කාටූන්

අද මම ලියන්නම් කියලා හිතාගෙන ආවෙ  කාටුන් ගැන. 

මේ මම පොඩි කාලෙ පිස්සෙක් වගේ බලපු කාටුන්. ඒ වගේම මගෙ වර්තමාන ජීවිතයටත් ලොකු බලපෑමක් මේ කාටුන් නිසා මට ලැබුනා. නමුත් කියන්න දුකයි අද ළමයින් ට ඒ දේ ලැබෙන්නෙ නෑ.  අඩුම ගානෙ මේ කාටුන් බලන්නවත් ලැබෙන්න හරිම කලාතුරකින්. 

 මේ කාටුන් වලින් මම ලබා ගත්ත ප්‍රධාන දේ තමා මගේ ළමා කාලයේම කඩුව පාවිච්චි කරන්න පොඩි තල්ලුවක් මේවයින් ලැබුන එක. දැන් නම් ඕනි කාටුන් එකයි එපා කාටුන් එකයි හැම එකම සිංහලෙන් හඩ කවලා නිසා කාටුන් එකේ හරය වගේම ඒකෙන් අපිට ලබා ගන්න තියෙන යම් යම් දේවල් නැති වෙලා යනවා. මම පහුගිය කාලෙ හරි අපූරු දෙයක් ළමයින් ගෙන් නිරීක්ෂණය කලා. ළමයි තමගෙ කතා ශෛලිය ගොඩ නගා ගන්නෙ තමන් කැමති කාටුන් එකේ විදියට. නැත්නම් තමා කැමති චරිතයක් විදියට. සියයට සීයක් ම නැතත් සියයට පණහක පමණ බලපෑමක් එයින් ලැබෙනවා. 

අනිත් එක තමයි හොද දේවල් මොනවද හොද පැත්තට කතා කරන්න ඕනි කියන එකත් සමාජයට දුශ්ඨයෙකු නොවෙන්න කියන දේත්.  පුංචි කාටුන් 2-3ක් මගින් ඒක හරියට තේරුම් කරලා දුන්නට අද කාලෙ කාටුන් නම් අනේ මන්දා....! බලන්නත් අප්පිරියයි. ඒවගෙ හඩ කැවීම් ඊටත් වඩා අප්‍රසන්නයි. චරිත වලට හඩ කවන්න ඉන්න සමහර කටහඩවල් ඒ චරිතෙට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. සමහර චරිත වලට හඩ කවන අයගෙ කට හඩවල් ඇහෙනකොට හිතෙන්නෙ නොම්මර 1 වැලි කඩදාසියකින් උගුර පොඩ්ඩක් මැද ගන්න කියන්න මොකද කියන වචන ඇහෙන්නෙ නෑ. ඔක්කොම එක වගේ. කතාව ආරම්භයේදිත් කතාවෙ උච්චම අවස්ථාවේදීත් සතුටු දායක අවස්ථාවලත් දුක්බර අවස්ථා වලත් කටහඩ එකම විදියයි. ඇයි හත් දෙයියනේ අපි නිකන් කතා කරද්දිත් කටහඩ මොන තරම් වෙනස්වීම් වලට භාජනය වෙනවද? මොන තරම් උච්චාවචනයන් ට භාජනය වෙනවද? ඒ වෙලාවට නම් මට හිතෙන්නෙ මේ කාටුන් වලට හඩ කවන්නෙ කතා කරන්නෙ නැති අය කියලයි. 

මම එක උදාහරණයක් කියන්නම්. ඔයාලට මතක ඇති කැස්පර්. මම පොඩි කාලෙ කැස්පර් බැලුවෙ ඉංග්‍රීසියෙන්. නමුත් කාලයක් එක්ක කැස්පර් සිංහල භාෂාවට හඩ කැවුනා. කැස්පර් ට හඩ කැව්වෙ අපේ පූර්ණ සම්පත් මල්ලි.  පූර්ණ මල්ලි ඒ කාලෙ පොඩි එකා නිසා බොහොම මටසිළුටු ලස්සන කටහඩකින් "මම කැස්පර්, සුමිතුරු භූතයා" කියනව මට තාම මතකයි. ඒත් හත්වලාමේ ඊට පස්සෙ එක එක නාලිකා වලින් හඩ කවපු හැම කාටුන් එකකම ළමා චරිත කතා කලේ අර පූර්ණ මල්ලි කතා කරපු ස්ටයිල් එකෙන්. සමහර චරිත වලට ඒ කටහඩ ඒ ක්‍රමය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. ඒක නිසා වෙන්න ඇති ඒ කාටුන් නිකම්ම පොඩි කාලෙකින්ම රූපවාහිනියෙන් ගැලවිලාම ගියේ. 

මෙතනදි කතා කරන්න අමතක නොවෙන කෙනෙක් තමා ටයිටස් තොටවත්ත මහත්මයා. ඔහු කාටුන් වලට හඩ කැව්වෙ සීමාවක් සහිතව. ඒ වගේම ඔහුගෙ කාටුන් වලට විවිධ ශෛලීන් වලින් හඩ කැවීම් ශිල්පීන් යොදවගෙන තිබ්බා. ඒ වගේම කතාවෙ රසයටත් ඔහු හානි කරලා තිබ්බෙ නෑ.  ඔහුගෙන් පස්සෙ මේ ශිල්පය භාවිතා කරපු අය ඉවක් බවක් නැතුව මේ හඩ කැවීම් කරන්න ගිහින් තමා ඒ ගුණාත්මක බව අඩු වුනේ.

 මම පොඩි කාලෙ බලපු කාටුන් වලට මම අදටත් ආසයි. එයින් මම ආසාවෙන් බලපු එකක් තමා ජෙම් ඇන්ඩ් ද හොලොග්‍රෑම්ස්. ජෙම් කාටුන් එක තරුණ කෙල්ලො කිහිප දෙනෙක් අතර තිබ්බ සංගීත කණ්ඩායමක් ගැන කතාවක්. එයාලට හිටියා විරුද්ධවාදීන් කණ්ඩායමකුත් මිස්ෆිට්ස් කියලා. ජෙම් ලගෙ උදව්ව උනේ ජෙම් ගාව තිබ්බ මැජික් බලයක්. ඒ මැජික් බලයෙන් එයාලගෙ පෙනුම වෙනස් කරනවා. සාමාන්‍ය ජීවිතේදි ජෙම් කියන්නෙ ජෙසිකා කියන සාමාන්‍ය කෙල්ලක්. 




