Wednesday, December 30, 2009

ගුරු (02)

රැග් කතා තවම ඉවර නැත. මේ කතාව කැප වන්නෙ මම කලුතර දිස්ත්‍රික්කයේ තනිව සිටියදි මගෙ සෙවණැල්ල සේ සිටි කලණ මිතුරා වෙනුවෙනි.

පීඨ ගොස් දින කිහිපයකින් අපට පන්ති වලට බෙදන ලදි. මම අයත් වූයේ ජී 1 පන්තියටයි. කඩ්ඩ ඔපවත් ව තිබීමේ පින නිසා බය නැතුව මම පන්තියේ ගොස් වාඩි වුනෙමි. කරුමයට මට ලැබුනේ පන්තියේ සිටි එකම කොල්ලන් 4 දෙනා ගේ මුහුණු බලාගෙන සිටිය හැකි පන්තියකි. කොල්ලන් ට මගෙ තිබුණු බිය ඒ වන විටත් පහව නොතිබිණි. රැග් වීමේ කරුමය නිසා මම බිම බලාගෙනම සිටියෙමි. දේශන 2ක් අවසන් වූ පසු යන්තම් ඔලුව උස්සගෙන සිටීමට මට හැකි විය. කොල්ලන් 4 දෙනාගෙන් එකෙකු මුස්ලිම් වූ අතර ඔහු ට ඇසීමට ප්‍රශ්න බොහෝ විය. අනිකා බුද්ධිමත් පිලිතුරු සැපයූවෙකු වූ අතර මට කෙලින්ම සිටි නිස ඔහු දෙස මම කෙලින් නොබැලීමි. තව එකෙකු පෙනුමින් ම පයිතගරස් වූ අතර අවසන් එකා දැලි රැවුලවත් නොකැපූ තරම් පෙනුම ඇති නිශ්ශබ්ද කොල්ලෙකු විය. 

මීළග කාලපරිච්ඡේදය නිදහස් වූ බැවින් මට මගේ පන්ති සගයන් සමග මුසු වීමට හැකි විය. ගෙවල් කොහෙද? පාසැල කුමක්ද? එක එකා ගෙන් අසන විට පන්තියේ නොසිටියේ යාපනයේ එකෙකු පමණි. නමුත් යාපනයේ කොල්ලො ද ත්‍රස්තවාදීන් ට කප්පම් ගෙවා හෝ තම ගුරු සිහින සැබෑ කර ගැනීමට අපේ බැචා ලා ලෙස එක් වී සිටියහ.

මට කෙලින් ම සිටි කොල්ලා දෙස මා වරක් බැලූ විට ඔහු මා හදුනන්නාක් මෙන් හිස වැනුවේ ය. මම විලි ලා සිනහවක් පා අහක බලා ගතිමි. මෙන්න මූ........ මා අසල තිබූ පුටුවට පැමිණ වාඩි විය. "මළ ජංජාලයයි............ මූ මොකාටද එන්න හදන්නේ?" 

"ඔයා නුවර නේද?" මම උඩ ගොස් බිම වැටුණි.

"ඔයා .............. නේද ඉස්කොලේ ගියේ?" පුටුව හ්‍රමණය වන බවක් මට දැනුනි.

"ඔව් ඔයා මාව දන්නවා. මමත් ඔයාව දන්නවා. මම ඔයා එක්ක කතා කරලත් තියෙනවා" . යකෝ ජීවිතේ ට කොල්ලන් ආශ්‍රය නොකල මම කතා කල කොල්ලා කවුද?

"මම කෑගල්ලේ" මම දන්නා හත් මුතු පරම්පරාවක එකෙක් කෑගල්ලේ නොවීය.

"ඔයා මාව දන්නේ කොහොමද?" යන්තම් කට ඇරගත් මම ඇසුවෙමි.

" ඒ.ටී.අයි. ආවා නේද? මාව මතකම නැද්ද ඔයා ට?"

දෙලෝ රත් වූ මම "දැන් නම් මතකයි අයියේ" යැයි වෙවුලමින් කීවෙමි.

