Sunday, September 6, 2015

I am a TERRORIST ! ආයාගේ පියා!!!!



මේ කතාව සිද්ධ උනේ මං මේ කාන්තාර රටේ උගන්නපු අපේම ඉංග්‍රීසි උසස් විද්‍යාලයේ දි. මෙහෙ මේ පාසලේ මං මාස තුනක් විතර උගන්නල සමු ගත්තත් සෑහෙන්න අත්දැකීම් ගොඩක් ලැබුණා ඒ ටික කාලෙදි. එකින් එක හෙමිහිට ලියන්න ඕනි.

මේ ඉස්කෝල ඉතින් පෞද්ගලික පාසල්. පාසලේ වාර්ශික ගෙවීම් මුදල දැක්කම අපරාදෙ කියන්න බෑ දෙතුන්පාර කැරකිලා ඉන්දවෙනවා. ඒත් මං ඉගැන්නුවෙ තනිකරම අරාබි දරුවො ඉන්න පන්තියකට. එයාලගෙ අඩුම ගානෙ ගෙදර තව සහෝදර සහෝදරියො 5-6ක් වත් ඉන්නවා. උන් ඔක්කොම ඉස්කෝලෙ යවන වියදම හිතනකොට අනේ මන්දා! ඒත් මේ රටේ ස්වදේශිකයන් හා අපි වගේ විදේශිකයන් ගෙ වැටුප්වල ලොකු වෙනසක් තියෙනවා. ඒ අතින් අපි ඇත්තටම පව්.

ඊගාවට මං කිව්වනෙ මගෙ පන්තියෙ හිටියෙ අරාබි පැටව් කියලා. එතකොට ඒ ලිස්ට් එකේ එමිරාටි , ඊජීප්තු, සිරියානු, පලස්තීන, ජෝර්දාන හා සූඩාන පැට්ටො සෙට් එකක් හිටියෙ. උන් ඔක්කොගෙම ආගම එක උනත් ඇවිත් තියෙන්නෙ විවිධ සංස්කෘතීන් වලින් නිසා හැසිරීමත් විවිධාකාරයි . පොඩි හරි නිදහසක් දුන්නොත් පියන වහන්නෙ නැතිව මිශ්‍ර පලතුරු බීම හදන්න බ්ලෙන්ඩර් එක ඔන් කලා වගේ තමා. හතර අතේ.

ළමයි දාහෙන් සම්පතයි කියන්න පුලුවන් උන්ගෙ දෙමාපියො එක්ක බැලුවාම. ආවොත් එන්නෙ ගේමක් ඉල්ලගෙන. මුලදිම බයෙන් හිටියත් ටික දවසකින් මාත් දෙමාපියන්ගෙන් ගේම නම් ගේම ගානට වැටුනා. මේ දැං ලියන්න යන්නෙ එහෙම කතාවක්.

මගෙ පන්තියෙ හිටියා ආයා "Ayah" කියල පුංචි ලස්සන කෙල්ලක්. කෙල්ල පලස්තීන ජාතික කෙලි පැටියෙක්. ඉගෙන ගන්නත් දක්ශයි. උනන්දු යි. හොඳ මතයක් තියෙනවා. සාමාන්‍යෙන් පන්තියෙ හැම බබාටම ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඒකෙ ආයාගෙ පියාගෙ රැකියාව තිබ්බෙ "Army" කියලා. ඒ නිසා කෝකටත් මං ආයා ගෙ වැඩ ගැන ඇහැ ගහගෙන මයි හිටියෙ.

ඔන්න වාරෙ අන්තිම දවස. දෙමාපියො ඉස්කෝලෙ එන්න ඕනි ළමයින්ගෙ උත්තර පත්තර ඉල්ලගන්න ටීචර් හම්බ වෙන්න. දෙමාපියො ඔන්න එකා දෙන්නා ඇවිත් යද්දි ආයාගෙ තාත්තත් ආවා පන්තියට. එයාගෙ ශරීරය දැක්කම මට ආමි කියලා තිබ්බ ප්‍රතිරූපය ඩාං ඩෝං ගාලා කඩං වැටුනා. කොටින්ම පන්තියට ආවෙම පෙරලීගෙන වගේ. 

ඔය දෙමාපිය හමුවට කලින් ඉස්කෝලෙන් අපිට තරයේ කියලා තිබ්බෙ පාසල් ගාස්තු එක වාරිකයක් හරි ගෙවන්න ඉතිරි වෙලා තියෙන අයට එයාලගෙ දරුවන්ගෙ උත්තර පත්‍රය වත් ලකුණුවත් කොහෙත්ම දෙන්න එපා කියලා. ඒ වගේම ඉස්කෝලෙ අකවුන්ටන්ට් මහත්තයා හැම ටීචර් කෙනෙකුටම හිඟ ගාස්තු කාගෙද කීයද කියලා ලිස්ට් එකක් ඒ වෙලාවෙම ඊමේල් කරලා තිබ්බා. ඉතින් ලිස්ට් එක බලද්දි ආයාගෙත් එකම එක හිඟ වාරිකයක් තියෙනවා. අපිට කලින් කියලා තිබ්බෙ දෙමාපියන්ට කියන්න කියලා කැශියර් එක ඇරලා තියෙන්නෙ හිඟ වාරික ගෙවලා බිල ගේන්න එවෙලෙම ලකුණු දෙනවා කියන්න. 

