ඉංග්‍රීසි කදවුර
අපේ අංක 3 කොඨ්ඨාශයේ ඉංග්‍රීසි කදවුරක් පැවැත්වීමට දින 4 කට හලින් හති දාගෙන මෝටර් සයිකලයේ පැමිණි අසල්වාසී දෙමළ විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමා ලිපිය අපේ විදුහල්පති (උ) තුමා වෙත භාර දී පලා ගොස් තිබුණි. ඒ අවසාන මොහොතේ ලියුම් ගෙනත් දී මගෙන් ලුණු ඇඹුල් ඇතිව අසාගෙන තිබෙන වසර 3ක් අඛණ්ඩ පලපුරුද්ද නිසාය. ඉංග්‍රීසි දිනයට පක්ෂග්‍රාහී හා අසාධාරණ විනිශ්චයන් ලබාදීම නිසා මා සිටියේ ද අහු වෙන තුරුය. නමුත් ඔහු මා එන්නට පෙර පලා ගොස් ඇත.
6 වන ශ්‍රේණියෙන් 7 දෙනෙකු සහ 7 වන ශ්‍රේණියෙන් 8 දෙනෙකු ලෙස මගේ කණ්ඩායම ගෙන යාමට සූදානම් වන ලෙස (උ) තුමා දැනුම් දුනි. වහාම පසුගිය වාරයේ ලකුණු පොත පෙරලූ මම පන්ති දෙකෙන්ම වැඩිම ලකුණු ලත්තන් ටික තෝරා ගතිමි. "මොනවා උනත් පිට ඉස්කොලෙකට ගිහින් මගේ සායම බේරා ගන්නත් එපායැ..."
අනේ දෙය්යනේ කියා පොඩ්ඩෝ සියලු දෙනාම වෙලාවට දෙමළ විද්‍යාලය අසලට පැමිණ සිටියෝය. වට පිට බලන විට එකෙක්වත් පේනතෙක් මානයක නැත. මම පොඩ්ඩෝ 15ක් සමග ගේට්ටුව ගාවය. තවත් බසයක් පැමිණුනි. "ෂර්මිලා" ප්‍රෙස්ටන් දෙමළ විද්‍යාලයේ පොඩ්ඩෝ ටිකද රැගෙන ආවාය. "ඇති යන්තම්.... මොකද බන් පරක්කු උනේ??" එහෙම ප්‍රශ්නයක් ඇයගෙන් ඇසීමට මට බැරිය. ඇය සිටින්නේ ඈත දුශ්කර කුඩා පාසැලකය.
අපේ අනාථාචාර්ය ඉංග්‍රීසි අධ්‍යක්ෂකතුමා පැමිණ වැඩේ ආරම්භ කලේය. හේ මගේ කණට කොට සම්පත් දායකයෝ නැති බැවීන් මටද සම්පත් දායකයෙක් වීමට පැවසුවේය. ඔන්න ඉතින් සංජු ද සම්පත්දායකයෙක් ලෙස මුල් වරට එදා දායක වූවාය.
ඇත්ත වශයෙන්ම කිවහොත් දෙමළ විදුහල්වල දරුවන් කෙරෙහි මගේ පැවතියේ බොහෝ නොපහන් හැගීමකි. එයට හේතුව මා බසයේදි අත් දකින දේවල් ය. ඔවුන් අපේ ළමයින් ට වඩා ඉතා ඝෝෂාකාරීය. කලබල කාරීය. බසයෙන් බැස ගිය පසු මගේ පින් අනුමෝදනා වැඩි වන්නේ රිදුම් දෙන කකුල් දෙකද සමගිනි. "හෙටවත් මුන්ට කකුල් පෑගුවාම දෙන්න ඇඩ්‍රස් එක ලියාගෙන යන්න ඕනි".
ඕනෑම කදවුරකදී මෙන් මෙහිදී ද දරුවන් පාසල් කණ්ඩායමෙක් වෙන් කර මිශ්‍ර කෙරුණි. ඇත්ත වශයෙන්ම කියතොත් වඩාත්ම බය වුණේ දරුවෝ නොව මා ය. සහභාගී වී සිටින එකම සිංහල විදුහල අපිය. අනික් සියල්ලෝම දෙමළ විදුහල් ය. අනිවාර්යෙන්ම භාෂා ප්‍රශ්නය මෙහිදී බලපානු ඇත. මම කොහොමද දෙය්යනේ මේ තරම් කණ්ඩායමක් එක්ක වැඩ කරන්නෙ??? සිංහල දන්නෙත් නෑ නෙ.
