ආදර හසුන් ...... කොටින්ම කිව්වොත් ලව් ලෙටර්


පහුගිය දොහක නාහෙට නාහන උණක් සාදාගෙන ඉස්පිරිතාලේ බත් කෑ බව සියල්ලෝම දනිති. ඒ කාලයේදී මට දින 8ක් පමණ ඉස්කෝලේ යාමට නොහැකි විය. දින 8 කට පසුව කෙඳිරි ගාමින් බඩ ගාගෙන ඉස්කෝලේ ගිය මට අපේ බෝඩිමේ නංගී කණට කර රහසක් කීවාය. 

 "අක්කා ප්‍රසාදි අපේ ශාන් ට ලියුමක් එවලා තිලිණ අතේ. තිලිණ ඒක ගෙදරට දීලා. දැන් හරි ජරමරයයි."

ඒ ටික කියූ ඈ ආපසු පන්තියට ගියා ය. මගේ උණ ආපසු හැදෙන්නට එන බවක් මට දැනුණි. හත්වලාමෙ දැන් ඉතින් කණක් ඇහෙන්න වෙන්නෙ නෑ බැනුම් ම තමා අහ ගන්න වෙන්නෙ. 

එදා ඉස්කෝලේ ඇරී බෝඩිමට ගිය මම දවසම නිදා ගත්තෙමි. එකවර උඩ විසි වී ඇහැරුනේ බනින සද්දයකිනි. අක්කා හොඳවායින් ශාන් අමතයි.  ලියුම හසු වීමෙන් පසුව ශාන් ගේ තත්වය ගෙදර බල්ලාටත් වඩා පහළට වැටී ඇති බව මට පසක් විය. අක්කා ශේප් කරන්නට වෙන්නෙ ටික ටික ය. 

මීට කලින් මාස 4 කට පමණ පෙර ප්‍රසාදි අල්ලා ගත් මමත් එරංගත් ප්‍රසාදිට කිව්වේ අනන් මනන් අපිට ආරංචි වන බවත් ඒවා ගැන සැලකිලිමත්ව වෙන වෙන දේට සිත නොයොදා ඉගෙනීමට යොමු වන ලෙසත් ය. නමුත් ඊගාව දවසේදී ප්‍රසාදිගේ අම්මා අපට ගමේ පස් පඩංගුවේ බැණ වැදී තිබුණු අතර තම දරුවාට අබූත චෝදනා කර කතා හදන්නෙ උතුමා සරුත් එරංග සරුත් සංජු ටීචත් බවයි. සංජු ටීචට ගමේ වසන්නට නොදෙන බව අපේ බෝඩිමටම පැමිණ සත්තම දමා ගියේ මම ඇතුලේ සිටි බව නොදැනය. මම කට වසාගෙන සිටියේ කොකා ට වාරය දී තිත්තයාගේ වාරය එන තුරුය.  

බෝඩිමේ අක්කා ලියුම සඟවාගෙන සිටියේ හැට්ටය අස්සේය. ලියුම කියවූ සැනින් මට ශාන් පසුගිය මෝඩකම් අමතක කර ඇති බව පසක් වූ මුත් කෙල්ල තවමත් ඒ පස්සේ යන බව වැටහිණි.  එතනින් එහාට පාසලේ සිද්ධ වූ දේවල් මහා කුණු කන්දරාවක් බැවින් මම ඒ ගැන ලියන්නට අදහස් නොකරමි. නමුත් මට ප්‍රශ්නය වූයේ මේ ලියුම මෙච්චර ලේසියෙන් අහු තිලිණ දුන්නේ කෙසේද කියාය. පසුව මම ඒ ගැන විපරම් කළෙමි. 

තිලිණ යනු ශාන් ගේ මස්සිනා වන අතර අපේ ඉස්කෝලයේම 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ප්‍රසාදී ලියුම දී ඇත්තේ තිලිණට ශාන්ට දෙන්නට හගිස්සවාගෙනය.  නමුත් එදා ගෙදර එන්නට ප්‍රමාද වූ තිලිණ ට දෙකක් කියූ තිලිණ ගේ පියා වන ප්‍රියන්ත අයියා "මෙහෙ දෙනවා බලන්න තමුසෙගෙ පොත් මල්ල" යැයි පවසා එයට සුට්ටන් සර්ච් එකක දී ඇත. ඒ සෙවිල්ලේදි පොතක් ඇතුලේ තිබී ලියුම ප්‍රියන්ත අයියාට හසු වී ඇත. තිලිණට තිලිණ මහ ගොඩක් එදා ප්‍රියන්ත අයියාගෙන් ලැබුණු බව අක්කා අපට කීවාය. 