මාත් ඉතින් කිව්ව දේ අකුරටම කලා. ආයගෙ තාත්තා මුලදි බටර් පාර ගාගෙන ආවත් මාව වෙනස් කරන්න බැරි බව තේරුනාම රණ්ඩු කරන්න පටන් ගත්තා. මට ටිකක් බය හිතුනත් මමත් අත ඇරියෙම නෑ කාගෙනම ප්‍රතිප්‍රහාර දීගෙන හිටියා. දැං ආයාගෙ තාත්තගෙ රතු කට්ට පනින්න ඔන්න මෙන්න. 

ඉඳගෙන හිටපු පුටුව ඉස්සරහට කරපු ආයාගෙ තාත්තා රහසක් කියන්න වගේ මගෙ පැත්තට එයාගෙ ඔලුව කිට්ටු කලා. 

"Ma'am, I am from palestine and I am a terrorist."

ආයාගෙ තාත්තා එයාගෙ අන්තිම තුරුම්පුව ගැහුවා. 

මමත් ඉඳගෙන හිටිය පුටුව ඉස්සරහට ඇදලා ආයාගෙ තාත්තා දිහාට මගෙ ඔලුව දික් කලා. 

"Oh sir! I am from Sri Lanka and I am a terrorist too"

ඉඳගෙන හිටි පුටුව පස්සට විසි වෙන්න වේගයෙන් නැඟිටපු ආයාගෙ පියා අතපය විසි කරමින් අරාබි බසින් බැන වදිමින් මගෙ පන්තියට චුට්ටක් එහා තිබුණු ප්‍රාථමික උප විදුහල්පතිනි ජොසී මැඩම්ගෙ ඔෆිස් එකට යන්න පටන් ගත්තා. ඔහුට යන්න ඇරලා මාත් ටිකකින් එතෙන්ට ගියා. ඒ වෙනකොටත් ආයාගෙ තාත්තා ජොසී මැඩම් එක්ක රණ්ඩු වෙන්න පටන්ගෙන. අවසානයේ ඔහු ඉතා ආචාරශීලී ජොසී මැඩම්ගෙන් ආචාරශීලී බැනුමක් අහගෙන බැන බැනම යන්න ගියා. 

Wednesday, February 4, 2015

දරුපෙම බිඳක් තොල ගා බැලීමි!


කිසි දිනෙක මම දකින දකින දරුවන් අනේ පනේ කියා සුරතල් නොකලෙමි. දුටු සැනින් වඩාගෙන සුරතල් නොකලෙමි. අතේ දුරින් පොඩි උන්ට ආදරේ කල මම කිසි දිනෙක ඕනෑවට වඩා ඔවුන්ව ලං කර නොගත්තෙමි. ඒ මගේ නපුරු කමක් නොව හැටිය.

මා විවාහ වී හරියටම සති 4ක් වෙද්දී මට මගේ සිරුරේ සිදු වන යම් විශාල වෙනසක් දැනුනි. ඔක්තෝබර් 30 වනදා විවාහ වූ මගේ නොවැම්බර් 30 වනදා කල ගර්භණී පරීක්ෂණය ධන ප්‍රතිඵල පෙන්වීය. දෙලොව රත් වෙනවා කියා කතාවට කී දේ ඇත්තටම රත් වෙන්නේ කොහොමද කියා මට හරියටම දැනුනේ එදාය.

අමු පැපොල්. කිලෝ එකක් පමණ ඉස්සන් හා අනෙකුත් අපෝ ආහාර ගනිමින් සිටි මට ඇඬුනි. හදිසියේම සිදු වූ මගේ විවාහයට පෙර අප දෙදෙනාට පවුල් කන්නේ කෙසේදැයි කියා කතා කරන්නටවත් ඉඩක් ලැබුනේ නැත. යාන්තම් ට්‍රැක් එකට වැටීගෙන එන්නටත් කලින් මේ පුංචි හොර ගෙඩියාද මගේ කුසට විත් නොසිතූ ලෙස අප දෙදෙනාව දෙමාපියන් කලේය. කොටින්ම අප දෙදෙනාගේ අහලකවත් දරු සිහිනයක් නොතිබිනි.

මගේ ආදර සැමියාට හා මට අප දෙදෙනා දෙමාපියන් වන්නට යන බව මොළයට දමා ගැනීමට සතියක පමණ මහා සංග්‍රාමයකින් පසුව යන්තමට හැකි විය. ඒ අතර මගේ කුස පෙරලි කරන්නට විය. විවිධාකාර කැක්කුම් ඇති විය. අප දෙදෙනා එමීරයේ කාන්තාරයේ තනිවිය. අවසානයේ අප දෙදෙනා වෛද්‍යවරයකු සොයා ගියෙමු.

