Thursday, December 15, 2011

ආදර හසුන් ...... කොටින්ම කිව්වොත් ලව් ලෙටර්


පහුගිය දොහක නාහෙට නාහන උණක් සාදාගෙන ඉස්පිරිතාලේ බත් කෑ බව සියල්ලෝම දනිති. ඒ කාලයේදී මට දින 8ක් පමණ ඉස්කෝලේ යාමට නොහැකි විය. දින 8 කට පසුව කෙඳිරි ගාමින් බඩ ගාගෙන ඉස්කෝලේ ගිය මට අපේ බෝඩිමේ නංගී කණට කර රහසක් කීවාය. 

 "අක්කා ප්‍රසාදි අපේ ශාන් ට ලියුමක් එවලා තිලිණ අතේ. තිලිණ ඒක ගෙදරට දීලා. දැන් හරි ජරමරයයි."

ඒ ටික කියූ ඈ ආපසු පන්තියට ගියා ය. මගේ උණ ආපසු හැදෙන්නට එන බවක් මට දැනුණි. හත්වලාමෙ දැන් ඉතින් කණක් ඇහෙන්න වෙන්නෙ නෑ බැනුම් ම තමා අහ ගන්න වෙන්නෙ. 

එදා ඉස්කෝලේ ඇරී බෝඩිමට ගිය මම දවසම නිදා ගත්තෙමි. එකවර උඩ විසි වී ඇහැරුනේ බනින සද්දයකිනි. අක්කා හොඳවායින් ශාන් අමතයි.  ලියුම හසු වීමෙන් පසුව ශාන් ගේ තත්වය ගෙදර බල්ලාටත් වඩා පහළට වැටී ඇති බව මට පසක් විය. අක්කා ශේප් කරන්නට වෙන්නෙ ටික ටික ය. 

මීට කලින් මාස 4 කට පමණ පෙර ප්‍රසාදි අල්ලා ගත් මමත් එරංගත් ප්‍රසාදිට කිව්වේ අනන් මනන් අපිට ආරංචි වන බවත් ඒවා ගැන සැලකිලිමත්ව වෙන වෙන දේට සිත නොයොදා ඉගෙනීමට යොමු වන ලෙසත් ය. නමුත් ඊගාව දවසේදී ප්‍රසාදිගේ අම්මා අපට ගමේ පස් පඩංගුවේ බැණ වැදී තිබුණු අතර තම දරුවාට අබූත චෝදනා කර කතා හදන්නෙ උතුමා සරුත් එරංග සරුත් සංජු ටීචත් බවයි. සංජු ටීචට ගමේ වසන්නට නොදෙන බව අපේ බෝඩිමටම පැමිණ සත්තම දමා ගියේ මම ඇතුලේ සිටි බව නොදැනය. මම කට වසාගෙන සිටියේ කොකා ට වාරය දී තිත්තයාගේ වාරය එන තුරුය.  

බෝඩිමේ අක්කා ලියුම සඟවාගෙන සිටියේ හැට්ටය අස්සේය. ලියුම කියවූ සැනින් මට ශාන් පසුගිය මෝඩකම් අමතක කර ඇති බව පසක් වූ මුත් කෙල්ල තවමත් ඒ පස්සේ යන බව වැටහිණි.  එතනින් එහාට පාසලේ සිද්ධ වූ දේවල් මහා කුණු කන්දරාවක් බැවින් මම ඒ ගැන ලියන්නට අදහස් නොකරමි. නමුත් මට ප්‍රශ්නය වූයේ මේ ලියුම මෙච්චර ලේසියෙන් අහු තිලිණ දුන්නේ කෙසේද කියාය. පසුව මම ඒ ගැන විපරම් කළෙමි. 

තිලිණ යනු ශාන් ගේ මස්සිනා වන අතර අපේ ඉස්කෝලයේම 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ප්‍රසාදී ලියුම දී ඇත්තේ තිලිණට ශාන්ට දෙන්නට හගිස්සවාගෙනය.  නමුත් එදා ගෙදර එන්නට ප්‍රමාද වූ තිලිණ ට දෙකක් කියූ තිලිණ ගේ පියා වන ප්‍රියන්ත අයියා "මෙහෙ දෙනවා බලන්න තමුසෙගෙ පොත් මල්ල" යැයි පවසා එයට සුට්ටන් සර්ච් එකක දී ඇත. ඒ සෙවිල්ලේදි පොතක් ඇතුලේ තිබී ලියුම ප්‍රියන්ත අයියාට හසු වී ඇත. තිලිණට තිලිණ මහ ගොඩක් එදා ප්‍රියන්ත අයියාගෙන් ලැබුණු බව අක්කා අපට කීවාය. 

