Tuesday, August 30, 2011

ඔබ ගියා..........!



සිතම මල ගෙයක් කොට
හඬන මා සිත අතැර
අසීමිත පෙම හදැති
බොරුවකැයි පසක් කර
ඔබ ගියා යන්නටම 
                                     යලි ආයෙ නො එන්නම...!



ප.ලි. 
ලියන්නට අමතක වූ යමක් ලියන්නට නැවත සිත් විය. ලිවීමේ කම්මැලිකම නිසා කෙටි කවි වලින් පමණක් මා ලියූ පෙම් කතාවේ අවසානය මා අද සොහොන් කරමි. ප්‍රේමය බොරුවකැයි පසක් කොට ඔහු යන්නට ගියේ ය. කවදා හෝ දිනෙක මෙය ඇට ලේ මස් නහර සහිත කතාවක් ලෙස ලියන බලාපොරොත්තුවෙන් මම නවතිමි. මතක තබා ගන්න........... අද හෙට නොවේ... මතු යම් දිනෙක....! මක් නිසාද යත් ඒ කතාවේ සමහර සිද්ධි මටද දරා ගැනීමට බැරි තරම් වේදනාත්මක බැවිනි.



Monday, August 29, 2011

චීන සවාරි - චීන බීම සහ ශවර් ජෙල්


මේ  කතා දෙක මට කිව්වෙ අපේ අයියා කෙනෙක්. දෙකක් නෙවෙයි කතා 3-4ක් ම කිව්වා. ඒත් ඉතින් දාන්න වෙන්නෙ කතා දෙකයි. අනික් කතා දෙක බ්ලොග් බලධාරියා විසින් කපා හරින ලදි. මේ කතා දෙකම ඒ අයියට චීන සවාරියකදි සිද්ද වෙච්ච කතා. තුන්වෙනි හා හතරවෙනි කතා දෙක නම් කිව්වෙ එයා එක්ක ගිය යාළුවන්ට වුණා කියලා. අනේ මං දන්නෙ නෑ ඉතින් ඒවා නම්....! ඒක නිසා මම "ලු" තමා ලියන්නෙ ඔන්න.

 ඔන්න ඉතින් මෙහෙමයි සීන් එක. අපේ මේ අයියා වැඩ කරන ආයතනයෙන් අපේ අයියයි තව අයියල කට්ටියකුයි චීනෙට යැව්වලු පුහුණුවකටද මොකක්දෝ එහෙකට. මේ ආයතන එක පාර දෙතුන්දාහක් රාජකාරි කරන ආයතන නිසත් මේ ආයතනේ රාජකාරිවලට ගන්නෙ හයේ හතරෙ වැඩකිඩ දන්න අයියලා නිසත් මේ ගිය සෙට් එකත් අන්තිම නසරානි සැට් එකක්ලු. අපේ පොරත් සුදුවට බෝලෙ වගේ හිටියට ඒ සැට් එකටම හරියන අයියෙක්. 

ඉතින් ඔන්න මේගොල්ලන්ට චීනෙට ගිහාම හත්වලාමයි කියලා තරු පහේ හෝටලේකම නැවතෙන්න හම්බවුණාලු. ඒ මදිවට ඇති වෙන්න කන්න ද බොන්නද නාන්නද ..... තව බලන බලන අත චීන කෑලි වැහි වැහැලලු. අපේ ගිය සමහර අයියලගෙ ප්ලෑනුත් ඩයල් එකත් වෙනස් වුණාලු මේවා දැකලා.  ඒ මදිවට මදි නොකියන්න සීතලත් තිබුණලු. 

මේගොල්ලො කරන්නෙ උදේ පාන්දරම බාත්ටබ් එකට උණුවතුර එකක් පූරවගෙන සීතල යනකල් බැහැලා ඉන්න එකලු. අපි වගේ පිස්සු ඩයල් එකක් එහෙම කලොත් බාත්ටබ් එකෙන් ගන්න වෙන්නෙ අයිස් කෑල්ලක් වුණත් මේ අයියලා සෙට් එකට දීල තියෙන පුහුණුව නිසා මෙයාල ඇන්ටාක්ටිකාවට ගියත් උදේට නාලා තමා එලියට බහින්නෙ.  

