Posts

Showing posts from March, 2011

මම ආස ගීත

Image
ඔන්න පොඩි ඇඩ් පාරක් දෙන්නයි හදන්නේ. මේ දවස්වල ඉස්කෝලේ අම්බානට වැඩ නිසා බ්ලොගේ ලියන්න වෙලාවක් හොයා ගන්න හරිම අමාරුයි. හැබැයි ඉතින් මගේ ප්‍රියතම විනෝදාංශය වන ගීත ඇසීම නම් නොකඩවාම කරගෙන ගියා. මම අහන සින්දු ගොඩක් අයට ඇලජික් කියලා මම හොදටම දන්නවා. ඒත් මේ සින්දු ටික දාන්න හිතුනේ වසර ගණනාවක් ගිහිල්ලත් මේ ගීතවල නැවුම් බව බිංදුවක්වත් අඩු වෙලා නැති නිසයි. අනික මේ ගීත හින්දි ගීත. පොඩි කාලයේ අසීමාන්තිකම හින්දි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වීම නිසා මට අදටත් හින්දි භාෂාව යම්තාක් දුරකට තේරුම් ගන්නත් කතා කරන්නත් පුළුවන්. ඒ කවුරුත් උගන්නලා එහෙම නෙවෙයි. භාවිතාවෙන්ම විතරඉ. හින්දි භාශාව පුලුවන් වීම නිසා දන් මට ඉතාමත් සුලුවෙන් පාකිස්තානයේ උර්දුත් ඉන්දියාවේම තෙලිගු භාෂාවත් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. තෙලිගු භාෂාව සිංහල භාෂාවෙත් දෙමළ භාශාවේත් හින්දි භාෂාවෙත් තවත් ඉන්දියානු භාශා කිහිපයකත් සම්මිශ්‍රණයක්. ඒක නිසා දැනට මට කතා කරන්න බැරි අමාරුව තියෙන්නේ තෙලිගු භාශාවේ විතරයි. උර්දු කියන්නෙත් හින්දි භාශාවේ ම තව එක පුංචි කොටසක් බව මට තේරුනේ බුකියේ දි අවුරුදු 60 ක විතර පාකිස්තාන් ජාතික අන්කල් කෙනෙක් එක්ක කතා කලාට

වැස්ස හුදකලාව ඔබ සහ මම

Image
රිදවන වැසි පොද එකිනෙක විත් පාරා මුළු හදම රිදවා යද්දිත්  ඔබ සිටියා නම් මේ නපුරු වැසි බිදුත්  වේවි මට මල් වැසි ඔබේ උණුසුමට විත් මේ මහා මුරුගසන් වරුසාවේ වැහි බිදිති ඔබ අසලට විත් ඔබේ සිරුරේ හැපී යාවි දැනෙනවද මගෙ හිතේ ඉරිසියාවේ තරම මේ මහා වැසි මැද පවන් පොදක් වී එන්නට හැකිනම් මට ඔබ ලගටම වී හැපි හැපී ඉන්න ඔබ වටා වෙලී පින් මදයි මට ඒ සිහින දුර වැඩියි

මාතෘකාවක් නැති කතාවක්!

