Friday, March 25, 2011

මම ආස ගීත

ඔන්න පොඩි ඇඩ් පාරක් දෙන්නයි හදන්නේ. මේ දවස්වල ඉස්කෝලේ අම්බානට වැඩ නිසා බ්ලොගේ ලියන්න වෙලාවක් හොයා ගන්න හරිම අමාරුයි. හැබැයි ඉතින් මගේ ප්‍රියතම විනෝදාංශය වන ගීත ඇසීම නම් නොකඩවාම කරගෙන ගියා.

මම අහන සින්දු ගොඩක් අයට ඇලජික් කියලා මම හොදටම දන්නවා. ඒත් මේ සින්දු ටික දාන්න හිතුනේ වසර ගණනාවක් ගිහිල්ලත් මේ ගීතවල නැවුම් බව බිංදුවක්වත් අඩු වෙලා නැති නිසයි.

අනික මේ ගීත හින්දි ගීත. පොඩි කාලයේ අසීමාන්තිකම හින්දි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වීම නිසා මට අදටත් හින්දි භාෂාව යම්තාක් දුරකට තේරුම් ගන්නත් කතා කරන්නත් පුළුවන්. ඒ කවුරුත් උගන්නලා එහෙම නෙවෙයි. භාවිතාවෙන්ම විතරඉ. හින්දි භාශාව පුලුවන් වීම නිසා දන් මට ඉතාමත් සුලුවෙන් පාකිස්තානයේ උර්දුත් ඉන්දියාවේම තෙලිගු භාෂාවත් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. තෙලිගු භාෂාව සිංහල භාෂාවෙත් දෙමළ භාශාවේත් හින්දි භාෂාවෙත් තවත් ඉන්දියානු භාශා කිහිපයකත් සම්මිශ්‍රණයක්. ඒක නිසා දැනට මට කතා කරන්න බැරි අමාරුව තියෙන්නේ තෙලිගු භාශාවේ විතරයි.

උර්දු කියන්නෙත් හින්දි භාශාවේ ම තව එක පුංචි කොටසක් බව මට තේරුනේ බුකියේ දි අවුරුදු 60 ක විතර පාකිස්තාන් ජාතික අන්කල් කෙනෙක් එක්ක කතා කලාට පස්සේ. ඔහු ඇත්තටම හරිම අපූරු පුද්ගලයෙක්. හිටපු ගමන් මාසයක් විතර කතා නොකර ඉන්නකොට මට හිතෙනවා හලේ බඩු තමා සෙත්තපෝච්චි ද දන්නේ නෑ කියලා. ඉතින් ඔහුගෙ පුත්තරයගෙන් පියාට මක්කෙයි වුණේ ඇහුවම ඔන්න පණපිටින් කියලා ආරංචි වෙනවා. ඔහුත් ඔහුගේ බිරිදත් එහෙට නිවාඩුවකට එන්න කියලා කරන ආරාධනා මම ඉවසා වදාරා ඉන්නේ පකිස්තානෙට යන්න තරම් පිස්සුවක් මට “තවම” හැදුනේ නැති නිසා. හලේ මගේ බෙල්ල කියලමයි මට ඒ වෙලාවට මට කම්පනා වෙන්නේ. සංජු බේටා කියලා ඔහු කතා කරන්නේ ඇත්තටම පියෙක් වගේ.  ඉංග්‍රීසි භාෂාව අමාරුවෙන් කතා කලත් ඔහු උර්දු භාශාවෙන් කියන දේවල් මට හොදින් තේරෙනවා.

ඉතින් මේ විදියට හින්දි භාශාවට ඇබ්බැහි වීම නිසා නිරායාසයෙන්ම මට ගීත අහනකොට ඒවයේ තේරුම තේරුම් යන්න පටන් ගත්තා. පස්සේ මම අවධානය යොමු කරලම ඒවා අහන්න පටන් ගත්තා. හලේ මේ තේරෙන්නේ මොකාද එකාට වගේ.

හින්දි ගීත හැම එකක්ම හරිම ලස්සනයි. හරිම අඩුයි එකම වගේ පද මාලා. ආදරය ගැන කෝටියක් සින්දු ඇහුවත් ඒවා එකින් එකට හරිම වෙනස්. ඒ වගේම හැම සින්දු ගොන්නකම ඔවුන් තමන්ගේ ජාත්‍යාලය වඩවන ගීත එකක් හරි ඇතුලත් කරනවා. ඒ ගීතත් කිසිම හිරිකිතකින් තොරව රසවිදින්න පුලුවන් අපූරු වෙනස් වෙනස් ගීත. මම දැන් දාන්න යන්නේ ඒ වගේ අපූරු ගීත කිහිපයක්. පුලු පුලුවන් විදියට ඒවායේ තේරුම සිංහලෙන් ලියන්නත් මම පොඩි උත්සහයක් දැරුවා. වැරහීමක් වෙලා තියෙනව නම් සමාව භාජනය කරලා ඒවා මත් එක්ක රසවිදින්න පුලුවන් වෙයි කියලත් මම හිතනවා.

Jeena sirfa mere liye - Jeena sirfa mere liye (2002)

මේ දින මාස එක්කම
ගෙවිලා යාවි මා මිතුරියේ
ගත් මතක තියා ගන්න මේ ටික විතරක්

ජීවත් වෙන්න මා වෙනුවෙන්ම විතරක් …..
පොරොන්දු වෙන්න මා වෙනුවෙන් විතරක්ම ජීවත් වෙන බව. 
 


Laal dupatta - Mujse Shaadi karoe gi (2004)

ගැ /    රතු සළුව මගේ
මේ පවන් රිද්මයත් එක්ක ඉගිල යාවි
මගේ පෙම්වතාගේ මුහුන මට පෙනෙන්නට
හිතෙනවා ඔහු මට හදවත දේවි
එහෙත් මගේ පණ ඔහු රැගෙන යාවි

ඵි/    රතු සළුව ඔබේ
මේ පවන් රිද්මයත් එක්ක ඉගිල යාවි
ඔබේ පෙම්වතාගේ මුහුන ඔබට පෙනෙන්නට
හිතනවා ඔහුට ඔබට හදවත දේවි
එහෙත් ඔබේ පණ ඔහු රැගෙන යාවි
 


Peheli nazar me - Race (2008)

මුල්ම බැල්ම මොන තරම් ආශ්චර්යක් කලා ද
……………………………………………………….
පෙම්බරිය මොනවා වෙයිද කවුද දන්නේ
මේ වතාවේ ඔබව මුණ ගැහුණම
මමත් මෙතනමයි ඔබත් මෙතනමයි
මගේ තුරුලට එන්න දැන්මම එන්න
මගේ පෙම්බරිය අපි දෙදෙනා මෙතනෙ
මගේ තුරුලට ඇවිදින් හැමදෙයක් ම අමතක කරන්න

Baby I love you............ Baby I love you so...!





Teri ore - Singh is King (2008)

හදවත සතු වුණා කෙනෙකුට
දැන් සතුටේ මාවත් හමු වෙලා
දෑසින් පවසයි කෙනෙකුට
දැන්  සතුටේ මාවත් හමු වෙලා
දෙවියනි මේ හදවත සිප ගන්න අළුත් නෑකම
කියයි මට වෙන කවුද ඒ
ඔබ හැර………….



Tumse achcha kaun hai - Tumse achcha kaun hai  (2002)

 
සද තරු මල් සුවද 
ඔබ වගේ හොද කුමක්ද
කොයි ඉර්තුවද කොයි කාලයද
ඔබට වඩා හොද කෝකද




Is pal - Aaja nachale (2007)

මේ වතාවේ මම වෙන්න පුළුවන්
නැත්නම් ඔබ වෙන්නත් පුළුවන්
එහෙමත් නැතිනම් දෙන්නම වෙන්න පුළුවන්
එකිනෙකා නැතිව

ඇයි එහෙම වෙන්නේ මොනවද වෙන්නේ
එහෙම වෙන්නත් නොවෙන්නත් පුළුවන්
කතා කරන්නවත් අහන්නවත්
බැරි  වෙන්න පුළුවන්
 


Allah Hafiz - Bhool bhulaiyaa (2007)

ජීවිතයේ ගමන
නන්නාදුනනන්නෙක්
හඩේ රැදෙන හුසම
නන්නාදුනන්නෙක්
ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ
අපි යනවා ඒත්
දන්න දෙයක් නෑ

දෙවි පිහිටයි
කියන්න හැමදෙනාටම
මේ ලෝකයේ ජීවත් වෙන හැමදෙනාටම


Rock N Roll Soniye - khabi alwida naa kehena (2006)

ඒයි සුදු මුහුණ
මගේ ආදරේ වෙන්න
සද පළුව
මගේ ආදරේ වෙන්න
කළුම  කළුකෙස්කළඹ
මගේ ආදරේ වෙන්න
නිල් දෑස්
මගේ ආදරය වෙන්න
හොරෙන් බලාලා මග අමතක කරවලා
හැම දෙනාගෙම සිහියත් නති කරලා
හදවතත් පිස්සු වට්ටල හදවත නටනවා
රත්තරනේ හදවත නටනව
රොක් ඇන්ඩ්  රෝල් ඔබ වෙනුවෙන්
ඔබත් මා එක්ක නටමුද? 
 


Gore Gore - Hum Tum (2004)

මෙයා ආදරේ ආදරේ කියලා කෑ ගහනවා
මේ පාරවල් ගානේ
මගුල් ගෙදරක ඇවිල්ලවත් ඉන්න දන්නේ නෑ
මේ සුදු හොර ගෙඩියා 
 


Aisa Jadhu - khakhee(2004)

පි/    මොන වගේ මායාවක්ද කරන්න ඕනේ

ගැ /     මෙහෙම මායාවක් කරන්නයි ඕඅනේ
    ………………………………………….   
    මෙහෙම මායාවක් කරන්නයි ඕඅනේ
    මගේ වරලස හා සෙල්ලම් කරන
    මාව තුරුලට අරගන්න
    ඒ වගේ හදවත් ඇත්තෙක්
(ඔන්න ඉතින් මට මඩ ගහන්න එපා මේක මගේ ජාතික ගීය කියලා)
 


අම්මෝ ඇති ඇති ආයෙත් පාරක් මට සින්දු ටිකක් දාන්න ඉතුරු කර ගන්න එපායේ වැඩ වැඩි කාලෙට. ඔන්න ඉතින් වැරදීම එහෙම වෙලා නම් සොරි වෙන්ට ඕඅනෙ මොකද මම හින්දි තේරුම දැම්මේ හරිම දළ විදියට හිතලා. වැඩ අඩු වෙනකල් ඉදලා බාලදක්ෂ 3 කොටස ලියන්න හිතාගෙන ඉන්නවා. පෙළ ගස්වා ගන්න අමාරුයි මේ දවස්වල මට මගේ ගැන හිතන්නවත් වෙලා නෑ ක්‍රීඩා තරග, විභාග ළමයින්ටයි මටයි දෙගොල්ලටම, (ප්‍රශ්න පත්තර හදන ගමන් මමත් විභාගෙට පාඩම් කරනවා… හලේ එහෙමත් කරුමයක්…. කවුද හිතුවේ මට පාඩම් කර කර ප්‍රශ්න පත්තර හදන්ට වෙයි කියලා.) ඊගාවට මල ගෙවල්, නෑ සංග්‍රහ, මගේ මාරුවීම, අර මෝඩ ෆයිල් ක්ලාක් නිසා මගඇරුණ දේවල් සම්පූර්ණ කරන්න, ඉස්කෝලේ උගන්නන්න, පැය ගනන් බස් වල නිදි කිරා වැටෙන්න, ඒ අස්සේ බෙල්ල කපන්න එන දිය රෙදි ගැන ඇලට් එකේ සිටීම, කට පරෙස්සම් කරගෙන කතා කිරීම, කේන්තිය නොපෙන්වා සිනා මුහුණින් හැම දෙයක්ම ඉවසාගෙන ඉන්න වීම…………. හලේ මට තියෙන වැඩ…!!!!! වෙලාවට තනිකඩ නිසා බේරුණා. තව එක්කෙනෙකුත් හිටියනම්!

Sunday, March 20, 2011

වැස්ස හුදකලාව ඔබ සහ මම

රිදවන වැසි පොද එකිනෙක විත්
පාරා මුළු හදම රිදවා යද්දිත්
 ඔබ සිටියා නම් මේ නපුරු වැසි බිදුත් 
වේවි මට මල් වැසි ඔබේ උණුසුමට විත්

මේ මහා මුරුගසන් වරුසාවේ
වැහි බිදිති ඔබ අසලට විත්
ඔබේ සිරුරේ හැපී යාවි
දැනෙනවද මගෙ හිතේ ඉරිසියාවේ තරම

මේ මහා වැසි මැද පවන් පොදක් වී
එන්නට හැකිනම් මට ඔබ ලගටම වී
හැපි හැපී ඉන්න ඔබ වටා වෙලී
පින් මදයි මට ඒ සිහින දුර වැඩියි

Thursday, March 17, 2011

මාතෘකාවක් නැති කතාවක්!



එදා වෙනදා වගේම සුපුරුදු ඉස්කෝලේ දවසක්. මම 7.30 බස් එකට නැගලා වාඩි වෙලා හිටියේ. බස් එකේ රේඩියෝ එකේ ඔලුව FM එකේ නිවේදකයෙකුයි නිවේදිකාවකුයි පත්තර කියවනවා. 

ඔන්න එක ප්‍රවෘත්තියක් ගියා.  

