Sunday, January 30, 2011

ස්පෝර්ට් මීට් කතා 2 - මැරතන්



ඔන්න සංජු ටීචගේ ස්පෝර්ට් මීට් කතා අංක 1 කියෙව්වේ නැති කවුරු හරි ඉන්නවනම් ගිහින් කියවන්න.

ඉතින් මේ ස්පෝර්ට් මීට් කාලය බැවින් ද වලි පිට වලි හැදෙන මේ කාලය බැවින්ද ජොලි කතා ගනනාවක් ලිවීමට හැකි වේ යැයි සංජු ටීච ට සිතේ.

අපේ ඉස්කෝලේ නිවාස 3කි. දම් පාට නිවාසය රෝස පාට  නිවාසය සහ කහ පාට නිවාසය ලෙස ඒවා නම් කරමි. ඔය නිවාස වලින් දම් පාට නිවාසය භාරව සිටින්නේ සංජු ටීචය. රෝසා පාට නිවාසය භාරව සිටින්නේ සමන් මලෙන් පවන් සැලේ ය. කහ පාට නිවාසය භාරව සිටින්නේ බගලවතී ඉස්කෝලේ හාමිනේ ය.

ස්පෝර්ට් මීට් එක පටන් ගත් දා සිට බගලවතී  ඉස්කෝලේ හාමිනේ වැඩ කලේ අපට හොරෙන් ය. කැපුවේ ද අපටය. ඇයගෙන් වේන් කෙණිහිලිකම් දම් නිවාසයේ දරුවන් නිතරම සංජු ටීචට ගෙන එයි. සංජු ටීච ද තිත්තයාගේ වාරය එන තුරු ඇගිලි ගනිමින් සිටියාය.

පසුගිය බදාදා පාසලේ මැරතන් ධාවන තරගයයි. සංජු ටීචගේ මුලු ක්‍රීඩා උත්සවයටම තියෙන බජට් එක රුපියල් 2000 කි. ඉතින් අතේ තියෙන විදියට වියදම් කිරීමට සිද්ද වීම නිසා සංජු ටීචගේ දම් පාට නිවාසයට මැරතන් අංක ගසා ගැනීමට සිදු  වූයේ ලා කහ පාට රෙදි කැබලි වලය.

ඔන්න ඉතින් සංජු ටීච මණිමේඛලා ටීච සමග “ඩූම් මචාලේ” කණ පැලෙන්න දා ගත් ත්‍රී රෝද රියක නැග ජීවිතයේ කවරදාකවත් නොගිය තරම් වේගයකින් තරගය ආරම්භක ස්ථානයට ගොස් පිරිමි මැරතන් තරගයේ ආරම්භ ය දී එයිට කිලෝ මීටර 3 කට පසුව කාන්තා මැරතන් තරගයට ආරම්භය ලබා දීමට පැමිණියහ.

“මෙන්න යකෝ බගලවතී ඉස්කෝලේ හාමිනේ එයාගේ කහ නිවාසයේ ගැණු ළමයින් ට මගේ දම් නිවාසයේ කොල්ලෝ ටිකගේ නොම්බර ටික ගහලා”

වෙලාවට එය මට කලින් දුටුවේ මණිමේඛලා ය. සංජු ටීච කොහොමත් ටියුබ් ලයිට් ය.  ඕ තුමූ එහිම බාල්දියක් ඇද පැමිණ මට සීන් එක කියමින් තරගය ආරම්භ කර නැවත් ත්‍රීරෝද රියේ නැගී තරග අවසානය වන පාසල් ක්‍රීඩා පිටියට පැමිණියාය. ඉතින් සංජු ටීච ද දත කට මැදගෙන සිටියේ බගලවතී ඉස්කෝලේ හාමිනේ ගෙ මොලේ නරක් වෙන වෙලාවක් බැවින් නිවාසයේ අනික් ගුරුතුමියන් දෙදෙනා වන දම්මිකා හා වසන්තී ටත් සීන් එක කියා තරග අවසානය ට ගියාය.

තරග අවසානයේ දීර්ඝ සාකච්චාවකින් පසු මැරතන් තරගයේ ප්‍රතිඵල කියන අවස්ථාව එලඹියේ ය. කහ නිවාසය කල ගොන්කම වෙනුවෙන් ඔවුන්ගේ ලකුනු 42 ක් කපා එය දම් හා රෝස නිවාස 2 ට 21 බැගින් බෙදා දෙන ලදි. එයින් දම් නිවාසය කාන්තා මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගත්හ. දම් නිවාසයේ  ගුරුතුමීලා කරනම් ගසමින් උඩ පැන්නහ. බගලවතී ඉස්කෝලේ හාමිනේ ගෙ කහ නිවාසයේ කොල්ලෝ බගලවතී ඉස්කෝලේ හාමිනේ සමග රණ්ඩු කර ගනිති. ජීවිතයේ පලමු වරට විරේක පෙති බිව්වාක් සේ ඕ බලා සිටියි. ඉතින් කාටද ජොලි?

මීලගට මැරතැන් එක ගිය පොඩ්ඩෝ පැමිණිලි ගෙන ආහ. “ටීච කහ නිවාසයේ ගීත් ගෙ තාත්තා එයාට බයික් එකකින් ඇවිත් උදවු කලා”

ගීත් තක්කඩි කොල්ලෙකි. ඇහුවාට ඇහුවාට හේ එය පිලි නොගනී. ඇන්තිමේ මණිමේඛලා ප්‍රශ්න කිරීම ඇරභුවා ය.

“පුතා අර බයික් එකක ඔයා එක්කම ආවේ කවුද?” මේකී දැක්කා සේ ප්‍රශ්න කරයි.

“ඒ අපේ අයියා ටීච”

“අයියා පුතාව බයික් එකේ දාගෙන ගියා ද?”

“නෑ ටීච”

“ඇදගෙන ගියා ද?”

“නෑ ටීච”

“එතකොට එහෙනම් පිටට අත තියලා තල්ලු කලා නේ ද?”

“ඔව් ටීච එහෙම නම් සපෝට් කලා”

හිකිස්

මැරතන් තරගවල ප්‍රාථමික නීතියක් නම් ධාවකයින් ගේ ශරීරය කිසිදු ආකාරයකින් වටා පිටාවේ අය ස්පර්ශ නොකල යුතු බවයි. ඒවා නියමාකාරව කලින් දිනයේ දී කියා දී තිබියදීත් මේ කර ඇත්තේ නීතියට පිටින් යාමකි. ඉතින් බගලවතී ඉස්කෝලේ හමිනේ ට තම ස්ථාන වලින් 1 ක් අහිමි විය.

“තව නිවාසයක් කහ පාටින් අංක ගහලා ඒක නිසා අපේ නිවාසේ අසාධාරණයක් වුනා. අපේ ළමයින් ගේ නොම්මර වැරදුනත් පාට තිබ්බා නම් අදුනා ගන්න තිබ්බා.”

සංජු ටීච මෙච්චර වෙලා කට වහගෙන හිටියත් මේ අවස්ථාවේදී මල පැන්නේ ය.

“අපිට පුලුවන් ද දම් පාට රෙදි වල කලු පාටින් ලියන්න? අනික සල්ලි නැති නිසා මගේ ගාව තිබ්බ රෙද්දක් අරගෙන අංක ලිව්වේ කලු පාට මාකර් පෙන් එකකින්. ඒවා ගන්න සල්ලි දෙන්නේ කවුද? අනික නිවාසේ පාට රෙදි ගහගෙන ඒකෙන් ළමයි අදුර ගන්න නම් අංක ඕනේ යැ”

මේ අවස්ථාවේ මැද්දට පැන්න මණිමේඛලා හා විදුහල්පති උතුමා ප්‍රශ්නය හමාර

“සංජු ටීච ලාට විතරක් නෙවෙයි හැම නිවාසෙටම සල්ලි ප්‍රශ්නේ තියෙනවා තමා. ඉතින් ඒගොල්ලෝ තියෙන දේවල් පාවිච්චි කරන එකේ වැරැද්දක් නෑ. සල්ලි ප්‍රශ්නය තියෙනවා තමා”

“ මම කිව්වේ පැහැදිලිව අංක ගහන්න කියලා විතරයි. ඔය කහ නිවාසේ එහෙම කිව්වට ඒගොල්ලන්ගේ අංකත් කුරුමිණි අඩු වගේ පැහැදිලි නෑ” ඒ කිව්වේ මණිමේඛලා ය.

හූ හූ

මැරතන් තරගය අවසානයේ දී බගලවතී ඉස්කෝලේ හාමිනේ ගෙ කහ නිවාසය 1 වන ස්ථානයේ ලකුනු 25ක් රැගෙන සිටි අතර සංජු ටීචගේ දම් නිවාසය ලකුනු 20ක් ගෙන දෙවන තැනද  සමන් මලෙන් පවන් සැලේ ගේ රෝස නිවාසය ලකුණු 15 ක් බැගින් ගෙන තෙවන තත්වයේ ද වූහ.

සදුදා ක්‍රිකට් තරග ය. ඉන්පසු දිගටම තවත් ක්‍රීඩා ය. අලුත් ම ස්පෝට් මීට් විස්තර සමග එනතුරු අදට ආයුබෝවන්.

Saturday, January 29, 2011

එලාම් එක



සංජු ට නින්ද නොයෑමේ රෝගය අම්බානක ඇත. ඒ  විද්‍යා පීඨයේදී නිදි මරාගෙන පාඩම් කිරීමට ඇබ්බැහි වීමෙනි. ඉතින් රෑ දෙගොඩ හරිය වන තුරු අනන් මනන් කුරුටු ගමින් දිවි ගෙවන සංජු ට අමාරුම වැඩේ උදේ ට නැගිටීමයි. සංජු ස්වභාවයෙන් ම උදේට නැගිටින්නට  කම්මැලියෙකි. ඉතින් තනිවම බෝඩිමේ ඉන්න සංජුට වෙන අකරතැබ්බ බොහෝ ය. 

ඉස්සර සංජුත් සමග කාමරය බෙදා හදා ගත් වසන්තී ගේ පෙම්වතා හරියට උදේ 5 ට වසන්තී ට කෝල් එකක් දෙයි. ජංගම දුරකතනය තියෙන්නේ කොට්ටය ලග බැවින් එය වදින විට සංජු ට ද ඇහැරේ. ඉවසන්නටම බැරි තැනන් සංජු කොට්ටය වසන්තිගේ කකුල් දෙක පැත්තට දමා නිදන්නට පටන් ගත්තාය. ඇදේ අනික් අතට නිදන්නට සංජු ට පුරුදු වුනේ ඒ සීන් එක නිසා  ය. අදටත් සංජු නිදන්නේ ඇදේ කකුල් දමන අතට ඔළුව තබාගෙනය. 

5 ට කෝල් එකට කතා කරන වසන්තී ට ආයේ නින්ද යන්නේ නැත. ඇය කාමරයේ ඔබ මොබ ඇවිදියි. ලයිට් එක දමයි. දොර ඇරිය විට සංජු ට මලම පනියි. ඒ පලාතේම සීතල සුලං එවිට කාමරයට එන බැවිනි. වසන්තී දොර ඇර දමා නාන කාමරයට යයි. ඒ අස්සේ බෝඩිමේ අක්කා එලියට යන දොර ද අරියි. එවිට  හොර්ටන් තැන්න සිංහල මහ විදුහලට පත් කල කෙනාගේ සනුහරයම සිහි කරමින් සංජු තවත් ගුලි වන්නීය. වැඩේ දෙක වෙන්නේ අනික් කාමරයේ ප්‍රාණීන් 3 දෙනා නැගිටින ශබ්දය ඇසෙන විටය. උන්ගෙන් එකෙකු නන කාමරයට  රිගා ගතහොත් ආයේ එලියට එන්නේ නැත. ගෙදරටම ඇත්තේ එක නාන කාමරයක් බැවින් සංජු අකමැත්තේන් හෝ බිමට අඩිය තබයි. එවිට නැවත මල පනින්නේ කකුල් හෝදාගෙන ආ වසන්තී ගේ තෙත සෙරෙප්පු අඩි කාමරය පුරාම ඇති බැවිනි. 

ඒ සාමන්‍යයෙන් උදෑසනට සංජු ගේ දින චරියාවය. නමුත් කාමරයේ සිටි එකී කසාදයක් කරගෙන ගිය පසු සංජු ට 5 ට එලාම් තියන්නට කෙනෙක් නැති විය.

එයට සංජුට පිහිටට ආවේ සංජු ගේ ජංගම දුරකතනයයි. එහි එලාම් 5ක් එකවර තැබිය හැක. ඒ සමගම එහි යම් යම් පණිවිඩ ද එලාම් එක සමග ඩිස්ප්ලේ වීමට තැබීමට හැක. සංජු මේ සියල්ල පාවිච්චි කරයි. 

මේ සංජු ගේ එලාම් එක සහිත දුරකතනය සතියේ දිනවල උදේට ක්‍රියාත්මක වන ආකාරයයි.

එලාම් අංක 1  - උදේ  6.05 ට “ගුඩ් මෝර්නිං සංජු” 
                        ගීතය “සද සේ බැස නොයා…
                        පබලු නාට්‍යයේ තේමා ගීතය

එලාම් අංක 2 – උදේ  6.10 ට “සංජු බබා නැගිටින්නකෝ”
                        ගීතය “ගිම්හානේ හද නිවුනා” 
                        ඇන්ජලීන් ගුණතිලකේ මහත්මිය ගේ ගීතය

එලාම් අංක 3 – උදේ  6.15 ට “ මේ……! දැන් පරක්කුයි. නැගිටිනවා”  
                        ගීතය “ 138”  සෙන්ටිග්‍රේඩ්ස්

එලාම් අංක 4 – උදේ  6.20 ට “ නැගිටපන් හොද හිතින්” 
                        ගීතය “Down” by Jay Sean

එලාම් අංක 5 – උදේ 6.25 ට “ඈ බොල *** ** දැන් ** උඩ දාගෙන නිදාගෙන 7.30 බස් එක ගිහාම තෝ ඉස්කෝලේ යන්නේ ජෙට් එකේ ද?”
                        ගීතය NFS - MOST WANTED

මේ සින්දු ලිස්ට් එක ඒ ඒ කාලයේ මූඩ් එක අනුව වෙනස් වේ. මොනවා වුණත් මම නම් සිතන්නේ තනියම ඉන්නා බැවින් මේ වගේ මෝඩ ආතල් එකක් ගැනීම උදේට හොද බවය. නැත්නම් තනිකමේ මම මැරී යනු ඇත.