ප්‍රසාදී තිලිණට දී ඇත්තෙ ලිපිය පමණක් නොවේ.  

"නංගි දන්නවැයි... අර කෙල්ල අපේ තිලී ට ලියුම දෙන්න අල්ලසකුත් දීල රුපියල් 5 ක්"

"නෑ........................... එහෙමද?"

"නැත්තං..... අපේ තිලියත් හොඳ බඩුව මෙච්චර දවසක් ලියුම් ඇදලා සල්ලි වලට"

"අම්මපා.....!! ප්‍රියන්තයියද සීන් එක හොයාගෙන තියෙන්න?"

"එහෙනම්..... හැබැයි තිළිය නම් කියන්නෙ කලින් ලියුම් ගෙනාවෙ නෑ කියලා. ඒත් අපි කටින් අල්ල ගත්තා"

"හෑ ...... ඒ කොහොමද?"

"ඔන්න නංගී.... මමයි අපේ නංගියි පස්සෙ දවසක තිළියා සෙල්ලම් කරද්දි පැත්තකින් කතාවට අල්ල ගත්තා. අපේ නංගි ඇහුවා, 'තිලී ලියුමක් අදින්න රුපියල් 5ක් මදි නේද? අපරාදෙ ඔහෙට තව වැඩිපුර ගානක් කියන්න තිබ්බෙ' කියලා.  මූට එක පාරම කියවුණා නංගි 'ගියපාර ලියුමට නම් රුපියල් 30ක් දුන්න' කියලා"

තිළියා නම් ගොන් බඳින ගහකි.  

"හික් හික් හික්..... තිළිණට ආයෙ හම්බ වුණාද?"

"නෑ නෑ අපි ඒක ප්‍රියන්තට කීවෙ නෑ"

"එල" 

මේ අතරතුරේ බත් කමින් සිටි අපේ අයි.ටී. නංගීගෙ බත්පත ඉස්මොල්ලේ ගියේය. යන්තම් පිටට ගසා වතුර දී ඇයට කතා කර ගන්නට හැකි වූ විට ඈ හිනාවට හේතුව පැවසුවාය. 

"තිලිණ හරි අක්කා.  ශ්‍රී ලංකා තැපෑල වගේ තමා"

"හෑ.... ඒ කිව්වෙ???"

"දැන් බලන්න අක්කා... ප්‍රසාදි මේ ලියුමට දීල තියෙන්නෙ රුපියල් 5යි. ඒ කියන්නෙ සාමාන්‍ය මුද්දර ගාස්තුව විතරයි. ඒ වගේ ලියුම් වලට තැපෑල වග කියන්නෙ නෑ නෙ. හැබැයි ඒකි කලින් ලියුමට රුපියල් 30ක් දීල. 30ක් කියන්නෙ රෙජිස්ටර් පෝස්ට් නෙ අක්කා. ඒකට වගකීම තැපෑල දරනවා. ඒවා මගදි නැති වෙන්නෙ නෑ. "

"ඒ කියන්නෙ මෙතන වෙලා තියෙන්නෙ තැපෑලෙ ප්‍රශ්නයක්.....!!!!"

"අනිවා..... ප්‍රසාදි ඕක වෙනදා වගේ 30ක් දීල එව්වනම් ශාන් ට හම්බ වෙනවා. 5ක් දුන්න නිසා වගකීමක් නෑ ලබන්නාට හම්බ වුනේ නෑ ලියුම මගදි ලොස්ට් "

අනේ ඉතින් දැන් ලව් ලෙටර් එකක් යවන්නත් එතකොට පාවිච්චි කරන්න වෙන්නෙ ලියාපදිංචි තැපෑලය.  ඒ මදිවාට අපේ තිළීට දැන් අළුත් නමකුත් ඇත. ඒ "කූරියර්" ය.

Comments

  1. දැන් ඔව්වා කලාතුරකින් තමා! ඇස් ඇම් ඇස් ලෝකයක් නේ දැන්!

