණේ එයිට කලින්. යුද්ධය දරුණුවටම ගිය කාලේ. මුහුණු පොතේ මියගියපු වීර සෙබලුන් සහ හමුදා නිලධාරීන් වෙනුවෙන් කණ්ඩායම් හැදෙන්න පටන් ගත්ත කාලේ. මා අහම්බෙන් වගේ කියවන්න ලැබුණා ශ්‍රී ලංක යුද්ධ හමුදාවේ හිටපු දිගුදුර විහිදුම් බලකායේ අණදෙන නිලධාරී කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ගැන. ඔහුගේ මරණය සහ එයින් ඔහුගේ දියණියට මානසික වශයෙන් ඇති වූ පීඩනය ගැන එහි සදහන්ව තිබුණා. මට හිතුණා මුහුණු පොතේ ඔහු වෙනුවෙන් කණ්ඩායමක් හදන්න. ඉතින් මම මට අන්තර්ජාලයෙන් හොයා ගන්න පුලුවන් උන විස්තර එක්ක කණ්ඩායමක් හැදුවා. 

එක දවසක් මගේ මුහුණු පොතට පණිවිඩයක් ආවා. "අක්කි මම අක්කිට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මම හිතුවේ මගේ තාත්තාව මේ රටේ කාටවත් මතක නැතුව ඇති කියලා. ඒත් අක්කි මගේ තාත්තා ගැන හැමෝටම මතක් කරලා." කියලා. ඒ වෙලාවේ මට කල්පනා වුනේ නෑ ඇය කවුද කියලා. මම ඇයගෙන් අහලා ඇරියා ඔයා කවුද නංගියෝ? කියලා.ඇය එවපු උත්තරයට් ඇත්තටම මට කතා කර ගන්නත් බැරුව ගියා. "මම කර්නල් මුතාලිෆ් ගේ දුව".  

ඇය මගෙ හොද මිතුරියක් උණා එයින් පස්සේ. ඇය තවම උසස් පෙල හදාරන සිසුවියක්. ඇයගේ පියා මුස්ලිම් ජාතිකයෙක් වුණ නිසයි අපේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. නමුත් ඔහු සිංහල යුවතියක් සමග විවාහ වුණු හාමුදුරුවන්ගෙන් පිරිත් නූලක් බැදගෙන දෙකට තුනට නැමිලා වදින තරම් අපූරු මානව හිතවාදියෙක්. මම ඇයට ආරාධනා කලා ඒ කණ්ඩායමට එකතු වෙන්න කියලා. නමුත් ඇය ඒක ප්‍රතික්ෂේප කලා. මට හිතා ගන්න පුලුවන් ඇයගේ වේදනාව. 

 හමුදා කතා අදට ඇති වගේ. තව ලියන්න කතා ඉතුරු කර ගන්නත් එපායැ. අර ගීතයේ පද ටික මම ආසාවට ලිව්වා. අහලා බලන්න. ඔබත් ආදරය කරාවි ඔවුන් ට. 


දුක ආයෙමත් නැති පින් බිමේ
 හෙට සුපිපෙනා හිරු කිරණ සේ
 සෙනෙහස උතුරයි හදවතේ 
අපෙ හීනයයි ඔබ එළි කලේ

ඔබ පියෙකි, සොහොයුරෙකි
මහ බලැති එක හිතකි
අහසේ දෙව් රුවකි
මවු දෙරණේ රන් පුතෙකි 

යුද බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදිනා ...

