අපි වෙනුවෙන් අපි ආයේ......!
අදත් ඔන්න ලියන්න ආවේ සින්දුවක් ගැන. මගේ හිත හූරලා රිද්දන්න පුලුවන් වුණ සින්දුවක් ගැන. වැඩි කතා නැතුව සින්දුව මෙතනින් ඕනෙ නම් බා ගන්නත් යූටියුබ් එකෙන් බලන්නත් පුලුවන්.
මේ සින්දුව නිසා මේ තරම් රිදුනේ ඇයි කියලා සමහර වෙලාවට මටම හිතෙනවා. මගේ සමහර යාලුවෝ නම් කියන්නේ මම ගිය ආත්මේ හමුදා නිලධාරියෙක් ගෙ බිරිදක් වෙලා ඉන්න ඇතිලු. ඒ මනුස්සයා යුද්දෙන් මැරෙන්න ඇතිලු. මමත් ඒ දුකටම මැරෙන්න ඇතිලු. ඒක නිසා මේ වගේ ඒවට දැනටත් හිත සසල වෙනවා ඇතිලු. සමහර විට වෙන්නත් ඇති අප්පා. ආදරේ කරන කෙනෙක් නැති වුනාම ඒකෙ අමාරුව දන්නේ තනි උන කෙනාම තමා. මුහුණු පොත නිසා ඒ ආකාරයේ අපූරු අත්දැකීම් කිහිපයකට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.
පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2009 දි මාව සසල කලා එක ගුවන් අනතුරක්. ඒ වෙලාවේ ඒ හෙලිකොප‍්ටරය තුල හිටපු ගුවන් නියමුවෝ දෙදෙනාත් අවිකරුවෝ දෙදෙනාත් එතනම මිය ගියා. එහි හිටපු ගුවන් නියමුවන්ගෙන් එක්කෙනෙක් බොහොම කඩවසම් තරුණයෙක්. පස්සේ මම පුවත්පතක කියෙව්වා ඔහු මේ අනතුර සිද්ධ වෙච්ච මාසෙට පස්සෙ මාසෙ විවාහ වෙන්න හිටපු කෙනෙක් කියලා. මට ඒ වෙලාවේ විදුලියක් කෙටුවා වගේ රිදුණා. ඔහු විවාහ වෙන්න හිටපු පෙම්වතිය මේ සිදුවීම මොන විදිහට දරා ගන්න ඇතිද කියලා මට හිතා ගන්න බැරි වුණා. සමහර විට ඒ මමත් ඒ වයසෙම ඉන්න තරුණියක් නිසා වෙන්න ඇති.
එයින් මාසයකට විතර පස්සේ මම මුහුණු පොතේ කරන නරක වැඩක් වෙන අනුන්ගේ ෆොටො ඇල්බම් බලන එක කර කර හිටියා. ඒ විදියට එක එක්කෙනාගේ ලින්ක් අස්සෙන් ගිහින් ගිහින් මට එක පාරටම අර මිය ගිය ගුවන් නියමුවාගේ ඡායාරූප අඩංගු ඇල්බම් කිහිපයක් දකින්න ලැබුණා. මම බැලුවා කවුද මේ ෆොටෝ වල අයිතිකාරයා කියලා. වෙන කවුරුවත් නෙවෙයි මේ ඒ ගුවන් නියමුවාගේ පෙම්වතිය. මගෙ හිත නැවතත් සසල උණා. මම ඇයව මුහුණු පොතේ මිතුරියක් විදියට ඇතුල් කරගෙන ඇයට පණිවිඩයක් යැව්වා. ඇය ගැන මට මාසයකට කලින් කල්පනා වෙච්ච හැටි ගැන කියලා සහ ඇයව දකින්න ලැබීම ගැන මගේ සතුට පල කරලා. ඇය මාව මිතුරියක් විදියට ඇතුල් කර ගත්තා පමණක් නෙවෙයි මා එක්ක කතා බහත් කලා. ඇය හරිම සුන්දර උණුසුම් ආදරණීය යුවතියක්. පෙනුමින් වගේම හදවතිනුත් හරිම සුන්දර යුවතියක්. ඇත්තටම මම ඇය එක්ක කතා කළ දවසේ මට ඇඩුණා. මට ඇඩුණත් ඇය ඇඩුවේ නෑ. ඇය කිව්වේ එක දෙයයි. "මට මගේ ***** නැති වුනා නංගි. ඒ අඩුව කවදාවත් මගේ හිතෙන් නැති වෙලා යන්නේ නැතිවෙයි" කියලා විතරයි. ඒ සුන්දර තරුණියට අර කඩවසම් තරුණයා නැති වුණ එක පුදුමාකාර ඉරණමක්. අදටත් ඇයව දකින වාරයක් ගානේ මගේ හිතේ ඇදෙන්නේ අර කඩවසම් ගුවන් නියමුවා. ඒ සිද්ධිය අදටත් මගේ හිතේ හොල්මන් කරනවා.
