Thursday, March 8, 2012

කේ.බී. අත්තා





කේ.බී අත්තා යනු තවත්  හොඳම එක්කෙනෙකි.  හේ කලින් කතාවක මල්ලිකලා අත්තම්මාගේ හබී ය.

කේබී අත්තා ඉස්සර හිටම වැඩි කතා බහක් නැත. හැබැයි කොයි වෙලාවෙත් සිටින්නේ අනුමත වීය. අනුමත වීමට අමතරව ඔහුව ගෝල්ඩ්ලිෆ් කොම්පැණියේ සන්නාම තානාපති කෙනෙකු වශයෙන් පත් කිරීමේ හැකියාවද තිබේ.

කේබී අත්තා ගෝල්ඩ්ලිෆ් ඇරෙන්නට වෙන කිසිම වර්ගයක් නොබොයි. දැනට වයස 83ක් වුනත් අදටත් හේ හොයන්නේ ඔරිජිනල් පැකට්ටුවේ එන ගෝල්ඩ්ලිෆ් ය. ඇවිදින්නට ඉතා අමාරු කේබී අත්තාට ගෝල්ඩ්ලිෆ් ගේන්නට වෙන්නේ ගංගා පුන්චීට හෝ කේබී අත්තාගේ මුණුබුරන් දෙදෙනාටය. ඒවා මිලදී ගන්නට ඔහුට හුරු තැන් විය. එතැනින් ඇරෙන්නට වෙන තැනකින් ගෙනාවොත් ගෙනා මිනිහා සුං ය.

දිනක් කේබී අත්තා පරළ වී ගංගා පුංචීට බැන වදියි.

“මොනාද මේ ජරා සිගරට්. ඒවා පෙට්ටියේ තිබ්බට හොද ඒවා නෙවෙයි. වෙනදා කඩෙන් නෙවෙයි ද ගත්තේ?”

“ඒ කඩෙන් තමා අප්පච්චී.”

“ඉතින් බැලුවෙ නැත්තෙ ඇයි? මේවා ඔරිජිනල් ගෝල්ඩ්ලිෆ් නෙවෙයි නේ”

ගංගා  පුංචී ට යකා නැංගේ ය.

“ඉතින් අප්පච්චි කියන්නේ මට ගන්න කලින් කඩේදි සිගරට් එකක් බීල බලන්න කියලද?”

එනපොට හොද නැති බව දුටු කේබී අත්තා වාස්පශීලි විය.

කේබී අත්තා අපේ අභීත අයියා, මරණෙ අයියලාගේ ලොකු අප්පච්චී ලෙස හැදින්වූවොත් එහි වරදක් නැත. ඒ කේබී අත්තා යනු අනුමත වීමේදී අනිවාර්යෙන් මේ සියළු දෙනා පරදවන බැවිනි. මේ අවුරුද්දේ බැරි බැරි ගාතේ ෆුඩ්සිටියට ගොස් ගෙනා අරක්කු බෝතල් දෙක ඉවර වූ පසු හේ තම මුණුබුරා වන අමිල අයියාට කිව්වේ තවත් බෝතල් දෙකක් ගෙන එන ලෙසයි.

“පුතේ වෙන කොහෙන්වත් ගේන්න එපා රෝයල් මෝල් එකෙන් හරි ෆුඩ්සිටියෙන් හරි අරන් වරෙන්”

අමිල අය්යා කේක්බී අත්තාගෙන් සල්ලිද ඉල්ලගෙන රෝයල්මෝල් එකෙන් බෝතල් දෙකක් මිලදී ගෙන ඇත. මේ අවුරුදු දවස් නිසාද අමිල අයියාට යාලුවන් කිහිප දෙනෙක් මුණ ගැසීම නිසාද අතරමගදීම එක් බෝතලයක් පාරිභෝජනය වී අවසන් විය. බෝතල් දෙකක් නැතුව ගෙදර ගියහොත් අත්තාගෙන් පයින් පාරය. ඇමිල අයියා කලේ වැලිගල්ලේ බාර් එකෙන් කලින් බෝතලයට සමාන බෝතලයක් රැගෙන ඒමයි.