වෛද්‍යවරියගේ නිර්ණය ඇසූ අප දෙදෙනාගේ හදවත් කඩා වැටුනි. ස්කෑන් පරීක්ෂණයෙන් ඈට දරු කලලයක් සොයා ගත නොහැකි විය. ඇය කීවේ තව දින හයක් තුළ රුධිර වහනයක් වී නම් වහා එන ලෙසයි. ඇය සැක කලේ දරු පැටියා පැලෝපිය නාලයේ සිටින බවයි.

දින තුනකින් දහවල හදිසියේ මගේ සිරුරින් රුධිරය වහනය වන්නට විය. පරීක්ෂණ රැසක්ම කල පසු මගේ වෛද්‍යවරිය මට තව සති දෙකක් ඉන්නට කියා අප දෙදෙනාව පිටත් කලාය.

ඒ සති දෙක අප දෙදෙනා මහත් මානසික පීඩනයෙන් ගත කල සති දෙකයි. අප දෙදෙනාට දෙදෙනා නොපෙන්වා සිටියද සිත් ඇතුලින් අපි සිටියේ මහා ගිනි ගොඩාක් උඩය. මගේ පෙම්බර සැමියා මම නිදා සිටිද්දි මට නොදැනෙන්නට මා තුරුල් කර ගනියි. මටත් වඩා ඔහු සිතින් දුක් වන්නට ඇති. සති දෙක අතර එක් දිනක් මගේ කුස මහත් සේ පෙරලි කරමින් මට මහත් වේදනාවක් ඇති කලේය. පාන්දර තුනට පමණ දැඩි වේදනාවෙන් අඬමින් කෑ ගසන මා තුරුල් කරගෙන මගේ කුස සෙමින් පිරිමදිනු විනා ඔහුට කල හැකි වෙන කිසිවක් නොවීය. මටද වේදනාව දරා ගනු මිස කිසිවක් කලනොහැකි විය.

සති දෙක අවසානයේ නැවත මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරිනි. එදා මගේ වෛද්‍යවරිය මගේ ගර්භණීබව සනාථ කලාය. නමුත් ඒ ඉතා අකමැත්තෙනි. විවාහ වී සති හතක් වෙද්දි මගේ දරු ගැබ සති හයක් බව පැවසූ ඈ කීවේ දරුවාගෙ හර්ද ස්පන්දනය ඉතා දුර්වල බවයි. එහෙත් ඒ මොහොතේ මට මහා පෙරේතකමක් ඇති විය.

Doctor can you please show me my baby?

ඉතා අකමැත්තෙන් ඈ තිරය මා දෙසට හැරවීය.

මගේ ජීවිතයේ මා දුටු කිසි දිනෙක අමතක නොවන ඒ දසුන දුටු මොහොතේ මගේ දෑසින් කඳුළු රූරා වැටුනි. ඒ දසුන දකින්නට මගේ සැමියා මා අසල නොවීය. මිනිස් හැඩය ලබමින් සිටි පුංචි ප්‍රාණියෙක් ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් මගේ කුසේ සිටියි. මට ලැබුණු දෙවියෙකු වන් සැමියාගෙන් මට ලැබුණු වස්තුව මට අහිමි වන්නට ඉඩ වැඩි බව වෛද්‍යවරිය පවසද්දී මම තිරය අත ගෑවෙමි. සැබවින්ම අපේ පැටියා ගේ හදවත ගැහුනේ ඉතා අපහසුවෙනි. ඈ තව දින පහකින් එන්නට කියා මා පිටත් කලාය.

මම පැටියාව දුටු අයුරු උදේශ්ට කියන්නට උත්සහ කලෙමි. නමුත් ඔහුට බලාපොරොත්තු නොදුන්නෙමි. මා මෙන්ම ඔහුද මේ මොහොත දරා සිටින්නේ ඉතා අසීරුවෙනි. වරද 90% මගේ වෙද්දි මා කෙසේ ඉවසන්නද?  ඒ මොහොතේ මට කතා කලේ මගේ නැන්දම්මා ය. උදේශ්ගෙ අම්මාය. ඈ කියූ වදන් ඇසූ මගේ ඇස් උඩ ගියේය. මෙහෙම නැන්දම්මලා මෙලොව සිටී ද?

"දුවේ බබා යනව නන් දුක් වෙන්න එපා ලෙඩ දරුවෙක් හැදුනොත් ඔයාලා මුළු ජීවිත කාලෙම විඳවයි. කිසිම දියුණුවක් සතුටක් නැති ජීවිතයක් ලැබෙනවට වඩා දරුවා ඔහොම හම්බ වෙන්න කලින්ම එයාම යන්න හදනව නම් ඉවසගෙන එයාට යන්න දෙන්න"

අපේ අම්මා කී වදන්වලට වඩා මගේ හිත හැදුනේ මගෙ සැමියාගේ අම්මාගේ වදන් වල බලයෙනි. ඈ කීවේ අමූලික ඇත්තකි. නමුත් මට ඇති ප්‍රශ්නය වන්නේ මගේ පැටියා දුටු පසු මා ඒ පුංචි ප්‍රාණියාට පෙම් කරන්නට වීමයි. දුටු දුටු දරුවා බදා නොගෙන ආදරේ නොකල මගේ සිතට දරුපෙම උහුලන්නට බැරි තරම් දැනුනි.

