Wednesday, February 4, 2015

දරුපෙම බිඳක් තොල ගා බැලීමි!


කිසි දිනෙක මම දකින දකින දරුවන් අනේ පනේ කියා සුරතල් නොකලෙමි. දුටු සැනින් වඩාගෙන සුරතල් නොකලෙමි. අතේ දුරින් පොඩි උන්ට ආදරේ කල මම කිසි දිනෙක ඕනෑවට වඩා ඔවුන්ව ලං කර නොගත්තෙමි. ඒ මගේ නපුරු කමක් නොව හැටිය.

මා විවාහ වී හරියටම සති 4ක් වෙද්දී මට මගේ සිරුරේ සිදු වන යම් විශාල වෙනසක් දැනුනි. ඔක්තෝබර් 30 වනදා විවාහ වූ මගේ නොවැම්බර් 30 වනදා කල ගර්භණී පරීක්ෂණය ධන ප්‍රතිඵල පෙන්වීය. දෙලොව රත් වෙනවා කියා කතාවට කී දේ ඇත්තටම රත් වෙන්නේ කොහොමද කියා මට හරියටම දැනුනේ එදාය.

අමු පැපොල්. කිලෝ එකක් පමණ ඉස්සන් හා අනෙකුත් අපෝ ආහාර ගනිමින් සිටි මට ඇඬුනි. හදිසියේම සිදු වූ මගේ විවාහයට පෙර අප දෙදෙනාට පවුල් කන්නේ කෙසේදැයි කියා කතා කරන්නටවත් ඉඩක් ලැබුනේ නැත. යාන්තම් ට්‍රැක් එකට වැටීගෙන එන්නටත් කලින් මේ පුංචි හොර ගෙඩියාද මගේ කුසට විත් නොසිතූ ලෙස අප දෙදෙනාව දෙමාපියන් කලේය. කොටින්ම අප දෙදෙනාගේ අහලකවත් දරු සිහිනයක් නොතිබිනි.

මගේ ආදර සැමියාට හා මට අප දෙදෙනා දෙමාපියන් වන්නට යන බව මොළයට දමා ගැනීමට සතියක පමණ මහා සංග්‍රාමයකින් පසුව යන්තමට හැකි විය. ඒ අතර මගේ කුස පෙරලි කරන්නට විය. විවිධාකාර කැක්කුම් ඇති විය. අප දෙදෙනා එමීරයේ කාන්තාරයේ තනිවිය. අවසානයේ අප දෙදෙනා වෛද්‍යවරයකු සොයා ගියෙමු.

වෛද්‍යවරියගේ නිර්ණය ඇසූ අප දෙදෙනාගේ හදවත් කඩා වැටුනි. ස්කෑන් පරීක්ෂණයෙන් ඈට දරු කලලයක් සොයා ගත නොහැකි විය. ඇය කීවේ තව දින හයක් තුළ රුධිර වහනයක් වී නම් වහා එන ලෙසයි. ඇය සැක කලේ දරු පැටියා පැලෝපිය නාලයේ සිටින බවයි.

දින තුනකින් දහවල හදිසියේ මගේ සිරුරින් රුධිරය වහනය වන්නට විය. පරීක්ෂණ රැසක්ම කල පසු මගේ වෛද්‍යවරිය මට තව සති දෙකක් ඉන්නට කියා අප දෙදෙනාව පිටත් කලාය.

ඒ සති දෙක අප දෙදෙනා මහත් මානසික පීඩනයෙන් ගත කල සති දෙකයි. අප දෙදෙනාට දෙදෙනා නොපෙන්වා සිටියද සිත් ඇතුලින් අපි සිටියේ මහා ගිනි ගොඩාක් උඩය. මගේ පෙම්බර සැමියා මම නිදා සිටිද්දි මට නොදැනෙන්නට මා තුරුල් කර ගනියි. මටත් වඩා ඔහු සිතින් දුක් වන්නට ඇති. සති දෙක අතර එක් දිනක් මගේ කුස මහත් සේ පෙරලි කරමින් මට මහත් වේදනාවක් ඇති කලේය. පාන්දර තුනට පමණ දැඩි වේදනාවෙන් අඬමින් කෑ ගසන මා තුරුල් කරගෙන මගේ කුස සෙමින් පිරිමදිනු විනා ඔහුට කල හැකි වෙන කිසිවක් නොවීය. මටද වේදනාව දරා ගනු මිස කිසිවක් කලනොහැකි විය.

