Saturday, February 26, 2011

ස්පෝර්ට්මීට් කතා (අවසාන කොටස) - මම ඔබෙන් ආදරය කරන්නට උගත්තෙමි.


ස්පෝර්ට් මීට් කතා සීරිස් එක මම අල කර ගත්තේ වලි කතා ලියන්න ගිහින්. මොන වලිය තිබ්බත් ඔන්න අද අපි අපේ ස්පෝර්ට් මීට් එක ඉවර කර ගත්තා. ඊයේ දවල් තමා ඔන්න කට්ටියටම ඕනී වුනේ නිවාසය හදන්න. මගේ නිවාසයේ කොල්ලෝ ටික ඉතින් දෙයියනේ කියලා හණ කැලේකටයි මාන කැලේකටයි වග කියලා තිබ්බා. කොල්ලන්ගේ අත් මාන වලට සහ හණ වල කටු වලට හොදටම කැපිලා තිබ්බේ. වැඩේ අල වෙලා තිබ්බේ ඒවා චන්දන අයියාගේ ලොරියෙන් ඉස්කෝලෙට ගෙනාපුවාමයි. ඔක්කොම පොඩි වෙලා. 

අපේ රජිත ට ඕනි වුනේ නැවක් හදන්න. මනුස්සයාගේ නැවේ ප්ලැන් එක දැක්කම මට මොලේ නරක් වුණා. ඒක නැවක් කියලා පේන්නේ අහසින් ගිහාම විතරයි. පස්සේ විස්තර කරලා කරලා කට්ටියම එකග වුණා ඉස්සරහ නැවක් වගේ හදන්නත් පිටිපස්ස නිකන් හරි හතරැස් කාමරයක් හදන්නත්. ඉතින් ඔන්න අපි වැඩේ ට බැස්සා. 

මෙහෙම වැඩකට මමත් ළමයිනුත් බැස්ස පළවෙනි වතාවයි මේ.  අපි නිකන් උඩින් වැටිලා වගේ. වෙලාවට පිහිටට ආවේ චන්දන අයියා. 6 වසරේ නෙත්මි ගේ තාත්තා. එයා කණු හිටවන්න පොළවේ වලවල් හාරලා කනු හිටවලා සැකිල්ල හදලා දීලයි ගියේ. ඒත් අත්දැකීම් නැතිකම නිසා අපි සෑහෙන්න පසු බැහැලා හිටියේ. අපි උදේ ඉදලා රෑ 8 විතර වෙනකල් ම උත්සහ කලේ ස්වභාවික ද්‍රව්‍ය වලින් කොහොමද බිත්ති හදන්නේ කියලා කම්පනා කරන්නයි. 

ඔව් වෙලාව හරි ... එතකොට වෙලාව රෑ 8යි.පස්සේ අපි ඔක්කොම පුළු පුළුවන් විදියට නිවාසේ හැදුවා. චන්දන අයියා කියතට ඇගිල්ලක් කපා ගත්තා. ඒ අතරේ අපේ නිවාසේ නායක භානුක අල්ලවල් දෙක ට හුලං පිඹිනවා. 

"මොකද භානුක?"

"නෑ ටීච මොකුත් නෑ" කොල්ලා අත් දෙක පිටිපස්සට කර ගත්තා.

මම කොහොම හරි භානුකව අල්ලගෙන අල්ල දිග ඇරලා බැලුවා. මගේ පපුව හිර වෙන්න වගේ ආවා ඒ අත් දෙක දැකලා. භානුක ගේ අත් දෙකේම කර ගැට. ඒවා ලොකු දිය පට්ට වෙලා සමහර දිය පට්ට පුපුරලා. සමහර දිය පට්ට ඇතුලේ සැරව පිරිලා වගේ සුදු පාට වෙලා.  මම හෙමීට ඒ අත්ල අතගෑවා. කොල්ලා හිනා වුනා.

"ඕකට මොනවා උනත් ටීච මම වැඩ කරන්න එපායැ"

"රිදෙන්නේ නැද්ද පුතේ?"

භානුක සිනා සුනේ ය.  ඒ ඔහුගේ හැටි ය. භානුක යනු ගිය අවුරුද්ද තෙක් මගේ පන්තියේ හිටපු නසරානිම කොල්ලෙකි. හේ ඉගෙනීමට මධ්‍යස්ථ දස්කම් ඇති දරුවෙකි. නමුත් ඒ ටිකවත් කර ගන්නට බැරි උණේ කොල්ලාගේ දගකාරකම නිසාය. නමුත් හේතුවට හෝ අහේතුවට ඔහු මගේ නිවාසයේ නායකයා බවට පත් විය. සති දෙකකින් හේ විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු වන්නට තරම් වාසනාවන්ත විය. ඒ නිවාස නයකයෙකු වෙමින් හේ දක්වූ අසීමිත කැප කිරීමේ ප්‍රතිඵල වශයෙනි. අද වන විට භානුක යනු අපූරු නායකයෙකි. එහි ආඩම්බරය ඇත්තටම මම මගේ ගිණුමට බැර කර ගනිමි. ඔහුව නායකයෙකු කලේ මමයි. ශිෂ්‍ය නායකයෙකු කලේ මමයි. අදින් පසුව මගේ ඊළග අරමුණ දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විහාගය ලියන ඔහුව අධ්‍යාපනයට යොමු කරවීමයි.

රෑ 8 ට මට සිහිය ආවේ ය. "මුන් රෑ ට කාලා නෑ නේද?" වහාම මම නිරෝශන් ව කඩේ යවා පාන් සහ සැමන් ටින් එකක් ගෙන්වා සමන් මලෙන් පවන් සැලේ ගේ ගෙදරට ගොස් සැමන් සම්බෝලයක් සෑදුවෙමි. එය ගෙනැවිත් නිවාසය සාදන තැන තැබීමට ගිය වෙලාව පමණි. අන්තිමට මම දැක්කේ සැමන් සම්බෝලය තිබූ භාජනය පිස දාගෙන කන රජිතයි.  

මගේ හිත නැවත නරක් විය. වහා පුස්තකාලය හැර අමුත්තන්ට සංග්‍රහ කිරීමට තිබූ බිස්කට් පැකට්ටු දෙකක් පිටියට ගෙන ගියෙමි. හශාර යවා ඔහුගේ ගෙදරින් කහට එකක් සාදවාගෙන ගෙනාවෙමි.  යන්තම් කොල්ලන්ගේ කටට පණ ආවේය. මම වටපිට බැලීමි. අනික් නිවාස දෙක හදන්නේ දෙමාපියන් ය. මගේ කොල්ලෝ චන්දන අයියා හා තවත් එක පියෙක් හා සමග පමණක් මැරෙති. මා සමග මගේ නිවාසයේ අනික් ගුරුතුමා වන නියෝජ්‍ය විදුහල්පති ගුණසිංහ සර් ද විය. ඔහුද උණ බට පලමින් දරුවන් ට උදව් කලේ ය. ධම්මිකා හා වසන්තී හවස 4 වන විට ගෙදර ගියහ. 

