චක් දේ ඉන්දියා......... අපි ගැන ලැජ්ජ හිතුණු දවස.

 අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම මේ මතෘකාව දාන්න සිද්ද උන එක ගැන නම් ටිකක් හිතට දුකයි. නමුත් ඒ ගැන ලියන්න තියෙන දේවල් මතක් වෙනකොට නම් ඒ දුක අඩු වෙනවා.




දෙසැම්බර් 31 වෙනිද ට ලංකාවෙ තියෙන ටෙලිවිසන් චැනල් සේරම හින්දි චිත්‍රපට පෙන්නන තරගයක් තියනවා. ඒ අවුරුද්දේ දි ජනප්‍රිය වුණ චිත්‍රපට එකින් එක සියලුම චැනල් වල පොර කාගෙන පෙන්නන්නවා. ඉස්කෝලෙ යන කාලෙ බලපු හින්දි චිත්‍රපට වලට පින් සිද්ද වෙන්න මම අද මුහුණු පොතේ හින්දියෙන් වැඩ පෙන්නනවා. ඒ පුරුද්ද නිසා ද මන්දා ඉදලා හිටලා ෆිල්ම් එකක් යනකොට බලන්නමයි හිතෙන්නෙ.

මේ දෙසැම්බර් 31 වෙනිදා මම බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් ටැලිවිසොන් එකේ ගියා. කොල්ලො කෙල්ලො ගැන කියන සම්මාන ගොඩක් ගත්ත ෆිල්ම් එකක්. ගෙදර 4 දෙනා බලන්න සෙට් උනාම බලන්න වෙන්නෙ වලි තමා. ඒත් ඊයෙ නම් මට තනියම රජ වෙන්න ලැබුනා. චැනල් සේරම මාරු කලත් අන්තිමට හිත නැවතුනේ මෙතන. බලන්න හිටපු එක නෙවෙයි....... "චක් දේ ඉන්දියා "

මුලින් ෆිල්ම් එකේ ප්‍රචාරක පට යනකොට මම හිතුවෙ මේක මහ කම්මැලි එකක් කියලා. ඒත් ටිකක් බලනකොට තමයි ඊයෙ තේරුනේ මේක නොබලපු මෝඩකම කියල.


බලපු හැමෝම මේකෙ කතාව දන්නව ඇති. ඉන්දියානු කාන්තා හොකී කණ්ඩායම ලෝක කුසලානය දක්වා ගෙනියන පුහුණුකරුවෙක්, ක්‍රීඩිකාවො 16ක් අතර තියෙන හරිම සුන්දර කතාවක්. ඇත්තම කිව්වොත් මේකෙ මම හැමදාම දැකපු සම්ප්‍රදායක් බිදපු චිත්‍රපටයක්. ඒකයි මම මේ කතාවට කැමති.


පාසැල් කාලයේ දි මම මේ ක්‍රිඩිකාවො අත් දකින දෙය අත් වින්දා. මගෙ ක්‍රීඩාව ට නැවතීමේ තිත වැටුනෙත් ඒ සම්ප්‍රදාය වෙනස් කරන්න ගිය නිසා. ඒත් චිත්‍රපටයක හරි මම පුංචි කෙල්ලක් විදිහට කරන්න හදපු දේ අදටත් වලංගුයි, ඒක තමයි ඇත්ත කියලා මගේ ඇස් ඉදිරියේ මැවෙනකොට මට දැනුනු හැගීම කියා ගන්න බැරි තරම් දෙයක්. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවො අලුත් කෙල්ලන්ට චණ්ඩි වෙන හැටි, පුහුණුකරු ට ඉහලින් යන්න හදන හැටි, ආවේගය, ඉරිසියාව, කෑපී පෙනීමේ ආශාව හරිම අපූරුවට ඒ චිත්‍රපටය තුල මවලා තිබුනා. ඒ වගේම ක්‍රීඩාවට අවශ්‍ය කණ්ඩායම් හැගීම, එකමුතු බව, සැලසුම් කිරීම වගේ අපි පාසැල් කාලයේදි නොකරපු දේවල් මොන තරම් වැදගත් ද කියලා එහි අපූරුවට පෙන්නල දීලා තිබුණා.