"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් පිස්සුද බන් මට අයියා කියන්න එපා දැන් ඔයයි මමයි එක බැච් එකේ" 
මට ඉන්දික මුණ ගැහුණේ එසේය. වරදවා වටහා නොගන්න මම මෙහි ප්‍රේම කතාවක් නොලියමි. මට සිටි එකම පිරිමි කලණ මිතුරා ගැන ලියමි. 

 ඔහු සෑම තැනම මගේ ආරක්ෂකයා විය. ගෙදරින් කිලෝ මීටර 150ක් පමණ දුර තනිව සිටි මට ඔහුගේ මේ ආරක්ෂාව මගේ මානසික පීඩා වලින් මිදීමට මහත් උපකාරයක් විය. ඔහු සැබවින් ම මට අයියා විය. අනෙක් අය ඉදිරියේ නම කියා ඇමතුව ද ඔහු මගෙ අයියා විය.එය වචන වලින් ප්‍රකාශ වූ සහෝදරකමක් නොවීය. අවබෝධය සහ අනෝන්‍ය සහයෝගය මත ගොඩ නැගුනු අපූරු විශ්වාසය කි.

දෙවසරක් පස්දුන්රට සිටි අපි සීමාවාසික වසර ගත කිරීම සදහා පිට වීමු. එදින මග සිට ඔහු මට අත වනා ගිය සැටි මට තවම මතකය . වසර දෙකක් පුරා අයියා සහ මම ගෙවූ ජීවිතය අතිශය සුන්දර ය. විටෙක අපි දෙදෙනා ප්‍රසිද්ධියේ රණ්ඩු වෙමු. නැවත යාලු වෙමු. මා තරහ වී පන්තියෙන් අඩාගෙන පිටවූ දිනෙක ඔහු පන්තියේ තිබූ ඝනකම යකඩ පොල්ලක් නවා එය පසෙකට විසි කර පන්තියෙන් පිටව ගොස් තිබුණි. ඒ ඔහු ආවේගය පිට කල අයුරුය. ඒ මා සමග තරහ නොව මගෙ කදුලු දැකීම නිසා ඔහුට ඇති වූ වරදකාරී හැගීමය. ඒ ඇසූ මට නැවත ඇඩුණි. ඒ මගෙ අයියා ගේ හැටිය.
 
සීමාවාසික වසරේ දී ඔහු මට බොහෝ සමීප විය. පීඩනය දරා ගැනීමට නොහැකි අවස්ථා වල මම ඔහුට දුක කියා කදුලු සලමි. හේ මහත් ඉවසීමකින් මා කියන දේ අසා සිටියි. වවුලෙකු මෙන් ටෙලිෆෝන් පෙට්ටියක එල්ලී ඔහු පාන්දර 1-2 වන තුරු මගේ ප්‍රශ්න වලට පිලිතුරු සපයයි. සීමාවාසික වසර අවසන ඔහු මගෙන් ද සමු ගත්තේ ය. අවංකව පැවසුවහොත් මගේ කුහක කම නම් මට අයියාව අවශ්‍ය නොවීය. ඔහු ද මගෙ ජීවිතයට බලෙන් එබීමට නොපැමිණියේ ය. ඉන් පසුව මා අයියා දුටුවේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේදී ය. එදින නැවත දුරකථන අංක හුවමාරු කර ගත්ත ද ඔහු වැඩ කරන දුශ්කර පාසලට දුරකථන ක්‍රියා නොකරන බැවින් නැවත මම ඔහුගේ නිවසට කතා කර කරදර කිරීමට නොගියෙමි.

අයියා මගේ ජීවිතයෙන් ගොස් බොහෝ කල් ය. හදිසියේ ඔහු මතක් වූයේ කිම දැයි ඔබට සිතෙනු ඇත. ඔහුව මගෙ මතකයට නැවත රැගෙන ආවේ කසුන් කල්හාර ය. අයියා ට මේ ලිපිය දැකීමට හැකි වී නම් යැයි මට සිතෙයි. නමුත් ඔහු අත පොවන මානයෙන් දුරය. ඔහු ඔහුගේ ම ජීවිතයක් පටන්ගෙන ඇතුවා විය හැක. එයට බාධා කිරීමට මට උවමනාවක් නැත. මගේ හොදම මිතුරා හමු වී අහිමිව ගියේ එසේ ය. 