 මට ගෙදර යන්නට ලැබුණේ රෑ 12 ට ය. ඒ බෝඩිමේ ලොකු කොලුවා ශාන් නිදිමත පෙරෙමින් වෑන් එක රැගෙන පැමිණි පසුවය. ඒ ගියේ ද සතුටින් නොවේ. මගේ දරුවෝ දමා යාමට මට සිත් දුන්නේ නැත. නමුත් හිස් කබල පුපුරා යන තරම් දැඩි ශීතලකින් යුත් ඒ රාත්‍රියේ මට නිවසට යන්නට සිදු වුනේ උණුසුම් ඇදුම් කිසිවක් මා සතුව නොතිබුණ බැවිණි. රාත්‍රී 12 වන තෙක් කොල්ලෝ කණ්ඩායම් දෙකකට බෙදී මාරුවෙන් මාරුවට වැඩ කළහ. එක කණ්ඩායමක් වැඩ කරන විට අනික් කණ්ඩායම මගේ ලගට වී කියවති. මම ඔවුන් ව පන්නන විට ඔවුන් යයි. ටිකකින් අනික් කොටස මගේ ලගට විත් කියවති. එසේ කිරීමට හේතුව මට කිව්වේ පසුදා උදෑසන ය. කොල්ලෝ කණ්ඩායම් දෙකකට බෙදී මා යන තුරු මාරුවෙන් මාරුවට මා මුර කර ඇත. මගේ පපුව දැවී ගියේ ය. 

පසුවදා උදෑසන මම දම් පැහැ සාරියක් ද ඇදගෙන ඉක්මනින් පාසැලට ගියෙමි. ඒ වන විටත් ලකුණු 120 ක පරතරයක් අපේ නිවාසය හා 2 වන ස්ථානය ලබා ගත් නිවාසය අතර විය. දිනන්නට නොහැකි බව අපි සියළුම දෙනා දැන සිටියෙමු. ඒත් අපිට ආශාවක් විය. ඒ කැත වුණත් අපේ නිවාසයට ලස්සන යැයි කියාවි යැයි යන බලාපොරොත්තුවයි.  

මගේ පිටුපසින්ම වාගේ ධම්මිකා හා වසන්තී පැමිණියහ. ඔවුන් නිවාසය පැත්ත පලාතේවත් නොගොස් කෙලින් ම පුස්තකාලයට රිංගා ගත්හ.  ටිකකින් පුස්තකාලයේ සිටි කෙල්ලන් දෙදෙනෙක් නිවාසයට පැමිණ මා වටා කැරකෙන්නට විය. 

"ටීච , ......(අහවල්)....... ටීච අන්න බනිනවා. නිවාසේ කැතයි ලු. එයාට එන්නවත් හිතෙන්නේ නෑ ලු. හරිම ජරා නිවාසයක් ලු. අනික් දෙකම ලස්සනයි ලු."

මට පත්තු විය. මගේ ඇස් වල කදුළු පිරුණි. වහා මම වටපිට බැලුවෙමි. විය යුතු නරකම දේ සිදුවී ඇත. මගේ කොල්ලෝ ටික මගේ පිටුපසය.  ඔවුන් ට ඒ කතාව ඇසුණා පමණක් නොව මගේ දෑසින් වැටුණු කදුළු ද පෙනුණි. එය සගවා ගැනීමට මට අවකාශයක් නැති විය. භානුක ගේ දෑස් වලින් ගිනි පුළිගු පිට විය. භානුක ඒ කතාව කී කෙල්ලට කතා කලේ ය. 

"මේ තමුසේ ගිහින් කියනවා එන්න බැරි ඕනි එකෙකුට එහෙට වෙලාම ඉන්න කියලා. අපිට සංජු ටීච හිටියම ඇති. අපි 3 වෙනි තැන නිසානේ ඔහොම කතා කරන්නේ. වැරදිලා හරි අපි අද 2 හරි 1 හරි තැන් වල හිටියා නම් ටීච කරපු වැඩත් එක්ක ඒගොල්ලෝ කරා කිය කිය මෙතන නටයි. ගිහින් කියනවා එන්න ඕනි නෑ කියලා." 

කෙල්ලෝ දෙන්න අමු කැවුනා සේ බලා සිටියි. මම වහා භානුකව නැවැත්තුවෙමි. 

"අනේ පුතා කෑ ගහන්න එපා ඕනි එකක් කියපුදෙන්" 

ඒ මොනවා කිව්වත් මගේ දෑසින් වැටෙන කදුළු නවතා ගැනීමට මම අසමත් වීමි. මට නිවාසය පැරදුනාට දුක නැත. මගේ පුතුන් මහන්සි වී දින දෙකක් නිදි මරා දෑතේ කරගැට දියපට්ටා එන තෙක් කළ වැඩය එක වචනයකින් අගය නොකිරීම ගැන මට පපුව පැලෙන තෙක් දුක සිතුණි.  මගේ දෑසින් කදුළු වැටුනේ එහෙයිනි. 

අවසානයේ සියළු දෙනා නිවාසයට පැමිණියහ. කිසිදු අගය කිරීමක් නැත. ලොකු කොල්ලන්ගේ ඇස් වලින් ගිනි පිට වේ. මම අන් අයට නොපෙනෙන ලෙස දෑත් එක් කර කිව්වේ කට වසාගෙන සිටින ලෙස යි. "ටීච නිසා ඉවසනවා" කියමින් භානුක අතුරුදහන් විය. ඒ පසුපසින් අනික් සියළු දෙනා ද මාරු විය. 

මේ අතර ගුරු මණ්ඩලයේ තරගය ආරම්භ විය. අපේ නිවාසයේ එක්කෙනෙක් තම දරුවා වඩාගෙන සැමියා සමගය. අනිකා ගත් කටටම කිව්වේ "මට යන්න බෑ මම යයි ඕකුන්ගේ ඒවාට" කියා ය. ගුනසිංහ සර් පැත්ත පළාතේ නැත.  භානුක හා නිවාස නායිකා සදුනි මා ඇමතූ හ. 

"ටීච.... ටීච යන්න ටීච. අපේ නිවාසේ වෙනුවෙන් ටීච යන්න. අපි ඉන්නවනේ ටීචට"

කණ්ඩායම් තරගය තනිවම හෝ කරන බව සිතාගෙන මම මායිමෙන් රිංගා ක්‍රීඩා පිටියට ඇතුල් වීමි.  මෙන්න අර ඕකුන්ගේ ඒවාට මම යයි කියූ එක්කෙනාද මගේ පසුපසින් පිටියට එයි. බබා වඩාගෙන සිටි එක්කෙනා ද බබාව සැමියාට දී ආවාය. 

ගුරු මණ්ඩලයේ තරගය බෝලයක් සිග් සැග් ක්‍රමයට වීදුරු බෝතල් අතරින් බිම දිගේ රවුමක් ගෙන ගොස් දෙවනියාට නැවත භාර දීමයි.  ඕකුන්ගේ ඒවාට මම යයි කියූ එක්කෙනා වටයක් යාමට ගත් කාලය නිස අපි එහිද සිටියේ 3 වන තැනය. හොද වෙලාවට අනික් නිවාසයක සිටි අළුත් සර් බෝලයට දූන් පයින් පාරක් නිසා බෝලය පිටියේ දුර කොනකට විසි විය. ඒ අවසරයෙන් අපි තරගය 2 වන ස්ථානයට නිමා කළෙමු. 

තව තරග 2 කට පසු ගුරු මණ්ඩලයේ තරගයේ ත්‍යාග බෙදා දුනි. මම තෑග්ග ගන්නට වේදිකාව දෙසට යන විට නිවාසයේ කොඩිය රැගෙන භානුක මා පසුපසින් දිව ආවේ ය. මගේ පාසැලේ සංඝමිත්තා නිවාසයේ රතු ධජය සමග ගිය ගමන් මට නිතැතින් ම සිහියට නැගුණි.  එය ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයකි. 

ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ දී අපි ලකුණු 200 කින් පමණ පස්සට විසි වී සිටියෙමු. එය මම බලාපොරොත්තු විය. මට ඉවසා දරා ගැනීමට නොහැකි වුනේ මා මැදින් තබාගෙන මගේ කණ් 2 හරහා යැවූ ඇනුම් පදයි. ඒ සියළුම දෙනාට වඩා වයසින් සහ සේවයෙන් ලාබාල මට නිවාසය භාර දීමෙන් ඔවුන් ට ඇති වී යැයි සිතන නින්දාවත්, ළමයින් මා සමග එක්ව වැඩ කිරීමෙන් ලමයින් මා හා මිතුරු වීම නිසා ඇති වූ ඊර්ෂ්‍යාවත් නිසා බව මට ඒ වන විට හැගී ගොස් තිබුණි. 