පළමුවන ක්‍රීඩාවෙන් කලේ ළමයින් හදුනා ගැනීමයි. සාමන්‍යයෙන් මට දරුවෙකු හැරෙන විට ඔහුගේ හෝ ඇයගේ කෙරුවාව ගැන අදහසක් ලබා ගැනීමේ සුළු හැකියාවක් ඇත. එයින් මම ඉක්මනින්ම මගේ කණ්ඩායම හදුනා ගතිමි. දක්ෂ දරුවෝ කිහිපදෙනෙක් ද, මධ්‍යස්ථ දරුවෝ ද, ඉතා දුර්වල දරුවෝද වූහ. තවත් ක්‍රීඩා 2ක් පමණ කරන විට මම අපූරු දෙයක් දුටිමි. ඉතා දුර්වලයා ඉතාම උත්සාහවන්ත බවය. ප්‍රශංසා කර පොඩි ඈයෝ මුරුංගා අත්තේ තැබූ විට ඔවූහු පණ උනත් දෙති. තවම ළමා ගති ඇති මේ වයිවාරන්න පොඩ්ඩන් සමග වැඩ කිරීම මට ඉක්මනින්ම විනෝදයක් විය.
මම කලකට පසු ඔවුන් සමග සිනා සුණෙමි. සෙල්ලම් කලෙමි. මගේ පාසලේ පොඩ්ඩෝ ටික කට ඇරගෙන මා දෙස බලා සිටිති. මේ ඉංග්‍රීසි ටීච ව ඔවුන් පාසලේ දි ඇත්තටම දැක නැත. අනික් කණ්ඩායම් සමග තරග වදින විට මම ෂර්මිලා සමග රණ්ඩු වෙමි. ඒ දෙන්නාම පොඩ්ඩන්ට හොරෙන් උදව් කරන්න ගොස් හසු වූ විටය. මගේ කණ්ඩායම දිනන විට මම කෑ ගසා උඩ පනිමි. දිරිමත් කරමි. සිංහල ටීච කෙනෙක් සමග කිසිදා වැඩ කර නොමැති පොඩ්ඩෝ ද මේ ටීච එසේ මෙසේ නොව පිස්සු වාට්ටුවක් බව වටහා ගන්නට ඇත. ටිකක් වේලා යන විට ඔවුන් දිවවිත් මා වැලදගෙන සතුට බෙදා ගත්හ. මගේ ඔසරි පොටේ එල්ලි අනික් කණ්ඩායම් ව්ලට හූ කීහ. වඩාත් වැදගත් දේ නම් ඔවුන් හා මා අතර පැවති පරතරය ටිකින් ටික අඩුව යෑමයි. සිංහල ගුරුතුමිය හා ද්‍රවිඩ සිසුන් එක දිනකින් ලං වූ තරම්....!
ඉංග්‍රීසි කදවුරේ දෙවන දිනය එලඹෙන තෙක් මා සිටියේ නොඉවසිල්ලෙනි. දෙවන දිනයේදි ඔවුන් මා වෙත පෑවේ හිතා ගන්නටවත් බැරි තරම් ලෙංගතුකමකි. මා එනතෙක් බලාසිටි ඔවුන් මා වෙනත් කණ්ඩායමකට යා නොදී කෑගැසූහ. වැරදිලා හෝ මම වෙනත් කණ්ඩායමකට කතා කළහොත් සියල්ලෝම හැරී මා දෙස බලා සිටිති. ඉතින් මම ද වෙන අය ගාවට යන්නට අකමැතිය.
මම අපූරු අත්දැකීමක් ලබුවෙමි. එය මා කිසි දිනෙක සිතාවත් සිටි දෙයක් නොවේ. නමුත් සමු ගන්නා විට ඔවුන්ගේ දෑස් කදුලින් පිරී තිබෙනු මම දුටිමි. මගේ වටා දැවටෙමින් මගේ ඔසරි පොටේ එතෙමින් ඔවුන් මා හා සුරතල් වූහ. මගේ දෙපා නැමද අත්පොඩි වනමින් ඔවුන් මගෙන් වෙන්ව ගියහ. වටපිට බැලූ මට මහා කළකිරීමක් දැනුනි. හැමදා වැඩිහිටියන්ට ගුරුවරුන් ට ගරු කරන්න යැයි ඉගැන්වූ මගේ පොඩ්ඩෝ ටික පැදුරටවත් නොකියා මාරු වී තිබුණි. මට මහා හිස් බවක් සහ කුහක බවක් දැනුණි. මම බස් නැවතුමට එන විට මගේ එවුන් බස් නැවතුමේ වූහ. "ටීච බස් එක ගිහින්"
බස් එක ගියාටත් වඩා ටීච ට සිත රිදී ඇති බව තේරුම් ගන්නට ඔවුන් ට හැගීම් තිබුනේ නැත. නැතහොත් එය සිතා බැලීමට උත්සාහ කලේවත් නැත. මම එය ඔවුනට ඉගැන්වීමටද නොයමි. කාලයේ පෙරලියත් සමග ඔවුන් ජීවිතයේ රිද්මය තේරුම් ගන්නවා ඇත. නමුත් එදින ප්‍රමාද වැඩි බවද ඔවුන්ටම තේරුම් යනවා ඇත.