කුස සෙමෙන් පිරිමදිමින් මම පැටියාට කතා කලෙමි. ඇඬුවෙමි. අම්මාගේ කුස තදින් අල්ලාගෙන අම්මාගේ ඇඟේ සියළුම ශක්තිය උරාගෙන හයිය බබෙක් වෙන්න කියා මම පැටියාට හැම මොහොතේම කිව්වෙමි. තාත්තා පැටියා දකින්නට කොච්චර ආසාදැයි මං පැටියාට කීවෙමි.

එහෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි විය. දින පහකට පසු මගේ පැටියා යන්නටම යන්න ගොස් ය. දුවෙක් ද පුතෙක්ද කියා දැන ගන්නටත් පෙරම අපේ පැටියා මගේ කුස තුලම අක්‍රිය වී ඇත.

ඒ දැන ගත්තද මගේ බුදු සැමියා මගේ ඇසින් එක කඳුලක් නොවැටෙන්නට වග බලා ගත්තේය. දුක අමතක වී යන්නට අසීමාන්තිකව මට ආදරේ කලේය. හැම තත්පරයකම මට මහමෙරක් සේ ආදරය කලේය.

ගුවන් යානයෙන් මා පය බිම තැබුවේ කෙලින්ම ඉස්පිරිතාලයේ යන්නට බලාගෙනය.අධික තෙහෙට්ටුවෙන් මා හෙම්බත්ව සිටියෙමි. එහෙත් මම නෑඬුවෙමි. 

මට ඇඬුනේ ශල්‍යාගාරයේ දොරටුව අසලදීය. මා ශල්‍යකර්මයට ලක් කලේ මා සමඟ කුඩා අවදියේ පටන් පාසල් ගිය මට වසරක් බාල සොයුරියකි. ඈ මගේ ශල්‍යකර්මය කල නිසා මට බියක් නැති විය. කුඩා කල පටන් ඇගේ තීක්ෂණ නුවණ මම දනිමි. නමුත් මිය ගියද සතියක් පමණ මා කුසේ සිටි පැටියා තව මොහොතකින් මගේ සිරුරින් ඉවත් කරන්නට යන බව දැනුනු මගේ සිතට දැනුනේ දරාගත නොහැකි වචනයෙන් කිව නොහැකි ඉතා දරුණු වේදනාවකි. මට එවෙලේ සිතුනේ මට මෙපමණ නම් මෙලොව සිටි දහසකුත් පටාචාරාවන්ට කෙසේ දුකක් දැනේද කියායි. 

එතැන සිටි අඩු වයස් එකම රෝගියා මම විය. අනික් රෝගී අක්කලා මෙන්ම ශල්‍යාගාරයේ සියළුම දෙනා වචනයකින් හෝ මගේ හිත හැදූ මා ගැන සොයා බැලු අය විය. තරුණ වෛද්‍යවරුන් මා සිනහ ගැස්වීමට උත්සහ කලහ. සිත හදාගෙන මම ශල්‍යාගාරයේ මේසය මත වැතිරුනෙමි. ඉන් එහාට මට කිසිවක් මතක නැත. 

මගේ පැටියා කුසට ආ පසු වෙන අම්මලාට වාගෙ මට එක දශමයක දුකක් දුන්නේ නැත. කලන්තය වමනය කෑම අරුචිය වැනි දේවල් දී මට කරදර කලේ නැත. ඔහු මා දමා ගිය පසු නම් මම මහත් සේ දුක් වින්දෙමි. ඇඳෙන් නැගිට ගන්න බැරි තරම් මා දුර්වල වී සිටියෙමි. මා නැගිට්ටවා වැසිකිලියට පවා රැගෙන ගියේ මගේ අම්මා පැමිණි පසුයි. මගේ නැන්දම්මා මට සැලකුවේ අදටත් මට සලකන්නේ මා දරුවෙකු බිහිකල මවක් සේ සලකාගෙනයි. හිස් අතින් මා ඇගේ ගෙට ආවද ඈ මා පිලිගත්තේ හා දැනටත් මට සලකන්නේ රැජිනකට මෙනි. ඒ සැලකිල්ල දකින විට මගේ හදවත දෙදරා යයි. 

මගේ පැටියා මා දමා ගියේය. මාගේ ශරීර සෞඛ්‍යය යථා තත්වයට එනතුරු නැවත මට මවක් වීමට නොහැකිය. මේ ආකාරයෙන්ම මා නැවත ගැබ් ගතහොත් නැවතත් ඉහත සිද්දියම සිදු වන බව මම දනිමි. එම නිසා මින් පසුව මම මගේ සියළුම දේ සෞඛ්‍යසම්පන්න නිරෝගි දරු පැටියෙකු……… නෑ නෑ මට අඩුම තරමින් පැටව් තුන් දෙනෙක්වත් ඕනෑය. ඔවුන් වෙනුවෙන් මට කැපකල හැකි සියලුදේ කැප කර සූදානම් වෙමි. මක්නිසාද යත් ඒ අපේ ආදරයේ එකම ඵලය නිසාය. මව් සුවඳ මට හඳුන්වා දී ගිය අපේ පැටියාට මම ජාති ජාතිත් පින් දෙමි. ඒ ආදරයේ මුදු මොලොක් බව මට දුන් මගේ පැටියාට මම පින් දෙමි. 