සති දෙක අවසානයේ නැවත මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරිනි. එදා මගේ වෛද්‍යවරිය මගේ ගර්භණීබව සනාථ කලාය. නමුත් ඒ ඉතා අකමැත්තෙනි. විවාහ වී සති හතක් වෙද්දි මගේ දරු ගැබ සති හයක් බව පැවසූ ඈ කීවේ දරුවාගෙ හර්ද ස්පන්දනය ඉතා දුර්වල බවයි. එහෙත් ඒ මොහොතේ මට මහා පෙරේතකමක් ඇති විය.

Doctor can you please show me my baby?

ඉතා අකමැත්තෙන් ඈ තිරය මා දෙසට හැරවීය.

මගේ ජීවිතයේ මා දුටු කිසි දිනෙක අමතක නොවන ඒ දසුන දුටු මොහොතේ මගේ දෑසින් කඳුළු රූරා වැටුනි. ඒ දසුන දකින්නට මගේ සැමියා මා අසල නොවීය. මිනිස් හැඩය ලබමින් සිටි පුංචි ප්‍රාණියෙක් ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් මගේ කුසේ සිටියි. මට ලැබුණු දෙවියෙකු වන් සැමියාගෙන් මට ලැබුණු වස්තුව මට අහිමි වන්නට ඉඩ වැඩි බව වෛද්‍යවරිය පවසද්දී මම තිරය අත ගෑවෙමි. සැබවින්ම අපේ පැටියා ගේ හදවත ගැහුනේ ඉතා අපහසුවෙනි. ඈ තව දින පහකින් එන්නට කියා මා පිටත් කලාය.

මම පැටියාව දුටු අයුරු උදේශ්ට කියන්නට උත්සහ කලෙමි. නමුත් ඔහුට බලාපොරොත්තු නොදුන්නෙමි. මා මෙන්ම ඔහුද මේ මොහොත දරා සිටින්නේ ඉතා අසීරුවෙනි. වරද 90% මගේ වෙද්දි මා කෙසේ ඉවසන්නද?  ඒ මොහොතේ මට කතා කලේ මගේ නැන්දම්මා ය. උදේශ්ගෙ අම්මාය. ඈ කියූ වදන් ඇසූ මගේ ඇස් උඩ ගියේය. මෙහෙම නැන්දම්මලා මෙලොව සිටී ද?

"දුවේ බබා යනව නන් දුක් වෙන්න එපා ලෙඩ දරුවෙක් හැදුනොත් ඔයාලා මුළු ජීවිත කාලෙම විඳවයි. කිසිම දියුණුවක් සතුටක් නැති ජීවිතයක් ලැබෙනවට වඩා දරුවා ඔහොම හම්බ වෙන්න කලින්ම එයාම යන්න හදනව නම් ඉවසගෙන එයාට යන්න දෙන්න"

අපේ අම්මා කී වදන්වලට වඩා මගේ හිත හැදුනේ මගෙ සැමියාගේ අම්මාගේ වදන් වල බලයෙනි. ඈ කීවේ අමූලික ඇත්තකි. නමුත් මට ඇති ප්‍රශ්නය වන්නේ මගේ පැටියා දුටු පසු මා ඒ පුංචි ප්‍රාණියාට පෙම් කරන්නට වීමයි. දුටු දුටු දරුවා බදා නොගෙන ආදරේ නොකල මගේ සිතට දරුපෙම උහුලන්නට බැරි තරම් දැනුනි.

කුස සෙමෙන් පිරිමදිමින් මම පැටියාට කතා කලෙමි. ඇඬුවෙමි. අම්මාගේ කුස තදින් අල්ලාගෙන අම්මාගේ ඇඟේ සියළුම ශක්තිය උරාගෙන හයිය බබෙක් වෙන්න කියා මම පැටියාට හැම මොහොතේම කිව්වෙමි. තාත්තා පැටියා දකින්නට කොච්චර ආසාදැයි මං පැටියාට කීවෙමි.

එහෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි විය. දින පහකට පසු මගේ පැටියා යන්නටම යන්න ගොස් ය. දුවෙක් ද පුතෙක්ද කියා දැන ගන්නටත් පෙරම අපේ පැටියා මගේ කුස තුලම අක්‍රිය වී ඇත.

ඒ දැන ගත්තද මගේ බුදු සැමියා මගේ ඇසින් එක කඳුලක් නොවැටෙන්නට වග බලා ගත්තේය. දුක අමතක වී යන්නට අසීමාන්තිකව මට ආදරේ කලේය. හැම තත්පරයකම මට මහමෙරක් සේ ආදරය කලේය.