දින දෙකක් පමණ ගත විය. කේබී අත්තා අමිල අයියාව ඇමතීය.

“පුතේ අර බෝතල් දෙනෙක් එකක් රෝයල්මෝල් එකේ තමා. හැබැයි අනික නම් අනිවාර්යෙන් වැලිගල්ලෙ එකක්”

අමිල අයියාගේ ඇස් උඩ ඉන්දවිය. බෝතල් දෙක වෙනස සොයා ගැනීමට බැරි තරම් සමානය. ඉතින් කේබී අත්තා වෙනස හදුනා ගත්තේ කෙසේද?

“පිස්සුද අත්තා? දෙකම රෝයල් මෝල් එකේ තමා”

කේබී අත්තා ලාවට හිනාවක් දැම්මේය.

“අනේ බන් කොල්ලෝ උඹලා ඊයේ පෙරේදා බොන්න පටන් ගෙන මට බොරු කියන්න එනවද? මම දන්නෙ නැද්ද වැලිගල්ල බාර් එකේ කලවන් රහ!”

අමිල අයියාට හිතුණ දේ දන්නේ ඔහුම  පමණි.

වයසට යාම නිසා කේබී අත්තාද දැන් පොඩි ළමයෙක් වාගේය. නිතරම මල්ලිකලා අත්තම්මා සමග ඔරොප්පුවෙන් ය. උදේ පටන්ගෙන හවස්වන තුරු වලි ය. ඒවාත් මේ සංසාරේ නැති පිස්සු වලි ය.

ඔන්න හොදම වලිය යන්නේ තේ හදන්න ගිය විටය. කේබී අත්තාට සීනි බෝතලයට එක හැන්දක් අවශ්‍ය වේ. කිරිපිටි බෝතලයට තව හැන්දක් අවශ්‍ය වේ. තේ කොල එකට තව වෙනම හැන්දකි. තේ දිය කරන්න තව එක හැන්දකි. මේ හැදි හතරෙන් එකක් වත් තේ සෑදීමට පෙර බෝතල් ඇතුලේ තැබීම තහනම් ය. ඒවා තිබිය යුත්තේ එලියේය. තේ සෑදීමට පෙර හැදි හතරම සෝදා රෙදි කැබැල්ලකින් පිස දැමිය යුතුය. පිටි හැන්දෙන් සීනි ගැනීම සපූරා තහනම් ය. තේ සෑදීමෙන් පසුවද හැදි හතර සෝදා රෙදි කැබැල්ලෙන් පිස දැමිය යුතුය.

මේ සියල්ල සිදු කරන තුරු ඇසි පිහ නොගහා බලා සිටීම කේබී අත්තා අනිවාර්යයෙන් කරන දෙයකි. වැරදිලා හෝ එක පියවරක් මග ඇරුනොත් තේ හැදූ කෙනාට කුණු බැනුම් ය. ඉතින් මේ විගඩම නටන්නට ගොස් මල්ලිකලා අත්තම්මාගේ මල පන්නවා ගන්නා කේබී අත්තාට සිදු වන්නේ තේ නැතිව වේලීමටයි. පසුව ඉතින් හබියා පව් යැයි සිතා මල්ලිකලා අත්තම්මාගෙන් තේ එකක් ලැබෙන වෙලාවල්ද එමටය.

ඊගාව වලිය තේ සාදන්නට හෝ බොන්නට වතුර උණු කරන්න යන විට ය. වතුර උණු කල යුත්තේ කේබී අත්තාට අවශ්‍ය තරමට ය. ඔහු ලිප නිවන්න කීවොත් නිවිය යුතුය. නැත්නම් තිබෙන්නට හැරිය යුතුය. බොහෝ විට ඔහු වතුර වැඩි වෙලාවක් නටවන්නට නොදේ. මේ ගැන ප්‍රශ්නයක් ඇති වූ අපේ ගංගා පුංචී දිනක් කේබී අත්තාගෙන් මේ ගැන ඇසුවාය.