"ඉංග්‍රීසි ගුරු සංගමය ඉල්ලා හිටිනවලු පාසැල් පවත්වන කාලය වැඩි කරනව නම් ගුරුවරුන්ගේ පඩියත් ඒ ආකාරයෙන්ම වැඩි කරන්න ඕනේ කියලා"

"ගුරුවරු එහෙම ඉල්ලා හිටිනවට වඩා ගන්න පඩියටවත් වැඩ කරනවනම් හොදයි කියලයි මට හිතෙන්නේ" 

වාචාල නිවේදකයාගේ මුවෙන් පිට වුණ.  

මගේ ශරීරයේ තිබ්බ සියළුම රෝමකූප කේන්තියෙන් කෙලින් වුණා. ATI එකේ දි රැග් එකෙන් ඉගෙන ගත්ත ඔක්කොම කුණුහරුප ටික මට මතක් වුණා. ඊටත් වඩා බස් එකක මගේ ඉස්කෝලේ ළමයි දෙමාපියන් ඉස්සරහා ඒ වගේ පහරක් ගුරුවරයෙකුට ගහනවා කියන්නේ එතන ඉන්න ඕනෑම ගුරුවරයෙක් තමන් ඒ කැටගරියට වැටුනත් නැතත් ගොඩක් අමාරුවේ වැටෙන වෙලාවක්. 

ගුරුවරයෙක් වැඩ කරනවා මනින මිම්ම මොකක්ද?  

නගරයේ සීත කාමරයක ඉදගෙන කටට එන වාචාල කියවනවාට සල්ලි ගන්නා, ගෙදරටම ට්‍රාන්ස්පෝට් ලැබෙන හැත්තට නම් ගුරුවරයා යනු හිගන්නෙක් විය හැක. ටියුශන් කඩකාරයෙක් විය හැක. නිතරම නිව්ස් වල ඇසෙන පරිදි ළමයින්ට පහර දෙන තරවටු කරන යක්ශයෙක්ද විය හැක. මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙක්ද විය හැක.  

සීත කාමරයෙන් එලියට විත් බලන ලෙස මම ඔබට කියමි. ඉස්පිරිතාලයෙන් එලියට එන දොස්තර ප්‍රයිවෙට් බෙහෙත් දෙනවිට කිසිවෙක් නොබනී. නමුත් ගුරුවරයෙක් ටියුශන් කරන විට ඒ ගුරා කඩකාරයෙක් වේ. මිනී මස් විකුණන්නෙක් වෙයි.  ටිකක් හිතන්න. කඩකාරයන් වෙනමම සිටියි. නමුත් තමන්ට ලැබෙන වැටුප දරු පවුල නඩත්තු කිරීමට නොසෑහෙන නිසා අමතර මුදලක් සොයා ගන්නට ගුරුවරු ටියුශන් කරති. ඒ ද කඩකාරයෝ ද? එය එසේ නම් ඒ කඩකාරයින් ගාවට දරුවන් යවන්නේ ඇයි?

මට පසුගිය සතියේ එක් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු විය.  ඉන් මම ලොකු පාඩමක් ඉගෙන ගතිමි. 

මගේ ප්‍රතිපත්ති වෙනස් කර මම 11 ශ්‍රේණියේ දරුවන්ට හවස 2.30 සිට 4.30 දක්වා අමතර පන්තියක් පාසල් කාලයෙන් පසුව දැමුවෙමි. නමුත් මගේ ශිල්පය නොවිකුණන බවට වන ප්‍රතිපත්තිය රැකීමි.  එය පින් අමතර පන්තියක් හෙවත් නොමිලේ අමතර පන්තියකි. 

ළමයින් ට 2.30 වන තුරු විවේකයක් දී මම බිස්කට පැකට්ටුවක් ගෙන ඒම සදහා නගරයට ගියෙමි. ඒ පන්තිය නිසා මට දවල් කෑම වේල නැතිවන නිසාය.  බිස්කට් පැකට්ටුව ගෙන කඩයෙන් එලියට ආ මට දකින්න ලැබුණේ 11 වසරේ පුතුන් දෙදෙනෙක් තම බෑග් ද එල්ලාගෙන ටවුමේ සීඩී කඩයට රිංගන අයුරුයි. වටපිට බලන මුවාවෙන් මම තවත් ඒ දෙස බලා සිටියෙමි. තවත් අය ඇතුලේය. මම කරබාගෙනම පාසලට පැමිණියෙමි. 

පන්තියේ කොල්ලන් 4 දෙනෙකු ඇර අනෙක් සියලුම දෙනා පන්තියෙන් අතුරුදහන්ව ඇත. (අතුරුදහන් වී ඇත්තේ කොහාටදැයි මම දනිමි) 

පටන් ගත් දවසේ ම මම පන්තිය නැවැත්වීමට තීරණය කලෙමි. ඒ සැනින් මගේ අසල්වාසී පාසලක ඉංග්‍රීසි ගුරුවරයා මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගැන්වීමට පන්තියක් පන්සලේ දැම්මේ ය.  සියළුම ළමයි එහි යති. ඒ ගුරුවරයා ද මගේ ශ්‍රේණියේම මගේ පුහුණුවම ලත් පුද්ගලයෙකි. නමුත් ඔහු වැරදි තේරුම් ඉගැන්වූ අවස්ථා මට හසු වී තිබේ. ළමයි ඔහු ගාවට යති. ඒ මුදල් යනු සියල්ලෝම දී ලබා ගන්න වටිනා දෙයක් නිසාත් මම දුන් ශිල්පය පින් ටියුශන් නිසාත් ය. 

ළමයින් මෙසේ නම් රතු පලසින් පය බිම නොතබන පුද්ගලයින් ගැන කවර කතා ද?  

මගේ එකම ඉල්ලීම නම් මේ කඩකාරයින්ගේ මිම්මෙන් සියළුම ගුරුවරුන් මනින්නට සූදානම් නොවන ලෙසයි. මේ ආකාරයේ සිත් රිදවීම් වලින් මේ රැකියාව හැර යන්නන් වැඩි වී අවසානයේ ඉතිරි වන්නේ කඩකාරයන් පමණක් බැවිනි. මගේ දරුවා ඉගෙන ගැනීමට ගුරු දෙවියෙක් ලගට යවන්නට මිස කඩකාර ගුරෙක් ලගට යැවීමට මම ද කැමති නැත. 

දවල් ට කන්නට බත්පතක් නැතිව උගන්වන ගුරුවරු මේ ලංකාවේ සිටිති. උගුර ලේ රස වන තුරු උගන්වා වතුර උගුරු කිහිපයකින් බඩ පුරවා උගුර සනසා නැවත උගන්වන ගුරුවරු මේ රටේ සිටිති. ළමයින්ගේ බඩගින්න ගැන කතා කරන අයට මේ ගුරුවරු නොපෙනෙන්නේ ඇයි? 

උදේ පාන්දර 4 ට නිවසින් තම කිරි දරුවාට අවසන් කිරි උගුර පොවා එලියට එන සමහර ගුරුවරියෝ නැවත තම දරුවට ඊලග කිරි උගුර දෙන්නේ රත්‍රී 7 ට ය. එතෙක් ඈ පාරේ බස් වලය. පාසලේදී එරෙන කිරි හිර වෙන්නට පෙර දොවා ඒවා වැසිකිලි වලට දමා එන්නේ ඒවා පාසල් භූමියේ බල්ලන්ට හා කපුටන්ට ආහාර වන නිසාය.  ඒ දුක ගැන නොදැනෙන්නෙක් වේ නම් ඒ මව්කිරී නොබී ජීවිතය ආරම්භ කල එකෙකි. 

අර ඉංග්‍රීසි ගුරු සංගමයේ අය එවැනි කතාවක් කියා ඇත්තේ තම තමන්ගේ ටියුෂන් පාඩු වෙන නිසා තමන්ට වෙන පාඩුව මකා ගැනීමට විය හැක. නමුත් අපි කාලයක් නොමිලේම ඒ වැඩේ කලෙමු. නොමිලේ දෙන ශිල්පය මේ රටේ දෙමාපියන්ට හා සිසුන්ට අරහං බැවින් එක අතකට ඒ ඉල්ලීමද සාධාරණය.  (ගුරු සංගමවලින් ඇත්තටම ගුරුවරුන්ට වෙන සෙතක් නැති තරම්ය. සියල්ලෝම එසේ නොවුණත් සංගම් නිලවරණයට චන්දය ඉල්ලීමට මුහුණ පෙන්නා සංගමේ පත්තරයක් දී ගියාට සහ ප්‍රවෘත්ති සාකච්චා වලින් මේ රටේ ගුරුවරුන්ගේ ප්‍රශ්න විසදී බඩකට පිරී යන බව සිතාගෙන ඉන්නා අය නිසාද කෙල වෙන්නේ අපිටමය.) හලේ ඉංග්‍රීසි ගුරු සංගමය කියලා එකක් තියෙනවා කියාද මම දැන ගත්තේ අර වාචාල නිවේදකයින් දෙදෙනා නිසාය. 

ගුරුවරුන්ට බනින්න කලින් ගුරුවරුන්ට අදාල පරිපාලනමය කටයුතු කරන ආයතන ගැන හොයන්නේ නැත්තේ ඇයි? මොන දුක විදගෙන හරි වැඩ කරන ගුරුවරයාගේ සුළු වැරැද්දත් ලොකු කරගෙන දගලන සමහර අය ට මේ ඔෆිස් වල වැරදි වැරදි නොවෙන්න පුළුවන්. ඔන්න මම මටම වෙච්ච සිද්දියක් ලියන්නම්. මේ ලියන්නෙත් නොලියා බැරිකමට. ඉවසලා බැරිම තැන.  

අපේ ඔෆිස් එකේ ෆයිල් ක්ලාක් අපිටත් වඩා පොඩි ගෑණු ළමයෙක්. එයාගේ පෙම්වතා ඉන්නෙත් ඒ ඔෆිස් එකේමයි. අපි යන කොයිම වෙලාවකවත් එයා සීට් එකේ නෑ. එක්කො ශොපින් ගිහින් එහෙම නැත්නම් කැන්ටිමේ. කොල්ලා ඔෆිස් එකේ හිටියත් මෙයා සමහර වෙලාවට ඔෆිස් එකේ නෑ කොල්ලා කෝල් දීල තමා ගෙන්න ගන්නේ.  

දවසක් එයාව අල්ල ගන්න ඕනි නිසා අපි උදේ 8 වෙද්දි ඔෆිස් එකට ගියා. 10 වෙනකනුත් එයා නෑ. ඉවසලා බැරිම තැන පරිපාලන නිලධාරිතුමා හම්බ වෙන්න ගියා අපේ වැඩේ වෙන්නත් එපායැ. එයා මගේ දිවුරුම් ප්‍රකාශය ගත්ත ගමන් කිව්වේ ඒක පුරවලා තියෙන විදිය වැරදි කියලා.  මම කිව්වා මම ඕක පුරවලා ගෙනාවේ කලින් දවසක එතකොට ඕකෙ වැරදි තියෙනවා කියලා ෆයිල් ක්ලාක් මට කිව්වේ නෑ කියලා. පරිපාලන නිලධාරිතුමා වහාම ෆයිල් ක්ලාක් ට එන්න පණිවිඩ ඇරියා. 

ආවේ අල්ලපු මේසේ ෆයිල් ක්ලාක්. ඇය ඇවිල්ලා අපිව දැකලා ඇඹරෙන්න පටන් ගත්තා. 

"කෝ *** මිස්?"

"එයා තාම ඇවිල්ලා නෑ සර්" වෙලාව 10.30

"එන්නේ නෑ කිව්වද? හාෆ් ඩේ දාලද?"

"නෑ සර්"

මා දන්නා තරමින් නොදන්වා සේවයට වාරතා නොකිරීම වරදකි. අපි එසේ කලහොත් මේ පරිපාලන නිලධාරීතුමාද අපේ ඉස්කෝලේදීම අපිට බැන වදීවී. ඒත් ඔහුගේ යටත් සේවිකාවක් එසේ කල විට ඔහු නිරුත්තර විය. මා කල එකම දෙය නම් පල් හිනාවක් දැමීම පමණි.  අනික ඒ දිනය බදාදා දිනයකි. මහජන දිනයයි. ගුරුවරුන් ට පවා වැඩ කරවා ගැනීමට යා හැක්කේ එදාට පමණි. ඒ ගුරුවරුද අධ්‍යාපන ඔෆිස් වලට මහජනතාව පමණක් බැවිනි. අපට එන්නට තියෙන දුර සහ දුශ්කර බව කිසිවෙකුට වැදගත් නැත. එදා අපි 1.30 වන තෙක් සිටියෙමු. ෆයිල් ක්ලාක් ආවේ නැත. 1.30 ට ඔෆිස් එකේ ලොක්කා ස්ටාෆ් මීටිමක් ගත්තේ ය. එය ඉවර නොවෙන බව පෙනුන අපි ආපසු ආවෙමු. ඒ 2.30 බසය මග ඇරුනොත් බෝඩිමට යන්නට රෑ 10 වන නිසාය.

අපට කෑම පැය වේලාව විනාඩි 20ක් වේ. මේ අය කෑම පැය 2ක් ගනියි. ඉන්පසු අපි යන පීරියඩ් වලට ප්‍රමාද වන විනාඩි පහ බැගින් වැඩ කරන පීරියඩ් ගනනින් වැඩි කර එය සතියේ හෝ මාසයේ හෝ වැඩ කරන දින ගනනින් වැඩි කර අපෙන් අහිමි වන මිනිස් පැය ගණන ගණනය කර ඒ හා සමානව අපේ පඩි කපන බවට අපට බැන වදියි. මේ ඇසූ මට දිනක් කියවුනේ "ගුරුවරුන්ට මූත්‍රා කිරීමට හෝ වතුර උගුරක් බීමට පීරියඩ් අතර ගුරු විවේකාගාරයට යාම තහනම් ද ? නැත්නම් ගුරුවරුන්ට මූත්‍රා බර සහ වතුර පිපාසය සෑදෙන බව මේ අය දන්නේ නැද්ද?" කියා ය. අපේ මිනිස් පැය ගණනය කිරීම එසේනම් මහත්වරුනි ගනන් කරන්න ඔබේ පැය ගනන. ඔබට වැටුපක් ඉතිරි නොවනු ඇත. 