නැවත මා දෝතට මගේ පැටියා එනතෙක් මම ඇඟිලි ගනිමි. 


Wednesday, November 12, 2014

ඔබේ යශෝදරා මම...!

නොකැමැත්තෙන් කැමති වී
අහසක් තරම් පෙම් කර 
ඔබේම වී ඔබ තුරුලේ 
කෙතරම් සොඳුරුද ජීවිතයම 
ඔබෙ දෑතෙ එල්ලිලා
ඔබේ කැදැල්ලට ගිය දා 
ලැබුණු ආදරේ තරම 
කියන්නට වදන් කොහිද මට
මහ මෙරක් දුක් දරා 
ඔබව මට දුන්නු ඔබෙ 
පෙම්බර මෑණියන්ගේ වදන් 
අදත් මට ඇසෙන්නෙ
"දුවේ මම නුඹට දුන්නේ
මගේ හොඳම පුතු ය.
සොයුරන් දෙදෙනාම පරයන ඉවසීමෙන් 
නිසංසල හිතකිනුත් 
ලබැඳි හදකිනුත් පිරි මගේ පුතු ය 
මේ මගේ කිරි පුතා 
මගේ බුදු පුතු ය...!" 
මවගෙන් බුදු පුතු කියා
විවරණ ලබන්නට පින් කල 
ඔබ සමඟ ජීවිතේ 
ඉතිරි ටික ගෙවන්නට
මා කෙතරම් පින් කලාදැයි 
සිතා ගන්නට නොහැකිව 
උපනුපන් තව ජාති ජාතිත් 
ඔබේම වන්නට පින් පුරමි මම 
ඔබේ යශෝදරා වන්නට ...! 



Friday, July 11, 2014

මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?


අනේ මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර ආසාවෙන් ලියාගෙන ආව එක එපා උනේ කියලා.ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න කාලෙ හරි කියල. සමහර විට ලබන නොවැම්බර් මාසෙන් පස්සෙ මම පූර්ණකාලීන ලියන්නෙක්ම වෙයි. 

අන්තිමට දාපු පෝස්ට් එක ගැන කිව්වොත්..... මට ආව මංගල යෝජනාවක මනමාල මහත්තයට පේන්නයි ඒක දැම්මෙ. ඒක කියවල මගේ බ්ලොග් එකේ තියෙන හුටපට කේස් ටික කියෙව්වට පස්සෙ මට ඉන්තේරුවෙන්ම ශුවර් එකක් තිබ්බා ඒ මනාල මහතාට මාව එපා වෙනවා කියල. ඒත් ඒ ටික කියෙව්වට පස්සෙ ඒ මහත්තය කිව්වා "මෙන්න මම හොයාපු ගෑණි!!!" කියල. වැඩේ ක්ලෝස්. මම ඇදපු අවසාන ඉත්තත් චෙක්මේට් උනා.

එදා ඉතින් වලියට එහෙම දැම්මට දැන් නම් එයා මගෙ පණ :D 

http://blog.cseinsurance.com/wp-content/uploads/2013/05/Little-girl-student_thinking.jpg

හරි ඒ කතා ඇති. අලුතෙන් වලියක් වත් ගියෙ නැහැනෙ මොකුත් ලියන්නවත්! පරණ බ්ලොග් ගොඩක් දැන් අක්‍රියයි. ඉස්කෝලෙ ගැන ලියන එකත් හරිම අවදානම් සීන් එකක්. ම්ම්ම්ම්ම්ම්...... බලමු තව ටිකක් කල්පනා කරල. මල් මල් කතා නම් ලියන්න හරිම අමරුයි. ඒ නිසා මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නම වෙනවා. 

එහෙනම් තව ටික දවසකින් එන්නම්.... ටික දවසකින් කිව්වෙ නොවැම්බර් වලින් පස්සෙ.

ඒ කියන්නෙ මම ගුරුකමට සමු දුන්නට පස්සෙ.........!  


Wednesday, January 29, 2014

යන්නට සිත හදා ගනිමි

දෙමාපිය සිහින වලට ඉඩ දී
යන්නට සිදුව ඇත
මා සිහින පසෙක ලා
කිසි දින නොදුටු මාවතක 
නොදන්නා අරමුණකට 
නොහදුනන අමුත්තන් අතරට 
ඉතින් යන්නට සිත හදා ගමි 
නොදන්නා අනාගතයකට...

(https://www.facebook.com/media/set/?set=a.10152027519263964.1073741842.192773518963&type=1)

Thursday, February 28, 2013

අපිට පිස්සු ooooooooooooooooooයි !!!



අපිට පිස්සු ඕයි !!! 