ඊගාවට හා හා හරි හාවා හෙවත් බග්ස් බනී. මේ කියන්නෙ අපේ වල් හාවා ගැනවත් අර හාවෙක් වෙන්න හදන ඉත්තෑවා ගැන වත් නෙවෙයි.  හැබැයි මෙයත් අන්තිම තක්කඩි හාවෙක්!



ඊගාවට දොස්තර හොදහිත. එයාට හිටියා උදව්කාරයෙක් ටොමී කියලා. ටොමී කියන විදියට තමා මේ කතාව දිග ඇරෙන්නෙ. ඩොක්ටර් ඩූ ලිට්ල් තමා මට මතක විදියට මේකෙ ඔර්ජිනල් කාටුන් එක. හැබැයි ඒක නම් මම බැලුවෙ අන්තර්ජාලයෙන්. මේ කතාවෙ මම කැමතිම චරිතෙ තමා චව් චව්. 



ඊගාවට ගලිවරයන්ගේ ගේ සුවිසැරිය. මම මේකට නම් වැඩිය කැමති නෑ හැබැයි ඉතින් පටන් ගන්න විදියට ආසයි. මේ කතාවෙ මම ආසම චරිතෙ තමා ගලිවර් ගෙ බව්වා. 


ඊගාව කතාව තමා පිස්සු පූසා. මේ කාටුන් එක බලන කාලෙ අපේ ගෙදර හිටියා පූස් රංචුවක් ම. ඉතින් මම ආසාවෙන් බැලුවා මේ කාටුන් එකත්. ටොප් කැට් කියන්නෙ පිස්සු පූසගෙ ඉංග්‍රීසි කාටුන් එක. හැබැයි ඒක නම් මට වැඩිය අල්ලලා ගියේ නෑ මොකද පිස්සු පූසා කියන්නෙ සිංහලෙන් හඩ කවපු හොදම කාටුන් වලින් එකක්. ටොප් කැට් බලනකොට මට හිතුනෙ ඉංග්‍රීසි කාටුන් එකටත් වඩා කොලිටි එකට සිංහලෙන් හඩ කවලා තියෙනව කියලයි. මේකෙ මම වැඩියෙම්ම ආස චරිතෙ තමා උපාසක. මොකද මම ආස්සරේ කරන වැඩි දෙනෙක් උපාසකලා. 

ඊගාවට ටෝටලි ස්පයිස්.  මේ කතාව නම් ටිකක් මොඩ් එකක්. කොලෙජ් යන කෙල්ලො 3 දෙනෙක් රහස් පරීක්ෂකයො විදියට වැඩ කරන පිස්සු කාටුන් එකක්. මේක නම් සිංහලෙන් හඩ කවලා තිබ්බෙ නෑ. 

ඊගාවට කැස්පර්. කැස්පර් මම ආසාවෙන් බැලුවෙ ඉංග්‍රීසි කාටුන් එක. මොකටද බොරු කියන්නෙ මට සිංහල එක නම් ඇල්ලුවෙම නෑ.  වචන ටික ලස්සන උනත් ඉංග්‍රීසි කැස්පර් ගෙ තිබ්බ හයියෙන් කෑ ගහන කොටස්. පූර්ණ මල්ලිගෙ සූටික්කන් සුවිට් වොයිස් එකට හරි යන්නෙ නෑ. අනික කැස්පර් සුදු භූතයා කරලා සිංහල කාටුන් එකේදි. ඒකත් මට දිරෙව්වෙම නෑ. 



 ඊගාවට තන්ඩර් කැට්. දිනපතා නොවරදවා බලපු කාටුන් එකක්. හැබැයි ඉංග්‍රීසි කාටුන් එක. ඒක මම බලනකොට මම හිටියෙ 6-7 පන්ති වල. මේ ඊයේ පෙරේදා මම දැක්කා තන්ඩර් කැට් සිංහල කාටුන් එක. මට වමනෙට ආවා ඒක විනාඩි 5ක් බලලා ඉවර වෙද්දි. තන්ඩර් කැට් චරිත වල පෞර්ෂත්වය සම්පූර්ණයෙන්ම නැති වෙන විදියෙ දෙබස් හා කටහඩවල් තමා මට ඇහුනේ. තන්ඩර් කැට් එකේ මම කැමතිම ලයනෝ කියන චරිතෙට. ලයනෝ ගෙන් දැක්ක පෞර්ෂත්වය හරිම ඉහලයි. 



 ඒ ඇරෙන්න වෝර්නර් සහෝදරයන්ගෙ කාටුන් වලටත් මම ආසයි. කෙට්ටු කුරුල්ලගෙ මස් කන්න හීන බලන නරියගෙ කතාව, එතකොට කහ පාට කැනරි කුරුල්ල කන්න හැමදාම ගිහින් පොර කන පූසා සහ කහ පාට කැනරි කුරුල්ලගෙ අයිතිකාර ආච්චි ගෙ කතාව, එතකොට කිකිලියො ගොඩක් පාලනය කරගෙන ඉන්න සුදු කුකුලගෙ කතාව එහෙම අදටත් මම බලන්න ආස කාටුන්. 

හත්වලාමයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඇයි දෙයියනේ සූර පප්පා...! ඇස්ට්‍රික්ස් මට වැඩිය ඇල්ලුවේ නැති වුනාට සූර පප්පා නම් දෙයියනේ කියලා නැගලම ගියා. කොටින්ම අපේ ගෙදර ඉන්න බල්ලගෙ නමත් දැන් චූටි කුකූ. ඌට බෙහෙත් විදින්න ගිහාම පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයේ නංගිලා මල්ලිලා නම අහලා හිනා වෙනවා.  

 

එතකොට ඒ සීරීස් එකේම ආව කවුද බෝයි. කවුද බෝයි මට වැඩිය බලන්න වෙලාවක් හම්බ වුනේ නෑ ඒ කාලෙ මම මොකක්දෝ වැඩකට හවස ගෙදර නොහිටපු නිසා. මට මතක හැටියට නම් හොකී ප්‍රැක්ටිස් නිසා. ඒ මොනවා වුණත් මම ආසම කලේ කවුද බෝයි ගෙ සිංහල සින්දුවට. ඒ වගේම ඒ කතාවෙ ඉන්න පිස්සු හිර කාරයො හතර දෙනා තමා මගේ ප්‍රියතම චරිත. ඒ වගේම කවුද බෝයිගෙ අස්පයටත් මම සෑහෙන්න කැමතියි.  මේ කතාවේ ඉංග්‍රීසි එක නම් මතක විදියට "ලකී ලියුක්

අමතක නොකරම බැරි අනික් එක... ටින් ටින්. මේක නම් පිස්සුවක් වගේ වෙලා තිබ්බා. අපේ මල්ලි ඒ කාලෙ කොණ්ඩේ උඩට පීරුවෙත් ටින් ටින් වගේ.  සමහර වෙලාවට මම පන්තියෙ කොල්ලන්ට සද්දෙ දාන්නෙත් මොකද අද කොණ්ඩෙ ටින් ටින් වගේ කියලා. මේකෙ නම් මට සිංහල ඉංග්‍රීසි කතා දෙකම අල්ලලා ගියා. හැබැයි මම කැමතිම කැප්ටන් හැඩොක් ට. 