Image
එදා වෙනදා වගේම සුපුරුදු ඉස්කෝලේ දවසක්. මම 7.30 බස් එකට නැගලා වාඩි වෙලා හිටියේ. බස් එකේ රේඩියෝ එකේ ඔලුව FM එකේ නිවේදකයෙකුයි නිවේදිකාවකුයි පත්තර කියවනවා.  ඔන්න එක ප්‍රවෘත්තියක් ගියා.   "ඉංග්‍රීසි ගුරු සංගමය ඉල්ලා හිටිනවලු පාසැල් පවත්වන කාලය වැඩි කරනව නම් ගුරුවරුන්ගේ පඩියත් ඒ ආකාරයෙන්ම වැඩි කරන්න ඕනේ කියලා" "ගුරුවරු එහෙම ඉල්ලා හිටිනවට වඩා ගන්න පඩියටවත් වැඩ කරනවනම් හොදයි කියලයි මට හිතෙන්නේ"  වාචාල නිවේදකයාගේ මුවෙන් පිට වුණ.   මගේ ශරීරයේ තිබ්බ සියළුම රෝමකූප කේන්තියෙන් කෙලින් වුණා. ATI එකේ දි රැග් එකෙන් ඉගෙන ගත්ත ඔක්කොම කුණුහරුප ටික මට මතක් වුණා. ඊටත් වඩා බස් එකක මගේ ඉස්කෝලේ ළමයි දෙමාපියන් ඉස්සරහා ඒ වගේ පහරක් ගුරුවරයෙකුට ගහනවා කියන්නේ එතන ඉන්න ඕනෑම ගුරුවරයෙක් තමන් ඒ කැටගරියට වැටුනත් නැතත් ගොඩක් අමාරුවේ වැටෙන වෙලාවක්.  ගුරුවරයෙක් වැඩ කරනවා මනින මිම්ම මොකක්ද?   නගරයේ සීත කාමරයක ඉදගෙන කටට එන වාචාල කියවනවාට සල්ලි ගන්නා, ගෙදරටම ට්‍රාන්ස්පෝට් ලැබෙන හැත්තට නම් ගුරුවරයා යනු හිගන්නෙක් විය හැක. ටියුශන් කඩකාරයෙක් විය හැක. නිතරම නිව්ස් වල ඇසෙන පරිදි ළමයින්ට පහර දෙන තරවටු කරන

බාලදක්ෂ කතා 2 කොටස – නැවත ආගමනය

Image
පසුගිය කොටසින් දැක් වුණ විදියට පොඩි සංජු ට ගයිඩින් එපා වෙන්න හේතු ගොඩක් තිබ්බා.  හවස ඉස්කෝලෙන් පස්සේ නවතින්න තියෙන අකමැත්ත වගේම කම්මැලිකමත් මේකට ප්‍රධාන හේතු.    මේ සිද්ධි වලින් වුණේ පොඩි සංජු සැපසේ ගෙදර නැවතුන එක. හැබැයි ඒ ටික කාලෙකට විතරයි. සංජු ගෙ මල්ලි ඒ වෙනකොට ඉගෙන ගත්තේ කන්ද උඩ විද්‍යාලයේ.  කන්ද උඩ මහා විද්‍යාලයේ නමත් එක්ක එකතු වෙච්ච අභීත ඉතිහාසයක් තියෙන දෙයක් තමා බාලදක්ෂ ව්‍යාපාරය. කන්ද උඩ විදුහලත් එක්ක බාලදක්ෂ ව්‍යාපාරය පුදුම බද්ධ වීමක් තියෙනවා.   ඔන්න වුණේ මේකයි. අපේ මලයා බාලදක්ෂයෙක් බවට පත් වුණා.   අපේ පිය තුමාගෙයි මවු තුමීගෙයි තියෙන එක ගතියක් තමා අපි කොහේ ගියත් පස්සෙන් එන එක. අදටත් ඒක එහෙම්මම තමයි. අපේ මල්ලි ගෑණු ළමයෙක් හොයා ගන්නකල් ම එයා යන යන තැන අපේ තාත්තා පස්සෙන්. හැබැයි මගේ පස්සේ නම් තාමත් එනවා.   ඉතින් මේ කන්ද උඩ මහා විද්‍යාලය අපේ මල්ලිගේ වගේම අපේ තාත්තගෙත් ඉස්කෝලේ වුණ නිසා අපේ තාත්තා මල්ලි යන හැම අස්සක මුල්ලකම රිංගන්න පටන් ගත්තා. ඒ වෙලාවට අපේ තාත්තා එක්ක ධීර ක්‍රියාකරකම් වලට සහයෝගය දීගෙන පස්සෙන් යන්නේ මමතුමී. (කන්ද උඩ විදුහලේ ශිෂ්‍යයෙක් තරම්ම මමත් ඒ ඉස

