කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක ...



කිසිදා කිසිවෙකුට කියන්නට ආසා නොකල කතාවක්, මතක් කරන්නටවත් අකමැති කතාවක්, මගේ සිත තුල මැරි මැරී ඉපදෙන කතාවක්. හංගාගෙන ඉන්නට ඉන්නට නුඹ වැරදිකරු වෙනවා දකින විට කකියන සිතත් ලෙයත් මට ලියන්නට බල කරයි.

නුඹ මුලින්ම දකින විට මා යන්තම් දාහතර වැනි වියේ නව යොවුන් දැරියක්. ඔබ පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිට විදුමව් තුරුලෙන් නික්මෙන්නට සැරසෙන තරුණයෙක්. නුඹ මට මතක ආඩම්බර කම නිසාමයි. චාම් කඩවසම් දිලිසෙන දෑස් පුංචි මගෙ හිතට ගෙනාවෙ හරිම අමුතු හැගීමක්.

නුඹ නික්ම ගියා මට මතක නැහැ. නුඹ කොහී ගියාදැයි මම දන්නෙ නැහැ. නමුත් නොකියාම ඔබ ගිහින්.

දින කීයක් ගත උනාද? මාස කීයක් ගත උනාද? මට ඇත්තටම ගනන් කරන්න අමතක උනා.

දවසක් උසස්පෙළ පලවෙනි අවුරුද්දෙ අග හරියෙ හිටිය මම..... නිල්පාට දිග ගවුමක් ඇදගෙන පන්ති ඉවර වෙලා බස් එකට නැග්ගෙ ගෙදර යන්න. අදටත් මම බස් එකේ වාඩි වෙද්දි අව්ව පැත්ත නැති පැත්ත බලන්නෙ නෑ ඉඩ තියෙන මුල්ලක වාඩි වෙනවා. එදත් එහෙමයි. ඔහේ ගිහින් තියෙන මුල්ලක වාඩි උනා.

එහෙම වාඩි වෙලා මම කරන්නෙ ජනේලෙන් එලියෙ ඉන්න මිනිස්සු දිහා බලාගෙන කල්පනා කරන එක. එදත් එහෙමයි. මගෙ එහා පැත්තෙ අසුනෙ කෙනෙක් වාඩි වෙනව දැනුනට ඒ කවුද කියල බලන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.

"නංගි මෙතන අව්වයි නේද? ඔයාව පිච්චෙනවා"

මගෙ ගැන මේ හැටි අනුකම්පාවක් තියෙන්නෙ කාටද බලන්න මම හරි අමාරුවෙන් ඔලුව ඉස්සුවා. බලන්න තියෙන අකමැත්තටත් වඩා මගෙ කල්පනා ලෝකය බින්ද තරහට.

ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ හිත සසල කල නුඹ.

මගෙ හිත සසල කල දිලිසෙන ඇස් එහෙම්මමයි. සිනහවත් එහෙම්මමයි. ඒත් නුඹ හිටියටත් වඩා කලු වෙලා. කෙට්ටු වෙලා. ඉස්සෙල්ලාම වචනෙ කටින් එලියට පැන්නෙ මටත් නොදැනීම.

"අයියා ඔයා කළු වෙලා"

නුඹ හඩ නගල හිනා වෙනවා මම ඉස්සෙල්ලම ඇහුවෙ එදා.

එදයින් පස්සෙ දවස් පහක් නුඹ වැරදීමකින් මම පන්ති ඇරිල යන බස් එකට නැග්ගා. ඒ හැම දවසකම නුඹ වාඩි උනේ හරි අහම්බෙන් මගෙ ගාවමයි.

අවුරුදු 3ක් තිස්සෙ නොපෙනී ගිහින් කලේ මොනවද කියල මට දැන ගන්න උවමනාවක් තිබ්බත් අහන්න දිව නැමුනේ නෑ. අවසානයේ නුඹම මට එය කිව්ව. ඒ අප මුණ ගෑසුණු අවසාන දවසේ.

නුඹ වසර තුනකට පෙර සිටි ශිෂ්‍ය නායකයාව තවත් දුර රැගෙන ගොස් තිබුණා. ආඩම්බරකමේ කිසි අඩුවක් නැති තැනක නුඹ ඒ වෙනකොටත් ආඩම්බරකාර උප ලුතිනන්වරයෙක්. 