අර ෆයික් කලාක් ලගට මා දවසක් ගියේ මට අවශ්‍ය අයදුම්පත් කිහිපයක් ලබා ගැනීමටයි. ඒවා මොනවාද කියාවත් නොඇසූ ඈ කීවේ "අර පියන්ගෙන් ඉල්ලා ගන්න" කියාය. අඩුම ගනනේ ඒවා පුරවන අයුරු කියා දීමටවත් ඈ උනන්දු වුනේ නැත.  ඒ තබා ඒවා ලැබුණාද කියාවත් ඈ නැවත ඇසුවේ නැත. කොහෙන් හෝ ඒවා අපි සොයාගෙන අපේ වැඩේ නිසා ගෙනැවිත් දෙන බව ඕ දන්නීය.

ඇයගේ අනික් හොදම වැඩේ නම් අපි දෙන ලිපි ලේඛන අස්ථාන ගත කිරීමයි. අපේ සමහර ගුරුවරු එකම ලිපිය 4 වරක් භාර දී ඇති අතර ඒ 4 වතාවම ඈ ඒවා නැති කර ඇත.  අපේ ෆයිල් එක එලියට ගන්නට ඈ කබඩ් එක ගාවට යන්නේ අපට ඔරවාගෙන ය. එමෙන් ම ඒ අපි දස වතාවක් පමණ ඇයට ඇවටිලි කිරීමෙන් පසුවය. ෆයිල් එක දිගහැරිය විට ඈ නැතිකර ඇති බව හසු වන බැවින් ඈ ෆයිල් අපි ඉදිරියේ දිග හැරීමට කැමති නැත. 

මම බස්නාහිර පලාතේ පානදුර අධ්‍යාපන කලාපයට අයත් පාසලක වසරක සීමාවාසික පුහුණුවේ සිටියෙමි. ඒ මා දැනට දුටු හොදම පාසල් වලින් එකකි. හොදම අධ්‍යාපන කලාප වලින් එකකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මා දුටු හොදම අධ්‍යාපන පළාතද එයයි.  එයට පොඩි උදාහරණයක් මගේ ඇත්දැකීමෙන්ම මම ඉදිරිපත් කරමි.

ඒ 2006 ඉංග්‍රීසි දිනයයි.මමත් මගේ සීමාවාසික සගයනුත් එක්ව එහි සංවිධාන කටයුතු වලට සහයෝගය දුන්නෙමු. එය නැරඹූ පලාත් අධ්‍යක්ෂවරයෙකු අපට මුව නොසෑහෙන සේ ප්‍රශංශා කොට ගියා පමණක් නොව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයද සහිතව ප්‍රශංසා ලිපි අපේ නමට වෙන වෙනම එවා තිබුණි.

නමුත් මා මේ දැන් වැඩකරන අපායට පැමිණි දා සිට මා කිසිවෙකුගෙන් හොදක් අසා නැත. හොදක් කලද එයට බැන වැදී හෝ සමච්චල් කර එය නැවත නොකෙරෙන තැන ට වැඩ සිද්ධ කරන්නෝ මෙහි සිටිති. එන ලොකු ලොක්කෝද කරන වැඩය ට වචනයකින් හෝ හොදක් නොකියා බැන වැදීම යයි.   එක ලොකු මහත්තයෙක් මට නිවාඩු පෙන්නමින් දිනක් බැන වැදුනේ ය. ඒ ජනාධිපති කාර්ය සාධන වැඩමුළුවකට දින 10කට ගිය රාජකාරි නිවාඩු දහය පෙන්නමිනි. ඒ දින 10ත් සමගම මම 11 වන දිනය නිවාඩු ගත්තේ මගේ සොහොයුරාගේ විවාහ මංගල්‍යයටයි. හේ එය පෙන්නමින් ඊටත් වඩා මට බැන වැදුනේය. එහෙම ටීච නිවාඩු ගත්තාම මේ ළමයින් ට මොකද වෙන්නේ යැයි හේ ඇසීය. මම මුවින් නොබැන සිටියෙමි. ඒ මින්පසු හේ ජනාධිපති කාර්යසාධන බලකායේ තබා ජනාධිපති කීවත් මට නිවාඩු නොදෙන බව මට පෙනී ගිය නිසාය. අපේ නිවසේ මගේ සොහොයුරන්ගේ කටයුතු, මගේ මවගේ පියාගේ කටයුතු සහ තවමත් අවිවාහක මගේ මංගල කටයුතු පවා හේ කරදෙන බව මට පැහැදිලි වූ නිසාය. මම නිවාඩු දමාගෙන ඒවාට යා යුතු නැත. ඒවා ඔවුන් බලාගන්නවා ඇත. (මා විවාහ වූ දිනෙක  මට ඉස්කෝලේ යන්න, නිවාඩු දමන්නට එපා යැයි කියා මගේ සැමියා සමග ඔවුන් මධුසමයට යන දවස තෙක් මම ඇගිලි ගනිමි.)

දැන් ටිකක් හෝ මොළයක් තිබේ නම් කෙනෙකුට සිතන්නට යමක් ඉතිරි වී ඇත. ඒ සේවායෝජකයා සේවාදායකයාට සලකන ආකාරය අනුව ඒ ආයතනයේ දියුණුව හා පිරිහීම රදා පවතින බවය.  බස්නාහිර පලාතේ අර තරම් දියුණුවකුත් මේ ප්‍රදේශයේ මේ තරම් පිරිහීමකුත් දක්නට ලැබෙන්නේ මේ අපූරු සැලකිලි නිසාම වන්නට පිලිවන. මක්නිසාද යත් ගුරුවරු යනු වෙනත් අභූත සත්ව කොඨ්ඨාශයක් නොව මනුෂ්‍යයන් වන බැවිනි. මනුෂ්‍යයෝ අගය කිරීම් දිරි ගැන්වීම් වලට කැමතිය. ළමයින් පමනක් නොව වැඩිහිටියෝද එසේය. තවත් නොතේරේ නම් බල්ලෙක් පවා උගේ ඔලුව අත ගානවාට කැමතිය. එසේනම් මිනිසුන් ට වචනයකින් හෝ හොදක් දිරි ගැන්වීමක් ගුරුවරයෙකුට කරන්නට සිතෙන්නේම නැද්ද?

බොහෝ රස්සාවල උත්සව කාලයට බෝනස් ලැබේ. අපට උත්සව අත්තිකාරමක් ලැබේ. රු.7500 ක එම උත්සව අත්තිකාරම මැයි මාසයේ සිට රු.750 බැගින් කපා ගනියි. ඒ ඇරෙන්නට අපට වෙන ලැබෙන දෙයක් නැත.  එවන් දිරි ගැන්වීම් බෝනස් අපට නැත. ටියුෂන් අල්ල ගත් අයට ටිකක් වැඩිපුර හම්බ වේ. 

වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අසලින් යනවිට මම සැමදාම අපූරු වැකියක් කියවමි. බන්ධනාගාර තාප්පයේ සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා අලි තඩි අකුරින් ලියා ඇත.  අමතක වූ අයට මතක් කර දෙනු පිණිස මම ඒ වැකිය වෙනස් කර ලියමි. 

"ගුරුවරයෝද මනුෂ්‍යයෝය"  



ප.ලි.  මට රැකියාව ඉහත හේතු නිසා හා වෙනත් හේතු නිස තිත්ත වී ඇත. එම නිසා මේ දිනවල ඔබ්සර්වර් පත්තරය වණපොත් කරමින් වෙනත් රැකියාවක් සොයමි. හිතට අල්ලන රැකියාවක් ලැබුනොත් මම හෙට වුවද මගේ රැකියාවට ආයුබෝවන් කියමි. ඒ ගුරුකමට ආදරය නැතිව නම් නොවේ. නමුත් මෙලොව හොදම රැකියාව එයයි. නමුත් මනුස්ස තරුණියක් ලෙස මගේ ජීවිතයේ සොදුරුතම වසර 7ක් ඒ වෙනුවෙන් කැප කිරීම නිසා සන්තකව තිබූ බොහෝ මානසික සහ සමාජීය වටිනාකම් ක්ෂය වී ගිය බැවිනි.තවදුරටත් සිටියහොත් මගේ මෙන්ම මගේ දෙමාපියන්ගේ ජීවිතද මා නිසා කාළකන්නි වනු දැකීමට මට සිදුවනු ඇත. ඊට පෙර මා මෙහි අවසානයක් දැකිය යුතුය. රැකියාවට ආයුබෝවන් කීමට මුලින් අකමැතිවූ මගේ මවගේ පූර්ණ අනුමැතියද පියාගේ අර්ධ අනුමැතියද මේ වෙන විට මට ලැබී ඇත. ඒ තීරණය ඉක්මන් හා ස්ථීර කිරීමට මට උදව් කර ඔළුව FM එකේ වාචාල නිවේදකයාට හා නිවේදිකාවට ද මම මගේ හදපතුලෙන්ම ස්තූති කරමි. 

Saturday, March 12, 2011

බාලදක්ෂ කතා 2 කොටස – නැවත ආගමනය

පසුගිය කොටසින් දැක් වුණ විදියට පොඩි සංජු ට ගයිඩින් එපා වෙන්න හේතු ගොඩක් තිබ්බා.  හවස ඉස්කෝලෙන් පස්සේ නවතින්න තියෙන අකමැත්ත වගේම කම්මැලිකමත් මේකට ප්‍රධාන හේතු.
  
මේ සිද්ධි වලින් වුණේ පොඩි සංජු සැපසේ ගෙදර නැවතුන එක. හැබැයි ඒ ටික කාලෙකට විතරයි.
සංජු ගෙ මල්ලි ඒ වෙනකොට ඉගෙන ගත්තේ කන්ද උඩ විද්‍යාලයේ.  කන්ද උඩ මහා විද්‍යාලයේ නමත් එක්ක එකතු වෙච්ච අභීත ඉතිහාසයක් තියෙන දෙයක් තමා බාලදක්ෂ ව්‍යාපාරය. කන්ද උඩ විදුහලත් එක්ක බාලදක්ෂ ව්‍යාපාරය පුදුම බද්ධ වීමක් තියෙනවා.
 
ඔන්න වුණේ මේකයි. අපේ මලයා බාලදක්ෂයෙක් බවට පත් වුණා.
 
අපේ පිය තුමාගෙයි මවු තුමීගෙයි තියෙන එක ගතියක් තමා අපි කොහේ ගියත් පස්සෙන් එන එක. අදටත් ඒක එහෙම්මම තමයි. අපේ මල්ලි ගෑණු ළමයෙක් හොයා ගන්නකල් ම එයා යන යන තැන අපේ තාත්තා පස්සෙන්. හැබැයි මගේ පස්සේ නම් තාමත් එනවා.
 
ඉතින් මේ කන්ද උඩ මහා විද්‍යාලය අපේ මල්ලිගේ වගේම අපේ තාත්තගෙත් ඉස්කෝලේ වුණ නිසා අපේ තාත්තා මල්ලි යන හැම අස්සක මුල්ලකම රිංගන්න පටන් ගත්තා. ඒ වෙලාවට අපේ තාත්තා එක්ක ධීර ක්‍රියාකරකම් වලට සහයෝගය දීගෙන පස්සෙන් යන්නේ මමතුමී. (කන්ද උඩ විදුහලේ ශිෂ්‍යයෙක් තරම්ම මමත් ඒ ඉස්කෝලේ අහුමුළු හොර පාරවල් ගැන දැන ගත්තේ අපේ තාත්තා පස්සෙන් ගිහිල්ලා.  අපේ තාත්තත් හොර පාරවල් ගැන එහෙම ඒ තරම් හොදට කට්ට කළුවරේ පවා ටෝච් එකක්වත් නැතුව යන්න දැන ගත්තේ කොහොමද කියලා මම ආයේ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ කියලා මම හිතනවා.)
ඉතින් ඔන්න මම පස්සෙන් යාමේ ප්‍රතිඵල විදියට මට කදවුරු 5 කට පමණත් 1998 දී පැවැත්වෙන ජාතික ජම්බෝරියටත් සහභාගී වෙන්නත් ලැබුණා. ඒ වගේම කන්ද උඩ විදුහලේ බාලදක්ෂ දින, ජම්බෝරි, කදවුරු විශාල ගණනකටත් සහභාගි වෙන්න අවස්ථාව මට ලැබුණා. හැබැය් ඒ අපේ මල්ලිගේ අක්කා විදියට.

ඒ වගේම කන්ද උඩ විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ ලොග් පොත් ගනනාවක් පැත්තකට වී කියවන්න ලැබෙන්නේ කදවුරු වලට දිවා රෑ නැතිව අපේ පියා එක්ක ගිහාමයි.  කොල්ලෝ ටික අපේ තාත්තාගේ දත් ගලවනකල් මම කරන්නේ පැත්තකට වෙලා ඒ හරියේ කියවන්න පෙරලන්න පුලුවන් හැම පොතක්ම සැපට වාඩි වෙලා කියවන එක. ලස්සන ලොග් පොතක් දැක්කොත් ඒකේ අයිතිකාරයාගේ මූණ බලාගන්නේ මම අපේ මල්ලිගේ උදව්වෙන්. නැත්නම් මල්ලිගේ යාළු මල්ලිලාගේ උදව්වෙන්.
 
එක දවසක් ….   ඒ 1998 දි පල්ලෙකැලේ පැවැත්වුන 5 වන ජාතික ජම්බෝරිය.  අපේ තාත්තා දන්ත වෛද්‍යවරු කිහිපදෙනෙකුට අහු වෙලා ඉන්න වෙලාවක මම සුපුරුදු පරිදි ලොග් පොත් රාක්කය ගාව හොදට හරි බරි ගැහිලා ඉදගෙන ලොග් පොත් බලනවා.  ඒ අතරේ තිබිලා මට ලැබුණා ගෑණු ළමයෙකුගේ වගේ ලස්සනම ලස්සන රවුම් අත් අකුරින් ලියපු හරිම පිළිවෙල ලොග් පොතක්.  නමෙන් ලොග් පොතේ අයිතිකාරයා හොයා ගන පුළුවන් නිසා මම ඒ වෙලාවේ පෙරලලා බැලුවේ ඉක්මනට මේ ලොග් පොතේ අයිතිකාරයා කවුද කියලා. ඒ ලොග් පොතේ අයිතිකාරයා වෙන කවුරුවත් නෙවෙයි අපේ මල්ලිගේ බාලදක්ෂ නායකයා ගේ.
 
ඔහු කොහොමත් මම ඔය ඉස්කෝලෙට යන්න පටන් ගත්ත දවස්වල ඉදලම මගේ මීටරේ ට වැටිලා හිටිය කෙනෙක්. වයසේ වැරැද්ද කියලත් කෙනෙකුට මට මඩ ගහන්න පුළුවන්. නමුත් මට ඇත්තටම ඔහුව මීටර් වුණේ අනෙක් සියළුම බාලදක්ෂයන් අභිබවා ඔහුට තිබුණ අපූරු පෞර්ශත්වය නිසා. ඒ වගේම ඔහු ට අපූරු ඉදිරිපත් කිරීමේ සහ සංගීත අංශයේ විවිධ හැකියාවන් තිබුණා.  ඒ වගේම ඔහු මගේ මල්ලි හිටපු කණ්ඩායමත් අපූරුවට මෙහෙයෙව්වා.  මගේ මතකයේ හැටියට ඔහුගේ කණ්ඩායමේ සියළුම දෙනා එක වර දිසා කොමසාරි රැහැනත් ලබා ගත්තා. ඒ වන තෙක් ඔහු නියම නායකයෙක් විදියට ඔවුන් පසු පස සිටියා. හැම කදවුරකදීම, හැම ගිණි මැලයකදීම ඔහු තම හැකියාවන් දිනෙන් දින දියුණු කරගෙන පෙන්නුවා. නියම නායකයෙක් වශයෙන් අන් අයට ආදර්ශමත් විදියට කටයුතු කලා. ඒ කොයි එකටත් වඩා ඇත්තම කිව්වොත් තරුණකමේ එලිපත්තේ හිටපු පොඩි කෙල්ලක් වෙච්ච මගේ ඇස් ඇත්තටම ගියේ කට්ට කළු ඔහුගේ දිලිසෙන ඇස් වලට.  ඒත් ඉතින් අපේ පියා මගේ පස්සෙන් නේ…..! බලලා රස විදීම විතරයි කර ගන්න වුණේ අදටත් මම ඔහු එක්ක වචනයක්වත් කතා කරලා නෑ. :( 
 
ඉතින් ඔන්න 1999 අවුරුද්ද වෙනකොට සංජු ට ආයෙත් සුව නොවන පරිදි බාලදක්ෂ ව්‍යාධිය වැලදී තිබුණා. 1999 අවුරුද්දේ අග භාගය වෙනකොට තදින්ම අසනීප වෙලා හිටිය  මගේ උදව්වට ආවේ මගේ මිතුරියක් වන ඔශාලි. ඇය ඒ වන විට ජනාධිපති බාලදක්ෂිකාවක් වුණා විතරයි. ඇයයි මමයි එක දවසේ තමා අර පළවෙනි රැස්වීමට ගියේ. ඇය ජනාධිපති පදක්කම පැලදගෙන යනකොට අය්යෝ මට දුක හිතුණ තරම්. ඒත් ඒ වෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.
 
ඒත් සංජු ගේම අතෑරියේ නෑ. මගේ ආදරණීය අබේවික්‍රම මැඩම් පස්සේ යාමේ ප්‍රතිඵලය විදියට අපට අවසර ලැබුනා ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායමක් ආරම්හ කරන්න. ඒ වෙනකොට ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකාවන්ට තිබුණ කොල පාට නිල ඇදුම ඉවත් වෙලා දුඹුරු පාට නිල ඇදුම හදුන්වලා දීල තිබුණේ. නමුත් ඒ වෙනකොට මහනුවර දිසාවේ කිසිම අලුත් ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායමක් තිබුනේ නෑ. අපේ ආසාව තිබ්බේ මහනුවර දිසාවේ අලුත් නිල ඇදුම අදින පලවෙනි ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායම වෙන්න. (ඒත් ඉතින් අපේ සහෝදර වැව රවුමෙ බාලිකා විද්‍යාලයේ කට්ටියක් අපිට හොරෙන් ඒ වැඩේ කරලා තිබ්බා.)

ඇ ඔන්න පෙරුම් පුරලා පුරලා ඒ දවස උදා වුණා. අපේ දිවුරුම් දීමේ උත්සවය. ඇ ඒක පැවැත්වුණේ අපේ පාසලේදී මයි. ඒ දවසත් හරිම විශේෂ දවසක්. 2000.02.20 තම ඒ දවස. ඕනෑම බාලදක්ෂයෙක් දන්නවා ඒ දවස බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ තුමා වන බේඩන් පවල් සාමිවරයාගේ උපන්දිනය ට දින දෙකකට කලින් කියලා. කොහොමත් ඒ මුළු ලෝකෙම බාලදක්ෂයින්ට වැඩ ටිකක් වැඩි කාලයක්. ඒ ඇරුණු කොට ඒ දවසේ තවත් විශේෂත්වයක් තිබ්බා. ඒ තමා ඒ වෙනකොට කන්ද උඩ මහ විදුහලේ මිලේනියම් ජම්බෝරිය පැවැත්වෙමින් තිබීමත් 2000.02.20 දිනය එම ජම්බෝරියේ බාලදක්ෂික දිනය වීමත්.  දිවුරුම් නොදී එහි යාමට අකමැත්ත ප්‍රකාශ කළ නිසා අපේ දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වුනේ එදා උදේ 7 ට. 8 වෙද්දි අපේ දිවුරුම් දීමේ උත්සවය අවසන්. 

         මේ තමා මම තුමී ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකාවක් විදියට දිවුරුම් දුන්න අලුත! (මේ ෆොටෝ එකේ ඉන්න අනික් මනුස්සයා මම ඉස්කෝලේ යද්දිත් මෙයාමයි. මගේ ගුරු පත්වීම මම මෙයාගෙන් ම භාර අරගෙන අවුරුදු කිහිපයක් යනකනුත් මෙයා එයාමයි)
 
අදටත් අමතක නොවන සොදුරු මතක රැසක් සහිත දවසක් ඒ දවස. හැමදාම නිකම්ම නිකන් ගැහැණු ළමයෙක් විදියට කන්ද උඩ විදුහලට ගිය මම නිල වශයෙන් බාලදක්ෂිකාවක් විදියට එතෙන්ට පය තැබුවේ එදා. ඇත්තටම මට බාලදක්ෂ විද්‍යාව ආගමක් නම් අදටත් ඒ ආගමේ මගේ මක්කම වෙන්නේ කන්ද උඩ මහා විද්‍යාලය.  එදා මම බාලදක්ෂිකාවක් විදියට එහේ ගියේ හරිම ආඩම්බරෙන්. :D මම අදුනන අය අතරට නිකම්ම නිකන් ගෑණු ළමයෙක් වෙලා යනවට වඩා මම ලොකු ආඩම්බරයක් වින්දා බාලදක්ෂිකාවක් විදියට එහේ ගිහින්.

මගේ පියාගේ සමකාලින පාසල් මිතුරන් ලෙස මට ලගින්ම ඉන්න ලැබුණු දනට ජාතික පුහුණු කිරීම් (මම හිතන්නේ තාමත් මේ තනතුර කියලා.මේ වෙනකොට වෙනස් වෙලා නම් මට සමා වෙලා නිවැරදි කරන්න)කොමසාරිස් ශාන්ත මදුරාවේ සරුත් මහනුවර දිසා කොමසාරිස් සරත් මාතර ආරච්චි සරුත් තවත් අමතක නොකල යුතු අපූරු බාලදක්ෂයින් දෙදෙනෙක්. ඇත්තටම ශාන්ත මදුරාවේ සර් වගේ තමන්ගේ  මුළු ජීවිතයම බාලදක්ෂ කර ගත්ත වෙනත් පුද්ගලයෙක් මම දැකලා නෑ අද වෙනකල්. කැපකිරීම් ගැන පාඩම ඉගෙන ගන්නවා නම් මම හිතන්නේ ඔහු තමා අපි ආදර්ශයට ගන්න ඕනේ එකම කෙනා. ඇ මොන පොඩි ගිනිමැල සංදර්ශණයක් වුණත් ඔහු ලංකාවේ ඉන්නවා නම් කවදාවත් මග හරින්නේ නෑ. මගේ උසස් පෙළ කේවල ව්‍යාපෘතිය කරද්දීත් මම තොරා ගත්තේ බාලදක්ෂ විද්‍යාව ගැන කරන්නයි. ඇ ඒ ගැන විස්තර සොයන්න සහ ඡායාරූප ලබාදීල මට ගොඩක්ම උදවු කලේ ශාන්ත මදුරාවේ සර්. එවකට ඔහු මහනුවර දිසා කොමසාරිස් විදියට තමා හිටියේ. අදටත් මම දුක්වෙනවා දැන් ඒ පොත මගේ ලග නැති එක ගැන. එහි මම වසර ගණනාවක් එකතු කරපු විස්තර ඡායාරුප අඩංගු වෙලා තිබුනා. මතක් වෙනකොට වාවන්න බැරිතරම් දුකයි.

ඔන්න ඔය විදියටයි මම නිල වශයෙන් බාලදක්ෂ ව්‍යාපාරයට ආගමනය වුණේ. හැබැයි කතාව මෙතනින් ඉවර නෑ. තව කොටසක් හෝ දෙකක් ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හැබැයි මගේ ඉස්කෝලේ කතා වගේ මම මේ ලිපි වල නම් බනින්න සූදානම් නෑ කාටවත්. මොකද මගේ ආගම හැරුණු කොට මගේ හිතේ භක්තියක් තියෙනවා නම් තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරය ගැන විතරක් නිසා.

ප. ලි. ඔන්න කට්ටිය පොර කන්නේ නැතුව මේ කේක් එක බෙදාගෙන කන්න හොදේ! මේ තමා සංජුගේ සයිබර් සමාගමේ 50 වෙනි පෝස්ට් එක. පටන්ගෙන ගොඩක් කල් අක්‍රිය වෙලා තිබ්බ මගේ බ්ලොග් එක ආපහු ලියන්න ඕනේ කියලා මට හිතුනේ මගේ ලෝකය කියෙව්වට පස්සේ. ඒ එක්කම පටන් ගත්ත මගේ ලිවිල්ල මේ තරම් දුර ආව එක ගැන සමහර වෙලාවට මටම පුදුමයි. මගේ බ්ලොග් එක කියවන්න ආපු කියවලා අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි. හැමදාමත් ඔයාලගෙ මිතුරුකම වචන මට ශක්තියක්. 
 

මතක පොළු



ඒ පසුගිය සදුදා දිනයයි. මම 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගැන්වීමේ නිවත වෙමින් සිටියෙමි. පාඩම තේරුම් කර අවසානයේ මම 1.11 අභ්‍යාසය කරන ලෙස ඔව්න් ට පැවසීමි. ඒ එම අභ්‍යාසයේ අඩංගුව පැවති ප්‍රශ්න 10න් 7ක් තේරුම් කර දී එයට පිලිතුරු සෙවීමකි.

“ දැන් පටන් ගන්න අද දිනේ දානන් ඇක්ටිවිටි 1.11 කියලා ලියන්න.  එක කියල ප්‍රශ්න අංකේ දාන්න. ප්‍රශ්න ලියන්න ඔනේ නෑ උත්තර විතරක් ලියන්න.”

මම උදේ පටන් කෑ ගසා අමාරුවට පුටුවේ වාඩි වීමි.  පන්තියේ ශබ්දයක් නැත.  සියල්ලෝම වැඩ වල නිරත වී සිටිති.  මද වේලාවකට පසුව තරිදු හිස් එසෙව්වේ ය.

“ටීච , පලවෙනි ප්‍රශ්නය විතරයි නේද? (හී – දත් සෙට් එක එලියේ)”

 තරිදු යනු පන්තියේ ඉතාම අදක්ශම කොලුවෙකි.  හේ මෙවර 10 වන ශ්‍රේණියේ සිටින්නේ අති සාර්ථක 2 වන අවුරුද්දය. දැන් තරිදුට අවශ්‍යව ඇත්තේ මාව අවුස්සාගෙන එදා දවසේ වැඩයෙන් මග ඇරීමටයි.

 මම ද තරිදු මට දැමූ ආකාරයේම හිනාවක් දැම්මෙමි. (හී)

ඒ සමගම මම පන්තියේ ශිෂ්‍ය නායිකාවක් වන ප්‍රියන්තිකා ව ඇමතුවෙමි.

“ප්‍රියන්තිකා, අනේ අර අටේ පන්තියේ තිබ්බා පොඩි පොළු කෑල්ලක් අරගෙන එනවකෝ ගිහින් ඉක්මනට.  මේ තරිදු ට ප්‍රශ්න කීයකට උත්තර ලියන්න ඕනීද කියලා මතක නෑ ලු”
 
 මම සිනහව පිටින්ම ආදරයෙන් ප්‍රියන්තිකාට කීමි.  කියන පමාවෙන් පුටුවෙන් පිනූ ප්‍රියන්තිකා ඒ වන විට හිස්ව තිබූ අටවන ශ්‍රේණියේ පන්තියට රිංගුවාය.
 
 තාමත් තරිදුගේ කට කනේ ය.  දත් 32 ම එලියේ ය. ප්‍රියන්තිකා දර පොල්ලද රැගෙන අටේ පන්තියෙන් එලියට ආවා ය.  තරිදුගේ කට ඇරිණි.

“හා හරි හරි ටීච වැඩේ හරි. ණියමෙට මතක් වුණා. ප්‍රශ්න 7 යි නේ දහයෙන්. ප්‍රශ්නේ ලියන්නේ නෑ ප්‍රශ්න අංකය දාල උත්තරේ ලියන්න නේ තියෙන්නේ!. එලකිරි ටීච නියමෙට මතක් වුණා”
 
දැන් තරිදු ඉරාගෙන වැඩට බැස ඇත. යන්නට ආ සිනහව මම මාරුවෙන් වලකාගෙන සිටියෙමි.  පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක මගේ දෙස බලා ඇයි ටීච පාරක් දුන්නේ නැත්තේ යැයි ඇසීය.

“කොල්ලෝ මේ පොල්ල එසේ මෙසේ පොල්ලක් නෙවෙයි. මේකෙන් ගහන්න ඕනි නෑ දැක්කත් මතක් වෙනවා. කොටින්ම මේකට කියන්නේ මතක පොල්ල කියලා”

ඇ මම පැහැදිලි කර දුනිමි.  පන්තියම කොක් හඩ දෙමින් හිනැහෙන්නට පටන් ගත්හ.
 
 ඔන්න ඔහොමයි අපි පන්තියේදි පොළු පාවිච්චි කරන්නේ. ඒවා විවිධාකාර වශයෙන් ප්‍රභේද ඇත.  මතක පොළු සහ විනය පොළු ඒ වර්ග ගනනාවෙන් ප්‍රසිද්ධම පොළු වර්ග දෙකකි. එකම පොල්ල වුවත් අවස්ථාවේ හැටියට වෙනස් කරමින් භාවිතා කළ හැකි වීම මෙහි විශේෂත්වයයි.
 
 නමුත් මේ පොළු පාවිච්චිය නොකෙරෙනම තරම් ය. මතක පොල්ල පේන්න ඉස්සරහ තැබීමෙන් පමණක් අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි සියල්ලම අමතක වී ධාරණ ශක්තිය දියුණු වේ.  මතක පොල්ලේ ප්‍රමාණයෙන් ධාරන ශක්තිය වැඩි දියුණු වීමේ අඩු වැඩියක් පවතී. මතක පොල්ල ප්‍රමානයෙන් විශාල ශක්තිමත් කල් පවතින එකක් නම් ධාරන ශක්තිය ඉතා සීඝ්‍රව වර්ධනය වේ. මතක පොල්ල කැඩෙන සුළු ශක්තිමත් නැති එකක් නම් ධාරණ දක්තියද එසේමය.
 
 මේ පුරාණ ඉසිවර රහස්ය. ඹ් ඔබත් මතක පොළු දැක තිබේ ද?

Sunday, March 6, 2011

බාලදක්ෂ කතා – 1 කොටස


ඔන්න අද අලුත් සීරිස් එකක් පටන් ගන්නයි හදන්නේ. ඒක පටන් ගන්න නම් යන්න වෙනවා 1994 හරි 1995 හරි අවුරුදු වලට. එතකොට මම හිටියේ 6 වසරේ  7 වසරේ.

එක දවසක් අපේ ඉස්කෝලේ දැන්වීම් දෙන වෙලාවේදි මෙන්න මෙහෙම දැන්වීමක් ඇහුණා.

“අළුතින් බාලදක්ෂ ව්‍යාපාරයට එක්වීමට කැමති සියළුම ශිෂ්‍යාවන් අද හවස පාසැල් වේලාවෙන් පසු අබේවික්‍රම මහත්මිය හමුවන්න" කියලා.

හලේ ඉතින් පටන් ගත්ත තැනම වැඩේ ඉවරයි. මම ඉස්කෝලේ කාලේ අකමැතිම වැඩක් තමයි ඉස්කෝලෙන් පස්සේ නවතින එක. (දැනුත් ඉතින් ටිකක් ඒ ලෙඩේ තියෙනවා) ඒත් ඉතින් බාලදක්ෂිකා නිල ඇදුමට තිබ්බ ආසාවටම මමත් ගිහින් ගෙම්බි පැටියා වගේ 100ක් විතර කෙල්ලෝ අස්සේ රිංගගෙන හිටියා.

ඔන්න ටික වෙලාවකින් අපේ සීනියර් අක්කලා ටිකක් ආවා. අපි එන්න කලින්ම හෝල් එකේ මැද මේසයක් තියලා ඒක රෙද්දකින් වහලා තිබ්බේ. මේ ආව අක්කලා ටික තමයි අපේ අළුත් නායිකාවෝ.

ඔන්න ඉතින් එක කට හැකර අක්ක කෙනෙක් ඇවිල්ල වැඩේ පටන් ගත්තා.

“නංගිල දැන් ඔන්න මම විනාඩියකට මේ මේසේ උඩ තියෙන ආවරණය අයින් කරනවා. ඔයාලට තියෙන්නේ මේ මේසේ උඩ තියෙන ද්‍රව්‍ය මතක තියාගෙන විනාඩියකට පස්සෙ ඒ ද්‍රව්‍ය වල නම් පුළුවන් තරම් ලියන්න.”

දෙන්නම් ජම්බු කියලා ඔන්න මමත් වැඩේ ට රෙඩි වුනා. අක්කා මේස රෙද්ද අයින් කලා. හත්වලාමයි …. කොහොමද 100ක් දෙනා එක ගුරු මේසයක් උඩ තියෙන දේවල් බලන්න පොර කනකොට? මම පැත්තකට වෙලා හිටියේ පොර කා ගන්න බැරුව.

කොහොමින් කොහොමින් හරි රිංගලා මමත් පස්සේ මේසෙට ඔළුව දැම්ම. හත්වලාමයි අංක  2….. ඒ මේසෙ උඩ තිබ්බේ නැත්තේ මල මිනියක් විතරයි. ඒ ඇරෙන්න අනික් හැම දෙයක්ම තිබ්බා. මට දැන් හරි අවුල්. මෙච්චර ද්‍රව්‍ය ගොඩකින් කොයි ඒවද මතක තියා ගන්නේ?

කොහොමින් කොහොමින් හරි එතන තිබ්බ දේවල් වලින් 20ක් විතර මතක තියාගෙන ලියන්න මම සමත් වුණා. පිහාටුවක්, මකනයක්, වලල්ලක් වගේ සිම්පල් දේවල් ටිකක්  මගේ හදිස්සිය නිසා අමතක කරගෙන තිබ්බා. මොනවා වුණත් පසුව දැන ගත්ත විදියට ඒ මේසේ උඩ ද්‍රව්‍ය 75ක් තිබිලා තියෙනව. හලේ අපේ සමහර කෙල්ලෝ ද්‍රව්‍ය 50ක් විතර ලියලා තිබ්බා. මතක විදියට නම් වැඩිම ලකුණ වුනේ 47.

ඔන්න අක්කලා ටික වැඩිම ලකුණු ටික මුරුංගා අත්තේ තියලා ඉවර වුණාට පස්සේ මේ මොකක්ද කලේ කියන එක අපිට කිව්වා. මේ ක්‍රීඩාවේ නම කිම් ගේ ක්‍රීඩාව. මතක ශක්තිය වර්ධනය කිරීම තමා මේ ක්‍රීඩාවේ අරමුණ. (හැබෑට එදා ඒ කිම් ගේ ක්‍රීඩාව තව 4 පාරක් කලා නම් මට ද්‍රව්‍ය 75 ම මතක තියා ගන්න තිබ්බා)

ඔන්න ඊට පස්සේ මොකක්දෝ ක්‍රමයකින් අපිව කණ්ඩායම් වලට බෙදුවා. 36 දෙනා ගානේ ඉන්න කණ්ඩායම් 4 කට අපිව බෙදුනා. ඊට පස්සේ අක්කලා අපිව පන්ති කාමර වලට එක්කරගෙන ගියා. ඉන් පස්සේ අපේ කණ්ඩායම් නායිකාව ඉසිස්සෙල්ලම අපේ කණ්ඩායමට ආවා. ඒ අක්කා 12 හෝ 13 වන වසරේ හිටිය ජනාධිපති බාලදක්ෂිකාවක්.  එද ඉතින් ඇය අපිට මොකක්ද අපි මේ කරන්නේ මොකක්ද මේ කරන දේ අරමුණ එහෙම කියලා දීල පොඩි සටහනකුත් දුන්න. සෙල්ලමකුත් කලා. සිංදුවකුත් කිව්වා. මේක තමා මම ඉස් ඉස්සෙල්ලාම කියපු බාලදක්ෂ සිංදුව.

හායි හායි හායි ශුවලී හායි
හායි හායි හායි ශුවලී හායි
චුබාකෝ වෙක්කෝ චුබාකෝ වෙක්කෝ
චුබාකෝ වෙක්කෝ වෙක්කෝ
චුබාකෝ වෙක්කෝ වේ….!

අර අක්කා පන්තියට ඇවිල්ල ආරම්භය කියලා දීල සින්දු කියලා සෙල්ලම් කරලා අපි සේරම කාණ්ඩ වලට බෙදලා සිංදුවත් කියලා දීල ඒක අපි ලව්වා කියවලාත් ඉවර වෙනකල් පොඩි සංජු බලාගෙන හිටියේ වෙන කොහෙවත් නෙවෙයි. අර අක්කාගේ කට දිහා. ඇය අපූරු මුඛරි කමක් එක්ක බොහොම ලස්සනට කවි ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුණ කෙනෙක්. ඇත්තටම පොඩි එකා වෙච්චි මම ඇයගේ මේ අපූරු හැකියාවට වශී වෙලයි එදා හිටියේ. ඒ හැකියාව වගේම ඒ වෙනකොටත් ඇය ජනාධිපති බාලදක්ෂිකාවක් මට මතක විදියට. ඇය වෙන කවුරුවත් නෙවෙයි අදටත් තමන්ගේ මුඛරි කමෙන් සහ ඉදිරිපත්කිරීමේ හැකියාවෙන් ලංකාවම පිනවන රත්තරන් මොණර වාහිනියේ දිනූෂා රාජපතිරණ. මගේ බාලදක්ෂ ජීවිතයේ පළමු නායිකාව ඇයයි.
                  මේ තමා මේක් අප් වලින් සෑහෙන්න දුරු වෙච්ච අපේ නියම දිනූශා අක්කා

ඉතින් එදා අපිව කාණ්ඩ වලටත් බෙදුවා. මාව අයිති වුණේ කානේශන් කාණ්ඩයට. හලේ ඒ කාලේ වෙනකොට මම කානේශන් මල මොන පාටද කියලාවත් දැනගෙන හිටියේ නෑ. ඒක නිසා රෝස කාණ්ඩයේ කෙනෙක් එක්ක මම හෙමීට මගේ චිට් එක මරු කර ගත්තා.


ඉතින් ඔන්න ඔහොම හරිම සුන්දරව පටන් ගත්ත මගේ බාලදක්ෂ ජීවිතයට කණකොකා හඩන්න පටන් ගත්තේ මගේ ඉස්කෝලයෙන් පස්සේ නවතින්න තිබිච්ච අකමැත්ත නිසා. ඔය කම්මැලිකම නිසා මට මලල ක්‍රීඩ පුහුණුව, හොකී පුහුණුව, දැල්පන්දු පුහුණුව, ඡායාරූප සංගමය, ඇලික් එක ආදී එකී මෙකී නොකී වැඩ අනා ගන්න සිද්ද වුණා. බාලදක්ෂි ව්‍යාපාරයටත් වුනේ ඒ සන්තෑසියම තමයි. මගේ කණ්ඩායම දිවුරුම් දෙන දවස වෙද්දි මම හැලිලා.

හැබැයි සංජු එයින් සැලුනේ නෑ. කාලෙකට පස්සේ ආපහු බාලදක්ෂ ව්‍යාපාරයට ආගමනය වුණා. ඒක ඊගාව කොටසින්………..!

Saturday, March 5, 2011

අපේ සර් ලා................!!!




ස්පෝර්ට් මීට් කතා ටික ඉවර කලාට පස්සේ ලියන්න දෙයක් කල්පනා වෙන්නේම නෑ අප්පා. ස්පෝර්ට්මීට්  එකෙන් පස්සේ ඉස්කෝලේ වෙච්ච දේවල් ලිව්වොත් ඒක ටැබූම ටැබූ මාතෘකාවක් වෙන නිසාත් මගේ රස්සාවට කණකොකා හඩන්නට ඇති ඉඩකඩ වැඩි නිසාත් මම පශ්චාත් ක්‍රීඩා උත්සව පරිසරය ගැන නොලියා ඉන්න තීරණය කලා.

ඔන්න ලියන්න හදපු එක අමතක වුණා…. හා හරි හරි මතක් වුණා. අපේ ඉස්කෝලේ මම යන කාලෙ හිටිය පලතුරක නමක් තියෙන සර් කෙනෙක් එක්ක ඉස්සර හිටපු රජ කෙනෙක් ගෙ නමක් තියෙන සර් කෙනෙක්. මේ දෙන්නා මම ඇවිල්ලා ටික කාලෙකින් මාරුවීම් හදාගෙන ගියා. නමුත් මේ දෙන්නා අපේ ක්‍රීඩා උත්සවය බලන්න ආවා. කොච්චර අකමැත්තෙන් හිටියා වුණත් තමන් මුලිම ගුරුවරයෙක් වුනේ මේ පාසැලේදි නේද කියලා ඔවුන් දෙදෙනාටම හැගීමක් තිබ්බ. ඒක නිසා ඔවුන් දෙදෙනා තමන් හිටපු පාසැලේ කාලෙකට පස්සේ තිබ්බ ක්‍රීඩ උත්සවයට ආව.

මේ රජකෙනෙක්ගේ නම තියෙන සර් ඉගැන්නුවේ භූගෝල විද්‍යාව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු රට කාලා වතුර බීල රාම තෙල් ඇරපු  පොරක්. ඉස්සර ඔහු අපේ ලගින් ගියොත් අපි කෑ ගහන්නේ “අන්න කොසොල් රජ්ජුරුවෝ ලගින් ගියා මොනවද අඩු බලාපල්ල” කියලා. එතකොට ඔහු කරන්නේ හොදවයින් දෙකක් කුණුහරුපෙන් නමුත් ශිෂ්ට සම්පන්න සිංහලෙන්  කියලා යන එක. ඇත්තටම ඔහු ඉන්න තැන පාළු නෑ. ඒ වගේම තරුණයෙක් උනත් බොහොම දක්ශ ගුරුවරයෙක්. පොඩි පුශ්නෙකට තිබ්බෙ මේ අපේ සමහර අයියලා වගේ ඔහුත්  DCSLකොම්පැනියේ බ්‍රෑන්ඩ් ඇම්බැසෙඩර් කෙනෙක් වීම. ඒක අපි දැනගෙන හිටියට හරියටම ඔප්පු වුනේ එක දවසක් චමරියේ තිබ්බ බීල ඉවර වෙච්ච බෝතල් ටික බෝතල් පත්තරකාරයෙකුට විකුණන්න එලියට දැම්මහමයි. බියර් බෝතල් 100ක් විතරත් තව වෙන වෙන බෝතල් වර්ග ගණනාවකුත් එතන තිබුණා.

පලතුරු වත්තක නම තියෙන සර් නම් හරිම නිවිච්ච පුද්ගලයෙක්. ඔහු  ජනාධිපති බාලදක්ෂයෙක්. ලී පදක්කම් ලාභී බාලදක්ෂ නායකයෙක්. ඒ හුරුව නිසාම ඔහු නම් විනය විරෝධී වැඩ කලේ නෑ. කොසොල් සරුයි පලතුරු වත්ත සරුයි දෙන්නම හෝර්ටන් තැන්න සිංහල විදුහලේ සේවය කලාට සංජු ටීච වගේ ම මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. ඉතින් සැපට දුකට සනී වගේ හැම ගුරුවරයෙකුටම සැපට දුකට සනී වෙන මෝටර් බයික් එක තමා මේ දෙන්නාගේ පිහිටට ආවේ.

අපේ කොසොල් සර් බීමට ඇරුනාම දක්ශ අනික් කාරනේ තමා මෝටර්බයිසිකල් ධාවනය. ඔහු නිකන් ඉන්න බැරිවට මෝටර් බයිසිකල් ධාවන තරග වලට පවා සහභාගි වෙච්ච ධාවකයෙක්. ඔහුගේ ඒ ධාවන තරග වලට තිත වැටිලා තියෙන්නේ ධාවන තරගයකදී සිද්ධ වෙච්ච අනතුරකින් අත පය ලෙලි ගහ ගත්තට පස්සේ ගෙදරින් එල්ලවෙච්ච දැඩි විරෝධතා. මේ මොක වුණත් ඔහු පාවිච්චි කලේ ට්‍රේල් වර්ගයේ බයිසිකලයක්. ඉතින් දන්න මිනිස්සුන්ට කියන්න ඕනි නෑ කොසොල් සර් ගෙ ගමනාගමනය ගැන. අපි ඉස්කෝලේ ඇරිල බස් එකේ ගෙදර යන්න පැය පහක් ගන්නවා නම් කොසොල් සර් පැය එක හමාරෙන් ගෙදර. මම ගෙදර යනකොට මේ මනුස්සයා නාල කියලා නින්දක් එහෙම දාලා නෝනාමහත්තයා එක්ක ශොපින් ඇවිල්ලත් යනවා.

කොසොල් සර් එක්ක මේ බයිසිකලයේ යන්න සෙට් වෙලා හිටියේ පලතුරුවත්ත සර්. පලතුරුවත්ත සර් බාලදක්ෂයෙක් වුනාට රියදුරු රස්සාවට නම් ආධුනිකයෙක්. කොසොල් සර් බයිසිකලේ තියෙන උපරිම වේගයෙන් යනකොට පිටිපස්සේ වෙවුලමින් එන්නේ පලතුරුවත්ත සර්. කොසොල් සර් ට මේ බයගුළුකම ඇනයක් වෙලා තිබ්බා වගේම පලතුරුවත්ත සර් තට් කොසොල් සර් එක්ක ගමනාගමනය තිත්ත වෙලා තිබ්බේ කොසොල් සර් ගෙ පවනට බදු වේගය නිසා.

එක දවසක් කතාවකට සෙට් වෙලා ඉද්දි කොසොල් සර් පලතුරුවත්ත සර් ට මඩ පාර දෙනවා. ඒ පලතුරුවත්ත සර් පිටිපස්සේ එන විදිය කියලා.

“ටීච මූ එක්ක එනකොට මට ඇස් පියාන ආවැකි”

“ඒ කොහොමද?”

“ඔන්න මූ පිටිපස්සට වෙලා මගෙ උරහිසට උඩින් බෙල්ල දාගෙන ඉන්නවා.  “කොසොල් අයියා ඔන්න වලක්. කොසොල් අයියා ඔන්න TATA බස් එකක්. කොසොල් අයියේ ඔන්න කාර් එකක්, කොසොල් අයියේ ඔන්න දකුණට වංගුව. කොසොල් අයියේ ඔන්න වමට පල්ලම. කොසොල් අයියේ ඔන්න පාර හරහා හාවෙක් පැන්නා”, හලේ ටීච ඉතින් මම අහවල් එකකට ද ඇස් ඇරගෙන බයිසිකලේ පදින්නේ?”

එදා කොසොල් සර් ගෙ බයිට් එක වුනේ පලතුරුවත්ත සර් ය. එයින් පසු පලතුරුවත්ත සර් තීරණයකට පැමිණියා. “එක එකාගේ ආඩම්බර බලන්නේ මොකද මමත් ගන්නව බයික් එකක්”


ඔන්න ඉතින් අපේ පලතුරුවත්ත සර් කොහේදෝ දුර ඈතකින් බයිසිකලයක් හොයාගෙන තිබ්බා. ඈත වුණාට ඒක අලුත් බයිසිකලයක්. ඉතින් මේක ගේන්න ගියෙත් අපේ කොසොල් සර් පලතුරුවත්ත සර් එක්ක. එදා බයිසිකලය අරගෙන ඇවිල්ලත් කොසොල් සර් බයිට් එකට ගත්තේ පලතුරුවත්ත සර්ව. ඒ මනුස්සයා අහිංසකයා නිසාම හොදයි.

ඊගාව ප්‍රශ්නේ පලතුරුවත්ත සර් අච්චර රියදුරු කමට බය එකේ මේක කොහොම පදියි ද කියලා. මොනවා වුණත් ඕක පුරුදු කරන්න වෙන්නෙත් කොසොල් සර් ට නිසා අපි කට ඇරගෙන හිටියේ කොසොල් සර් ගෙන් ඒ විස්තර අහ ගන්න.

ඔන්න එදා කොසොල් සර් සුපුරුදු පරිදි හැටන් වලදි අපි ආව බස් එකට ඉස්සර කරලා කෑ ගහගෙන ගියා. එයා ගිහින් පැයකට විතර පස්සේ අපිත් ඉස්කෝලෙට සේන්දු වුණා. ඒත් අනේ අපේ පලතුරුවත්ත සර් නෑ. අපි ඉතින් කොසොල් සර් ගෙන් අහුවා කෝ පලතුරුවත්ත සර් කියලා.

“හලේ ටීච ඌ එයි තව පැය දෙකකින් විතර. මට ඒ ස්පීඩ් එක හුරු නෑ බන්”

ඔන්න ඔහොම කියලා කොසොල් සර් මාරු වුණා. ඇත්තටම කිව්වා වගේම මෙන්න පැය දෙකකට විතර පස්සේ පලතුරුවත්ත සර් එනවා තුම්මුනින් දාඩිය පෙරාගෙන. කොසොල් සර් ආගිය අතක් නෑ.

බලනකොට වෙලා තියෙන්නේ මේකයි. කොසොල් සර් කියලා පලතුරුවත්ත සිර් ට ගම්පොල ට එන්න එතන ඉදලා එකට යමු කියලා. ඉතින් පලතුරුවත්ත සර් එයාගෙ ගම්පලාතේ ඉදලා පාන්දරම ඇවිල්ල උදේ 6 ට ගම්පොල ටවුන් එකේ ඉන්නවලු. මග දිගට කොසොල් සර් ට කෝල් කර කර ඇවිල්ල තියෙන්නේ මග ඇරෙයි කියලා බයට.

ඇපේ කොසොල් සර් එදා නැගිටලා තියෙන්නෙත් උදේ 5.45 ට. කොසොල් සර් ට ඉස්කෝලෙට එන්න යනේ පැය එකහමාරක් නිසා එයා ගෙදරින් 6.30 ට ආවත් ඇති. ඒත් ඉතින් මේ පලතුරුවත්ත සර් ගෙ වදේ නිසාම එදා කොසොල් සර් වෙනදට වඩා කලින් ගෙදරින් එලියට බැහැලා. එනකොට පලතුරුවත්ත සර් ගම්පොල ටවුන් එකේ ඉන්නවලු.

ඔන්න දෙන්නා එන්න පිටත් වුණාලු. අස්පයා පිට නැග්ග කොසොල් රජ්ජුරුවෝ වගේ ට්‍රේල් බයික් එකේ නැග්ග අපේ කොසොල් සර් ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙ. පොර කරලා තියෙන්නේ සුපුරුදු වේගෙන් ආපු එක. හැටන් වලදි තමා එයාට පලතුරුවත්ත සර් ව මතක් වෙලා තියෙන්නේ. දනිපනි ගල කොසොල් සර් පලතුරුවත්ත සර් ට කෝල් එකක් ගත්තලු.

“අඩේ පලතුරෝ උඹ කොහෙද ඉන්නෙ?”

“අඩේයි කොසොල් අයියා මම මේ නාවලපිටියේ. උඹ නාවලපිටිය පහු කරලා ගොඩක් දුර ද?”

“අඩෝ බන් මම හැටන් වල”

“ඈහ්”

ඒ අපි එන පාරේ ඉස්සෙල්ලම ගම්පොල ඊගාවට නාවලපිටිය ඊගාවට ගිනිගත්හේන පහුකරගෙන තමා හැටන් වලට එන්න ඕනි. අවිස්සාවේල්ල පාරේ කොළඹ ඉදලා නුවර එලියට යන්න ආපු කට්ටිය එහෙම ගිනිගත්හේනේ ඉදලා හැටන්වලට තියෙන දුර දන්නවා ඇතිනේ.  හැටන් වලිනුත් තව පැයක් තේ වතු මැදින් අපි යන්න ඕනි ඒ රූට් එක පාවිච්චි කරනවා නම්. අපේ ඉස්කෝලෙට යන්න තව වෙන පාරකුත් තියෙනවා. ඒක ගොඩක් දුරයි වගේම රස්තියාදුකාර පාරක්. ඒත් දැන් අපි පාවිච්චි කරන්නේ ඒ දුර චාටර් පාරම තමා.

අපේ කොසොල් සර් ඊට පස්සේ කරලා තියෙන්නේ අනේ මල්ලි උඹ පුළුවන් විදියකට වරෙන් කියලා අපේ බස් එකත් ඉස්සර කරගෙන සුපුරුදු වේගයෙන් ඉස්කෝලෙට ආව එකයි. හැබැයි ඉතින් එදායින් පස්සේඅපේ පලතුරුවත්ත සරුත් අතෑරියේ නෑ කොහොම හරි සෑහෙන වේගයකින් බයික් එක පදින්න පුරුදු වුනා. ඒත් තාම එයාට කොසොල් සරෙක්ක නම් පැදලා දිනන්න බෑ.

ඉතින් කොහොමින් කොහොමින් හරි මේ දෙන්නා තම තමන්ගේ මාරුවීම් හදාගෙන අපේ ඉස්කෝලයට ආයුබෝවන් කියලා ගියා. ඇත්තටම අපිට සහෝදරයින් දෙන්නෙක් වගේ ඔවුන් දෙන්නා හිටියේ. ඒ එක්ක හිටපු අනික් බේබද්දෝ දෙන්නා වන ධර්මයට අධිපති සර් වත්, මට කලින් මේ පාසැලේ ඉංග්‍රීසි ඉගැන්වූ ඒ කටුව මට භාර දී අකාලයේ ජීවිතයෙන් සමුගත් ****** සර්වත් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනි. ( ***** සර් ඉංග්‍රීසි ඉගැන්නුවට මම එයා ගැන ඇත්තටම මෙලෝ දෙයක් දන්නේ නෑ. අදටත් එයාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැත්නම් මිනීමැරුමක් ද කියලා හොයන්න  තවමත් පොලිස් පරීක්ෂන පැවැත්වෙනවා. මට ඉස්කෝලේ කොල්ලෝ එක්ක කේන්ති ගිය වෙලාවට මම සමහර විට බනින්නේ “උඹලට උගන්නලා ගියපු අන්තිම ඉංග්‍රීසි ගුරුවරයත් වස බොන්න උනා. තමුසෙලා හදන්නේ මටත් ඒකම කරන්න ද?” කියලා :ඪ් ) ඇත්තටම  මගේ කලින් ලිපියේ ගුරුවරුන් ට තියෙන පීඩනය ගැන ලියද්දි ලියන්න අමතක වුණ කෙනෙක් තමා මේ ***** සර්. මම අහලා තියෙන විදියට ඔහුත් සෑහෙන්න මානසික පීඩනයකින් හිටිය පුද්ගලයෙක් වගේම සෑහෙන්න බීමට ඇබ්බැහි වුණ පුද්ගලයෙක්. ඒ සියල්ල කෙලවර වුනේ ඔහුගේ මරණයෙන්)

 පලතුරුවත්ත සර් ඊට අමතරව මගෙ ජීවිතය වෙනස්ම පාරකට යොමු කරවපු කෙනෙක්. ඔහු තමයි සංජු ටීචව බාලදක්ෂිකා ව්‍යාපාරයෙන් වෙන් කර බාලදක්ෂ නායිකාවක් කලෙත් ලංකාවේ පළමුවෙන් ම  බාලදක්ෂ බාලිකාවන් පුහුණු කිරීමේ නායිකාවන් සොයද්දි එයට මාව යොමු  කලේත්.

ඔන්න ඊගාව සීරිස් එක පටන් ගන්නයි හදන්නේ……. ! 


විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව - 2 කොටස



මම මේ කතාව කොටස්වලට බෙදන්න තීරණය කලේ කතාව මම හිතුවට වඩා දික් ගැස්සෙන බව තේරුන නිසා. මේක තනිකරම මඩක් එහෙමත් නැත්නම් ඕපාදූපයක් කියලත් සමහර වෙලාවට ඔයාලට හිතෙයි. ඒත් මම මේක ලියන්න තීරණය කලේ සුන්දරයි කියලා හිතාගෙන ඉන්න මනුස්ස ජීවිත මොන තරම් සංකීර්ණද කියලා මටම හිතුණ නිසා. ආදරයෙන් විවාහයෙන් සේරම ප්‍රශ්න අවසාන වෙනවා කියලා බදින්න කලින් හිතාගෙන හිටියට ඒක එහෙම නෙවෙයි කියල මම ඉගෙන ගත්තේ මේ සිද්ධි නිසා. ඒ වගේ ම මිනිසුන් තමන්ගේ පරිසරයට අනුකූලව ජීවත් නොවීම නිසා ඇතිවන ප්‍රශ්න ගැන හොදට දකින්න පුළුවන් වුණා මට මේ සිද්ධි නිස.

මේ ප්‍රශ්නේදි මම දැකපු අනික් අවාසනාවන්තම සිද්ධිය තමයි ගීතා ටීචට ගුරුවරියක් විදියට තමන්ගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම. ඒ වගේ හැසිරෙද්දි ඒ ස්වාමිපුරුෂයා මේ තරම් ඉවසන එකට නම් ඇත්තටම ඔහුට මල් තියලා වදින්න ඕනි. ඒ තරම් නිවුණ මනුස්සයෙක් ඔහු.

ඉතින් මේ ගීතා ටීච තමාගේ පශ්චාත් උපාධි හදාරන්න මෙච්චර වෙහෙසෙනකොට ගෙදර ඈයින්ට තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් අතපසු වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. වයසින් ඇයට වඩා අවුරුදු 5ක් පමණ ලාබාල වුණත් මමත් ඇයට සමහර වෙලාවට බැනලා තියෙනවා. ඒ වෙලාවට බබා වගේ අහගෙන හිටියත් දවසින් ඒක අමතකයි. ඇය පැණි හලාගෙන වෙනත් යහළුවෝ සමග කතා කරද්දි ඇයගේ සැමියා ඇයට කතා කරන්නේ දවසට 2-3 පාරක් විතරයි.නමුත් ඇය දවසේ පැය 24න් 18ක් ම දුරකතනය කනේ ගහගෙනයි ඉන්නේ. (ඉතිරි පැය 6 ඉතින් නිදා ගන්න එක තමා) ඇත්තටම මම නම් දවසක් කිව්ව ගීත ටීච ඔයා මගේ ගෑණි වුණා නම් මම ඔයාව දික්කසාද කරලා මෙලහකට සෑහෙන්න කල් කියල. ඇය හොදටම දන්නව ඇයගේ සැමියා එහෙම තීරණයක් ගන්න තරම් නවීන පන්නයේ කෙනෙක් නොවන වග.

ආයේ ට්‍රැක් පැන්නා. ගීත ටීචට ඊගාවට ඇති වෙච්ච ප්‍රශ්නේ තමා විවාහ වෙලා කාලයක් ගියත් දරුවන් නැතිකම. ඉතින් ඔන්න මේ ප්‍රශ්නේ විසදා ගන්න අපේ ගීතා ටීච පන්සල් පල්ලි දේවාල කෝවිල් ගානේ යන්න පටන් ගත්තා. ඊටත් පස්සෙ බටහිර වෛද්‍ය ක්‍රමයට යොමු වුණා. ගුරු පඩිය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. මේ වෛද්‍ය ප්‍රතිකාර වලය ඇයට මාසෙකට පඩියම වගේ වියදම් වුණා. සමහර මාස වල ඇය යන්නේ රිම් එකෙන්.

ඉතින් මේ මොන ජර්බරිය නැටුවත් ඇයට දරුවෙක් ලැබෙන පාටක්වත් පේන්න තිබ්බේ නෑ. ඒ ගැන මම වුණත් දුකින් හිටියේ ඇයගේ පවුලේ ඒ නිසා ඇති වෙච්ච ප්‍රශ්න දරුවෙක් ලැබුණ ගමන් නැති වෙන බව දන්න නිසයි.

හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. ගීතා ටීච ගෙදර ඉන්න වෙලාවක් නම් හොයා ගන්න බැරි තරම්. ඇයට ඇයගේ කටයුතු ටිකක් ඒ වෙනුවෙන් කැප කරන්න තරම් අවශ්‍යතාවයකුත් නෑ. ඕවා කතා කර කර ඉද්දි දවසක් මට කේන්ති ගිහින් එයාට කිව්වේ “ මොබයිල් එක කනේ ගහගෙන හිටියට ලමයි හැදෙන්නේ නෑ. තැපෑලෙන් ළමයි හදන්නත් බෑ. ඒක උඹ මට වඩා හොදින දන්නවා ඇතිනේ. දැන් වත් ඔය විකාර පෝස්ට් ග්‍රැජුවේට් එක නවත්තලා අර ප්‍රශ්නේ ගැන හිතපන්” කියලා. ඒත් ඇය දරුවෙක් වෙනුවෙන් සැමියා වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න සූදානම් නෑ. ඒ ගිය කේන්තියට මම ඇය එක්ක මාසයක් තරහා වෙලා හිටියා.

ඇය දැන් දවසකට විශාල පෙති ප්‍රමානයක් සහ වෙනත් වෛද්‍ය පරීක්ෂණ නිරීක්ෂන හා නිගමන වලට භාජනය වෙමින් ඉන්නේ. ඒ නිසා ඇයට සිසේරියන් සැත්කමකට ආසන්න සැත්කමකට පවා මුහුණ දෙන්න සිද්ද වුණා. අපි ලැපිරස්කොපි ශල්‍යකරමයක් කියලා හිතුවත් අවසාඅනයේදී ඇයගේ වෛද්‍යවරයා තීරණය කරලා තිබ්බේ එය උදරය විවෘත කරලා කරන සැත්කමක් ලෙසට කරන්න. ඒ සැත්කමින් සතියකට පසුවත් ඇය පාසල් ආවා. එදා මම ඇයට බැන්න තරම් ඇය වෙන කාගෙන්වත් බැනුම් අහලා නැතුව ඇති. මට මතක් වෙන්නේම උණ පුරුකේ ලූව බලු වලිගයේ කතාව තමා ඉතින්.

ගීත ටීච මට ආරංචි විදියට තවමත් උත්සහා කරනවා. ඒත් ඉතින් ප්‍රජනන සෞඛ්‍ය ටිකක් හරි ඉගෙන ගත්ත ළමයෙකුට උනත් තේරෙනවා ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතුවෙලා හැදෙන කලලයක් දෙතැනක ඉන්න දෙන්නේකුට හදන්න බෑ කියලා. ඒක ඇය තේරුම් ගන්නේ කවදද දන්නේ දෙයියෝ තම.

ඊලග ප්‍රශ්නය….. දරුවෙක් ලැබෙන්න ආවත් අපේ පලාතේ ගුරුවරියෝ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක්. ඒ තමා අර පෙරුම් පුරලා පුරලා හදා ගත්ත දරු ගැබ ගබ්සාවට ලක්විම. ඒකට ප්‍රධානම හේතුව තමා අපි ජීවත්වෙන පරිසරය හරිම කටුක වීම. මගේ පාසැලේ ඉන්න හැම ගුරුවරියක්ම ජීවිතයේ එක වරක් හෝ ගබ්සාවීම් වලට  හෝ මළ දරු උපත් වලට හෝ නොමේරූ දරු උපත්වලට මුහුණ දීල තියෙනවා. මම වැඩ භාරගත් අලුතම අපේ උතුමා සර් ගේ බිරිද පවා ගබ්සාවීමකට ලක් වුණා. මගේ පොඩි ජීවිතේට මම නොදුටු දෙයක් වුනත් මම මේ පාසැලේදි ඒ සම්බන්ධව පුදුම දැනුමක් ලැබුවා. ගබ්සාවීමකදි කාන්තාවක් විදින දුක කොයි තරම්ද කියලා දැක්කා. පාසැල් කාලය  තුලදි අපේ එක ගුරුවරියක් ගබ්සාවීමකට ලක් වුනා. එදා රුධිරය නොනවත්වා වහනය වෙද්දි පාසැලේ දරුවෝ පවා දකිද්දි ඇයව රෝහල්ගත කරන්න අපට සිද්ද වුනේ ඇයව ඔසවාගෙන ගිහින්.

ඉතින් මේ වගේ ප්‍රශ්නයක් විසදා ගන්නේ කොහොමද? මම අර ඉස්සෙල්ල කියපු ගුරුතුමී අද වෙනකොට එක්දරු මවක්. ඇය කලේ ඇය ඊලග වතාවේ ගර්භණී තත්වයට පත් වුණාම ගෙදර යන එක සහමුලින්ම නවත්තලා දාපු එක. ඒ වෙනුවට ඇය බෝඩිමේ ම පදිංචි වුණා. ගමනාගමනය අඩුම කරලා දැම්ම. ඇයගේ සැමියා හැම සති අන්තෙකම කොළඹ ඉදලා ඇයව බලලා යන්න ආව. ඒ නිසා ඇයගේ දරු ගැබ ඒ වෙලාවේදි බේරා ගන්න ඇයට පුළුවන් වුනා.

( මේවා දැක්කම සංජු ටීචට නම් හිතෙන්නෙම මේ මොකුත් නැතුව මේ ඉන්න විදිය දාහෙන් සම්පතයි කියලා.  :ඪ් )

ඇත්තටම අපි ජීවත් වෙන පලාත හරිම කටුකයි. ඒ පරිසරයට හුරු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට ඒ කටුක ශීතලත් කටුක පරිසරයත් දරා ගන්න අමාරුයි. ඇත්තටම ඒ වගේ අවස්ථාවල කාන්තාවෝ මොන තරම් අසරණ වෙනවාද කියලා දකිනකොට හරිම දුකක් ඇති වෙනවා.

අපේ පාසැලේ අවිවාහක ගුරුතුමීල කිහිපදෙනාගෙන් එක්කෙනෙක් දැන් විවාහය කල් දාන්න හදන්නේ ගාල්ලේ ඉන්න පෙම්වතා එක්ක එකට ජීවත් වෙන්න බැරි නිසා විවාහයෙන් පස්සෙ. ඒ ගමනාගමන අපහසුතාවය. ඔහු එක දවසක් ඇයව බලන්න ගාල්ලේ ඉදලා පාන්දර 3 ට ඇවිල්ලත් ඔහුට මේ අහල පහලට ගොඩබහින්න ලැබුණේ  හවස 4 ට. පැය 13 ක ගමනක් ඔහු ආවේ හෙම්බත් වෙලා. ඔහු ඒ වෙලාවේදි කිව්වේ “හනේ කෙල්ලේ කොහොම හරි ට්‍රාන්ස්ෆර් එකක් හදාගමු බදින්න කලින් ඔයා මෙහෙම දුක් විදිනවා මට නම් බලන්න බෑ” කියලයි.  ( හනේ අපිට ලැබෙණ කට්ටියටත් එහෙම හිතෙයි ද? :( )

ඔන්න ඔහොමයි බොහොම නිස්කලංක නිවාඩු බහුල රැකියාවක් වෙන ගුරුකම කරන අයට අත්දකින්න වෙන දේවල්. දුශ්කරත්වය, රැකියාවේ පීඩනය, පවුල් ප්‍රශ්න මේ හැම දේකින් ම අපේ දුශ්කර සේවයේ ඉන්න ගුරුතුමීල මිරිකිලා ඉන්නේ. ඔවුන් ආත්මාර්ථකාමිත්වයෙන් මිරිකිලා. ඒ කරන්න දෙයක් නැති කමට. ඔන්න ඉවසලා ඉවසලා බැරිම තැන අපේ හරී අක්කා කරපු වැඩේ කරන්න තමා ගොඩක් ගුරුතුමීලට සිද්ධ වෙන්නේ. ඒත් දුප්පත්කමත් රැකියාවේ අවශ්‍යතාවයත් නිසා එහෙම කරන්න පෙලඹෙන ගුරුතුමීලා නම් හරිම අඩුයි.

මම මේ ලිපිය ලියපු අනික් අරමුණ තමා ගුරුකම කියන්නේ නිකන් ඉන්න රස්සාවක් කියලා ගොඩක් අය හිතන එක. ගුරුවරයෙක් ගේ හිතේ   තියෙන්නේ අසීමිත පීඩනයක්. ඒ ගුරුවරු වැඩ කරන්නේ මනුශ්‍ය ජීවිත එක්ක වීම. රටක ජාතියක අනාගතය එක්ක වීම. එතකොට දවසේ පැය 24 ම කල්පනා කලත් කල්පනා කරනන් දේවල් ගුරුවරයෙකුට තියෙනව. ඒ මඩිවට කාර්යාල ලිපිකරුවෙකුට වගේ දිනපතා ලියන්න කියන්න දේවලුත් තියෙනවා. අපි ඒවා අකුරටම නොකරන්නේ ඒ වැඩ ටික ගෙදර ඇවිල්ල බදා ගත්තොත් මහත්තුරු අපිව ගෙවල්වලින් පන්නන නිසා. ඒත් කොහොම හරි අපි ඊවත් කරලා තියෙනවා. නැත්නම් කණ්ඩායම් පරීක්ෂණ කඩා පනින හමුදාව ආවාම අපිට කණ් පුරෝලා අහ ගන්න වෙනවා.  ඒ තරම් වැඩ කන්දරාවක් අපිට කරන්න තියෙනවා. ඉතින් ඔන්න අදින් පස්සේ නමෝගොල්ලෝ හිතන්න එපා ගුරුවරු කියන්නේ මාස 3ක් නිවාඩු අරගෙන 2න් පස්ස්é ගෙදරට වෙලා නිකන්ම ඉන්න ජාතියක් කියලා. ගුරුවරු කියන්නේ පුදුම දුකක් විදින කොටසක්. ඝෙදර බුදුන් අම්මා, අපේ බුදු තාත්තා ගාවට ගුරු දේවතාවුන් කියලා ගුරුවරුන් ව තෙවනුව සිහිපත් කරන්නේ ඒ විදින දුක නිසාමයි කියලයි මට හිතෙන්නේ.

Friday, March 4, 2011

විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව - 1 කොටස



අද නම් ලියන්න හදන්නේ අපේ අම්මා දැක්කොත් ගුටි කන්න වෙන විදියේ ලිපියක්. එයා කියවන්නේ නැති නිසා ඔන්න බය නැතුව ලියනවා. දැන් දැන් වෙන වෙන බ්ලොග් වලත් මේ වගේ ටැබූ මාතෘකා ලියලා අපේ ටැබූ මහත්තයට එයාගේ බ්ලොගේ වහලා දාන්න වෙයි ද මන්ද!

මේක ලියද්දි සංජු ට සෑහෙන්න අසනීපයෙන් ඉන්නෙ. ඔලුව නහය කන උගුර බෙල්ල පපුව බඩ අත පය 4 ආදී එකී මෙකී නොකී සියලුම ශරීරාංග ටික ඇදුම් කනවා. දොස්තර අන්කල් නම් කිව්වෙ වයිරස් කට්ටියක් මගේ සරීරයේ පැලපදියම් වෙන්න හදනවා කියලා. එයා අහපු සියළුම රෝග ලක්ෂන මට තිබ්බා එකක් ඇරෙන්න. “කෑම අරුචිය” අනේ අම්මපා මට වැරදිලාවත් හැදෙන්නේ නැති රෝග ලක්ෂනය තමා ඔය කෑම අරුචිය.

ඔන්න මාතෘකාවෙන් පිට පැන්න. මම ලියන්න හදන්නේ ඔන්න විවාහය දරුවන් හැදීම සහ ගබ්සාව ගැන. මේ සියළුම කරුණු මම අත්දුටු දෙවල්. ජීවිතේ   මොන තරම් වේදනාකාරියි ද කියලා මේවා ඇහුණම හිතා ගන්න පුළුවන්. ඒකයි මම මේ ගැන ටිකක් ලියන්න හිතුවේ.

පළවෙනි මාතෘකාව විවාහය. 20-25 වෙනකල් කෙල්ලක් ඉතින් සතුටින් සැපෙන් ඉන්නව. 25 පහු වෙනකොට මතක් වෙනවා බදින්න ඕනි නේද කියලා. ඉතින් නෑදෑ පරම්පරාවමත් එක්ක ඉරාගෙන මනමාලයෝ හොයනවා. ඒ අස්සේ අර අසරණ කෙල්ලගේ මිතුර මිතුරියන් රංචු පිටින් ආරාධනා පත්‍ර එවද්දී බඩ පපුව පිච්චිලා යන තරම වැඩි වෙනවා. ඕවා මේ කාලෙට සාමාන්‍ය දේවල්. අද මම ලියන්න හදන්නේ මම වැඩ කරපු ගුරු මණ්ඩල කිහිපයේ ගුරුවරියන් කිහිපදෙනෙක් ගැන. ඔන්න වරද්ද ගනන් එපා…. සංජු ටිච හොර්ටන් තැන්න සිංහල මහ විදුහලේ විතරක් නෙවෙයි බස්නාහිර පළතේ පාසැල් 3 ක සහ මධ්‍යම පලාතේ පාසැල් 2 ක වැඩ කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ලියන්නේ කවුරු ගැන ද කියලා හොයන්න මහන්සි ගන්න එක බොරු වැඩක්.

ඔන්න අපේ අක්කා කෙනෙක් හිටියා. එයාට අපි ගීතා කියමුකෝ. මේ ගීතා අක්කා උපාධිධාරිනියක්. හරිම දක්ශ ගුරුවරියක්. ඒ ස්ටාෆ් එකේ ගීතා අක්කාගේ සමකාලින සමවයස් කට්ටිය 4-5 දෙනේක් හිටියා. මෙන්න බොලේ එකපරටම මුන් 3 දෙනෙක් ම  එකපාර කසාද බැන්දා මාස 2ක් ඇතුලත. අපිවත් හිතුවේ නෑ එහෙම වෙයි කියලා. ඒත් හොරෙන් සංවිධානය කරලා එයාල මගුලට සතියක් තියලා තමා අපිට ආරාධනා පත්‍ර බෙදුවේ.

මේ සීන් එක සිද්ධ වෙච්ච විදියට අපේ ගීතා ටීචට හරිම අස්පෙට්. මොකද එහෙම විවාහ වුණ එක සර් කෙනෙක් ගැන එයාගේ හිතේ කැමැත්තක් තිබ්බත් ඒක කියා ගන්න බැරුවයි හිටියේ. ඒ අස්සේ ඒ මනුස්සයාගේ මංගල ආරාධනා පත්‍රය ලැබුණම මොනවා හිතෙන්න ඇත්ද අපේ ගීතා ටීච ට………………………? අන්න හරි… ඔගොල්ලන්ට හිතුණ දේම තමා ඇයට හිතුණේ. “ටූ ලේට්”

ඔන්න අපේ ගීතා ටීචටත් බදින්න හදිස්සි වුණා. ඔන්න එක දවසක් මේ කෙල්ල ඇවිත් කියපි “සංජු ටීච මම ලබන ජූලි වල බදිනවා” අහන්න දෙයක් නෑ නෙ සංජු ටීච සුපුරුදු පරිදි කරකවලා අතහැරිය මට්ටමට වැටුණා. විස්තර අහලා බලනකොට වෙලා තියෙන්නේ මේකයි.

මම කලිනුත් කිව්වනේ ගීතා ටීචගේ යාලුවෝ ටික බැන්දට පස්සේ එයාටත් බදින්න උවමනාව තඩේටම තිබ්බා. ඉතින් මෙයා කැමති වෙලා තියෙන්නේ එයාගෙම යාලුවෙක් ගෙනාව යෝජනාවකට. මනමාල මහත්ත්යාගේ රැකියාව ගොවිතැන. නමුත් මේ මනමාල මහත්මයා බොහොම කඩවසම් ඒ වගේම පොලවේ පය ගහලා ජීවත් වෙන අපූරු ගැමියෙක්. අපූරු මනුස්සයෙක්. පරශ්නය වෙන්නේ අපි වගෙ එවුන් ට ඒ වගේ මිනිස්සුන්ව නොගැලපෙන එකයි.

ඉතින් ඔන්න කොහොමින් කොහොමින් හරි මේ ගීතා ටීච හරිම ඉක්මනට අර මනුස්සය සමග විවාහ වුණා. ඊට පස්සෙ කිහිපවතාවක්ම මට ඒ අයියාවත් ගීතා ටීචවත් මුණ ගැසුනා. කේන්දර නම් දෙය්යනේ කියලා ගැලපුනත් මේ මිනිස්සු දෙන්නාගේ නම් තිබ්බේ පුදුමාකාර නොගැලපීමක්. ගීත ටීච කියන්නේ හරිම සමාජශීලි ඕනි කෙනෙක් එක්ක පැනලා කතා කරන මිතුරු වෙන මිතුරු වෙලා ඉල්ලාගෙන කාලා අමාරුවේ වැටෙන කෙනෙක්. ඒත් මේ ගීතා ටීචගේ මහත්තයා සම්පූර්නයෙන්ම කණපිට. ඔහු බොහොම නිශ්ෂබ්ද උවමනා දේට විතරක් කතා කරන බොහොම නිවිච්ච මනුස්සයෙක්. කොටින්ම මේ දෙන්නාට එකට පරෙ යන්නවත් බෙ. ගීත ටීච කියන්නෙ කඩියෙක් වගේ ගමනක් තියෙන කෙනෙක්. හෙමින් ගමන් වානා. ඒත් එයාගෙ මහත්තයා බොහොම නිවිසැනසිල්ලේ ගමන් කරන කෙනෙක්. ඒක මට දවසක් නෝට් වුනේ අපි ඉස්කෝලේ බඩු වගයක් ගන්න ටවුමට ගිය දවසක. එදා ගීතා ටීච දුවද්දි ඒ අයියත් මමත් බොහොම හෙමින් ගමනක ගියේ. ගීත ටීච නොපෙනී ගිහාම මම ඒ අයියට කියනවා “අයියේ අරයව මග ඇරෙයි අපිට” කියලා. ඔහු කියන්නේ “ඔය කොහේ හරි නැවතිලා ඉන්නේ නැතැයි නංගි” කියලා.

ගීත ටීචගේ තියෙන අනික් අතිශයින්ම නරකම පුරුද්ද තමා අසීමාන්තිකව ජංගම දුරකථනය භාවිතා කිරීම. කොටින්ම ඒක සමහර වෙලාවට මටත් හරිම හිසරදයක් වෙන මට්ටමට තිබ්බේ. එයා කරන ලොකුම වැරැද්ද තමා මොන ඇනෝ කෝල් එකටත් පැණි හලාගෙන කතා කරන එක. ඇනෝ කෙනෙක් ඕනේවාට වඩා දෙන්න එනවා කියන්නේ ඒක කරදරයක් බව ඕනේම මෝඩයෙක් දන්නවනේ. ඒත් මේ ගීතා ටීච ට නම් ඒකේ ගානක්වත් නෑ. අන්තිමට ලාබාල කම පැත්තක තියෙලා මමත් ගීතා ටීච අමතන වෙලාවල් තිබ්බා. ඒවා නෙවෙයි ඒ බැනුම් කණකටවත් ගන්නේ. බැරි වුණහම මම සතිය දෙක කතා නොකර ඉන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් මට ඒ තරම් තරහ යනවනම් එයාගේ ස්වමි පුරුෂයා ට තද වෙන තද විල්ල ගැන ආයේ අහන්න දෙයක් නෑ.

ගීතා ටීචට දැනටමත් එක පශ්චාත් උපාධියක් තියෙනවා. ඒකත් තියාගෙන ගීතා ටීච තවත් ආයතන 2 ක තව පශ්චාත් උපාධි 2ක් කරමින් හිටියේ ඒ කාලේ. එතකොට පින්වතුනි හිතන්න…. සතියේ දවස්වල ඉස්කෝලේ බඩගාලා සති අන්තයේදි පශ්චාත් උපාධියට බඩගානකොට ගෙදර මනුස්සයා බලාගන්නේ කවුද? මගේ මේ අවිවාහක ටියුබ් ලයිට් මොලේ ට ඕක වැටුණට ගීත ටීචට සුද්ධ සිංහලෙන් කියලත් ඕක තේරුනේ නෑ. එතනින් එහාට මම එයාට ඒ ගැන කියන්න ගියෙත් නෑ. එතනින් තමා 2 වන ප්‍රශ්නය ආරම්හ වෙන්නේ. ඒක ඊලග කොටසින් …..

ප.ලි. මේ කතාවෙන් මම ඉගෙන ගත්ත ප්‍රධාන දේ තමා ගැහැණියක් විදියට පවුල් ජීවිතේ ක්‍රමවත්ව පවත්වාගෙන යන්න නම් කරන්න ඕනි කැපකිරීම ගොඩාක් තියෙනවා කියලා. රත්තරන් මනුස්සයෙක් හම්බ වෙලා ඉද්දී ඒ මනුස්සයට සලකගෙන ඉන්න එක උතුම් කුල කාන්තාවකගේ යුතුකම කියලා අහලා තිබුණට ඒක ඇත්තටම අදහන්න වටින කියමනක් කියලා මම ඉගෙන ගත්තේ මේ ගීතා ටීචගේ හැසිරීමෙන්.