ඔහුව මට සිහි කරවූ පද කිහිපය ඔහුගේ ඒ ආදරණීය මිත්‍රත්වයට පුද කරමි.

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ 
විද ගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදා ද නුඹ එන්නෙ 
පිණි බින්දු මල් වැහි අරන්
සද මිතුරි
සිත මිහිරි
කල මැනවී .................................!!!!!





ගුරු (01)

විශ්වාස කල ද නොකල ද මට රැකියාවක් ලැබුණි. අපේ අම්මාට එය ගෙදර කැවුම් ඉවීමට තරම් මංගල කාරණාවක් විය. තිත්ත වී නොතිබුණ ද යම් යම් කාරණ උඩ මට ද රැකියාවක් උවමනා වී තිබුණි. (එය මා කල ලොකුම මෝඩකම බව අදටත් මම පිලි ගනිමි.) පාසැලෙන් එලියට් එන විට නැවත පාසලකට අඩියක් නොතබමියි ශපථ කරගෙන එලියට පැමිණි මම නැවත පාසලට යාමට මග පාදා ගත්තේ එලෙසය.


 පස්දුන්රට යන විට මම උසස් තාක්ෂණ ආයතනයේ අම්බානක වාත වී සිටියෙමි. වාත දින 28න් මම එහි ගොස් තිබුනේ දින 14ක් පමණි. එය මට එතරම්ම වාතයක් වී තිබුණි. මම යන්නේ අත්‍යවශ්‍යම දේශන ඇති දවසට පමණි. මා වාත වන බව දන්නා අම්මා ද හරියට 4 ට මාව රැගෙන යාමට ආයතනයේ ගේට්ටුව ගාවට පැමිණේ. ජ්‍යෙෂ්ඨ උත්තම අයියලා මට අම්මා දකින විට තිත්ත කුණුහරුපයෙන් බැණ වදියි. "ඈ බොල තොගෙ අම්ම මේක මොන්ටිසෝරිය කියලද හිතාගෙන ඉන්නෙ?" යැයි ඔවුන් මට තර්ජනය කරති. පරක්කු කරන එක හොද නැති බැවින් මට ඉක්මනින් එලියට යාමට ලැබේ. අනික් උන් 6 වන තෙක් වාත වෙද්දි මම 4.30 ට එලියට පැන ගනිමි. මා එසේ කලේ ආත්මාර්ථකාමි බව නිසා නොව මානසිකව මම බිංදුවටම ඇද දැමීමට වාත කාලය සමත් වූ බැවිනි. මේ සියලු අත්දැකීම් සමග විද්‍යා පීඨයට පා තැබුවේ වාත කිරීමට ආවොත් දෙන්නම් ජම්බු යන න්‍යාය මතය.
 
 9 දෙනෙක් සිටි නේවාසිකාගාර කාමරයේ 11 වෙනියා ලෙස මට යාමට සිදු විය. අනික් 9 දෙනාම මට දින කිහිපයකට පෙර පැමිණි අය වේ. ඔවුන් රවති ඔරවති. මුන් අතින් ම වාත වීමට වේ යැයි මට හැගුණි. අපේ තාත්තා අසල සිටි කෙල්ලකට මට රැග් කරන්න එපා යැයි පැවසූ විට ඈ කීවේ මෙහෙ රැග් කරන්නේ නෑ කියා පමණි. ජීවිතයේ පළමු වතාවට මම තනි වූ පසු මට එක දෙයක් සිහි විය. "දෙයියෝ සාක්කි...... අදින් පස්සෙ මේ යාර 6ක් දිග සාරිය පටලවගන්නෙ කොහොමද?"