එහෙම කිව්ව කිඹුලෙක්
බබල්ගම් එකක් හප හප 
හැරී පොටර්ගෙ සුදුපාට බකමූණයි 
රොන්ගෙ තඩි ගෙම්බයි එක්ක 
රාජ්‍ය පාලනේ ගැන කතා කරද්දි
ඔශීනුයි චංගුමියි කුස්සිය පැත්තෙ
කෙහෙවලු පටලගෙන
පරිප්පු උයන රෙසිපිය මාරු වෙලා
උපන් ගමං පොඩි එකෙක් 
කැට් වටේට මලක් ඇඳලා
ලයන් කිව්වෙ 
අප්පේ ඒකා බොන්නෙ 
අහවල් කිරලු අම්මව අඳුනන්නෙම නෑලු
අප්ප කියල අඳුන ගත්තෙ 
වත්ත පාර දොළ අසබඩ 
බැඳල හිටිය සුදු වස්සාලු
මූණ ගාව පෑන ගහන් 
නිදහස යැයි බෝඩ් ගහන් 
රටේම කුණු රසය සොයා 
අපේ රටේ මාධ්‍යය ලු
රිංගල හොග්වාර්ට්ස් වලට
හර්මයිනිගෙන් ප්‍රශ්න කරයි
පොටර් ඔයාගෙ පෙම්වතාලු
නෑ නෑ දැන් එයා මෙහේ නෑ 
මේ මොන මල කරුමයක්ද
මෙතන වෙන්නෙ මොනවද අද
ආන්න අර පරිප්පු ඉව්ව් 
චංගුමි කෙල්ල පොලිසියේලු
නාකි ඔශීන් අත්තම්මගෙ 
බෙල්ල මුලින් මිරිකලාලු
ඒක අහල දුවං එනවා කොළඹ හතේ නෝනා කෙනෙක්
පොලවෙ හැපී පොලෝසියත් දෙකක් වෙන්න
මං එනවා සුදු ගුමියෝ 
ඔයාව බේරගෙන යන්න
අපි ගිහිල්ල කොළඹ හතේ
මගේ සුපිරි ගෙදර ඉඳන් 
එකගෙයි කමු මාත් එක්ක
නාකි උනත් මං මගෙ ඩ්‍රයිවර් කොල්ලත් එක්ක
බෙදාගන්න බැරිනෑ මට
කිමෝනාව විසිකරලා කොළඹ හතේ
පැටැං දාමු
කුස්සියෙ හිටියා ඇති සුදු  චංගුමි
බ්‍රිටිශ් කවුන්සිල් ගිහින් කඩ්ඩ දා ගමු අපි
ඔයත් එතකොට සුපිරි
මොකක් සුපිරිවිකි දත් බේත්
හා ඔය මොකක් හරි 
මේක මට පිස්සු නිසා
ඇත්තටම පිස්සුද
මටද ඔයාටද 

මට පිස්සු වගේ හලෝ . . 
වගේ නෙමේ හ‍ලෝ . . 
හොදටම පිස්සු හලෝ !!!



Monday, February 25, 2013

කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක ...



කිසිදා කිසිවෙකුට කියන්නට ආසා නොකල කතාවක්, මතක් කරන්නටවත් අකමැති කතාවක්, මගේ සිත තුල මැරි මැරී ඉපදෙන කතාවක්. හංගාගෙන ඉන්නට ඉන්නට නුඹ වැරදිකරු වෙනවා දකින විට කකියන සිතත් ලෙයත් මට ලියන්නට බල කරයි.

නුඹ මුලින්ම දකින විට මා යන්තම් දාහතර වැනි වියේ නව යොවුන් දැරියක්. ඔබ පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිට විදුමව් තුරුලෙන් නික්මෙන්නට සැරසෙන තරුණයෙක්. නුඹ මට මතක ආඩම්බර කම නිසාමයි. චාම් කඩවසම් දිලිසෙන දෑස් පුංචි මගෙ හිතට ගෙනාවෙ හරිම අමුතු හැගීමක්.

නුඹ නික්ම ගියා මට මතක නැහැ. නුඹ කොහී ගියාදැයි මම දන්නෙ නැහැ. නමුත් නොකියාම ඔබ ගිහින්.

දින කීයක් ගත උනාද? මාස කීයක් ගත උනාද? මට ඇත්තටම ගනන් කරන්න අමතක උනා.

දවසක් උසස්පෙළ පලවෙනි අවුරුද්දෙ අග හරියෙ හිටිය මම..... නිල්පාට දිග ගවුමක් ඇදගෙන පන්ති ඉවර වෙලා බස් එකට නැග්ගෙ ගෙදර යන්න. අදටත් මම බස් එකේ වාඩි වෙද්දි අව්ව පැත්ත නැති පැත්ත බලන්නෙ නෑ ඉඩ තියෙන මුල්ලක වාඩි වෙනවා. එදත් එහෙමයි. ඔහේ ගිහින් තියෙන මුල්ලක වාඩි උනා.