ඒ වන විට මගේ ඇස් වල ඇති පයිප්පය නැවත ලීක් වෙන්නට ඔන්න මෙන්න විය. පහසුවෙන් සිටි ආචාර පෙළපාලි කණ්ඩායමේ එකෙක් මගේ ඇස් වල කදුලු දැක්කේ ය. ඔහුගේ මාර්ගයෙන් සියළුම දෙනා දැන ගත්හ. ඉදිරියෙන්ම සිටි භානුක තෙක් මුළු ආචාර පෙලපාලි කණ්ඩායමම හැරී මා දෙස බැලූහ. හිස බිමට නවා ගත නොහැක. එයින් මා පරාජිත බව පෙනේ. දෑසේ එක්වූ කදුළු පිස දැමිය නොහැක. මා ඉන්නේ පිට්ටනිය මැදය. මම දරාගෙන සිටියෙමි.වෙන දේ ඔවුන් ට අනුමානයට දැනී තිබුණි. 

ක්‍රීඩා උත්සවය අවසන් වූ විට මම ළමෝ සියළු දෙනා මා වටා එක් කර ගත්තෙමි. අපි ළංව රවුමක් සෑදුනෙමු.  මට ඔවුන් ට අවසාන වචන ස්වල්පය කීමට උවමනා විය. 

"පුතේ ඔයාල ගොඩක් මහන්සි වුනා...හිත නරක් කර ගන්න එපා. ල...බ..න පාර අ.. පි.... එ...එක... නි..වා..සෙ..ක...නො...ඉ...න්...න... පු....ළු..ව...න්.  ඔ...යා...ල...ට...පි...න්.... අ..පි...ට...උ..ද..ව්... ක..ලා...ට"

අවසාන පේළි දෙක කියද්දී මට ඇඩුණි. මම එහෙම්මම නිවසයේ ප්‍රථමාධාර ඒකකයට ගොස් හැඩුවෙමි. මා පසුපසින් විත් සදුනි ද හඩන්නීය. මම මේ කුමක් කරන්නේ ද?  

ධම්මිකා හා වසන්තී පැමිණ ළමයින් ට බැන කෑම බෙදා දුන්හ.  දහය වසරේ සුපුන් හඩමින් පැමිණ මා අසල වාඩි විය. 

"ටීච අඩන්න එපා ටීච. ටීච අපි වෙනුවෙන් කොච්චර වෙලා හිටිය ද? ටීච ගෑණු ළමයෙක් වෙලත් අපි නිසා බය නැතුව හිටියා. අපිට තේරෙනවා ටීච. අපි මෝඩයෝ නෙවෙයි. " 

සුපුන් කදුළු පෙරමින් හඩන ගමන් මා සනසයි. ඔහු හඩද්දී මා සැනසෙන්නේ කෙසේ ද?  

එකවරම කාමරයට රිංගුවේ භානුක සහ තරිදු ය. භානුක කාමරයේ මුල්ලකට ගොස් හඩන්නට විය. තරිදු ද හඩයි. ඒ පසුපසින් භානුක ගේ පුංචි අම්මා ඇතුල් විය. භානුක මා අසලට පැමිණ ඇත්තේ පුංචි අම්මාගෙන් බේරීමටයි.  මම නිවාසයේ පිටුපස බැලුවෙමි. කරදඩු දික් වූ නසරානි කොල්ලෝ , පන්තියේ දී දඩබ්බරම කොල්ලෝ පොඩි උන් සේ හඩා වැටෙති. සියල්ලෝම සිතන්නේ අපි අඩන්නේ පැරදුන නිසා කියා ය. ඇත්ත දන්නේ අපි පමණි. භානුකට ඇණයක් වී සිටි පුංචි අම්ම ගිය පසු හේ එලියට ගියේ ය. 

ඔක්කොම අඩන්නට පටන් ගත්තොත් මෙතන මළ ජංජාලයක් වෙන නිසා මම ඇඩීම අමාරුවෙන් පාලනය කර ගතිමි.  ඒ අතර එක්කෙනෙක් ගොස් භානුකට බැන වදියි. ඒ කන්නට කියාය. භානුක ඇයව සත පහකට ගනන් නොගෙන අහක බලාගෙන සිටියි. මම එතැන සිටි අම්මා කෙනෙකුට කියා බත් එකක් බෙදවාගෙන භානුක සිටි තැනට ගියෙමි. 

"භානුක කන්න පුතා" භානුක බෑ කියමින් හිස වනයි. 

"අනේ පුතේ ඔයා මාව ආයේ අඩවන්නේ නැතුව කන්න මේක පුතෙ" නැවතත් බෑ.

"ඔයා මාව ආයේ අඩවන්නද හදන්නේ. මගෙ පුතා කන්න මේක" උත්තරය පෙර සේමය.  

"ඔයා මගෙ නිවාසේ මගෙ රත්තරන් ලොකු පුතා නේද? මාව අඩවන්නේ නැතුව කන්න මගේ පුතේ"

බත් පිගාන දෝතින්ම ගත් භානුක ඌරන්ට මොන සෞඛ්‍යය දැයි සිතා එහෙම්මම කන්නට පටන් ගත්තේ ය.  මම බත් කටක් කෑවේ ඉන්පසුවය. දරුවෝ සියළු දෙනා ගියේ අපට වදිමිනි. ඒ ආදරය ගෞරවය ගුරුවරයෙකුගේ ජීවිතයේ අමතක නොවන මතකයන් ය. ආදරය ලබා එය නැවත දෙන්නට කැප කිරීම් කළ යුතුය. විශේෂයෙන් ඒ තම කුසින් වැදූ දරුවන් ට නොව අන් අයගේ දරුවන් ට බැවිනි. 

අද මම ආදරය ලැබුවෙමි. ආදරය ආරක්ෂාව මගේ පුතුන්ගෙන් ලදිමි. සෙනෙහස ආදරය මගේ දූවරුන්ගෙන් ලදිමි. වෙනදා මෙන් නොව අද මම ද ඔවුන් ට පෙරලා ආදරය දුනිමි. මට තුරුළු වී හඩන්නට ඔවුන් ලැජ්ජා වූයේ නැත. මගේ පුතුන් අදින් පසුව හඩන්නට වුවමනා වූ විට මා සොයා එන බව මම දනිමි. මා පුතුන් මා ඉදිරියේ ඔවුන්ගේ කදුළු හෙළුවෝය. මම ඔවුන්ගේ හිස අත ගා සනසන්නට ඔවුන් ට සිටින බව ඔවුන් අද උගත් හ. අඩන්නට වුවමනා නම් එය සගවනවාට වඩා හඩා පිට කිරීම හොද බව මම අදහමි.

මගේ දරුවෝ... මගේ පුතුන් සහ දූ වරුන් තවදුරටත් නොමේරූ පොඩ්ඩන් නොවේ. ඔවුන් තම දිවියේ පළමු අඩිය අද තැබූහ. පරිනත ලෝකයේ පළමු අඩිය මා  පුතුන් හා දියණිවරු තරණය කර හමාරය. ඒ මට ආදරය කරන හැටි ද උගන්නමිනි


Sunday, February 20, 2011

ස්පෝර්ට්මීට් කතා 4 – (මහා) ගුරු ( උතුම )න්ටත් අකුරු වරදී



අද අපේ ස්පෝර්ට්මීට් එකේ ජවන ඉසවු ආරම්භ විය. ජවන ඉසවු පැවැත්වුනේ පාසැල් ක්‍රීඩා පිටියේ නොව වෙනත් විශාල ක්‍රීඩ පිටියකයි. පසුගිය දින 3 ම පැවතියේ පිටියේ ඉසව් ය.

