ඔබ එන තුරු.............






                      
                මගෙ සුදූ.........

                           නොදැන නෙවෙයි ආදරේ කලේ මම ඔයාට ඔයා හරිම රාජකාරි බහුල කෙනෙක් කියලා. මම ඒක දැනගෙන හිටියා. ඒත් ඉතින් හිත නැවතුනේ ඔයා ගාව. ඔයාගෙ අම්මලා ඔයාව බලෙන් වගේ ඇදගෙන අපේ ගෙදර ඉස්සෙල්ලාම ආව දවසෙ මට හිතුනා ඔයා ඉන්නෙ පුදුම තරම් අපහසුවකින් කියලා.


මගේ ජීවිතේ විශ්වාස නෑ කියලා බඳින්න බෑ බෑ කියලා ඔයා නිවාඩු එන එකත් අඩු කරලා හිටියෙ කියලා මම දැන ගත්තෙ පස්සෙ කාලෙක. ඒ කතා මොකුත් නොදැන වුණත් මම ඔයාට ආදරේ කලා.

යුද්ධයේ කුරිරු බව පහ වෙලා ගියත් මොකක්දෝ තනිකමක් හිත ඇතුලෙ හැංගිලා.  ඔයාගෙ යාළුවො දාල ගියපු එයාලගෙ පවුල් වල අය දකිද්දි එයාලා ගැන ඇහෙද්දි හිත ඇත්තටම වාවන්නෙ නෑ. ඒත් ඒ හැම වෙලාවකම මම දෙයියන්ට පින් දෙන්නෙ මගේ ගෙදර දෙවියන්ව මට බේරලා දුන්න එක ගැන. කණ ගාවින් ගිය වෙඩි පාරවල්, කකුල් දෙක ගාව පිපිරෙන බෝම්බ ගැන ඔයා කියන කතා මම ඇත්තටම අහගෙන හිටියෙ අමාරුවකින් නම් නෙවෙයි. ඒ කාලෙ මම ආසම කලේ තොර තෝංචියක් නැතුව පොඩි දරුවෙක් වගේ කියවන ඔයාගෙ කතා අහගෙන තරු දෙකක් වගේ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න. ඉතින් ඔයා කියවනවා මම අහගෙන ඉන්නවා.

යුද්ධෙ ඉවර වුනත් ඔයාගෙ රස්සාව තාම ඉවර නෑ කියලා මම දන්නවා.  අනික් හැම කෙනාම හවසට ගෙදර එන තමන්ගෙ ආදරේ වෙනුවෙන් ජීවිතේ කැප කරද්දි මම කරන්නෙ තියෙන දෙයක් කාල ගුලි වෙලා නිදා ගන්න එක. ඔයා නැතුව මට මොන කෑමද රත්තරන්? ඔයා එන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්න එක තමා මගෙ වැඩේ. ඔයා දන්නවනෙ පණ ..... ඔයා ආව දවසට අපේ ගෙදර රජ මාලිගාවක් වගේ නේද? කන්න බොන්න ඔයා ආස දේවල් හද හද දෙන එක තමා මගෙ එකම වැඩේ. ඇත්තටම ඔයා ගිහාම අපේ ගෙදර අම්බලමක් වගේ. ඔයා ඒක දන්නෙ නෑ නෙ. ඔයාගෙ සුවද තියෙන ඇදුම් ඉඹින්න, ඔයාගෙ සුවඳ තියෙන ඇදේ නිදාගෙන කල්පනා කරන එක ඇරෙන්න වෙන සිහියක් නම් නෑ මට. දන්නවද සුදූ සමහර වෙලාවට ඔයාගෙ සුවඳ නැතිවෙලා යනවා. එතකොට මම ගේ පුරාම තියෙන ඔයාගෙ ඇඳුම් ඉඹ ඉඹ ඔයාගෙ සුවඳ හොයනවා. ඇත්තටම කවුරු හරි දැක්ක නම් හිතයි මට පිස්සු කියලත්.