දැන් නම් ඇති වගේ ය.  
අහ්හ් ......................කියන්න තියෙනවා තව එක දෙයක්. 

සංජු ටීච ටීචගෙ භූමිකාවෙන් එලියට යනව බලන්න සමහරු අකමැතියි වගේ. කාන්තාවක් උනහම ළමයි බලාගෙන උයාපිහාගෙන ගෙදර දොර බලාගෙන පාඩුවෙ හිටපිය කියනව වගේ සමහරු කැමති මමත් කතාවක් කවියක් ලියාගෙන අහිංසක තාලෙන් දහයට ගනින්න බැරි විදියට ඉන්නවනම්. එහෙම කට්ටියට මම ආයෙත් කියන්නෙ මගෙ බ්ලොග් එක කියවන්න කලින් මගෙ බ්ලොග් එකේ නමට යටින් තියෙන දේ ආපහු කියවලා එන්න කියලයි. මම ගුරුවරියක් වෙන්නෙ පාසලේදි පමණයි. එතනින් එහාට මම නිදහස් කෙල්ලක්. මට ඕනි දේවල් කතා කරන්න ලියන්න මට නිදහස තියෙනවා. මම ලියන දේවල් හරහා මම නොදන්න දේවල් ඉගෙන ගන්නත් මට අයිතිය තියෙනවා. මම ලියන දේවල් දිරවන්නෙ නැති අය ඉන්නව නම් කරුණාකරලා මේ හතර මායිමේ පස් නොපෑගුවට මගෙ කිසිම අමනාපයක් නෑ ඕං. 

හරි ඒ කතාව ඉවරයි.

Comments

  1. තව තියෙනවනෙ අප්ප... සිල්වර් හොක්ස්, හී මෑන්, එක්ස් මෙන්, රෝඩ් රනර්, ජස්ට් යූ වෙයිට්, වුඩී වුඩ් පෙකර්...

    ReplyDelete
  2. දොස්තර හොද හිත, කැස්පර්, ටිං ටිං, පිස්සු පූසා වගේ කාටුන් තමයි මමත් පොඩි කාලේ කැමතිම කාටුන්. මෑත කාලේ ගිය එවයින් සූර පප්පා වගේ කාටුන් හොදයි. නමුත් ඒ වගේ හඩ කවද්දි යොදා ගත්ත භාෂාව කුඩා ළමයින්ට එච්චර ගැලපෙන්නේ නැති බවයි මගේ අදහස.( ස්කුබි ඩූ වගේ කාටූන් වලත් භාෂාව පිලිබද් ගැටලුව තියෙනවා). ටයිටස් තොටවත්ත මහත්තයා තමන් හඩකැවීම් කරපු ඒවා ළමයින්ට ගැලපෙන භාෂාව යොදාගෙන තිබුන බව කියන්න පුලුවන්.

    ReplyDelete
  3. තව ඒ කාලේ ස්වර්ණවාහිනියේ ගියා Franklin කියලා ඉබ්බෙක්ගේ කතාවක්. මම ඒක තමා මුලින්ම කඩ්ඩෙන් බලන්න ගත්ත කාටුන් ඒක. එකේ තියන ඉංග්‍රීසි විතරයි මට තේරුනේ :D අනික් ඒවා ඔක්කොම සිංහලෙන් බැලුවේ. ඔය කියපු එව්වාගෙන් අර බෑන්ඩ් එකේ කතාවයි ,ටෝටලි ස්පයිස් එකයි මට මිස් වුනේ ඒක නිසා වෙන්න ඇති. තව මම ආසාවෙන් බලපු කාටුන් තමා ස්කුබි ඩු,දගර වලිග ලප වානර,වලස් මාමා, බබා ලන්තය, දඟයා, පැංචා.

    හැබැයි ටීවී එකේ කාටුන් ඒක යනකන් බලන හිටපු මතකයන් ඇවිස්සුව එක නම් බොහොම නරකයි ටීච හොඳේ..දැන් ඉතින් ඉවරම තමා

    ReplyDelete
  4. මාමා.... වලස් මාමා....නැන්දා......වලස් නැන්දා......

    ඒකත් සිංහල ඉංග්‍රීසි දෙකම හොඳයි.

    වූඩි වුඩ්පෙකර්, පින්ක් පැන්තර්, You Just Wait.....

    අහා.....

    මතකද යවෙස් ලූ මිනිසා..... සහ අනිත් කතා ටික. ඒකෙ ඔරිජිනල්ස් මම ඩවුන්ලෝඩ් කරල බැලුව. ටයි මහත්තයා ගෙ වොයිස් තේරීම ගව් ගානක් ඉදිරියෙන්, ඔරිජිනල්ස් එක්ක බැලුවම.

    ReplyDelete
  5. ටයිටස් තොටවත්ත මහත්තයා කරගෙන ගිය දේ යම් තරමින් හරි සිරස කට්ටිය කරන එක ගැන සතුටු වෙන්න පුලුවන්.ඔය කාටුන් බැලිලේ අතුරු ඵලය තමා ඇනිමේෂන් ෆිල්ම් බලන්නත් හුරු වීම.ලකී ලූක්(කවුද බෝයි බලලා ඇත) ඇරෙන්න ඔය කතා සේරම බලලා තියෙනවා.මම තව ආසම එකක් තමා බබාලන්තය. කාටුන් නම් ඉතින් අපිට ලොවෙත් නැ..

