ස්පෝර්ට්මීට් කතා (අවසාන කොටස) - මම ඔබෙන් ආදරය කරන්නට උගත්තෙමි.


ස්පෝර්ට් මීට් කතා සීරිස් එක මම අල කර ගත්තේ වලි කතා ලියන්න ගිහින්. මොන වලිය තිබ්බත් ඔන්න අද අපි අපේ ස්පෝර්ට් මීට් එක ඉවර කර ගත්තා. ඊයේ දවල් තමා ඔන්න කට්ටියටම ඕනී වුනේ නිවාසය හදන්න. මගේ නිවාසයේ කොල්ලෝ ටික ඉතින් දෙයියනේ කියලා හණ කැලේකටයි මාන කැලේකටයි වග කියලා තිබ්බා. කොල්ලන්ගේ අත් මාන වලට සහ හණ වල කටු වලට හොදටම කැපිලා තිබ්බේ. වැඩේ අල වෙලා තිබ්බේ ඒවා චන්දන අයියාගේ ලොරියෙන් ඉස්කෝලෙට ගෙනාපුවාමයි. ඔක්කොම පොඩි වෙලා. 

අපේ රජිත ට ඕනි වුනේ නැවක් හදන්න. මනුස්සයාගේ නැවේ ප්ලැන් එක දැක්කම මට මොලේ නරක් වුණා. ඒක නැවක් කියලා පේන්නේ අහසින් ගිහාම විතරයි. පස්සේ විස්තර කරලා කරලා කට්ටියම එකග වුණා ඉස්සරහ නැවක් වගේ හදන්නත් පිටිපස්ස නිකන් හරි හතරැස් කාමරයක් හදන්නත්. ඉතින් ඔන්න අපි වැඩේ ට බැස්සා. 

මෙහෙම වැඩකට මමත් ළමයිනුත් බැස්ස පළවෙනි වතාවයි මේ.  අපි නිකන් උඩින් වැටිලා වගේ. වෙලාවට පිහිටට ආවේ චන්දන අයියා. 6 වසරේ නෙත්මි ගේ තාත්තා. එයා කණු හිටවන්න පොළවේ වලවල් හාරලා කනු හිටවලා සැකිල්ල හදලා දීලයි ගියේ. ඒත් අත්දැකීම් නැතිකම නිසා අපි සෑහෙන්න පසු බැහැලා හිටියේ. අපි උදේ ඉදලා රෑ 8 විතර වෙනකල් ම උත්සහ කලේ ස්වභාවික ද්‍රව්‍ය වලින් කොහොමද බිත්ති හදන්නේ කියලා කම්පනා කරන්නයි. 

ඔව් වෙලාව හරි ... එතකොට වෙලාව රෑ 8යි.පස්සේ අපි ඔක්කොම පුළු පුළුවන් විදියට නිවාසේ හැදුවා. චන්දන අයියා කියතට ඇගිල්ලක් කපා ගත්තා. ඒ අතරේ අපේ නිවාසේ නායක භානුක අල්ලවල් දෙක ට හුලං පිඹිනවා. 

"මොකද භානුක?"

"නෑ ටීච මොකුත් නෑ" කොල්ලා අත් දෙක පිටිපස්සට කර ගත්තා.

මම කොහොම හරි භානුකව අල්ලගෙන අල්ල දිග ඇරලා බැලුවා. මගේ පපුව හිර වෙන්න වගේ ආවා ඒ අත් දෙක දැකලා. භානුක ගේ අත් දෙකේම කර ගැට. ඒවා ලොකු දිය පට්ට වෙලා සමහර දිය පට්ට පුපුරලා. සමහර දිය පට්ට ඇතුලේ සැරව පිරිලා වගේ සුදු පාට වෙලා.  මම හෙමීට ඒ අත්ල අතගෑවා. කොල්ලා හිනා වුනා.

"ඕකට මොනවා උනත් ටීච මම වැඩ කරන්න එපායැ"

"රිදෙන්නේ නැද්ද පුතේ?"

භානුක සිනා සුනේ ය.  ඒ ඔහුගේ හැටි ය. භානුක යනු ගිය අවුරුද්ද තෙක් මගේ පන්තියේ හිටපු නසරානිම කොල්ලෙකි. හේ ඉගෙනීමට මධ්‍යස්ථ දස්කම් ඇති දරුවෙකි. නමුත් ඒ ටිකවත් කර ගන්නට බැරි උණේ කොල්ලාගේ දගකාරකම නිසාය. නමුත් හේතුවට හෝ අහේතුවට ඔහු මගේ නිවාසයේ නායකයා බවට පත් විය. සති දෙකකින් හේ විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු වන්නට තරම් වාසනාවන්ත විය. ඒ නිවාස නයකයෙකු වෙමින් හේ දක්වූ අසීමිත කැප කිරීමේ ප්‍රතිඵල වශයෙනි. අද වන විට භානුක යනු අපූරු නායකයෙකි. එහි ආඩම්බරය ඇත්තටම මම මගේ ගිණුමට බැර කර ගනිමි. ඔහුව නායකයෙකු කලේ මමයි. ශිෂ්‍ය නායකයෙකු කලේ මමයි. අදින් පසුව මගේ ඊළග අරමුණ දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විහාගය ලියන ඔහුව අධ්‍යාපනයට යොමු කරවීමයි.