“අප්පච්චි මොකද මේ අම්මට වද දෙන්නේ වතුර නටවන්න නොදී?”

කේබී අත්තාගේ පිලිතුර:

“බොලන් ඕනෙවට වඩා රත්කරලා නැටෙව්වම වතුර මැරෙනවා. ඒකයි.”

කේබී අත්තා මල්ලිකලා අත්තම්මා සමග ඊගාව වලිය දා ගන්නේ රේඩියෝ එකටයි. වාරිමාර්ග ඉංජීනේරුවෙකු වූ මල්ලිකලා අත්තම්මාගේ එකම පුතා තරුන වියේදීම කොටි විසින් මරා දැමුණු පසු ඕ බොහෝ ආගම දහමට නැඹුරු වූවාය. ඒ නිසා ඇය නිතරම රේඩියෝවේ පිරිත් මහ හයියෙන් කන පැලෙන්න දමයි. ඇය ඒ ගැන කියන්නෙ…..

“පුතේ පිරිත් හයියේන් දාන්ට ඕනෑ. එතකොට තමා ගෙදර බිච්චි වලට ගඩොල් වලට පිරිත කා වැදිලා සෙතක් සාන්තියක් වෙන්නෙ ඕං”

මල්ලිකලා අත්තම්මා පිරිත් දැමා ගිය පසු රේඩියෝව කරකවන කේබී අත්තා ඉරාජ්ගේ හෝ සින්දුවක් කණ පැලෙන් ගානට දමා යයි. මල්ලිකලා අත්තම්ම බැන වදිමින් නැවත රේඩියෝව කරකවයි. බී කේඅත්තා නැවත කරකවයි. දැන් ඉතින් ගේ දෙක වෙන්න වලි ය.
 
මේ වලිය බේරන්න බැරි තැන ගංගා පුංචී තව රේඩියෝවක් ගෙනැවිත් කේබී අත්තාට දුන්නාය. ඉන්පසුවවත් මේ දෙන්නාගේ වලිය අවසන් වේයැයි සැවොම සිතූහ. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.

මල්ලිකලා අත්තම්මා කණ පැලෙන්න රේඩියෝවේ පිරිත් දමයි. විනාඩියකින් කේබී අත්තා  ඔහුගේ රේඩියෝවේ සින්දු කණ පැලෙන්න දමයි. මල්ලිකලා අත්තම්මා රේඩියෝව වැඩි කරයි. කේබී අත්තා ඊට වඩා වැඩි කරයි. දෙන්නා තරගයට  රේඩියෝ වැඩි කරයි. දැන් රේඩියෝ දෙකම උපරිම සද්දෙනි. ඒ අස්සේ ගෙදර සිටින මගේ නෑනා මස්සිනාලා ටීවී එකද දමා ගනියි. ඒ රේඩියෝ දෙකම පරයන ශබ්දයෙනි.

ගංගා පුචී ගෙදර එන්නේ මේ වෙලාවට ය.

“මොකක්ද මේ? ගෙදරක් ද සයිවර් කඩයක් ද?”

කොච්චර කොහොම වුනත් මේගොල්ලෝ දැන් මහළුම මහළු වයසේය. ඒ අය නැති දවසක අපිට හිනා වෙන්න මේ කතාවත් ඉතුරු වනු ඇත. නමුත් දැන් දැන් කරන වැඩ ද ඉතා ජොලිය. ඒ නිසා අපි හැමෝම ජේබී අත්තාටත් මල්ලිකලා අත්තම්මාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.



ප.ලි. මේ කතා ඇහුවට පස්සේ මම අපේ අම්මිට කිව්වේ එක දෙයයි.

    “ඔන්න අම්මී මල්ලිගේ නෝනා එක්ක මට පෙන්නන රැස් දාල මෙහෙම වලි දාගෙන මට එහෙම කෝල් කරන්න එපා ලේලි රණ්ඩු වෙනවා කියලා. මම නම් හතර මායිමේ පස් පාගන්නේ නෑ ඕවා බේරන්න.”