    ReplyDelete
  6. මම පොඩි කාලෙ හවස හතර හමාරෙ ඉඳං පහමාර වෙනකං තියන කාටූන් ටික බලන්න බැටරිය ගන්න (අපිට කරන්ට් තිබුනෙ නෑ . . . කලුසුදු ටීවී එක බැලුවෙ බැටරියෙං) හෙන වැඩ තොගයක් කරන්න තිබුනා. හරක් රංචුව වත්ත පහලට ගෙනිහිං කන්න දාන්න ඕනෙ. ඊට පස්සෙ මල් පාත්ති වලට වතුර අදින්න ඕනෙ. ඔය අතරෙ පොල් පැල වලට ගොම දිය කරල ගාන්න ඕනෙ . . . . ඔය කියන කාලෙ මම පහේ පංතියෙ හිටියෙ . . . .
    දැං කාටූන් ටික ගැන . . . . .
    ඔයා කියල තියන කාටූන් හැම එකක්ම සහ ඊටත් වැඩියෙන් ප්‍රමානයක් බලල තියනව. ජෙම් ඇන්ඩ් ද හොලග්‍රැම්ස් එකේ ජෙසිකා, ජෙම් බවට පත්වෙන්නෙ මැජික් බලයකින් නෙමේ . . . . සංගීත් නිශ්පාදකයෙක් උන ජෙසිකගෙ තාත්ත හොරෙන් AI කොම්පියුටර් එකක් හදනව හැමෝටම හොරෙන්, ඒ සිස්ටම් එකේ නම තමා "සිනර්ජි". ජෙසිකගෙ තාත්ත මියගියාට පස්සෙ තමයි ජෙසිකට මේ කොම්පියුටර් එක ලැබෙන්නෙ. ජෙම් කියන්නෙ ඒ මැශිමෙං මැවෙන හොලග්‍රම් එකක්. ජෙසික ගාව තියන දම් පට තරු හැඩ කරාඹු දෙකතමයි ඒ සිස්ටම් එකේ දුරස්ත පාලකය.
    තන්ඩ කැට්ස් එක විතරක් නෙමේ මම දැක්ක "හී මෑන්"ව කාල දාල තියනව හඬ කවන්න ගිහිං.

    ප.ලි.
    ලූනි ටූන්ස් සෙට් එකේ නම් ටික දාන්නෙ නැතුව කහපාට කැනරි කුරුල්ල වගේ නම් වලින් හඳුන්වල තියෙන්නෙ ඇයි ???

    ප.ප.ලි.
    කවුද බෝයි ගැන කියනව නං . . . . . මේ කොමෙන්ට්ස් ටික බලන්න . . . . මට කියන්න තියන ටික එතන තියනව http://www.facebook.com/chamiladealwis/posts/206880439353643

    ReplyDelete
  7. ඕනෙ අයියා සිරාවටම මම ජෙම් ගෙ කතාවෙ ඔය හරිය දැනගෙන හිටියෙ නෑ අද වෙනකල් ම..... සිංහලෙන් ම ට්වීටි ගෙ ටොම් කැට් ගෙ නම් ලියන්න හේතුව මට කාටුන් බලන්න වෙලාවක් නැතිකම නිසාම මේ දවස්වල ඔය නම් ටික අමතක වෙලා ගිහින් තිබීම.

    ReplyDelete
  8. මමත් ආසම කාටුන් සෙට් එකම මෙතන තියනවා,,ඔයා අතීතෙට ගෙනිච්චා,,,ඇත්තටම මට සෑහෙන කාලයක් යනකන් කාටුන් බලන්න නිදහස තිබුනා,,,ටියුශන් ගියේ නැති හින්දා,,,

    ReplyDelete
  9. මම තාමත් මාර ආසයි කාටූන් බලන්න. දැන් දැන් අළුතෙන් ආව කාටූන් වලට හඬ කවලා තියන විදිහට මමත් කැමති නෑ. ඔතනින නැති තව මම ඉස්සර ආසාවෙන් බැලුව කතාවක් තමයි නින්ජා ටර්ට්ල්ස්.
    දැන් යන අළුත් කාටූන් වලටත් ගොඩක් ආසයි.
    බෙන් ටෙන්, බැට් මෑන්(සිංහල එක නෙමෙයි), ජස්ටිස් ලීග්, මාටින් මිස්ට්‍රි.... ඔය හැම එකටම ආසයි

    ReplyDelete
  10. පිස්සු පූසා, සූර පප්පා සින්හලෙන් හඬ කැව්වා කියලා කතා රසයට චුට්ටක් වත් හානි වෙලා නෑ රසය වැඩි වෙලා මිසක්. ඇයි ටින් ටින් එකේ තොම්සන් ඇන්ඩ් තොම්සන්.

    ReplyDelete
  11. මටත් ආයිත් පොඩි කාලෙට ගියා වගේ දැනුනා. මම ආසම කාටූන් තමයි කැස්පර්, දොස්තර හොඳ හිත, වුඩිවුඩ් පෙකර්, රෝඩ් රනර්, ටින් ටින්, පිස්සු පූසා, තන්ඩර් කැට්ස්.
    ආයිත් ඒ ටික හොයාගෙන බලන්න ඕනා. මේක කියෙව්වහම ආයිත් ඒවා බලන්න හිතුනා.

    ReplyDelete
  12. අපොයි... කාටුන්නම් මතක් කරන්න එපා. පොඩි කාලෙ මායි නංගියි ඕවා බලන්න මරාගත්තේ නැති එක විතරයි. ඒ අතරින් මටනම් විශේෂ තන්ඩර් කැටිස්, සේබර් රයිඩර්, ට්‍රාන්ස්ෆොර්මර්ස් විශේශයි.

    ඒ වගේම සිරසේ ගියපු මමීස් අලයිව්, ඩෙනිස්, ටීන් වුල්ෆ් වගේ ඒවටත් සෑහෙන කැමතියි. ටෝටලි ස්පයිස් නම් මම බැලුවේ ඒ ලෙවල් කරන කලේ. හැමදාම උදේ 5.30 නැත්තම් 6.00 චැනල් අයි එකේ ගියා.

    මේ ළඟදී ටොරන්ට් වලින් ටෝටල් ස්‍පයිස් සහ මමීස් අලයිව් ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා.

    දැන් යන කාටුන්නම් අන්තිමයි. මෙලෝ රහක් නෑ. ඒවා බලන පොඩි උන්ගේ විතරක් නෙවෙයි, අපෙත් මොලේ කචල් වෙනවා. හඬකවන එක නවත්තලා ඉංග්‍රීසියෙන්ම පෙන්නුවානම් හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
  13. ආං ටිංටිං ගේම් එකක් ඇවිල්ලා Unicorn නැවේ කතාවට. ට්‍රෑලර් එක බැලුවාම නං හොඳා වගේ, මාත් තවම මේ බාන්න හොයනවා අහු උනොත් බාගෙන බලන්න.