අද උදේ ආරම්භ වූ ජවන තරග වලින් බාගයක් පමණ අවසන් වූ විට දැක පුරුදු පුද්ගලයෙක් කුඩයකුත් බිම ඇන ගෙන මහදැන මුත්තා ලෙසින් එනු මට පෙනුණි. මම ධම්මිකාට ඇන ඔහුව පෙන්වීමි.

“හාපෝ අන්න අරයා එනවා”

ඒ වෙනින් කවුරුවත් නොව විදුහල්පති  රැස්වීමකට ගොස් දින 3 ක් අතුරුදහන්ව සිටි අපේ විදුහල්පති උතුමා ය. හේ පැමිනි විගසම මීටර 5000 දිවීමේ තරගයේ වට ගනන් කරන්නෙකු ලෙස ධාවන මංතීරු අසලට යවන ලදි. (පසුව ආරංචි වූ පරිදි එය යැවීමක් නොව ඉල්ලාගෙන යාමක් බව සැල විය )

තරගය හමාර විය. අපේ රජිත 1 වන ස්ථානය දිනා ගත්තේ ය. තරගය අවසන් වූ පසු මණිමේඛලා විසින් තරග කරුවන් ගේ රැස්වීමක් ගන්නා බව අපට පෙනුනි. එය අවසන් වූ වහා රජිත ඇතුලු මගේ නිවාසයේ කොල්ලන් ටික මා සොයා ආහ.

“ටීච මම දුවලා තියෙන්නේ වට 24 යි ලු. උතුමා සර් ට මගේ වට ගාන වැරදිලා ලු. හෙට මීටර 5000 තරගය ආපහු තියෙනවා ලු. අනේ ටීච ආයේ දුවන්න බෑ මට අමාරුයි.”

මටත් වසන්තී ටත් ධම්මිකා තත් මල අතේ ය. අපි 3 දෙනා ඊයක වේගයෙන් වලිය සොයා ගියෙමු.

“ඇයි එහෙම කලේ?”

උතුමා ගලේ පැහැරූ හොර බිලාලයෙකු සේ බෝතල් අඩි දෙක තුලින් බලා සිටියි. තරග විනිශ්චය සදහා ආනයනය කර සිටි රාම ගේ සහෝදර සර් උතුමාව බේරුවේ රටේ නැති හෑල්ලක් කියමිනි. අවසානයේ කොල්ලෝ නොකර වරදකට දඩුවම් ලෙස හෙට තව වට 25ක් නොහොත් මීටර 5000ක් නැත්නම් කිලෝ මීටර 5ක් නැවත දුවති.

දුවන්නට බැරි කමක් නැත. හේතුව වන්නේ අපේ ළමයින් පිට්ටනියට බසින්නේ තරගය වෙලාවට වීමයි. ඔවුන් ට කිසිදු පෙර පුහුනුවක් නැත. දිගු දුර ධාවන තරග යනු ක්‍රීඩකයින්ගේ වේගයට වඩා දරාගැනීමේ හැකියාව පරීක්ෂාවට ලක් කිරීමයි. එක දවසකට පිටියට බට අපේ කොල්ලන් ව දෙවරක් එවන් දරා ගැනීමේ පරීක්ෂනයකට ලක් කිරීම යනු ඔවුන් ව කිහිප ආකාරයකින් අවදානමකට ඇද දැමීමෙනි. අනික් අතට දස අතට පෙත්සම් ගසා විදුහල්පති වූ උතුමා ට මෙයට වඩා වගකීමක් තිබිය යුතු වීමයි. තරග නැරබීමට පැමිණ සිටින අංගනාවන් සමග මුකුළු කරමින් තරග විනිශ්චය කටයුතු කිරීමට නොහැකි බව ඔහුගේ කුඩා මොළයටවත් වැටහෙන්නේ නැත.

අද මීටර 100 සදහා ධාවන තීරු ලකුණු කොට නොතිබිණි. වස්සා සර් ට්‍රැක් ගහන්න ඉන්න යැයි බෙරිහන් දිද්දී ලොකු කොල්ලෝ ටික හෙමින් සීරුවේ මාරු වනු මම දුටිමි. ඉන්පසු මම කෙල්ලන් ටික සමග යන විට මලින්ත සහ නිරෝශන් ව මුණ ගැසුණි.

“හරි අසාධාරනයි ටීච. උතුමා සර් ආවොත් ඔක්කොම අනලා තමා පස්ස බලන්නේ. මොකට ආවද මන්දා!”

“කෑ ගහන්න එපා බූරුවනේ… ඇහුනොත් උඹලට ආයේ එන්න වෙන්නෙ නෑ මේ පැත්තේ”

“ටීච හෙට ආයේ මීටර 5000 දුවනකොට උතුමා සර් ට වට 50ක් දුවන්න කියන්න ඕනේ. අපි අද දිව්ව වට 25 යි හෙට දුවන වට 25 යි එකතුව. එයාට තේරෙන්න ඕනි අපි දුවන්නේ කොච්චර අමාරුවෙන් ද කියලා!”

“හිකිස්”

අම්මපා මට පුලුවන් නම් කෝටුවක් අරගෙන පන්නමින් උතුමා ව වට 50ක් දුවවමි. ගුරු මණ්ඩලයේ අනිකුත් අයද කෙවිටි රැගෙන පන්නනු ඇත. නමුත් ඒ බගලවතී ඉස්කෝලේ හාමිනේ හැර ය. නමුත් එය හිතලුවක් පමණි. අපේ අසරණ කොල්ලෝ උතුමාගේ වගකීම් රහිත ඔලමොට්ටල වැඩේ නිසා හෙට දඩුවම් විදිති. මට ඔවුන් ගේ මුහුණු බැලීමට නොහැක. පොඩි එවුන් ටික පව් ය. 

ප.ලි. අපේ කොල්ලෝ පසුවදා නැවත් දිවූහ. ඒ ශරීරයේ ශක්තියෙන් නොව හිතේ හයියෙනි. ජීවනි පොවා ඔවුන් විජලනය වීම වලක්වා ගැනීමට අපි සමත් වීමු. කිසිදු අතුරු ආන්තරාවකින් තොරව අපි ජවන හා පිටිය මලල ක්‍රීඩ ඉසව් අවසන් කලෙමු.

Monday, February 14, 2011

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම



න්න ස්පෝර්ට්මීට් කතා වල 3 වන කොටස. 

න්න ඉතින් අපේ ක්‍රීඩ උත්සව කතාවේ 3 වෙනි කොටස පටන් ගන්නයි හදන්නේ. මම හිතුවට වඩා ඉක්මනට මේ කතාව ඉවර කරන්න වෙයි වගෙ. මොකද වැස්ස නිසා පෙබරවාරි 25 වෙනිදාට පවත්වන්න නියමිතව තිබූ ක්‍රීඩා උත්සවය 15 වෙනිදාට දමා ගැනීමත් නිරපරාදේ දරුවන් වැස්සට තෙමවමින් බූරුවන් ලෙස සංවිධායක මණ්ඩලය කටයුතු කිරීමත් නිසා ලගදීම සංවිධායක මණ්ඩලය ඇතුලු අපි සියළු දෙනාට දෙමාපියන්ගෙන් ගුටි මුරයක් ලැබීමට ඇති ඉඩ කඩ වැඩි වීමත් ඒවාට හේතු ය.