බස් නැවතුමේ තිබූ තවත් බසයක් අප පසු කොට ඉදිරියට ඇදුණි. මම මහා හුස්මක් ගතිමි. "ටීච බායි" මම උඩ ගොස් බිම වැටුණෙමි. මගෙ කණ්ඩායමේ පොඩ්ඩෝ කිහිපදෙනෙක් බසයෙක් එලියට හිස් රුවාගෙන බෙරිහන් දෙති. බසයේ මිනිසුන් පුදුම වී බලා සිටිති. දෙමළ දරුවෝ ඔසරිය ඇදි සිංහල ගුරුවරියකට අත වනති. හාදු පා කර එවති. ඒ හාදු මගෙ ජීවිතයේ නොමැකෙන මතකයන් ය. ගුරු වෘත්තියේ එක් තෘප්තිදායක මතකයකි. එයින්පසුව මගේ චින්තනයේ ද ලොකු වෙනසක් සිදු විය. දරුවෝ ජාති ආගම් භේදයකින් තොරව දරුවෝ ය. ශ්‍රී ලාංකික දරුවෝය. අප දරුවන්ට ඉගැන්විය යුත්තේ අපි ශ්‍රී ලාංකික බව පමණි. විවිධ ආගම් අදහන ෂ්‍රී ලාංකිකයින් බව පමණි.
අර හාදු පා කරල එවපු සීන් එක ඇත්තද.....................?අපි එහෙම ඒ දවස් වල ඕව කරන්න ගියානම් ගෙදර තමා ඉන්න වෙන්නෙ.
ReplyDeleteහික් හික් ඒ ඉතින් පා කරලා එවන හාදු වල වර්ගය අනුව තමා.... මේවා අහිංසක පොඩි එවුන්ගේ හාදු!
ReplyDeleteකොහොම පා කරල එව්වත් එවන්න තියෙන්නෙ එක විදියයිනෙ.අම්මප දැන් පොඩි එවුනුත් හැදිල ඉවරයි.හි.........හි............
ReplyDeleteමුළු ඉස්ටෝරියම හොඳයි... හොඳයි කියන්නේ ආය හොඳටම හොඳයි... සිංහල විතරක් කියන හිතුවිල්ලෙන් ගැලවුන එකත් මාරම හොඳයි...
ReplyDeleteමෙච්චර හොඳ කතාවේ මට නොතේරුනේ මේං මේ කෑල්ල විතරමයි...
\\මම එය ඔවුනට ඉගැන්වීමටද නොයමි. කාලයේ පෙරලියත් සමග ඔවුන් ජීවිතයේ රිද්මය තේරුම් ගන්නවා ඇත. නමුත් එදින ප්‍රමාද වැඩි බවද ඔවුන්ටම තේරුම් යනවා ඇත...\\
අර පොඩ්ඩෝ ටික පැදුරටත් නොකියා ගියාම දැනුන කුහක කමක් ජුන්ඩක් විතර ඉතුරු වෙලා එහෙම හිතුනවද්ද.... :)
සමහර දේවල් තියෙනවා අපි කොච්චර වැඩිහිටියෝ කිව්වත් අහන්නේ නෑ. අනේ මුන්ගේ බයිලා කියලා නොසලකා හරිනවා. ඊට පස්සෙ මොනවා හරි වෙලා පස්ස පැත්තයි හොටයි දෙකම බිම ඇනුණම තේරෙනවා කලින් කිව්ව දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා. අන්න ඒ වගේ දෙයක් තමා මේකත්. නොකී දෙයක් නොවේ... උගන්වා මගේ යුතුකම මම ඉෂ්ඨ කලා. එය මතකයේ තබා ගැනීම ඔවුන්ගේ යුතුකම. සමහර පාඩම් ඉගෙන ගන්න ලැබෙන්නේ ජීවිතේටම එක වරයි.