අනේ සුදූ සමහර වෙලාවට මට හරිම ආස හිතෙනවා ඔයාගෙ කටහඬවත් අහන්න ඇත්නම් කියලා. මම හිටපු ගමන් ඔයාට කෝල් එකක් අරගෙන පිස්සු ප්‍රශ්නයක් අහන්නෙ අන්න ඒ වගේ වෙලාවට තමා. ඔයාට කේන්තිත් යනවා ඇති මම එහෙම කරනකොට අනේ ඉතින් මම දන්නෙ නෑ නෙ ඔයා මොන රාජකාරි මැද්දෙද ඉන්නෙ කියලා. ඒ වුනාට අද වෙනකල් ඔයා මට එක පාරක්වත් හිත රිදෙන දෙයක් කියල නෑ ඒ වගේ වෙලාවල් වලට. ඉවසීමෙන් උත්තර දීලා මාවත් සනසලා කතා කරනවා. ඒ අතින් ඔයාට පුදුම ඉවසීමක් තියෙනවා. සමහර වෙලාවට මටත් නැති තරම්. ඒ අතින් ඔයා මාව මොන තරම් තේරුම් අරගෙන තියෙනවද? කවදාවත් ඔයා මාව මානසිකව වට්ටලා නෑ. පුළුවන් තරම් මාව මානසිකව සතුටින් තියන්නයි ඔයා උත්සහ කලේ. ඇත්තමයි රත්තරන් ඔයා නොහිටින්න මම කවදාවත් මේ තරම් ප්‍රීතියෙන් ජීවත් වෙන එකක් නෑ.

එක පාරක් ඔයා නිවාඩු ඇවිත් මට දීල ගියා ඔයාව මතක් වෙන්න තෑග්ගක්. එදායින් පස්සෙ එන්න පුළුවන් හැම වෙලාවෙම ඔයා ගෙදර ඇවිත් විනාඩි පහකට හරි මාව බලලා යන්න පුරුදු වුණා.  මාව විතරක් ද...? ඔයාගෙ ආදරෙන් පිරුණු මගේ කුසටත් ආදරේ කරලයි ඔයා යන්නෙ. එයා එන්න කිට්ටු වෙනකොට ඔයා ගෙදරට අඩිය තියද්දිම මටත් කලින් මගේ කුසේ ඉන්න එයාට දැනෙනවා. ඔයා කතා කරනකොට ගහන පයින් පාරවල්..... අනේ තාත්තෙ මට ඉක්මනට එන්න ඕනි ඔයා ගාවට කියනව වගේ.

අදටත් ඔයාගෙ සුවඳ විඳින්නෙ මම එයාගෙන්. ඔයාගෙ සුවඳමයි රත්තරන් අපේ පුංචි පැටියගෙ හැමතැනම.  පැටියා ලැබුණට පස්සෙ ඔයා මට සලකපු තරම්. මේ ලෝකෙ වාසනාවන්තම ගෑණි මමයි කියලා මම මොන තරම් සතුටින් ද හිටියෙ? අදටත් ඒ සතුට එහෙම්මමයි. මතක් කර කර විදින්න තරම් සතුටක්. අපේ පැටියා ආවට පස්සෙ ඇවිද ගන්නවත් බැරුව හිටිය මාව උස්සගෙන ටොයිලට් එකට එක්කරගෙන ගියෙත් ඔයා. වේදනාවට ඇස් වලින් කඳුළු වැටෙද්දිත් මාව උස්සගෙන මාව සෝදවලා ආපහු උස්සගෙනම ගෙනල්ලා ඇඳ උඩින් තියද්දි මගෙ පපුව පිච්චෙන තරම්... එහෙම කරපු එක දවසක මම ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳ වැටුනෙ මට වෙන ඔයා වෙනුවෙන් කරන්න දෙයක් තිබුනෙ නැති නිසා.

අදත් මම මේ පැටියව තුරුල් කරගෙන බලාගෙන ඉන්නෙ ඔයා එනකල්.  ඔයාව පොටෝ වලින් අඳුනන්න තාම එයාට බෑ. ඒත් ඔයාගෙ කටහඬ එයා අඳුනනවා. ඔයා ෆෝන් එකෙන් කතා කරනකොට එයා වැඩ ඔක්කොම නවත්තලා අහගෙන ඉන්නවා. ටිකකින් ඔයා එක්ක කෑ ගහන්න පටන් ගන්නවා. වෙනදාට අමාරුවෙන් අම්ම්ම්ම් අම්ම්ම්මා කියන එක වෙනස් වෙලා ඔයා කතා කලා ම පැය ගානක් යනකල් එයා කෑ ගහන්නෙ තාතාතාතාතාතා කියලා. එයා අම්මා කියනවට වඩා තාත්තා කියනව අහන්න මම ආසයි. ඇයි දන්නවද ? එයාට ඉන්නෙ මේ ලෝකෙ හොඳම තාත්තා නිසා. 

රත්තරන් ඉක්මනට එන්න. ඔයා එනකල් මම බලාගෙන ඉන්නවා.  ඒ ඇරෙන්න වෙන ඉල්ලන්න දෙයක් මට නෑ. මොකද මම හමුදා නිලධාරියෙකුගෙ බිරිඳක් නිසා. ඔයාගෙ හැම විනාඩියක්ම තේරුම් ගත්ත ඔයාගෙ බිරිඳ නිසා. ඒත් ඔයා නැතුව පාළුයි. ඒ නිසා ඉක්මනට එන්න. මම බලාගෙන ඉන්නවා.