කොච්චර විරෝධය පෑවත් සංවිධායක මණ්ඩලය පවසන්නේ ක්‍රීඩ උත්සවය වැස්සේ හෝ පැවැත්විය යුතු බවය. පට්ට වැස්සේ එල්ලේ ගසා මගේ නිවාසයේ දුවකගේ සන්ධි බිදීමකට ලක් වූවාය. එයට පෙර සිටම මම මණිමේඛලාවන්ට කියා සිටියේ කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලන්ව වැස්සේ නොතෙමවමු යන්නයි. නමුත් ඕ එය කණකට නොගත්තාය. ඕ මෙන්ම මුලු සංවිධායක මණ්ඩලයම ඒ අවස්ථාවේ බිහිරන් සේ හැසිරුනා හ. එයින් පාඩුව වෙන කාටවත් නොව අර දියණියට පමණි. අවසානයේ මම බැන වැදුනේ ඔබලාගේ දරුවන් මේ ආකාරයෙන් වැස්සේ ක්‍රීඩ කරවනවාද? ඔවුන් ට මෙසේ දිනපතා තෙමෙමින් පට්ටම පට්ට සීතලේ ක්‍රීඩා කිරීමට ඉඩ දෙනවාඩ යන්නයි. සියල්ලෝම නෑසූ කණ්ව සිටියහ.

 මම ද ඉන් පාඩමක් ඉගෙන ගතිමි. දරුවෙකුට යම් අනතුරක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම සංවිධායක මණ්ඩලයට පවරා මම ඉන් ඉවත් වන බවයි. නමුත් හදවතේ සාක්කියට බොරු කල නොහැකි බැවින් මම අර කෙලි පැටියාව ඇයගේ මවට භාර දුනිමි. ඒ මොහොතේ ඇයගේ මවගේ ගුණ යහපත්කම නිසා මම සහ වසන්තී කුණුහරුප යක් අසා නොගෙන බේරුනෙමු. ණමුත් ඒ මවගේ දෑසින් ගිහි පුලිගු පිට වනු අපට පෙනුණි. ගෙදරින් හොදින් ගිය ළමයා අතක් පයක් කඩාගෙන ගෙදර එනවාට කැමති කොයි අම්මාද?

සුවදා ඒ ගැන අලුත් සර්, චානක මල්ලී හා මා අතර පැවති සංවාදයකදී අලුත් සර් කිව්වේ ළමයෙක් ලිස්සා වැටී බෙල්ලවත් කැඩී යාවි යැය් හේ මහත් බියකින් පසු වූ බවය. එසේ වුනා නම් අඩු වැඩි නැතිව මුළු  ගුරු මණ්ඩලයම වැඩ තහනමකට ලක්ව සැපසේ ගෙවල් වල වහලවල් වල රීප්ප ගනන් කරමින් සිටින්නට පුළුවන්කම තිබුණි.

කණ්ඩායම් ක්‍රීඩ පටන් ගත් දින සිටම මොරසූරන වැස්සය. පළමු දවසේ ක්‍රිකට් තරග ය. වාසිය බගලවතී ගේ කහ නිවාසයට ය. මගේ නිවාසය හා රෝස නිවාසය අතර පැවති තරගය මගේ කණ්ඩායම ලකුණු 3 කින් පරාජය විය. රෝස නිවාසයේ චක් කරපුවාට නෝ බෝල් නොදී අහක බලාගෙන සිටීම නිසා එසේ ලකුණු 3කින් පැරදීමට අපට සිදු විය. ඉතින් තරගය ඉවර වූ පසු ඒ ගැන කතා කිරීමට යාමෙන් පලක් නොවන නිසා මම මගේ කොල්ලෝ ටික සනසා පසු බැස්සෙමි. ලකුණු තත්වය රෝස කන්ඩායම සියළු දෙනා දැවී ලබා ගත් ලඛුනු 71 ට පිලිතුරු වශයෙන් අපේ අය විකට් 8 කට ලකුණු 69 ක් ව තිබියදී තරගය නිමා විය.

ඊ ලගට තිබ්බේ බගලවතී ගේ කහ නිවාසයේ සහ රෝස නිවාසයේ අවසාන මහා තරගයයි. මුල පටන් බගී ගේ මූණ නරක් වී ඇත. අප්පට සිරි මාර හේතුවකි. තරගයේ ප්‍රධාන විනිසුරු සමන් මලින් පවන් සැලේ ගේ ආදරණීය ස්වමි පුරුෂයා ය. හීඉක් හික් හික්. දැන් තමා නියම යුද්දේ. සංජු ටීච පැත්තකට වී බලා සිටියි.

මුලින්ම පන්දුවට පහර දුන්නේ රෙස කණ්ඩායමයි. රෝසකණ්ඩායම ට අපේ කණ්ඩායමත් සමග ලබා ගත හැකි වූයේ ලකුණු 71ක් පමණක් වුවද මේ තරගයේ දී ඔවූහූ  කහ කණ්ඩායමට දුවන්නට පහර දුන්හ. ඕවර 10 යෙන් ඔවුන් ලකුණු 150කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත්හ. අම්මියෝ මට දැනෙන සනීපේ!

දැන් බගලවහී ගේ මූණ අස්පෙට් ය. ලකුණු 65 කට පමණ කහ නිවාසයේ සියළු දෙනාම දැවී ගියහ. රෝස නිවාසයේ නායකයා මා අසලටවිත් පැවසුවේ “ටීචලාගේ නිවාසේ අපිට ෆයිනල් එකේදි හම්බ වුණා නම් මීට වඩා ගේමක් බලා ගන්න තිබ්බා”  කියායි. ඇත්තටම කහ නිවාසය දැවී ගිය ආකාරය වැස්සේ බලා ඉන්නට හිරිකිතය. කහ නිවාසයේ සිටි ඇම්බැට්ටයන් 11 දෙනාගෙන් 6 දෙනෙකුම පමණ හෙට සාමන්‍ය පෙළ විභාගය කියා තිබියදීත් අද පිත්ත රැගෙන මගේ බැනුම් පිට පිට්ටනියට බැස්ස එවුන්  ය.

ගලවතී ටීචට ෆයර් වී ඇත.

“අරයා සමන් මලෙන් පවන් සැලේ ගේ නිවාසෙට උදව් කලා. ඒහවුස් එකේ චක් ඇල්ලුවේ නෑ. හොර අවුට් දුන්නා”

ඇලි ශෝයි.

ගලවතී මා සමග සමන් මලෙන් පවන් සැලේ ට බැන වදියි. ඇයගේ සුවාමි පුරුසයාගේ දෙමාපියන් සිහි කරයි. මම තුමීට ද නියම පල්ලමය. තව ජුංඩක් පොහොර දමා ඇයව අවුස්සා මම පැත්තකට වීමි. “වැඩිය දෙන්න ගියොත් මමත් චා වෙනවා”

කොහෙන් කොහෙන් හෝ මේ සීන් ටික කවුරුන් හෝ සමන් මලෙන් පවන් සැලේ ට කියා ඇත. සමන් මලෙන් පවන් සැලේ මා සොයා ආවාය.

“අරුන්දෑ මොනාද කිව්වේ?”

මම මහත් අමාරුවෙන් කීවේ බගලවතී තුමී කියූ කිසි දෙයක් මා සමග නොකී බවයි. සමන් මලෙන් පවන් සැලේ ද දැන් බගලවතී ට අම්බානක බැන වදියි. එදායින් ඒ කතාව ඉවර විය.

නෙට්බෝල් දා මා සොයා දිව පැමිණියේ පාසලේ ශිෂ්‍ය නිල මණ්ඩලයේ කෙල්ලෝ දෙන්නෙකි.