රෑ 8 ට මට සිහිය ආවේ ය. "මුන් රෑ ට කාලා නෑ නේද?" වහාම මම නිරෝශන් ව කඩේ යවා පාන් සහ සැමන් ටින් එකක් ගෙන්වා සමන් මලෙන් පවන් සැලේ ගේ ගෙදරට ගොස් සැමන් සම්බෝලයක් සෑදුවෙමි. එය ගෙනැවිත් නිවාසය සාදන තැන තැබීමට ගිය වෙලාව පමණි. අන්තිමට මම දැක්කේ සැමන් සම්බෝලය තිබූ භාජනය පිස දාගෙන කන රජිතයි.  

මගේ හිත නැවත නරක් විය. වහා පුස්තකාලය හැර අමුත්තන්ට සංග්‍රහ කිරීමට තිබූ බිස්කට් පැකට්ටු දෙකක් පිටියට ගෙන ගියෙමි. හශාර යවා ඔහුගේ ගෙදරින් කහට එකක් සාදවාගෙන ගෙනාවෙමි.  යන්තම් කොල්ලන්ගේ කටට පණ ආවේය. මම වටපිට බැලීමි. අනික් නිවාස දෙක හදන්නේ දෙමාපියන් ය. මගේ කොල්ලෝ චන්දන අයියා හා තවත් එක පියෙක් හා සමග පමණක් මැරෙති. මා සමග මගේ නිවාසයේ අනික් ගුරුතුමා වන නියෝජ්‍ය විදුහල්පති ගුණසිංහ සර් ද විය. ඔහුද උණ බට පලමින් දරුවන් ට උදව් කලේ ය. ධම්මිකා හා වසන්තී හවස 4 වන විට ගෙදර ගියහ. 

 මට ගෙදර යන්නට ලැබුණේ රෑ 12 ට ය. ඒ බෝඩිමේ ලොකු කොලුවා ශාන් නිදිමත පෙරෙමින් වෑන් එක රැගෙන පැමිණි පසුවය. ඒ ගියේ ද සතුටින් නොවේ. මගේ දරුවෝ දමා යාමට මට සිත් දුන්නේ නැත. නමුත් හිස් කබල පුපුරා යන තරම් දැඩි ශීතලකින් යුත් ඒ රාත්‍රියේ මට නිවසට යන්නට සිදු වුනේ උණුසුම් ඇදුම් කිසිවක් මා සතුව නොතිබුණ බැවිණි. රාත්‍රී 12 වන තෙක් කොල්ලෝ කණ්ඩායම් දෙකකට බෙදී මාරුවෙන් මාරුවට වැඩ කළහ. එක කණ්ඩායමක් වැඩ කරන විට අනික් කණ්ඩායම මගේ ලගට වී කියවති. මම ඔවුන් ව පන්නන විට ඔවුන් යයි. ටිකකින් අනික් කොටස මගේ ලගට විත් කියවති. එසේ කිරීමට හේතුව මට කිව්වේ පසුදා උදෑසන ය. කොල්ලෝ කණ්ඩායම් දෙකකට බෙදී මා යන තුරු මාරුවෙන් මාරුවට මා මුර කර ඇත. මගේ පපුව දැවී ගියේ ය. 

පසුවදා උදෑසන මම දම් පැහැ සාරියක් ද ඇදගෙන ඉක්මනින් පාසැලට ගියෙමි. ඒ වන විටත් ලකුණු 120 ක පරතරයක් අපේ නිවාසය හා 2 වන ස්ථානය ලබා ගත් නිවාසය අතර විය. දිනන්නට නොහැකි බව අපි සියළුම දෙනා දැන සිටියෙමු. ඒත් අපිට ආශාවක් විය. ඒ කැත වුණත් අපේ නිවාසයට ලස්සන යැයි කියාවි යැයි යන බලාපොරොත්තුවයි.  

මගේ පිටුපසින්ම වාගේ ධම්මිකා හා වසන්තී පැමිණියහ. ඔවුන් නිවාසය පැත්ත පලාතේවත් නොගොස් කෙලින් ම පුස්තකාලයට රිංගා ගත්හ.  ටිකකින් පුස්තකාලයේ සිටි කෙල්ලන් දෙදෙනෙක් නිවාසයට පැමිණ මා වටා කැරකෙන්නට විය. 

"ටීච , ......(අහවල්)....... ටීච අන්න බනිනවා. නිවාසේ කැතයි ලු. එයාට එන්නවත් හිතෙන්නේ නෑ ලු. හරිම ජරා නිවාසයක් ලු. අනික් දෙකම ලස්සනයි ලු."