ප්‍රසාදී තිලිණට දී ඇත්තෙ ලිපිය පමණක් නොවේ.  

"නංගි දන්නවැයි... අර කෙල්ල අපේ තිලී ට ලියුම දෙන්න අල්ලසකුත් දීල රුපියල් 5 ක්"

"නෑ........................... එහෙමද?"

"නැත්තං..... අපේ තිලියත් හොඳ බඩුව මෙච්චර දවසක් ලියුම් ඇදලා සල්ලි වලට"

"අම්මපා.....!! ප්‍රියන්තයියද සීන් එක හොයාගෙන තියෙන්න?"

"එහෙනම්..... හැබැයි තිළිය නම් කියන්නෙ කලින් ලියුම් ගෙනාවෙ නෑ කියලා. ඒත් අපි කටින් අල්ල ගත්තා"

"හෑ ...... ඒ කොහොමද?"

"ඔන්න නංගී.... මමයි අපේ නංගියි පස්සෙ දවසක තිළියා සෙල්ලම් කරද්දි පැත්තකින් කතාවට අල්ල ගත්තා. අපේ නංගි ඇහුවා, 'තිලී ලියුමක් අදින්න රුපියල් 5ක් මදි නේද? අපරාදෙ ඔහෙට තව වැඩිපුර ගානක් කියන්න තිබ්බෙ' කියලා.  මූට එක පාරම කියවුණා නංගි 'ගියපාර ලියුමට නම් රුපියල් 30ක් දුන්න' කියලා"

තිළියා නම් ගොන් බඳින ගහකි.  

"හික් හික් හික්..... තිළිණට ආයෙ හම්බ වුණාද?"

"නෑ නෑ අපි ඒක ප්‍රියන්තට කීවෙ නෑ"

"එල" 

මේ අතරතුරේ බත් කමින් සිටි අපේ අයි.ටී. නංගීගෙ බත්පත ඉස්මොල්ලේ ගියේය. යන්තම් පිටට ගසා වතුර දී ඇයට කතා කර ගන්නට හැකි වූ විට ඈ හිනාවට හේතුව පැවසුවාය. 

"තිලිණ හරි අක්කා.  ශ්‍රී ලංකා තැපෑල වගේ තමා"

"හෑ.... ඒ කිව්වෙ???"

"දැන් බලන්න අක්කා... ප්‍රසාදි මේ ලියුමට දීල තියෙන්නෙ රුපියල් 5යි. ඒ කියන්නෙ සාමාන්‍ය මුද්දර ගාස්තුව විතරයි. ඒ වගේ ලියුම් වලට තැපෑල වග කියන්නෙ නෑ නෙ. හැබැයි ඒකි කලින් ලියුමට රුපියල් 30ක් දීල. 30ක් කියන්නෙ රෙජිස්ටර් පෝස්ට් නෙ අක්කා. ඒකට වගකීම තැපෑල දරනවා. ඒවා මගදි නැති වෙන්නෙ නෑ. "

"ඒ කියන්නෙ මෙතන වෙලා තියෙන්නෙ තැපෑලෙ ප්‍රශ්නයක්.....!!!!"

"අනිවා..... ප්‍රසාදි ඕක වෙනදා වගේ 30ක් දීල එව්වනම් ශාන් ට හම්බ වෙනවා. 5ක් දුන්න නිසා වගකීමක් නෑ ලබන්නාට හම්බ වුනේ නෑ ලියුම මගදි ලොස්ට් "

අනේ ඉතින් දැන් ලව් ලෙටර් එකක් යවන්නත් එතකොට පාවිච්චි කරන්න වෙන්නෙ ලියාපදිංචි තැපෑලය.  ඒ මදිවාට අපේ තිළීට දැන් අළුත් නමකුත් ඇත. ඒ "කූරියර්" ය.

Tuesday, December 13, 2011

ආපහු අඬන්නට සිද්ධ වුණි.