“ ටීච ටීච කහ නිවාසේ අයියලා දෙන්නෙක් එක්ක දම් නිවාසයේ ගෑණු ළමයි දෙන්නෙක් පල්ලෙහා හෝල් එකේ ටීච. අපිට බලන්නවත් බැරි විදියට හැසිරෙන්නේ”

මමත් වසන්තී ත් වහාම පල්ලෙහා හෝල් එකට දිව්වෙමු. කොල්ලෝ දෙන්න කිස්බිස් ගාමාරු වී ඇත. අපි එන බව ඔත්තු බැලූ එවුන් දැනුම් දී ඇත. වහාම අපි මේ ගැන විදුහල්පති උතුමාට පැමිණිලි කලෙමු. ඒ අතරේ මගේ නිවාසයේ ක්‍රීඩා නායිකාව හඩාගෙන මා අසලට පැමිණියා ය.

“ඉහි ඉහි ටීච අර  කහ නිවාසේ අයියලා එක්ක යාලු වෙලා ඉන්න නංගිලා දෙන්නා මට වද  දෙනවා රෝස නිවාසේ තුසී අයියා යලු වෙන්න අහනවා කියලා ඉහි ඉහි. අනේ ටීච අපේ අම්මා දැන ගත්තොත් මට ගහයි ටීච ඉහි ඉහි” පොඩි කෙල්ල වැළහින්නක සේ හඩා වැටේ.

මේප්‍රශ්න සාකච්චා කිරීමට උතුමා වහාම ගුරු රැස්වීමක් කැදෙව්වේ ය. උතුමාගේ ද කට හොද නැති නිසා හේ පළමුවෙන් ම ඇදලා ගත්තේ සමන් මලෙන් පවන් සැලේ ගේ නිවාසයට ඇයගේ ස්වාමියා උදව් කළ බවට නැගුණ චෝදනාවයි. සමන් මලෙන් පවන් සැලේ ගේ ස්වාමියා සහ සමන් ද දැන් බගලවතී සමග බැන ගනිති. ඕනෙවාට වඩා ** දෙන්න ගිහාම වන දේවල් ගැන මේවා පටත් හොද පාඩම්ය.

“මට විතරක් නෙවෙයි සංජු ටීචගේ නිවාසෙටත් වෙරදි වෙලා තියෙනවා නේද ටීච? ඒවත් කියන්න ටීච”

ගලවතී මට අමුතු කරුණාවක් පෑවාය.

“මේ ටීච වස්සා සර් රහත් වෙලා නෑ නෙ වැරදි නොකර තරගේ අන්තර්ජාතික මට්ටමට විනිශ්චය කරන්න. වැරදි වෙන්න ඇති ඒත් තරගෙන් පස්සේ ඒවා ඉවරයි. මට ඒවා පස්සෙ ගිහින් රණ්ඩු වෙන්න උවමනාවක් නෑ”

මම එක දමා ගතිමි. බගලවතී ඇඹරී ගියා ය. උහ්……. ඇද්ද අද කාපන් තනියම!!!! මම එන්නේ නෑ ඔය මඩ කරි එක්ක මඩ නාන්න.

දා මක් වුනත් බගලවතී ලොක්කී නොසෑහෙන්න අහ ගත්තාය. ඇය අවසානයේ පැවසුවේ ඇයගේ අවුරුදු 20 කට ආසන්න සේවා කාලයේදී මෙවැන්නක් අසා ගත් පළමු වතාව මේ බවයි. වස්සා සර් ට මල පැන පැවසුවේ “කලින් අහගෙන නැති ඒවටත් එක්ක අද අහ ගත්ත ඇතිනේ” කියා ය. මට ඔහුට තෑග්ගක්  දීමට සිතුනි. “ඔයා නරකයි කියලා හිතාගෙන හිටියට ඔයා වෙලාවකට හලි ශෝයි නේ වස්සා සර්”

දා වොලිබෝල් තරග වලින් දින්නේ කහ කණ්ඩායමයි. මගේ දම් නිවාසය සහ රෝස නිවාසයේ කණ්ඩායම් දෙකම එදා වොලිබෝල් පිටියේ චිත්‍රපටියකට ෂූටින් කලහ. එය සිද්ධ වන බව අපි කලින් දැන සිටි බැවින් අපි වැඩිය ඒ පසු පස නොපැන්නුවෙමු. ඒත් ඉතින් වසන්ති මම සහ සමන් මලෙන් පවන් සැලේ එදා කෑ ගැසූ තරම් ක්‍රීඩා කලා නම් නිවාස දෙකම 1 හා දෙක වනවාය.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට ලංකාවට සහලෝලා වැස්ස ය. නමුත් හෙට විසි කිරීමේ තරග ය. ඇඩෙනවා! වැස්සේ යගුලිය විසි කරන්නට ගොස් අනතුරක් නොවේවායි මම පතමි. ඒ  සමගම සංවිධායක මණ්ඩලයද මහත් කරුණාවෙන් සිහි කරමි.

Sunday, February 6, 2011

පාද පරි චාරිකාවෝ


අප හැම දෙනාටම පාද පරි චාරිකාවක් ඇත. අඩුම වශයෙන් එකක් වත් ඇත. 

දවස් 3ක් ගෙදරට වී සිට මොලේ කොලොප්පන් වී ඇත් දැයි ඔබට කල්පනා වනු ඇත. මක් නිසාද යත් පාද පරි චාරිකාවක් සිටින්නේ පුරුශයන්ට පමණක් නිසාත් එක් පුරුශයෙකුට සිටින්නේ එක් පාද පරි චාරිකාවක් නිසාත් ය.  

අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමාට පාද පරි චාරිකාවන් තිදෙනෙකු සිටියේ ය. තවමත් සිටියි. පළමුවැනියා ඥාණවතී ය. ඇගේත් අපේ හිටපු විදුහල්පතිතුමාගේ ත් පළමු පත්වීම අප පාසලේමය. එදා පටන් දෙන්නා දෙමහල්ලෝ සතුටින් සැපෙන් වසර 30 කට ආසන්න කාලයක් අප විදුහල දැහැමින් සෙමින් රාජ්‍ය කලෝ ය. ඒ අපේ වර්තමාන විදුහල්පති (උ) තුමා පෙත්සම් ගසා ඔහුව පන්නන තෙක් පමණි. ඉන් පසු ඔවුන් දෙදෙනාම වෙනත් පාසැල් වලට මාරු වූහ. 

ඔහුගේ දෙවන පාද පරි චාරිකා ව නම් සැන්ඩී ය. ඔව් ඔව් ඔබ කියෙව්වා නිවැරදිය. බණ්ඩා විදුහල්පතිතුමා ගේ දෙවන පාද පරි චාරිකාව සැන්ඩි ය. ඇයද දිනපතා ඔහු සමග පාසැලට පැමිණෙන්නීය. ඇය ඔහුගේ පණ වැනිය. ඇයගෙන් තොර ලොවක් ඔහුට නැත. ඔහු යන හැම තැනම ඔහු මේ සැන්ඩි ගෙන යයි.  

ඔහුගේ තුන්වන පාද පරිචාරිකාව නම්  ඩෙකී ය. ඔව් ඔව් හරි ඇහුනා හරි. ඩෙකී අපේ බණ්ඩා විදුහල්පති තුමා වැඩියෙන්ම අකමැති නමුත් වැඩියෙන්ම පරෙස්සම් කරන පාද පරි චාරිකාවය. ඇය අප දක්කිනේ නැති තරම් ය. නමුත් වසරකට වරක් හෝ දෙකක් ඇයව පාසැලට එක්කරගෙන එන්නට බණ්ඩා විදුහල්පති තුමාට සිද්ධ වෙයි. ඒ හැරෙන්නට ඇය වෙන කිසිදු දිනක දකින්නට නොලැබේ. අඩුම ගණනේ ගුරු මණ්ඩලයේ මගුල් ගෙදරකවත් ඇයව එක්කරගෙන නොයයි. මගුල් ගෙවල් වලත් ඔහු යන්නේ සැන්ඩී සමගය.

