Tuesday, September 27, 2011

ඔබ එන තුරු.............






                      
                මගෙ සුදූ.........

                           නොදැන නෙවෙයි ආදරේ කලේ මම ඔයාට ඔයා හරිම රාජකාරි බහුල කෙනෙක් කියලා. මම ඒක දැනගෙන හිටියා. ඒත් ඉතින් හිත නැවතුනේ ඔයා ගාව. ඔයාගෙ අම්මලා ඔයාව බලෙන් වගේ ඇදගෙන අපේ ගෙදර ඉස්සෙල්ලාම ආව දවසෙ මට හිතුනා ඔයා ඉන්නෙ පුදුම තරම් අපහසුවකින් කියලා.


මගේ ජීවිතේ විශ්වාස නෑ කියලා බඳින්න බෑ බෑ කියලා ඔයා නිවාඩු එන එකත් අඩු කරලා හිටියෙ කියලා මම දැන ගත්තෙ පස්සෙ කාලෙක. ඒ කතා මොකුත් නොදැන වුණත් මම ඔයාට ආදරේ කලා.

යුද්ධයේ කුරිරු බව පහ වෙලා ගියත් මොකක්දෝ තනිකමක් හිත ඇතුලෙ හැංගිලා.  ඔයාගෙ යාළුවො දාල ගියපු එයාලගෙ පවුල් වල අය දකිද්දි එයාලා ගැන ඇහෙද්දි හිත ඇත්තටම වාවන්නෙ නෑ. ඒත් ඒ හැම වෙලාවකම මම දෙයියන්ට පින් දෙන්නෙ මගේ ගෙදර දෙවියන්ව මට බේරලා දුන්න එක ගැන. කණ ගාවින් ගිය වෙඩි පාරවල්, කකුල් දෙක ගාව පිපිරෙන බෝම්බ ගැන ඔයා කියන කතා මම ඇත්තටම අහගෙන හිටියෙ අමාරුවකින් නම් නෙවෙයි. ඒ කාලෙ මම ආසම කලේ තොර තෝංචියක් නැතුව පොඩි දරුවෙක් වගේ කියවන ඔයාගෙ කතා අහගෙන තරු දෙකක් වගේ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න. ඉතින් ඔයා කියවනවා මම අහගෙන ඉන්නවා.

යුද්ධෙ ඉවර වුනත් ඔයාගෙ රස්සාව තාම ඉවර නෑ කියලා මම දන්නවා.  අනික් හැම කෙනාම හවසට ගෙදර එන තමන්ගෙ ආදරේ වෙනුවෙන් ජීවිතේ කැප කරද්දි මම කරන්නෙ තියෙන දෙයක් කාල ගුලි වෙලා නිදා ගන්න එක. ඔයා නැතුව මට මොන කෑමද රත්තරන්? ඔයා එන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්න එක තමා මගෙ වැඩේ. ඔයා දන්නවනෙ පණ ..... ඔයා ආව දවසට අපේ ගෙදර රජ මාලිගාවක් වගේ නේද? කන්න බොන්න ඔයා ආස දේවල් හද හද දෙන එක තමා මගෙ එකම වැඩේ. ඇත්තටම ඔයා ගිහාම අපේ ගෙදර අම්බලමක් වගේ. ඔයා ඒක දන්නෙ නෑ නෙ. ඔයාගෙ සුවද තියෙන ඇදුම් ඉඹින්න, ඔයාගෙ සුවඳ තියෙන ඇදේ නිදාගෙන කල්පනා කරන එක ඇරෙන්න වෙන සිහියක් නම් නෑ මට. දන්නවද සුදූ සමහර වෙලාවට ඔයාගෙ සුවඳ නැතිවෙලා යනවා. එතකොට මම ගේ පුරාම තියෙන ඔයාගෙ ඇඳුම් ඉඹ ඉඹ ඔයාගෙ සුවඳ හොයනවා. ඇත්තටම කවුරු හරි දැක්ක නම් හිතයි මට පිස්සු කියලත්.