මේ ගුරු කම නම් මහ පුදුමාකාර රස්සාවකි. වෙලාවකට එපා වෙයි. වෙලාවකට අනේ දෙයියනේ මෙහෙම රස්සාවක් හැමදාම ලැබෙන්න කියන්න තරම් සනීපදායකය. නිවාඩු කාලයට නම් ඉස්සර ගෙදර එන්නේ උඩ පැනගෙන ය. නමුත් දැන් දැන් නිවාඩු කාලයේ ගෙදරට වී බකන්නිලාගෙන ඉන්නට සිදු වන බව මතක් වෙන විට බය සිතේ. ආපහු ඉස්කෝලේ යන්නට සිතේ. නමුත් ඉස්කෝලය වසා ඇති නිසා යන්නට තැනක් නැත.

මේ වාරයේ ඉස්කෝලයේ නිවාඩු දුන් දවස අන්තිම චොර දවසකි. අපේ ඉස්කෝලයේ නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනාම අවුරුදු 8 කට වඩා පාසලේ සිටි අය බැවින් ඔවුන් මාරු කර යවන්නට කලාප කාර්යාලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සියළුම අවුරුදු 8 කට වඩා එකම ස්ථානයේ සේවය කල අයව ලබන වාරයේ සිට වෙනත් පාසල් වෙත මාරු කර යවයි. එබැවින් අපේ ඉස්කෝලයේ මෙච්චර කාලයක් උතුමා සර් ට ගොට්ට අල්ලාගෙන සිටි පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන වතී ටීචටත් සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වූ වස්සා සර් ටත් මේ අනුව අකුලාගෙන යාමට සිදු වේ. එබැවින් අලුත් අයව පත් කරන්නට උතුමා සර් ට උවමනා විය.

සෑහෙන වලියකින් පසුව ඉස්කෝලයට අලුත් නියෝජ්‍ය විදුහල්පති වරු දෙදෙනෙක් පත් කර ගන්නා ලදි. ඒ අනුව අර දෙන්නා මාරු වී ගිය පසු ඉස්කෝලයේ සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති වන්නේ අපේ එරංග මල්ලී ය. පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය වන්නේ ඔබ අප කවුරුත් දන්නා අර සංජු ටීච නැමති එක්කෙනාය. හලේ විනය බාර ගුරුකම එපා වූ සංජු ටීච දැන් නියෝජ්‍ය විදුහල්පති වෙන්නේ කෙසේද? ලොක්කා නැති දවසට ඉස්කෝලේ රන් කරන්න වෙන්නේ ඇයටය. වෙනදා මෙන් එක එක වාත කඩාපාත් වූ විට හැංගී බේරීමටද බැරිය. අනික් අතට ඈ දන්නා පරිපාලනයක් ද නැත. අතේ සල්ලි වලින් ටිං කිරි ගා ගැනීමේ සීන් එකක් මට නිකමට මැවී පෙනේ. අනික මෙච්චර කලක් බඩගාමින් ඇවිද්ද ඉස්කෝලය හෙට අනිද්දාම වැසී යන්නටද ඉඩ තිබේ. ඉස්කෝලයට දෙයියන්ගේම පිහිටය.

ඒ මල කරදරයෙන් පසුව පැමිනියේ 11 ශ්‍රේණියේ මෙවර සාමාන්‍යපෙළ ලියන කණ්ඩායමට සුභ පැතීමේ අවස්ථාවයි.  මෙවර 11 පන්තිය මාරම පන්තියකි. අපි සියළු දෙනාම වැඩ පෙන්නන්නට සිටියේ මුන්ට ඉගැන්වීමෙනි. නමුත් අපේ බලාපොරොත්තු සුනු විසුනු කර දමමින් දෙවැනි වාරයේ සිට කොල්ලෝ ඉගෙන නොගැනීමේ ක්‍රමයක් ආරම්භ කලහ. කෙල්ලෝ ටික නම් සුපුරුදු පරිදි පන්තියේ එකේ සිට දොළහ දක්වා ස්ථාන වෙන් කරගෙන සිටියහ. 