මට පත්තු විය. මගේ ඇස් වල කදුළු පිරුණි. වහා මම වටපිට බැලුවෙමි. විය යුතු නරකම දේ සිදුවී ඇත. මගේ කොල්ලෝ ටික මගේ පිටුපසය.  ඔවුන් ට ඒ කතාව ඇසුණා පමණක් නොව මගේ දෑසින් වැටුණු කදුළු ද පෙනුණි. එය සගවා ගැනීමට මට අවකාශයක් නැති විය. භානුක ගේ දෑස් වලින් ගිනි පුළිගු පිට විය. භානුක ඒ කතාව කී කෙල්ලට කතා කලේ ය. 

"මේ තමුසේ ගිහින් කියනවා එන්න බැරි ඕනි එකෙකුට එහෙට වෙලාම ඉන්න කියලා. අපිට සංජු ටීච හිටියම ඇති. අපි 3 වෙනි තැන නිසානේ ඔහොම කතා කරන්නේ. වැරදිලා හරි අපි අද 2 හරි 1 හරි තැන් වල හිටියා නම් ටීච කරපු වැඩත් එක්ක ඒගොල්ලෝ කරා කිය කිය මෙතන නටයි. ගිහින් කියනවා එන්න ඕනි නෑ කියලා." 

කෙල්ලෝ දෙන්න අමු කැවුනා සේ බලා සිටියි. මම වහා භානුකව නැවැත්තුවෙමි. 

"අනේ පුතා කෑ ගහන්න එපා ඕනි එකක් කියපුදෙන්" 

ඒ මොනවා කිව්වත් මගේ දෑසින් වැටෙන කදුළු නවතා ගැනීමට මම අසමත් වීමි. මට නිවාසය පැරදුනාට දුක නැත. මගේ පුතුන් මහන්සි වී දින දෙකක් නිදි මරා දෑතේ කරගැට දියපට්ටා එන තෙක් කළ වැඩය එක වචනයකින් අගය නොකිරීම ගැන මට පපුව පැලෙන තෙක් දුක සිතුණි.  මගේ දෑසින් කදුළු වැටුනේ එහෙයිනි. 

අවසානයේ සියළු දෙනා නිවාසයට පැමිණියහ. කිසිදු අගය කිරීමක් නැත. ලොකු කොල්ලන්ගේ ඇස් වලින් ගිනි පිට වේ. මම අන් අයට නොපෙනෙන ලෙස දෑත් එක් කර කිව්වේ කට වසාගෙන සිටින ලෙස යි. "ටීච නිසා ඉවසනවා" කියමින් භානුක අතුරුදහන් විය. ඒ පසුපසින් අනික් සියළු දෙනා ද මාරු විය. 

මේ අතර ගුරු මණ්ඩලයේ තරගය ආරම්භ විය. අපේ නිවාසයේ එක්කෙනෙක් තම දරුවා වඩාගෙන සැමියා සමගය. අනිකා ගත් කටටම කිව්වේ "මට යන්න බෑ මම යයි ඕකුන්ගේ ඒවාට" කියා ය. ගුනසිංහ සර් පැත්ත පළාතේ නැත.  භානුක හා නිවාස නායිකා සදුනි මා ඇමතූ හ. 

"ටීච.... ටීච යන්න ටීච. අපේ නිවාසේ වෙනුවෙන් ටීච යන්න. අපි ඉන්නවනේ ටීචට"

කණ්ඩායම් තරගය තනිවම හෝ කරන බව සිතාගෙන මම මායිමෙන් රිංගා ක්‍රීඩා පිටියට ඇතුල් වීමි.  මෙන්න අර ඕකුන්ගේ ඒවාට මම යයි කියූ එක්කෙනාද මගේ පසුපසින් පිටියට එයි. බබා වඩාගෙන සිටි එක්කෙනා ද බබාව සැමියාට දී ආවාය. 

ගුරු මණ්ඩලයේ තරගය බෝලයක් සිග් සැග් ක්‍රමයට වීදුරු බෝතල් අතරින් බිම දිගේ රවුමක් ගෙන ගොස් දෙවනියාට නැවත භාර දීමයි.  ඕකුන්ගේ ඒවාට මම යයි කියූ එක්කෙනා වටයක් යාමට ගත් කාලය නිස අපි එහිද සිටියේ 3 වන තැනය. හොද වෙලාවට අනික් නිවාසයක සිටි අළුත් සර් බෝලයට දූන් පයින් පාරක් නිසා බෝලය පිටියේ දුර කොනකට විසි විය. ඒ අවසරයෙන් අපි තරගය 2 වන ස්ථානයට නිමා කළෙමු. 

තව තරග 2 කට පසු ගුරු මණ්ඩලයේ තරගයේ ත්‍යාග බෙදා දුනි. මම තෑග්ග ගන්නට වේදිකාව දෙසට යන විට නිවාසයේ කොඩිය රැගෙන භානුක මා පසුපසින් දිව ආවේ ය. මගේ පාසැලේ සංඝමිත්තා නිවාසයේ රතු ධජය සමග ගිය ගමන් මට නිතැතින් ම සිහියට නැගුණි.  එය ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයකි. 

ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ දී අපි ලකුණු 200 කින් පමණ පස්සට විසි වී සිටියෙමු. එය මම බලාපොරොත්තු විය. මට ඉවසා දරා ගැනීමට නොහැකි වුනේ මා මැදින් තබාගෙන මගේ කණ් 2 හරහා යැවූ ඇනුම් පදයි. ඒ සියළුම දෙනාට වඩා වයසින් සහ සේවයෙන් ලාබාල මට නිවාසය භාර දීමෙන් ඔවුන් ට ඇති වී යැයි සිතන නින්දාවත්, ළමයින් මා සමග එක්ව වැඩ කිරීමෙන් ලමයින් මා හා මිතුරු වීම නිසා ඇති වූ ඊර්ෂ්‍යාවත් නිසා බව මට ඒ වන විට හැගී ගොස් තිබුණි. 

ඒ වන විට මගේ ඇස් වල ඇති පයිප්පය නැවත ලීක් වෙන්නට ඔන්න මෙන්න විය. පහසුවෙන් සිටි ආචාර පෙළපාලි කණ්ඩායමේ එකෙක් මගේ ඇස් වල කදුලු දැක්කේ ය. ඔහුගේ මාර්ගයෙන් සියළුම දෙනා දැන ගත්හ. ඉදිරියෙන්ම සිටි භානුක තෙක් මුළු ආචාර පෙලපාලි කණ්ඩායමම හැරී මා දෙස බැලූහ. හිස බිමට නවා ගත නොහැක. එයින් මා පරාජිත බව පෙනේ. දෑසේ එක්වූ කදුළු පිස දැමිය නොහැක. මා ඉන්නේ පිට්ටනිය මැදය. මම දරාගෙන සිටියෙමි.වෙන දේ ඔවුන් ට අනුමානයට දැනී තිබුණි. 

ක්‍රීඩා උත්සවය අවසන් වූ විට මම ළමෝ සියළු දෙනා මා වටා එක් කර ගත්තෙමි. අපි ළංව රවුමක් සෑදුනෙමු.  මට ඔවුන් ට අවසාන වචන ස්වල්පය කීමට උවමනා විය. 

"පුතේ ඔයාල ගොඩක් මහන්සි වුනා...හිත නරක් කර ගන්න එපා. ල...බ..න පාර අ.. පි.... එ...එක... නි..වා..සෙ..ක...නො...ඉ...න්...න... පු....ළු..ව...න්.  ඔ...යා...ල...ට...පි...න්.... අ..පි...ට...උ..ද..ව්... ක..ලා...ට"

අවසාන පේළි දෙක කියද්දී මට ඇඩුණි. මම එහෙම්මම නිවසයේ ප්‍රථමාධාර ඒකකයට ගොස් හැඩුවෙමි. මා පසුපසින් විත් සදුනි ද හඩන්නීය. මම මේ කුමක් කරන්නේ ද?  

ධම්මිකා හා වසන්තී පැමිණ ළමයින් ට බැන කෑම බෙදා දුන්හ.  දහය වසරේ සුපුන් හඩමින් පැමිණ මා අසල වාඩි විය. 

"ටීච අඩන්න එපා ටීච. ටීච අපි වෙනුවෙන් කොච්චර වෙලා හිටිය ද? ටීච ගෑණු ළමයෙක් වෙලත් අපි නිසා බය නැතුව හිටියා. අපිට තේරෙනවා ටීච. අපි මෝඩයෝ නෙවෙයි. " 

සුපුන් කදුළු පෙරමින් හඩන ගමන් මා සනසයි. ඔහු හඩද්දී මා සැනසෙන්නේ කෙසේ ද?  

එකවරම කාමරයට රිංගුවේ භානුක සහ තරිදු ය. භානුක කාමරයේ මුල්ලකට ගොස් හඩන්නට විය. තරිදු ද හඩයි. ඒ පසුපසින් භානුක ගේ පුංචි අම්මා ඇතුල් විය. භානුක මා අසලට පැමිණ ඇත්තේ පුංචි අම්මාගෙන් බේරීමටයි.  මම නිවාසයේ පිටුපස බැලුවෙමි. කරදඩු දික් වූ නසරානි කොල්ලෝ , පන්තියේ දී දඩබ්බරම කොල්ලෝ පොඩි උන් සේ හඩා වැටෙති. සියල්ලෝම සිතන්නේ අපි අඩන්නේ පැරදුන නිසා කියා ය. ඇත්ත දන්නේ අපි පමණි. භානුකට ඇණයක් වී සිටි පුංචි අම්ම ගිය පසු හේ එලියට ගියේ ය. 

ඔක්කොම අඩන්නට පටන් ගත්තොත් මෙතන මළ ජංජාලයක් වෙන නිසා මම ඇඩීම අමාරුවෙන් පාලනය කර ගතිමි.  ඒ අතර එක්කෙනෙක් ගොස් භානුකට බැන වදියි. ඒ කන්නට කියාය. භානුක ඇයව සත පහකට ගනන් නොගෙන අහක බලාගෙන සිටියි. මම එතැන සිටි අම්මා කෙනෙකුට කියා බත් එකක් බෙදවාගෙන භානුක සිටි තැනට ගියෙමි. 