ප.ප.ලි.ඔය කිව්වට එතකොට  අම්මනෙ කියලා මමත් රණ්ඩු බේරන්න යයිද දන්නේ නෑ.



ප.ප.ප.ලි. මම ගියා කියන්නේ එතන වලිය බේරිල්ල කෙසේ වෙතත් ඩබල් වෙන එක බව දන්නෝ දනිති. (කවුරු හෝ අපේ අම්මා ඇඩෙව්වොත් ඒ උගේ අවසානයයි.)

Saturday, March 3, 2012

ඔක්කොම පැටවු එක වගේ ය.

අවුරුදු පහකට ආසන්න කාලයක් කටුවක් ලෙව කෑමෙන් පසුව මම හෝර්ටන් තැන්න කිට්ටුව තිබූ සිංහල මහ විදුහලට ආයුබෝවන් කියා පැමිණියෙමි. හිතාගෙන උන් තරම් ලේසියෙන් මට එයට සමු දී ඒමට නොහැකි විය. මා ආ දා මගේ පොඩ්ඩෝ දවසම මගේ පසුපසින් ආහ. මට සමුදෙන්නට පැමිණ හඬා වැටුනහ. මටද වචනයක් කතා කර ගන්නට බැරි වෙන තරමට ඔවුන්ගේ කඳුළු මා අසරණ කලේ ය. මොන මගුලකට මෙච්චර උඩ පැනගෙන මාරුවීම හදා ගත්තාදැයි මම සිතුවෙමි. කතාකර ගන්නට බැරි තරම් මගේ ඇස් වලින් කඳුළු කැට කැට කඩාගෙන වැටුණි. හයියෝ සංසාරේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති වී ඉන්නට තිබූ චෑන්ස් එකද නැති කරගෙන මම ආපසු ගෙදර පැමිණියෙමි.

වසර 7 කට පසු මම අපේ ගෙදර ස්ථීර පදිංචියට ආපසු පැමිණියෙමි.  ඒ තව කොපමණ කාලයකටද කියා දන්නෙ දෙවියන් පමණි.



ගෙදර පැමිණි මට ලැබුනේ අපේ ගෙදර සිට කිලෝ මිටරයක් පමණ දුරින් පිහිටි මුස්ලිම් පිරිමි විදුහලකි.  අවුරුදු 4ක් ඉංග්‍රීසි ගුරුවරියකම ව සිටි මට දෙමළ මාධ්‍ය පාසලකට පැමිණීම නිසා සිංහලද ඉගැන්වීමට භාර ගැනීමට සිදු විය. අයියෝ සංසාරේ සිංහල උගන්නන්නට මගේ ඔළුවේ කිසිම අදහසක් නැත. අදටත් නැත. ඉංගිරිසිය උගන්වා පළපුරුදු මුත් සිංහල උගන්නන එක නම් වහ කඳුරු කනවා වගේ වැඩකි. නමුත් උගන්වමි. සිංහල පාඩම් කරමින් උගන්වමි.

 මට ලැබුනේ මුස්ලිම් පිරිමි විදුහලක් යැයි දැන ගත් විට බොහෝ දෙනාට "ලොල්" විය. සමහරු ":කැපිටල් ඩී" කලහ. මගේ එක් ගුරු යෙහෙලියක් පැවසුවේ "මුස්ලිම් නෙවෙයි බන් පෘතුගීසි ඉස්කෝලයක් හරි කමක් නෑ ගෙදර ඉඳලා යන්න තියෙනවනම්" කියා ය. මටත් චකිතයක් නොතිබුණා නොවේ. මක්නිසාද යත් පාසල දෙමළ මාධ්‍ය පාසලක් වීම මදිවාට මුස්ලිම් සිසුන් පමණක්ම සිටින පාසලක් වීමයි.