පස්වෙනි දවසෙ නුඹ ඒ බව කියනකොට මට හිතුනෙ නෑ මොහොතකටවත් නුඹ එහෙම කිව්වෙ මාව දාල යන්න කියල. නමුත් නිවාඩුව ඉවර වෙලා නුඹ යන්න සූදානමින්. නවතන්න තරම් හයියක් මගෙ හිතට තිබ්බෙ නෑ.

මම බසයෙන් බහින්න විනාඩියකට කලින් මගෙ නයි මල්ලක් වගේ සාක්කු ගනනාවක් තියෙන බෑගයේ සාක්කුවක් ඇරපු නුඹ යමක් ඒ තුලට  දැම්මා. මට ඒ මොකක්ද අහන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ. නුඹවත් අරගෙන බසය ගිහින් තිබුණා.

පස්මහ බැලුම් බලල බලලා රැ දොළහත් පහුවෙලා මම ඒ මොකක්ද බැලුවෙ. මගෙ ජීවිතේ මට ලැබුණු පළවෙනි පෙම් හසුන නුඹ මගෙ බෑගයට දමා තිබුණා. එහි කිසි වැල්වටාරමක් නෑ. ආදරබර වදනුත් නෑ. ඒත් නුඹ ලියල තිබුණා. නුඹට දැනුණු දේ විතරක්.

"මම ඊ ගාව නිවාඩුවට ආවම ආපහු ඔයා එක්ක බස් එකේ එක සීට් එකේ වාඩි වෙලා යන්න මම එනවා. එදාට මේ පහුගිය දවස් හතර වගේ නෙවෙයි මට ඕනෙ ඔයාගෙ දකුණු අත මගෙ පපුව උඩ තියා ගෙන ඉන්න මට ඕනෙ."

මම හිතන්නෙ නුඹ කියන්න ඇත්තෙ නුඹේ හිතේ ආදරේ වෙන්න ඇති. මම ඒ උප ලුතිනන්වරයට මගෙ දකුණු අත පපුව උඩින් තියා ගන්න දෙනවද නැද්ද කියලා කෝටි වාරයක් කල්පනා කලා. බයක් හිතුනා. නුඹ කැමැත්ත අහපු විදිය හරි අමුතුයි. නුඹත් ඒ වගේම අමුතු කෙනෙක්. ඉස්සර ඉදලම. දින ගනනාවක් කල්පනා කරලා කරලා මම තීරණය කලා... නුඹට පපුව උඩ තියා ගන්න මගේ දකුණු අත දෙන්න. හීනයක් වගේ දෙයක් හැබෑ කර ගන්න.

එදා ඉදලා නුඹ ආපහු එනකල් මම දින ගනින්න පටන් ගත්තා.

එකයි..... ගෙවන්න අමාරුම දවසක් !!!

දෙකයි..... වෙලාව යන්නෙ නෑති හෑටි විතරක් !!!

තුනයි.... අනේ ඉක්මනට කලුවර වෙනව නම්!!!

හතරයි.....

"සංජු මාර වැඩේ"

"මොකක්ද?"

"ඔයාට මතකද අප අපි ඉස්සර පොඩි කාලෙ ලයින් පාර දාපු **** අයියා?"

මම මොවුන්ට නුඹ ගැන නොකී එක කෙතරම් හොදද? කිව්වානම් මට දහසක් පද බදීවි.

"ඉතින්?"

"ඒ අයියා ආමි එකේලුනෙ හිටියෙ"

"ඉතින්"

"ඒ අයියට වෙඩි වැදිලා බං. ඊයෙ රැ බොඩි එක ගෙනාවා."

මහා දැවැන්ත අතක් මගේ කෙස් වල්ලෙන් අල්ලා මා ලෝකය වටේම කරකවා හෙණ ගහන වේගයෙන් මගේ හිස මහ පොළවේ ගැසුවා සේ මට දැනුනි. නමුත් මගේ දෑසින් කදුලු නොවැටුනි.

එදා දවසින් බාගයක් මම දළදා මාලිගාවෙ උඩමාලේ කණුවකට මුවා වී සිටියෙමි. නුඹ මට පෙනී නොපෙනී යයි. දින පහක් මා සමග නියම මහත්මයෙකු සේ හැසිරුණු නුඹ.... මට ලං වෙන්නට අවසර පතා නික්ම ගොස් ඇත.

