ගුරු (02)

රැග් කතා තවම ඉවර නැත. මේ කතාව කැප වන්නෙ මම කලුතර දිස්ත්‍රික්කයේ තනිව සිටියදි මගෙ සෙවණැල්ල සේ සිටි කලණ මිතුරා වෙනුවෙනි.

පීඨ ගොස් දින කිහිපයකින් අපට පන්ති වලට බෙදන ලදි. මම අයත් වූයේ ජී 1 පන්තියටයි. කඩ්ඩ ඔපවත් ව තිබීමේ පින නිසා බය නැතුව මම පන්තියේ ගොස් වාඩි වුනෙමි. කරුමයට මට ලැබුනේ පන්තියේ සිටි එකම කොල්ලන් 4 දෙනා ගේ මුහුණු බලාගෙන සිටිය හැකි පන්තියකි. කොල්ලන් ට මගෙ තිබුණු බිය ඒ වන විටත් පහව නොතිබිණි. රැග් වීමේ කරුමය නිසා මම බිම බලාගෙනම සිටියෙමි. දේශන 2ක් අවසන් වූ පසු යන්තම් ඔලුව උස්සගෙන සිටීමට මට හැකි විය. කොල්ලන් 4 දෙනාගෙන් එකෙකු මුස්ලිම් වූ අතර ඔහු ට ඇසීමට ප්‍රශ්න බොහෝ විය. අනිකා බුද්ධිමත් පිලිතුරු සැපයූවෙකු වූ අතර මට කෙලින්ම සිටි නිස ඔහු දෙස මම කෙලින් නොබැලීමි. තව එකෙකු පෙනුමින් ම පයිතගරස් වූ අතර අවසන් එකා දැලි රැවුලවත් නොකැපූ තරම් පෙනුම ඇති නිශ්ශබ්ද කොල්ලෙකු විය. 

මීළග කාලපරිච්ඡේදය නිදහස් වූ බැවින් මට මගේ පන්ති සගයන් සමග මුසු වීමට හැකි විය. ගෙවල් කොහෙද? පාසැල කුමක්ද? එක එකා ගෙන් අසන විට පන්තියේ නොසිටියේ යාපනයේ එකෙකු පමණි. නමුත් යාපනයේ කොල්ලො ද ත්‍රස්තවාදීන් ට කප්පම් ගෙවා හෝ තම ගුරු සිහින සැබෑ කර ගැනීමට අපේ බැචා ලා ලෙස එක් වී සිටියහ.

මට කෙලින් ම සිටි කොල්ලා දෙස මා වරක් බැලූ විට ඔහු මා හදුනන්නාක් මෙන් හිස වැනුවේ ය. මම විලි ලා සිනහවක් පා අහක බලා ගතිමි. මෙන්න මූ........ මා අසල තිබූ පුටුවට පැමිණ වාඩි විය. "මළ ජංජාලයයි............ මූ මොකාටද එන්න හදන්නේ?" 

"ඔයා නුවර නේද?" මම උඩ ගොස් බිම වැටුණි.

"ඔයා .............. නේද ඉස්කොලේ ගියේ?" පුටුව හ්‍රමණය වන බවක් මට දැනුනි.

"ඔව් ඔයා මාව දන්නවා. මමත් ඔයාව දන්නවා. මම ඔයා එක්ක කතා කරලත් තියෙනවා" . යකෝ ජීවිතේ ට කොල්ලන් ආශ්‍රය නොකල මම කතා කල කොල්ලා කවුද?

"මම කෑගල්ලේ" මම දන්නා හත් මුතු පරම්පරාවක එකෙක් කෑගල්ලේ නොවීය.

"ඔයා මාව දන්නේ කොහොමද?" යන්තම් කට ඇරගත් මම ඇසුවෙමි.

" ඒ.ටී.අයි. ආවා නේද? මාව මතකම නැද්ද ඔයා ට?"

දෙලෝ රත් වූ මම "දැන් නම් මතකයි අයියේ" යැයි වෙවුලමින් කීවෙමි.

"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් පිස්සුද බන් මට අයියා කියන්න එපා දැන් ඔයයි මමයි එක බැච් එකේ" 
මට ඉන්දික මුණ ගැහුණේ එසේය. වරදවා වටහා නොගන්න මම මෙහි ප්‍රේම කතාවක් නොලියමි. මට සිටි එකම පිරිමි කලණ මිතුරා ගැන ලියමි. 