මතක පොළු

Image
ඒ පසුගිය සදුදා දිනයයි. මම 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගැන්වීමේ නිවත වෙමින් සිටියෙමි. පාඩම තේරුම් කර අවසානයේ මම 1.11 අභ්‍යාසය කරන ලෙස ඔව්න් ට පැවසීමි. ඒ එම අභ්‍යාසයේ අඩංගුව පැවති ප්‍රශ්න 10න් 7ක් තේරුම් කර දී එයට පිලිතුරු සෙවීමකි. “ දැන් පටන් ගන්න අද දිනේ දානන් ඇක්ටිවිටි 1.11 කියලා ලියන්න.  එක කියල ප්‍රශ්න අංකේ දාන්න. ප්‍රශ්න ලියන්න ඔනේ නෑ උත්තර විතරක් ලියන්න.” මම උදේ පටන් කෑ ගසා අමාරුවට පුටුවේ වාඩි වීමි.  පන්තියේ ශබ්දයක් නැත.  සියල්ලෝම වැඩ වල නිරත වී සිටිති.  මද වේලාවකට පසුව තරිදු හිස් එසෙව්වේ ය. “ටීච , පලවෙනි ප්‍රශ්නය විතරයි නේද? (හී – දත් සෙට් එක එලියේ)”  තරිදු යනු පන්තියේ ඉතාම අදක්ශම කොලුවෙකි.  හේ මෙවර 10 වන ශ්‍රේණියේ සිටින්නේ අති සාර්ථක 2 වන අවුරුද්දය. දැන් තරිදුට අවශ්‍යව ඇත්තේ මාව අවුස්සාගෙන එදා දවසේ වැඩයෙන් මග ඇරීමටයි.  මම ද තරිදු මට දැමූ ආකාරයේම හිනාවක් දැම්මෙමි. (හී) ඒ සමගම මම පන්තියේ ශිෂ්‍ය නායිකාවක් වන ප්‍රියන්තිකා ව ඇමතුවෙමි. “ප්‍රියන්තිකා, අනේ අර අටේ පන්තියේ තිබ්බා පොඩි පොළු කෑල්ලක් අරගෙන එනවකෝ ගිහින් ඉක්මනට.  මේ තරිදු ට ප්‍රශ්න කීයකට උත්තර ලියන්න ඕනීද කියලා

බාලදක්ෂ කතා – 1 කොටස

Image
ඔන්න අද අලුත් සීරිස් එකක් පටන් ගන්නයි හදන්නේ. ඒක පටන් ගන්න නම් යන්න වෙනවා 1994 හරි 1995 හරි අවුරුදු වලට. එතකොට මම හිටියේ 6 වසරේ  7 වසරේ. එක දවසක් අපේ ඉස්කෝලේ දැන්වීම් දෙන වෙලාවේදි මෙන්න මෙහෙම දැන්වීමක් ඇහුණා. “අළුතින් බාලදක්ෂ ව්‍යාපාරයට එක්වීමට කැමති සියළුම ශිෂ්‍යාවන් අද හවස පාසැල් වේලාවෙන් පසු අබේවික්‍රම මහත්මිය හමුවන්න" කියලා. හලේ ඉතින් පටන් ගත්ත තැනම වැඩේ ඉවරයි. මම ඉස්කෝලේ කාලේ අකමැතිම වැඩක් තමයි ඉස්කෝලෙන් පස්සේ නවතින එක. (දැනුත් ඉතින් ටිකක් ඒ ලෙඩේ තියෙනවා) ඒත් ඉතින් බාලදක්ෂිකා නිල ඇදුමට තිබ්බ ආසාවටම මමත් ගිහින් ගෙම්බි පැටියා වගේ 100ක් විතර කෙල්ලෝ අස්සේ රිංගගෙන හිටියා. ඔන්න ටික වෙලාවකින් අපේ සීනියර් අක්කලා ටිකක් ආවා. අපි එන්න කලින්ම හෝල් එකේ මැද මේසයක් තියලා ඒක රෙද්දකින් වහලා තිබ්බේ. මේ ආව අක්කලා ටික තමයි අපේ අළුත් නායිකාවෝ. ඔන්න ඉතින් එක කට හැකර අක්ක කෙනෙක් ඇවිල්ල වැඩේ පටන් ගත්තා. “නංගිල දැන් ඔන්න මම විනාඩියකට මේ මේසේ උඩ තියෙන ආවරණය අයින් කරනවා. ඔයාලට තියෙන්නේ මේ මේසේ උඩ තියෙන ද්‍රව්‍ය මතක තියාගෙන විනාඩියකට පස්සෙ ඒ ද්‍රව්‍ය වල නම් පුළුවන් තරම් ලියන්න.” දෙන්නම් ජ