දින 2ක් පමණ ඇඩුවෙමි. ඒ ගෙදර සිහි වී ය. ඇත්තම කියතොත් මනාලියන් මංගල දිනයේ දී හඩන්නේ ඇයි දැයි මට වැටහුනේ එදා ය. දින 2ක් නොව සිහි වන වාරයක් පාසා මගෙ ඇස් වලින් කදුලු වැටේ. රැග් මතක් වන විට ගුරුකම පැත්තක තබා ගෙදර යන්න ට සිතේ. දින කිහිපයක් ගත උනද රැග් කෙරෙන පාටක් නැත. ඒ වන විට මගේ කාමරයේ මා සමග දැවුරුද්දක් ගෙවීමට පවු කර සිටි එවුන් (විටෙක මෙහි අනික් පැත්ත ද සිදු විය) මා සමග සමීප වී සිටියහ. "මෙහෙ රැග් කරන්නේ නැද්ද?" 


ඕනෑම එකකට පනින හසා උත්තර බැන්දාය.


"අපේ ප්‍රසිඩන්ට් සර් සැරයි. රැග් කරලා අහු උනොත් ගහනවලු. එක නිසා මෙහෙ රැග් නෑ."
"එයා ඉස්සර ආමි එකෙ ඉදල තියෙනවලු. මෙහෙ නරකටම තිබ්බ රැග් එක නැති කරන්නලු එයාව මෙහාට දැම්මෙ" තව එකියක් පිලිතුරු බැන්දා ය.


දෙය්යන්ගේ බැල්මෙන් හා පීඨාධිපති තුමාගේ බැල්ම නිසා එදයින් පසු සංජු සැනසිල්ලේ නිදා ගත්තා ය. දන්නා තරමින් මේ සිරි ලංකාවේ රැග් නැති එකම විද්‍යාපීඨය පස්දුන්රට ය. අනෙකුත් බැචා ලා රැග් ගැන කියන විට පස්දුන්රට අපි "අලයෝ" වෙමු. නමුත් ඒ "අල" ගැන අපි ආඩම්බර වෙමු. 

Tuesday, December 29, 2009

පරිප්පු

කාපු පරිප්පු වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක්...... අයෙ නම් ලංකාවෙ දේශපාලනය ගැන ලියන්නෙ නෑ කියල හිතා ගත්තා. ලියන්න තරම් වැදගත් දෙයකුත් නැති තරම් නෙ. ඔන්න මීට පස්සෙ සංජු එක්ක නෝ පොලිටික්ස්.


අපි තාම චූටි පැටවු නෙවෙ. 

Wednesday, December 23, 2009

බිංදුව සොයා යෑම....!