මා ඉතින් නැවත කවදා නුඹට මගේ පිලිතුර දෙන්නද?

මම සිත් පිත් නොමැත්තියක ලෙස හැසිරුණෙමි. කිසි දුකක් නැත්තියක ලෙස සිනා සෙමින් කවට කම් කරමින් මගේ යෙහෙලියන් සමග කතා කලෙමි. ඒ මට තනිව යා නොහැකි ගමනක් මා සමග යන්නට කෙනෙක් සොයා ගන්නටයි.

"අනේ ආමි එකේ ෆියුනරල් එකක් මම දැකලා නෑ අපි යමුද බලන්න?"

නුඹව වරක් හෝ දකින්නට, දැක රිද්දා ගන්නට මගේ සිතට අවැසි වී තිබුණි.

සොහොනට ගිය මට නුඹ දකිනු තබා ඔබට අසළට ලං වීමටවත් නොහැකි විය. මම උත්සාහද නොකලෙමි. ඒ බලන බලන අත තිබූ නිල ඈදුම් මා බියට පත් කළ නිසයි. 






සිංහ කොඩියකින් වසා තිබුණු පෙට්ටියේ නුඹ සැතපී සිටියා යැයි මා නොදුටුවෙමි. මගේ සිත ඇදහුවේද නැත. නමුත් නුඹ යලි නේන බව මගේ පුංචි සිතට දැනුනි. එසේම නුඹ මගේ දකුණු අත නුඹේ පපුවට තුරුල් කර ගන්නට නො එන බවද මට දැනුණි. ඔබට යන්නට අවසානයේ සමු දෙන්නට මට සිදු විය.

හදිසියේ වැලලූ අතීත කතා ගොඩ දමන්නේ නුඹට අපහාස කරන්නට නොවේ. නුඹ මියෑදුනේ මට පමණක් නොව අද ජීවත් වන අප හැමටම නුඹේ ජීවිතය දෙමිනි. නුඹ සැබවින්ම විරුවෙකි. එක් දිනක් ඒ විරුවාගේ උණුසුම ලබන්නට ආදරය විදින්නට තබා ආදරය කියා ගන්නටවත් බැරි වූ පව්කාරිය මම.

නුඹ වසර දොළහකටත් වැඩි කලකට පසු මට මතක් කලේ බාලචන්ද්‍රන් ගේ මරණයයි. කුඩා දරුවෙකුගේ මරණය හිතක් පපුවක් ඇති කිසිදු කෙනෙකුට උහුලා ගත නොහෑකිය. ඔහු දුටු විට මගේ පපුව රිදුණි.

නමුත්....

ඔහුට ඉහලින් නුඹ මගේ සිත වටා සැරි සරයි.
අද නුඹ වෙනුවෙන් මගේ ඇස් වල කදුලු ගලයි. ඒ වෙනදාටත් වඩා නුඹේ අඩුව මට දැනෙන නිසාය. නුඹ අභියස මට බාලචන්ද්‍රන්ව නොපෙනේ. ඔහුට වඩා තදින් මට ඔබේ පපුව සිදුරු කල උණ්ඩවල වේදනාව දැනේ. ඒ උණ්ඩ වල වේදනාව ඔබට වරක් දැනෙන්නට ඇත. මට එය ඔබ සිහිවන හැම වරකම දැනේ. නුඹ මියැදුනේ වරකි. මා මැරි මැරී උපදිමි.  මගෙ ලොවේ කුමරු නොකියාම මා හැරදමා ගොස් ය. 

නුඹ සිටියා නම් අද මා රැජිණකි!













Comments

  1. මග තොට රැඳි නෙත් දහක් වසා මතකද
    අප නෙත් කතාකලා
    මතකයේ ඇඳෙනා පෙර රූ චායා එක්වේදෝ යළි
    සිත සනසා
    ඔබෙ නම්ටයි මා පාරමි පුරනා
    ඇසේවිදෝ මේ ගී මාලා

    කිසිම දෙයක් කීමට මට ද නොසිතේ.... ඒ ඔබ විඳි දුක ඒ ලෙසටම සිය දස ලක්ශ කෝටි ප්‍රකෝටි වාරයක් මම විඳ ඇති නිසාවෙනි

    පෙර එක දවසක
    සඳ නැති සවසක
    ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
    ඔබ අප හමු වේවා...