                                                                                            ඔයාගෙ ආදර බිරිඳ

-----------------------------------------------------------------------------------------------------------------

ප.ලි. හිතුනා ලිව්වා. මේක මට ඇප්ලයි කරන්න එපා. නමුත් මේ වගේ මිනිසුන් මේ ලෝකෙ ඉන්නවා කියන එක විතරක් මම සියයට සියයක් දන්නවා. එහෙම සැමියෙක් ලබන්න තරම් වාසනාවන්ත ගැහැණුත් මේ ලෝකෙ ඉන්නවා.



Comments

  1. ඔයා හරියටම අපේ අක්කගෙ හිත කියවලා වගේ.අක්කට බබා හම්බවෙන්න ඔන්න මෙන්න ඉද්දි යුද්දෙ දරුණුම කාලේ.අය්යට එන්න විදියක් නෑ.එයා හිටියේ සටනේ.උදේ හවා ඇම්බියුලන්ස් සද්දේ...ගොඩක්ම රෑට ඒ සද්දෙට මුලු පලාතම මූසල වෙලා යනව.ගොඩක් ලෙඩ්ඩු තුවාල කාරයෝ අනුරාධපුරේ ඉස්පිරිතාලෙට ගේනව.ගුවන් යානා..සද්දේ තොර තෝංචියක් නෑ.අහල පහල අය ඇවිත් කියනව ඕං අද ***මල් ශාලාවට අරච්චරක්... මෙච්චරක්... හමුදාවේ අයගෙ බොඩීස් ගෙනාව කියල.කැශුවල්ටීස් මෙච්චරයි... කිය කිය.

    අනේ මන්ද එයා කොච්චර බයෙන් ඉන්න ඇත්ද අය්ය ගැන.ඒත් අවසානේ එයා ආව.

    ReplyDelete
  2. ආයි කියන්න දෙයක් නෑ අක්කේ..කියවනකොට කඳුළු ඇවිල්ල ඉවරයි....!!

    ReplyDelete
  3. අප්පේ හෙන දුකයිනේ අක්කේ....

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත කතාව සංජු. වෙන කියන්න දෙයක් හිතාගන්න බෑ. ඇඩෙන්නම ලියලා තියනවා..

    ජය..!!!

    ReplyDelete
  5. ඔයා හරි... ඔය වගේ අය ඉන්නවා .....

    ReplyDelete
  6. ඔය වගේ පිරිමි ලබන ගෑණු හරිම වාසනාවන්තයි..

    ReplyDelete
  7. මේ අක්කගෙම නිර්මාණයක්ද ?
    හම්බුන එකක්ද ?

    හැබැයි පිසාචයගෙ කතාව සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete
  8. මගෙ යලුවෙකුත් ඉන්නවා මෙහෙම.. මේක කියවනකොට මට ඒ දෙන්නවමයි මතක් උනේ.

    කොට ජීවිතේ

    ReplyDelete
  9. ගොඩක් කාලෙකින් දෑස තෙත් උනා. පහු ගිය අවුරුදු ගානක් තිස්සෙ මේ මගේ හොඳ මිනිස්සු කී දෙනෙක් අපිට නැති උනාද? තමන්ගෙ තාත්ත නොදැක්ක දරුවො කොච්චර ඉන්නවද? තමන්ගෙ දරු‍වා නොදැකම තාත්තල කි දෙනෙක් අපි වෙනුවෙන් දිවි පිදුවද? තමන්ගෙ තාත්ත මේ රටට පූජ කරපු ඒ විර දරුවො තමන්ගෙ ස්වාමියා මේ රටට පූජ කරපු ඒ වීර බිරින්දෑ වරු ඉඳල හිටලවත් අපි මතක් කරමු. අපි වීරයො කියල කියන්න ඕන මේ තුන්දෙනාටම. මම හිස නමල නමස්කාර කරනව මේ තුන්දෙනාටම. මේක ලිව්ව ඔයාටත් එක්කම

    ReplyDelete
  10. ඔය කතාව ඔහොම්මම නුනත් මටත් 75% විතර අදාලයි. මම මෙහෙ ඉන්දෙද්දී ගෙදර යනකම් මගේ අදර බිරින්දෑ ගෙදර ඉඳන් කියන කතා ටික මෙතන එහෙම්මම තියනවා.. එක වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම දමල ගහල ගෙදර යන්න.. එත්.. ලංකාව අපිට සලකපු තරම දැක්කම එපා වෙනවා..