ඉස්කෝලේ ගිය ගමන්ම ක්‍රීඩා උත්සවයේ සංවිධායක මණ්ඩලයට මාව ගත් අතර ගිය දාට පසුවදාම රුපියල් විසිදාහක් අතට දී මාව භාණ්ඩාගාරික කරගත් විදුහල්පති තුමා මට හුස්ම ගන්නට නොහැකි තරමේ කාලසටහනක් ද පටවා මගේ බෙල්ලට තොණ්ඩුව දැම්මේය. 

හෝර්ටන් තැන්න සිංහල මහ විද්‍යාලයට නොදෙවෙනි ****** පිරිමි විදුහලේ මගේ වැඩ එසේ ආරම්භ විය.

මුළු ගුරු මණ්ඩලයම උඩ සිට පහලටම කළුය. දෙයියන්ට පින් සිද්ද වන්නට මට මිතුරියක් හමු විය. ඈ නෙළුම් අක්කාය. ඕ දැනට වසර දෙකක පමණ සිට මේ පාසලේ සිංහල හා ඉංග්‍රීසි උගන්වයි.  ඇයගෙන් මට ලැබෙන ලොකුම පිටිවහල කුමක්දැයි මට දැන් යන්තමින් වැටහීගෙන එයි. ආත්මාර්ථකාමි මිනිසුන් මැද වසර ගණනාවක් සිටි මට පරාර්ථකාමි ගැහැණියක් හමු වුනේ මුල්ම වතාවටය. ඈ මෙන්ම ඇගේ සැමියාද අතිශය සංවේදී සොඳුරු මිනිසෙකි. සුමුදු සුදු බෝලයක් වන් වූ ඇගේ කුඩා දියණියද සමඟ දිනපතා ඕ මට මගේ අමතක වූ ගැහැණුකම සිහිපත් කරවන්නීය. ඒ නම් ඇයට ආත්ම ගණනකට පින් ලැබෙන දෙයකි. මක්නිසාද යත් කොලුවෙකු මෙන් සිටි මගේ ගැහැණු සිත අවදි කරවන්නට ඇගේ සැමියාට ඇති ආදරය, බැඳීම දියණිය කෙරේ ඇති ස්නේහය මෙන්ම අන් සියළුම මිනිසුන් ඈ දකින් ආකාරය මට අළුත්ම අත්දැකීම් වූ නිසාය.

ඈ හැර තවත් පරිපාලන සහායිකාවක්ද පාසලේ ඉන්නා නමුත් මා ඈ ගැන කතා කිරීමට කැමති නැත්තේ ඇය මට හමු වූ අන් සියළු ගැහැනුන් මෙන්ම ආත්මාර්ථකාමි කෙනෙක් බැවිනි.  වැඩ වලින් මඟ අරිමින් සිටින ඇගේ වැඩ සියල්ලම කරන්නට සිදුව තිබුණේ නෙළුම් අක්කාටය. දැන් මාද පැමිණි පසු අපි දෙන්නා ලිපිකරු වැඩ බෙදාගෙන කරන මුත් ඇය ඒවා දෙස ඇසක් ඇර බලන්නේවත් නැත. නමුත් අප දෙන්නාටම වඩා වැඩි පඩියක් උපාධිධාරී පත්වීම් ලාභිනියක් ලෙස ඈ ලබන්නීය. ඒ වෙලාවට සිතෙන්නේ ටිංකිරි ගා ගන්නවා වැනි දෙයක් උනත් දෙයක් වැරදි ලෙස වනවා බලා ඉන්නට ඇති අකමැත්ත නිසා ඒ වැඩ නිසි ආකාරයෙන් ඉටු කරන්නට හැම මොහොතකම අපට සිදු වේ.

 ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් බුකියේ ඉන්නා නිසා මම මේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ගැන කතා නොකරමි. ඇත්තටම කතා කරන්නට දේකුත් නැත. කතාකලොත් වෙන්නෙ මට හිරේ ලැගීමටයි.