අර අසරණ මනුස්සයා ට මඩ ගැසුවේ යැයි ඔබ දැන් සිතනු ඇත. ඔව් ඉතින් පොඩි මඩක් නම් තමා. ස්ප්‍රේ කලා පමණි.  

පළමු වෙනි පාද පරි චාරිකාව බණ්ඩා විදුහල්පතිතුමාගේ කසාද බිරිද ය. සැන්ඩී නම් ඔහු දිනපතා දමන සැන්ඩ්ල්ස් කුට්ටම වන අතර ඩෙකී නම් අමාත්‍යංශ අධීක්ෂණ දිනට ඔහු අමාරුවෙන් කකුලේ රුවාගෙන පාත්තයෙකු සේ ඇවිදින ඩෙක් සපත්තු දෙකය.  

මේ මිනිසාගේ සැන්ඩල්ස් නිසා පාසැලේ විනය භාර ගුරුවරු වශයෙන් අපි වැටෙන්නේ මහත් අසීරුතාවලය.  එක දිනක් පාසැලට සැන්ඩල්ස් දමාගෙන පැමිණි කොලුවෙකු මා කන් කෙටියෙන් අල්ලා ගතිමි. 

"කෝ සපත්තු දෙක?"

"ගෙදර ටීච"

"ඇයි ඒක දාගෙන ආවේ නැත්තෙ?"  කොල්ලා ඇඹරේ. 

" ඉතින් ටීච බණ්ඩා සරුත් දාන්නේ මේවනේ. " 

අම්මපා දැන් හැදෙන එවුන් !!!!

"දුවනවා පන්තියට. හෙට එහෙම දාගෙන ආවොත් බලාගමු" 

අනික් එවුන් මූණු හංගාගෙන හිකි හිකි ගාති. අප්පා චොර වුණාට පස්සේ දැනෙන සනීපෙ !

අපේ ඉස්කෝලය පිහිටා ඇත්තේ වර්ශාව බහුලව ලැබෙන ප්‍රදේශයක බැවින් නිතරම කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ සපත්තු වතුරෙන් තෙත් වේ. නැතහොත් ඔවුන් ඒවා නොතෙමා තබා ගැනීමට මෙලෝ ම උත්සහයක් නොදක්වයි. ඉතින් බොහෝ විට කොල්ලෝ ඉස්කෝලයේ එන්නෙ පොල් ගස ලකුණ සෙරෙප්පු දමාගෙන ය. 

" මොකද තමුසෙලා රැලම අද රබර් සෙරෙප්පු දාගෙන? කොහෙ යන්න ද ආවේ?"

"ටීච සපත්තු තෙමිලා නේ. දාන්න බෑ"

"තමුසෙලාට ඒවා ලිප ගාව තියලා වත් වේලා ගන්න කල්පනා වුනේ නැද්ද?"

"තිබ්බා ටීච. ඒත් වේලෙන්නේ නෑ නෙ"

කොල්ලන්ට වරදින්නේ එතැනය. සංජු ටීච ද වතුර පාරවල් දිගේ ගෙදර ඇවිත් ලිප් බොක්කේ සපත්තු දෙක තබා පසුදා පාවිච්චි කොට ඇත. 

"තමුසෙලා හිතාගෙන ඉන්නෙ මම මෝඩයෙක් කියලද? මම ඉස්කෝලේ ගිහින් නෑ කියලද?"

දැන් ඉතින් කොල්ලෝ සෙරෙප්පුවෙන් බිම හාරයි.  

"මට මේක කියනවා. තමුසෙලා ගෙදරදිත් සෙරෙප්පු දාගෙන ද ඉන්නෙ?"

"අපෝ නෑ ටීච ටයිල් පොලවේ සෙරෙප්පු දානවට අම්මලා කැමති නෑ නෙ"  

"ඒ කියන්නේ තමුසෙලා වැසිකිළි යන්නවත් සෙරෙප්පු දාන්නේ නැද්ද ගෙවල් වලදි ටයිල් පෑගෙන නිසා?"

"නෑ ටීච ටොයිලට් යනකොට සෙරෙප්පු දානවා"

 "ඈ බොලව් ..... ** එතකොට මේ වැසිකිළියට දාන සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ එන්නෙ **  හිතාගෙන ඉන්නෙ ඉස්කෝලෙ කියන්නෙ ** වැසිකිළිය කියලද?" 

විනය භාර සර් ගුරුතුමා ගුගුරා හැලෙයි.  කොල්ලෝ ඇඹරී යයි. 

"අන්න ස්ටාෆ් රූම් එක. ගිහින් ඒකෙ මේසෙ යට ට ගලවලා දානව තමුසෙලාගෙ සෙරෙප්පු. ඉස්කෝලෙ ඇරිලා යනකොට මිසක් ආයේ හොයාගෙන එහෙම ආවොත් බලාගෙනයි"

ඔන්න අපේ පාද පරිචාරිකාවන්ගේ වැඩ.  අපේ ලොක්කා ගේ ආදර්ශයෙන් අපට තවමත් හදා ගන්නට බැරිව ඇති ප්‍රශ්නය මෙයයි. අනෙක අතට අසු වන සේ බොරු කීමයි.

Friday, February 4, 2011

සදමාලි කෑල්ල



මම රස්සාව  කරන්නේ බෝඩිමක නවාතැන් ගෙනය. අපේ බෝඩිමේ මා හැරුණු කොට තවත් ටීචලා 4ක් සිටි අතර මංගල කාරණා සඵල වීම නිසා ඉන් 2ක් ද ස්ථාන මාරු කාරණා සඵල වීම නිසා තවත් 2ක් ද සංජු ටීච තනිකර ගියහ. දැන් බෝඩිමේ සිටින්නේ මම පමණි.

අපේ බෝඩිමේ ගෙදර මම ඇරුනු කොට තව 4ක් වෙසෙති. අපේ බෝඩිමේ අක්කා මගේ අක්කා මෙන් ආදරයෙන් අදටත් මට සලකන අතිශය විරල හොද ගුණාංගයන් ගෙන් හෙබි කාන්තාවකි. ඇයගේ සැමියා ද පොලිස් නිලධාරියෙක් වන නමුත් ඔහුද අක්කාටම ගැලපෙන අපූරු සොදුරු මිනිසෙකි. මගේ යහලුවන් මා හැර ගිය පසු මගේ දෙවනි මව් හා පියා වෙමින් ආදරයෙන් මට සලකන ඔවුන් දෙදෙනා නිසා මම අදටත් එහි වාසය කරමි. ඔවුන් ගේ පවුලේ සාමාජිකයෙක් සේ සිටින්නටත් සැලකුම් ලබන්නටත් සැබවින් ම මම බොහෝ පින් කර ඇත.