 ඔහු සෑම තැනම මගේ ආරක්ෂකයා විය. ගෙදරින් කිලෝ මීටර 150ක් පමණ දුර තනිව සිටි මට ඔහුගේ මේ ආරක්ෂාව මගේ මානසික පීඩා වලින් මිදීමට මහත් උපකාරයක් විය. ඔහු සැබවින් ම මට අයියා විය. අනෙක් අය ඉදිරියේ නම කියා ඇමතුව ද ඔහු මගෙ අයියා විය.එය වචන වලින් ප්‍රකාශ වූ සහෝදරකමක් නොවීය. අවබෝධය සහ අනෝන්‍ය සහයෝගය මත ගොඩ නැගුනු අපූරු විශ්වාසය කි.

දෙවසරක් පස්දුන්රට සිටි අපි සීමාවාසික වසර ගත කිරීම සදහා පිට වීමු. එදින මග සිට ඔහු මට අත වනා ගිය සැටි මට තවම මතකය . වසර දෙකක් පුරා අයියා සහ මම ගෙවූ ජීවිතය අතිශය සුන්දර ය. විටෙක අපි දෙදෙනා ප්‍රසිද්ධියේ රණ්ඩු වෙමු. නැවත යාලු වෙමු. මා තරහ වී පන්තියෙන් අඩාගෙන පිටවූ දිනෙක ඔහු පන්තියේ තිබූ ඝනකම යකඩ පොල්ලක් නවා එය පසෙකට විසි කර පන්තියෙන් පිටව ගොස් තිබුණි. ඒ ඔහු ආවේගය පිට කල අයුරුය. ඒ මා සමග තරහ නොව මගෙ කදුලු දැකීම නිසා ඔහුට ඇති වූ වරදකාරී හැගීමය. ඒ ඇසූ මට නැවත ඇඩුණි. ඒ මගෙ අයියා ගේ හැටිය.
 
සීමාවාසික වසරේ දී ඔහු මට බොහෝ සමීප විය. පීඩනය දරා ගැනීමට නොහැකි අවස්ථා වල මම ඔහුට දුක කියා කදුලු සලමි. හේ මහත් ඉවසීමකින් මා කියන දේ අසා සිටියි. වවුලෙකු මෙන් ටෙලිෆෝන් පෙට්ටියක එල්ලී ඔහු පාන්දර 1-2 වන තුරු මගේ ප්‍රශ්න වලට පිලිතුරු සපයයි. සීමාවාසික වසර අවසන ඔහු මගෙන් ද සමු ගත්තේ ය. අවංකව පැවසුවහොත් මගේ කුහක කම නම් මට අයියාව අවශ්‍ය නොවීය. ඔහු ද මගෙ ජීවිතයට බලෙන් එබීමට නොපැමිණියේ ය. ඉන් පසුව මා අයියා දුටුවේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේදී ය. එදින නැවත දුරකථන අංක හුවමාරු කර ගත්ත ද ඔහු වැඩ කරන දුශ්කර පාසලට දුරකථන ක්‍රියා නොකරන බැවින් නැවත මම ඔහුගේ නිවසට කතා කර කරදර කිරීමට නොගියෙමි.

අයියා මගේ ජීවිතයෙන් ගොස් බොහෝ කල් ය. හදිසියේ ඔහු මතක් වූයේ කිම දැයි ඔබට සිතෙනු ඇත. ඔහුව මගෙ මතකයට නැවත රැගෙන ආවේ කසුන් කල්හාර ය. අයියා ට මේ ලිපිය දැකීමට හැකි වී නම් යැයි මට සිතෙයි. නමුත් ඔහු අත පොවන මානයෙන් දුරය. ඔහු ඔහුගේ ම ජීවිතයක් පටන්ගෙන ඇතුවා විය හැක. එයට බාධා කිරීමට මට උවමනාවක් නැත. මගේ හොදම මිතුරා හමු වී අහිමිව ගියේ එසේ ය. 

ඔහුව මට සිහි කරවූ පද කිහිපය ඔහුගේ ඒ ආදරණීය මිත්‍රත්වයට පුද කරමි.

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ 
විද ගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදා ද නුඹ එන්නෙ 
පිණි බින්දු මල් වැහි අරන්
සද මිතුරි
සිත මිහිරි
කල මැනවී .................................!!!!!





Comments

  1. ඇත්තටම ගැහැණු යාලුවන්ට වඩා පිරිමි යාලුවෝ හොඳයි.
    ඒ ගොල්ලෝ විශ්වසවන්තයි.
    ඔහු යාලුවෙක් උනානම් නියම යාලුවෙක්ම තමයි.

    ReplyDelete
  2. මේ කතාව ඇතුලේ තවත් කතන්දරයක් තියෙනවා!

    ReplyDelete
  3. මේ කතාව ඇතුලේ යම් කතන්දරයක් තිබ්බද ඒ කතාවත් ඉවරයි. හේතුව නම් අහේතුවයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

කාටූන්

මම ආස ගීත