ජීවිතයේ පළමු වතාවට ස්ථිර පත්වීමක් ලබා මම පිරිමි පාසලක වැඩ භාර ගතිමි. එය මට අළුත්ම අළුත් අත්දැකීමකි. උපන්දා පටන් බාලිකා පාසල් වල ඉගෙන ගත් මා හට බාලක පාසලක වැඩ කරන්නට ලැබුනේ එකම එක වරක් පමණි . ඒ ද සති දෙකකට ය. නමුත් මෙවර ස්ථීර වශයෙන්ම ය. මොන වගේ තත්වයක් උදා වේදැයි නොදැන ඇත්තටම මා පාසලට පා තැබුවේ තරමක බියකිනි.

මට පළමුව යන්නට වුනේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගැන්වීමටයි.  පන්තියට යන විට පන්තියේ සිටි 50 දෙනාම එකම ශබ්දයෙන් කතා කරමින් සිටියහ. එකම ශබ්දයකින් කතා කලා නම් ඇති වැරැද්ද කිම දැයි ඔබ මගෙන් අසනු ඇත. නමුත් එය ඔවුන්ටම ආවේණික වූ අපූරු කතා ක්‍රමයකි. එනම් අල්ලපු පුටුවේ ඉන්නා එකාටද කතා කරන්නෙ කණ පැලෙන්නට හයියෙන්ය. ඊට පුටු දෙකක් එහා එකාට ඊටත් වඩා උස් හඬින් ය. මෙපමණ කලක් මගේ උළු උඩ යන්නට තියෙනවා යැයි සිතාගෙන සිටි කිංකිණි කටහඬ ගැන මගේ තිබූ මෙව්වා එක එක සැනකින් සුණු විසුණු වී ගියේය. ඔවුන් අසල මගේ කටහඬ සිහින් කෙඳිරියක් පමණි.

දින දෙක තුනක් පමණ ගෙදර පැමිණි මම කාමරය තුලටම වී ගත කලෙමි. කණෙන් සැමදාම කූංංංංංංංංංංංංංං ශබ්දයක් පාසල ඉවර වී එන විට ඇසේ. තවමත් එය ඇසේ. කවුරුන් හෝ උස් හඬින් කතා කරන විට දැන් නම් මට හොඳටම තරහ යයි. ගෙදර අයටත් දැන් සිද්ධ වී ඇත්තේ සද්ද අඩු කර ඉන්නටයි.

ඒ නමුත් ක්‍රීඩ උත්සවයට වැඩ කරන්නට ලැබීම මට ලැබුණු අමුතුම අත්දැකීමකි. මුළු ක්‍රීඩා උත්සවයම ඇද්දේ නෙළුම් අක්කාත් මමත් ය. ඒ වුනාට අන්තිමට බොහෝ අය ලකුණු දා ගත්හ. කොච්චරද කියනවා නම් පාසලේ නිවාස ශූරතාවයට සහ අනු ශූරතාවයට දෙන්නට අභියෝගතා පළිහවල් දෙකක් මිලදී ගත්තේ නෙළුම් අක්කාත් මමත් අපේ අතේ සල්ලිවලින් ළමයින් පව් කියාය. නමුත් ඉන් ලකුණු දා ගත්තේ වෙන අයයි. අපි දෙන්නා දත්මිටි කමින් බලා සිටියෙමු. ලකුණු අවශ්‍ය නැති වුණත් එයට කිසිදු අගය කිරීමක්ද නැත. කමක් නැත. අපි අපේ රාජකාරිය ඉටු කලෙමු.

උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ මධ්‍යම පලාත් මහ ඇමති ය. හේ තරමක තද ගති පැවතුම් ඇත්තෙකි. ශ්‍රී ලාංකිකත්වය මැනවින් දත් පුද්ගලයෙකි.  ඊගාව ප්‍රශ්නය ආරම්භ වූයේ එතැනිනි. 