හිරුණ උදාර - නපුරුම නපුරු හදවතේ කොටස



සංජු මේ කියන්න යන්නේ ආදර කතාවත් නම් නොවේ. ටිකක් කල් ගිය කතාවකි.

මේ කතාවේ කතා නායකයා හිරුණ ය. ඒ මගේ පන්තියේ සිසුවෙකි. 6 වන ශ්‍රේණියට එන විට හේ මගේ පන්තියේ කොල්ලන්ගෙන් එකෙකි. මම පන්තිය භාර ගනිද්දී කුමාරි ටීච මට කිව්වේ මේ පන්තියේ තක්කඩියන් සිටින බැවින් ඔලුව බේරාගෙන කටයුතු කරන ලේසයි. මම එය ගනනකට නොගත්තෙමි. 


දෙවන දිනයේ මට පැමිනිල්ලක් ලැබුණි. 


“ටීච ටීච උදාර ජනේලයේ වීදුරුවක් කඩලා.” 

දැන් ඉතින් ගෙන්වා සැලකිල්ලක් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. මම හිරුණව ගෙන්වා ගතිමි.

“කවුද හිරුණ?” 

මේ මමත් පන්තිය භාර ගෙන දින 2 කට පමණ සිදු වූ සිද්ධියකි.
 

කොලු  පැංචෙකු බයේ ගැහෙමින් මා වෙත පැමිනියේ ය. තනිකරම චබ්බෙකි. චබ්බා වීමට අමතරව ඔහු සතුව අපූරු දිදුළන දෑසක් විය. එය කලාතුරකින් කෙනෙකුට පිහිටන ආකාරයෙ විරල සුන්දර දෑසකි.

“තමුසෙ මේ මොනවා කලා කියලා ද මේ චෝදනා එන්නේ?”


“මම මොකුත් කලේ නෑ ටීච!” 


දෑසේ කදුළු පුරවාගෙන කී ඒ වදන් වලට මම හසු වුණෙමි.

“හා හා යනවා පන්තියට. හෙට සල්ලි ගේනවා වීදුරුවක් දාන්න” 


කුමාරි ටීච ඔවුන් ගේ 5 ශ්‍රේණියේ පන්ති භාර ටීච ය. ඇය මා වෙත සමච්චල් සහගත බැල්මක් හෙලුවාය.

“සංජු ටීච…. ඔය තමා පන්තියේ ඉන්න නොම්මර එකේ අමාරුකාරය. ඔහොම සලකලා නම් මදි වෙයි.” 


එදා පටන් හිරුණ ඉස්කෝලේ එන්නෙ කවදාද මට පැමිණිලි විය. සමහර වෙලාවට කුමාරි ටීචම පැමිණ මට සලකා ගැනීමට බැරි ටික සලකා යන්නීය. නමුත් හිරුණ වැඩියෙම්ම බය අනෝමා අක්කාටය. ඒපාසලේ අන් කිසිම ගුරුවරයෙකුට වඩා අනෝමා අක්කගේ සැලකිල්ල වේගවත් සහ මතක හිටින එව්වා බැවිණි. සමහර දිනවලට මම පැමිනීමේ ලේඛනය ලකුණු කර සැනසුම් සුසුම් හෙලමි. “අනේ දෙය්යනේ ඇති යාන්තම් අද හිරුන නෑ”

හිරුණ ගේ තක්කඩිකම් වලින් මට මතකම හිට්ටේ ඔහු දුමේශ් ට පහර දුන් දවසයි. මගේ පන්තියේ කොල්ලෝ මා වෙත දිව විත් “ටීච ටීච උදාර දුමේශ් ට ගහලා. දුමේශ් වැටිලා. හෙල වෙන්නෙවත් නෑ.”

සැනකින් මමත් අනෝමා අක්කත් පහලට දිව ගියෙමු. ළමෝ වටවී කානුවක් දෙස බලා සිටිති. මම ළමුන් එලවා කාණුව දෙස බැලීමි. මල මිනියක් සේ දුමේශ් කාණුවේ වැටී සිටියේය. මේ දුටු මට මේකා මැරිලාවත් දැයි බය සිතුණි. දිව ගොස් මම දුමේශ් ව දෝතින් ඔසවා ගතිමි. කොල්ලා හුස්ම ගන්නා පාටක් ද මට නොපෙනේ. මගේ ඇගම හිටි වැටී ගියේය. මම දුමේශ්ව ඔසවාගෙනම පන්තියකට ගෙන ගොස් ඩෙස් පේලියක් උඩ තැබුවෙමි. 


අනෝමා අක්කා පැමින දුමේශ් ගේ මුහුණේ වතුර ටිකක් තැවරුවාය. ‍යන්තම් කොල්ලා ඇස් ඇරියේ ය. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ ඒ මොහොතේදී ය. ඒ සමගම මට ජීවිතේ කවදාවත් නොගිය තරම් කේන්තියක් ද හිතට ආවේය. ඒ වැරදිලා හෝ මේ කොල්ලාට මොනවා හෝ වුණා නම් යන සිතුවිල්ල ඇතුලු වීමෙනි.

“කෝ හිරුණ? එක්කරගෙන එනවා” 


හිරුන කලේ පැන සිටියේ ය. දුමේශ් ට සිහිසන් නැති වන තුරු පහර දී අද වැඩ වැරදී ඇති බව ඔහුට වැටහී දැන් ඔහු ආගිය අතක් නැත. මම වහාම මගේ බලකායේ කොල්ලෝ ටික කැදෙව්වෙමි. මගේ බලකාය යනු පාසලේ ශිෂ්‍ය නිල මණ්ඩලයයි.

“හිරුණ උදාර කැලේ පැනලා. ඛොහෙන් හරි හොයාගෙන එන්න.”


මගෙ කොල්ලෝ ටික වහා පාසලේ හතර වටින් අතුරුදහන් වූහ. ටිකකින් අසිත් හිරුණ ව කණින් ඇදගෙන පැමිණියේ ය.

“ටීච මූ කැලේ පැනලා හිටියේ අර මාන පදුරු අස්සේ හැංගිලා”


ඒ වන විට හිරුණ අඩමින් සිටි අතර අනෝමා අක්කාට ද මට ද අම්බානක කේන්ති ගොස් තිබුණි. මම කලින් ම අනෝමා අක්කට කියා තිබුනේ “අක්කේ මට නම් ඕකට ගහන්න බෑ ඔයාම බලා ගන්න” කියා ය. හිරුණ ගේ ඇස් දුටු විට මට සියල්ල අමතක වේ. ඒ ලස්සන ඇස් අද තක්කඩි කමක් කලා මදිවාට දිලිසෙමින් හඩා වැටේ.


එදා හිරුණට අනෝමා අක්කගෙන් ජීවිතයේ අමතකම නොවන පාඩමක් ඉගෙන ගන්නට ලැබුණි. අප වඩා බය වුණේ දුමේශ් ට කුමක් හෝ සිදු වේ කියා ය. මක් නිසා ද යත් දුමේශ් සිහිය ලැබීමෙන් පසුව හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුනු බැවිනි. ඒ පපුවට පහර දීම හේතුවෙන් ඇති වූ කම්පනය විය හැක. නමුත් නරක තැනකට වැදී තිබී කොල්ලාට පූර්ණකාලීන අකර්මන්‍ය තාවක් සිදු වුවහොත් කොයි දෙය්යන්ට කියන්න දැයි අපි කල්පනා කලෙමු. හිරුණගේ පහරවල් ඒ තරම් තදින් වැදී තිබුණි. 


කෙසේ හෝ දුමේශ් ද දින දෙකක් විවේක ගෙන පාසලට පැමිණියේ ය. දුමේශ් ද තක්කඩි හොර ගෙඩියෙක් වූ අතර මේ පහර දීමෙන් පසුව මට දුමේශ් ගේ වෙනසක් පෙනුණු. ඒ වෙනදාට වඩා උනන්දුවෙන් වැඩ කරන්නට පටන් ගෙන තිබූ අතර බුද්ධිමත් ලෙස පාඩමට සහභාගි වෙමින් සිටියේ ය. අදටත් දුමේශ් යනු ඒ ආකාරයෙන් වැඩ කරගෙන යන කොලුවෙකි. හිරුණගේ ගුටිය වැදී ඇත්තේ දුමේශ් ගේ නරක තැනක නොව හොද තැනකය. 

තව විශේශ දෙයක් ඇත. ඒ මොන තක්කඩි කම කලත් හිරුණගේ අම්මා හෝ තාත්තා කිසිම කිසි දිනෙක ඉස්කෝලයේ පස් පෑගීමට නොපැමිණීමයි. හිරුණ යනු පන්තියේ වැඩට දක්ශ සිසුවෙක් වූ අතර ඔහු මෙවන් ප්‍රචණ්ඩ කොල්ලෙකු වූයේ කෙසේදැයි මම වටින් පිටින් විපරම් කර බැලීමි.

හිරුණගේ මව රට ගොස් ය. නමුත් තවත් ටිකක් වැඩිපුර විපරම් කර බැලූ විට ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ ජීවත් වූවාය. ඒපවුලේ අනික් සාමජිකයින් සමගය. පියා සමග සිටියේ හිරුණ පමණි. ඔහුට හිරුණ ගැන සොයා බැලීමට වඩා සෙවීමට එලවළු වගාවක් විය. බොහෝ දිනවල හිරුන අපිරිසිදු ඇදුම් ඇන්ද අතර ඒවා සෝදන පාටක් ද නොවීය. 


කොලු පැංචා අම්මගෙන් හා තාත්තාගෙන් නොලැබෙන ආදරය සොයා ප්‍රචණ්ඩ වී ඇත. එදා පටන් මම ඔහු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූයෙමි. තක්කඩි වැඩක් කර පැමිණි විට මම අනික් උන් පන්නා හිරුණට දිග බණ දේශනාවක් දී මුදා හරිමි. ඒමගේ ආදරයත් පෙන්වා බටර් තලියක් ඇතිල්ලීමෙන් ද අනතුරුවයි. නමුත් මෙවරද මගේ උත්සාහය වතුරේ ගියේ ය. ළමයාගේ පියා ළමයා  කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වීය. මම යැවූ පණිවිඩ සිය ගනනින් එකකටවත් ඔහුගෙන් ප්‍රතිචාර නැත. එක් දිනක් ඔහු මා හිටගෙන සිටි බසයේ එල්ලුන නමුත් මා හිරුණගේ ටීච යැයි දැන ගත් සැනින් අතුරුදහන් විය. තම දරුවාට නැති අවධානයක් ඔහුට මා දුටු විට පහල විය. එහෙමත් තාත්තලා මේ රටේ සිටියි. 


හදිසියේම හිරුණගේ මව පාසලේ ප්‍රාදූර්භූත වූවාය. මම ඇයට හොදවායින් දෙකක් කියා ඇයි ආවේ යැයි ඇසීමි.

“ටීච පුතාව අස් කරගෙන වෙන්නපුවේ ගෙනියන්න” 


මගේ හදවත කඩා වැටෙන්නාක් මෙන් මට දැනින. සොදුරු දෑස් ඇත්තා ද මා හැර ගොස් ය. කෙතරම් තක්කඩියෙක් වුවත් මම හිරුනට අසීමිතව ආදරය කලෙමි. ඒ අර දිලිසෙන දෑස් වලට සහ වෙලාවකට හොද වන ඔහුගේ ගතිගුණ වලටයි. ඔහු දක්ෂ දරුවෙකි. නමුත් දෙමාපියන්ගේ වැරදි නිසා ඔහු නොමග ගොස් ඇත. දැන්වත් ඔහු හොද දරුවෙක් වේ යැයි මම සිතමි. ඒ ඔහුගේ අම්මා ඔහු අසල බැවිනි.

නිලූෂ ගෙන් පටන් ගත් මගේ කොල්ලෝ මා හැර යාම නැවත සිදු විය. නිලූෂ, ඩිලාන්, ඩිල්ශාන්, අනාස් ගෙන් පසුව හිරුණද මා හැර ගොස් ය. දැන් මගේ පන්තියේ සිටින්නේ කොල්ලෝ 13ක් පමනි. තව කොල්ලෝ 2ක් පාසැලෙන් අස් වී ගියහොත් පන්ත්යේ සිටින කෙල්ලන් විසි දෙදෙනාට දෙන්නා බැගින් එක්වී එක කොල්ලෙකුට වශයෙන් පන්තියේ ම සිටින කොල්ලෝ ටිකට පහර දිය හැකි යැයි මම දැන් පන්තියේ කොල්ලෝ ටිකට විහිළු කරමි. අසරණ කොල්ලෝ ටික එවිට පන්තියේ  ඔළු ගාන ගනන් කර සුසුම් හෙලති. ඔවුන් හා සමගම ඔවුන් ට නොපෙනී මම ද සුසුම් හෙලමි. සොදුරු මතකයන් එක එක අතීතයට එක් වෙද්දී මේ ජීවිතය යැයි සිතා සිත හදා ගන්නවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් මට නැත.

ස්පෝට්මීට් කතා 1 - ක්‍රීඩා උත්සවයේ ගුරු මණ්ඩලයේ තරගය


ඔන්න ඉතින් අපේ ඉස්කෝලයේ ක්‍රීඩා උත්සවය සුභ මොහොතින් ආරම්භ විය. අපේ ක්‍රීඩා ගුරුතුමී වන මණිමේඛලාට ප්‍රශ්නයක් ඇති විය. ඒ ගුරු මණ්ඩලයේ තරගය ලෙස පවත්වන්නේ කුමක් ද යන්නයි. වෙලාව  ඉන්ටවල් එක බැවින් ද සියළු දෙනා ගුරු කාමරයේ සිටි බැවින් එක එක්කෙනා අදහස් දක්වන්නට පටන් ගත්හ.

“අපි ගුරු මණ්ඩලයේ විකට ඇදුම් තරගයක් තියමු”
එයට උත්තර දුන්නේ අපේ සංගීත ටීච ය. “එදාට ඉතින් අපි කලබලෙන් පාන්දර ඇදගෙන අවිල්ලා දගලලා හවසට කොහොමත් විකට තමා.” ඒ අදහස එතනින් හමාර විය.

“අපි ටීචලාට රේස් එකක් තියමු”

“යකෝ ඒගාව දවසේ අපෙ රෑඅස් එකේ පින්තූරේ පත්තරේ තියෙයි ටීචලා අසභ්‍ය විදියට සාරි උස්සගෙන දිව්වා කියලා”
ඒ තරගය ද හමාරය.