    ReplyDelete
  14. නියමයි...කැමතිම මාතෘකාවක්...
    මම මුලින්ම බැලුව කාටුන් මට හොඳට මතකයි. ඒ හාවා ගෙයි නරියාගෙයි කතාව. You Just Wait නේද ?ඒකේ වැඩිය කතා නොකරන නිසා ඕනම කෙනෙකුට රස විඳින්න පුලුවන්.
    පස්සෙ ඔය සිංහල හඬ කවපු සේරම බැලුවා.ඒත් දැන්නම මම මගේ පොඩි එකාට ඒවා බලන්න දෙන්නෙ නැහැ. මොකද කාටුන් ලමයින්ගෙ වුනාට වැඩි හරියක් ඒවායේ දෙබස් ලියලා තියෙන්නෙ ළමා ලෝකය ගැන මෙලෝ හැඟීමක් ඇති අය නෙවෙයි.

    ඔය කාටුන් වලින් භාෂාව ඉගෙන ගන්නවා කියන එක සම්පුර්ණ ඇත්ත..නිවැරදි උච්චාරණය ගැන මග පෙන්වීමක් කරණවනම් ඒක ගොඩක් සාර්තක ක්‍රමයක්.

    ReplyDelete
  15. වැඩියෙ මුකුත් නොකියමයි මමනම් ආස කාටුන් 2යි තියෙන්නේ එකක් ටින් ටින් අනික බැට් මෑන්

    ReplyDelete
  16. මොනවද මෙ කතා.පොඩිකාලෙ විතරක් නෙමයි මම තාමත් කැමති කාටුන් බලන්න.නිවාඩු දවසට ස්කුබි ඩු හරි බලනව.සින්හලෙන් තමා ඉතින් වැඩිපුර බලන්නෙ.(අපිට කඩ්ඩ තෙරෙන්නෙ නැහැ නොවැ ඉතින් ටීචර්ට වගෙ )මාතෘකාව හොදයි.හැමදාම නාහෙන් අඩනවට වඩා වෙනස් දෙයක් ගැන කතා කරන එක හොදයි.ඒ වෙනසට මම කැමතියි.දිගටම ලියන්න.

    ReplyDelete
  17. ඇයි ඉඟුරු පාන් මල්ලි,වලස් මාමා,....
    මමත් ඔය කාටූන් සෙට් එකම බැලුවා...හැබැයි දැන් හඬ කවන්න ගිහින් කට්ටිය අනාගෙන තියෙන්නේ....

    ReplyDelete
  18. මරුනේ ...ටයි මාමගේ කාටුන් මතක් කරන එකත් රසවත් .ඒ කාලේ ඕනයා කිව්වා වගේ දහසක් දුක් විඳලා කාටුන් බැලුවේ. ඔය කියන සේරම නොකඩවා නම් බලා නැහැ . එකටත් එක්ක දැන් වැඩිපුරම බලන්නේ කාටුන් තමයි. අපේ දිහා කාටුන් චැනල් තුනක් තියෙනවා. බලන්න පොඩි ඇස් කුට්ටම් දෙකකුත් තියෙනවා. අනිවාර්ය ලේබලය යටතේ අපිටත් බැලෙනවා. ඩිස්නි චැනල් එක තමයි ආසම .

    ReplyDelete
  19. වචන වලින් කියන්න බැරි ඉතාම සුන්දර මතකයක් තමයි ඔය කාටුන් එක්ක තියෙන්නෙ, ඒ දවස් වල ඔය කාටූනයක තේමාවක් ඇහුනත් ඇති, ඒක නම් පුදුම හැඟීමක් වචන වලින් කියන්න බැරි. ගලිවර්ගේ සුවිසැරිය, දොස්තර හොඳ හිත වගේ ජාතික රූපවාහිනියෙ ටයි මාම කරපු හඬ කැවීම්, අතුල රන්සිරිලාල් එක් කල සවන් ලබැඳි තෙපුල් නම් අසම සමයි. ඇයි ඒ වගේම තමා කාටූන් නොවුනත් ඒ දවස් වල ගිය "සුරඟන කතා කරලිය", මතකද ඒකෙ කතා පටන්ගන්න හැටි, "සුරඟන කතා කරලියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නව..." මතක් වෙද්දිත් හරිම සුන්දර හැඟීමක් තමයි හිතට එන්නෙ.

    ඇයි එතකොට අර ජාතික රූපවාහිනියෙම ගිය කොනෝලි, ෂීනා(අඳුන් දිවියෙක්) එහෙම ඉන්න අප්‍රිකාවේ මසායි ගම්මානයක් වටා ගෙතුන කාටූනයත් හරිම ලස්සනට හඬ කවල තිබ්බ, මට ඒකෙ නම මතක නෑ, අර ධර්මශ්‍රී ගමගේ ශූරීන් අපූරු පූර්විකාවක් සඳහන් කරන්නෙ ඒ කාටූනය පටන් ගන්න කලින්... මම O/L කරල A/L පටන්ගන්න කම් ඉන්න කාලෙ හැමදාම උදේට ඔය කාටූනයයි, ඔෂීන් නාට්‍යයයි යනව, මම හැමදාම නොවරදවාම ඒ දෙකම බලනව, මට පලවෙනි වතාවට ඔෂීන් නාට්‍ය පෙන්වද්දි නොකඩවා බලාගන්න බැරි උන නිසා මේ පාර මම ඒක නොකඩවාම බැලුව. ඔෂීන් නාට්‍යයෙ හඬ කැවීමත් අති විශිෂ්ඨ විදියට කරල තිබ්බ. පස්සෙ ඉස්කෝලෙ A/L පටන්ගත්තත්, ඔෂීන් නාට්‍ය බලන්න ඕනෙ නිසාම මාස කීපයක් ඉස්කෝලෙ ගියෙත් 7.10 බස් එකේ :).
    ඒ වගේම මෑත කාලයක හඬකැවූ ටින් ටින්, සූර පප්පා, කව්ද බෝයි වගේ ඒ වත් ඉතාම දක්ෂ විදියට කරල තියනව. මං හිතන්නෙ 90 දශකයෙන් පස්සෙ ඒ වගේ විශිෂ්ඨ නිර්මාණ බිහි වුනේ නෑ.
    Totally Spies හදපු Marathon සමාගමම හදපු Martin Mystery කාටුන් එකත් හරිම ලස්සනයි.
    -------------------------------------------------------------------------------------------------

    "මම ගුරුවරියක් වෙන්නෙ පාසලේදි පමණයි. එතනින් එහාට මම නිදහස් කෙල්ලක්. මට ඕනි දේවල් කතා කරන්න ලියන්න මට නිදහස තියෙනවා."