    ReplyDelete
    Replies
    1. සුමු ඔය මගෙ හොදම යාලුවෙක් වෙලා ඉන්නෙ අපි දෙන්න බෙදා ගන්න සමහර දේවල් එක වගේ නිසා වෙන්න ඇති. පාරමී පුරන්නත් කලින් යන්න ගිය දුක වෙඩින් එකට මාසෙකට කලින් යන්න ගිය දුකත් එක්ක කිසිම විදියකින් සමාන කරන්න බැරි බව මම හොදටම දන්නවා.

      Delete
  2. සංජු ටීචර් blog එක පැත්තේ ගොඩ කලෙකින්., මම මේ දාන පළවෙනි comment1, මම සහ මේ ල්ංකාවේ ජීවත් වෙන ගොඩක් දෙනෙක් ඔය වගෙ මතක හිත් වල තියාගෙන ජීවත් වෙන්නේ.සමහරුන්ගේ දරුවෝ,සහෝදරයෝ,සැමියන්,යහලුවන් ඔය සේරම කට්ටිය තම තමන්ගෙ මතක වල ජීවත් වෙනවා,මතකයන්ගෙන් ගෙන එන්නේ දුකක් වුනත් ඒ ආදරණීයයන් සිහි කරමින්.මම දැන් මගේ හිත හදා ගෙන තියෙන්නේ, අපි ඒ දුකත් සමඟ ජීවත් වෙන්නේ මිනිසුන් විදිහට ඉපදීම නිසා නේද කියලා,මට හිතෙන්නේ මේක මගේ කථාව කියලා,පොඩි වෙනසෛය් තියෙන්නේමගේ අයියා නැති උනේ 1996, එතකොට එයාcaptainකෙනෙක්. අපේ පවුලෙ තිබුන මහා ගහක් කඩා වැ‍ටුනා 96 දී, ඉතිරිය ඔයාලියලා තියෙන ටිකම තමයි .මම ඔයාගේ blog එක ඒ දවස් වල ඉඳලා කියවන කෙනෙක් මගේ blog list 1 තාම මේ blog 1 තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ. ලියන්න බැරිම තැන අතෑරලා දැම්මත් නොලියා බැරි වෙලාවල් එනවා. මේක පොඩි සිද්දියක් ඒත් ජීවිත වලට ගොඩක් බලපෑම් කරනව ඒ බව තේරෙන්නෙ සෑහෙන්න කල් ගිහින්. මට වැඩියම දුක හිතෙන්නෙ ඔවුන්ව අමතක කරනකොට ඒ වේදනාව නොදන්න මිනිස්සු වගේ හෑසිරෙනකොට ඔවුන් මැරුනෙ අපි වෙනුවෙන් කියල අමතක කරන අමන මිනිස්සු එක්ක ඉන්නකොට. ඔවුන් එක්ක අපිත් මැරිල ගියා නම් කියල හිතෙනවා.

      Delete
  3. වර්ගවාදී යුද්ධයට ඈදාගත් මිනිස් ජීවිත තුල කොයි තරම් මේ වගේ දුක්බරිත කතන්දර ඇතිද? ඒ සියල්ල අවසන් බව සිතීමත් සහනයක්. නමුත් සදකාලික සැනසිල්ල ලැබෙන්න නම් මිනිසුන් මිනිසුන් ලෙස සිතන්ට පුරුදු විය යුතුයි.

    නොමිනිසුන් සිටිනා තෙක් ලෝකය දුක්බර එකක් වේවි.

    ඔහුට නිවන් සුව පතමි.

    කිසිදා කිසිවෙකුට මෙවන් දුකක් නොවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කකා ගොඩක් කාලෙකින් මේ පැත්තෙ ආවට.

      Delete
    2. අන්න අන්න වැරදි කතාවක්.

      ලියන්න දෙයක් නෑ ගිහිං එන්නං කියලා බ්ලොග් ලියන එක 2012 ජුලිවල අතහැරියේ කවුද, මමද?
      http://sanjuishere.blogspot.com/2012/07/blog-post.html

      මේ බ්ලොග් එක මගේ "ගෑල්ළමයි ලියන බ්ලොග්" කියන තීරුවේ තියෙනවා.

      Delete
  4. ඇඩුනා... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. එහෙම වෙනවා අක්කේ හැම කෙනෙකුටම... අන්තිමේ එයාලා ගියාම අපි තමා විඳවන්නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් මොනව කියන්නද මන්දා

      Delete
  6. etthatama mm hithuwe meka pattharayaka kathawak kiyala, eth kiyawala awasana venakota theruna me vidiyata hegeem visatara karanna be kiyala kathawakata. dukai akke godak dukai. me athme nolebunat eelagata ena hema athmekadima aiyawa oyata lebenna kiyalai mm prarthana karanne

    ReplyDelete
  7. මේ ආත්මෙ කෙනෙක් ලැබුනොත් එයා එක්ක ආත්ම හතක් ඉන්න වෙනවලු. :) මම හැම තැනම එයාව හොයනවා. හැම කෙනෙක්ගෙන්ම මම දකින්න උත්සහ කරන්නෙ එයාව. ඒත් මට ඒ වගේ ගෞරවයෙන් ආදරෙන් මලකට වගේ සැලකුව කෙනෙක් එයින් පස්සෙ මට මුණ ගැහුණෙ නෑ.

    ReplyDelete
  8. මුලින් මම හිතන්න හැදුවෙ මේක නිකම්ම නිකම් කතාවක් වෙන්න ඇති කියල, මම කැමති නෑ ආදරේ කියන එක මෙහෙම ඉවර වෙනවට. ඒත් ඒ ආදරෙ ඇත්ත තරම තේරෙන්නෙ මේ වගේ සිදුවීමකදි විතරයි. නැත්නම් කොච්චර ආදරේ උනත් ඒක තවත් දෙන්නෙක්ගෙ ආදරයක් විතරයි.

    පුලුවන්නම් හොයල බලන්න, දවසක් මම කියෙව්වා තව සිංහල බ්ලොග් එකක්, එයාෆොර්ස් පයිලට් කෙනෙක්ට ආදරේ කරපු කෙනෙක් ලියපු එකක්. එදා මම ඒකෙ ඔක්කොම බැලුව, ඒ කෙනත් ඔයා වගෙම තත්වෙක, ඇත්ත්ටම දුක හිතෙනව, කොටින්ම මම එදා ඒක බැලුවට පස්සෙ මට ඕනෙ උනේ ඒක අමතක කරන්න, ඉතින් මගෙ ලඟ ලින්ක් එකක් වත් නෑ දෙන්න. හම්බ උනොත් බලන්න, ඔයා තනි වෙලා නෑ කියල හිතෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ පයිලට් ගෙ ගෑණු ළමයා තමයි මේ පෝස්ට් එකේ මුල්ම කමෙන්ට් එක දාල තියෙන මුතුපබලු. අපි ආස උනත් නැති උනත් වෙන්න තියෙන දේවල් වෙනව හරි පව්කාරයි අපි ඒවා හිතේ තියාගෙන ජීවත් වෙනවා.

      Delete
    2. හරි එයා තමයි, මම එයාගෙ සයිට් එකට ගියා. ඒ කියන්නෙ (කොමෙන්ට් එකේ හැටියට ) ඔයාල දෙන්න දන්නවා. එකවගෙ කුරුල්ලො එක අත්තෙලු වහන්නෙ. ඒවගේමයි ජීවිතෙ හරි පුදුමයි, අපි හිතෙන දේවල් නොලැබෙන්නත්, හිතන්නෙ නැති දේ ලැබෙන්නත් සලස්වල තමයි ජිවිතේ අපිව පුදුම කරවන්නෙ. අර සයිට් එක පෙන්නලා ඔයා මාව ආයි අමාරුවෙ දැම්ම, ඒ අන්තිමට තියන පෝස්ට් එක කියවන කොට උගුර හිරවෙනවා වගෙ.

      -ප්‍රසා

      Delete
    3. මමත් ඒ කතාව ලියන එක් අත ඇරලා දැම්මා...හිත් සැහැල්ලු උනාට ආයෙමත් මම මටම රිද්දා ගැනීමක් වෙන හින්දා

      Delete
  9. මුලින් මම හිතන්න හැදුවෙ මේක නිකම්ම නිකම් කතාවක් වෙන්න ඇති කියල, මම කැමති නෑ ආදරේ කියන එක මෙහෙම ඉවර වෙනවට. ඒත් ඒ ආදරෙ ඇත්ත තරම තේරෙන්නෙ මේ වගේ සිදුවීමකදි විතරයි. නැත්නම් කොච්චර ආදරේ උනත් ඒක තවත් දෙන්නෙක්ගෙ ආදරයක් විතරයි.