“එහෙනම් ටීචලාගේ තරගයක් තියමු බෝතලයට වතුර පිරවීම. නිවාස වලට බෙදිලා. ළමයිනුත් හොදට සපෝට් කරයි”
එවිට මැද්දට පැන්නේ අපේ මල්ලී චානක ය.

“අපෝ අර 3 වසරේ ළමයින් ගේ තරගෙත් ඒක නේද? “
ඒකත් කොට උඩ ගියේ ය. සංජු ටීච අසාමාන්‍ය ලෙස නිහඩය. කට්ටියට මේක පුශ්නයකි.

“සංජු ටීච කියන්නකෝ බලන්න ඔයාගේ අදහස්….. ඔයාට හොද අදහස් තියෙනවනේ”

“අනේ මන්දා මගේ අදහස් වලට ඕගොල්ලෝ කැමති වේද මන්දා”

“කියන්නකෝ බලන්න ඉතින්” කට්ටියම පෙරැත්ත කරති. සංජු ටීච මණිමේඛලාට ඇසක් ගැසුවාය.

“අපි ගුරු මණ්ඩලයට තියමු දිය යටින් ගින්දර් ගෙන යාමේ තරගයක්”
අලුතින් පැමිණි කෙල්ලෝ ටිකට හා සංජු ටීචගේ  හැටි දන්න අයට බකස් ගා හිනා ගියේ ය.

“හරි නැද්ද ඒක? එහෙනම් ගුරු මණ්ඩලයේ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ තරගයක් තියමු. හැබැයි ඉතින් ඒ තරගේ තිබ්බොත් මේකෙ දිනන්නේ එක්කෙනයි අපි ඔක්කොටම ඉන්න වෙන්නෙ බෙල්ල නැතුවයි” සංජු ටීච ඇගට පතට නොදැනී කියා දැම්මාය. සියල්ලෝ ම කොක් හඩ ඩී සිනා සෙති. කතාවට අදාල තොප්පිය කියන්නත් කලින්ම තමා විසින් ම හිස ලා ගත් බගලවති ඉස්කෝලේ හාමිනේ සහ ඇයගේ නැට්ට වන ශා කවී ටීච සස් බස් ගා වාශ්ප වූහ.

ඇත්තටම සංජු ටීච ඒ දීලා ඇද්දේ ඒ දෙන්නාටමය. දෙන්නාම නියමෙට තොප්පිය පිටින් හිසේ දා ගත් හ. ඉතින් මම මක් කොරන්ට යැ…! කොකාට වාර ගොඩක් ආ විට තිත්තයාට එන එක වාරයෙන් තිත්තයා මොනවා හරි කරන්නත් එපායැ

Friday, January 28, 2011

මගේ කට


ලෝකයේ පහල වන සියලුම සතුන්ට මෙන් මට ද කටක් තිබේ. 

පොඩි කාලයේ මම කුකුල් කේන්තිකාරියක්මි. ඒ වගේම කොහෙන්දෝ අහුලා ගත්  අති සුද්ද සිංහල වාග් මාලාවක් ද එකල මට විය. එයින් අපේ පවුලේ අය පත් වූ අපහසුතා අපමණය.

අපේ නැන්දා විවාහ වී ඉස්සෙල්ලාම මහ ගෙදර පැමිණි පසු අපිට අළුත් නෑදෑයෙකු එක විය. ඒ නැන්දාගේ මාමා ය. එක් දිනක් නැන්දා මට දොඩම් යුෂ වීදුරුවක් දී එය මාමාට දෙන ලෙස පැවසුවාය. එකල මගේ වයස අවුරුදු 3ක් පමණ වී යැයි අම්මලා පවසති.

අළුත් මාමා සොයා යන විට ඔහු සාලයේ පුටුවක් මත වැතිර පත්තරයක් බලමින් සිටියේ ය. දොඩම් වීදුරුවද ගෙන අළුත් මාමා අසලට ගිය මම “ඉදා මේක බීපිය” කියා මාමාට දොඩම් වීදුරු ව දී පැමිණ ඇත. හොල්මන් වූ මාමා නැන්දා සොයා ගොස් මගේ කෙරුවාව පිලිබද දැනගෙන ඇත.

එක දිනක් අපේ අසරණ බාප්පා ද මගේ කට නිසා මේ වන් අමාරුවක වැටුනේ ය. මා ගස මුල තබා හේ වෙරළු ගසට නැග සිටින විට මට ඈත ඔහුගේ යාලුවෙක් එනු පෙනුනේලු. බාප්පාගේ යහලුවන් ඒ කාලයේ විනෝදාංශය වශයෙන් කොට ඇත්තේ මගේ කට අවුස්ස ගැනීමයි. ඉතින් මොහු එනු දුටු මම, “අඩෝ තිලකයෝ බැහැපන් බං බිමට. ඇන්න අරූ එනවා” යැයි මහ හයියෙන් පැවසීලු. ගස මුදුනේ සිටි අපේ බාප්පා ගසින් වැටී ඇති අතර ඉන් පසු හේ මගේ කට තදකරගෙන මා කිහිල්ලේ ගසාගෙන ගෙට දිව්වේ ලු. වෙලාවට ඒ කතාව ඇසුණෙකු නොවීලු.

හොදම සිද්ධිය වී ඇත්තේ අපේ අම්මාට හා තාත්තාට ය. අපේ මල්ලී උපන් පසු ඔහු බැලීම සදහා අම්මාගේ ඔෆිස් එකේ කටිට්ය ගෙදරට පැමිණ තිබේ. ඉතින් සිරිත්  පරිදි ඔවුන් ට තේ පැන් සංග්‍රහයක් පවත්වා ඇත. දැන් ඉතින් අමුත්තන්ට තේ මේසයේය. ඔවුන් බොන්නේද නැතිලු. මම ඒ වටා කැරකෙමින් සිටියාලු. එකවරම මම මහ හයියෙන් “බලාගෙන ඉන්නෙ මොකද තේ බීපල්ලා” යැයි පවසා ඇත. ඉතින් අපේ අම්මා හා තාත්තා එදා හිනා වුනා ද නැත්නම් ඇඩුවාද දන්නේ ඔවුන් දෙදෙනාම පමණි.

එදයින් පසු වයසින් වැඩුණු මගේ කට සෑහෙන්න අඩු වී ගියේ ය. අපේ අම්මාගේ පියා හෙවත් මගේ අත්තාට මම එකල අමතා ඇත්තේ “ලොකු අයියා” ලෙසයි. ඒ ඔහු පවුලේ වැඩිමලා නිසා අන් සියළුම දෙනා ඔහුට ලොකු අයියා ලෙස අමතනු ඇසීමයි. ඔහු කිසි දිනෙක මට ඒ ආමන්ත්‍රණය වෙනස් කරන ලෙස පවසා නැත. මම අසනීප වී දිනක් ඔහු මා ඔසවාගෙන ගිය දිනෙක මම ඔහුට ප්‍රථම වරට ලොකු අත්තා යැයි ඇමතීමි. ඒ අය්යා කෙනෙකුට වඩා අපරිමිත සෙනෙහසක් මට ඔහුගෙන් දැණුනු බැවිනි. ඒ සිද්ධිය නම් මට තවම හොදට මතකය.

ඒ කාලයෙන් පසුව මගේ කට හොදටම අඩු විය. මම අතිශය නිශ්ශබ්ද ළමයෙක් වීමි.  පාසලේ දි මම අතිශය නිශ්ශබ්ද සිසුවියක් වීමි. සමහර දිනවල පියා ගෙදර පැමිණ මට බැන වදින්නේ මම කතා නොකරනවා කියා ය. මගේ කට අඩු වීමට හේතු වූයේ මම පොත් කාවෙකු වීමත් කවි ලිවීමට ඇබ්බැහි වීමත් ය. කවි පමණක් නොව එකල අසු වන හැම එකක්ම කියවීමටත් ලිවීමටත් මම ඇබ්බැහි වුනෙමි. එයින් මගේ කතාව අඩු වූ නමුත් ලිවීමේ හැකියාව උපරිම තලයකට පැමිණි අතර මතක ශක්තිය ද අදට වඩා වැඩි විය.

අසරණ මම අමාරුවේ වැටෙන්නේ ගුරු ශිෂ්‍යාවක ලෙස පත්වීම් ලැබීමෙන් පසුවය.
මගේ පළවෙනි වැරැද්ද ලෙස මට කමෙන්ට් එකක් හම්බ වෙන්නේ අපේ කථිකාචාර්ය වරයෙකුගෙනි.

“නොට් ඔඩිබල් ඉනෆ්. ස්ටුඩෙන්ට්ස් ඇට් ද බැක් ඩිඩ්න්ට් හියර් යූ”

දැන් සනීපය. ප්‍රායෝගික පරීක්ශණ වලදී ලකුණු කැපෙන්නට හේතුවක් ඇත.

එදා පටන් මම මගේ කට හඩ ශක්තිමත් වීම සදහා ශබ්ද නගා කතා කලෙමි. අපේ ගොඩ දෙනෙකුට විද්‍යා පීඨයේ දී මේ ප්‍රශ්නය නිසා වැල්මී බෝතල් පිටින් ගිල දමන්නට සිදු විය. මට ද අත් වූයේ ඒ ආනිශංශයමය. ශබ්ද නගා කතා කර ඉන් පසු වැල්මී බෝතලයෙන් මූඩි 2ක් බී හවසට කහිමින් සිටීම මාස 6ක් පමණ සිදු විය. නමුත් එයින් ශබ්දය යම් තාක් දුරකට වැඩි කර ගැනීමට මට හැකි විය.

මගේ කටහඩ උපරිම තලයට පැමිණියේ හොර්ටන් තැන්න සිංහල මහ විදුහලට පැමිණි පසුවයි. කොල්ලන් 20ක් පමණ පරයා කතා කිරීමේ අවශ්‍යතාවය මට ඇති විය. දෙය්යනේ කියා දැන් මට ඕනෑම තැනක වීදුරු ගැලවී යන තරම් වේගවත් ව හා ශබ්දයකින් කතා කරන්නට හැකිය. විහාගය කිට්ටු වී මම 11 ශ්‍රේණියට වේගවත් බණ දේශනා දෙන විට එහා පන්ති වල ගුරුවරු ඉගැන්වීම නවත්වා මගේ දේශනාව අසා සිටින බව මට පැවසුවේ අනෝමා අක්කාය. 

ඊයේ පෙරේදා අපේ ඉස්කෝලයට අලුතින් පැමිණි නිරංජලා ප්‍රථම වරට 10 පන්තියට ගියා ය. එවිට මා සිටියේ අල්ලපු පන්තිය වන මගේ 8 වසරේ ය. 8 වසරේ අයට අවුරුදු 2ක් කියා දීත් 3 වන අවුරුද්ද මුලදීම අමතක කල දෙයක් නිසා එක වරම මම මහ හයියෙන් පන්තියට සද්දක් දැම්මෙමි. එක වරම මට මතක් වුණේ අල්ලපු පන්තියේ සිටින නවක ගුරුවරියයි. මම වහා ඇය දෙස බැලුවෙමි. ඈ වැඩ නවතා මා දෙස කට ඇරගෙන බලා සිටියාය. පසුව මම ඇයට වෙච්ච දේ පැහැදිලි කලෙමි. සිනාසී ඈ කිව්වේ අක්කේ අපිටත් ඔහොම වේද මන්දා කියා ය. තවම ඇය යහතින් සිටියි.නමුත් වෙනදාට වඩා ඇයගේ ශබ්දය වැඩි වී ඇති බව නම් මට වැටහේ.

මේ ද ගුරු කමේ තවත් එක අතුරු ආබාධයකි. මගේ කටේ සද්දය වැඩි යැයි සිතා  මම පසුගිය වසර දෙකක් පුරා ගෙදර පැමිණි පසු කතා කිරීම සහමුලින්ම අතහැර දැමුවෙමි. නැවත් තත්තා මගේ ඇගට ගොඩ වෙන්නට පටන් ගත්තේ කතා කරන්නේ නැත්තේ මොකද තරහා වෙලා ද? අසමිනි. කෝල් දෙන යහලුවෝ බැන වදිති. “යකෝ ඇහෙන්න කතා කරපිය. මොනාද ඔය කුටු කුටු  ගාන්නේ?” ඒ මොනවා වුණත් මට නම් සිතෙන්නේ කට අඩු කර ගැනීම ඇගට ගුණදායක බවය.

Wednesday, January 19, 2011

ROCK ශ්‍රී ලංකා!


සංජු සින්දු අහන්නට මල පෙරේතියකි. නමුත් සංජු ගේ සිංදු ඇසීමෙන් වැඩිපුරම කරදර සිද්ධ වන්නේ සංජු ගේ තාත්තාටය. ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න සිතාගෙන සිටිමි. 

සංජු අහන්නේ තාත්තාට අනුව නම් එලොවටත් මෙලොවටත් නැති සින්දු ය. ඒත් සංජු ට අහන්න ප්‍රියතම ගීත ගණනාවක් තිබේ. බොහෝ විට ඒවා ලයාන්විත සංගීතයක් සහිත සෙමෙන් ගයන ගීතය. පොප් සංගීතය, ආර් ඇන්ඩ් බී සංජු ගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන වර්ග ය. ලංකාවේ වේවා පිටරට හෝ වේවා නැත්නම් එලොව සින්දුවක් වුනත් සංජු ට හිතට ඇල්ලුවොත් කට පාඩම් වෙන තුරු අසයි.  

 මේ මොනවා ඇහුවත් සංජු ගේ ලිස්ට් එකෙ නැති ඒවා ද තිබේ. සංජුට පෙන්නන්නටම බැරි වර්ගය නම් රොක් ය. ටින් කබල් ගනනාවකට පහර දෙමින් යටි ගිරියෙන් බෙරිහන් දෙමින් කියන මේ රොක් සංජු ට ඇලජික් ය. 

හැබැයි ලගදී සිට සංජු ගේ මේ හැසිරීම වෙනස් විය. රොක් ගීයක් ප්‍රියතම ගී අතරට එකතු කර ගත්තාය. ඒ ගීතය අසන විට සංජු ට අනික් සියලුම සින්දු එපා වෙයි. ඒ තරම් සුන්දර රොක් සින්දුවකි. ඒ සොදුරු බව ඔබත් සමග විදින්නට සංජු කැමතිය. ඉතින් මේ ගීතය ඔබටයි. 