    ඒක නම් ඉතාම වියුක්ත ප්‍රකාශයක්. මේ සමාජයේ දී ඔබ ගුරුවරියක් ලෙස ඔබ පාසලින් එපිටට නිදහස් කෙල්ලෙක් නොවන් බවත්, පාසලින් එපිට දීත් ඔබට රිසි ආකාරයෙන් හැසිරිය නොහැකි බවත් ඉඳුරාම පැවසිය යුතුය. අප කිසියම් සමාජයක සාමාජිකයන් ලෙස උක්ත සමාජය විසින් අපගේ උර මත පැටවෙන සමාජ වගකීම් වලින් කිසි ලෙසකවත් අපට මිදිය නොහැකී. එබැවින් ගුරුවරයෙක් ගුරුවරයෙකු වන්නේ පාසලේ හතර මායිම තුලදී පමණක් නොවන බවත්,
    ශිෂ්‍යයෙක් ශිෂ්‍යයෙක් වන්නේ පාසලේ/ විශ්ව විද්‍යාලයේ/ අධ්‍යාපන ආයතනයේ හතර මායිම තුල දී පමනක් නොවන බවත්,
    වෛද්‍යවරයෙක් වෛද්‍යවරයෙක් වන්නේ රෝහලේ හතරමායිම තුලදී පමනක් නොවන බවත්,
    විනිසුරුවෙක් විනිසුරුවෙක් වන්නේ අධිකරන භූමිය තුලදී පමන්ක් නොවන බවත්,
    ස්වාමින්වහන්සේ නමක් ස්වාමින්වහන්සේ නමක් වන්නේ පන්සලේ හතරමායිම තුලදී පමනක් නොවන බවත්,
    දෙමාපියන් දෙමාපියන් වන්නේ නිවසේ හතරමායිම තුලදී පමනක් නොවන බවත්,
    දරුවන් දරුවන් වන්නේ දෙමාපියන්ගේ සෙවනේදී පමනක් නොවන් බවත්...
    ඔබට මතක් කර දෙනු කැමැත්තෙමි.
    අප සමාජයේ ගුරුවරයෙකු යනු ඔබේ ප්‍රකාෂයට වඩා පුළුල් වපසරියකින් යුතු, කිසියම් විශේෂ සමාජමය යුතුකම් හා වගකීම් දරන්නාවූ, හා විශේෂ සමාජ ස්ථානයක් දරන්නාවූද, වෘත්තීය ගරුත්වයකින් යක්ත වූ ද කේන්ද්‍රීය සමාජ චරිතයකි. එකී සමාජ තත්ත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්ෂා වන අයුරින් වගකීම් සහගතව කටයුතු කිරීම ඔබගේම යුතුකමක් බවත්, එසේ කිරීමට අපොහොසත් වී නම් කල යුත්තේ යථෝක්ථ සමාජයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමත් බවද, නො එසේ නම් එකී සමාජයෙන් ම නිතැතින් ම ඒ සාමජිකත්වය අහෝසි කරවනු ඇති බවත් තව දුරටත් ඔබට මතක් කර දෙනු කැමැත්තෙමි.

    ReplyDelete
  20. ටී.බී. : මදක් ඔබට අමතක වූ දෙයක් මතක් කරනු කැමැත්තෙමි. කවදා හෝ විවාහයට විනිසුරු වරියක් සොයා ගන්නා ලෙස මම ඔබට පවසමි. ඒ මා මෙන් පාසලට පමණක් ගුරුවරියක් ලෙස වෘත්තිය කරන කෙනෙක් නොව අධිකරණයෙන් පිටත සමාජයටද ගෙදරට ද විනිසුරුවරියක් ලෙස ක්‍රියා කරන කාන්තාවක්.

    ගුරුවරයා පමණද සමාජීය වගකීමක් දරන්නෙ? අන් අයට තමන්ගේ රැකියාව රැකියා ස්ථානයේ තබා පැමිණිය හැකි නම් ගුරුවරයාටත් එය හැකි නොවන්නේ ඇයි? ඔබේ ඔය සමාජයේ ගුරුවරයාට ඔය කියන විදියේ "පුළුල් වපසරියකින් යුතු, කිසියම් විශේෂ සමාජමය යුතුකම් හා වගකීම් දරන්නාවූ, හා විශේෂ සමාජ ස්ථානයක් දරන්නාවූද, වෘත්තීය ගරුත්වයකින් යක්ත වූ ද කේන්ද්‍රීය සමාජ චරිතයක්" නම් ගුරුවරු ට මෙපමණ රැකියාව එපා වෙන්නේ ඇයි? ඒ ඔය කියන දේවල් ලැබී තෘප්තිමත් නිසාද? දුශ්කර සේවයේ සිට තම අත දරුවාද කිහිලි ගන්නාගෙන මාරුවීම් ඉල්ලාගෙන යන ගුරුවරුන්ට ලැබෙන පිළිතුර "ඇයි ළමයි හැදුවේ? අපි කිව්වයැ ළමයි හදන්න?" නම් ..... ෂා මට ගුරුවරුන්ට තියෙන බල්ලාටත් වඩා පහත් තත්තවය ගැන මාරම ආඩම්බරයි.

    ReplyDelete
  21. මා සඳහන් කල කාරනාව ඔබට වැටහී නැති බවක් පෙනෙයි. එහෙයින් එය තවදුරටත් පැහැදිළි කරනු වස් උදාහරණයක් ගෙන හැර දක්වමි.
    මාර්ගයේ වැඩ කරන කම්කරුවෙක් හා ගුරුවරයෙකු කෙරෙහි අපේ අවධානය යොමු කරමු. කම්කරුවා දවසේ වැඩ අවසන් වී සුරා පානය කොට අසිහියෙන් අශෝභන ලෙසින් හැසිරෙමින් මාර්ගයේ ගමන් කරවා යැයි සිතමු. එවිට ඔහුව දකින අනෙක් මිනිසුන් "ඔය අර පාරෙ වැඩකරන මනුස්ස්යනෙ" කියා ඔහුගේ හැසිරීම නොසලකා හරින අතර, එම කම්කරුවාගේ එම හැසිරීම ඔහුගේ වෘත්තියට ඍජු බලපෑමක් නොකරන්නේ කම්කරුවා සිය සේවා මුරයෙන් පසුව තවදුරටත් කම්කරුවෙක් නොවන නිසාය.
    නමුත් යට කී ගුරුවරයාත් පාසලෙන් පසු සුරා පානය කොට අසිහියෙන් අශෝභන ලෙස හැසිරෙමින් මාර්ගයේ ගමන් කරයි නම් එය පෙර කම්කරුවාගේ සිද්ධියේ දී මෙන් "ඔය අර ඉස්කෝලෙ වැඩකරන මනුස්ස්යනෙ" කියා සමාජය එම හැසිරීම නොසලකා නොහරින අතර, එම ගුරුවරයා සමාජය මඟින් පිලිකුලෙන් යුතුව බැහැර කරයි. එමෙන්ම එම හැසිරීම එකී ගුරුවරයාගේ වෘත්තියට ද කැලැලක් වෙයි.