අයියා හා අක්කා මගේ දෙවැනි මවුන් හා පියා වන විට මට ඒ ගෙදර සහෝදරයෝ දෙදෙනෙක් ද සිටිති. ලොක්කා 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශාන් වන අතර පොඩ්ඩා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලූ ය. (කොල්ලෝ දෙන්නා මේක දැක්කොත් කවදා හරි අදුන ගන්න මම ඔන්න උන් දෙන්නාගේ ඇත්ත නම් ම දැම්මා)

මුන් දෙන්නාටම මම මුල් දින වල ටීච ය. අදටත් මම උන් දෙන්නාට ටීච ය. නමුත් අක්කා කොල්ලෝ දෙන්නා හා වලි දා ගැනීමත් ඒවාට මා හොට දමා ඒවා විසදීමත් නිසා අක්කා මෙන්ම කොල්ලෝ දෙන්නා ද මා සමග බොහෝ සමීප විය. දිලූ යනු අම්මාගේ ආදරණීය සුරතලාය. ඉන් රිදෙන්නේ ශාන් ට ය. එක් දිනක් වලි දමා ගෙන ශාන් ද අක්කා ද අඩති. මම ද මැද්දට පැන්නෙමි. ඒ අක්කාට බනින විට කොයි එකා වුනත් මට අසා සිටීමට බැරි බැවිනි. ටික වෙලාවකින් ශාන් ද අක්කා ද මම ද 3 දෙනාම අඩති. එදා අක්කාව එතනින් යවා ගත් මම ශාන් ගේ හිස අත ගාමින් ඔහුට සවන් දුනිමි. අපි දෙන්නාම ඇඩුවෙමු. නමුත් ඒ කදුලු අපේ ප්‍රශ්නය විසදුවා පමණක් නොව අපව තවත් සමීප කලේය. ශාන් යනු අතිශය බුද්ධිමත් කොලුවෙකි. කවදා හෝ අක්කලා ගේ ගැලවුම්කරු ඔහුය. දිලූ යනු සුරතල් කුක්කා වන අතර සෑහෙන ටියුබ් ලයිට් එකකි. නමුත් මම ඔවුන් දෙදෙනාට මගේ සහෝදරයන් හා සමානව ආදරය කරමි. විශේෂයෙන් ලොක්කා වන ශාන් මා සමග බොහෝ එකතුය. එසේ මා හා සමීප වෙන්නට එදා රණ්ඩුව ද බලපෑවේ ය.

ශාන් කෙල්ලෙකුට ලයින් දැම්මොත් එය මට ඉක්මනින් ආරංචි වෙයි. කෙල්ලන්ට චොකලට් දුන්නොත් එය එයිටත් වඩා ඉක්මනින් මට ආරංචි  වෙයි. ඒ ශාන් ගෙ බැචා ලා මගේ පරණ ගෝලයෝ වන බැවිනි. ඉතින් අක්කා එහෙ මෙහෙ වන තුරු සිට මම ශාන් ව කොටු කර ගනිමි. ශාන් ද ඉතින් බොහෝ විට ඔහුගේ රහස් මට පවසයි. ශාන් පොඩි එකා වුවත් ඔහු පාවිච්චි කරන්නෙ ඇපල් 2G ජංගම දුරකථනයකි. ඔය ඇපල් ගෙඩියේ වැඩ කිඩ අපේ අයියාට හා අක්කාට නොතේරේ. මූ ඒ ජාතියේ 2G ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ එහි කෙරුවාව අල්ලා ගැනීමට අයියාට හා අක්කාට මේ ආත්මයට බැරි බව දන්නා නිසාය. ගෙදර තිබෙන ඩයලොග් ටීවී එකේ චැනල් ද හිටි හැටියේ ඇක්ටිවේට් වී ඩිඇක්ටිවේට් වෙයි. ඒවා එසේ සිදුවන බව මා දැන ගන්නේ ඒ මාසයේ බිල ආ විට අක්කා ඩයලොග් කොම්පැනියේ බිල් අංශයට පස් පඩංගුවේ බැන වදින විටය. ඈ සිතන්නේ ඩයලොග් බිල් අංශයේ අය ඇයගේ බිල අඩු වැඩි කරන බවයි. නමුත් එයට වග කිව යුත්තේ මේ හොර කොල්ලෝ දෙන්නා බව අක්කා දන්නේ නැත.

පසුගිය සති දෙක පුරා දිලූ ට අසනීප වී ඔහු සිටියේ ඉස්පිරිතාලයේ ය. දිලූ ගේ අවසාන ලේ පරීක්ශණයේ ප්‍රතිඵල පැමිණි දා ශාන් ලෙඩ විය. මම කෑම කන්නට උඩ ටගිය විට අක්කා මා ඇමතුවාය.

“නංගි ශාන් ටත් උන හැදිලා නෙ”

මම ඔහුගේ කාමරයට කර පොවා බැලුවෙමි. ෂාන් ට සහලෝලා උන ය. හේ තේ ටිකක් බීමද ප්‍රතික්ශේප කරයි. අක්කා බනිමින් තේ පොවා දිලූ ට ඉස්පිරිතාලයෙන් ගෙනා බෙහෙත් වලින් වේලක් ශාන් ට ගිල්ලෙව්වා ය. ෂාන් නිදා ගත්තේ ය.

පසුව දා මම පාසැල් ඇරී ගෙදර එන විට ශාන් සෙටියේ දිගා වී ටී වී බලමින් සිටියේ ය. මම ඔහුගෙ නලලට අත තබා බැලුවෙමි. ‍යන්තම්වත් උන නැත. ෂාන් ද ප්‍රීතියෙන් ඉපිලිමින් කීවේ උන හොද වූ බවය.
 
එවිට අක්කා පැමිණියා ය.

“නංගි දන්නේ නෑ නේ ඊයේ රෑ මෙයා නටපු නාඩගමක්”

“මොකක්ද අක්කා?”

“ඔන්න නංගි ඊයේ රෑ 12 ට විතර මෙයා ගෙ කාමරේට මම ගියා මෙය කෙදිරි ගානවා ඇහිලා. මම ගිහිල්ලා ඇයි පුතා කියලා ඇහුවා”

“ඉතින්?”

“මූ එක පාරට ම කිව්වනේ “අඩෝ මචං සදමාලි කෑල්ල අවිත්” , කියලා”

“හිකිස්”

ෂාන් රතු වී බලා සිටියි.

“ඒත් මට අහුනේ නෑ නංගි  හරියට මම ආයේ ඇහුවා “මොකක්ද කිව්වෙ පුතේ?” කියලා . මේකා ආයෙමත් කිව්වනේ “ආ සදමාලි කෑල්ල” කියල. "

“හිකි හිකි හිකි ඉතින්?”

“මට ශුවර් නැති නිසා මම ආයේ ඇහුවා නංගී. ඒ පාර මෙයා කියනවා “සදමාලි කෑල්ල ඔයා මොකද කරන්නේ ?”  කියලා.”

දැන් මට පණ යන්නට හිනා ය. ෂාන් මල පැන මුහුණ රතු වී රවාගෙන සිටියි.

“අය්යෝ අම්මා ඒ උන විකාරෙන් කිව්ව දේවල් නේ”

“නියම විකාරේ”

“හිකි හිකි හිකි හිකි හිකි හිකි මොනා ද මල්ලි? තව පොඩ්ඩක් උන විකාර වැඩි උනා ම තව මොන මොනවා කියයි ද මන්දා!”

නොදන්නෝ දැන ගනිත්වා! අපේ බෝඩිමේ අක්කගේ නම සදමාලි ය. මූ උන විකාරෙන් සදමාලි කෑල්ල කියා අමතා ඇත්තේ ඔහුගේ අම්මාට ය. හනේ දැන් කාලේ හැදෙන කොල්ලොන්ට අම්ම ද පේන්නේ කෑල්ලක් වගේ ය. ඒ මදිවාට උන විකාරෙන් වුවද සිහියේ තියෙන්නේ කෑලි ගැන ය. මොනවා වුනත් ශාන් ඔයින් ගොස් උන සනීප කර ගැනීම ගැන නම් මට ඇත්තේ අපරිමිත සතුටකි. ඒ ඔහු අසනීප වුනා නම් අක්කා නොහොත් සදමාලි කෑල්ල තවත් අමාරුවක වැටෙන බැවිනි.