මේ ගීතයද සංජු ගේ හදවත දවා අළු කල සින්දුවකි. නමුත් සංජු ඒ වේදනාව නැවත නැවත් විදිමින් මේ ගීය අසන්නීය. විටෙක උග්‍ර වේදනාවද වේදනාවට ඔසුවකි. 


ඒකපාර්ශවීය ප්‍රේමය


හැමදාම රිදව රිදවා
මට වද දෙන ආදරේ
ආයෙත් අතරමං වෙන්න හදනවා
කොහේදෝ නොදන්නා ඉසව්වක

ඔය ඇස් වලට වශී වී
ඔය සිනහව හදේ හංගා
පෙම් කලේ නෑ මම
කවදාවත්ම ඔබට

සිහිනෙන්වත් විමසන්න එපා
අසරණයි පිළිතුරක් නෑ මට
නොදැක්ක නොදන්න ඔබට
ආදරේ කලා මම

කවියක් නොවූවත් ඔබේ ඔය ජීවිතය
ඔය කවියක් වන් සිත මා හද සොරකම් කර
ඔය පතුල පෙනෙන හදවත මගේ ප්‍රේමයත් සොරාගෙන
මුලා කර මා ඔය අවංකම සුවදින්

කොහොම කියන්නද මම ඔබට
මගෙන් හරි දුරයි ඔබ
ගුණයෙන් පිරි මුත් රුවයෙන් අඩු 
ඔබේ ඇසට අසු නොවනා
අසරණ පුංචි හිතක් එක්ක 
තනි වුණ කෙල්ලක් මම








Monday, January 17, 2011

ටීච ගේ බබා



අද ලියන්න හදන්නේ ටීච කෙනෙක් වෙච්ච නිසාම මුහුණ දෙන්න වෙන අපූරුඅත්දැකීමක් ගැන. මේවා අපේ ප්‍රසන්න මල්ලි, මාර අයියා එහෙම ලියලා තියෙන ටීචලාගේ දුවලා සම්බනධ කතා කියවද්දි තමා මත වුණේ. ඒ නිසා අමතක වෙන්න කලින් ලියන්න හිතුවා. 

ඉතින් ඔය ගොඩක් ටීචලා තමන්ගේ බබා ව තමන් ඉන්න ඉස්කෝලෙටම දා ගන්නවනේ. ඒ ඉතින් ළමයාව ඉස්කෝලෙ ගෙනියන්න එක්කරගෙන එන්න තියෙන පහසුවට, ළමයා ඉස්කෝලේ ඇරිලා තමන් ගෙදර එනකල් තියන්න තැනක් නොමැති වීම වගේ ම ළමයාගේ අධ්‍යාපනයට නිරන්තරව ඇගිලි ගසා ඒකාව 5 වසරේ සිස්සත්ත විභාගයෙන් හොදින් හෝ නරකින් ගොඩ යවා ගන්න එක තමා මේ ටීච අම්මලාගේ පරම පිවිතුරු චේතනාව.  

මම දැන් ඉන්න තක්සලාවේ එහෙම ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුගෙ පුතා හිටියේ මම එහෙ යනකොට 2 ශ්‍රේණියේ. මට කොල්ලගේ නම නම් මතක නෑ. අහ්හ් හලි හලි මතක් වුණා භානු තමා නම. ඉතින් මේ භානු හිටියේ අම්මා ලගමයි. පන්තියේ නෙවෙයි. භානුට කවුරු හරි සත්තමක් දැම්මද භානු අම්මට කියනවා සත්තම දාපු එකාට අම්මගෙන් ගුටි. භානු කෙලින්ම නඩුව ගෙනියන්නෙ අම්මට. අම්මා ටීචත් ඉතින් හොයන්නේ බලන්නේ නැතුව අනික් ළමයට පාර දෙනවා. මේ කේස් වලට වඩියෙන්ම අහු වුනේ ඒ පන්තියේම තව චණ්ඩි පොඩ්ඩෙක් වෙන රසාංග. ටීච අම්මගේ ගුටියට ලක්වෙන රසාංග ව හොරෙන් ගෙනියලා සනසන්නේ අපි.  

හැබැයි භානු ට වැඩේ ටිකක් වැරදෙන්න ගත්තේමම 3 වසර දි ඉංග්‍රීසි උගන්නන්න ඒ පන්තියට ගියාම. මට 40 ම එකයි. භානු ට වගේ අමතක වෙච්ච දේවල් ඉල්ලගෙන එන්න අනික් ළමයින් අම්මා ගාවට දුවන්න බෑ නෙ. ඉතින් දවසක් මම කතුරු ගම් බෝතල් ගේන්න කියලා මූට අමතක වෙලා. ඔන්න අම්මා ගාවට දුවන්න ලැස්තිය. මම කනෙන් අල්ලලා ඉන්දවලා අනික් ළමයින් ට සලකපු විදියටම සැලකුවා. 

ඔන්න මම ඒ වැඩ ඉවර වෙලා ඉන්ටවල් එක වෙලාවේදි ගුරු කාමරය පැත්තට යනකොට ගෘහ විද්‍යාගාරය පැත්තෙන් ඇහෙනවා කුනු කුනුවක්. මම ඒක අහන්න බලාපොරොත්තුවෙන්මයි හිටියෙ. මම ඉතින් කණ දීගෙන හිටියා.  

"අම්මී ඉංග්‍රීසි ටීචට ආයෙ එන්න එපා කියන්න අම්මි එයා හරි සැරයි"  

"එහෙම බෑ නෙ පුතේ ටීච උගන්නන්න එන්න එපායෙ"

"හරි ආවට කමක් නෑ මට එහෙනම් ඒ වෙලාවට අම්මි ගාව ඉන්න ඕනි" 

"එහෙමත් බෑ නෙ මගෙ පුතේ එතකොට පුතා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ?"

"එහෙනම් ටීචට කියන්න මට අනික් ළමයින් ට වගේ සැර කරන්න එපා කියලා මම ටීච කෙනෙක් ගෙ පුතෙක් නේ"

මමත් ඉතින් බලාගෙන හිටියා හිටියා අපේ සහෝදරී ඇවිල්ලා ඕක මට කියනකල්. එයා පැත්ත පලාතේ ආවෙ නෑ ඕක මට කියන්න. කිව්වොත් මගෙන් දසරාජ ධර්මය එක්ක දේශනාවක් අහ ගන්න වෙන බව එයා දැනගෙන හිටියා.  මොකද ඔය ගොන් වැඩ කලා උණාට එයා හරිම හොද ටීච කෙනෙක්. මගේ හොද යාළුවෙක්.

ඊගාව කතාව බගලවතී ඉස්කෝලෙ හාමිනේ ගේ බබාල ගැන. එක්කෙනෙක් හිටියේ 10 වසරේ අනික් එක්කෙනා හිටියේ භානු ගෙ පන්තියේ. 

10 වසරේ හිටිය එක්කෙනා නම් ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්. ඒත් අම්මාගේ තියෙන නැහැදිච්ච ගතිය නිසා ඒ ළමයාට උනත් ගුරුවරුන් ගෙන් හොදක් අහන්න උනේ නෑ. බගලවතී ඉස්කෝලෙ හාමිනේ හැම වෙලාවෙම උත්සහ කලේ ඒ පන්තියේ හොදට වැඩ කරන අනික් ළමයින් ව මානසිකව වට්ටන්න. ඉතින් ඒකට අපිත් වෙලාව හම්බ උනාම රිටර්න් එක දීල තියෙනවා. ඒවා කිව්වොත් මටයි කට්ටියගෙන් බැනුම් අහන්න වෙන්නේ. ඒක නිසා අහන්න එපා ඇහුවත් කියන්නේත් නෑ. :)

ඉතින් ඔයාල දන්නව ඇතිනේ 11 වසරේදි කෘෂිකර්මය කරන ළමයි බීජ පෙට්ටියක් හදන්න ඕනි නේ ප්‍රායෝගික වලට. ඒ අවුරුද්දේ 11 වසරෙ ළමයින් ගේ ප්‍රායෝගික ඉවර වුණා විතරයි මෙන්න එනවා බගලවතී ඉස්කෝලෙ හාමිනේ දුවගෙන.  

"සංජු ටීච බීජ පෙට්ටි ආපහු ළමයින් ට දුන්න ද?"
"නෑ බගලවතී ටීච, ඇයි?"
"එහෙනම් යෙශාන් ගේ බීජ පෙට්ටිය මට දෙන්නකෝ. අපේ කෙල්ල ආයේ අලුතින් එකක හදන්නේ මොකටද මේක තියෙද්දි අපරාදෙනේ විසි කරලා දාන එකනේ"  

ඒ වෙලාවේ මගෙ කටට ආවා මාර දෙයක් මම කිව්වෙ නෑ කට වහගෙන බීජ පෙට්ටිය දුන්නා. මේ වෙනකොට කෘෂිකර්මය කරපු ටීච ප්‍රසූත නිවාඩු ගිහින් හිටියේ. අපි එයාට කතා කරලා විස්තරේ කිව්වා. එයාගෙ නියෝගය වුනේ වහාම බීජ පෙට්ටි ටික ආයේ එකතු කරලා එයාගේ කබඩ් එකට දාලා වහන්න කිව්ව එකයි. අපිත් ඉතින් පැනලා බීජ පෙට්ටි ටික එකතු කලා.  බීජ ටික කුණු වෙලා ගියත් වෙන ළමයෙකු ගේ මහන්සියෙන් තව කෙනෙක් නිකන් ලකුණු දා ගන්නවට ඇත්තටම අපි කැමති නෑ. 

ඊගාවට බගලවතී ටීචගේ පොඩි දුව. එයා තමා භානුගේ පන්තියේ ඉන්නේ.  

ඉතින් මේ කෙල්ල අම්ම ටීච නිසා ඕනි වෙලාවක ගුරු කාමරේ අස්සේ රිංගනවා. ඒක අපිට හරිම ඇණයක්. ඇවිල්ලා අපෙන් අහනවා "අපේ අම්මව දැක්කද?" කියලා. එක දවසක් මගෙන් එහෙම අහලා මම කිව්වා "ඔයාගෙ අම්මා කොහෙද මෙහෙ ඉන්නේ? මේකෙ ඉන්නේ ටීචලා විතරයි ඔයා කොයි ටීච ගැනද අහන්නේ?" කියල. කෙල්ල වාශ්ප වුනා ඊට පස්සෙ මගෙත් එක්ක නෝ කතා. 

එයත් භානු වගේ ම අම්මගේ පට්ටමෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අනික් අය එයාට අනික් ළමයින් ට වඩා විශේෂයක් කරලා සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නැති උණාම අම්මා ගාවට ගිහින් බොරු හේතුවක් කියලා ගුරු කාමරේ දෙදරන්න කෑ ගහලා අඩනවා. දැන් එයා ඉන්නේ 5 වසරේ. ඒත් තාම ඒ විදියමයි. 

තව කතාවක් තියෙනවා. මේක සිද්ධ උනේ මම සීමාවාසික පුහුණුවේ හිටිය පළවෙනි ඉස්කෝලෙදි. ඒ ඉස්කෝලෙ පේරාදෙණියේ තියෙන විශ්ව විද්‍යාලය කියන වචනෙට සමාන වචනෙකුයි මල් වත්තට කියන සමාන පදයකුයි එකතු කරලා නම දාලා තියෙන ඉස්කෝලයක්.

ඒකෙදි මම ඉගැන්නුවා 4 වසර පන්තියකට. ඒ පන්තියේ ටීච ටත් පෙට් කෙනෙක් හිටියා පන්තියේ. ගෑණු ළමයෙක්. එයා වැඩටත් දක්ෂයි. 

දවසක් මම ඒ පන්තියට ගියා ඉන්ටවල් එක වෙලාවෙදි මොනවා හරි දෙයක් අහන්න. මම ඒ ටීචත් එක්ක පන්තියේ කතා කර කර ඉන්න අතරේ ඒ පන්තියේ ඉන්න කොලුවෙක් ආවා ඒ ටීච ගාවට. අවිල්ල "මැඩම් මගේ කෑම එක දෙනවද?" (අරෙහෙ ටීච මෙහෙ මැඩම් වුනේ එක එක පලාතේ ගුරුවරියන්ට ආමන්ත්‍රණය කරන විදිය වෙනස් නිසා. පානදුරේ මම හිටිය ඉස්කෝලෙදි ළමයි කිව්වෙ මිස් කියලා) ඇහුවා. ඒ ටීච ටක් ගාල එයාගේ බැග් එකේ තිබිලා කෑම එකක් අර ළමයට දුන්නා. කොලු පැටියත් ඒක අරගෙන ගිහින් කන්න පටන් ගත්තා. 

මම ඇහුවා "එයාගෙ කෑම එක අමතක වෙලා අම්ම ගෙනත් දුන්නා ද?" කියලා.ඒ ටීච පොඩි හිනාවක් දාල කිව්වා "ඒ මගේ පුතා" කියලා. 

මගෙ ඔලුව ටිකක් විතර කචල් උණා ඒක අහලා. වෙන ටීචලා තමන්ගේ දරුවට ඉස්කෝලේ දාගෙන සලකන විදියයි මේ ටීච සලකන විදියයි අහසට පොළව වගේ. හරිම පුදුමයි.  මේ කොල්ල ඉන්නෙත් පන්තියේ මුල්ලක. ඒ තරම් දක්ෂ දරුවෙකුත් නෙවෙයි. හැබැයි ඉගෙන ගන්න පුළුවන්. මම ටිකක් ඇහැ ගහගෙන හිටියා මේ අම්මගෙයි පුතාගෙයි සම්බන්ධෙ ගැන. අම්මා මේ පුතාගේ අත ඉස්කෝලේ ගේට්ටුව ගාවදි අත හරිනවා. ඈ නැවත ඒ අත අල්ලා ගන්නේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවහමයි. ඒ අතර තුර කාලයේදි ඒ දෙන්නාගේ තියෙන්නේ ගුරු ගෝල සම්බන්ධයක් විතරමයි. ඒත් ඇයත් අම්මා කෙනෙක් නේ. දරුවාගේ බර ටිකක් හරි අඩු කරන්න ඇය කෑම එක පමනක් ඇයගේ බෑගයේ දාගෙන එනවා. ඒක ඉල්ලන්න ආව වෙලාවක මමත් එතන ඉදලා තමා මේ වැඩේ මට මීටර් උනේ. නැත්නම් අදටත් මම මේ ගැන දන්නේ නෑ.