ඉතින් ඔන්න දවසේ පුහුණුව එහෙම අවසාන කරලා හවස හෝටලේට ආවම තමා අපේ කට්ට්ටියගෙ වැඩ පටන්ගන්නෙ හරියටම කිව්වොත්.  අපරාදෙ කියන්න බෑ අපේ කට්ටියටම සැට් වෙන විදියෙ අපූරු භාෂා පරිවර්තකයො පස් දෙනෙකුත් මේ කට්ටියට හිටියලු. හවස වැඩ ඉවර වුණා කියලා නෑ මේ භාෂා පරිවර්තයො දෙන්නත් හොදට කන බොන මිනිස්සු නිසා අපේ කට්ටිය එක්කමලු ඉන්නෙ. 

චීනෙ කට්ටිය බොනවලු මෝතායි කියලා බීමක්. බීමෙ නම හරිද මන්දා අපේ කට්ටිය ඉතින් චීන භාෂාව හරියට දන්නෙත් නෑනෙ.  ඉතින් අර අපේ කට්ටිය එක්ක ඉන්න භාෂා පරිවර්තකයො දෙන්න හෙණ කයියක් ගැහුවලු එයාලට මේ වර්ගෙන් ගොඩක් බොන්න පුළුවන් බීල වෙරි නොවී ඉන්නත් පුළුවන් කියලා. අපේ කට්ටියත් ඉතින් පුරුදු වෙන්න බොන කට්ටියක් නෙවෙයිලු. බෝතලේ බීලත් සීරුවෙන් සිට ගන්න පුළුවන් කට්ටියක්. ඉතින් චීන කොටාල පස් දෙනෙක් අර වගේ චැලෙන්ජ් එකක් කලාම කාටද ඉවසන්න පුළුවන්?

 එදා ඉතින් හවස හෝටලේට ගිහාම කට්ටිය සුපුරුදු පරිදි බොන්න සෙට් වුණාලු. අර භාෂා පරිවර්තකයො 5 දෙනා කට්ටියගෙ කාමරවලට එනවලු. ඔන්න එකෙක් එනවලු. කාමරේ ඉන්න අපේ කොල්ලො දෙන්නට මෝතායි වීදුරු2ක් පොවනවලු. ඊට පස්සෙ තව එකෙක් එනවලු මෝතායි වීදුරු දෙකක් පොවනවලු. ඉතින් ඔහොම භාෂා පරිවර්තකයො 5 දෙනෙක් ඇවිල්ල වීදුරු දෙක ගානෙ පෙව්වම අපේ කට්ටියට දෙවරක් පහ දහයක් වැදිලලු. 

ඒත් ඉතින් අපරාදෙ කියන්න බෑ අපේ කට්ටිය හරි ශෝයි එකේ ඇටෙන්සොන් එකේම ඉන්නවලු. හැබැයි අර භාෂා පරිවර්තකයො පස් දෙනා පේන්න නෑලු.  පස්සෙ ඉතින් මොකද උනේ බලන්න අපේ කට්ටිය කාමරවල චෙක් කරන්න පට්ටන් ගත්තලු. හතර දෙනෙක් පේන තෙක් මානෙක නෑලු. එක්කෙනෙක් නම් සැපට ඇදක් උඩ නිදිලු. කට්ටිය බැලුවලු ඇයි මේ වීදුරු 1 1/2ක් බීල මූට මේ තරම් වෙරි ද අපිට නම් 10ක් බීලත් ගානක්වත් නෑ නෙ කියලා. බලනකොට අර අසරණ මනුස්සයා බාතෲම් එකේ සින්ක් එකට කබරයා එහෙම දාලා ඒක සෝදන්නෙවත් නැතුව  නිදිලු. 

හෙණ ටෝක් එකක් දුන්නට බොන්න ගිහාම චීනා ට අපේ අය එක්ක හැරෙන්නවත් බැරිලු කියන එක තමා මේ කතාවෙන් හැදෙන ප්‍රස්ථා පිරුළ.

ඉතින් ඊට පස්සෙ අපේ කට්ටිය දැන් වෙරි මරගාතෙ ගණන් කරා ලු ඉන්න සෙට් එක. මොකද වැරදිලා හරි එක්කෙනෙක් හරි වැඩේ වරා කරගෙනද කියලා සුවර් එකක් නැති නිසා. අන්තිමට මහදැනමුත්තයි ගෝලයො ටිකයි වගේ පැය ගානක් ගනන් කරලා හොයා ගත්තලු........ එක්කෙනෙක් අඩුයි!!