    තවත් උදාහරණයක් ගත හොත් යුද්ධයකදී කිසියම් ක්‍රියාන්විතයක් සිදුකරන සැලසුමක් රාජ්‍ය රහසක් ලෙස සලකන අතර එම සැලසුම සැදූ නිලධාරීන් එම රහස සුරැකීමට වෘත්තීයම වශයෙන් බැඳී සිටී. එසේ තිබියදී එවන් නිලධාරියෙක් නිවාඩු ගත් පසු තමා දැන් හමුදා නිලධාරියෙක් නොවේ, සාමාන්‍ය පුරවැසියෙක් යැයි සිතා දැන් එකී රහස සුරැකීමේ වගකීමෙන් නිදහස් යැයි සිතා එම රහස හෙලි කල හොත් සිදුවන්නේ ඉතාම විනාශයකි.

    එසේ හෙයින් පුද්ගලයින්ගේ වෘත්තිය අනුව ඒ ඒ පුද්ගලයා මත බැර වෙන යුතුකම් හා වගකීම් විචලනය වන බවත්, නිදහස සීමා වන බවත්, එසේ හෙයින් සමහර වෘත්තිකයනට තමාගේ වෘත්තිය යුතුකම් හා වගකීම් වෘත්තීය ස්ථානයට පමණක් සීමා කල නෙහැකි බවත් අවභෝධ කර ගත යුතු මනාය.

    කිසිවෙක් හට කිසියම් වෘත්තියක් එපා වී ඇත්නම් එය ඒ පුද්ගලයාගේ ප්‍රශ්ණයක් විනා එය, එම වෘත්තියේ වත්, සමාජයේ වත්, රජයේ වත්, අන් කිසිවකුගේ වත් ප්‍රශ්ණයක් නොවේ. කිසිවෙකුත් බලෙන් වෘත්තියක නොපිහිටුවනු ඇති අතර පුද්ගලයෙක් වෘත්තියක් තෝරාගන්නේ කැමැත්තෙන් මය, ඉඳින් කිසිවෙක් එයින් තෘප්තිමත් නොවේ නම් ඒ තත්ත්වයෙන් ඉවත් වීමේ අයිතියද සපුරාම ඒ පුද්ගලයා සතුය.

    තවද සේවා යෝජකයා විසින් සේවකයාට වැටුපක් (හා වෙනත් වරප්‍රසාද) ගෙවන්නේ සේවා යෝජකයා සේවකයාට මුදල් හා සුඛ විහරණ දිය යුතු නිසා නොව, සේවා යෝජකයාට සේවකයාගෙන් කිසියම් කාර්යක් සිදුකරගත යුතුව ඇති බැවින් බවත් අවබෝධකරගත යුතු මනාය. මැදපෙරදිග යන කාන්ථාවන් සිය කිරි දරුවන්ගෙන් වෙන් වී සැතපුම් දස දහස් ගනන් දුර ගෙවා ගොස් කාන්ථාර වල අන්ත දුෂ්කර සේවයක් වසර ගනනාවක් කරද්දීත් ඔවුන් තමන්ට දරුවන් සිටින නිසා රැකියාව ලංකාව ආසන්න රටකට වත් සාදා දෙන්න යැයි ඔවුන්ගේ සේවා යෝජකයින් ගෙන් නොඉල්ලන විටදී, මෙරට වර්ග කිලෝමීටර් 65535 පමන භූමිය තුල තමන්ගේ දරුවා අසල සේවා ස්ථානයක් තමන්ට ලබා දෙන්න යැයි කිසිවෙක් විසින් ඉල්ලා සිටින්නේ නම් එය කොතෙක් දුරට සාධාරණ දැයි නැවත සිතා බැලිය යුතුය. එබැවින් ඔබ පවසන "බල්ලාටත් වඩා පහත් තත්තවය" ගැන ඔබට ඉඳුරාම ආඩම්බර විය හැක. රැකියාවක් කරන විට යම් යම් කැපකිරීම් සිදුකිරීමට සිදුවන බව මා අමුතුවෙන් ඔබට මතක් කර දිය යුතු නැතැයි මම සිතමි. අවසන් වශයෙන් ඔබේ පත්වීම් ලිපියේ ඇති කොන්දේසි නැවතත් කියවා බලා අවබෝධකරගන්නා මෙන් මතක් කර සිටිමි.

    ReplyDelete
  22. @ටී.බී. හේරත්: මිනිසෙක් සමාජය තුළ රඟන්නේ එක චරිතයක් නොවේ. එක චරිතයක් රැඟීම සඳහා කිසිදු මිනිසෙකු කිසිදු ආයතනයක් වෙත බැඳීමක් ඇති කොට ගෙන නැත. සංජු පාසල තුලදී තව ගුරුවරයාගේ භූමිකාව නිවැරදිව කරයි නම් ඉන් පිටතදී ඇය කුමක් කරන්නේද යන්න ගැන කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක. මන්ද කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමට හෝ එය මෙසේ විය යුතුයැයි දැක්වීමට අයිතියක් කිසිවෙකුට නැති බැවිනි.

    මිනිසුන් යම් යම් අවශ්‍යතා සඳහා පොදු කුලකවලට (ගුරුවරුන්, සිසුන්, පවිත්‍රතා කම්කරුවන්, විනිසුරුවන්, රියදුරන්, එකී-මෙකී-නොකී.) ඇතුලත්ව කටයුතු කරන බවත්, ඒ කටයුතු කරන කාලාවකාශ සීමාව තුල එකී කුලකයට අයත් පොදු සම්මුති සමූහයකට අනුගතව කටයුතු කරන බවත් සැබෑය. නමුත් තමුන්ගේ පෞද්ගලිකත්වයට එයින් කිසිදු බාධාවක් විය යුතු නැත.