    ReplyDelete
  2. අප්පා තාම ලව් ලෙටර් යනවද....? මම නම් AL කරද්දි ලියුමක් දෙන්න ගිහිං අම්මට මාට්ටු වුනාට පස්සේ අද වෙනකං ලියුමක් ලියන්න හිතලවත් නෑ....

    ReplyDelete
  3. ශෙහ් මමත් එකම එක පාරයි ලියුමක් දීල තියෙන්නෙ. අපොයි ඒක ලියන්න කාපු කට්ට. හැබැයි මාට්‍ටු වුණෙත් නෑ. වැඩෙත් හරි ගියා!

    ReplyDelete
  4. දැන් ඉතින් කොම්පීතර යුගේ නේ.. මොන ලිවුං කරදහිද..

    ReplyDelete
  5. අයියෝ ලියමනක් ලියන්නත් ආසයි,,ඒ උනාට තිලිනයගේ සේවය අගය කරන්න ඕනා,,සමහරවිට ඌ තැපැල් කන්තෝරුවක වැඩ කරන්න ආසා ඇති

    ReplyDelete
  6. තිළිණ පව් අනේ. දැන් ඉතිං එයාට ආයෙ ගතමනාවක් හම්බ වෙන්නෙ නෑ නෙ.

    අර ගෑණු ලමයගෙ අම්මගෙ කට ඊට පස්සෙ වැහෙන්න ඇති නේද? ඕවගෙ දේවල් වලට කෑ ගහගෙන කලබල වෙන්න හොද නෑ කියන්නෙ ඕක තමයි.

    ReplyDelete
  7. "දැන් බලන්න අක්කා... ප්‍රසාදි මේ ලියුමට දීල තියෙන්නෙ රුපියල් 5යි. ඒ කියන්නෙ සාමාන්‍ය මුද්දර ගාස්තුව විතරයි. ඒ වගේ ලියුම් වලට තැපෑල වග කියන්නෙ නෑ නෙ. හැබැයි ඒකි කලින් ලියුමට රුපියල් 30ක් දීල. 30ක් කියන්නෙ රෙජිස්ටර් පෝස්ට් නෙ අක්කා. ඒකට වගකීම තැපෑල දරනවා. ඒවා මගදි නැති වෙන්නෙ නෑ. "

    දවසේ කතාව!!

    ReplyDelete
  8. මොනවා උනත් තිළියට පැහැදිළි අනාගතයක් තියනවා..

    අර අයි ටි ටිච කියපු කතාව තමයි මරු :)

    ReplyDelete
  9. ලියුම් ලියන කාලේ දැන් නැහැනේ හ්ම්ම්ම්

    ReplyDelete
  10. මමත් ලියුම් ලිව්ව එක අත් ඇරලා ගොඩක් කල්, හැබැයි මට නම් කුරියර් සර්විස් තිබුණේ නෑ!

    ReplyDelete
  11. ශිහ් . . . මමත් වතාවක් කෝට්ටෙ පැත්තෙ නංගි කෙනෙකුට පාන්දර එකට විතර ජනේලෙං එලියට එන්න මම ඉන්නව කියල ලියපු තුන්ඩු කෑල්ලක් යැවුව කෙල්ලගෙ මල්ලිගෙ අතේ . . . මේ පරය ඒක කෙලිංම දීල තිබුනෙ උංගෙ තාත්තගෙ අතටනෙ . . . . නිකං හිතන්නකො පාන්දර එකට සයිකලේ අකුලක හංගල තාප්පෙං අර වත්තට පැන්න මගෙ තත්වෙ ඊට පස්සෙ මොනවගේ වෙන්න ඇද්ද කියල . . . .

    ආදර්ෂය: ලවු ලෙටර්, ලවු චිට් යැවීමට හිච්චි එවුං භාවිතා නිකරන්න

    ReplyDelete
  12. හික් හික් සිරා කතාව, එලටම ලියල තියෙනව.මම මේ හිතුවෙ මේ ටික පත්තරේකට එහෙම යැව්වොත් අනිව පලවෙනව.

    ReplyDelete
  13. හිකිස් ඇත්තනේ රුපියල් 5 කින් දැන් මොනවාද කරන්න පුළුවන්!

    ReplyDelete
  14. අපි නම් ඔය වගේ වැඩ කරන්නෙ නෑ. අහනවනම් ෆේස් ටු ෆේස් තමා. ආයේ සාක්ෂි කියල දෙයක් ඉතුරුවෙන්නෙ නැති නිසා මාට්ටු වීම්, කෙලවීම් වගේ දේවල් වලදි බය වෙන්න දෙයක් නෑ.

    හැබැයි සෙනසුරාගෙ පවර් එක වැඩි වෙලාද කොහෙද ෆේස් ටු ෆේස් අහපු දාට පහුවදා අනිත් ෆේස් එක පන්තිභාර මැඩම්ට කියල වැඩේ ලීක්. මැඩම්ගේ ගුණ යහපත් කමට "ඕව දැංම එපා පස්සෙ කරන්න" කියල ෂේප් කරල දැම්ම. දැනුත් හම්බුනාම "අහවලී කෝල් කලේ නැද්ද?" කියල නිකං චාටර් එකට වගේ අහනව. බැලින්නම් අහවලීට කොල්ලෙක් ඉන්නව උං දෙන්නට ගෙවල් වලින් මනාපයත් දීල තියෙන්නෙ කියල මැඩම් ඒ වෙද්දි දැනං ඉඳල තියනව.

    ඒත් සංජු අක්ක වගේම ඉංගිරිස් ටීචර් කෙනෙක් තමා.

    හොඳම ගුරු වැකිය හම්බුනේ මගෙ යාළුවෙකුට. 11 අන්තිම හරියෙදි. ලව මාට්ටු වෙච්ච ගමන් මාට්ටු වෙච්ච සර් කීවෙ "ඕක විභාගෙ ඉවරවෙලා කරගන්නව මමත් ඕනෙනම් සපෝට් කරන්නම්" කියල. හැබැයි කෙල්ලගේ අයහපත් කල්කිරියාව මත කොල්ල වැඩේ අතෑරිය නිසා සර්ට සපෝට් එකක් කරන්න වෙලාවක් තිබුණෙ නෑ.


    සංජු අක්කටත් තියෙන්නෙ කතානායක පෙම්වතාට හොඳ නැන්දම්මෙක් සහිත හොඳ පෙම්වතියක් හොයල දීල අපේ සර් කීව වගේ සපෝට් එකක් දෙන එක.

    ReplyDelete
  15. සමාජෙන් තුරන් වෙලා යන්න නොදී ඒ ක්‍රම රැක ගැනීම පිලිබඳ "කුරියට" මගේ ප්‍රමනමය

    ReplyDelete
  16. අපේ ඉස්කෝලෙ කෙල්ලො හිටියෙ නැති නිසා ඔය වගේ චොර කේස් තිබුනෙ නෑ, අපිත් කනක් ඇහිල වැඩ කරගත්ත, ගුරුවරුත් හිත සතුටින් ඉගැන්වීම් කටයුතු කලා ඔය වගේ කේස් වලට කාලය නාස්ති නොකර... :)

    ReplyDelete
  17. මාර කේස් එකක්නෙ. මම ආවෙ අර ඕනයා අන්තිම පේලියෙ කොමෙන්ට් එකක් එක්ක දාලා තිබ්බ ලින්ක් එකකින්, ප්‍රශ්න පත්තර රස කතා බලන්න. අපි දෙන්නත් කරන්නෙ ඔය රස්සාවම දමයි සංජු.

    henryblogwalker the Dude

    ReplyDelete
  18. "දැන් බලන්න අක්කා... ප්‍රසාදි මේ ලියුමට දීල තියෙන්නෙ රුපියල් 5යි. ඒ කියන්නෙ සාමාන්‍ය මුද්දර ගාස්තුව විතරයි. ඒ වගේ ලියුම් වලට තැපෑල වග කියන්නෙ නෑ නෙ. හැබැයි ඒකි කලින් ලියුමට රුපියල් 30ක් දීල. 30ක් කියන්නෙ රෙජිස්ටර් පෝස්ට් නෙ අක්කා. ඒකට වගකීම තැපෑල දරනවා. ඒවා මගදි නැති වෙන්නෙ නෑ. "

    :D කාලෙකින් ඇහුව හොඳම විග්‍රහය.

    ReplyDelete
  19. නියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.blogspot.com/

    ReplyDelete
  20. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

කාටූන්

මම ආස ගීත