 තුන් යාමේ දුක් දවනා
මුර දෙවියන් නිදි වරනා
නැති දා ඔබ අප ඉන්නෙ නැත සැනසිලා

මල් යහනා අත හැර ආ
ඔබ දිරියෙන් ගිනි නිවුනා
අපි ඔබ රකිමු සැමදා අත් අල්ලා ලග රැදිලා

 හිතෙන් හිතට සතුට ගෙනෙමු අපි වෙනුවෙන් අපි ආයේ
දොරින් දොරට සෙනෙහෙ දැනෙන පැහැබර දවසක සිත් මල් පිපෙන රෑනේ

 මුදු සුලගේ ඔබ ඇසෙනා
 නිල් අහසේ රුව පිපෙනා
කිසිදා මතු නෑ ඉන්නේ ඔබ තනි වෙලා
 සිහිනේ ඔබේ තනි වී
මාගේ මෙන් දකිමි
ඔබෙ සිහිනේ එලි කරමී දුක පිස දා හිත සනසා

ලගින් ඉදන් හීන දිනමු අපි වෙනුවෙන් අපි ආයේ
 ලොවක් උතුම් මවට වදින පෙම්බර සංවර අත්වල් සිත් යායේ



අ.පො.ස. (සා/පෙ) 10 වන සංවත්සරය


10 වන සංවත්සරය ගැන ලියන්න කලින් මෙය සංවත්සරයක් වෙන්නට හේතු පාදක වූ කතාව කිව යුතුය.

මම 1999 වසරේ දී සා.පෙළ විභාගයට පෙනී සිටියෙමි. ප්‍රතිඵල පැමිණි දා මමත් ලක්මාලිත් ප්‍රතිඵල ප්රදර්ශනය කළ මේස පන්දු ක්‍රීඩාගාරයෙන් පිටතට වී ගැහි ගැහී සිටියෙමු. විභාගයට වාරයකට පෙර කනිෂ්ඨ අංශ විදුහල්පතිනියගෙන් පන්තියම ඉදිරිපිට කණ පිරෙන්නට අසා ගත්තෝ අපි දෙදෙනාය. ගණිතයට පන්තියේ "වැඩිම" ලකුණු ලබා ගැනීම වෙනුවෙනි. 

ලක්මාලිගේ යෙහෙළියක වූ භාග්‍යා මේස පන්දු ක්‍රීඩාගාරයෙන් එළියට පැන්නාය. "ලකී ඔයා පාස්. ඔක්කොටොම D, C තියෙන්නෙ". ලකීට ඇඩුණි. මාවද ඇදගෙන ක්රීඩාගරය තුලට රිංගුවාය. මමද ඇදී ගියෙමි. ලකී කෙල්ලන් අතරින් රිංගා ඇයගේ ප්‍රතිඵල තහවුරු කරගෙන උඩ පැනගෙන පැමිණියාය. සෙනග අඩු වන තුරු බලා සිට මම ප්‍රතිඵල පුවරුව සෙමෙන් ලං වීමි.  

 අකුරක හෝ දෙකක වෙනසක් සහිතව මගේ වාසගමම හිමි සකුන්තලා ගේ නමද මා අසලින් විය. නම් දෙක පටලැවුණි. නම් දෙකම ඉදිරියෙන් මාගෙ ඇගිල්ල තබා ඉදිරියට ඇදගෙන ගියෙමි. පළමු නම ඉදිරියෙන් D අකුරු පේලියකි. නම් මගේ නම වෙන්නටම බැරිය. දෙවන නම ඉදිරියෙන් D අකුරු පේලියකි. ඒක නම් කොහෙත්ම වෙන්නට බැරිය. බෙල්ල කරකවා දකුණට ඇල කර බැලීමි. වමට ඇල කර බැලීමි. අවසානයේ මගේ දෑසින්ද කදුලක් වැටුනි. එක D අකුරු පේලියක් මගේ නම ඉදිරියේ විය. විද්යාවට, වාණිජ්යටට සහ ඉංග්රීසි සාහිත්යයට පමණ ක් C සාමාර්ථ සහිතව අනෙකුත් සියළුම විෂයන් D සාමාර්ථ 7ක් මගේ නම ඉදිරියේ සටහන්ව තිබුණි. "හෑහ්.... ගණන් වලටත් D "

මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන දිනයයි. ජීවිතය යලි පටන් ගන්නට දෙවියන් මට වරමක් දුනහොත් මම ජීවිතය යලි පටන් ගන්නේ එදායිනි. 