අනේ සුදූ සමහර වෙලාවට මට හරිම ආස හිතෙනවා ඔයාගෙ කටහඬවත් අහන්න ඇත්නම් කියලා. මම හිටපු ගමන් ඔයාට කෝල් එකක් අරගෙන පිස්සු ප්‍රශ්නයක් අහන්නෙ අන්න ඒ වගේ වෙලාවට තමා. ඔයාට කේන්තිත් යනවා ඇති මම එහෙම කරනකොට අනේ ඉතින් මම දන්නෙ නෑ නෙ ඔයා මොන රාජකාරි මැද්දෙද ඉන්නෙ කියලා. ඒ වුනාට අද වෙනකල් ඔයා මට එක පාරක්වත් හිත රිදෙන දෙයක් කියල නෑ ඒ වගේ වෙලාවල් වලට. ඉවසීමෙන් උත්තර දීලා මාවත් සනසලා කතා කරනවා. ඒ අතින් ඔයාට පුදුම ඉවසීමක් තියෙනවා. සමහර වෙලාවට මටත් නැති තරම්. ඒ අතින් ඔයා මාව මොන තරම් තේරුම් අරගෙන තියෙනවද? කවදාවත් ඔයා මාව මානසිකව වට්ටලා නෑ. පුළුවන් තරම් මාව මානසිකව සතුටින් තියන්නයි ඔයා උත්සහ කලේ. ඇත්තමයි රත්තරන් ඔයා නොහිටින්න මම කවදාවත් මේ තරම් ප්‍රීතියෙන් ජීවත් වෙන එකක් නෑ.

එක පාරක් ඔයා නිවාඩු ඇවිත් මට දීල ගියා ඔයාව මතක් වෙන්න තෑග්ගක්. එදායින් පස්සෙ එන්න පුළුවන් හැම වෙලාවෙම ඔයා ගෙදර ඇවිත් විනාඩි පහකට හරි මාව බලලා යන්න පුරුදු වුණා.  මාව විතරක් ද...? ඔයාගෙ ආදරෙන් පිරුණු මගේ කුසටත් ආදරේ කරලයි ඔයා යන්නෙ. එයා එන්න කිට්ටු වෙනකොට ඔයා ගෙදරට අඩිය තියද්දිම මටත් කලින් මගේ කුසේ ඉන්න එයාට දැනෙනවා. ඔයා කතා කරනකොට ගහන පයින් පාරවල්..... අනේ තාත්තෙ මට ඉක්මනට එන්න ඕනි ඔයා ගාවට කියනව වගේ.

අදටත් ඔයාගෙ සුවඳ විඳින්නෙ මම එයාගෙන්. ඔයාගෙ සුවඳමයි රත්තරන් අපේ පුංචි පැටියගෙ හැමතැනම.  පැටියා ලැබුණට පස්සෙ ඔයා මට සලකපු තරම්. මේ ලෝකෙ වාසනාවන්තම ගෑණි මමයි කියලා මම මොන තරම් සතුටින් ද හිටියෙ? අදටත් ඒ සතුට එහෙම්මමයි. මතක් කර කර විදින්න තරම් සතුටක්. අපේ පැටියා ආවට පස්සෙ ඇවිද ගන්නවත් බැරුව හිටිය මාව උස්සගෙන ටොයිලට් එකට එක්කරගෙන ගියෙත් ඔයා. වේදනාවට ඇස් වලින් කඳුළු වැටෙද්දිත් මාව උස්සගෙන මාව සෝදවලා ආපහු උස්සගෙනම ගෙනල්ලා ඇඳ උඩින් තියද්දි මගෙ පපුව පිච්චෙන තරම්... එහෙම කරපු එක දවසක මම ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳ වැටුනෙ මට වෙන ඔයා වෙනුවෙන් කරන්න දෙයක් තිබුනෙ නැති නිසා.

අදත් මම මේ පැටියව තුරුල් කරගෙන බලාගෙන ඉන්නෙ ඔයා එනකල්.  ඔයාව පොටෝ වලින් අඳුනන්න තාම එයාට බෑ. ඒත් ඔයාගෙ කටහඬ එයා අඳුනනවා. ඔයා ෆෝන් එකෙන් කතා කරනකොට එයා වැඩ ඔක්කොම නවත්තලා අහගෙන ඉන්නවා. ටිකකින් ඔයා එක්ක කෑ ගහන්න පටන් ගන්නවා. වෙනදාට අමාරුවෙන් අම්ම්ම්ම් අම්ම්ම්මා කියන එක වෙනස් වෙලා ඔයා කතා කලා ම පැය ගානක් යනකල් එයා කෑ ගහන්නෙ තාතාතාතාතාතා කියලා. එයා අම්මා කියනවට වඩා තාත්තා කියනව අහන්න මම ආසයි. ඇයි දන්නවද ? එයාට ඉන්නෙ මේ ලෝකෙ හොඳම තාත්තා නිසා. 