    අයෙකුගේ වෘත්තිය ඔහුගේ මුළු ජීවිතයම හැඩගස්වන්නක් ලෙස ඔබ සිතන්නේ නම් ඔබගේ චින්තනය අයත් වන්නේ අයෙකුගේ වෘත්තිය ඔහුගේ මුළු ජීවිතයම වූ වැඩවසම් යුග චින්තනයට මිස, පෞද්ගලිකත්වය හා නිදහස අගයන වත්මනට නොවේ.

    අයෙක් තම වෘත්තියේ වගකීම නිසි ලෙස ඉටු කරයි නම්, අමතර "සමාජ වගකීම්" බලෙන් කිසිවෙකු පිට පටවන්නට "සමාජය"ට ඇති බලය කිම? අවැස්සෙකු එසේ අමතර වගකීම් පටවාගත්තාට කම් නැත, ඒ තමාගේ කැමැත්ත මත පමණකි.

    ReplyDelete
  23. ටී.බී. : ඔබේ ජීවිතය ඔබ ජීවත් වන්නට පටන් ගත් පසුව එය තේරුම් ගන්න. ඔබේ මැටි කතාවලට තව දුරටත් මම පිළිතුරු නොදෙමි. මට මා සහ මගේ පවුල ගැන සිතා බැලීම ලෝකයට වඩා වටිනා බැවින් මම එසේ කරමි. ඔබ මෙතන යාර ගනන් ලිව්වත් මම මගේ මතයේ සිටිමි ඔබ ඔබේ මතයේ සිටින්න. නමුත් ඔබ වැනි ලිං මැඩි මිනිසුන් රැසක් මැද මට රැකියාවෙන් සමු ගන්නට හෝ සිදුවන දිනක මම සතුටින් එය කර මගේ පත්වීම් ලිපිය ඔබට තැපැල් කර එවමි. එවිට එය කියවා තවත් මා මෙන්ම අමාරුවේ වැටුනු අසරණියකට ඔබේ ඔය වටිනා උපදෙස් ලබා දිය හැක.

    ReplyDelete
  24. බුධා : ස්තූතියි ඒ කමෙන්ටුවට. මට කියන්න ඇවැසි බොහෝ දේ ඔබ හොදින් පෙල ගස්වලා.

    ReplyDelete
  25. @ budhajeewa,
    ගුරුවරයාගේ භූමිකාව නිවැරදි වීමට නම් ගුරුවරයා පාසල තුලදී මෙන්ම ඉන් පරිභාහිරවත් ක්‍රියා කල යුතු ආකාරයක් ඇත. එසේ නොවී පාසල තුල දී පමනක් (හෝ පාසලෙන් පරිභාහිරව පනක් ) යහපත් අයුරින් හැසිරෙන්නේ නම් එම ගුරු භූමිකාව අසම්පූර්ණය, සදොස් ය.

    දේවන ඡේදයේ අවසානයට සඳහන් "කිසිදු බාධාවක් විය යුතු නැත" ප්‍රකාශය ප්‍රායෝගික නෙවන අතර වෘත්තිය නිසා පුද්ගලයාගේ නිදහස හා පෞද්ගලිකත්වය අඩු වැඩි වශෙයෙන් සීමාවීම නිතැතින් ම සිදුවන්නකි.

    සෑම වෘත්තියක් ම පුද්ගලයාගේ මුළු ජීවිතයම හැඩගස්වන්නේ නැත. නමුත් සමහර වෘත්තීන් පුද්ගලයාගේ මුළු ජීවිතයම හැඩගස්වයි හෝ/හා හැඩගස්වාගත යුතුය. මගේ කරුණු දැක්වීමේ මූලික අනුභූතිය ද එයයි.

    වෘත්තීය යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කිරීමේදී සමාජීය කාර්යභාර්යක් ද පුද්ගලයා විසින් ඉටු කල යුතු අතර, ඒවාට "අමතර" යන ලේබලය ඇලවිය නොහැක

    ReplyDelete
  26. @ සංජු,
    කරුණු එසේ නම් මා තව දුරටත් අදහස් දැක්වීමෙන් ඵලක් නැත. මම නවතිමි.

    ReplyDelete
  27. ඔන්න සංජු ටීචර්, නිතර මේ පැත්තෙ ආවට අද තමා කමෙන්ට් කරන්නේ. ඒ තරම්ම පොස්ට් එක අල්ලලා ගියා. මමත් thunder cats, totally spies ඇරුනම මේ සේරම කටූන් බැලුවා. ෆ්‍රැන්ක්ලින්, biker mice, වගේ ඒවා add වෙන්න ඔනේ. මමත් සපුරා against ලමා කතා සහ කාටූන් සේරම සිංහල හඬ කවනවට. ඉස්සර මම නම් එව බලලා අඩුම තරමින් දවසට එක ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්නවා.

    ReplyDelete
  28. අපොයි කාටුන් ගැනනම් කතා කරන්න එපා. මං තාමත් බැනුම් අහන්නේ ඒක නිසා තමා.

    ReplyDelete
  29. ස්තුතියි ආයෙත් ඒ මතකයට ගෙනගියාට. දැන් නම් කාටුන් තියවද දන්නෙත් නෑ. බලන්න වෙලාවකුත් නෑ. ඒ වගේ හොද ඒවා නම් දැන් නැතුව ඇති...

    ReplyDelete
  30. ෂා ඔයා මම කැමතිම කාටුන් ටික ඔක්කොම වගේ දාලනේ. මමත් ඔය ඔක්කොම බැලුව එත් අර රහස් පරීක්ෂක කෙල්ලෝ ටික ඉන්න එක බලල නෑ. ඊට අමතරව මමිස් අලයිව්, ටීන් වුල්ෆ් වගේ ඒවායි තව වයිට් ෆෑන්ග් කියන කාටුන් ටිකයි මං ඉස්සර බලපුවා.. මේ ටිකේ ඔයාගේ බ්ලොග් එක නිවාඩු වෙලාවට කියවනවා..

    ReplyDelete
  31. ඉංග්‍රීසි කාටූන් සිංහලට හරවලා යන එකට නං මාත් කැමති නෑ මොකද ඔය කාටූන් ඔක්කොම වගේ හදන්නේ සුද්දගේ සංස්කෘතියට සහ විද්‍යාවට සාපේක්ෂව,ඕවා සිංහල කරන කොට වෙන්නේ එකේ තියෙන යෙදුම් හා තේරුම් විකෘති වෙන ඒක.original english කාටූන් එක බලල ඒකෙම සිංහල ඒක බලද්දී ඒ වෙනස හොඳට තේරෙනවා අනික සමහර නාලිකා හොඳට හඬ කවන්න දන්නේ නෑ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මම ආස ගීත