ඔබ සමහර විට නොදන්නවා විය හැක. මක් නිසාද යත් ඒ බව මාද දැන ගත්තේ මේ පාසලට ගියාට පසුවය. කවුරුන් හෝ පඬියෙක් විසින් ලංකාවේ ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර ඇත. ඒ ආකාරයෙන් ගත් කල ශ්‍රී ලංකාවට සිංහලෙන් හා දෙමලෙන් ජාතික ගී 2ක් ඇත.  අපේ ඉස්කෝලය දෙමළ මාධ්‍ය පාසලක් බැවින් මේ දක්වා කියා ඇත්තේ දෙමළ පෙළ පොත්වල මුද්‍රණය කර ඇති ඒ දෙමළ ජාතික ගීයයි. නමුත් ප්‍රධාන අමුත්තා ලෙස සිංහලයෙක් ගෙන්වාගෙන දෙමළෙන් ජාතික ගීය ගායනා කළොත් වැඩ වරදින බව දැනුනු අපේ ලොක්කා වහාම සිංහල ජාතික ගීය පුරුදු කරන්නට පටන් ගත්තේය. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද්දෙකු වූ හේ උස් හඬින් කෑ ගැසුවේ "අච්චර භාෂා අසූ ගානක් තියෙන ඉන්දියාවෙත් එක ජාතික ගීයයි තියෙන්නෙ. ඇයි බැරි මුන් ට ඕක සිංහලෙන් විතරක් තියන්න" කියාය. 

ජාතිය ගීය පුරුදු කරද්දි එතැනට කඩාගෙන ආවේ අනික් ගුරුවරුන් ය. ඔවුන් පුල පුලා පැවසුවේ සම්පූර්ණ ජාතික ගීය ගායනා නොකර බාගයක් පමණක් කීවා නම් ඇති යන්නයි.  අන්තිම නැට්ටට තද උන නෙළුම් අක්කා "හා එහෙනම් ටීචලා කැමති විදියට කර ගන්න" කියා කට ඇරගෙන වටපිට බලමින් සිටි මාවද ඇදගෙන එතනින් එළියට ගියාය. 

ක්‍රීඩා උත්සවයට දිනකට පෙර අපි දෙන්නා සහ විදුහල්පතිතුමා සිටි තැනට ගුරු මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ගුරුවරියක් ඇඹරෙමින් පැමිණියාය.  ඕ ජාතික ගීය බාගයක් පමණක් කියන ලෙස බල කරන ලෙස අනික් ගුරුවරියන්ද උසි ගැන්වූ කෙනාය.

"සර්.... අහවල් ඉස්කෝලෙ ස්පෝට්මීට් එකට මහ ඇමති තුමා ඇවිල්ල ජාතික ගීය බාගෙට නතර කලාම ඉතුරු ටික එයා තනියම කියල තමා නවත්තල තියෙන්නෙ.  අපිටත් ඔක්කොම කියන්න ළමයි පුරුදු කරන්න වෙයි"

නෙළුම් අක්කා හිස ඔසවාවත් බැලුවේ නැත.  ඕ මටද ගණන් නොගෙන ඉන්නා ලෙස ඒ වන විටත් ඉඟි කර අවසන් ය. ඒ කතාව අසා දෙකොණ පත්තු වූ විලක්කුව වූයේ අපේ ලොක්කාය. 

මගේ ලඟ ජාතික ගීයේ අනුවාදනයක් ඇත. එය කැසට් පටියකට ගන්නට හැදුවත් ජාතික ගීයේ බාගය කියන්නට තූර්ය වාදක කණ්ඩායම වාදනය කරන නිසා මම එය කලේ නැත. ලොක්කා වහා මා ඇමතුවේය. "සංජීවනී අර මියුසික් එකත් අරගෙන 11 පන්තියට එන්න"

මම ලස්සන හිනාවක් දමා මගේ පෙන් ඩ්‍රයිව් එක ඔහුට දික් කලෙමි. ඔහුගේ කට බාගයට නොව හොඳටම ඇරුණි. "ඈ... මේක කැසට් එකකට ගත්තෙ නැද්ද?"

දැන් තිත්තයාගේ වාරයයි.