රත්තරන් ඉක්මනට එන්න. ඔයා එනකල් මම බලාගෙන ඉන්නවා.  ඒ ඇරෙන්න වෙන ඉල්ලන්න දෙයක් මට නෑ. මොකද මම හමුදා නිලධාරියෙකුගෙ බිරිඳක් නිසා. ඔයාගෙ හැම විනාඩියක්ම තේරුම් ගත්ත ඔයාගෙ බිරිඳ නිසා. ඒත් ඔයා නැතුව පාළුයි. ඒ නිසා ඉක්මනට එන්න. මම බලාගෙන ඉන්නවා.

                                                                                            ඔයාගෙ ආදර බිරිඳ

-----------------------------------------------------------------------------------------------------------------

ප.ලි. හිතුනා ලිව්වා. මේක මට ඇප්ලයි කරන්න එපා. නමුත් මේ වගේ මිනිසුන් මේ ලෝකෙ ඉන්නවා කියන එක විතරක් මම සියයට සියයක් දන්නවා. එහෙම සැමියෙක් ලබන්න තරම් වාසනාවන්ත ගැහැණුත් මේ ලෝකෙ ඉන්නවා.



Monday, September 5, 2011

චීන කතා 2 - කඩේ යාම



මේක අර අපේ අයියා කිව්ව් දෙවනි කතාව. අපේ රටේ නසරානි අයියලා සෙට් එකක් චීනෙට ගොඩ බැහැලා කරපු හරියේ පළවෙනි කොටස කියෙව්වෙ නැති කට්ටිය මෙතනින් ගිහින් ඒක කියවලාම මේක කියවන්න එන්න. 

ඔන්න ඉතින් අයියලා ටික චීනෙ ගියා කියන්නෙ ඉතින් දන්නවනෙ.... අයියලනෙ නෝනලා සහ වෙන්ට නෝනලා බලාගෙන ඉන්නෙ ඉතින් තමන්ගෙ සුවාමිපුරුසයට, වෙන්ට බෝයි ට තමන් ව මතක් වෙලා මොනාද ගේන්නෙ කියලනේ. ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොලෙත් නැති ගානට බිබී හිටපු අපේ සැට් එකට එක පාරටම මතක් වුණාලු මේ සීන් එක. නිකන් අත හොල්ල හොල්ලා ගිහින් පැටියෝ මම ආවා කියනවට වඩා ඉතින් මොනවා හරි ගෙනියන එකනෙ හොඳ.  

ඉතින් මේ යුතුකම් දන්න හො....................ඳ අයියලා ටික ඊගාව දවසෙ පාරට බැස්සලු තමන්ගෙ ආදරණීය බිරින්ඳෑවරු රැවටීමේ ව්‍යාපාරයට.  ඉතින් මග දිගට බල බල යනකොට කට්ටියටම පේනවලු ලස්සන හෑන්ඩ් බෑග් තියෙන කඩයක්. එක කඩයක් නෙවෙයි අනේ කඩ පේලියක් ම. කාන්තා පාර්ශවේට ඉතින් හෑන්ඩ් බෑග් කීයක් තිබ්බත් මදි බව අත්දැකීමෙන්ම දන්න අයියලා ටික ස් රූස්.... ගාල මේ කඩයකට රිංගුවලු. 

හරි දැන් ඔන්න කට්ටිය හෝ ගාලා බෑග් තෝරනවලු. තම තමන්ගෙ බාරි ගෙ සාරි ගැන දන්නෙ අහවල් අයියම නිසා ඉතින් එක එක්කෙනා වෙන වෙනම තමන්ට අවශ්‍ය ඒවා තෝරනවලු. කඩේ අයිතිකාර චීනා දුංමැස්සෙන් පවා ඇද ඇද බෑග් පෙන්නනවලු. ඒ අස්සෙ අපේ එක අයියා කෙනෙකුට ඕනි වුණාලු මේ බෑග් වල මිල දැන ගන්න. ඉතින් අර කඩේ අයිතිකාර චීනට තට්ටුවක් දැම්ම අපේ අයියා මෙහෙම ඇහුවලු.

"හව් මච් ඊස් දිස් බෑග්?"

ඇස් දෙක දොඹ ගානට ලොකු කරලු චීනා අත් දෙකෙන්ම පෙන්නුවලු ගාන.

"තවුසන්ඩ් යූ ආන්"

මේක ඇහුනා විතරයි ගාණ අහපු අයියා විතරක් නෙවෙයි අනික් අයියලත් එතෙන්ට රොක් වුණේ තම තමන් තෝරා ගත්ත බෑග් එක්කලු.  කට්ටියගෙම ඇස් දැන් චීනට වඩා ලොකු වෙලාලු. කටවලුත් ඇරිලලු. 

"හව් හව්?"  

"තවුසන්ඩ් තවුසන්ඩ්"

අපේ කට්ටිය දැන් තවුසන්ඩ් කියන එක මේ ලෝකෙ ජීවිතේට අහල නැති ගානට චීනගෙ මූණ දිහා බලාගෙන ඉන්නවලු. චීනා දන්න චීන අඩි දාලා තවුසන්ඩ් පෙන්නන්න හැදුවත් අපේ කට්ටිය ට තේරෙන්නෙම නෑලු.  ඔන්න මෙහෙම අමාරුවෙ වැටිලා ඉන්න චීනාට එකපාරම ගණ දෙවි නුවණ පහල වුණාලු. මිනිහා පැන්න ගමන් කඩේ තිබ්බ කැල්කියුලේටරේ අරගෙන 1000 ගහලා පෙන්නුවලු. 

චීනාගෙ මොලේට ගණ දෙවියෝ වැඩියේ ඒ වෙලාවෙ වුණාට චීන නොදන්න දේ තමා අපේ අයියලාගේ මොලේ තමා ගණ දෙයියන්නෙ ස්ථිර වාසභවන කියලා.  අපේ කට්ටියත් අතෑරියේ නෑ. ගත්තා චීනා අතින් කැල්කියුලේටරේ. 

"වී බයි 5" කියලා අපේ එවුන් ටික කැල්කියුලේටරේ 5 ගහලා දුන්නලු.  

ඉතින් චීනා මොකද කලේ! 1000 X 5 = 5000 කියලා ගහලා ඒකෙ ගහලා ආපහු අපේ කට්ටියට දීල චයිනීස් හිනාවක් දැම්මලු. කැල් එක අතට ගත්ත අපේ සැට් එක ඇද්දලු ඇදිල්ලක් උඩට සුසුසුසුසුසුසුසුසුසුසුසූසුසුසුස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ගාලා අයේ චීනා තව ටිකෙන් අපේ කට්ටියගෙ පෙණහැල්ල අස්සෙන් තමා ගන්න වෙන්නෙ. 

අපේ අයියා පැන්නලු. ගත්තලු කැල් එක. ගැහුවලු මොනවදෝ. දුන්නලු චීනට.

"නෝ නෝ නෝ දැට් ඊස් එක්ස්පෙන්සිව්. දිස් ඊස් අවර් ප්‍රයිස්"

අයියගෙ ගාණ දැක්කම චිනාට හුස්ම හිර වෙන්න ඇවිත් ඔළුවෙ අතක් ගහගත්තලු. අපේ අයියා ගහලා තියෙන්නෙ 10 X 5 = 50.

අසරණ චීනා දැන් රටේ නැති අනන් මනන් කියනවලු. ඒ අස්සෙ අපේ කට්ටිය තව අපූරු දේකුත් නෝටිස් කලාලු. චීනා එක බෑග් එකක් 1000 යි කියලා කියල තියෙන්නෙ බොරුවට නෙවෙයි. ඒ බෑග් කඩේට එන චීන මිනිස්සු 1000ක් දීල බෑග් අරගෙන යනවලු. අපේ කට්ටිය දැන් ඉතින් ඉන්නවලු චීනා යූ ආන් 1000 ට විකුණන බෑග් එක 10 ට ගන්න. 

චීනා මේ යක්කුන්ගෙන් තියෙන මල වදේ කියලා චයිනීස් වලින් හිතලා ගත්තලු කැල් එක ගැහුවලු. 900 X 5 = 4000. දැන් ඉතින් අපේ කට්ටියට සැටිස්. ගත්තලු කැල් එක ගැහුවලු තමන්ගෙ ගාණ. 10 X 5 = 50 කියලා ඔරිජිනල් ශ්‍රී ලංකන් ස්මයිල් එකක් දැම්මලු චීනට. 

මේ විදියට දැන් මේ සීන් එක දැන් සෑහෙන්න වෙලාවක් ඇදිලා ගියාලු. ඉස්සෙල්ල යූආන් 1000 යි කිව්ව බෑග් එක දැන් 200 ට බැහැලලු. අපේ කට්ටිය ඒත් අතෑරලා නෑ. චීනාව බල්ලටම දාල අර බෑග් වල ගාන හෙට්ටු කරනවලු.  

අන්තිමට චීනා ගත්තලු තමන් ගෙදරින් ගෙනාව බෑග් එක. කරේ දාගත්තලු ඒක. දෙකට නැවිලා අපේ පොරවල් ටිකට වැන්දලු.  

"යූ ස්ටේ.... අයි ගෝ"  කිව්වලු. ගියාලු. 

හිතා ගන්න බැරි තරමට වේගෙන් වෙච්ච වැඩේ නිසා අපේ කට්ටිය නිකන් තක්කු මුක්කු වුණාලු. ඒ අස්සෙ බෑග් ගන්න ආව වෙන මිනිස්සු කඩේ අයිතිකාර චීනව හොයනවලු. අපේ කට්ටියටම කඩේ කර ගන්න කියලා භාර දීල චීනා මාරු වෙච්චි බව කියන්නෙ කොහොමද? මොකෝ අපේ කට්ටිය චයිනීස් දන්න එකක්යෑ. 

ඔන්න පැය දෙකකට විතර පස්සෙ චීනා ආවලු. අපේ කට්ටිය තාම කඩේ ඇතුලෙලු. 

"200 X 5 = 1000 සර්... අයි ලොස් අයි ලොස්" චීනා නහයෙන් අඬනවලු. අපේ කට්ටිය ඔන්න අන්තිම ලංසුව තිබ්බලු. 50 X 5 = 250.

චීනා ආයෙ අඬනවලු. 

 "සර්, අයි බයි ෆිෆ්ටි.... යූ ටේක් ෆිෆ්ටි අයි ලොස් අයි ලොස්"

බලනකොට මේ හොරගෙඩි චීනා යූ ආන් 50 ට ගන්න බෑග් ලූ විදේශිකයට චීනට වෙනසක් නැතුව යූආන් 1000 ට විකුණන්නෙ. අපේ කට්ටියත් දැන් ඉතින් හොඳටම දන්නවනෙ මූ කොණ්ඩෙ බැන්ද චීනෙක් නෙවෙයි කියලා. මෙහෙම මේ යකාව තව දුරටත් මඬවන එකේ තේරුමක් නෑ කියලා අපේ කට්ටිය අවසාන තීරණේ කැල් එකේ ගැහුවලු. 

60 X 5 = 300

තවත් මේ නසරාණි සිරිලංකා කාරයො ටික තියා ගත්තොත් තමන්ට කැඳත් නැති වෙන බව තේරිච්ච චීනා මේ ගානට එකඟ වුණාලු.  අපේ කට්ටිය ඒ ගානට බෑග් 5ක් නෙවෙයි 10ක් අරගෙන ආවලු. 

මේ කතාවෙන් ගන්න විශේෂ ආදර්ශයක් නම් නෑ. ඒත් මේ වගේ සිද්ධි අපේ රටෙත් ඕනි තරම් වෙනවා. මම අත්දැකීමෙන් දන්නවා ලංකාවෙ ඉන්න සපත්තු නිශ්පාදකයො එතකොට බෑග් නිශ්පාදකයෝ ඒ වගේම සාරි සහ ආභරණ නිශ්පාදකයොත් කණ රත් වෙන තරම් තමගෙ ලාභය දාල තමා ගාණ කියන්නෙ කියලා. අනේ මන්දා ඉතින් මම නම් කියන ගාණක් දීල අරගෙන එනවා. අපේ අම්මා තමා ගියොත් ගේම ඉල්ලන්නෙ කඩේ මුදලාලිගෙන්.

අපේ අයියා ආපහු පාරක් චීනෙට යනවලු. බොහෝ විට මේ මාසෙ මැදක හෝ අග එහෙම නැත්නම් ලබන මාසෙ අනිවාර්යයෙන්ම. මේ කතා සිද්ද වෙනකොට මාස 6ක් හිටියා වුණත් මේ පාර නම් සති 2යි. ඒත් මම කියලා තියෙන්නෙ අපේ සහෝදරීට සහ පුංචි පැටියට ගේන දේවල් වලට අමතරව මටත් ලියන්න කතා ටිකක් අරගෙන එන්න කියල. 

හැබැයි අපේ අයියට ආයෙ නම් අර බෑග් කඩේ පැත්තෙ යන්න බැරිවෙයි මොකද ලංකාවෙන් යන සැට් දකිනකොටම දැන් ඒ චීනා හිස බදාගෙන බිම පෙරලි පෙරලි වචන දෙකක් කිය කිය කෑ ගහනවලු. 

"නෝ සිරි ලංකා.... නෝ සිරි ලංකා"

















Sunday, September 4, 2011

නෝටි කොල්ලෝ


මේක පොඩි සුට්ටං කතාවක්. අමතක වෙන්න කලින් ලියන්නම් කියලා තමයි ආවෙ.

මේක අපේ මල්ලි කෙනෙක් කරපු වැඩක්.  මිනිහ ටිකක් තරහ යන නපුරු පොඩ්ඩෙක්. තාම ඉන්නෙ 1 වසරෙ. අනික හරිම පණ්ඩිතයි. කොහෙන් කටට එනවද මන්දා කියන දේවල්.

 මේ දවස්වල පොරව ඉස්පිරිතාලෙ නවත්තලා ඉන්නෙ ෆිට් එක හැදිලා. දැන් නම් හොදයි සෑහෙන්න. ෆිට් එකට දෙන බෙහෙත් නිසා එයාට තරහ යනවා කියලා තමා කියන්නෙ නම්. නමුත් ඉතින් මොණරතැන්න ගැන අපිට කියලා දෙන්න ඕනි නැති නිසා ඒ ගතිගුණ ආවෙ කොහෙන්ද කොහොමද කියලත් ඉතින් අපිට කොලේ වැහුවට අපි දන්නව. :ඩි

ඉතින් ඔන්න මේ වසවර්ති පැටියා ඉස්පිරිතාලෙ ඉන්න අතරෙ දොස්තර මහත්තුරු සැරින් සැරේ ඇවිල්ලා බලනවලු.  මෙයා ගෙදරින් නිල් වෙලා තමා ඉස්පිරිතාලෙ ගෙනත් තියෙන්නෙ ඉතින් ටිකක් වැඩිපුර හොයල බලනව.

මෙහෙම දවසක් ඒ දොස්තර මහත්තයෙක් මෙයාව පරීක්ෂා කරනවලු. මේ පොරත් ටික වෙලාවක් දොස්තර ගෙ මූණ බලාගෙන හිටියලු. ඉදලා එක පාරටම මුළු වාට්ටුවටම ඇහෙන්න සද්දෙන් දොස්තර මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුවලු. 

"මේ ....... ඔයා අද උදේ දත් මැද්දෙ නෑ නේද?" 

දැන් ඉතින් මොකේදැයි දන් වලඳන්නේ?  දොස්තර මහත්තයට මොනා හිතුණද දන්නෙ නෑ. වටේ ඉන්න මිසීලා යි වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩු ටිකයි හරිම අමාරුවෙන් හිනාව කාගෙන ඉන්නවලු. ඉතින් දැන් මොනා කරන්නද?

"හෙට මම එද්දි මැදගෙන එන්නම්කො පුතා" 

ඔන්න දොස්තර මහත්තයා උත්තර දුන්නලු.  ආයෙ ඉතින් මොන කතාද....!!!! ඔන්න දැන් කාලෙ හැදෙන කස්ටිය.... අපේ එවුන් ආව දවසට මොනව කියයි ද දන්නෙ නෑ!!!!










Thursday, September 1, 2011

ටීචට ආදරෙයි!


මේ සිද්ධිය වුණේ අපි බ්ලොක් ටීචින් වලට ඉස්කෝල වලට සති 2 කට ගිය එක අවස්ථාවක. ඉස්කෝලෙ මොකක්ද කියලා නම් අහන්න එපා කැපුවත් ඉස්කෝලෙ නම් නම් කියන්නෙ නෑ. 

මේක හරිම පොඩි සිද්ධියක් ඒත් අදටත් මට මතක් වෙනකොට හිනා යනව. මතක විදියට මේ සිද්ධිය වුණේ 2004 හෝ 2005 වසර දෙකෙන් එකක.  

අපි ඉතින් සුදු සාරි ඇදලා ඉස්කෝල වලට යනකොට ඉස්කෝලවල ඉන්න ටීචලා දැන ගන්නවා සති 2ක් විතර පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් කියලා. පොඩි එවුන් දන්නවා අනන් මනං චිත්‍ර බලන්න සින්දු කියන්න සෙල්ලම් කරන්න නියම කාලෙ කියලා. ඉතින් ඔන්න ඔය විදියට අපිත් යන්න පටන් ගත්ත බ්ලොක් ටීචින් වලට. 

මට මේ සති 2 ඇතුලත උගන්වන්න හම්බ වුණේ ඒ පාසලේ 3, 4 හා 5 යන ශ්‍රේණි වල පන්ති 3ක්. මමත් ඉතින් දන්න වැඩකිඩ ඔක්කොම දාල උගන්නනවා. වෙනසක් නෑ ඉතින් පොඩ්ඩොනෙ. හැබැයි මට තේරුණ විදියට හරිම දඟයි.

එක දවසක් ඉතින් මම පන්තියට ගියා. මේක ඉතින් පුංචිම පන්තිය 3 වසර.  

මම ඉතින් ගිහින් ඔන්න සින්දුව අහගෙන ඉන්න ඕනි. වෙලාවකට කට්ටිය සීරුවෙන් හිටගෙන ලඟ එකාට ඇන ඇන ඕක කියනකොට පුපුරන්න හිනා යන්න එනවා. ඉතින් එතකොට හරි අමාරුවෙන් හිනාව කාගෙන වහලෙ පරාල ගනන් කරන එක වගේ වැඩ තමා මම නම් කරන්නෙ. මෙන්න මේකයි සින්දුව. 

Good morning to you
Good morning to you 
Good morning dear teacher 
Good morning to you

මේක කියන්නෙ ඉතින් හැපි බර්ත් ඩේ තාලෙන්. ඕක අහගෙන ඉදලා ඉතින් කට්ටියම වාඩි වුණාට පස්සෙ පොඩි කතන්දරයක් කියලා නැත්නම් දුක සැප රෑට උදේට කාපුවා එහෙම අහලා ඔන්න පොත් ගන්න කියලා මම වැඩ පටන් ගන්නයි ලෑස්ති වුණේ. 

එක පාරම  පන්තියෙන් ස්ස්ස්ස්ස්.... ස්ස්ස්ස්ස්.... සද්දක් ඇහුනා. හරියට නිකන් කවුරු හරි කතා කරන්න අවධානය ඉල්ලනව වගෙ.  මම බැලුවෙ කවුද මේ සූ සූ ගාන චණ්ඩියා කියලා. පන්තියෙ පිටිපස්සෙ කණ්ඩායමක ඉන්න කොළු පැංචෙක් ඔන්න ස්ස්ස්ස්.... ස්ස්ස්ස්.... ගානවා. 

මම පොඩ්ඩක් සැරෙන් "මොකද?" ඇහුවා. (ඕක ලොකු පන්තියක එකෙක් කලා නම් මම අහන්නෙ "පියා නයා වෙච්ච නයි පුතා කවුද?" කියලා) 

මම මොකද ඇහුවම මෙන්න මූ මට ඔළුවෙන් කතා කරනව එන්න කියලා. දැන් ඉතින් කණින් පොඩ්ඩක් අල්ලන්නම වෙන නිසා මම ඩෙස් අතරින් එතෙන්ට ගියා.

"ඇයි මොකද ස්ස්ස්ස්......ස්ස්ස්ස්ස්ස් ගාන්නෙ පොත ගෙනාවෙ නැද්ද? ළමයි ඔහොමද ටීචට කතා කරන්නෙ?"

දැන් ඔන්න කොලුවා පොඩි පහේ මනමාල හිනාවක් දැම්මා.  

"නෑ ටීච පොත් තියෙනවා. වෙන එකක් කියන්න කතා කලේ"

"මොකක්ද වෙන එක?"

කොළු පැංචා තමන්ගේ ඩෙස් එකේ ඉන්න යාළුවාව පෙන්නුවා.

"ටීච මෙන්න මේ දිනෙශ්ක කියනව ටීච දිනෙශ්ක ටීචට ලව් කියල"  

"හෑ......."

හත්වලාමයි ......අලි මදිවට කොටි. අම්මප මෙච්චර කොල්ලො ඉන්න රටේ මට ලව් හිතුනෙ තුනේ පන්තියෙ එකෙකුටද? එක පාරම හෑ කියවුණත් කේලම් කාරයගෙයි දිනෙශ්ක ගෙයි මූණු දෙක දැක්කම මට හක හක ගාල හිනා වෙන්න තරම් හිනාවක් ආවා. කේලම් කාරය බලාගෙන ඉන්නවා දිනෙශ්කට මම ගහයි කියලා. දිනෙශ්ක බලාගෙන ඉන්නව මම අයි ලව් යූ ටූ කියන කල්. ඒත් ඉතින් හිනාවෙලා කෝමෙයි. 

