Saturday, February 25, 2012

පළමු ආදර ආරාධනාව



මේ කතාව සෑහෙන්න පරණ කතාවක්. එකදාස් නවසිය අනූ හයේ විතර සිද්ද වෙච්චි එකක්. ඒ වෙනකොට මම අටේ පන්තියෙ හිටපු පොඩි කෙල්ලක්. දැන් ඉතින් මේ වයසෙ උන්ට බැන්නට අපිත් ඒ කාලෙ ඒ වගේම තමයි. 

හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් මම සාමාන්‍යෙන් පට්ට ටියුබ් ලයිට්.  ඒ කාලෙ ඉඳම්ම ඒ ලෙඩේ තිබ්බා. කවුරු හරි මාව කෙනිත්තුවොත් මොනා හරි එකකට මම අදටත් හැරිලා අහනව "ඇයි කෙනිත්තුවෙ?" කියල. ඉතින් මාව කොනිති ගහපු එක්කෙනාට තද වෙනවා. මේ සිද්දිය වෙන්නෙ ගොඩක් වෙලාවට මගෙ ස්ටාෆ් එකේ යාලුවන් ට. 

ඉතින් හිච්චි එකී කාලෙ ඉඳලා ටියුබ් ලයිට් මට අටේ පන්තිය කියල මහ වෙනසක් නෑ.  මේ කාලෙ මම ආවෙ ගියේ ස්කූල් වෑන් එකක. ඒ අතරෙ සැරින් සැරේ අපේ ස්කූල් වෑන් එක ගෙනියන අන්කල් නැති වුණාම එයාගෙ පුතා තමා ගේන්නෙ වෑන් එක. එයා හරිම ලස්සන සුදු අයිය කෙනෙක්. ගමේ කොල්ලො අතර ප්‍රසිද්ධ හාවා කියල. 

අර ඕනෙ අයිය කියනව වගේ අටේ පන්තිය නවයෙ පන්තිය කියන්නෙ ඉස්කෝලෙක තියෙන්න පුළුවන් සුපිරිම පන්ති දෙකක්. ඒ කාලෙ ඉතින් කියල වැඩක් නෑ ඉස්කෝල වලය උපරිම දරුණු විනය ප්‍රශ්න ගේන්නෙ මේ පන්තිවල ලොක්කො ලොක්කියො ටික.   ආයෙ ඉතින් අපේ කාලෙ කියල වෙනසක් නෑ. කොල්ලො ලියුන් දෙනව ඒවට ප්‍රතිචාර දෙනව කොල්ලන්ගෙ හැඩරුව බලනව එක විකාර ගොඩයි. ඉතින් අර සුදු කොල්ලෙක් අපේ වෑන් එකේ ඩ්‍රයිවර් වෙලා ආවම අපිට අහල පහල අක්කලගෙන් ලැබෙන ප්‍රතිචාර හරී ඉහලයි.

කොහොමත් මම හාවා අයියගෙ ප්‍රසන්න පෙනුමටත් හරි කැමතියි.  මොකද මිනිහා ආව දවසට මිනිහගෙ කට තියෙන්නෙ කණේ. අපිත් එක්ක යන අක්කා කෙනෙක් තම දවසක් කිව්වෙ මට හාවා අයියා ඉස්සරහ තියෙන කණ්නාඩියෙන් පස්ස බලනව වැඩියි කා දිහා ද දන්නෙ නෑ බලන්නෙ කියලා. ඉතින් මගුල මට මොකටද ඒවා. අනික මම හෙන ටියුබ් ලයිට් නිසා ඕවා කොහොමත් මීටර් වෙන්නෙ නෑ. 

ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා මම වෑන් එකෙන් බහින තැන ඉඳලා දවසක් හාවා අයියා මාව අල්ලගත්තා එයාගෙ පියාට නොපෙනෙන්න.  අල්ලගෙන මට කිව්ව අනේ නංගි මට ඔයාව හම්බ වෙන්න ඕනි කියල. නෝන්ඩි හිනාවක් දාපු මම කිව්වෙ ඇයි මේ හම්බ වෙලා නෙවෙයි ද ඉන්නෙ කියල. මිනිහට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති ඒ වෙලාවෙ. ඒ පාර මූ කියනව නෑ නෑ මට ඔයාව තනියම හම්බ වෙන්න ඕනි කියල. ඒ වෙලාවෙ කවුරුත් පාරෙ හිටියෙත් නෑ. මම ආපහු ඇහුවා දැන් මෙතන කවුරුත් නෑ නෙ කියල. මූ කියනව හෙටම හම්බ වෙන්න ඕනිලු. මගෙත් ටිකිරි මොලේ නෙ. මම කිව්ව එහෙනම් මේ වෙලාවට එන්න කියලා. 

ඊගාව දවස වෙද්දි කොටින් ම මට අමතක වෙලා තිබ්බෙ මම මෙහෙම මිනිහෙකුට එන්න කිව්ව කියලත්. ස්කූල් වෑන් එකෙන් බැහැලා ගලකට පයින් ගගහ කන්ද නගින්න පටන් ගත්තා විතරයි මෙන්න මේ යකා කොහෙන්දෝ පාත් වුණා.  