මලා....!!! දැන් කොහෙන්ද ඒ මනුස්සයව හොයන්නෙ ?  කොයි එක්කෙනා නැතිවෙලාද දන්නෙත් නෑ ඇයි අනේ සීයක් විතර බොන්න ගියානෙ. නෑ නෑ ගිහින් තියෙන්නෙ 10 දෙනෙක් බීල ඉවර වුණාම 100ක් වගේ පෙනිලා තියෙන්නෙ. ඉතින් ඔන්න අමාරුවෙන් මූණත් තහඩු ටික චැක් කොරලා නැති වෙලා තියෙන මූණ මීටර් කර ගත්තා. හත්වලාමයි නැති වෙලා තියෙන්නෙ ගියපු කට්ටිය සෑර් කියන්ට ඕනි කෙනෙක්වලු. 

ඉතින් ඔන්න කට්ටිය ආපහු පණ දාගෙන සෑර් ව කාමර ගානෙ හෙව්වලු. ම්හු..... කිසිම සද්දක් බද්දක් නෑ ලු. කට්ටිය කල්පනා කරාලු මෙයාට වැඩි වෙලා බාත් රූම් එකකවත් වැටිල ඉන්නවද දන්නෙ නෑ කියලා ආපහු බාතෲම් ඔක්කොම ඇර ඇර බලන්න පටන් ගත්තලු.  

ඔන්න ටික වෙලාවකින් එක්කෙනෙක් කෑ ගහනවලු මෙන්න ඉන්නවෝ කියාගෙන. ඉතින් අපේ අයියල කට්ටියත් දඩිබිඩි ගාල පෙරලගෙන දිව්වලු.  

අනේ මේ මනුස්සයා සැපසේ සුවසේ ඉන්නවලු.  තමන්ගෙම කාමරේ බාතෲම් එකේම. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑලු. අනික් අයට කාමරේ මාරු වුණත් මෙයාට මාරු වෙලා නෑ. බලන්න කොච්චර ඇක්ස්පීරිය්න්ස් ද?

එයා ඉතින් තමන්ගෙම බාතෲම් එකෙ බාත් ටබ් එකට උණුවතුර පුරවගෙන බැහැලා සැපට ඉන්නවලු.  කොහොමත් අපේ කට්ටිය හවසට කරන්නෙත් ඇවිල්ලා බාත්ටබ් එකට උණු වතුර පුරවගෙන බැහැලා ඉන්න එකලු. ඉතින් සෑර් ට වරදක් කියන්න බෑ නෙ. 

කට්ටියට ඒ වුණාට මොකක්ද අමුත්තක් දැනෙනවලු. හිතා ගන්න බැරිලු. වෙනදා විදියට වඩා මොකක් හරි වෙනසක් තියෙනවමලු.  ඉතින් පොඩ්ඩක් ලං කරලා බැලුවලු. එකපාරටම එක්කෙනෙක් සෑර් ගෙන් ප්‍රශ්නයක් ඇහුවලු. 

"සෑර් මොකක්ද උණු වතුරට දාපු බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක? සර් කලින් පාවිච්චි කරපු එකේ මෙහෙම කෑලි කෑලි පා වුණේ නෑනෙ??"  

ලොක්ක බැලුව ලු. ම්හු..... අවුලක් නෑ.....  

අපේ කට්ටිය තව ටිකක් කිට්ටු කරාලු මේ බාත් ටබ් එක ගාවට මොකක්ද මේ බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක කියලා බලන්න.  එතකොට තව එකෙකුට හයියෙන් මෙහෙම කියවුනාලු. 

"හයියෝ මච මේක මේ ලෝකල් එකක්නෙ ... මේඩ් ඉන් ශ්‍රී ලංකා..... මේක කබරයා ලකුණ චයිනීස් ජොජෝබා ඔයිල් බාත් ඇන්ඩ් ශවර් ජෙල් එක" .

දැන් කට්ටියටම හිනාලු මේ වැඩේට. සෑර් බාත්ටබ් එකට වතුර පුරවගෙන බැහැලා ඉන්න අතරෙ සෑර් ට වමනෙ ගිහින් බාත් ටබ් එකේම. ඉතින් මොන තරම් අසිහියෙන්ද කියනව නම් ඒ වතුර එකේම රස්නෙට ජොලියෙ බැහැලා ඉන්නවලු. රෑට කාපුවා බයිට් එහෙම වතුරෙ පා වෙනවලු. 