එහෙම වාඩි වෙලා මම කරන්නෙ ජනේලෙන් එලියෙ ඉන්න මිනිස්සු දිහා බලාගෙන කල්පනා කරන එක. එදත් එහෙමයි. මගෙ එහා පැත්තෙ අසුනෙ කෙනෙක් වාඩි වෙනව දැනුනට ඒ කවුද කියල බලන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.

"නංගි මෙතන අව්වයි නේද? ඔයාව පිච්චෙනවා"

මගෙ ගැන මේ හැටි අනුකම්පාවක් තියෙන්නෙ කාටද බලන්න මම හරි අමාරුවෙන් ඔලුව ඉස්සුවා. බලන්න තියෙන අකමැත්තටත් වඩා මගෙ කල්පනා ලෝකය බින්ද තරහට.

ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ හිත සසල කල නුඹ.

මගෙ හිත සසල කල දිලිසෙන ඇස් එහෙම්මමයි. සිනහවත් එහෙම්මමයි. ඒත් නුඹ හිටියටත් වඩා කලු වෙලා. කෙට්ටු වෙලා. ඉස්සෙල්ලාම වචනෙ කටින් එලියට පැන්නෙ මටත් නොදැනීම.

"අයියා ඔයා කළු වෙලා"

නුඹ හඩ නගල හිනා වෙනවා මම ඉස්සෙල්ලම ඇහුවෙ එදා.

එදයින් පස්සෙ දවස් පහක් නුඹ වැරදීමකින් මම පන්ති ඇරිල යන බස් එකට නැග්ගා. ඒ හැම දවසකම නුඹ වාඩි උනේ හරි අහම්බෙන් මගෙ ගාවමයි.

අවුරුදු 3ක් තිස්සෙ නොපෙනී ගිහින් කලේ මොනවද කියල මට දැන ගන්න උවමනාවක් තිබ්බත් අහන්න දිව නැමුනේ නෑ. අවසානයේ නුඹම මට එය කිව්ව. ඒ අප මුණ ගෑසුණු අවසාන දවසේ.

නුඹ වසර තුනකට පෙර සිටි ශිෂ්‍ය නායකයාව තවත් දුර රැගෙන ගොස් තිබුණා. ආඩම්බරකමේ කිසි අඩුවක් නැති තැනක නුඹ ඒ වෙනකොටත් ආඩම්බරකාර උප ලුතිනන්වරයෙක්. 





පස්වෙනි දවසෙ නුඹ ඒ බව කියනකොට මට හිතුනෙ නෑ මොහොතකටවත් නුඹ එහෙම කිව්වෙ මාව දාල යන්න කියල. නමුත් නිවාඩුව ඉවර වෙලා නුඹ යන්න සූදානමින්. නවතන්න තරම් හයියක් මගෙ හිතට තිබ්බෙ නෑ.

මම බසයෙන් බහින්න විනාඩියකට කලින් මගෙ නයි මල්ලක් වගේ සාක්කු ගනනාවක් තියෙන බෑගයේ සාක්කුවක් ඇරපු නුඹ යමක් ඒ තුලට  දැම්මා. මට ඒ මොකක්ද අහන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ. නුඹවත් අරගෙන බසය ගිහින් තිබුණා.

පස්මහ බැලුම් බලල බලලා රැ දොළහත් පහුවෙලා මම ඒ මොකක්ද බැලුවෙ. මගෙ ජීවිතේ මට ලැබුණු පළවෙනි පෙම් හසුන නුඹ මගෙ බෑගයට දමා තිබුණා. එහි කිසි වැල්වටාරමක් නෑ. ආදරබර වදනුත් නෑ. ඒත් නුඹ ලියල තිබුණා. නුඹට දැනුණු දේ විතරක්.

"මම ඊ ගාව නිවාඩුවට ආවම ආපහු ඔයා එක්ක බස් එකේ එක සීට් එකේ වාඩි වෙලා යන්න මම එනවා. එදාට මේ පහුගිය දවස් හතර වගේ නෙවෙයි මට ඕනෙ ඔයාගෙ දකුණු අත මගෙ පපුව උඩ තියා ගෙන ඉන්න මට ඕනෙ."

මම හිතන්නෙ නුඹ කියන්න ඇත්තෙ නුඹේ හිතේ ආදරේ වෙන්න ඇති. මම ඒ උප ලුතිනන්වරයට මගෙ දකුණු අත පපුව උඩින් තියා ගන්න දෙනවද නැද්ද කියලා කෝටි වාරයක් කල්පනා කලා. බයක් හිතුනා. නුඹ කැමැත්ත අහපු විදිය හරි අමුතුයි. නුඹත් ඒ වගේම අමුතු කෙනෙක්. ඉස්සර ඉදලම. දින ගනනාවක් කල්පනා කරලා කරලා මම තීරණය කලා... නුඹට පපුව උඩ තියා ගන්න මගේ දකුණු අත දෙන්න. හීනයක් වගේ දෙයක් හැබෑ කර ගන්න.

එදා ඉදලා නුඹ ආපහු එනකල් මම දින ගනින්න පටන් ගත්තා.

එකයි..... ගෙවන්න අමාරුම දවසක් !!!