දැන් සංවත්සර කතාවයි. 

  දිනයෙන් වසර 10 කට පසු මම නැවත මා 11 වන ශ්‍රේණියට ඇතුල් වූයේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරිය ලෙසයි. එයද විනය අතින් සෑහෙන දුරට පිරිහුනු නමුත් ඉගෙනීමේ උවමනාව ඇති දරුවන් සිටින පන්තියකි. පළමුවන වාරයේ ආරම්භයේදී 11 වන ශ්‍රේණියට නියමිත නව පෙළ පොත දැකීමේන් මගේ සර්වාංගයම හිරි වැටුණි. "මේ පොත සම්පූර්ණයෙන් ඉවර කරන යම් පාසලක් මේ සිරි ලංකාවේ තිබේ නම් මා හට දැන ගැනීමට සැලසේවා!" 

එහෙන් මෙහෙන් පෙළපොත කිරීමට ඇති හැකියාව අත්හදා බැලුවෙමි. ඇගේ ලේ වතුර වීමේ සීඝ්රතාවය වැඩි වේ. කොදු නාරටිය දිනකට 100 වරක් බැගින් හිරි වැටේ. 11 ශ්‍රේණියට උගන්වන විනාඩි 40 දි 40 වරක් කොන්ද හිරි වැටේ. දවසේ ඉතිරි පැය 24 විනාඩි 20 තුල ඉතිරි 25 වරින් වර හිරි වැටී යයි. 1 වන වාරය අවසානයේදි 11 ශ්‍රේණියේ පෙල පොත මම මගේ පොත් අල්මාරිය තුලට වීසි කලෙමි. "ලබන වාරෙ එනකොට හැම කෙනාම අවුරුදු 10 past papers තියෙන පොතක් අරගෙන එන්න."  

වසර ගණනාවකට පසු මා අභියස අභියෝගයක් විය. සිසුන් දෙදෙනෙකු හෝ විභාගය සමත් කරවීමයි. වසර ගානකින් නොදුටු ඉංග්රීසි විෂය සම්බන්ධ සාමාර්ථ මගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වූවෝ මගේ නින්ද නැති කළහ. මා සා.පෙල ලියා වසර 10 කට පසු මම 1999 වසරේදිවත් නොසිටි තරම් මානසික පීඩනයකින් සිටියෙමි. නමුත් එය කිසිවෙකුටත් නොපෙන්වා සිටීමට මට සිදුවිය.  

2 වන හා 3 වන වාරවල මම යක්ෂණියක් වුනෙමි. හිස ඔසවන්නටවත් ඉඩ නොදී මගේ කාලච්ඡේදය මම හිර කලෙමි. වරක් මා ඉතා ආදරය කළ සිසුවෙකු වූ දිලෙන්ත හිස ඔසවා මා දෙස බැලුවේය. "ටීච මම B එකක් අනිවාර්යෙන් ගන්නවා" මම පොත රැගෙන එහි පිටුපස එදින දිනය දමා දිලෙන්ත ගේ අභියෝගය ලියා ගතිමි. "B එකක් නෙවෙයි S එකක් වත් තිබුනොත්!!!" එය මා පිට නොකලෙමි. නමුත් මගෙ සිත ප්‍රශ්න කරයි. 


2010  මාර්තු මාර්තු වලදී මගේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණි. දිලෙන්ත ඇතුලුව 4 දෙනෙක් විභාගය සමත්ව තිබුණි. මගේ ගණන වී තිබුණේ නම් 10 කි. වාසනාව නොතිබුනු 6 දෙනෙකි ඉරණමට පැරදුනි. "වෙලාව"

