Tuesday, October 11, 2011

යක්කුන්ගේ දෙමාපියෝ






මේ කතාවේ කතෘ අයිතිය නම් හිමි වෙන්නෙ අපේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා අධ්‍යාපන දර්ශනය උගන්වන විල්ෆ්‍රඩ් පෙරේරා සර් ට. අධ්‍යාපන දර්ශනය කියන්න තනිකරම උගන්නන ගුරුවරයාගෙ හැකියාව මත අපේ ප්‍රියතම හෝ අප්‍රියතම විෂය කර ගන්න පුළුවන් විෂයක්. හැබැයි දෙයියනේ කියලා විල්ෆ්‍රඩ් සර් ගෙ දේශනේ නම් අපි පැය 6ක් එක දිගට අහගෙන හිටියා හරිම ආසාවෙන්.

 මේ කතාව සර් කිව්වෙ සර් ගෙ තාත්තට වුනයි කියලා. කාට වුණත් ජොලි කතාවක් නිසා ලියන්නම් කියලා හිතුණා. මම ඊගාව දර්ශනය දේශනය තියෙන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ තව කතන්දර ටිකක් අහගෙන එන්න. විල්ෆ්‍රඩ් සර් කියන්නෙ කතා සාගරයක්.

ඔන්න අපේ සර් ගෙ තාත්තා මීගමුව පැත්තෙ ඉස්කෝලෙක විදුහල්පතිතුමා විදියට රාජකාරි කර කර ලු හිටියෙ ඒ කාලෙ.  ඉතින් දවසක් මේ විදුහල්පතිතුමා හදිස්සියෙම වගේ දෙමාපිය රැස්වීමක් ගත්තලු. මුලු ඉස්කෝලෙම ඉන්න ළමයින්ට කිව්වලු අනිවාර්යෙන් තමන්ගෙ දෙමාපියෝ එක්කගෙන එන්න කියලා. මේක හරිම හදිස්සියෙ සිද්ද වෙච්චි දෙයක් නිසා දෙමාපියොත් බැලුවලු සර් ට මොනා වෙලාද දන්නෙ නෑ හදිස්සියෙම රැස්වීමක් ගත්තෙ කියලා. ඔක්කොමලා වැඩ පැත්තක තියලා ගියාලු එදා ඉස්කෝලෙ. 

දැන් ඔක්කොම කට්ටිය රැස්වීමට සූදානම් ලු. අපේ ලොකු සරුත් ආවලු. ඇවිල්ලා ආපු සියළුම දෙනා දිහා කන්නාඩියට උඩින් විනාඩියක් විතර බැලුවලූ. බලලා එහෙම උගුරේ රැල් බුරුල් ඇරලා කතාව ආරම්භ කරන්න අවසර ගත්තලු.  

"මගේ හදිස්සි දැනුම් දීම පිට මේ හදිසි රැස්වීමට පැමිණි යක්කුන්ගේ මව්වරුත් යක්කුන්ගේ පියවරුත් යක්කුන්ගේ භාරකරුවනුත් අනෙකුත් යක්කුත් මේ අවස්ථාවට සාදරයෙන් පිලි ගන්නවා......"  

දැන් ඉතින් හරි. විදුහල්පතිතුමා අම්මල තාත්තලට යක්කුන්ගේ දෙමාපියෝ කියලා ඇමතුවා. පළාතෙ හැටියට ඉනේ ගහගෙන ඉන්න කඩු කිණිසි මාළු කපන පිහි ටික එහෙම එලියට එන්න එන්න වගේ හදනවලු. ඒත් අපේ විදුහල්පතිතුමා සැලුණේ නෑලු.  එතනින් එහාට කතාව නවත්තලා පල් හිනාවක් එහෙම මූණෙ දාගෙන ලොකු සර් බලාගෙන ඉන්නවලු. ඉවසලා ඉවසලා බැරිම තැන "අම්මා බුදු වේවා!" කියලා පපුවෙ පච්ච කොටා ගත්ත තාත්තා කෙනෙක් නැගිට්ටලු. 

"සෑර්... මොකක්ද සෑර් ඒ දාපු පල් ටෝක් එක? අපේ ළමයි යක්කු ද? අපි යක්කුද?"

ඉතින් ඔන්න සර් එතනින් එහාට කතාව කිව්වෙ මේ විදියට.

මේ දෙමාපිය රැස්වීම කැඳවන්න ප්‍රධානම හේතුව වෙලා තිබ්බෙ මේ ඉස්කෝලෙ ළමයි පාවිච්චි කරන එක වචනයක්. ඒ වචනෙ තම "යකෝ". මේක එකේ පන්තියේ ඉඳලා 13 පන්තිය දක්වා ළමයි එක ලෙසට ලෙසටම පාවිච්චි කරනවලු. ලඟ ඉන්න එකාට කතා කරන්නෙ නමින් නෙවෙයි යකෝ කියලලු. ඉතින් මේ වගේ තත්තවයක් ඉස්කෝලෙක විනය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා ලොකු සර් හොයලා බැලුවලු මොකද මෙහෙම වෙන්න හේතුව කියලා. 

හරි හේතුව ගමේ රවුමක් ඇවිද්ද ගමන් සර් ට මීටර් උනාලු. මෙන්න මේකයි වෙලා තියෙන්නෙ. 

තාත්තා අම්මට කතා කරනවලු....... "යකෝ ලමයින්ගේ අම්මා" "යකෝ ගෑණියෙ"  

අම්මා තාත්තට කතා කරනවලු "යකෝ ළමයින්ගෙ තාත්තේ" නැත්නම් "යකෝ මේ ඇහුණද?"

එතකොට ගෙදර ඉන්න අනික් අය....... "ආ යකෝ මාමෙ" "යකෝ නැන්දෙ" "යකෝ අයියා උඹ දැකපු කල්" 

අන්තිමට වෙන්නෙ ගෙදර ඉන්න පොඩි එකා ඉස්කෝලෙ ඇවිත් තමන්ගෙ හුරු පුරුදු වචනෙ ඉස්කෝලෙදි පාවිච්චි කරන එක.  ඉතින් මේක කරදරයක් වෙන්නෙ ඉස්කෝලෙ විදුහල්පති තුමාට. මොකද ඉස්කෝලයක් කියන්නෙ නිතරම පිට මිනිස්සු ගැවසෙන තැනක්. ඉතින් අධ්‍යාපන කලාප වලින් කාර්යාල වලින් එහෙම කට්ටිය ආවාම අර වාග් මාලාව ඇහුනට පස්සෙ ඉතින් ඉස්කෝලෙ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලේ සායම කාණුවේ ගලාගෙන යනවා. 

මේක ඇහුනම දෙමාපියන්ට කට උත්තර නැති වුනාලු. ඉතින් කතාව තනිකරම ඇත්තනෙ. ආයෙ හෝදන්න දෙයක් නෑ කියන්න දේකුත් නෑ.  ඉතින් අපේ විදුහල්පති තුමා දෙමාපියන්ට උපදෙස් දුන්නලු සම්මා වාචා වේ ප්‍රයෝජන ගැන. එදා ඉඳලා වැඩේ ටිකක් පාලනය කර ගන්න පුළුවන් වුනාලු. හැබැයි ඉතින් පුරුද්ද අරින්න බෑ නෙ. හිටපු ගමන් ඇහෙනවලු  "යකෝ".