දෙකයි..... වෙලාව යන්නෙ නෑති හෑටි විතරක් !!!

තුනයි.... අනේ ඉක්මනට කලුවර වෙනව නම්!!!

හතරයි.....

"සංජු මාර වැඩේ"

"මොකක්ද?"

"ඔයාට මතකද අප අපි ඉස්සර පොඩි කාලෙ ලයින් පාර දාපු **** අයියා?"

මම මොවුන්ට නුඹ ගැන නොකී එක කෙතරම් හොදද? කිව්වානම් මට දහසක් පද බදීවි.

"ඉතින්?"

"ඒ අයියා ආමි එකේලුනෙ හිටියෙ"

"ඉතින්"

"ඒ අයියට වෙඩි වැදිලා බං. ඊයෙ රැ බොඩි එක ගෙනාවා."

මහා දැවැන්ත අතක් මගේ කෙස් වල්ලෙන් අල්ලා මා ලෝකය වටේම කරකවා හෙණ ගහන වේගයෙන් මගේ හිස මහ පොළවේ ගැසුවා සේ මට දැනුනි. නමුත් මගේ දෑසින් කදුලු නොවැටුනි.

එදා දවසින් බාගයක් මම දළදා මාලිගාවෙ උඩමාලේ කණුවකට මුවා වී සිටියෙමි. නුඹ මට පෙනී නොපෙනී යයි. දින පහක් මා සමග නියම මහත්මයෙකු සේ හැසිරුණු නුඹ.... මට ලං වෙන්නට අවසර පතා නික්ම ගොස් ඇත.

මා ඉතින් නැවත කවදා නුඹට මගේ පිලිතුර දෙන්නද?

මම සිත් පිත් නොමැත්තියක ලෙස හැසිරුණෙමි. කිසි දුකක් නැත්තියක ලෙස සිනා සෙමින් කවට කම් කරමින් මගේ යෙහෙලියන් සමග කතා කලෙමි. ඒ මට තනිව යා නොහැකි ගමනක් මා සමග යන්නට කෙනෙක් සොයා ගන්නටයි.

"අනේ ආමි එකේ ෆියුනරල් එකක් මම දැකලා නෑ අපි යමුද බලන්න?"

නුඹව වරක් හෝ දකින්නට, දැක රිද්දා ගන්නට මගේ සිතට අවැසි වී තිබුණි.

සොහොනට ගිය මට නුඹ දකිනු තබා ඔබට අසළට ලං වීමටවත් නොහැකි විය. මම උත්සාහද නොකලෙමි. ඒ බලන බලන අත තිබූ නිල ඈදුම් මා බියට පත් කළ නිසයි. 






සිංහ කොඩියකින් වසා තිබුණු පෙට්ටියේ නුඹ සැතපී සිටියා යැයි මා නොදුටුවෙමි. මගේ සිත ඇදහුවේද නැත. නමුත් නුඹ යලි නේන බව මගේ පුංචි සිතට දැනුනි. එසේම නුඹ මගේ දකුණු අත නුඹේ පපුවට තුරුල් කර ගන්නට නො එන බවද මට දැනුණි. ඔබට යන්නට අවසානයේ සමු දෙන්නට මට සිදු විය.

හදිසියේ වැලලූ අතීත කතා ගොඩ දමන්නේ නුඹට අපහාස කරන්නට නොවේ. නුඹ මියෑදුනේ මට පමණක් නොව අද ජීවත් වන අප හැමටම නුඹේ ජීවිතය දෙමිනි. නුඹ සැබවින්ම විරුවෙකි. එක් දිනක් ඒ විරුවාගේ උණුසුම ලබන්නට ආදරය විදින්නට තබා ආදරය කියා ගන්නටවත් බැරි වූ පව්කාරිය මම.

නුඹ වසර දොළහකටත් වැඩි කලකට පසු මට මතක් කලේ බාලචන්ද්‍රන් ගේ මරණයයි. කුඩා දරුවෙකුගේ මරණය හිතක් පපුවක් ඇති කිසිදු කෙනෙකුට උහුලා ගත නොහෑකිය. ඔහු දුටු විට මගේ පපුව රිදුණි.

නමුත්....

ඔහුට ඉහලින් නුඹ මගේ සිත වටා සැරි සරයි.
අද නුඹ වෙනුවෙන් මගේ ඇස් වල කදුලු ගලයි. ඒ වෙනදාටත් වඩා නුඹේ අඩුව මට දැනෙන නිසාය. නුඹ අභියස මට බාලචන්ද්‍රන්ව නොපෙනේ. ඔහුට වඩා තදින් මට ඔබේ පපුව සිදුරු කල උණ්ඩවල වේදනාව දැනේ. ඒ උණ්ඩ වල වේදනාව ඔබට වරක් දැනෙන්නට ඇත. මට එය ඔබ සිහිවන හැම වරකම දැනේ. නුඹ මියැදුනේ වරකි. මා මැරි මැරී උපදිමි.  මගෙ ලොවේ කුමරු නොකියාම මා හැරදමා ගොස් ය. 

නුඹ සිටියා නම් අද මා රැජිණකි!