අපේ සර් ලා................!!!

Image
ස්පෝර්ට් මීට් කතා ටික ඉවර කලාට පස්සේ ලියන්න දෙයක් කල්පනා වෙන්නේම නෑ අප්පා. ස්පෝර්ට්මීට්  එකෙන් පස්සේ ඉස්කෝලේ වෙච්ච දේවල් ලිව්වොත් ඒක ටැබූම ටැබූ මාතෘකාවක් වෙන නිසාත් මගේ රස්සාවට කණකොකා හඩන්නට ඇති ඉඩකඩ වැඩි නිසාත් මම පශ්චාත් ක්‍රීඩා උත්සව පරිසරය ගැන නොලියා ඉන්න තීරණය කලා. ඔන්න ලියන්න හදපු එක අමතක වුණා…. හා හරි හරි මතක් වුණා. අපේ ඉස්කෝලේ මම යන කාලෙ හිටිය පලතුරක නමක් තියෙන සර් කෙනෙක් එක්ක ඉස්සර හිටපු රජ කෙනෙක් ගෙ නමක් තියෙන සර් කෙනෙක්. මේ දෙන්නා මම ඇවිල්ලා ටික කාලෙකින් මාරුවීම් හදාගෙන ගියා. නමුත් මේ දෙන්නා අපේ ක්‍රීඩා උත්සවය බලන්න ආවා. කොච්චර අකමැත්තෙන් හිටියා වුණත් තමන් මුලිම ගුරුවරයෙක් වුනේ මේ පාසැලේදි නේද කියලා ඔවුන් දෙදෙනාටම හැගීමක් තිබ්බ. ඒක නිසා ඔවුන් දෙදෙනා තමන් හිටපු පාසැලේ කාලෙකට පස්සේ තිබ්බ ක්‍රීඩ උත්සවයට ආව. මේ රජකෙනෙක්ගේ නම තියෙන සර් ඉගැන්නුවේ භූගෝල විද්‍යාව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු රට කාලා වතුර බීල රාම තෙල් ඇරපු  පොරක්. ඉස්සර ඔහු අපේ ලගින් ගියොත් අපි කෑ ගහන්නේ “අන්න කොසොල් රජ්ජුරුවෝ ලගින් ගියා මොනවද අඩු බලාපල්ල” කියලා. එතකොට ඔහු කරන්නේ හොදවයින් දෙකක් කුණුහරුපෙන් නමු

විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව - 2 කොටස

Image
මම මේ කතාව කොටස්වලට බෙදන්න තීරණය කලේ කතාව මම හිතුවට වඩා දික් ගැස්සෙන බව තේරුන නිසා. මේක තනිකරම මඩක් එහෙමත් නැත්නම් ඕපාදූපයක් කියලත් සමහර වෙලාවට ඔයාලට හිතෙයි. ඒත් මම මේක ලියන්න තීරණය කලේ සුන්දරයි කියලා හිතාගෙන ඉන්න මනුස්ස ජීවිත මොන තරම් සංකීර්ණද කියලා මටම හිතුණ නිසා. ආදරයෙන් විවාහයෙන් සේරම ප්‍රශ්න අවසාන වෙනවා කියලා බදින්න කලින් හිතාගෙන හිටියට ඒක එහෙම නෙවෙයි කියල මම ඉගෙන ගත්තේ මේ සිද්ධි නිසා. ඒ වගේ ම මිනිසුන් තමන්ගේ පරිසරයට අනුකූලව ජීවත් නොවීම නිසා ඇතිවන ප්‍රශ්න ගැන හොදට දකින්න පුළුවන් වුණා මට මේ සිද්ධි නිස. මේ ප්‍රශ්නේදි මම දැකපු අනික් අවාසනාවන්තම සිද්ධිය තමයි ගීතා ටීචට ගුරුවරියක් විදියට තමන්ගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම. ඒ වගේ හැසිරෙද්දි ඒ ස්වාමිපුරුෂයා මේ තරම් ඉවසන එකට නම් ඇත්තටම ඔහුට මල් තියලා වදින්න ඕනි. ඒ තරම් නිවුණ මනුස්සයෙක් ඔහු. ඉතින් මේ ගීතා ටීච තමාගේ පශ්චාත් උපාධි හදාරන්න මෙච්චර වෙහෙසෙනකොට ගෙදර ඈයින්ට තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් අතපසු වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. වයසින් ඇයට වඩා අවුරුදු 5ක් පමණ ලාබාල වුණත් මමත් ඇයට සමහර වෙලාවට බැනලා තියෙනවා. ඒ වෙලාවට බබා වගේ

විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව - 1 කොටස

Image
අද නම් ලියන්න හදන්නේ අපේ අම්මා දැක්කොත් ගුටි කන්න වෙන විදියේ ලිපියක්. එයා කියවන්නේ නැති නිසා ඔන්න බය නැතුව ලියනවා. දැන් දැන් වෙන වෙන බ්ලොග් වලත් මේ වගේ ටැබූ මාතෘකා ලියලා අපේ ටැබූ මහත්තයට එයාගේ බ්ලොගේ වහලා දාන්න වෙයි ද මන්ද! මේක ලියද්දි සංජු ට සෑහෙන්න අසනීපයෙන් ඉන්නෙ. ඔලුව නහය කන උගුර බෙල්ල පපුව බඩ අත පය 4 ආදී එකී මෙකී නොකී සියලුම ශරීරාංග ටික ඇදුම් කනවා. දොස්තර අන්කල් නම් කිව්වෙ වයිරස් කට්ටියක් මගේ සරීරයේ පැලපදියම් වෙන්න හදනවා කියලා. එයා අහපු සියළුම රෝග ලක්ෂන මට තිබ්බා එකක් ඇරෙන්න. “කෑම අරුචිය” අනේ අම්මපා මට වැරදිලාවත් හැදෙන්නේ නැති රෝග ලක්ෂනය තමා ඔය කෑම අරුචිය. ඔන්න මාතෘකාවෙන් පිට පැන්න. මම ලියන්න හදන්නේ ඔන්න විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව ගැන. මේ සියළුම කරුණු මම අත්දුටු දෙවල්. ජීවිතේ   මොන තරම් වේදනාකාරියි ද කියලා මේවා ඇහුණම හිතා ගන්න පුළුවන්. ඒකයි මම මේ ගැන ටිකක් ලියන්න හිතුවේ. පළවෙනි මාතෘකාව විවාහය. 20-25 වෙනකල් කෙල්ලක් ඉතින් සතුටින් සැපෙන් ඉන්නව. 25 පහු වෙනකොට මතක් වෙනවා බදින්න ඕනි නේද කියලා. ඉතින් නෑදෑ පරම්පරාවමත් එක්ක ඉරාගෙන මනමාලයෝ හොයනවා. ඒ අස්සේ අර අසරණ කෙල්ලගේ මිතුර මි