"ඇයි සර් බාගයක් කියන්න බෑන්ඩ් එකෙන් ප්ලේ කරනව කිව්වෙ???? මම ඉතින් මේක ආයි කැසට් එකකට ගන්න මහන්සි වුනේ නෑ"

කස්ටියම කට උත්තර නැතුව බලා සිටියි. පව් ය. කරන්නට දෙයක් නැතිය. ජාතික ගීයට නිසි ගෞරව දක්වන්නට බැරි අයට ජාතික ගීය අමාරුවෙන් කටපාඩම් කරවිය යුතුය. සිංහලෙන් ජාතික ගීය ගයනවාට ඔපමණ වෛර කරන්නේ ඇයි දැයි මම නොදනිමි. සොයන්නටද නොයමි. මක්නිසාද යත් මේ ශ්‍රී ලංකාව බැවිනි.  

නමුත් අපේ පාසලේ කොල්ලෝ එතරම් කුහක නැත. උන් ජාතික ගීය අමාරුවෙන් කට පාඩම් කළහ. "ඥාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා" යන කොටස ඔවුන්ට උච්චාරණය කිරීමට ඉතාම අසීරු විය. අවසානයේ නෙළුම් අක්කාත් මමත් ඔවුන් පසෙකින් හිඳ ජාතික ගීය ගායනා කලෙමු. බලාපොරොත්තු වූ පරිදිම බෑන්ඩ් කණ්ඩායම ජාතික ගීයේ බාගයක් වාදනය කර නැවැත්වූහ. එය ගනන් නොගත් ගායක කණ්ඩායමේ සිටි පොඩි පැටවු ටික ඉතිරි කොටස ආරම්භ කළහ. ඒ තරම් ආඩම්බරකාර මොහොතක් තවත් නැත. අන් අය නිහඬව ඉද්දි නෙලුම් අක්කාත් මමත් බෙරිහන් දී ජාතික ගීය ගායනා කලෙමු. 

ක්‍රීඩ උත්සවයේදී ළමෝ අපිට වඩා සමීප වූහ. සිංහල දරුවන්ගේද මුස්ලිම් දරුවන්ගේද වෙනසක් නැති බව මට පසක් කලේ ඔවුන් ය.  වෙලාවකට හුරතල් වෙන්නට එයි. බනින විට විරිත්තාගෙන හිනා වෙයි. ඒ දකින් අපටද සිනා යයි. පිටිපස්සෙන් ඇවිත් ඔසරි පොටින් අදියි. 1 වසරේ පොඩ්ඩෙක් හැමදාම ඇවිත් මගේ පිටි පස්සෙන් අත අල්ලන්නට හදයි. මම ඔහුට තරවටු කරන විට සිනා සෙමින් පැන දුවයි. ඔහුගේ පන්තියට නොගොස් අල්ලපු පන්තියට යන විට බෙල්ල දමාගෙන දුකින් බලා සිටියි. "මුන්සීෆ් යන්න පන්තියට" මම ඔහුව එලවා ගනිමි. ඒත් ඔහුව එලවන්නට මටත් ලෝබය. 

පොඩ්ඩෝ හැමෝම එක වගේය. වයස 16ක් වන තුරුම ඔවුන් ළමයින් ය.  ඉන් එහාට ඔවුන්ව බෙදන්නේ පරිසරයයි. කුහක බව ආත්මාර්ථකාමීත්වය උගන්වන්නේ සමාජයයි. නමුත් අපිට ඔවුන් වෙනසක් නැති දරු පැටවුන් ය. මේ මල් හැමදාම මේ විදියටම සිටී නම් කියා සිතෙන වාර අනන්තය. නමුත් එසේ වන්නේ නැත. අප පරයා නැගෙන වෙනත් රැලි ඔවුන්ව අපෙන් දුරස් කරයි. නැවත ලං වන්නට බැරි තරමටම ඔවුන් ව අපේ මායිමෙන් එලියට ගෙන යයි. නමුත් අනන්ත ආදරේ බිඳුවක් හෝ ඔවුන්ගේ මතකයේ රැඳේ යැයි අපි විශ්වාස කරමු. ඒ බිඳුවෙන්බොහෝ දේ සිදු වන බව අපට දැනේ. නිහඬව බලා සිටිනු හැර අන් විකල්පයක් අපට නැත.