"භානුක කන්න පුතා" භානුක බෑ කියමින් හිස වනයි. 

"අනේ පුතේ ඔයා මාව ආයේ අඩවන්නේ නැතුව කන්න මේක පුතෙ" නැවතත් බෑ.

"ඔයා මාව ආයේ අඩවන්නද හදන්නේ. මගෙ පුතා කන්න මේක" උත්තරය පෙර සේමය.  

"ඔයා මගෙ නිවාසේ මගෙ රත්තරන් ලොකු පුතා නේද? මාව අඩවන්නේ නැතුව කන්න මගේ පුතේ"

බත් පිගාන දෝතින්ම ගත් භානුක ඌරන්ට මොන සෞඛ්‍යය දැයි සිතා එහෙම්මම කන්නට පටන් ගත්තේ ය.  මම බත් කටක් කෑවේ ඉන්පසුවය. දරුවෝ සියළු දෙනා ගියේ අපට වදිමිනි. ඒ ආදරය ගෞරවය ගුරුවරයෙකුගේ ජීවිතයේ අමතක නොවන මතකයන් ය. ආදරය ලබා එය නැවත දෙන්නට කැප කිරීම් කළ යුතුය. විශේෂයෙන් ඒ තම කුසින් වැදූ දරුවන් ට නොව අන් අයගේ දරුවන් ට බැවිනි. 

අද මම ආදරය ලැබුවෙමි. ආදරය ආරක්ෂාව මගේ පුතුන්ගෙන් ලදිමි. සෙනෙහස ආදරය මගේ දූවරුන්ගෙන් ලදිමි. වෙනදා මෙන් නොව අද මම ද ඔවුන් ට පෙරලා ආදරය දුනිමි. මට තුරුළු වී හඩන්නට ඔවුන් ලැජ්ජා වූයේ නැත. මගේ පුතුන් අදින් පසුව හඩන්නට වුවමනා වූ විට මා සොයා එන බව මම දනිමි. මා පුතුන් මා ඉදිරියේ ඔවුන්ගේ කදුළු හෙළුවෝය. මම ඔවුන්ගේ හිස අත ගා සනසන්නට ඔවුන් ට සිටින බව ඔවුන් අද උගත් හ. අඩන්නට වුවමනා නම් එය සගවනවාට වඩා හඩා පිට කිරීම හොද බව මම අදහමි.

මගේ දරුවෝ... මගේ පුතුන් සහ දූ වරුන් තවදුරටත් නොමේරූ පොඩ්ඩන් නොවේ. ඔවුන් තම දිවියේ පළමු අඩිය අද තැබූහ. පරිනත ලෝකයේ පළමු අඩිය මා  පුතුන් හා දියණිවරු තරණය කර හමාරය. ඒ මට ආදරය කරන හැටි ද උගන්නමිනි


Comments

  1. මොනව කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ.......

    ReplyDelete
  2. ගොඩක් ලොකු ලොකු සීන් වෙලා තියෙනව නේ... ඔහොම තමා තරඟ කරනකොට තමන් බලාපොරොත්තු වෙන්නේ තමන් සහාය දකවන කණ්ඩායම ජයග්‍රහනය කරාවි කියලා.. ඒකයි ඔහොම වේදනාව දැනෙන්නේ..

    හැබැයි කථාව නම්ගොඩක් සංවේදී ව ලියලා තියෙනවා.. කියවන් යද්දී මගෙත් ඇස් වලින් කඳුළු එන්න ඔන්න මෙන්න තිබුනේ..

    ලබන සැරේ හොඳට තරඟ කරනන කෝ..

    ජය වේවා..!!

    ReplyDelete
  3. සංජු ටීචගෙන් හිතට වදින්නම කතාවක්....

    අහල තියනවද ටීච කතාවක් "දීන නොහොද දෙකයි නොදී නොහොද එකයි" කියලා...
    ඉවසන්න අනුන් කියන දෙවල් අපිට වැඩක් නෑ අපි අපි වෙලා අපේ වැඩේ හොදට කලානම් එච්චරයිලු ඕං

    මාලන් ප්‍රනාන්දු
    -copy right reserved-

    ReplyDelete
  4. සමාවෙන්න *දීන නෙමෙයි "දීලා"*

    ReplyDelete
  5. ඇත්තටම ගුරුවරියෙක්ට කොච්චර බලපැමක් ලමයින්ට කරන්න පුලුවන් ද කියල හොඳට තෙරෙනව..ඒ හැකියාව දැනගෙන ඒක මේ ලමයින්ගෙ සුභ සිද්ධියට පාවිච්චි කරන සංජු ටීච ගැන අපිට ආඩම්බරයි..අපේ උපහාරය..hats off

    ReplyDelete
  6. මේක කියවල මටත් ඇඬුන .කොහොම උනත් සංජුවො ඔයාල තමා ෆ්‍රස්ට්.මෙච්චර කෙටි කාලෙකදි ඔයා ලබපු ඔය අත්දැකීම් එක්කල ඉදිරියේදි ඔයා තමයි හැමදාම පළවෙනිය වෙන්න ඕනෙ.