    ReplyDelete
  11. හමුදා නිලධාරියෙකු (officer) සහ ආමිකාරයෙකු (soldier) කියන්නේ කොටස් දෙකක්.

    ReplyDelete
  12. mewa kiyawaddi nam mata harima dukai sanju

    ReplyDelete
  13. "එහෙම සැමියෙක් ලබන්න තරම් වාසනාවන්ත ගැහැණුත් මේ ලෝකෙ ඉන්නවා" වගේම වැඩිපුර ඉන්නේ "මේ වගේ පුලුල් විදිහට නොහිතන බිරින්දෑවරු ලබන අවාසනාවන්ත පිරිමි" බවත් අමතක කරන්න එපා සංජූ . . .

    හික් හික් හික්

    ප.ලි. හිතුනා ලිව්වා. මේක මට ඇප්ලයි කරන්න එපා.

    ReplyDelete
  14. නදී : ඒ වගේ බලාපොරොත්තු කොච්චර තියෙන්න ඇද්ද? ඒ අතින් ඇත්තටම අවාසනාවන්ත අය කොච්චර ඉන්නවද?

    ReplyDelete
  15. ප්‍රසන්න : මම දැකපු දෙයක්... නමුත් එනකල් බලාගෙන ඉනන් එක දුකක් නෙවෙයි. බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු මිනිස්සුන්ව ලස්සන කරලා ජීවත් කරවන්න පුළුවන්

    ReplyDelete
  16. පිසාචයා : හ්ම්ම්ම්ම්ම් ලියද්දි කිහිප වතාවක් මගෙත් ඇස් වලට කඳුලු පිරුනා

    ReplyDelete
  17. නචියා : ඇත්තටම අපිට මේවා අමතක වෙන නිසයි මට ලියන්නම හිතුණේ

    ReplyDelete
  18. uwiniran : ඔව් මේක ලියද්දි මෙහෙම ජීවත් වුන කෙනෙක් බලාගෙන ලිව්වෙ.

    ReplyDelete
  19. නිසූපා : ඒක ඇත්ත නංගි පොළවෙ පය ගහලා ඉන්න පිරිමි කීයෙන් කී දෙනාද මේ ලෝකෙ ඉන්නෙ

    ReplyDelete
  20. chanakalin : මේක මම එක හුස්මට ලියාගෙන ලියාගෙන ගියපු එකක්. එක විනාඩියකටවත් නැවැත්තුවා නම් ඉතුරු ටික ලියා ගන්න බැරි වෙනවා.

    ReplyDelete
  21. කින්නරාවි (කොටජී) : හෆ්ෆා දැක්ක කල්..... ඔව් මෙහෙම අය ඉන්නවා. ගොඩක් ඉන්නව. මම දකින් එක්කෙනා ගැන විතරයි මේ ලිව්වෙ

    ReplyDelete
  22. දයියා : ස්තූතියි.... මගෙ අයියා මේක කියවයි. අක්කටත් පෙන්නයි. පැටියා ලොකු උනාම එයාටත් පෙන්නයි. අයියා මේක කියවලා ඇස් වල කඳුලු පුරව ගත්තා විතරයි. එයාට අපි ආදරේ තරම් ගරු කරන තරම් කියලා නිම කරන්න බෑ

    ReplyDelete
  23. ක්සැන්ඩර් | Xander : වෙන් වෙලා ඉන්න එක කාටත් දුකක්

    ReplyDelete
  24. කතන්දර : ඔව් මම මෙතන ලිව්වෙ නිලධාරියෙක් ගැන. සමහර වෙලාවට අපි හිතනවට වඩා හමුදා නිලධාරියෙක් ගෙ ජීවිතේ කටුකයි. ගෙදර ගැන වගේම තමන් යටතෙ ඉන්න සෙබළුන් ගැන පියෙක් වගේ හොයන්නත් ඕනි ඔහු. ඒ වගේම රාජකාරියත් අකුරටම ඉශ්ඨ කරන්න ඕනි. මේ ඔක්කොම කරද්දි ඔහුට ගෙදර ගැන හිතන්න හම්බ වෙන්නෙ හරිම පොඩි කාලයක්. ඒ කාලයෙන් බිරිඳකට සැනසෙන්න පුළුවන් නම් ඒක ලොකු කැපකිරීමක්

    ReplyDelete
  25. සුම්මා : අනේ ඔයාව රිදවන්න නෙවෙයි ලිව්වෙ. හිත රිදුන නම් මට සමා වෙන්න.

    ReplyDelete
  26. දුකා අයියා : ඒක ඇත්ත ඒත් ගොඩක් පිරිමි ඒක කර ගන්නෙ විහින් කියලා නම් මම දන්නව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මම ආස ගීත