මුළු ඉස්කෝලයේම ගුරුවරු 11 වසරේ කොල්ලන්ට පන්නමින් ඉගැන්වූහ. වෙලාවකට මුළු ශාලාවම උඩ යන පරිදි බණ දේශනා ඇසේ. තවත් වෙලාවකට ඩෙස්පුටු පෙරලාගෙන් කොල්ලන් දෙතුන් දෙනෙක් එලියට දුවගෙන එන අතර පන්තියේ සිටි ගුරුවරයා පිටුපසින් දිවයනු පෙනේ. නමුත් මගදී ජිත් සර් ට අසු වුවහොත් ඉතින් කොල්ලන්ගේ අවසානය එතන ය. එවිට උන් ආපසු හැරී පන්තියට දුවන්නේ ජිත් ගෙන් ගුටි කනවාට වඩා පන්තියේ ඉන්නා ගුරුවරයාගෙන් ගුටි කන එක සැප බැවිනි. ජිත් ට අහු වුවහොත් තරු පමණක් නොව ග්‍රහලෝක වල්ගාතරු උල්කාපාත පමණක් නොව චක්‍රාවාට ද පෙනෙන්නට හම්බ වේ. 

එහෙම කරලාවත් උන් ටික හරි මගට ගැනීමට අපට ඉතා අසීරු විය. අවසානයේ සියළු දෙනා කලේ දෙමාපිය රැස්වීමකදී හොඳවායින් දෙකක් අමතා වැඩ කරන්නේ නැත්නම් විභාගයට ගොස් ආශ්චර්යක් කරන්නට සිතාගෙන ඉන්නා කොඨ්ඨාශයක් ලෙස සලකා මින් ඉදිරියට කටයුත් කරන බවයි. ඉන් පසු ඔවුන් හැදෙන්නට ඇති බව ඔබ විශ්වාස කරනු ඇත.  ඒකට කියන්නට ඇත්තේ මොන පිස්සුද කියා පමණි.

ඒ නමුත් මේ පන්තියේ කට්ටිය වෙන වැඩ වලදී නම් බොක්කෙන්ම වැඩට බහියි. ඉස්කෝලයේ ශිෂ්‍ය නායකයින් 28 දෙනාගෙන් 12 දෙනෙක් ම ඉන්නේ මේ පන්තියේ ය. නිවාස නායකයින් 3 දෙනාද ක්‍රීඩා නායකයා හා නායිකාවද ඉන්නේ මේ පන්තියේය. නිවාස නායිකාවන් 3 දෙනාගෙන් දෙදෙනෙකු සිටින්නේද මේ පන්තියේ ය. (මගේ නිවාසයේ නායිකාව දෙනෝදාහක් හා ඉස්කෝලේ සියළුම ගුරුවරුද පාරේ සිට බලා සිටියදී ඇගේ ආදරවන්තයා සමඟ බයිසිකලයේ නැඟී ගියාය. තවම ඉස්කෝලේ ආවේ නැත.) ඒ නිසා මුන් කොච්චර නසරානි වුණත් අපි ආදරේය. 

ඉතින් මුන් ටික යන්න යන දවසට අපිට මල ගෙදර වගේ ය. කට්ටියම පුස්තකාලයට රැස්වූ පසු උතුමා සර් කතාව ආරම්භ කර පන්තියට ඉගැන්වූ ගුරුවරුන්ට කතා කරන්නට අවස්ථාව දෙමින් ධම්මිකා ටීචට කතා කරන්නට කීවේය. ධම්මිකාට නැගිට කියා ගත හැකි වූයේ "වසර එකොළහක් ...." කියා පමණි. ඕ හඬමින් ඉඳ ගත්තාය. දැන් ඉතින් අහල පහල එවුන් අඬන විට ටැප් එක ඇරෙන මට තද විය. මගේ කතාව වෙලාවේදි කඳුලු හංගා ගන්නට සෑහෙන වැරවෑයමක් දරා බලෙන් හිනා වී ධම්මිකාටත් බැන මම මෝඩයෙක් සේ කතාව අවසන් කර වාඩි වුණෙමි. බලෙන් හිනා වෙන්නට ගොස් මම මෝඩයා විය. ඒ වුණාට මම හිතන්නේ මම කරපු අරගලය අනික් අයට තේරෙන්නට ඇති කියා ය. කෙල්ලෝ ඔක්කොම ඔලුව පහත් කරගෙන මලගේ මෙන් හඬයි. කොල්ලෝ වැරවෑයමෙන් කඳුලු නවතාගෙන සිටියහ.

ඉන්පසුව ත්‍යාග 3ක් සූදානම් කර තිබුනේ ඉගෙනීම හා අනෙකුත් සියළුම කටයුතුවලදී ඉහල දක්ශතා පෙන්වූ 3 දෙනෙකුටයි.  පළවෙනි ත්‍යාගය පිරිනැමුනේ ධනංජය ටයි. ධනංජයට තෑග්ග දුන්නේ වතී ටීච ය. 

