උම්බලකඩ


අපේ බෝඩිමේ අක්කාගේ ප්‍රධානම රසකාරක වලින් එකක් වන්නේ උම්බලකඩය. කොටින්ම ඈ උම්බලකඩ නොදා ඉදවන්නේ බත් හැලිය පමණි. කොළ මැල්ලුම්, අල , රාබු ආදී එකී මෙකී නොකී සෑමදෙයකට ඕ උම්බලකඩ දමයි. ඉන් කාලයක් අපේ අනෝමා අක්කා මෙන්ම බෝඩිමේ අක්කා ද අමාරුවේ වැටී සිටියාය. අපේ අනෝමා අක්කා සම්පූර්ණ නිර්මාංශික ය. අපි වගේ හොරට නොව සම්පූර්ණයෙන්ම ඇත්තම ඇත්තටමය. ඉතින් බෝඩිමේ අක්කාට එකම කෑම දෙවිදියකට හදන්න සිදු වේ. ඒ උම්බලකඩ රහිත සහ සහිත ලෙසය.එදාට බෝඩිමේ අක්කා අමාරුවේය. අක්කාට කේන්ති ගිය දවසට ඔක්කොම උම්බලකඩ සහිතය. ඉන් අනෝමා අක්කා අමාරුවේ වැටේ. මේ මොනා කලත් අක්කා කියන්නෙ "උම්බලකඩ ටිකක් දැම්මෙ නැත්නම් නංගි කටේ තියන්න බෑ" කියාය. 

පසුගිය දවසක මා සමග කුස්සියේ ඕපාදූපයක් කියවමින් සිටි අක්කා,

"අහ් උම්බලකඩ කෑල්ල අමතක උනානෙ නංගි ඉන්න අරගෙන එන්නම්"

කියා කාමරය දිව ගියාය. ඈ පැමිණි පසු මා ඇගෙන් ඇසුවේ,

"අක්කා දැන් කරවල මස්මාළු තියා ගන්නේ කාමරේද?" කියායි.  

"නංගි කාමරේ නෙවෙයි ඒවා දාන්න දැන් සේප්පුවක් ගන්නයි වෙලා තියෙන්නෙ"

"ඇහ්.... ඇයි දැන් ඒවා එච්චර ගනන් ද?"

"එහෙනං..... අද පෙරියන් කඩේ කොල්ලා ලෑස්ති උනා උම්බලකඩ කෑල්ල කිරලා අනික් බඩු මල්ලටම දාන්න. මම ඌට කිව්වා මල්ලි ඕක අනික් බඩු එක්ක දාන්න එපාය, ඕක නැති උනොත් මට හරි පාඩුය ඒක නිසා මට ඕක ඔතලා දෙන්න හෑන්ඩ් බෑග් එකේ දා ගන්න කියලා"

අපි සාමාන්‍යයෙන් හෑන්ඩ්බෑග් එකේ දා ගන්නේ වටිනා දේවල් ය. මේ කතාව ඇසූ මගේ ඇස් උඩ ගියේ ය.  

"හෑ...... උම්බලකඩ එච්චර ගනන් ද?"  

"ඇයි නංගි.......... උම්බලකඩ කෑල්ලක් කියන්නෙ දැන් කාලෙ රත්තරන් මංචාඩි ගානක් වටීන දෙයක් නෙ. ඕක නැති උනා කියන්නෙ ඉතින් වැඩක් නෑ. හොරකම් කරයි කියලා බයට මම ගෙනාවෙ හෑන්ඩ්බෑග් එකේ. දැන් උම්බලකඩ කිලෝ එක රුපියල් 2000 යි."

මේ හිගන රස්සාව අතහැර උම්බලකඩ වේලන්නට යන්නට සිතෙන්නේ මේ වේලාවට ය.  දැන් අපේ බෝඩිමේ අක්කා උම්බලකඩ වලට ගරු නම්බු දී කතා කරයි. දැන් ඈ කියන්නෙ කෑම වලට අද උම්බලකඩ දැම්මා කියා නොව "ඔන්න නංගි අද සම්බෝලෙට දෙදාහ දැම්මා" කියාය. අපිටත් හරිම ආඩම්බර ය. අපි ට සුපර් ලක්ශරි කෑම දෙන බෝඩිමක් තිබේ. 

හා හා වරදවා වටහා නොගන්න මා තවම සිටින්නේ ඇමරිකාවේ නොවේ. ඉන්දියන් සාගරයේ (අ) මුතු ඇටේ කියනා රටේ ය.



Comments

  1. එල එල... දැන් එතකොට සංජු ටීචර් කන්නෙ දෙදාහෙ ඒව... හොඳයි හොඳයි ;)

    ReplyDelete
  2. එතකොට ඉස්සරහට අර මාළු සොසේජස් ඇඩ් එකේ වගේ උම්බලකඩ හොරකම් කරගෙන යන්න හොරුත් එයි නේද අක්කේ... :D

    ReplyDelete
  3. අඩේ මාල්දිවයිනෙන් උම්බලකඩ ගේන බිසිනොස් එකක් පටන් ගමු සංජු අක්කා

    ReplyDelete
  4. පුහ් සංජු අක්කලා තාමත් උම්බලකඩ කනවා එහෙනම්! අප්පේ අපිටනම් ඕවා අහනකොටත් පුදුම හිතෙනවා :D

    ReplyDelete
  5. අපේ ගෙදර නම් දැන් ආසාවටවත් උම්බලකඩ කෑල්ලක් නෑ,ගනන් වැඩි නිසා ගේන්නැහැ.

    ReplyDelete
  6. උම්බලකඩ කිලෝ 1 ක 1800 කි .

    ReplyDelete
  7. ආන්න කරනවනං බිසිනොස් . . . ඔයා විකුනන්න . . . මම එවන්නං උම්බලකඩ . . .
    මාසෙකට කිලෝ කීයක් විතර ඕනෙද ???

    ReplyDelete
  8. හෙහ් උම්බලකඩ වලට ගිය කලක් හැබෑට.සම්බෝල වලට දැම්මම රහයි තමා.

    ReplyDelete
  9. පහුගිය දවස් වල සමහරු පොල් වලටත් ඔයවගේ කතා කීව...

    ReplyDelete
  10. හරි හරි සංජු නංගි උම්බලකඩ කනව කිවුවනං ඉවරයිනේ!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම