Wednesday, June 15, 2011

කාටූන්

අද මම ලියන්නම් කියලා හිතාගෙන ආවෙ  කාටුන් ගැන. 

මේ මම පොඩි කාලෙ පිස්සෙක් වගේ බලපු කාටුන්. ඒ වගේම මගෙ වර්තමාන ජීවිතයටත් ලොකු බලපෑමක් මේ කාටුන් නිසා මට ලැබුනා. නමුත් කියන්න දුකයි අද ළමයින් ට ඒ දේ ලැබෙන්නෙ නෑ.  අඩුම ගානෙ මේ කාටුන් බලන්නවත් ලැබෙන්න හරිම කලාතුරකින්. 

 මේ කාටුන් වලින් මම ලබා ගත්ත ප්‍රධාන දේ තමා මගේ ළමා කාලයේම කඩුව පාවිච්චි කරන්න පොඩි තල්ලුවක් මේවයින් ලැබුන එක. දැන් නම් ඕනි කාටුන් එකයි එපා කාටුන් එකයි හැම එකම සිංහලෙන් හඩ කවලා නිසා කාටුන් එකේ හරය වගේම ඒකෙන් අපිට ලබා ගන්න තියෙන යම් යම් දේවල් නැති වෙලා යනවා. මම පහුගිය කාලෙ හරි අපූරු දෙයක් ළමයින් ගෙන් නිරීක්ෂණය කලා. ළමයි තමගෙ කතා ශෛලිය ගොඩ නගා ගන්නෙ තමන් කැමති කාටුන් එකේ විදියට. නැත්නම් තමා කැමති චරිතයක් විදියට. සියයට සීයක් ම නැතත් සියයට පණහක පමණ බලපෑමක් එයින් ලැබෙනවා. 

අනිත් එක තමයි හොද දේවල් මොනවද හොද පැත්තට කතා කරන්න ඕනි කියන එකත් සමාජයට දුශ්ඨයෙකු නොවෙන්න කියන දේත්.  පුංචි කාටුන් 2-3ක් මගින් ඒක හරියට තේරුම් කරලා දුන්නට අද කාලෙ කාටුන් නම් අනේ මන්දා....! බලන්නත් අප්පිරියයි. ඒවගෙ හඩ කැවීම් ඊටත් වඩා අප්‍රසන්නයි. චරිත වලට හඩ කවන්න ඉන්න සමහර කටහඩවල් ඒ චරිතෙට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. සමහර චරිත වලට හඩ කවන අයගෙ කට හඩවල් ඇහෙනකොට හිතෙන්නෙ නොම්මර 1 වැලි කඩදාසියකින් උගුර පොඩ්ඩක් මැද ගන්න කියන්න මොකද කියන වචන ඇහෙන්නෙ නෑ. ඔක්කොම එක වගේ. කතාව ආරම්භයේදිත් කතාවෙ උච්චම අවස්ථාවේදීත් සතුටු දායක අවස්ථාවලත් දුක්බර අවස්ථා වලත් කටහඩ එකම විදියයි. ඇයි හත් දෙයියනේ අපි නිකන් කතා කරද්දිත් කටහඩ මොන තරම් වෙනස්වීම් වලට භාජනය වෙනවද? මොන තරම් උච්චාවචනයන් ට භාජනය වෙනවද? ඒ වෙලාවට නම් මට හිතෙන්නෙ මේ කාටුන් වලට හඩ කවන්නෙ කතා කරන්නෙ නැති අය කියලයි. 

මම එක උදාහරණයක් කියන්නම්. ඔයාලට මතක ඇති කැස්පර්. මම පොඩි කාලෙ කැස්පර් බැලුවෙ ඉංග්‍රීසියෙන්. නමුත් කාලයක් එක්ක කැස්පර් සිංහල භාෂාවට හඩ කැවුනා. කැස්පර් ට හඩ කැව්වෙ අපේ පූර්ණ සම්පත් මල්ලි.  පූර්ණ මල්ලි ඒ කාලෙ පොඩි එකා නිසා බොහොම මටසිළුටු ලස්සන කටහඩකින් "මම කැස්පර්, සුමිතුරු භූතයා" කියනව මට තාම මතකයි. ඒත් හත්වලාමේ ඊට පස්සෙ එක එක නාලිකා වලින් හඩ කවපු හැම කාටුන් එකකම ළමා චරිත කතා කලේ අර පූර්ණ මල්ලි කතා කරපු ස්ටයිල් එකෙන්. සමහර චරිත වලට ඒ කටහඩ ඒ ක්‍රමය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. ඒක නිසා වෙන්න ඇති ඒ කාටුන් නිකම්ම පොඩි කාලෙකින්ම රූපවාහිනියෙන් ගැලවිලාම ගියේ. 

මෙතනදි කතා කරන්න අමතක නොවෙන කෙනෙක් තමා ටයිටස් තොටවත්ත මහත්මයා. ඔහු කාටුන් වලට හඩ කැව්වෙ සීමාවක් සහිතව. ඒ වගේම ඔහුගෙ කාටුන් වලට විවිධ ශෛලීන් වලින් හඩ කැවීම් ශිල්පීන් යොදවගෙන තිබ්බා. ඒ වගේම කතාවෙ රසයටත් ඔහු හානි කරලා තිබ්බෙ නෑ.  ඔහුගෙන් පස්සෙ මේ ශිල්පය භාවිතා කරපු අය ඉවක් බවක් නැතුව මේ හඩ කැවීම් කරන්න ගිහින් තමා ඒ ගුණාත්මක බව අඩු වුනේ.

 මම පොඩි කාලෙ බලපු කාටුන් වලට මම අදටත් ආසයි. එයින් මම ආසාවෙන් බලපු එකක් තමා ජෙම් ඇන්ඩ් ද හොලොග්‍රෑම්ස්. ජෙම් කාටුන් එක තරුණ කෙල්ලො කිහිප දෙනෙක් අතර තිබ්බ සංගීත කණ්ඩායමක් ගැන කතාවක්. එයාලට හිටියා විරුද්ධවාදීන් කණ්ඩායමකුත් මිස්ෆිට්ස් කියලා. ජෙම් ලගෙ උදව්ව උනේ ජෙම් ගාව තිබ්බ මැජික් බලයක්. ඒ මැජික් බලයෙන් එයාලගෙ පෙනුම වෙනස් කරනවා. සාමාන්‍ය ජීවිතේදි ජෙම් කියන්නෙ ජෙසිකා කියන සාමාන්‍ය කෙල්ලක්. 




ඊගාවට හා හා හරි හාවා හෙවත් බග්ස් බනී. මේ කියන්නෙ අපේ වල් හාවා ගැනවත් අර හාවෙක් වෙන්න හදන ඉත්තෑවා ගැන වත් නෙවෙයි.  හැබැයි මෙයත් අන්තිම තක්කඩි හාවෙක්!



ඊගාවට දොස්තර හොදහිත. එයාට හිටියා උදව්කාරයෙක් ටොමී කියලා. ටොමී කියන විදියට තමා මේ කතාව දිග ඇරෙන්නෙ. ඩොක්ටර් ඩූ ලිට්ල් තමා මට මතක විදියට මේකෙ ඔර්ජිනල් කාටුන් එක. හැබැයි ඒක නම් මම බැලුවෙ අන්තර්ජාලයෙන්. මේ කතාවෙ මම කැමතිම චරිතෙ තමා චව් චව්. 



ඊගාවට ගලිවරයන්ගේ ගේ සුවිසැරිය. මම මේකට නම් වැඩිය කැමති නෑ හැබැයි ඉතින් පටන් ගන්න විදියට ආසයි. මේ කතාවෙ මම ආසම චරිතෙ තමා ගලිවර් ගෙ බව්වා. 


ඊගාව කතාව තමා පිස්සු පූසා. මේ කාටුන් එක බලන කාලෙ අපේ ගෙදර හිටියා පූස් රංචුවක් ම. ඉතින් මම ආසාවෙන් බැලුවා මේ කාටුන් එකත්. ටොප් කැට් කියන්නෙ පිස්සු පූසගෙ ඉංග්‍රීසි කාටුන් එක. හැබැයි ඒක නම් මට වැඩිය අල්ලලා ගියේ නෑ මොකද පිස්සු පූසා කියන්නෙ සිංහලෙන් හඩ කවපු හොදම කාටුන් වලින් එකක්. ටොප් කැට් බලනකොට මට හිතුනෙ ඉංග්‍රීසි කාටුන් එකටත් වඩා කොලිටි එකට සිංහලෙන් හඩ කවලා තියෙනව කියලයි. මේකෙ මම වැඩියෙම්ම ආස චරිතෙ තමා උපාසක. මොකද මම ආස්සරේ කරන වැඩි දෙනෙක් උපාසකලා. 

ඊගාවට ටෝටලි ස්පයිස්.  මේ කතාව නම් ටිකක් මොඩ් එකක්. කොලෙජ් යන කෙල්ලො 3 දෙනෙක් රහස් පරීක්ෂකයො විදියට වැඩ කරන පිස්සු කාටුන් එකක්. මේක නම් සිංහලෙන් හඩ කවලා තිබ්බෙ නෑ. 

ඊගාවට කැස්පර්. කැස්පර් මම ආසාවෙන් බැලුවෙ ඉංග්‍රීසි කාටුන් එක. මොකටද බොරු කියන්නෙ මට සිංහල එක නම් ඇල්ලුවෙම නෑ.  වචන ටික ලස්සන උනත් ඉංග්‍රීසි කැස්පර් ගෙ තිබ්බ හයියෙන් කෑ ගහන කොටස්. පූර්ණ මල්ලිගෙ සූටික්කන් සුවිට් වොයිස් එකට හරි යන්නෙ නෑ. අනික කැස්පර් සුදු භූතයා කරලා සිංහල කාටුන් එකේදි. ඒකත් මට දිරෙව්වෙම නෑ. 



 ඊගාවට තන්ඩර් කැට්. දිනපතා නොවරදවා බලපු කාටුන් එකක්. හැබැයි ඉංග්‍රීසි කාටුන් එක. ඒක මම බලනකොට මම හිටියෙ 6-7 පන්ති වල. මේ ඊයේ පෙරේදා මම දැක්කා තන්ඩර් කැට් සිංහල කාටුන් එක. මට වමනෙට ආවා ඒක විනාඩි 5ක් බලලා ඉවර වෙද්දි. තන්ඩර් කැට් චරිත වල පෞර්ෂත්වය සම්පූර්ණයෙන්ම නැති වෙන විදියෙ දෙබස් හා කටහඩවල් තමා මට ඇහුනේ. තන්ඩර් කැට් එකේ මම කැමතිම ලයනෝ කියන චරිතෙට. ලයනෝ ගෙන් දැක්ක පෞර්ෂත්වය හරිම ඉහලයි. 



 ඒ ඇරෙන්න වෝර්නර් සහෝදරයන්ගෙ කාටුන් වලටත් මම ආසයි. කෙට්ටු කුරුල්ලගෙ මස් කන්න හීන බලන නරියගෙ කතාව, එතකොට කහ පාට කැනරි කුරුල්ල කන්න හැමදාම ගිහින් පොර කන පූසා සහ කහ පාට කැනරි කුරුල්ලගෙ අයිතිකාර ආච්චි ගෙ කතාව, එතකොට කිකිලියො ගොඩක් පාලනය කරගෙන ඉන්න සුදු කුකුලගෙ කතාව එහෙම අදටත් මම බලන්න ආස කාටුන්. 

හත්වලාමයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඇයි දෙයියනේ සූර පප්පා...! ඇස්ට්‍රික්ස් මට වැඩිය ඇල්ලුවේ නැති වුනාට සූර පප්පා නම් දෙයියනේ කියලා නැගලම ගියා. කොටින්ම අපේ ගෙදර ඉන්න බල්ලගෙ නමත් දැන් චූටි කුකූ. ඌට බෙහෙත් විදින්න ගිහාම පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයේ නංගිලා මල්ලිලා නම අහලා හිනා වෙනවා.  

 

එතකොට ඒ සීරීස් එකේම ආව කවුද බෝයි. කවුද බෝයි මට වැඩිය බලන්න වෙලාවක් හම්බ වුනේ නෑ ඒ කාලෙ මම මොකක්දෝ වැඩකට හවස ගෙදර නොහිටපු නිසා. මට මතක හැටියට නම් හොකී ප්‍රැක්ටිස් නිසා. ඒ මොනවා වුණත් මම ආසම කලේ කවුද බෝයි ගෙ සිංහල සින්දුවට. ඒ වගේම ඒ කතාවෙ ඉන්න පිස්සු හිර කාරයො හතර දෙනා තමා මගේ ප්‍රියතම චරිත. ඒ වගේම කවුද බෝයිගෙ අස්පයටත් මම සෑහෙන්න කැමතියි.  මේ කතාවේ ඉංග්‍රීසි එක නම් මතක විදියට "ලකී ලියුක්

අමතක නොකරම බැරි අනික් එක... ටින් ටින්. මේක නම් පිස්සුවක් වගේ වෙලා තිබ්බා. අපේ මල්ලි ඒ කාලෙ කොණ්ඩේ උඩට පීරුවෙත් ටින් ටින් වගේ.  සමහර වෙලාවට මම පන්තියෙ කොල්ලන්ට සද්දෙ දාන්නෙත් මොකද අද කොණ්ඩෙ ටින් ටින් වගේ කියලා. මේකෙ නම් මට සිංහල ඉංග්‍රීසි කතා දෙකම අල්ලලා ගියා. හැබැයි මම කැමතිම කැප්ටන් හැඩොක් ට. 




දැන් නම් ඇති වගේ ය.  
අහ්හ් ......................කියන්න තියෙනවා තව එක දෙයක්. 

සංජු ටීච ටීචගෙ භූමිකාවෙන් එලියට යනව බලන්න සමහරු අකමැතියි වගේ. කාන්තාවක් උනහම ළමයි බලාගෙන උයාපිහාගෙන ගෙදර දොර බලාගෙන පාඩුවෙ හිටපිය කියනව වගේ සමහරු කැමති මමත් කතාවක් කවියක් ලියාගෙන අහිංසක තාලෙන් දහයට ගනින්න බැරි විදියට ඉන්නවනම්. එහෙම කට්ටියට මම ආයෙත් කියන්නෙ මගෙ බ්ලොග් එක කියවන්න කලින් මගෙ බ්ලොග් එකේ නමට යටින් තියෙන දේ ආපහු කියවලා එන්න කියලයි. මම ගුරුවරියක් වෙන්නෙ පාසලේදි පමණයි. එතනින් එහාට මම නිදහස් කෙල්ලක්. මට ඕනි දේවල් කතා කරන්න ලියන්න මට නිදහස තියෙනවා. මම ලියන දේවල් හරහා මම නොදන්න දේවල් ඉගෙන ගන්නත් මට අයිතිය තියෙනවා. මම ලියන දේවල් දිරවන්නෙ නැති අය ඉන්නව නම් කරුණාකරලා මේ හතර මායිමේ පස් නොපෑගුවට මගෙ කිසිම අමනාපයක් නෑ ඕං. 

හරි ඒ කතාව ඉවරයි.

Sunday, June 12, 2011

දුන්නු වේදනා................!

අනේ මන්දා මේ දවස්වල මට හරි හමන් සින්දුවක් ඇහුනෙම නෑ. මගෙ කණේ දෝසයක් ද එහෙම නැත්නම් මගෙ කණට පත්තියම් වෙන ජාතියෙ සින්දු හැදෙන්නෙ නැද්ද මන්දා!

මේ සින්දුව මට හරි අහම්බෙන් ඇහුනෙ හිරු එෆ්.එම්. එකේ.... ඇහුන දවසෙ ඉදලා මම පෙරලගෙන සින්දුව හෙව්වා. ඒත් සෑහෙන ගේමක් දීලා තමා සින්දුව හොයා ගන්න පුළුවන් උනේ. ඉතින් මට හිතුනා මේක ඔයාල එක්කත් බෙදා ගන්න.  


මේ සින්දුව කියද්දි සමහර දේවල් මතක් වෙනවා ඒත් ලියන්න නම් අමාරුයි. වේදනාත්මක මතක මොන තරම් නම් අපේ ජීවිතේ තියෙනවද? 

ඒත් මේ සින්දුවත් එක්ක මතක් වෙන වේදනාත්මක මතක වලත් අපූරු සුන්දරත්වයක් මම දකිනවා.

ඒ මතක මගේ කර ගන්න පුළුවන් නම් ............. සදහටම...........!!!

Saturday, June 11, 2011

බ්ලොගර්ස් ලා කියන්නෙ කවුද?

ඇත්තටම මේක මට දැන් දවස් ගානක ඉදලා හිතට වද දෙන ප්‍රශ්නයක්. 

ඇත්තටම අපි කවුද?  

නිකන් ඉන්නවට ලියන අයද?
හේතුවක් ඇතුව ලියන අයද?
සමාජයට අපි යන්නෙ කවුරුන් විදියටද? 
බ්ලොගර්ස් ලා කියන්නෙ කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ මොකක්ද?


මම නම් කැමතියි බ්ලොගර්ස් ලා කියන්නෙ "නිදහස් මාධ්‍යවේදීන්" කියන වචනයෙන් හදුන්වන්න. 



ඔබ හිතන්නෙ මොකක්ද?