ReplyDeleteමම හිතන්නේ ටීචර් මුලින් කියල තිබුන දේ මේ පැහැදිලි කිරීමත් එක්ක තේරුනා කියලා...:)
ReplyDeleteකතාව ඇත්ත... සමහර දේවල් තියෙනවා කවුරු කොච්චර කියල දෙන්ට උත්සාහ කරත් ඉගෙන නොගන්න... කිව්වා වගෙ පස්ස බිම ඇන ගත්තම තමයි තේරෙන්නේ කිව්ව දේ ඇහුවනම් කියලා...
ඇත්ත කතාව.., සිංහල දෙමල මේ වැටවල් ගහලා තියෙන මානසිකත්වය තියෙන නිසා තමා අර වගේ යුද්ධ කරදර මේ රටේ ඇතිවුනේ.., හැමෝම අපේ නහරවල දුවන ලේ රතු පාටයි කියලා හිතුවනම් මේ රට මීට වඩා ගොඩක් දුර ගිහිල්ලා.., පොඩිවුන් එක්කලා ජීවත්වෙනක නම් හරිම ලස්සන දැනීමක් තමා., ලස්සනට ම ලියලා තියෙනවා.., ආවේ අද උනාට මේ අකුරු හරි පුරුදුයි වගේ.., කමක් නැහැ..! තව ලියන්න..!
ReplyDeleteජය! :)
ස්තූතියි ලිශාන්... මම බ්ලොග් ලියන්න පටන්ගෙන ඉස්සෙල්ලාම subscribe වුණ බ්ලොග්ස් වලින් එකක් "ලිශාන් ගේ බ්ලොග් රෝල"
ReplyDeleteඒත් ඒ බ්ලොග් එක ඔයාගෙ ද??? අනේ මන්දා ලිශාන් ලා 2ක් වත් ද????
ReplyDeleteඔව් මගේ තමා,, ;) මට blog profile 2 තියෙනවා. මේ එකක්., LishWish කියන්නේ අනික..! :)
ReplyDeleteඅපිට සංස්කෘතීන් දෙකක ජීවත් වෙන මිනිස්සු දෙන්නෙක් මුනගැහුණොත් ඒ දෙන්නගේ සම්පූර්ණ චර්යා රටාවන් එකිනෙකට වෙනස් බව පේනවා. ඒත් වැදගත් වෙන්නේ මොන වෙනස් කම් නොගැලපීම් අසමානතා දිරවන්නේ නැතිවීම් තිබුනත් අනෙකාව ඒ අයුරින්ම පිළිගැනීම. ලිෂාන් කිවුව විදියට අපි ඔක්කොම රතු ලේ තියෙන මැරෙන මිනිස්සු. ටීචර්ට දමිළ පුංචි වුන් ටිකට ඔය තරම් ඉක්මනට ලං වෙන්න පුළුවන් වුනේ ඔවුන්ව වෙනස් කරන්න නොයා ඒ ආකාරයෙන්ම පිළිගැනීම නිසා... සහ ටීචරුත් ඔරිජිනල් වර්ගයේ පිස්සු කෝච්චියක් වීම නිසා ;) සාමාන්‍යයෙන් ඒ වගී අයට මිනිස්සු ඉක්මනට එකතු වෙනවා. (මගේ අත්දැකීම) දැනෙන සටහනක්...!
ReplyDelete~ හිපියා
පැතුම් : ස්තූතියි මේ පැත්තේ ආවට. රතු ලේ කතාවට වඩා මම කැමතියි අපි ඔක්කොම විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන ශ්‍රී ලාංකිකයෝ කියනවට. රතු ලේ හැම එක්කෙනාගෙම කපලා පෙන්නන්න බෑ නමුත් භාෂාවේ ආගමේ වෙනස පෙන්නන්න පුලුවන්. ඒ එක්කම මොන වෙනස තිබ්බත් අපි ඔක්කොම ඉන්නෙ පොලවෙ කියල විතරයි දැනෙන්න ඕනි. ඉන්දියානුවෝ බලන්න.. කොයි ප්‍රාන්තයේ ඉදලා ආවත් ඔවුන් ඉන්දියානුවෝ.අපේ රටේ විතරයි ජාතිය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියලා ඉල්ලුම්පත්‍ර පුරවන්නෙ
ReplyDelete