 අදටද මම ප්‍රතිඵල ගැන නොසෑහෙමි. සෑහෙන දවසක් වේ නම් මුලු පන්තියම සමත් වන දිනයකි. එදින තෙක් මම වඩ කරමු. මගෙ සාමාන් පෙළ සංවත්සරය මා සැමරුවේ ප්‍රතිඵල 0% වීමට නොදී ගොඩ දාගෙනය. "ඔයින් ගියා ඇති" 

.ලි. මේ අවුරුද්දේ ප්‍රතිඵල ගැන කවුරුත් අහනවා එහෙම නෙවෙයි. මේ පාර කට්ටිය පන්තියේ දි කලේ ලව් කරන එක විතරමයි. ඒවාගේ ප්‍රතිඵල වලට මම නම් වග කියනු නොලැබේ. 

Monday, December 27, 2010

ඉංග්‍රීසි කදවුර


අපේ අංක 3 කොඨ්ඨාශයේ ඉංග්‍රීසි කදවුරක් පැවැත්වීමට දින 4 කට හලින් හති දාගෙන මෝටර් සයිකලයේ පැමිණි අසල්වාසී දෙමළ විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමා ලිපිය අපේ විදුහල්පති (උ) තුමා වෙත භාර දී පලා ගොස් තිබුණි. ඒ අවසාන මොහොතේ ලියුම් ගෙනත් දී මගෙන් ලුණු ඇඹුල් ඇතිව අසාගෙන තිබෙන වසර 3ක් අඛණ්ඩ පලපුරුද්ද නිසාය. ඉංග්‍රීසි දිනයට පක්ෂග්‍රාහී හා අසාධාරණ විනිශ්චයන් ලබාදීම නිසා මා සිටියේ ද අහු වෙන තුරුය. නමුත් ඔහු මා එන්නට පෙර පලා ගොස් ඇත. 

6 වන ශ්‍රේණියෙන් 7 දෙනෙකු සහ 7 වන ශ්‍රේණියෙන් 8 දෙනෙකු ලෙස මගේ කණ්ඩායම ගෙන යාමට සූදානම් වන ලෙස (උ) තුමා දැනුම් දුනි. වහාම පසුගිය වාරයේ ලකුණු පොත පෙරලූ මම පන්ති දෙකෙන්ම වැඩිම ලකුණු ලත්තන් ටික තෝරා ගතිමි. "මොනවා උනත් පිට ඉස්කොලෙකට ගිහින් මගේ සායම බේරා ගන්නත් එපායැ..."

අනේ දෙය්යනේ කියා පොඩ්ඩෝ සියලු දෙනාම වෙලාවට දෙමළ විද්‍යාලය අසලට පැමිණ සිටියෝය. වට පිට බලන විට එකෙක්වත් පේනතෙක් මානයක නැත. මම පොඩ්ඩෝ 15ක් සමග ගේට්ටුව ගාවය. තවත් බසයක් පැමිණුනි. "ෂර්මිලා" ප්‍රෙස්ටන් දෙමළ විද්‍යාලයේ පොඩ්ඩෝ ටිකද රැගෙන ආවාය. "ඇති යන්තම්.... මොකද බන් පරක්කු උනේ??" එහෙම ප්‍රශ්නයක් ඇයගෙන් ඇසීමට මට බැරිය. ඇය සිටින්නේ ඈත දුශ්කර කුඩා පාසැලකය. 

 අපේ අනාථාචාර්ය ඉංග්‍රීසි අධ්‍යක්ෂකතුමා පැමිණ වැඩේ ආරම්භ කලේය. හේ මගේ කණට කොට සම්පත් දායකයෝ නැති බැවීන් මටද සම්පත් දායකයෙක් වීමට පැවසුවේය. ඔන්න ඉතින් සංජු ද සම්පත්දායකයෙක් ලෙස මුල් වරට එදා දායක වූවාය.