බිංදුව යනු මම පාසැල් ජීවිතයේ කිසි දිනෙක නොලද දෙයකි. දන්නා නැටුම නොකර බටහිර සංගීතය කිරීමට ගොස් වරිගෙ නසා ගැනීමට ක්‍රියාකළනිසා බිංදුවට් ආසන්න එකොළහ ප්‍රගති වාර්තා පොතේ සටහන් කර ගැනීමට මට වරක් හැකිවිය. බිංදුවට ඇති බිය නිසාම පරාණ බය පසෙක තබා විදුහල්පතිතුමිය හමුවේ කන්කෙන්දිරි ගෑමේ ප්‍රථිඵලයක් ලෙසමට නැවත නැටුම් පන්තියට යා හැකි විය. ඒ බිංදුවට ඇති අසීමිත බිය නිසාය. දෙවන බින්දුව මා ලැබුවේ නැවතත් වරිගෙ නසා ගැනිමට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂන ආයතනයට ඇතුලත් වූ පසුය. වාණිජ්‍ය විෂය උසස් පෙළට හදාරා වසර ගනනාවකට පසු තොරතුරු තාක්ෂණය කිරීමට ගොස් මා ඇණ ගත්තේ ගණිතය විෂය මට වහ කදුරු මෙන් වූ නිසාය. බලතල සහිතව බිංදුව භාවිතා කිරීමට මට රස්සාව ලැබුනු පසු හැකි විය. ( ඒ කතා පසුවට ) ඉන්පසු මම බොහෝ බිංදු දුටුවෙමි. මගේ බැංකු පොතේශේෂය බොහෝ විට බිංදුවට සමාන වේ. පසුම්බිය ද දිග ඇරියාට වැඩක් නැත. සමහර මාසවල අපේ අම්මාත් තාත්තාත් මා සමගම බිංදුවට වැටේ. එවිට අපි රන් කරන්නේ මගේ හිගන පඩිය මෙන් තුන් ගුණයක වැටුපක් ලබා ගන්නා මල්ලීගේ පිහිටෙනි.අපි තිදෙනාටම නැතිඋගේ ලෝබ ගතිය නිසා බිංදුවට වැටීමේ අවදානම නොමැති එකම පොර අපේ මල්ලී ය. නමුත් මෙ සියලු බිංදු වලට පරාද වන බිංදුවක් මට ඊයේ පෙරේදා හමු විය. මේ බිංදුව නිසා මට මගෙ නම ලිවීමට නොහැකි විය. මා ජීවත් වන රටේ නම ලිවීමට නොහැකි විය. මේ බිංදුව නිසා මට සිංහල යුනිකෝඩ් ඩ එපාම වී තිබිණ. ගිනි නරියා ගේ 3.5 බා ගත් පසු මට බිංදුව සෙවීමේ උණක් ඇති විය. ශාකුන්තල ගේ ද, ධනුක ගේ ද, ඪීප්ස් ගේ ද බ්ලොග් පීරා යන්තම් යුනිකෝඩ් ගයිඩ් එක සොයා ගන්නා විට වෙලාව පාන්දර 3 ය. ඒ වෙලාවට බිංදු තබා අලියෙක් වත් සෙවීමට මට හැකි නොවීය. පුසෙකු සේ නැවත මූණු පොතින් ඩීප්ස් ගෙ පිටුවට ගොස් උදව් ඉල්ලා සිටියෙමි. උදේ මම එන්නටත් කලින් ම ඩීප්ස් මට ලින්ක් ගනනාවක් එවා ලියන හැටි ද විස්තර කර දුන්නාය. ඩීප්ස් ගේ පිහිටෙන් මම අවසානයේ දී බිංදුව සොයා ගතිමි.

කාලෙකට පස්සෙ.............!!!

කාලෙකට පස්සෙ බ්ලොග් ලියන්න සෙට් වුණෙ පටන් ගත්ත දවසෙ වගේම පට්ට පාන්දර වෙලාවක. බකමූණට වගෙ නින්ද යන්නෙ නැති ලෙඩෙ තදින්ම තියෙන නිසා කොච්චර කලින් නිද ගන්න හැදුවත් නින්ද නම් ආසවකටවත් එන්නෙ නෑ කලින්. ඩීප්ස් ගෙ ලින්ක් එකක් දැකලා මම නිකමට වගෙ ගිනි හිවල ගෙ අලුත් අප්ඩෙට් එක දාගෙන ඇඩ් ඔන්ස් ටික ක්‍රියාත්මක කලා. දෙය්යනෙ කියල දැන් නම් යුනිකෝඩ් ටයිප් කරන්න පුලුවන් බබා වගෙ. පුදුම කම්මැලි කමකින් හිටියෙ කොන්වර්ටර් එක පාවිච්චි කරන්න. දැන් නම් අවුලක් නෑ වගෙ. මගෙ ආදරණීය ඩීප්ස් සහෝදරියට තෑන්ක් යූ වේවා! ඔයාලටත් සින්හල පාවිච්චි කරන එක ලෙඩක් වගෙ නම් මේ ලින්ක් එකෙන් ගිහින් මම කලා වගෙ සින්හල ක්‍රියාත්මක කර ගන්න.


https://addons.mozilla.org/en-US/firefox/addon/53146 හැදුවේ Isuru Udana අදහස දීපිකා ප්‍රියදර්ශනි