"නංගි"

"ආ අයියා"

"මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනව නංගි"

"ඉතින් අහන්න"   මම දිගටම ගල් වලට පැන පැන පයින් ගසමින් කන්ද අද්දයි. 

"මම ඔයාට කැමතියි. "

"ඉතින් මමත් ඔයාට කැමතියි"

"ඈහ් ඇත්තද?"

"ඔව් ඉතින් අන්කල් නැති දවසට ඔයානෙ අපිව ඉස්කෝලෙ එක්කගෙන යන්නෙ"

හාවා අයියාට වස බොන්න හිතුනාට සැක නැත.  

"නෑ නෑ.... ඔයාට කොල්ලෙක් ඉන්නවද?"

"නෑ"    දිගටම ගල් වලට පයින් ගසමින්.......

"මම ඔයාට කැමති ඒ විදියට"

"කොයි විදියටද?"

"ඔයා කැමතිද මාත් එක්ක යාළු වෙන්න?" 

"ඉතින් හලෝ මම ඔයත් එක්ක තරහ වෙලායෑ ඉන්නෙ මේ කතා කරන්නෙ යාළු වෙලා නෙවෙයි ද?" ගල් වලට තවම පයින් ගසයි.  

"නෑ නංගි මම කැමතියි ඔයාට. මගෙ ගෑණු ළමය වෙනවද?

හුටා............!

ඒ වෙලාවෙ මගේ කටට ආ දේ එලෙසම ලියමි.  

"අයියා මට වෙන කොල්ලෙක් ඉන්නව. ඔයා එක්ක යාලු වෙන්න බෑ"

එසේ කී මා එප පිම්මට ගෙදරට දිව ආමි. පපුව තවමත් ගැහේ. ගණනය කිරීම් හරි නම් හේ අඩුම තරමේ මට වඩා අවුරුදු 8-9ක් වත් වැඩිමහල් විය යුතුය.  අනික ඒ අපේ ස්කූල් වෑන් ඩ්‍රයිවර් ගේ පුතාය. ලව් කරන්න ගියොත් ඉස්කෝලේ ගිහිල්ලාද හමාරය. ඔය මට හිතිච්ච එව්වාය.

කතාව ඉවර නැත. මම අපේ අම්මාට මේ සිද්ධිය කියා තාත්තාට නොකියන ලෙස ශපථ කරවා ගතිමි. දින දෙකක් පමණ කිසිදු හැල හොල්මනක් නැතිව ගියේය.  

දිනක් මම පාසැල් හැරී එන විට ටවුමේ කට්ටිය මා දෙස කන්න වාගෙ බලා සිටියහ. විශේෂයෙන් ම ත්‍රීවීල් පාක් එකේ කොල්ලෝ ය. දින 2-3ක් ම මේ සිද්ධිය දිගටම සිද්ධ විය. මම යන එන විට සියල්ලෝම මා දෙස කන්න මෙන් බලා සිටිති. ඉවසා බැරිම තැන මේ ගැන අම්මාට කියන්නට මම තීරණය කළෙමි.

"අම්මි ටවුමෙ මිනිස්සු හරි අමුතු විදියට මගෙ දිහ බලනවනෙ. හාවා අයියා මොකුත් කියලද දන්නෙ නෑ"

එවිට අපේ අම්මා අමුතු හිනාවක් දැම්මාය.  

"තාත්ති හාවා අයියට කණට ගහල!!!!!!!"

"හෑ"

"හ්ම්ම්ම් මම එයාට කිව්වා. දවල් ගිහිල්ලා කුමාර අයියගෙ කඩෙන් බඩු ගන්න එතන හාවයියා ඉඳලා තාත්ති එක පාරම ගහලා"  

"ඉතින්?"

"හොඳ වෙලාවට කුමාරයියයි රාජයියයි පැනලා තත්තිව අයින් කරලා."

දැන් සනීපය. ටවුමේ උන් මාව කන්න වගේ බලාගෙන ඉන්නෙ මේ නිසාය. එදයින් පස්සෙ මමද පාඩමක් ඉගෙන ගතිමි. ඒ නම් ආයෙ අපේ අම්මාට රහස් නොකීමයි. සෑහෙන කලක් යන තුරු මම අපේ අම්මට ඉන්පසු රහස් කීවේ නැත. නමුත් එදා ඒ ඇති වූ දුරස් බව නම් තවම අපි අතර තිබේ. ඒ මදිවාට හාවා අයියා.....!!!! නැවත කිසිම කිසිදාක මගේ මූණ නම් හේ බැලුවේ නැත. අදටත් හේ මම යන පාරකින්වත් නොයෑමට වග බලා ගනියි. ඒ මා දකින් වාරයක් පාසා කණේ පහර සිහි වන නිසා විය හැක!