 ඇත්ත වශයෙන්ම කිවහොත් දෙමළ විදුහල්වල දරුවන් කෙරෙහි මගේ පැවතියේ බොහෝ නොපහන් හැගීමකි. එයට හේතුව මා බසයේදි අත් දකින දේවල් ය. ඔවුන් අපේ ළමයින් ට වඩා ඉතා ඝෝෂාකාරීය. කලබල කාරීය. බසයෙන් බැස ගිය පසු මගේ පින් අනුමෝදනා වැඩි වන්නේ රිදුම් දෙන කකුල් දෙකද සමගිනි. "හෙටවත් මුන්ට කකුල් පෑගුවාම දෙන්න ඇඩ්‍රස් එක ලියාගෙන යන්න ඕනි".

ඕනෑම කදවුරකදී මෙන් මෙහිදී ද දරුවන් පාසල් කණ්ඩායමෙක් වෙන් කර මිශ්‍ර කෙරුණි. ඇත්ත වශයෙන්ම කියතොත් වඩාත්ම බය වුණේ දරුවෝ නොව මා ය. සහභාගී වී සිටින එකම සිංහල විදුහල අපිය. අනික් සියල්ලෝම දෙමළ විදුහල් ය. අනිවාර්යෙන්ම භාෂා ප්‍රශ්නය මෙහිදී බලපානු ඇත. මම කොහොමද දෙය්යනේ මේ තරම් කණ්ඩායමක් එක්ක වැඩ කරන්නෙ??? සිංහල දන්නෙත් නෑ නෙ. 

පළමුවන ක්‍රීඩාවෙන් කලේ ළමයින් හදුනා ගැනීමයි. සාමන්‍යයෙන් මට දරුවෙකු හැරෙන විට ඔහුගේ හෝ ඇයගේ කෙරුවාව ගැන අදහසක් ලබා ගැනීමේ සුළු හැකියාවක් ඇත. එයින් මම ඉක්මනින්ම මගේ කණ්ඩායම හදුනා ගතිමි. දක්ෂ දරුවෝ කිහිපදෙනෙක් ද, මධ්‍යස්ථ දරුවෝ ද, ඉතා දුර්වල දරුවෝද වූහ. තවත් ක්‍රීඩා 2ක් පමණ කරන විට මම අපූරු දෙයක් දුටිමි. ඉතා දුර්වලයා ඉතාම උත්සාහවන්ත බවය. ප්‍රශංසා කර පොඩි ඈයෝ මුරුංගා අත්තේ තැබූ විට ඔවූහු පණ උනත් දෙති. තවම ළමා ගති ඇති මේ වයිවාරන්න පොඩ්ඩන් සමග වැඩ කිරීම මට ඉක්මනින්ම විනෝදයක් විය. 

මම කලකට පසු ඔවුන් සමග සිනා සුණෙමි. සෙල්ලම් කලෙමි. මගේ පාසලේ පොඩ්ඩෝ ටික කට ඇරගෙන මා දෙස බලා සිටිති. මේ ඉංග්‍රීසි ටීච ව ඔවුන් පාසලේ දි ඇත්තටම දැක නැත. අනික් කණ්ඩායම් සමග තරග වදින විට මම ෂර්මිලා සමග රණ්ඩු වෙමි. ඒ දෙන්නාම පොඩ්ඩන්ට හොරෙන් උදව් කරන්න ගොස් හසු වූ විටය. මගේ කණ්ඩායම දිනන විට මම කෑ ගසා උඩ පනිමි. දිරිමත් කරමි. සිංහල ටීච කෙනෙක් සමග කිසිදා වැඩ කර නොමැති පොඩ්ඩෝ ද මේ ටීච එසේ මෙසේ නොව පිස්සු වාට්ටුවක් බව වටහා ගන්නට ඇත. ටිකක් වේලා යන විට ඔවුන් දිවවිත් මා වැලදගෙන සතුට බෙදා ගත්හ. මගේ ඔසරි පොටේ එල්ලි අනික් කණ්ඩායම් ව්ලට හූ කීහ. වඩාත් වැදගත් දේ නම් ඔවුන් හා මා අතර පැවති පරතරය ටිකින් ටික අඩුව යෑමයි. සිංහල ගුරුතුමිය හා ද්‍රවිඩ සිසුන් එක දිනකින් ලං වූ තරම්....!