ගුවන් යානයෙන් මා පය බිම තැබුවේ කෙලින්ම ඉස්පිරිතාලයේ යන්නට බලාගෙනය.අධික තෙහෙට්ටුවෙන් මා හෙම්බත්ව සිටියෙමි. එහෙත් මම නෑඬුවෙමි. 

මට ඇඬුනේ ශල්‍යාගාරයේ දොරටුව අසලදීය. මා ශල්‍යකර්මයට ලක් කලේ මා සමඟ කුඩා අවදියේ පටන් පාසල් ගිය මට වසරක් බාල සොයුරියකි. ඈ මගේ ශල්‍යකර්මය කල නිසා මට බියක් නැති විය. කුඩා කල පටන් ඇගේ තීක්ෂණ නුවණ මම දනිමි. නමුත් මිය ගියද සතියක් පමණ මා කුසේ සිටි පැටියා තව මොහොතකින් මගේ සිරුරින් ඉවත් කරන්නට යන බව දැනුනු මගේ සිතට දැනුනේ දරාගත නොහැකි වචනයෙන් කිව නොහැකි ඉතා දරුණු වේදනාවකි. මට එවෙලේ සිතුනේ මට මෙපමණ නම් මෙලොව සිටි දහසකුත් පටාචාරාවන්ට කෙසේ දුකක් දැනේද කියායි. 

එතැන සිටි අඩු වයස් එකම රෝගියා මම විය. අනික් රෝගී අක්කලා මෙන්ම ශල්‍යාගාරයේ සියළුම දෙනා වචනයකින් හෝ මගේ හිත හැදූ මා ගැන සොයා බැලු අය විය. තරුණ වෛද්‍යවරුන් මා සිනහ ගැස්වීමට උත්සහ කලහ. සිත හදාගෙන මම ශල්‍යාගාරයේ මේසය මත වැතිරුනෙමි. ඉන් එහාට මට කිසිවක් මතක නැත. 

මගේ පැටියා කුසට ආ පසු වෙන අම්මලාට වාගෙ මට එක දශමයක දුකක් දුන්නේ නැත. කලන්තය වමනය කෑම අරුචිය වැනි දේවල් දී මට කරදර කලේ නැත. ඔහු මා දමා ගිය පසු නම් මම මහත් සේ දුක් වින්දෙමි. ඇඳෙන් නැගිට ගන්න බැරි තරම් මා දුර්වල වී සිටියෙමි. මා නැගිට්ටවා වැසිකිලියට පවා රැගෙන ගියේ මගේ අම්මා පැමිණි පසුයි. මගේ නැන්දම්මා මට සැලකුවේ අදටත් මට සලකන්නේ මා දරුවෙකු බිහිකල මවක් සේ සලකාගෙනයි. හිස් අතින් මා ඇගේ ගෙට ආවද ඈ මා පිලිගත්තේ හා දැනටත් මට සලකන්නේ රැජිනකට මෙනි. ඒ සැලකිල්ල දකින විට මගේ හදවත දෙදරා යයි. 

මගේ පැටියා මා දමා ගියේය. මාගේ ශරීර සෞඛ්‍යය යථා තත්වයට එනතුරු නැවත මට මවක් වීමට නොහැකිය. මේ ආකාරයෙන්ම මා නැවත ගැබ් ගතහොත් නැවතත් ඉහත සිද්දියම සිදු වන බව මම දනිමි. එම නිසා මින් පසුව මම මගේ සියළුම දේ සෞඛ්‍යසම්පන්න නිරෝගි දරු පැටියෙකු……… නෑ නෑ මට අඩුම තරමින් පැටව් තුන් දෙනෙක්වත් ඕනෑය. ඔවුන් වෙනුවෙන් මට කැපකල හැකි සියලුදේ කැප කර සූදානම් වෙමි. මක්නිසාද යත් ඒ අපේ ආදරයේ එකම ඵලය නිසාය. මව් සුවඳ මට හඳුන්වා දී ගිය අපේ පැටියාට මම ජාති ජාතිත් පින් දෙමි. ඒ ආදරයේ මුදු මොලොක් බව මට දුන් මගේ පැටියාට මම පින් දෙමි. 

නැවත මා දෝතට මගේ පැටියා එනතෙක් මම ඇඟිලි ගනිමි.