    ReplyDelete
  7. ඔහොම තමයි කොහෙත් ඵල ඇති රුකටනේ ගල් ගහන්නෙ කියලා හිත හදා ගන්න

    ReplyDelete
  8. ඔයා දුක් වෙන්න චුට්ටක් වත් එපා සහෝදරී. ජය පැරදුම කියන්නෙ එක සිද්දියක් විතරයි. ඒත් දරුවෙක්ගෙ ආදරයක් ලබනව කියන එක ඒ වගේද? මේ කාලෙ ගුරු භක්තියක් දරුවෙක් ගාව බේතකටවත් තියෙනවද හොයා ගන්න. ඒවට ගුරුවරුත් වගකියන්න ඕනෙ යම් ප්‍රමාණයකට. ඒ අතින් ඔයා පුදුම තරම් වාසනාවන්තයි.

    නුඹ වෙනුවෙන්
    එක මලෙක
    නම් නොවේමැයි
    මල් යායක
    සිරස නැමෙයි

    ReplyDelete
  9. අම්මෝ.. හරිම සංවේදි සිදුවීම් ටිකක් වෙලා තියෙන්නේ... මටනම් දුකයි තරහයි දෙකම තියෙනවා. ඔය වගේ දේවල් වලින් සැලෙන්න නරකයි. වෙන වෙලාවල් වලට වඩා ඔය වගේ වෙලාවක හිත ශක්තිමත් කරගෙන අනිත් අයට පේන්නම නොසැලී ඉන්න ඕනා...
    මොනව නැතත් ඔයාට ජීවිත කාලෙම සතු‍ටු වෙන්න පුලුවන් විදිහට හොඳ ළමයි ටිකක් ඔයා එකතු කරගෙන ඉන්නවා. එයාලට හොඳ ගුරුවරිය ඔයා.. ඒක ගැන හිතලා සතු‍ටු වෙන්න... :)

    ReplyDelete
  10. පූසා සහ කණියා : ලියන්න හිතේ තිබ්බ දේවල් ගොඩක් ලියා ගන්න වුණේ නෑ. මේක ලිව්වෙත් මම අඩ අඩා

    ReplyDelete
  11. සෝරෝ : ලබන පාරක් නැති වේ ද මන්ද!

    ReplyDelete
  12. මාලන් : මට දුක අර දරුවොන් ට වචනෙකින් වත් හොදක් නොකියපු එකට

    ReplyDelete
  13. පැන්ඩ්ස් : තැන්ක් යූ මල්ලි ඒත් මම දන්න තරමින් නම් මම ඒ තරම් හොද ගුරුවරියක් නම් නෙවෙයි

    ReplyDelete
  14. දිනේශ් : ජීවිතේ කෙටියි වගේ දැනෙනවා ඇයි දන්නේ නෑ. ආයේ ස්පෝර්ට් මීට් එකක් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ

    ReplyDelete
  15. ගුණේ අයියා : මට මොනවා වුණත් කමක් නෑ මගේ පැටවු පව් නේ. හොදයි කියනවට ආසයි නේ.

    ReplyDelete
  16. පිණිබිදු : පැරදුනාට දුක නෑ. අගය කිරීමක්වත් ළමයි වෙනුවෙන් නොලැබුණ එක ගැන දුකයි. ඒකත් නිවාසෙම ගුරුවරියන්ගෙන් වෙච්ච එක ගැන දුකයි

    ReplyDelete
  17. කොටී : අනේ මන්දා අක්ස්... දෙන්න හිතෙනවා මූණ සම්බල් වෙන්න. වැඩේ කියන්නේ හවස එන්නෙත් මගේ වාහනේ ගෙදර යන්න බටර් පාර ගාගෙන. හප්පගෙන මැරෙන්න හිතෙනවා මට. විලි ලැජ්ජාව වගේ දෙයක් ගෑවිලාවත් නෑ. එදා නම් මම වාහනේ කණ පැලෙන්න සිංදු දාගෙන ආවෙ ගනිල්ලකෝ සැප කියලා. මොකද මම අහන ජාතියේ සිංදු උන්ට දිරවන්නේ නෑ.

    ReplyDelete
  18. ඔය වගේ කට්ටියට කොහොමත් ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ. කාගේ කොහේ හරි ලේවකාලා හරි කමක් නැහැ, තමන්ගේ වැඩේ කර ගත්තොත් ඒ අයට ඇති.

    ReplyDelete
  19. කොටී අක්ස් : මට මේ පොඩි පුශ්නෙකට තියෙන්නේ මේ ඇස් වල පොඩි ලීක් එකක් තියෙන එක. පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ කේන්ති ගියාම බනින්නෙත් ලීක් කරගෙන. ඒකයි නරක

    ReplyDelete
  20. කියන්න වචන නැහැ සංජු ටීච. සිරාවටම ලියලා තියෙනවා. මට ඇත්තටම ඇඩෙන්න ආවා මේක බලලා.....

    ReplyDelete
  21. මම මේ පළවෙනි පාරට කමෙන්ට් එකක් දාන්නේ,ඔයාලා වගේ ගුරුවරු තාම ඉන්නවා නේද අපේ රටේ කියලා හිතුනා...

    ReplyDelete
  22. මම මෙක උදේ කියවලා ආයේමත් දැනුත් කියෙව්වා... ඔහොම දෙයක් උනාම ඇඩෙන්නේ නැත්නම් හරි අමාරුයි ටිච...ඔයා තරගෙන් දිනන්න නැතුව ඇති එත් මනුස්සකම..ආදරේ දින්නා හැමදාටම... ගුරුවරයා කියන්නේ අපේ දෙවෙනි අම්මා..ඉතින් ඔයා හැබැම අම්මා කෙනෙක් එක්කෙනෙක්ගේ නෙමේ ස්කොලේ හැම දරුවෙක්ගේම.. සතුටු වෙන්න ඒ ලැබුනු සෙනෙහසට..හරි අමාරුයි ලොකෙන් එවා ගන්න...

    ReplyDelete
  23. සංජු අක්කේ, මම අද තමයි මේ බ්ලොග් එක දැක්කේ... ඔක්කොම කතා ටික එක හුස්මට කියෙව්වා.හරිම රසවත් වගේම සංවේදි විදිහට ලියලා තියෙනවා...

    -නිර්මල-

    ReplyDelete
  24. හසිත : ස්තූතියි ,ඒ පැත්තේ ආවට :)

    ReplyDelete
  25. ඩිලාන් : ගොඩක් අය දැන් හරිම ආත්මාර්ථකාමී වෙලා. මට විතරක් ඒ ආදරේ තනියම ලැබෙන්නේ නැතිව මගේ නිවාසයේ අනික් අයටත් ඒ ආදරේ ලැබුණා නම් මට සතුටු වෙන්න තිබුණ. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් ගුරුවරයෙක් විදියට මටත් වඩා අති දක්ශ කෙනෙක්. ළමයි එක්ක බටර් එක ගාගෙන හොදට ඉන්න දන්න කෙනෙක්. නමුත් මේ වැඩේ නිසා එයාගේ තිබුන පිළිගැනීමත් අඩු වුණා. ඒක හරි අපරාදයක්.

    ReplyDelete
  26. නිම්ශා : මට තනියම ඒ තත්වය ලබා ගන්නවට වඩා අනික් හැමෝම එක්ක ඒක ලැබෙනවා නම් .... ඒත් ඉතින් මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමීත්වයත් එක්ක මටත් දැන් හිතෙනවා මමත් ආත්මාර්ථකාමි වෙන්න ඕනේ කියලා. නැත්නම් හැම කෙනාම මගේ දතුයි ගලවන්න බලාගෙන ඉන්නේ

    ReplyDelete
  27. නිර්මල : ස්තූතියි මේ පැත්තේ ආවාට :) මමත් ඔන්න ඔයාලැයි අහ යන්න පටන් ගත්තා :D

    ReplyDelete
  28. සංජු, කියවන අපෙත් නෙත් තෙත් වෙන තරමට හැඟීම් බර සංවේදී කතාවක් ඇත්තටම,

    ගුරුවරු සහ ගුරු දෙවිවරු කියල වර්ග දෙකක් ඉන්නවනෙ, තමන් මොන කොටස යටතට වැටෙන එකද හොඳ කියල තීරණය කරන්න ඕනෙත් ඒ ඒ ගුරුවරයා පෞද්ගලිකවමයි,

    ඔයා වගේ ගුරුවරු ඇත්තටම ලැබෙන්නෙ දරුවන්ගෙ වාසනාවට,

    ReplyDelete
  29. ගොඩක් සංවේදීව ලියලා තියෙනවා අක්කේ. රවී කිව්වා වගේ ළමයින්ගේ වාසනාවට තමයි ඔයා වගේ ගුරුතුමියක් ලැබිලා ඉන්නේ

    ReplyDelete
  30. ඇත්තටම මාරයි ගුරුතුමී.මගෙනුත් මල් මිටක්.මට මේ කතාවත් එක්ක හින්දි ‍ෆිල්ම් එකක් මතක් වෙනවා.කරුමේ කියන්නේ මට ඔය නම් මතක හිටින්නේ නැ.අර අමීර් ඛාන් හිටියේ අන්න ඒක.එහෙම ගුරුවරු ඉන්නවා කියන එක මේ කතාව කියවනකම් විශ්වාස කලේ නැ.

    ReplyDelete
  31. Hats off dear akki....you are a great teacher!

    ReplyDelete
  32. කියන්න බෑ අක්කේ කිසිදෙයක් ... බලන පාර කොහොම හරි එක වෙන්න...

    ඇඟෙන් බතලි වුනාට, හිතින් ලපටි කියලා මං දන්නවා. ඒක නිසා අඩන එක හරි.