 ඉතින් කට්ටිය බැලුවලු බොසා වුණත් මේ යකාව මෙහෙම තියෙන එක හරි  නෑනෙ කියලා කම්බි කෑල්ලක් හොයාගෙන ඉස්සෙල්ලම අර බාත්ටබ් එකේ වතුර ටික ඇරියලු. ඊට පස්සෙ වතුර පාරක් ගහලා සර් ව අල්ලන්න පුළුවන් ගානට සේදුවලු. අන්තිමට කරලා තියෙන්නෙ බොසා කියලා බලන්නෙ නැතුව බාත්ටබ් එකෙන් ඇදලා අරගෙන ශවර් එකට අල්ලලා බොස් බබාව නාවලා තියෙන එක හොඳටට සබන් එහෙම ගාලා. ඊට පස්සෙ තෙත මාත්තු කරලා ඇඳුම් අන්දලා ඇඳට ගිහින් දැම්මලු. මේ හැමදේම කරනකල් සෑර් කියලා තියෙන්නෙ "හරි මචං හරි හරි ඔක්කොම හරි" කියලා කියවපු එක විතරලු.

ළමායි මේකෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඕනෙවට වඩා බොන්න ගිහින් ඇවිල්ලා බාත්ටබ් වල නාන්න එපා කියන එකමත් නෙවෙයි උපදේශෙ. කොහොමත් මොන රටේ මොන රහට බිව්වත් අනික් මිනිස්සු ඉදිරියේ තමන්ගෙ තත්වය නැති වෙන එක විතරයි වෙන්නෙ කියන එක තමා මේ කතාවෙන් ගන්න තියෙන උපදේශය. 

කතාව දික් වුණා. දෙවනි කතාව එහෙනම් හෙට විතර කියන්නම්. 
ට ටා....!































Monday, August 22, 2011

හිමි නමුත් අහිමි සඳ






පෙමින් හදවත වෙලා
අසීමිත ආදරේ ආරාධනා ලඟ  
හිමි සඳම වෙලා ඔබ
අතරමන් සිත් අහස
සිසාරා යන  
හිමි වන්නටත් පෙර 
අහිමි බව මගේ සඳ
පසක් කර දුන්
ඔබේ තුරුලේ  
පුංචි දූ සිඟිත්තී








Friday, August 5, 2011

විභාග සැප (අඩන්නද හිනාවෙන්නද කියා හිතා ගන්න බැරි කතාවක්!!)


හෆ්ෆා මේක දැක්ක කලක්. මකුළුදැල් බැදිලා වැඩ ගොඩයි අස් පස් කරන්න. ඒ අස්සෙන් ඉස්කෝලෙ වැඩත් සෑහෙන්න තිබ්බා. දැන් මට වඩා අලුත් ගුරුවරුන්ට ඉස්කෝලෙ බාර දීල තියෙන නිසා දෙයියනේ කියලා මට කණක් ඇහිලා පාඩුවෙ ඉන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හිටියට වුණේ ඒකෙ අනික් පැත්ත. අපේ අලුත් ඉංග්‍රීසි නංගි ගයියා නිකන් මට කිඹුහුමක් ගියත් ඇයි අක්කා ? කියලා අහලා කොත්තමල්ලි පොවන ජාතියෙ. ඒකිගෙ නහය දෑවත් ඇවිල්ල කියන්නෙ මට. හත්වලාමෙ මට මේ මගේ ප්‍රශ්න විසද ගන්න බැරුව ඉද්දි ගයියා මට වද දෙන්නෙ අනේ අක්කා උඹ යන්න එපා බන් මාරු වෙලා උඹ ගියොත් මම කොහොමද ඉන්නෙ? කිය කියා. ඒකි ගැන කල්පනා කරලම මගෙ මොලේ රිස්ස ගියා පහුගිය කාලෙ. මොනවා වුණත් අපේ ගානටම පිස්සු තියෙන අහිංසක කෙල්ලනෙ. 

අනික් එක තමා අපේ බෝඩිමට ආපු අයි.ටී. නංගි. අපරාදෙ කියන්න බෑ ඒකි බුකියට හුරු වුණාට තාම බ්ලොග් වලට හුරු වෙලා නෑ.  ඉතින් දෙයියනේ කියලා තව ටික කාලයක් මට මඩ ව්‍යාපාරය කරගෙන දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්න පුළුවන් වෙයි. 

අයි.ටී. නංගිගෙ විෂය අයි.ටී. උනාට කෙල්ල දැන් ඉන්නෙ 3 ශ්‍රේණියේ පන්තිභාර විදියට. අයි.ටී කරන කෙනෙකුට මොන්ටිසෝරියක් කරන්න දෙන එක කොහොමද කියලා හිතා ගන්න පුලුවන් නෙ. අන්න ඒක තමා මෙතනත් වෙලා තියෙන්නේ. ඒත් අපේ නංගි මාර උනන්දුවකින් සහ කැපවීමකින් උගන්නගෙන යනවා. 

ඉතින් ඔන්න වාරයක් උගන්නල උගන්නලා ඒකේ ප්‍රතිඵල බලන්න අපට හම්බ වෙන්නෙ වාර විභාගෙ. ඉතින් මේ පාරත් වාර විභාගෙ තිබ්බා කියමුකෝ. නෑ .... නෑ ඒක තිබ්බම තමා.  

ඉතින් ඔය වාර විභාගෙ ඉවර උනාම අපිට හම්බ වෙන *** ජොබ් එක තමා උත්තර පත්තර පරීක්ෂා කිරීම.  ආයේ ඉතින් නින්දක් නෑ කොළ ගොඩක් දිග ඇරගෙන බලන එක තමා වැඩේ. ඒ ලෙවල් වගේ ප්‍රශ්න පත්තර ටික ෆෑන් එකට අල්ලලා හරි දොර ගාව තියලා පයින් දෙනවා හරි වගේ කෙටි ලකුණු දීමේ ක්‍රම අපිට නැති නිසා ඉතින් අපිට වෙන්න කොහොම හරි බලන්නම තමා. මම ඒත් කල්පනා කලේ කශාධයක් බැන්ද දවසට නම් විභාග කාලෙට සුවාමි පුරුසයාට තමා උයන්න රෙදි හෝදන්න වෙන්නේ!!!

ඉතින් මම ඉංග්‍රීසිත් ඉතිහාසයත් බලද්දි අපේ අයි.ටී නංගි ඔන්න 3 වසරේ උත්තර පත්තර බලනවා. කාමරේ ගන්න දෙයක් නෑ හැමතැනම කොළ. පුදුම පිළිවෙලයි. ඒ අස්සෙ පරන බිස්කට් කොලත් නැතුවම නෙවෙයි. 

ඔන්න එක පාර උත්තර පත්තර බල බලා හිටපු අපේ අයි.ටී. නංගි ට පෙරලි පෙරලි හිනා වෙන්න සිද්ද වුනා. ඒකි හිනා වෙලා ඉවර වෙනකල් ඉදලා ඉතින් මමත් හොස්ස දැම්මා සීන් එකට.  

"මොකද බන් වෙලා තියෙන්නෙ?"

"අක්කා දන්නවද බකමූණාගෙ ස්ත්‍රී ලිංග පදේ?"  

"බකමූණි නේද?"

"නෑ"

"එහෙනම්..... බකමූණු කෑල්ල?"

"නෑ ..... නෑ....."

"එහෙනම් තෝම කියපිය"

"මේ පේපර් එකේ හැටියට නම් බකමූණගෙ ගෑණු සතා බක දෙන"

"හිකිස්"

"එතකොට අක්කා ගවයා ගේ ගෑණු සතා?"

"ගවදෙන"

"කෙහෙම්මල"

"එලදෙන"

"අනේ අක්කා උඹ දන්න සිංහල..... ගවයාගේ ගෑණු සතා ගෙවිලිය"

"හෑ....!!!"

"එහෙනම් කියහන් බලන්න කුකුලාගේ ගෑණු සතා?"

"කිකිළි නෙ.... වෙරි ඊසි"

"අක්කා උඹව ආයෙ 3 පන්තියට යවන්න වෙනවා. "

"ඇයි ඒකත් වැරදි ද?"

"ඔව්. අපිට මේ ළමයින්ට තරම් වත් මොලේ නෑ බන් අක්කෙ"

"හරි හරි ඉතින් දැන් මොකාද කුකුළගෙ ගෑනු සතා?"