අනික මම දැකපු වැදගත්ම දේ තමයි ඒ ක්‍රීඩිකාවන්ට ජාත්‍යාලය හා කණ්ඩායම් හැගීම ඇති කරවන ආකාරය. ටිකක් බලනකොට තමා දැනෙන්නේ ක්‍රීඩිකාවන් විතරක් නෙවෙයි නරඹන අපි පවා ජාත්‍යාලයෙන් හා කණ්ඩායම් හැගීමෙන් පුරවන්න මේ සුන්දර කතාවට පුලුවන් වෙලා කියලා. කතාව නරඹන ඕනෑම කෙනෙක් පැය 3 කට ඉන්දියානුවෙක් කරන්න සමත් චමත්කාරජනක කතාවක් "චක් දේ ඉන්දියා" . කොටින්ම කිව්වොත් මේ කතාවේ අවසාන කොටසේ දි මම හිටියෙත් පුටුවෙන් නැගිටලා. මගේ ශරීරයේත් ලේ ගමනාගමනය වැඩි වෙලා තිබුනේ හරියට මම එතන ජීවත් වුණා වගේ.

 එක දවසක් හරි ක්‍රිකට් පිත්තක් හොකී පිත්තක් අල්ලපු කෙනෙකුට, ජාතික කණ්ඩායමක් එක්ක දවස් දෙකක් ජීවත් වුන කෙනෙකුට වුනත් අප්පිරියාවක් නැතුව බලන්න පුලුවන් ක්‍රීඩාශීලි සහ ක්‍රීඩාවේ කරන කැප කිරීම් ගැන උගන්වන අයුරු හිත ගන්නටත් බැරි තරම් සත්‍යය. විශේෂයෙන් තරුණ ගැහැණු ළමයි කණ්ඩායමක් කරන කැපකිරීම් හිතා ගන්නත් බැරි තරම් විශිෂ්ඨයි. ඒ රගපෑම, ක්‍රීඩාශීලීත්වය අපූරු කතාවක් තුල අපිව ජීවත් කරවනවා.

චිත්‍රපටය බලල ඉවර උනාම මට අපේ රට ගැන පොඩි දුකක් අති වුණා. ක්‍රීඩාව ගැන නෙවෙයි. සිනමාව ගැන. 

ගොඩක් වෙලාවට අපේ රටේ සිනමාකරුවො කියල හිතාගෙන ඉන්න අය හිතන්නේ බොලද සිනමාව ගැන විතරයි. නැත්නම් ඉතිහාසයේ තියෙන කතාවක් පුනරූපණය ගැන විතරයි. අලියෙක් පොඩි දරුවො දෙන්නෙක් එක්ක චිත්‍රපටයක් හදලා ලාභ ලබන අයත් නැතුව නෙවේ. නමුත් ඔබ බලලා තියෙනවද මේ රට ලෝකෙ තියෙන හැම රටටම වඩා උතුම් කියන දේ මෙ රටෙ මිනිස්සුන් ට පෙන්වන චිත්‍රපටයක්? කරන්න බැරි දෙයක් නෑ කියල මිනිස්සුන් ට උගන්වන චිත්‍රපටයක්? බලලා ඉවර උනාට පස්සේ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයෙන් නැගිටලා යන ප්‍රේක්ෂකයෝ ඔබ ලංකාවෙදි දැකලා තියෙනවද???

මම නම් අද වෙනකල් දැකලා නෑ.  නමුත් ගොඩක් චිත්‍රපට බැලුවම ලැජ්ජවෙන් මම මාරු වෙන අවස්ථා නම් තියෙනවා.