ඉංග්‍රීසි කදවුරේ දෙවන දිනය එලඹෙන තෙක් මා සිටියේ නොඉවසිල්ලෙනි. දෙවන දිනයේදි ඔවුන් මා වෙත පෑවේ හිතා ගන්නටවත් බැරි තරම් ලෙංගතුකමකි. මා එනතෙක් බලාසිටි ඔවුන් මා වෙනත් කණ්ඩායමකට යා නොදී කෑගැසූහ. වැරදිලා හෝ මම වෙනත් කණ්ඩායමකට කතා කළහොත් සියල්ලෝම හැරී මා දෙස බලා සිටිති. ඉතින් මම ද වෙන අය ගාවට යන්නට අකමැතිය.

මම අපූරු අත්දැකීමක් ලබුවෙමි. එය මා කිසි දිනෙක සිතාවත් සිටි දෙයක් නොවේ. නමුත් සමු ගන්නා විට ඔවුන්ගේ දෑස් කදුලින් පිරී තිබෙනු මම දුටිමි. මගේ වටා දැවටෙමින් මගේ ඔසරි පොටේ එතෙමින් ඔවුන් මා හා සුරතල් වූහ. මගේ දෙපා නැමද අත්පොඩි වනමින් ඔවුන් මගෙන් වෙන්ව ගියහ. වටපිට බැලූ මට මහා කළකිරීමක් දැනුනි. හැමදා වැඩිහිටියන්ට ගුරුවරුන් ට ගරු කරන්න යැයි ඉගැන්වූ මගේ පොඩ්ඩෝ ටික පැදුරටවත් නොකියා මාරු වී තිබුණි. මට මහා හිස් බවක් සහ කුහක බවක් දැනුණි. මම බස් නැවතුමට එන විට මගේ එවුන් බස් නැවතුමේ වූහ. "ටීච බස් එක ගිහින්"  

බස් එක ගියාටත් වඩා ටීච ට සිත රිදී ඇති බව තේරුම් ගන්නට ඔවුන් ට හැගීම් තිබුනේ නැත. නැතහොත් එය සිතා බැලීමට උත්සාහ කලේවත් නැත. මම එය ඔවුනට ඉගැන්වීමටද නොයමි. කාලයේ පෙරලියත් සමග ඔවුන් ජීවිතයේ රිද්මය තේරුම් ගන්නවා ඇත. නමුත් එදින ප්‍රමාද වැඩි බවද ඔවුන්ටම තේරුම් යනවා ඇත.

බස් නැවතුමේ තිබූ තවත් බසයක් අප පසු කොට ඉදිරියට ඇදුණි. මම මහා හුස්මක් ගතිමි. "ටීච බායි" මම උඩ ගොස් බිම වැටුණෙමි. මගෙ කණ්ඩායමේ පොඩ්ඩෝ කිහිපදෙනෙක් බසයෙක් එලියට හිස් රුවාගෙන බෙරිහන් දෙති. බසයේ මිනිසුන් පුදුම වී බලා සිටිති. දෙමළ දරුවෝ ඔසරිය ඇදි සිංහල ගුරුවරියකට අත වනති. හාදු පා කර එවති. ඒ හාදු මගෙ ජීවිතයේ නොමැකෙන මතකයන් ය. ගුරු වෘත්තියේ එක් තෘප්තිදායක මතකයකි. එයින්පසුව මගේ චින්තනයේ ද ලොකු වෙනසක් සිදු විය. දරුවෝ ජාති ආගම් භේදයකින් තොරව දරුවෝ ය. ශ්‍රී ලාංකික දරුවෝය. අප දරුවන්ට ඉගැන්විය යුත්තේ අපි ශ්‍රී ලාංකික බව පමණි. විවිධ ආගම් අදහන ෂ්‍රී ලාංකිකයින් බව පමණි.