මේවායෙන් සංජු නම් ඉගෙන ගත්තේ එකම එක පාඩමයි. සංජුගේ බබා නම් කවරදාකවත් සංජු යන ඉස්කෝලේටම යන්න වාසනා කර නැති බබෙක් බවයි. ඒක බබාටත් සංජු ටත් දෙන්නාටම හොදය. සංජු ටත් වඩා ඒක බබා ට හොද වෙන්නේ බබා ස්වාධීන පුද්ගලයෙකු ලෙස හැදෙන එක බබාට ඉතා හොද බැවිනි. 

Sunday, January 16, 2011

ගුරු රැස්වීම සහ කරුණු 30


අපේ විදුහල්පතු උතුමා මාර නිර්මාණශීලීය. ඔහු සිතාගෙන සිටින්නේ ඔහු තරම් බුද්ධිමත් නිර්මාණශීලි  විදුහල්පති කෙනෙකු මුළු මධ්‍යම පළාතටම නැත කියාය. ඇත්තටම ඔහු නිර්මාණශීලීය. ඒ හැරී පොටර් වැනි කතා ලිවීමට මිස පාසලක් පරිපාලනය සදහා නොවේ. අපේ කරුමය නම් ඔහු එය නොදන්නා කමයි.

2011 වසර පටන් ගත් දිනම හේ ගුරු රැස්වීමක් කැදෙව්වේ ය. එය ආරම්භ උනේ දවල් 11 ට ය. 2 ට පාසල ඇරීමට සීනුව ගැසූ නිසා එය අවසන් කිරීමට සිදු වුණ නිසා හැර පුලුවන් කමක් තිබ්බා නම් හේ එය රාත්‍රිය වන තුරුම කරගෙන යන්නට ආසා ඇත්තෙකි.

අපේ ඉස්කෝලේ ගුරු රැස්වීම් යනු තනිකරම වලි ය. එම නිසා ගුරු රැස්වීම්, පාසල් සංවර්ධන සමිති රැස්වීම් සංජු ට වහ ය.  අහම්බෙන් අසු වුනොත් හැර සංජු අනෙක් සියලුම දවස්වල එක්කෝ කලින් මාරු වේ නැත්නම් අසනීප නිවාඩුය. ඒ ශරීරයේ තියෙන ලේ පයින්ට් 5න් 4 1/2 ක් පුළුස්සා ගැනීමට තියෙන අකමැත්ත නිසාය.  එදා ඉතින් ඔන්න හා හා පුරා ආරම්භ වූ ගුරු රැස්වීමයි. මම නිකමට මෙන් මා අසල සිටි වසන්තී ට කිව්වේ " අද අපිට අවුරුද්දේම වැඩ කියයි" කියලා ය.

"සුභ අලුත් අවුරුද්දක් ටීචලා සියලුම දෙනාට. අපි ට අද දීර්ඝ කාලයක් ගන්න වෙයි මේ රැස්වීමට මොකද මට කරුණු 30ක් තියෙනවා සාකච්චා කරන්න."

සංජු හෙමිහිට බෑගයේ තිබෙන සටහන් පොත ගත්තේ අද නම් ගනන් ඇතුව කරුණු 30 ම ලියා ගන්නවා කියා සිතාය.  මම දැන් මේ කරුණු 30 මෙතන ලියන්නේ අසරණ ටීචලාට ඉගැන්වීම හැරුණු කොට කරන්නට තිබෙන අනෙකුත් වැඩ කන්දරාව පිලිබද කුඩා අදහසක් ඔබට ලබා දීමටයි.

1. නාම ලේඛනය අලුත් පොතක් අවුරුද්දටම ආයේ වෙන අලුත් එව්වා හම්බ වෙන්නෙ නෑ ඒක නිසා ඕක පරෙස්සමින් කපන්නෙ කොටන්නෙ නැතුව පාවිච්චි කරන්න.
(පරණ නාම ලේඛනේම අලුත් කාඩ්බෝඩ් පිටකවරයක් දාලා. ශෝයි අප්පා)

2. ඔන්න අපේ ඉස්කෝලේ ළමා මිතුරු පාසැලක් වෙලා (ඒ වෙලාවෙයි දැන ගත්තේ මේක මෙච්චරකල් ළමා හතුරු පාසැලක් වෙලයි තිබ්බෙ කියලා) පන්ති භාර ගුරුවරු ළමයින්ගේ පැමිණීම වර්ධනය කරන්න පියවර ගන්න. හොදම ළමා මිතුරු පාසැලේ ගුරුවරු අවුරුද්ද අන්තිමට ට්‍රිප් එකක් එක්කගෙන යනවලු. (මේ සතියකර දෙපාරක් එන යන ට්‍රිප් එක මට අන්ම් හොදටම ඇති)

3. ඇගයීම් 11 හා 10 ස්ග්‍රේණි වල කලින් ම ලකුනු දාලා ඉවර කරන්න.

4. පාසැල් කළමණාකරන කමිටුවට 14ක් පත් කිරීම. (ඉන්නෙත් 14 දෙනයි ඕකට වාද කර ගත්තා දවසම)

5. ඉස්කෝලෙට කලින් එන්න ඇරුනම 2 ට යන්න මොකද පොලිසියෙන් තමයි දැන් ගුරුවරු පරක්කු වෙලා එන එකයි කලින් යන එකයි ගැන රෙකෝඩ් තියා ගන්නේ. ( මූ හිතුවද දන්නේ නෑ අපි දෙසැම්බර් මාසෙම තණකොළ කකා පුන්නක්කු බිව්ව කියලා)

6.  නිවාඩු ෆෝම් එක හරියට පුරවලා දෙන්න ( ඇහ් ඒ කියන්නෙ අපි මෙච්චර දවසක් ඒකෙ ලියලා ඔයාට අපේ දුරකතන අංක නොදුන්න එක ගැන වෙන්ට ඇති නේද මේ කියන්නෙ?)

7.  මණිමේඛලාගේ ක්‍රීඩා උත්සවයට ගුරුවරු බෙදන්නලු. (ඒකිගේ ක්‍රීඩා උත්සවයක් උනේ කොහොමද ඒක ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවය නෙ) මේකට අපේ කට්ටිය හවස2 වෙනකල් ම මරා ගත්තා. අවසානයේ ශූර නිවාසය භාරව (බගල)වතී ඉස්කෝලේ හාමිනේ ද, වීර නිවාසය භාරව සමන් මලින් පවන් සැලේ ද, ධීර නිවාසය භාරව සංජුවා ද ලෙස වසරේ දැවැන්තම තොප්පිය වැටුණි.

8.  බෞද්ධ සමිතිය පිහිටුවීම

9. සාහිත්‍ය සමිතිය පිහිටුවීම

(මේව පත් කරල ඉහලට දන්වන්න ඕනෙලු අනුශාසක වරු නිල මණ්ඩලය එහෙම. අපේ බගලවතී ඉස්කෝලෙ හාමිනේ කියනවා පත්කරලා යවමුලු. රැස්වීම් එකක් විතරක් ගමුලු. බෞද්ධ සමිතියයි සාහිත්‍ය සමිතියයි දෙකම එකම වෙලාවෙදි ඉවර කරමුලු. කොහොමද අපේ කට්ටියගේ කාල කළමණාකරනය?)

10. ප්‍රාථමික පන්තිවල ශරීර සුවතා වැඩසටහන අනිවාර්යෙන් කරන්න.(උදේට කන්න නැතුව එන කැහැටු පොඩි එවුන් ට)

11. 1 -5 ශ්‍රේණි වලට චිත්‍ර , නැටුම්, සංගීත යන විෂයන් විෂය සමගාමි ලෙස කරන්න. (කවුද කරන්නේ?)

12. පන්ති වාර්තා පොත් නාමලේඛන නිවැරදිව පවත්වා ගන්න. (මගේ පන්තියේ පන්ති වාර්තා පොත බගලවතී ඉස්කෝලේ හාමිනේ ගල් කරලා එතුමියගේ අල්මාරියට මම අනවසරයෙන් කළ ඇතුල් වීමකදි එම පොතත් ඇතුලුව මගේ නැතිවුණ පොත් කිහිපයකුත් එක්කම ඒ පොතත් හම්බ උනා. මම නම නොකියා ඒ කතාව කියලා ඇරිය තොප්පිය හරි කෙනා දා ගන්න කියලා. කට්ටියගේ වදේ ඉතින් කොහෙන්ද හම්බ උනේ කියලා කියන්න. මම නම් අහු වෙයි ඕවට)

13.  පන්තියෙන් බැහැර වීමේ කාඩ් පතක් හදන්න. ( එක කාඩ් එකක් හදලා පන්තියට දුන්නම උන් ඒක බෙදා ගන්න කොල්ලෝ කෙල්ලෝ දෙකට බෙදිලා පොර කාලා රණ්ඩු බේරන්න වෙන්නේ මට. එක කාඩ් එකක් ඩුන්නට කෙල්ලො වැරදිලාවත් තනියම යන්නෙත් නෑ. කාඩ් 2ක් දුන්නා කියන්නේ හැම වෙලාවෙම 4 දෙනෙක් එලියෙ. අනේ මන්දා ඕව විසදන්න පුලුවන් කාටද?)

14.  පන්ති කාමර අලංකරණය කරන්න. (මේ කියන්නේ එල්ලන්න තියෙන ඔක්කොම එල්ලල පුලුවන් නම් අපිටත් එල්ලිලා ඉන්න කියලා)

15.  3 වීල් ප්‍රශ්නය - සමන් මලෙන් පවන් සැලේ ට තද වෙලා. එයාගෙ පන්තියේ ඉන්න ළමයින් ව ඉස්කෝලේ අරින්නත් කලින් ම චන්ද්‍රපාල කියලා ත්‍රීවීල් කාරයෙක් බලෙන් එක්කගෙන යනවලු. ඒ මදිවට ළමයි ඉස්සරහ බැනලා "ඔය නෑණිට මම බය නෑ" කියලා. සමන් මලෙන් පවන් සැලේ ට ඒකට මලම පැනලා. අපේ උතුමා කෙදිරිලි වොයිස් එකකින් අහනවා ටීච ඇයි ඕක මෙතන කිව්වෙ පෞද්ගලිකව මාව හම්බු වෙලා කතා කරන්න තිබ්බනේ කියලා. සමන් මලෙන් පවන් සැලේ දන්නෙ නැද්ද මන්දා චන්ද්‍රපාල කියන්නේ උතුමාගේ දයාබර අයියා කියලා! හිතා ගන්න පුලුවන් නේද එයාට අර වගේ කතා කරන්න පවර් එක ආවේ කොහෙන්ද කියලා?)

16. ශිෂ්‍ය නායක පන්ති නායක "ශාලා නායක" කියලා ඔන්න අළුත් අවුරුද්දට පත් කරන්නලු. ඒ තොප්පිය ස්වයංක්‍රීයව මගේ ඔලුවට වැටෙන නිසා මට ආයේ ඒ ගැන අහන්න දෙයක් තිබ්බේ නෑ මම පහුගිය අවුරුද්දේ විදියටම වැඩ ටික ප්ලෑන් කලා. 17 වන සදුදා ට දා ගත්තා වැඩේ. ඒත් වැස්ස නිසා දින නියමයකින් තොරව වැඩේ කල් ගියා.

17. ඊ 5 ට උගන්නන්නලු. - මම දන්න විදියට නම් මේ E 5 කියන්නේ වෙන රටවල් වල අසාර්ථක වුන ඉගැන්වීම් ක්‍රමයක්. නමුත් ලංකාවේ පිලි ගන්නවා. මගේ විෂයට නම් E5 තියා මොනම එකක්වත් හරි යන්නේ නෑ ළමයි ඉගෙන ගන්න මූඩ් එකේ නැත්නම්.

18. නිපුණතා හා නිපුණතා මට්ටම් වාරයට අදාල ඒවා ඉවර කිරීම/ සටහන් තබා ගැනීම - රේඛීය අමාත්‍යංශයේ අවශ්‍යතාවක් උනොත් ඒවා ඉදිරිපත් කරන්න. ( #$%^&*(&^%$#@!@#$%^&*&^%$#@#$%^&*(^%$#@#$%^&*%$@#$%^&*#@#$%^& අපි පාඩමක් කරලා ඒකෙ ගුණාත්මක අවසානයක් දකින්න දගලන දැගල්ලිල්ල දන්නේ අපි විතරයි)

19.  වාර සටහන් හදන්නලු. (හා ඈ!)

20. පන්ති අධීක්ෂනය කරන්න ( නෝ කමෙන්ට්ස්.... )

21. ගුණාත්මක යෙදවුම් අවශ්‍යතා ලේඛන දෙන්න. (අනේ මට නම් ඕනේ රෝනියෝ කොල මිටි 10ක් විතරයි රෝනියෝ තින්ත ටියුබ් 5ක් විතරයි. ආයේ ඉල්ලන ඒවායෙන් වැඩක් නෑ)

22.  මිලදී ගැනීම් සහ ඇගයීම් කමිටුවක් පත් කිරීම (මිලදී ගන්නේ උතුමයි එයාගේ යාලුවයි පල්ලෙහා කඩෙන්. ඇගයීම් කමිටුව මොනවා ගෙනාවත් අත්සන් කරන්න ඕනි. ආයේ ඒ ගැන කට හොල්ලන්න බෑ) 

23. උදේ රැස්වීම (අපේ ඉස්කෝලෙ මේ අවුරුදු 3 1/2 ටම මම අතගහපු වැඩ වලින් චොර උනේ ඒක විතරයි. ඒක සාමූහික වැඩක් නිසා තනියම කරන්න අමාරුයි. )

24. උදේ රැස්වීමේ මගේ දිනය බ්‍රහස්පතින්දා (හා ඈ!)

25. මල් පූජා කිරීම (හැමදාම කරනවනේ ඒක පිලිවෙලක් කරන්නලු. ඒකටත් හා ඈ!)