 මිනිසුන් ගේ ප්‍රේමය ඕනෙවට වඩා දැක්කම ඒක එපා වෙනවා. අච්චුව එකම උනාම ඊටත් වඩා ඉක්මනට එපා වෙනවා.  ලංකාවේ ජනප්‍රියයි කියන අච්චුවෙ මම දැකලා තියෙන්නේ ඔය වර්ග දෙක. ඒ ඇරෙන්න අලි හා බබාලා ඉන්න දිහා නම් බලන්නේවත් නෑ.  පරිකල්පන ශක්තිය නිර්මාණ කරුවෙකුට උපරිම වශයෙන් තියෙන්න ඕනේ. සුලු ම සුලු සිද්ධියක් අපූර්ව සිනමා කෘතියක් වෙන්නේ එතකොටයි.

මේ මගේ හැගීම. කී දෙනෙක් මේකට එකග වේද කියන්න මම දන්නෙ නෑ. මම ලංකාවේ කතන්දරවලින් බැලුවට පස්සේ ආපහු බලන්න හිතෙන කතාවක් නැති තරම්. හැම කතාවෙම ප්‍රේමය තියෙනවා. ප්‍රේමය බැරි වුණොත් අමාරුවෙන් හරි අනියම් ප්‍රේමයක් හරි රිංගවනවා. ඉන් පස්සේ පවුලේ ප්‍රශ්න පිලිබද කතා කරන තාරුන්‍යයේ අපූරු කතිකාව හරි මොකක් හරි නමකින් කතාව එලියට දානවා. අහ්.... කියන්න අමතක උනා..... අසික්කිත විහිලු සපයන්නෙක් අනිවාර්යෙන් ඉන්නම ඕනේ. නැටුම්.... කියල වැඩක් නෑ.

අපේ සිනමාව වෙනස් වෙන්න ඕනේ. අලුත් මානයන් කරා සිනමාකරුවන් තමන්ගෙ උපකල්පන ශක්තීන් විහිදුවන්න ඕනේ. සල්ලි හම්බ කිරීම නොව ගුණාත්මක බව, වෙනස්කම් සිද්ධ වෙන්න උවමනායි. හිරිකිත කොපි කිරීමත් අනිවාර්යයෙන් නවත්තන්න ඕනේ. 

එහෙම දවසක් එනකල් .................................. "චක් දේ ශ්‍රි ලංකා"

Comments

  1. Ya akka, What a nice movie.
    http://www.youtube.com/watch?v=fcKqMkYXzYU

    ReplyDelete
  2. අනේ....මමත් මේ චිත්‍රපටිය බලන්න පටන් ගත්තට බැලුවෙ නැහැ.
    මම හිතුවා හොඳ චිත්‍රපටියක් නෙවේ කියලා..
    අපරාදේ..... :(

    ReplyDelete
  3. 3idits, To sir with love,Brave heart,A walk to remember,Perl harbor, වෙලාව තියේ නම් හොයං බලන්න.

    ReplyDelete
  4. 3 idiots, to sir with love, brave heart, a walk to remember මම හරිම ආසාවෙන් බලපු සහ කියවපු කතන්දර. to sir with love අපි පස්දුන්‍ රට දි ඉංග්‍රිසි සාහිත්‍යය ට ඉගෙන ගත්තා. එයින් පස්සේ අන්තර්ජාලය පෙරලලා මම චිත්‍රපටය හොයාගෙන බැලුවා. තවත් එකක් මේ ගොඩට එකතු කරන්න ඕනි. The Notebook. a walk to remember වගේ ම හරිම ලස්සන ආදර කතාවක්.

    ReplyDelete
  5. A beautifull mind පුළුවන් නම් බලන්න

    ReplyDelete
  6. ඇත්තටම අපේ තියෙන්නෙ මහ මෝඩ සිනමාවක්(ඇත්ත පිළිගන්න වෙනවනෙ ).... මොන විදිහෙ එකක් බැලුවත් හිනාවෙන්න පුළුවන් තරමට ගොන් පාර්ට්... ඉඳල හිටල තමයි හොඳයි කියන්න පුළුවන් එකක් එළියට එ‍න්නෙ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

මම ආස ගීත

I am a TERRORIST ! ආයාගේ පියා!!!!