"හා හා ගන්නව ගන්නව පොත්..... කෑ ගහන්නෙ නැතුව. අද පාඩම කරන්නෙ නැද්ද කතා කර කර ඉන්නව ඇරෙන්න?"

මම එහෙම සත්තමක් දාගෙන පන්තිය ඉස්සරහට ගියා. අනේ කාලේ වනේ වාසේ!  පස්සෙ ඉතින් මම උගන්නන ගමන් හොරෙන් මුන් දෙන්න කරන්න මොනවද කියල ඇහැ ගහගෙන හිටියා. කේලම් කාරයගෙ නම් මූණ අන්තිම නරක් වෙලා. දිනෙශ්ක ගෙ නම් මූණ හොඳයි මම හිතන්නෙ ගුටි නොවැදුන එකට. 

දැන් නම් මුන් ටික 8 - 9 වසරවල ඉන්නව ඇති. මොනවට කියනවද අපේ ඉස්කෝලෙ ඉන්න 8 -9 සෙට් එකත් ආයෙ නෑ ඒ වගේම තමා. පැහිලා වැඩියි. මනමාලකමත් වැඩියි. මගෙ 8 පන්තියට නම් මම කියලා තියෙන්නෙ මනමාලකම් එහෙම කරලා මට අහු වෙන්න එපා කොල්ලොද කෙල්ලොද කියලා මම බලන්නෙ නෑ අවුරුද්ද අන්තිමට පන්තියෙ පෝරුවක් ගහලා අම්මලා තාත්තලව ගෙන්නල රෙජිස්ටාර්ව ගෙන්නල බන්දලා දෙනවා කියලා. 

හික් හික් හික් ඒ සත්තම දානකොටම කොල්ලො ටික කෑ ගහන්නෙ "හපෝ ටීච.... අපි එහෙම කරනවද? අනික මෙගොල්ලො එක්ක ??? චී චී ටීච...!!!! හීනෙන්වත් හිතන්නෙ නෑ අපි. ටීචත් අපි ගැන එහෙම හිතන්න එපා." ඉතින් එතකොට කෙල්ලො ටිකට තද වෙනවා. "අනේ මේ තමුසෙලා අපිටත් වඩා කොටයි" හික් හික් ඇත්තටම මගෙ පන්තියෙ කොල්ලො සෙට් එක හරි කොටයි. තාම අඬු ටික දික් වෙලා නෑ හරියට. ඒ වෙලාවට ඉතින් මම පැනලා රණ්ඩුව බේරනවා...."මේ රණ්ඩු කරගන්නවලා මම යනවා යන්න පන්තියෙන් එහා පන්තියෙ ඉදලා විද්‍යාව සර් තමුසෙලා කෑ ගැහුවා කියලා සැලකුවොත් ඔන්න මම නෑ" කියලා. 

පොඩි එව්වො එක්ක මේ දේවල් සීරියස් අරගෙන විසඳන්න උපදෙස් දෙන්න යනවට වඩා ඒ වගේ වෙලාවක විහිළුවෙන්ම ඒක මඟ අරවලා යවන එක තමා හොදම බෙහෙත කියලයි මට නම් හිතෙන්නෙ. මොකද එතකොට දරුවො වුණත් හිතනවා "ටීච මේක වැඩිය ගනන් ගත්තෙ නෑ නෙ. ඒත් අපි වැරදි දෙයක් කලොත් මේ අපිත් එක්ක හිනා වෙලා ඉන්න ටීච අපිත් එක්ක ආයෙ කතාවත් කරන එකක් නෑ" කියල.  අත්දැකීමෙන් කියන්නෙ අම්මලා තාත්තලට වුණත් තමන්ගෙ දරුවො එක්ක කතා කරන්න විවෘතව. විහිළු කරන්න සෙල්ලම් කරන්න ආදරේ කරන්න අතගාන්න පොඩි කාලෙ වඩාගෙන අතගාල සුරතල් කලා වගේ. සිඹින්න තුරුල් කරගන්න ආදරෙන්. දරුවො ඒවට ආසයි. ඒ මව්පිය ගුරුවර ආදරේ මතින් හැදෙන්නෙ ඔබට අකීකරු හිතුවක්කාර දරුවෙක් නෙවෙයි. හොද පෞර්ෂත්වයක් තියන අපූරු දරුවෙක්. ඔබට ආදරේ රටට වැඩදායි දරුවෙක්. 

අහ් මේ කතාව ලියන්න හිතුනෙ පලාමල්ලෙ මේ කතාව දැකලා.