26.  මනෝ සාමාජීය මැදිහත් වීම් ( අනේ මන්දා අපේ ඉස්කෝලේ උපදේශනය කරන්නේ බගලවතී ඉස්කෝලේ හාමිනේ. එයා ට ගෙදර තියෙන ප්‍රශ්න ටිකත් විසද ගන්න බැරුව තමා ඉස්කෝලේ ළමයින් ගේ ප්‍රශ්න විසදන්න හදන්නේ. ගිය අවුරුද්දේ 11 ළමයින් ට උපදේශනය කරන්න ගිහින් එගොල්ලො බගලවතී ඉස්කෝලේ හාමිනේගෙන් අහලා තිබ්බා ඔයාගේ දුව අරෙහෙම නටද්දි ඔය අපිව හදන්න එන්නේ ඉස්සෙල්ලා එයාව හදා ගන්න කියලා. බගලවතී ඉස්කෝලෙ හාමිනේ ගෙ දුවත් ගියපාර 11 වසරේ හිටියේ) 

27.  ඉංග්‍රීසි සමිතියක්, දිනයක්, කතාවක් එහෙම සතියකට සැරයක් කරන්න සංවිධානය කරනන්ලු. හවස පන්තිත් කරන්නලු. (හා ඈ..... මෙයා හිතනවා ඇති මම එක පාරක් ටිං කිරි ගා ගත්තම හැමදාම එයා කියන කියන විදියට කියන කියන තැන් වල ටිං කිරි ගා ගන්න සැදී පැහැදී ඉන්නවා ඇති කියලා)

28.  පාසලේ සෞඛ්‍ය දැක්මක් හදන්න. ( අපේ ඉස්කෝලේ දැක්මට කලින් මාස 6 කට සැරයක් ළමයින් ට පණු බෙහෙත් දෙව්වන්න ඕනෑ පී.එච්.අයි. මහත්තුරු ගෙන්නලා. මගේ අතට වඩා දිග ඇගිල්ලක් තරම් මහත පණුවෙක් 2 වසරෙ පුතෙකුගේ ගුද මාර්ගයෙන් එලියට එනවා දකින්න තරම් පව් කරලා තියෙන මට මේවා විහිළු. පොතේ ලියලා ලොක්කෝ ආවම පෙන්නන්න දැක්මක් නෙවෙයි ඕනෙ ක්‍රියාවෙන් ඒ දේවල් සිද්ද වෙන්නයි)

29. අභ්‍යන්තර ඇගයීම් කරන්න.(අර මම 20 ට ලියපු එකයි මේකයි 2 ම එකයි) 

30. ක්‍රීඩා උත්සවයේ දී නිවාස වල ප්‍රශ්න වලට නිවාසවල ගුරුවරු ගුරුවරු රණ්ඩු වෙන්න එපා ( හා ඈ! අපේ නිවාසේ ප්‍රශ්නයක් අසාධාරනයක් උනාම අල්ලපු ඉස්කෝලෙ ගුරුවරු ඇවිල්ල අපිට විසදලා දෙයි නේද ඈ?) 

 ඔන්න ඔහොමයි අපේ ලොක්කා පැය 3ක් ගුරු රැස්වීම දිග ඇරියේ. තව වෙලාව තිබ්බනම් ඒකත් ඉවරයි. වෙලාවට 2 ට බෙල් එක ගැහුවේ. සමහර වැදගත්ම කරුණු මෙතන සාකච්චා වුණෙත් නෑ. අපේ කට්ටිය තම තමන්ගේ පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කළා විතරමයි.

Friday, January 14, 2011

නැටුම් 3

අර කිව්වත් වගේ සංජු ගේ නැටුම් උණ හොද කරන්නට බැරි විය. ගෙදර සිටින දින වල කන් අඩි පුපුරා වහලය උඩ යන තෙක් ශබ්දය වැඩි කර ගන්නා සංජු මොලේ නරක් වන තෙක් නටා හවස අම්මා එන විට බබා සේ සිටියි. අන්තිමට සංජු ට උවමනාවට වඩා ඉන්ගිරිස් වීමට ඉන්ගිරිස් චිත්තරපට බැලීමට ඇබ්බැහි වීම නිසා අලුත්ම රෝගයක් වැලදුනි. Social Dancing !!!

ඇසූ මුල්ම දිනයේ අපේ පියා කොස්ස අතට නොගත්තා පමණි. සංජු ද තටු බටු අකුලාගෙන පැත්තකට වූවාය. දින කිහිපයකින් නැවතත්.... අම්මා මාර්ගයෙන්. අනේ දෙයියනේ කියලා මගේ හිතට එන විකාර අදහස් ක්‍රියාවට නංවන්න උදව් කරන්නේ අපේ අම්මා. ඉතින් අම්මාගේ මාර්ගයෙන් අම්මවත් එක්කරගෙන යන පොරොන්දුව පිට සංජු ට Social Dancing පන්තියකට යන්නට අවසර ලැබුණි.

ඉස් ඉස්සෙල්ලාම පන්තියට ගිය වෙලාවේම කොර වුණි. තනිකර කඩ්ඩෙනි. ගුරුතුමා දුටු විට රංග අයියා මුහුණු පොතේ දකින්නට පෙර මවාගෙන සිටි රූපය වැනි එකක් හැබැහින් පෙනුණි.  නමුත් හේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අපූරු ගුරුවරයෙකි. නැටුම් ගුරුවරයෙකු යැයි බලන කෙනෙකුට නොසිතෙන නමුත් ඔහු අති දක්ෂ ගුරුවරයෙකි.

 පන්තියේ 1 වන දවසේ මගේ සහාය ශිල්පියා වුනේ ඉන්ජෙක්ෂන් එකක නම තියෙන ඉස්කෝලේ උසස්පෙල මල්ලි කෙනෙක්. මල්ලි උසස් පෙල හිටිය පොඩ්ඩා වුණාට ගුරාගේ හොදම ගෝලයෙකි. මුල්ම අඩි කිහිපය අල්ලාගෙන JIVE නම් වූ ඒ නැටුමේ කල්කිරියාව දවස් 2 කින් ඉගෙන ගන්නට මට හැකි විය.



මම හරියටම ඒ ගුරුතුමා ලග ඉගෙන ගත්තේ මාස 2ක් වැනි සුලු කාලයකි. ඒ හා සමගාමීව රැකියාව ලැබී හෝර්ටන් තැන්න සිංහල මහා විද්‍යාලයට යන්නට මට සිදු විය. නමුත් එම මාස 2 ට මම  JIVE, Cha Cha, Waltz  සහ  Ballroom යන නර්තන වර්ග 4 එතෙක් ඉගැන්වූ උපරිමයටම ඉගෙනගෙන තිබුණි. පන්තිය තිබුනේ සතියේ දවසක බැවින්ද රස්සාව ලෝකාන්තයේ බැවින්ද පන්තියට ආයුබෝවන් කියන්නට සිදු විය.

නමුත් එහිදී මට අපූරු මිතුරන් පිරිසක් මුණ ගැසුණි. ඔවුන් අදටත් මගේ මුහුණු පොතේ යහලුවන් ය. එමෙන්ම ඔවුන් අති දක්ෂ නර්තන ශිල්පීන් ය. රැකියාව නිසා අදටත් මට ඔවුන් සමග එක්ව වැඩ කිරීමට නොහැකිය. එය මට ඇත්තටම මහා දුකකි.

එතනින් එලියට බැස්ස මට නැවත සති අන්ත පන්තියක් සොයා ගන්නට සිදු විය. නැවත් උණ හැදුනේ රස්සාව වසර 2ක් පමණ කර කලකිරුණ විටයි. සති අන්ත පන්තියට ගිය සංජු Social Dances ඇරුණු කොට තවත් දෙයක් ඉගෙන ගත්තාය. ඒ Hip-Hop Dancing සහ Indian Dancing  ය. Mohombi ගේ Bumpy Ride ගීතය නරඹා සංජු ගේ නහර කෙලින් වුණේ ඒ කාලයේ ඉගෙන ගත් හිප් හොප් ඩාන්සින් මතක් වීය.

පළමු පන්තියේ දී අම්මාගේ උපරිම විශ්වාසය දිනා ගත් බැවින් මෙවර ඇය මට තනි රකින්නට නොපැමිණියාය.  මේ පන්තියේ ගුරුතුමා තරුණයෙකි. විශ්වාස කල නොහැකි අන්දමින් දක්ෂ නර්තන ශිල්පියෙකි. ඔහුගේ හිප් හොප් නර්තන අංක එකේ හිප් හොප් ය. ඉසේ තිබෙන කෙස් ගහෙන් පටන් ගෙන කකුලේ තිබෙන සපත්තුවේ ලේස් පටිය දක්වාම ඔහුගේ සිරුරේ තිබුනේ විවිධ නර්තන ශෛලීන්ය

මම එතැන ගිහින් අඩි 2ක් පමණ තබන විට ඔහු බලා සිට මා අසලට පැමිණියේය.  "ඔයා මීට කලින් Dance  තියෙනවාද? " ඉතින් විස්තරය පැවසීමට මට සිදු විය. ඔහු මා එතනින් වෙන් කර පන්තියේ පරණ සිසුන් ගොඩට දමා  JIVE express course එකක් කලේ ය. ඉන් පසු ඔහු පන්තියේම සිසුන් Rotation කරමින් ඉගැන්වීමට පටන් ගත්තේය.

එක Rotation එකකදි හේ සංගීතය නවතා විනාඩියක් කල්පනා කලේය. ඉන්පසු පන්තිය ඇමතීය. "අපි දැන් couple 2ක් විතරක් නටවමු එක සැරේකට. අනික් අය බලන්න එයාලා නටන හැටි". වට පිට බලන විට සංජු ගේ ඇග සීතල වී ගියේය. පන්තියේ පරණම කොල්ල සහ කෙල්ල එක පසෙකිනුත් සංජු සහ පන්තියේ තවත් පණ්ඩිත පරණ කොල්ලෙක් අනෙක් පසත් විය. සංජු සමග සිටි කොල්ලා චාටර් පල් හිනාවක් සංජු ට දැම්මේය. "අනේ බතලි උඹයි මමයි නටන JIVE ".

පන්තියේ පරණම කෙල්ලගේ නමද සංජු ය.  සංජු ලා දෙන්නා දෙපස තබා අපේ ගුරා ලැස්ති උනේ attitude test  එකකටය. ඔහුගේ ගෝල සංජු ද ලංකාවේ නම ගිය ප්‍රවීණ නර්තනාචාර්ය වරයෙකුගේ ගෝල මම තුමීවද තබා පොඩි සෙල්ලමක් කරන්නටය. 

නර්තනය ආරම්භ විය. ඔහු මට කියා දුන් අඩි එකක් නෑර මම පාවිච්චි කලෙමි. සංජුලා දෙන්නාම එකම ආකාරයට නටන බව හොර ඇසින් වටපිට බැලූ මට වැටහුනි. මමද ඇත හැරියේම නැත. පුළුවන් උපරිමයටම නැටුවෙමි. නමුත් මට පරණ සංජු ට පෙර නැවැත්වීමට සිදු විය. ඒ අත්දැකීම් මද බව නිසාය. මා නැවතූ පසු ඒ හා සමගම ඈ ද නටුමින් ඉවත්වූවාය. සංජු ලා දෙන්නාම හති අරියි. මට පණ්ඩිත පාට් දැමු මල්ලී බබා ද කට ඇරගෙන හැති දායි. සුපුරුදු පරිදි බිත්තියක මුල්ලක් සොයාගෙන මම පැත්තකට වීමි. 

එදා පටන් සංජු එහි ද සාමාජිකාවක් වූවාය. හිප් හොප් හා ඉන්දියන් නටන විට සංජු එය වින්දාය. කාමරේ හොරෙන් නැටූ නැටුම් වල පල ප්‍රයෝජනයක් ද විය.එක දිනක් අහම්බෙන් පන්තියට ආ අම්මි මා නටනු කට ඇරගෙන බලා සිටියාය.  නමුත් ඒ කාලයේ අතිශය කාර්ය බහුල වූ නිසා සංජු ට පන්තිය මග ඇරිනි.

අදටත් සංජු ආසාම නර්තනයටය. මේ ආත්මයේ බැරි උනොත් ලබන ආත්මයේ හෝ නර්තන ශිල්පිනියක් වන්නට සංජු පෙරුම් පුරන්නීය. බෑ බෑ බෑ....ඉක්මනින් නැවත ආපසු පටන් ගත යුතුය. යුතුමය. 

නැටුම් 2

නැටුම් කතා තවම ඉවර නැත. හදිස්සියේ මට නැටුම් ගැන ලියන්නට තද වුණ හේතුවත් ලිවිය යුතුය. 

 සංජුගේ නැටුම් උණ එදායින් අවසන් නොවීය. නමුත් අද මතක් උනේ ගීතයක රූප රචනාවක් දැකීමෙනි. ඒ ගීතයේ ජවසම්පන්න නර්තනය සංජු ගේ සීතලට ගුලී වී තිබුණ නහර සියල්ල කෙලින් කලේය. නැවත නටන්නට පටන් ගත යුතු බව සංජු ට දැනෙමින් තිබේ. ඒ මීට වසරකට පෙර නැවැත්වූ තැනි නි.

ඒ නැටුම් 3 කතාවෙන් ඔබට මා කියන්න යන කතාවේ කොටසකි. 

මේ මට මගේ ඇගේ නැටුම් ඇති බව මතක් කර දුන් ගීතයයි. 

ප.ලි.  මේක ටිකක් ලාවට වැඩිහිටියන්ට පමණයි වර්ගයේ වීඩියෝවක් නිසා අපේ පූසා මල්ලි, පුතා මල්ලී, බ්ලොග් ගඩොල් පූස් මල්ලිලා ටික එහෙම බලනවා නම් අම්මලා තාත්තාලාට කියලා අවසර අරගෙන බලන්න හොද ද???

Thursday, January 13, 2011

නැටුම් 1


ඒ පාර මොකාට එන්න හදනවාද????

මගේ තහනම් ලැයිස්තුවට තව මාතෘකාවක් එක් විය. ඒ මත්ද්‍රව්‍ය යි. මින් පසු මේ බ්ලොගේ දේශපාලනය සහ මත්පැන් පිලිබද ලිය වෙන්නේ නැත.  

දැන් ලියන්නට යන්නේ නැටුම් ගැනයි.  

මගේ ජීවිතයේ මට ලැබෙන අවස්ථාවලින් මම ආශාවෙන් ම සහභාගී වුනේ නර්තනය ටයි. 

නර්තනය ආරම්භ කරන විට මා සිටියේ 6 වන ශ්‍රේණියේය. හදිසියේ ම අපේ පාසැලට බටහිර සංගීතය හදුන්වා දුනි. මම ගෙම්බා සේ එයට පැන්නෙමි. අහා...... කලු හිසක් සහ කෙට්ටු ශරීර ඇති මිනිසුන්ගේ ඉරි 5ක් උඩ ගමන් කිරීමේ කලාව මගේ ඇගට පත්තියම් වූයේ නැත. නැවත අකුලාගෙන බැනුම් කන්දරාවක් විදුහල්පතිනියගෙන් සහ නැටුම් ගුරුතුමියගෙන් අසාගෙන මම නැවත නැටුම් කාමරයට ගියෙමි. 