ඊගාව තෑග්ග ඉස්කෝලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සංජු ටය. සංජුට තෑග්ග දෙන්නට කතා කලේ සංජු ටිචටය. සංජුවා යනු ඉස්කෝලයට ආ දවසේ සිට මම ඉතා ආදරේ කල කොලුවෙකි. මගේ නම ශෙයා කිරීමට අමතරව හේ ඉංග්‍රීසි භාෂාවටද සමත්කම් දැක්වීය. ඒ හැර සංජු මගේ නැට්ටය. මම යන යන තැන මගේ පස්සේ එයි. මම වචනයක් කිව්වොත් ඒකේ අනික් පැත්ත සිතාගෙන මගේ දිහා බලාගෙන සිනාසෙයි. ඉතින් එවිට මම හොඳවායින් දෙකක් කියා සංජුව පන්නා ගනිමි. ඒත් ටිකකින් ආපහු එයි. මා සමඟ විහිලු කරන්නට සංජුට තැනක් වෙලාවක් නැත. මමද බයිට් එකට අල්ලා ගන්නේ සංජු ය. ඉතින් සංජු මට සිසුවෙක් මෙන්ම ආදරණීය පුතෙකි. සංජු ගෙ ලව් වලට කොක්ක දාන්නේද මමය. සංජු යාලු වෙන්නට අහන කෙල්ලො අනික් අතට සංජු ලියුමක් දුන්නා යාලු වෙන්න ඇහුවා කියන්නේද මටය. ඒවා සංජුගෙන් හගිස්සවන්නේද මම ය. ඒවාට සංජුලා දෙන්නාම කරන්නෙ කෙල්ල යනකල් බලාගෙන ඉඳ එකට සිනාසීම ය. මම සංජුට බනින්නේ "මොනාද බං මේ චාටර් කෑලි වලට ලියුම් දෙන්නේ???" කියලාය. සංජු ඒවාට කරන්නෙ සිනාසීමය. 

එහෙව් මම සංජු දිහා නොබලා සිටීමට වග බලාගෙන සිටි මටම සංජුට තෑගි දෙන්නට උතුමා සර් කතා කලේය. මම නැගිට ගියෙමි. මට දණ ගසා වැන්ද සංජුගේ හිසත් මුහුණත් අතගෑ මම ආපසු පැමිණ වාඩි වීමි. ඒත් තත්පර කිහිපයකි. මට මහ හයියෙන් ඉකි ගසා ඇඬුනි. ඇඬන්නේ නැති බව පෙන්නා වීරයා වෙන්නට ගිය මගේ වීරයා මැරුනේය. මා හඬන්නට පටන් ගත් විට මෙපමන වේලා හිර කරගෙන සිටි කොල්ලන්ද හඬන්නට පටන් ගත්හ. සංජු ඩෙස් එකකට හිස ගසාගෙන ඉකි ගසයි. මගේ එහා පැත්තේ හිටි අපේ අනික් ඉන්ගිරිස් නංගී වන ගයියා මා ඇමතුවාය. "අක්කා අඬන එක නවත්තපන්, උඹ අඬනකොට මුන් ගෙ ඇඬිල්ල වැඩි වෙනවා". අන්තිමේදී ඉකි ගසා ගසා ඇඬිල්ල නවතා ගැනීමට මට හැකි විය. පන්තියේ සියළු දෙනා වඳින්නට එන විට මට කාගෙන සිටින්නට හැකි වුණේ කලින් ඇඬු නිසාය. නැත්නම් ආපහු ටැප් එක ඇරීම මට සුළු කාරණාවකි. 

අනික් රස්සාවල්ද මෙසේ අඬන්නට වෙන රස්සාද කියා මට වෙලාවකට සිතේ. වෙන රස්සා මොළෙන් කලත් හදවතින් කරන රස්සාවල් කරන්නට අමාරු ය.  ඒ අවසානයේ ආදරයේදී මෙන්ම වෙන්වීම දුකක් නිසාය. අපි හඬන විට එරංග ගේ කතාව වාක්‍ය 2කට සීමා විය. 

"මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තව අවුරුදු 10කින් ඕගොල්ලො එලවගෙන යන කාර් එකේ අපිවත් දාගෙන යන්න"  

 ඒ සමස්ත ගුරු ප්‍රජාවේම එකම හෘදයාංගම පැතුමයි.