"කුකුළි"

"හකෝ හකෝ... ඈ බන් උබ ඕවද මෙච්චර කල් ඉගැන්නුවේ? "

"අනේ මන්දා අක්කා ඉගැන්නුවේ නම් හරි එව්වා.... හෙට තමා මුං ටික ඉතින් මගේ අනික් රූපෙ බලා ගන්නේ. ඇයි අක්කෙ මුං පාඩම් කරන්නෙත් නෑනෙ!"  

ඔය ඉතින් අපේ අලුත් අයි. ටී නංගිට වෙච්චි අලකලංචියයි.  ඊගාවට මගේ ඉතිහාසය ප්‍රශ්න පත්තර බලන්න ගොස් මට හමු වුණ අපූරු උත්තරයි. 

 මේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්නයක හිස්තැන් පුරවා ඇති අයුරුය. 

පණ්ඩුකාභය රජු ගැන උගුර ලේ රහ වන තුරු කතන්දර කියා දුන්නා මදිවාට අබා චිත්‍රපටයද නරඹා ඇති දරුවන් මෙවැනි පිලිතුරු ලියන විට අප කල්පනා කරන්නේ වැරදී ඇත්තේ අපටද ඔවුන්ටද යන්නයි. මක්නිසාද යත් උපරිම වශයෙන් ඉගැන්වීම හැර විභාගයට ඔවුන් සපයන උත්තර ඒ වෙලාවේ ඔවුන්ගේ වගකීම වෙන නිසායි. 


1. ස්වර්ණපාලි කුමරිය යනු .....නිඝන්ඨයෙකි..........  .
2. අසේල යනු ....පණ්ඩුකාභය රජුගේ බිසවයි.... .
3.ජෝතියගිරි යනු .....පණ්ඩුකාභය රජුගේ මාමා කෙනෙකි...........  . 

මේ විද්‍යාව හිස්තැන් පිරවීමකි.  

1. සූර්යකෝෂ මගින් සූර්යාලෝකය .....ප්‍රජනන.... ශක්තිය බවට පත් කරයි. 

2. වකුගඩු හා මූත්‍රාශය අයත් වන්නේ ...ප්‍රභාසංස්ලේෂන..... පද්ධතියටයි. 

3. අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ....බහිස‍්ස්‍රාවි.... මන්දාකිණියේය. 

4. ගර්භාෂය හා ඩිම්බකෝශ අයත් වන්නේ ....විද්‍යුත් ...... පද්ධතියටයි. 

5. ශාඛ ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ... කිරි සයුරයි....... . 

හොදම එක ලියා තිබුණේ අවසානයට බැලූ සෞඛ්‍යය පිලිතුරු පත්‍රයේ ය.  

1. කටේ ඇති දත් වර්ග 4 නම් කරන්න. 
        (1)  පොල් දත්
        (2)  පණු දත්
        (3)  නල දත්
        (4)  කිරි දත්

පණ යන තුරු උගුර ලේ රහ වන තුරු උගන්වා අප අවසානයේ දකින ප්‍රතිඵලය එයයි. මේ විෂය භාර ගුරුවරු මනා කැපවීමකින් මහන්සි වී උගන්වද්දී එහි ප්‍රතිඵල ඔවුන්ට නොලැබෙන්නේ ඇයි?  ඒ අපේ අවාසනාවද එහෙමත් නැත්නම් ඒ දරුවන්ගේ අවාසනාවද යන්න දන්නේ දෙවියන් පමණි. බාහිර ලෝකයට විවෘත නොවූ අඩු පහසුකම් සහිත පාසල් වල දරුවන් ගේ තත්වය එබදුය. ඔවුන් ට සිංහලද නොතේරේ යැයි මේ පිළිතුරු දුටූ විට හැගේ. ඒ මදිවාට මගේ අත්දැකීම් පරිදි සාමාන්‍ය බුද්ධි මට්ටමද ඉතා පහලය. ඇත්තේ කටපාඩම් බුද්ධිය පමණි. නමුත් ප්‍රශ්නය මදක් පටලවා ඇසූ විට එය ගලපාගෙන වැඩේ ගොඩ දා ගන්නට ඔවූහූ නොදනිති. පුදුමය වන්නේ උත්තරද දී තිබියදීත් කණා ෂොට් එකකට වත් මේවා එකක්වත් හරි නොයාමයි. අනේ මන්දා........ තව කොපමන දුරක් මෙලෙස යා හැකිද?