    පුලුවන්නම් හොයල බලන්න, දවසක් මම කියෙව්වා තව සිංහල බ්ලොග් එකක්, එයාෆොර්ස් පයිලට් කෙනෙක්ට ආදරේ කරපු කෙනෙක් ලියපු එකක්. එදා මම ඒකෙ ඔක්කොම බැලුව, ඒ කෙනත් ඔයා වගෙම තත්වෙක, ඇත්ත්ටම දුක හිතෙනව, කොටින්ම මම එදා ඒක බැලුවට පස්සෙ මට ඕනෙ උනේ ඒක අමතක කරන්න, ඉතින් මගෙ ලඟ ලින්ක් එකක් වත් නෑ දෙන්න. හම්බ උනොත් බලන්න, ඔයා තනි වෙලා නෑ කියල හිතෙයි.

    ReplyDelete
  10. කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාලා හින්දා මම හරි සතුටින් ගොඩ උනේ අදත් මොකක් හරි ජොලි කතාවක් දාල ඇති කියලා හිතාගෙන. ඒත් පෝස්ට් එක කියෙව්වම මට සංජූ ටීචර් ගැන ගොඩක් දුක හිතුනා. මෙච්චර කාලයක් ඔය දුක හිතේ තියාගෙන හිටපු එක ගැන මට හරිම පුදුමයි.

    මම දන්න විදියට දුක හිතෙන දෙයක් හිතේ තියගෙන ඉන්නවට වඩා ඒක කාට හරි කියන එක හොදයි. එතකොට හිත සැහැල්ලු වෙනවා. මේ කතාව බ්ලොග් එකට ලියලා සංජු ටීචර් බලාපොරොත්තු වුනෙත් ඒකද?

    ReplyDelete
  11. හසිත නෑ කියන්න නෙවෙයි මට ඕනි එයාලා ගියත් අපි වෙනුවෙන් මැරුණු අයව මතක තියා ගන්න කියන්න. එයාල නිසයි අද අපි මෙහෙම ඉන්නෙ. කොහොම ඒ මොහොතට මූණ දෙන්න ඇතිද මොනව මතක් වෙන්න ඇතිද මට හිතා ගන්න බෑ. පව් අහිංසක ජීවිත හමුදා නිලධාරියෙක් උනත් ආදරේ කියන්න ආවෙ පොඩි දරුවෙක් වගේ. හරි පව්

    ReplyDelete
  12. ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගවගියෙ........

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නෙ මහ පට්ටපල් බොරුවක්

      Delete
  13. පෝස්ට් එක කියෙවුවා අක්කේ

    ReplyDelete
  14. අඬන්න තරම් දුකයි මට මගෙ පුංචි පිච්ච මල

    ReplyDelete
  15. හිමීවීමම ආදරය නෙවෙයි අක්කා......

    ReplyDelete
  16. හිමිවීමම ආදරය නෙමේ අක්කා...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි දීම පමණයි ආදරේ ලැබීමක් නෑ

      Delete
  17. එහෙම කොල්ලෝ බේරගත්ත රටට අද මොකද වේගෙන යන්නේ??? අපි එතන ඉන්නවද?? උන්ට අපිට කරන්න පුළුවන් සාධාරණය අපි කරමු.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගුණමකු මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට මැරෙන්න උන එක හරිම අසාධාරණයි. අපි කොච්චර දේවල් කරන්න හැදුවත් අමාරුයි. ඇත්තටම ඔවුනුත් එක්ක අපිත් මැරුන නම් හොදයි කියලා මට නම් අනන්ත හිතෙනවා

      Delete
  18. රන්දිකා මේක ෂෙයාර් කරලා තිබුණ. කියන්න වචන නැතිව ගොළු වුණා වගේ .

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා බින්දි. ජීවිතේ ලැබෙනවට වඩා අහිමි වීම් ගොඩයි.

      Delete

Post a Comment

Popular posts from this blog

කාටූන්

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මම ආස ගීත