    ReplyDelete
  33. අද තමයි මේ පැත්තට ආවෙ. සෑහෙන සතුටුයි. හේතු ගොඩක් නිසා. ඒව පස්සෙ කියන්නම්. කොහොම උනත් පුළුවන්නම් The Freadom Writers සහ Thare Sameen Par බලන්න. (සමහර විට බලල ඇති)
    එක දෙයක් කියන්නමි. ලංකාවෙ අධ්‍යාපන ක්ෂෙතයට ඔයා වගේ අය හුගක් ඕන. ඔයාට මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්.

    ReplyDelete
  34. ෆිශී : ලබන පාරත් එක වෙන්න බෑ මේ කණ්ඩායම එක්ක නම්. එයාලා ඉගෙන ගන්න දක්ශ නමුත් ක්‍රීඩාවේදී ටිකක් දුර්වල ළමයි ටිකක්. නමුත් මනුස්සකමෙන් සහ පොළවේ පය ගසා ජීවත් වීමෙන් අංක එක.

    කොහොමද දන්නේ ඒක?

    ReplyDelete
  35. දයාබර : ස්තූතියි මේ පැත්තේ ආවට. තාරේ සමීන් පර් නම් බලලා තියෙනවා ඒ ෆිල්ම් එක බැලුවට පස්සේ ඒ දුර්වලතාවය තියෙන ළමයි කිහිපදෙනෙක් ම අදුන ගන්නත් මට පුළුවන් වුණා. ඒ අයගේ පැමිණීම දුර්වල නිසා ඇත්තටම අපිට හරිම අමාරුයි එයාලව ඉදිරියට ගෙනියන්න. අනික් ෆිල්ම් එකත් මම හොයාගෙන බලන්නම්. තව එකක් තියනවා To sir with love. ඒකත් හරිම ලස්සන කතාවක්.

    ReplyDelete
  36. හනේ ... ටීචගේ කතා කියවනකොට මට අපේ ආගම මිස්ව මතක් උනා... කොච්චර ලස්සනද ලංකාවේ ඉස්කෝලෙ යන කාලේ.. මතක් වෙද්දිත් දුකයි දැන් නෑනේ කියලා.. අපරාදේ...

    ReplyDelete
  37. ඇත්තමයි, මට මේ පෝස්ට් එක කියවලා ඉවර වෙනකොට දැනුනෙ රිකාඩෝ බ්‍රෙත්වෙට් ගෙ "To Sir with Love" (ආදරණීය ගුරුතුමනි - පරි: සිරිල් චන්ද්‍රසේකර )පොත කියවලා ඉවර උනාම දැනුනු හැඟීමමයි, එකම වගේ ළමයි, ගුරුවරු...... මම දන්නෙ නෑ ඔයා ඒ පොත කියවලා තියනවද කියලා. නැත්නම් හොයාගෙන කියෙව්වත් පාඩු නෑ..

    ReplyDelete
  38. හරිම ලස්සනය්, මටත් අපේ පාසල් ජීවිතේ මතක් උනා.

    ReplyDelete
  39. ඔෆිස් එකේ වැඩ අතරෙ අහම්බෙන් වාගෙ බ්ලොග් එකට ගොඩ වැදුනා. මුලින්ම කියෙව්වෙ බේබදු කතාව. කමෙන්ට් එකකුත් දැම්මා. ඒත් හිතුනේ නම් පිස්සු කේස් එකක් කියලයි. සොරි එහෙම හිතුවට, මගෙ පුතා ලබන අවුරුද්දෙ පාසල් යන්න පටන් ගන්නවා. නපුරු ගුරුවරුන් ගෙ කතා අහල ලමයට වඩා අම්මා බය වෙලා ඉන්නෙ. ඒත් හැමෝම මේ වගෙ ලමයින් ට ආදරේ ටීචර් ලා නම් කොච්චර හොඳද?..දිගටම ලියන්න ගුරුතුමී..

    ReplyDelete
  40. රෝයි : ස්තූතියි මේ පැත්තෙ ආවට. ටීචලා හැමෝම එක වගේ නෑ බය වෙන්න එපා. (මම වගේ පිස්සු ටීචලත් නැතුවම නෙවෙයි නෙ.)පොඩි ළමයින්ට කොහොමත් සැර කරන්නෙ නෑ අපි. බබාගෙ අම්මට බය නැතුව ඉන්න කියන්න. බබා දග නම් චුට්ටක් අඩු කර ගන්න මොකද එයා අනික් ළමයින් ට හිරිහැරයක් වුණොත් නම් ටිකක් සැර වෙයි. එහෙම නැති බබෙක් නම් කලබල වෙන්න එපා. එයා හොදින් ඉගෙන ගනියි

    ReplyDelete
  41. හරිම ලස්සනට ලියලා තියෙනවා.ඇස් වලට කදුළු එන තරමටම සංවේදියි.අපි ඉස්කෝලෙ යන කාලෙත් මෙහෙම ළමයින්ට හිතවත් ගුරුවරු හිටියා නම් අපිත් ආසාවෙන් ඉස්කෝලෙ යයි.සැබැවින්ම මෙවන් ගුරුවරුන් වාසනාවක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාටූන්

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

මම ආස ගීත