 එදා සිට මම පැත්තකට වී සිටි අහිංසක සිසුවියක් වීමි. පැනලා නටන අයට නටා ගන්නට දී මම පැත්තකට වී සිටියෙමි. එක දිනයක් මාසික පරීක්ශනයක් දා මගේ ඉදිරිපත් කිරීමෙන් පසුව මගේ මිතුරියකට අවස්ථාව ලැබුණි. ඇය නටන හැටි බලා මගේ නැටුම් ගුරුතුමියට කේන්ති ගොස් තිබින. "මොනවද ළමයෝ මේ කරන්නේ??? අර අච්චර මහත ළමයත් ලස්සනට ඇග බැලන්ස් කරගෙන නැටුවා. ඔයා මෙච්චර කෙට්ටු වෙලත් බලන්න නටන හැටි. හරියට නිකන් මනුස්සයෙක් කඩි ගුලක් උඩ හිට ගත්තා වගේ නේ ඔයා නැටුවේ" ඈ මහත ලමයා කිව්වේ මටය. මම කොහොමත් පොඩි කාලේ සිටම අනික් අයට වඩා උස මහතය. 

 ඒ මට ලැබුණු පළමු වැනි හොද ය. එදායින් පසුව මම තනිවම නැටුම් පුරුදු වීමි. පන්තියේ තඩියා වුනත් මම සැමදෙනාටම වඩා නම්‍යශීලී සමබර කෙල්ලක් වීමි. ගෙදර තනිව සිටින වෙලාවට ඇස් වලින් කදුලු වැටෙන තුරු මම අඩි පුරුදු වීමි. කකුල් පුපුරු ගසන තුරු නියම හැඩ එන තෙක් නවාගෙන සිටියෙමි. එපා වුන විට ඉංග්‍රීසි හෝ හින්දි සින්දුවක් දාගෙන හිතේ හැටියට නැටුවෙමි. උඩරට නැටුම් පමනක් නොව තවත්නැටුම් නටන්නට මම පුරුදු උනේ එසේය. නමුත් ඒවා දැක්කේ මා පමණි. මගේ සිරුරේ නම්‍යතාවය වැඩි වෙන්න වෙන්න එයින් සතුටු වුනේ මාය. ඒ හැගීම ඇත්තටම දන්නේ මම පමණි. 

 ඒ මගේ ශිල්ප දැක්වීමේ දිනයයි. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂන දිනයයි. වසර 5ක් මා ප්‍රගුණ කළ ශිල්ප දැක්වීමයි. 

නෛයිඅඩි වන්නම, වට්ටමක් සහ අභිරූපනයක් සමග තව ගායනා සහිත නර්තන අංග කිහිපයකින් මගේ ප්‍රායෝගික පරීක්ෂනය සමන්විත විය.  අවසානයට තිබුනේ අභිරූපන යයි. එහිදී මම ඉන්දියානු භරත නර්තන අහිනයන් ගෙන් වනයට ගොස් අතරමන් වී වන සතුන් ගෙන් මැරුම් කන කාන්තාවක් ලෙස අභිරූපණ රංගනයක්  ඉදිරිපත් කලෙමි. එය අවසාන වූයේ මා බිම වැටී මරණයට පත් වීමෙනි. 

මා එය අවසන් කරන විට බෙර හඩ නැවතුණි. මා හිස එසවීමට පෙර මට අත්පුඩි තලන ශබ්දයක් ඇසුනි. හිස ඔසවා බලන විට මා දුටු දෙය මටම අදහා ගත නොහැකි විය. තඩියා ගේ නැටුම බලා සියල්ලෝම අත්පුඩි ගසති. මගේ 2 වන නැටුම් ගුරුතුමිය ඇස් අයා මා දෙස බලා සිටියා ය. "දුවේ උඹ මෙච්චර දවසක් කොහෙද හිටියේ?"

එදා මම උඩරට නැටුමින් සමු ගත්තෙමි. 


ෆේල්...! ඩිල්ශාන්, අනාස්, ඩිලාන් සහ උමේන්ද්‍රා ගේ කතාව.



මේ 2011 වසරේ මට ගන්නට සිදු වූ අසීරුතම තීරණයයි. මගේ පන්තියෙන් 10%ක් ෆේල් කරන්නට නියෝග ලැබුණි. මම උත්සාහ කලේ කොහොම හරි 40 ම 8 වන ශ්‍රේණියට රැගෙන යාමටය. 40ක් පන්තියේ සිටීම නිසා මට 4 දෙනෙකු ෆේල් කරන්නට සිදු වීය. ඒ මේ හතර දෙනාය. 

1. ඩිල්ශාන් - 

ඩිල්ශාන් ගැන කතාවක් මගේ පරණ ලිපියකද ලිව්වෙමි. ඩිල්ශාන් තරමක් කෙලි ගති තිබුණ කොල්ලෙකි. ඒ ඔහු පවුලේ එකම කොල්ලා වීමත් ඔහු වටා අක්කලා හා නංගිලා 5ක් පමණ සිටීමත් ය. 

 මගේ පන්තියේ කොල්ලො 18ක් සහ කෙල්ලො 22ක් විය. දිනක් මට හදිසියේ ගණන අමතක වී මම පන්තියෙන් "කීයක් ඉන්නවාද?" කිය ඇසුවෙමි. ධනේශ් දුන් උත්තරයෙන් මට වැඩ අමතක විය. "ටීච කොල්ලො 17 කෙල්ලො 23" .... මුළු පන්තියේම කොල්ලෝ හක හක ගාති. කෙල්ලෝ මුහුණු වසාගෙන සිනා සෙති. "මොකක්ද ඒ හරුපේ තේරුම?"

"ටීච ඩිල්ශාන් ව අපේ ගොඩට ගන්න බෑ. එයා ගෑනියෙක් වගේනේ"   දීපල්ලකෝ උත්තර!

පන්තියම හක හක ගායි. ඩිල්ශාන් කඩුලු පිසිමින් අඩයි. යන්නට ආ සිනහව මැඩගෙන මම පන්තියට තරවටු කලෙමි. නමුත් ඒ කතාව යම්තාක් දුරට ඇත්තය. පන්තියේ කේලම් ගුරුවරුන්ට ගොස් පවසන්නේ ඩිල්ශාන් ය. ඒ නිසා කොල්ලෝ ඩිල්ශාන් ට අකමැතිය. මටද මුල් දවස් කිහිපයේ කේලාම් කියාගෙන පැමිණ පන්නා ගත් බැවින් හේ මට කේලාම් කීමට එන්නේ නැති මුත් අනික් ගුරුවරුන්ට ගොස් කේලාම් කියයි. ඉතින් පන්තියේ කොල්ලන්ට ඩිල්ශාන් "ගෑනි"ය. 

 2. අනාස් - 

අනාස් මගේ පන්තියේ සිටි එකම මුස්ලිම් කොල්ලා ය. අනාස් ගේ අයියා අස්ලම් ය. හේ ද අකුරක්වත් ලිවීමට නොදත් කොල්ලෙකි. අනාස් ගේ නංගී අස්නා ය. කොහෙද යන්නේ මල්ලේ ලැප්ටොප් එකක් යැයි කියන වර්ගයේ ය. පවුලටම අකුරු උගන්වන්න අපි මහත් වෙහෙසක් දරුවෙමු. නමුත් ඒවා ගගට කැපූ ඉනිය. අද කියා දෙන අකුර හෙට මතක නැත. මම මේ ලිව්වේ ඉංගිරිසි ගැන නොව සිංහල ගැනයි.  

 අනාස් වැඩි කලබලයක් නැති පාඩුවේ සිටින කොල්ලෙකි. හිටියාද නැද්ද කියා මට මීටර් වන්නේ නම් පොත ලකුණු කරන විටය. නමුත් ඉතින් ඉස්ස්කෝලේ කෙරුවාව ගැන නම් කතා කොට වැඩක් නැත. අනාස් ගේ ආශ්‍රයට වැටී පන්තියේ 6 වෙනියාව සිටි යසිත් පන්තියේ 10 වෙනියා දක්වා පසු බැස්සේ ය. වැඩ බැරි උනත් ඔහුගේ ආශ්‍රයෙන් යසිත්ට සිද්ද වූ දෙය නම් මටද අදටත් සිතා ගන්නට බැරිය. දෙන්නාගේ ලව් එක හමාර කොට පන්තියේ වෙන් කර තැන් දෙකකට දැමීමෙන් මම ඒ ප්‍රශ්නය විසදා ගතිමි. 

3. ඩිලාන් -  

ඩිලාන් මගේ පන්තියේ තාත්තාය. අපේ තාත්තා මේ අවුරුදු 54 ට දන්නා දේවල් ඩිලාන් හා සසදන විට අපේ තාත්තා ලදරුවෙකි.  වලි කොතනද ඩිලාන් එතැනය. කෙල්ලන්ට අඩත්තේට්ටම් කලා නම් ඒ ද ඩිලාන් ය. කුනුහරුපයක් කිව්වා නම් ඒ ද ඩිලාන් ය. 

ඩිලාන්ගේ ද අක්කා අපේ ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගනියි. සාර්ථක 2 වන වසර ද 10 වන ශ්‍රේණියේ ගත කළ ඈ යන්තම් මේ වසරේ 11 ශ්‍රේණියට පැන ගත්තේ එකම ශිෂ්‍යා 2 වරක් අසමත් කිරීමට නොහැකි නීතිය මතය. නැත්නම් මේ අක්කලා මල්ලිලා ට සිදු වන්නේ ජීවිත කාලයම ඉස්කෝලේ යාමටය.  

ඩිලාන් සම්බන්ධව එන පැමිනිලි ද එසේ මේසේ පැමිනිලි නොවේ. පොලිසියට යන්නට තරම් දුර දිග යා හැකි ඒවාය. එක දිනක් මගේ පන්තියේ කෙලි පැටික්කියක් අඩාගෙන අවුත් මට පැමිණිල්ලක් කලාය. " ටීච ඩිලාන් මාව තේ කැලේට ඇදගෙන ගිහින් ********* කිව්ව." කොල්ලා ශිෂ්ඨ ම ක්‍රියා පදයෙන් හිස්තැන පුරවා තිබුනි.  ඒවා විසදීම මම උතුමාටම බාර දී කට පියාගෙන සිටිමි. 

4. උමේන්ද්‍රා - 

උමේන්ද්‍රා 5 පන්තියේ සිට මගේ පන්තියට එන විට එකම කිළුටු ගොඩකි. 5 පන්තිය භාරව සිටි කුමාරි ටීච මට දිනක් කතා කර උමේන්ද්‍රා ගේ හිස පෙන්නුවාය. කොණ්ඩයේ සියලු කෙස් ගස් අතරින්ද ගොතා තිබූ කොණ්ඩ කරල් දෙක දිගේ ද උකුණන් රංචු පිටින් ඉහල පහල යයි. දෙවියන්ගේ පිහිටෙන් එවැනි දෙවල් වලට අප්පිරියා නොවීමේ ගතිය ඇති නිසා මම උමේන්ද්‍රාව පසෙකට කැදවා නා පිරිසිදු වීම ගැනත්, උකුනන් වද කිරිම ගනත් කියා අම්මව එක්කරගෙන එන ලෙස පැවසීමි.  අම්මා කෙසේ වෙතත් මම සතියකින් උමේන්ද්‍රාට ලයිසින් බෝතලයක් අරගෙන දී "මේක ගාල නාල උකුනෝ වද කරගෙන ආවෙ නැත්නම් ඊළග දවසේ පන්තියෙන් එලවනවා" කී නිසා කෙල්ලගේ ඔලුව පිරිසිදු වී තිබුණි. 

ඊළගට කොණ්ඩය.... කපුටන් කෙටුවා සේ උදේට ඉස්කෝලේ එන කෙල්ලන් ඔක්කෝටම මගෙන් සැලකිල්ලක් ලැබුණි. අඩු වැඩි නැතිව උමේන්ද්‍රාටත් අනික් අයටත් සමානව ලැබුණි. ඔවුන්ගෙන් ඊළග දින හොදින් ආ යට මම ප්‍රසංශා කලෙමි. උමේන්ද්‍රා පුලුවන් තරම් හොදට ආවාය. ඇයටත් මම හොද කීමි. කොණ්ඩයේ ප්‍රශ්නය හමාර විය. 

මට හදා ගන්න ට බැරිම උනේ ඇයගේ පාසල් ගමනයි. මා සමග සිටි වසර 2 ටම ඕ පාසල් පැමිනියේ දින 30ක් පමණය. මම දන්නා දහම් ගැට දැමුවද ඒවා එකක්වත් හරි ගියේ නැත. ගිය වාර විභාගයට ඇය පැමිණියේ නැත. 

මේ 4 දෙනාගේ කතාව් මා සිතුවාට වඩා දික් විය. නමුත් ඔවුන් මා සමග 8 වන ශ්‍රේණියට යන්නට ආවේ නැත. ලිවීමේ හා කියවීමේ නොහැකියාව මත ඔවුන් ට අසමත් වීමට සිදු විය. එය කාගේ වරදක් දැයි සිතීමට හෝ වරදකාරයින් සොයා ඔවුන් ගේ පිට පටවන්නට හෝ මට අවශ්‍ය නැත. නමුත් ඔවුන් ජීවිතයේ වසරක් පසුපසට ගොස් ඇත. ඒ වසර නැවත ඔවුනට ලැබේ ද? වසරක් එහි සිටියා කියා ඔවුන් ට දියුණුවක් ලැබේ ද? 

මගේ පන්තියෙන් නිලූශ ඉවත් වී කොල්ලන් 17ක් විය. දැන් තව 3 දෙනෙක් එක වරම මට අහිමි විය. දැන් මට සිටින්නේ කොල්ලන් 14ක් පමණි. 

Wednesday, January 12, 2011

නිලූෂ ගේ අස්වීම් සහතිකය



ඔන්න මම ලියන්න පටන් ගන්නයි හදන්නේ. 

දෙයියනේ කියලා අපේ සරත් ඒකනායක මහ ඇමති තුමා අපිට සතියක්ම නිවාඩු දුන්නා. (සැපසේ ගෙදර හිටියා වගේ නෙමෙයි රජෝ නිවාඩු දවස් වලත් ඉස්කෝලෙ තියලා නිවාඩු දවස් 5ත් අදින්න කියලා චක්‍ර ලේඛන ආවම.... එදාටත් මතක් කරන්නේ ඉතින් එතුමාවම තමා... හිකිස්)  

ඔන්න මේ සිද්දිය උනේ ඉස්කොලෙ පටන් ගත්තු දවසේ. මම බෝඩිමට ඇවිල්ලා කරන වතාවත් සේරම ඉවර කරලා ඇද උඩට පැනලා මෙලෝ රහක් නෑ, ටාසන් බාප්පා සහ පටි රෝල් අහන්න පටන් ගත්තා විතරයි මගේ කාමරේ දොරට තඩි බාන සද්දක් ඇහුනා. ඒ ගෙදර පොඩි පුතා දිලුම්. පොර දොර 2 වෙන්න තඩි බාල තියෙන්නෙ ටීච ගෙ කනේ හෙඩ් සෙට් එක නිසා ටීචට වටා පිටාවෙන් සුනාමියක් ආවත් ඇහෙන්නේ නැති බව අත්දැකීමෙන් දන්න නිසා.  

"ටීච හම්බ වෙන්න කවුදෝ ඇවිල්ලා, ළමයෙක් ගේ තාත්තා කෙනෙක් වගේ"  

 මේ ටීච අනික් ටීචලා මෙන් නොව ගෙදර දොර ශිෂ්‍ය පරපුරටම සහ දෙමාපිය පරපුරටම වසා සිටින්නියකි. ටියුෂන් එකක් දා ගත්ත දවසට මතක් වෙන්නේ මේ වෙලාවේ බෝඩිමේ සිටියා නම් දමන සැප නින්ද ගැනය. පින් ටියුෂන් නිසා ඒ වෙලාවද තනිකර ඉල්ලගෙන ගා ගැනීමකි. ටීචගේ මේ ප්‍රතිපත්තිය ඉදිරියටත් එසේම වේ. කවුරු මොනවා කිව්වත් ටීච මේ ප්‍රතිපත්තිය කවදාවත් වෙනස් නොකරන්නේ පෞද්ගලිකත්වය ටීචට ඉතාම වටිනා දෙයක් බැවිනි. අනාගතයේ සුවාමි පුරුසයාගෙන් ගෙදර ආවත් ඉස්කෝලේ බදාගෙන යැයි බැනුම් අහන්නට ටීච අකමැතිය. 

සෙමෙන් පල්ලෙහාට ගිය මට දක්නට ලැබුනේ මගේ පන්තියේ නාම ලේඛනයේ පළමුවෙන්ම නම සටහන් නිලූශ ලක්මාල් සහ ඔහුගේ පියා ය.  

"ටීච මේ පුතාව ඉස්කෝලෙන් අස් කරන්න කියලා සර් ව හම්බ උනා. ලියුම් වගයක් ගේන්න කියනවනේ"

ලොක්කා හදන්නේ මට වැඩ ගොඩ කරන්නටය. දැන් ඉතින් දවස් 2න් කොල්ලව අස් කරගෙන ගිහාම මට සිද්ද වන්නේ ඉතිරි මුලු අවුරුද්දේම කොල්ලාගේ නම ඉස්සරහින් රතු ඉරි ගැසීමටය.එක පාරටම රතු ඉර මාස 12 ට ම ගහන්නට බැරි මෙහෙ දෙමපියන් ළමයා ටික දිනකින් නවත එක්කගෙන එන බැවිනි. "ටීච මූ මෙහෙදි කරපු තරම්වත් වැඩ එහෙදි කරන්නේ නෑ" 

නිලූශ ද ඒ කාණ්ඩයේ ළමයෙකි. ඉතින් නිලූෂගේ පියා පැමිණ සිටියේද කොල්ලාව අස් කරගෙන යන්නටය. නමුත් අපේ විදුහල්පති උතුමා බාල්දියක් දමා තිබේ. ඒ නම් ළමයා යන දිහාවක දී ඇතුලත් කරන පාසලේ විදුහල්පති තුමා ගෙන් ලිපියක් සහ එම ප්‍රදේශයේ පදිංචියට පැමිණි බවට එහි ග්‍රාම නිලධාරියාගෙන් සහතිකයකි. ඒ දෙක නැත්නම් ළමයාව අස් කර ගැනීමට ඉඩ නොදෙන බව අපේ ලොක්කා සත්තමක් දමා ඇත.  තාත්තා පැමිණ සිටින්නේ මට බටර් පාරක් ගා ලොක්කා ගෙන් අස්වීමේ සහතිකය ගැනීමටය. මේ ලියුම් කතාවක් මම අහුවෙත් අදයි. 

ඉතින් මම ඔහුගෙන් ඇසුවේ එහෙම ලියමනක් ලබා දී නිකන් කතා අසා නොගෙන යාමට ඔහුට බැරි හේතුව කුමක්ද යන්නයි. ඔහු කීවේ තවම ඔප්පු හරවා නැති බැවින් ග්‍රාම නිලධාරී ලවා එවැනි ලිපියක් ලබා ගැනීමට නොහැකි බවයි. එය අපේ උතුමාට කීවේ නැද්දැයි මම ඇසූ විට පියා කලේ කකුලෙන් සිමෙන්තිය හෑරීමයි. "අනෙ අම්මපා බාගෙට කතාව කියල  ඇවිල්ලා මෙතන 10 ට ගනින්න බෑ වගෙ ඉන්න හැටි" 

ඊළග දවසේ මම උතුමා හම්බ වී සීන් එක විස්තර කල විට දැන ගන්නට ලැබුනේ එය කලාපයෙන් ලැබුණු නියෝගයක් බවයි. දෙමාපියන් ළමයින් අස් කරගෙන ගොස් නැවත පාසලකට ඇතුලත් නොකර තබා ගැනීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බව හේ මට කීවේය. කට වසාගෙන අසා සිටියත් මට එම කතවට 50%ක් එකග වීමට සිදු විය. ඉතිරි 50% නම් මේ මෝඩ නීතියට මම එරෙහි බවය. ඒ නිසා දෙමාපියන් පත්වන ප්‍රශ්න අපමනය. 


නිලූෂ ගේ අස්වීම් සහතිකය අද වන විටවත් ඔහුට ලැබී ඇත්දැයි මම නොදනිමි.  නමුත් එක දෙයක් මම දනිමි. මගේ කොල්ලන්ගෙන් එකෙකු අවුරුද්දේ පළමු දාම මා හැර ගොස් ඇති බවය. :(

Monday, January 3, 2011

චීච ට ඉක්කෝලේ නන්න බැලියෝ..........!





මෙන්න චීච කෙනෙක් ඉක්කෝලෙ නන්න බෑ කියා අඩනවෝ. 

මේ චීච ඉක්කෝලේ ගිය කාලේ වත් ආසාවෙන් ඉක්කෝලේ ගිහින් නැත. පුරුද්දට වගේ යැවුනාය. කොලරයේ ගසා තිබූ ශිෂ්‍ය නායක ලාංඡනයට පින් සිද්ද වෙන්නට 13 වසරේදී ඉක්කොලේ ගේට්ටුව පැන්නේ උදේ මහ පාන්දර 9 ටය. (අද ඒ ළමයා චීචර් කෙනෙකු වීමත්, පාසලේ විනය මණ්ඩලයේ සාමාජිකාවක් වීමත්, ශිෂ්‍යා නිල මණ්ඩලයේ උපදේශිකාව වීමත් වෙනමම සාකච්ඡා කල යුතු මාතෘකාවකි)

ඉක්කෝලය මට හැමදා වහ කදුරු වූ ස්ථානයකි. ඉක්කෝලයෙන් එලියට බැස්ස දා මම යලි කිසි දිනෙක වැස්සකටවත් නැවත ඉක්කෝලයක පස් නොපාගමි යැයි සිතා පිට වීමි. දෙයියෝ මට සැමදා දෙන්නේ මම එපාම කියූ දේවල් ය. ඔහු මාව නැවත ඉක්කෝලයකම නැවැත්තුවේය.  (දෙයියෝ එක දෙයක් මට ඕනෑ විදියට දේවියැවි මම සිතමි. ඒක නොදුන්නොත් මම දෙය්යන්ව දිව්‍ය ලෝකයේදි හෝ අල්ලා හොල්ලමි) 

ඉතින් හෙට ඉක්කෝලය පටන් ගන්නා බැවින් හෙට චීච ඉක්කෝලයට යා යුතුය. ඒ නිසා චීච හෙට ඉක්කෝලයේ යයි. සතියකින් සිකුරාදා ආපසු එක විට චීචට කියවන්න ගොඩාරියක් බ්ලොග් යහලුවෝ ලියා තබන බව චීචට විශ්වාසය. ඉක්කෝලයේ යන කාලයේ පටන් උදේට හැදුණු වමනය ගතිය, බඩේ අමරුව, ඔලුවේ කැක්කුම සහ බෙල්ලේ හිර වෙන ගතිය යලිත් හෙට උදේ ට ඇති වනු ඇත. :( මක් කොරන්ට ද??? ඉක්කෝලයේ යා යුතුමය. මගේ පැටවු මා එන තුරු බලා සිටියි. 

Saturday, January 1, 2011

ඔන්න 2011...........

"~ආදරණීය නවාතැන~"  එන ජනනියා ටත්

"අම්මා සහ බබා" එක්ක එන මා ටත්

"දියත් කුලේ අපි"  ගැන කියන ආගන්තුකයා ටත්

"බිඟූ නද" ගේන බිඟූ ටත් 

  :::: සිතුවිලි ගංගා :::: ගේන ගංගා ටත්

අච්චාරු දාන තරිදු ටත්

BLOG ගඩොල් කපන පූසන්ටත් 

Pahan's Diary| පහන්ගේ දින සටහන් ලියන පහන් ටත්

  DeepS ගේ අනං මනං ලෝකය ලියන දීපිකා නංගී ටත්

Dil Scoop ක්‍රිකටර්ස් ලා ටත් 

Fit එකේ සෙට් වෙන්න!!!! ඕනෙ වෙලාවක ලෑස්ති පිටස්තරයාටත් 

  Gee Mihira ගේන සුදු මහත්තයාටත්

KamuBomu   කියලා වචනෙන් හරි අපේ බඩ කට පුරවන නලියා ටත්

Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලියන දිගගගගගගගග නමක් තියෙන කෙනාටත්

Kussiya :: කුස්සිය :: குசினி අස්සේ ඉන්න කට්ටියටත් 

Morning පැංචි!  ලියන මොර්නින්ග් පැංචී ටත්

සේයාවලෝකණ ලියන ~බිன்ku~ ටත්

NUWAN's lane ලියන නුවන් ටත්

One | Zero | Zero ලියන ආගන්තුකයා ටත්

Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ  ලියන පැන්ඩා ටත් එයාගේ පැන්ඩී ටත්

  Pathum Punchihewa ටත්

Photography සිංහලෙන් ලියන මාධව ටත් 

  Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ලියන රාමචන්ද්‍ර ටත්

RearGate ලියන සමරේ ටත්

Sithangi   ලියන වන්නිටත්

  Sri Lankan Stars සහ Sri Lankan Weddings කරන රුකී ටත්

The Independent ලියනEMS ත්

W3Lanka නොවරදවා ගොඩ වෙන තැනටත්

~ බුද්ධිකගේ අඩවිය ~   ලියන බුද්ධිකටත්

    දුමීගේ කට කහන කතා ලියා කැසිල්ල වැඩි කර ගත් දුමී අය්යාට ද

අකේලේ හම් එක්ක කොන්තරාත් ගේන දිනේෂ් ට ත්

ආගිය කතා ලියන හසිත ටත්

ඉංගිරිසි Ingirisi උගන්වන සුජීව ද සිල්වා සර් ටත්

කතන්දර ලියන අපේ කතන්දර මැතිතුමාට ත්

කලවම | හොද හොද දේවල් වලින් මික්ස් එකක් ලියන V ටත්

  කැන්ඩිගේ මතක අහුර.... අහුරු පිටින් අපිට ගේන කැන්ඩි ටත්

චරිත්ගෙ සිතුවිලි අපිට ලියලා දෙන චරිත් ටත්

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න කියලා අපිට කියන අභීත අයියාටත් 

ඩුබායි වට්ටක්කා වවලා ලාබෙට දෙන පුතා ටත්

තාරා ගේ සිතුවිලි  ගේන තාරා ටත්

දුකා.. ටත්

  පමල් ගේ සිතුවිලි ::: Pamal Ge Sithuwili ලියන පමල් ටත්

පිණි පළස   උඩින් එන හරී අක්කටත්

  පොත් රාක්කය උඩ ඉන්න ලිශ්විශ් ටත්

  මගේ කතාව ඉන්ද්‍රනාත තේනුවර සර් ටත්

මගේ මතක ලියන ප්‍රියන්ත ටත්

  මගේ මරණය ලියන ම ටත්

මගේ ලෝකය හිත පතුලෙන් ම ලියන රංග අයියා ටත්

මම ආසා පින්තූර අපිටත් පෙන්වන දිල් ටත්

මාරයාගේ හෝරාව ලියන මාරයාගේ ඔරලෝසුවටත්

මෙන්න මෙහෙමයි කට්ටියටත් 

  යැංකි කතා ලියන නේෂාධ අයියා ටත්

ලීෂාන්ගේ බ්ලොග් රෝල ලියන ලිෂාන් ටත්

වටපිට වගතුග ලියන විකී ටත්

වැම්පයර් ටත්

ශාකුන්තලගේ සටහන් පොත ලියන ශාකුන්තල ටත්

  සඳුන්ගේ අඩවිය ලියන සඳුන් ටත්

සහෘදයා ලියන ගීත් ටත්

සිරකරුවා ටත්

සිහගිර   ලියන සත්‍යජිත් ටත්

සිහින දකින්නියකගේ අඩවිය ලියන ස්වප්නා ටත්
 
 
හිතුවක්කාර සිත ,,, ලියන නිම්ශා ටත්
හිතෙන දේ කියන තැන ලියන මංජු ටත්
 
හිපියාගේ සටහන්... ලියන පැතුම් ටත්
 
෴Pramodblog෴  ලියන pramodindunith ටත්
 
 
එකී මෙකී නොකී සියලුම බ්ලොග් කරුවන්ට සහ බ්ලොග් කියවන්නන්ට සුභ 2011 ක් වේවා!!!!