දෙවනි සිද්ධිය වුණේ එයිට කලින්. යුද්ධය දරුණුවටම ගිය කාලේ. මුහුණු පොතේ මියගියපු වීර සෙබලුන් සහ හමුදා නිලධාරීන් වෙනුවෙන් කණ්ඩායම් හැදෙන්න පටන් ගත්ත කාලේ. මා අහම්බෙන් වගේ කියවන්න ලැබුණා ශ්‍රී ලංක යුද්ධ හමුදාවේ හිටපු දිගුදුර විහිදුම් බලකායේ අණදෙන නිලධාරී කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ගැන. ඔහුගේ මරණය සහ එයින් ඔහුගේ දියණියට මානසික වශයෙන් ඇති වූ පීඩනය ගැන එහි සදහන්ව තිබුණා. මට හිතුණා මුහුණු පොතේ ඔහු වෙනුවෙන් කණ්ඩායමක් හදන්න. ඉතින් මම මට අන්තර්ජාලයෙන් හොයා ගන්න පුලුවන් උන විස්තර එක්ක කණ්ඩායමක් හැදුවා.
එක දවසක් මගේ මුහුණු පොතට පණිවිඩයක් ආවා. "අක්කි මම අක්කිට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මම හිතුවේ මගේ තාත්තාව මේ රටේ කාටවත් මතක නැතුව ඇති කියලා. ඒත් අක්කි මගේ තාත්තා ගැන හැමෝටම මතක් කරලා." කියලා. ඒ වෙලාවේ මට කල්පනා වුනේ නෑ ඇය කවුද කියලා. මම ඇයගෙන් අහලා ඇරියා ඔයා කවුද නංගියෝ? කියලා.ඇය එවපු උත්තරයට් ඇත්තටම මට කතා කර ගන්නත් බැරුව ගියා. "මම කර්නල් මුතාලිෆ් ගේ දුව".
ඇය මගෙ හොද මිතුරියක් උණා එයින් පස්සේ. ඇය තවම උසස් පෙල හදාරන සිසුවියක්. ඇයගේ පියා මුස්ලිම් ජාතිකයෙක් වුණ නිසයි අපේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. නමුත් ඔහු සිංහල යුවතියක් සමග විවාහ වුණු හාමුදුරුවන්ගෙන් පිරිත් නූලක් බැදගෙන දෙකට තුනට නැමිලා වදින තරම් අපූරු මානව හිතවාදියෙක්. මම ඇයට ආරාධනා කලා ඒ කණ්ඩායමට එකතු වෙන්න කියලා. නමුත් ඇය ඒක ප්‍රතික්ෂේප කලා. මට හිතා ගන්න පුලුවන් ඇයගේ වේදනාව.
හමුදා කතා අදට ඇති වගේ. තව ලියන්න කතා ඉතුරු කර ගන්නත් එපායැ. අර ගීතයේ පද ටික මම ආසාවට ලිව්වා. අහලා බලන්න. ඔබත් ආදරය කරාවි ඔවුන් ට.
දුක ආයෙමත් නැති පින් බිමේ
හෙට සුපිපෙනා හිරු කිරණ සේ
සෙනෙහස උතුරයි හදවතේ
අපෙ හීනයයි ඔබ එළි කලේ
ඔබ පියෙකි, සොහොයුරෙකි
මහ බලැති එක හිතකි
අහසේ දෙව් රුවකි
මවු දෙරණේ රන් පුතෙකි
යුද බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදිනා ...
තුන් යාමේ දුක් දවනා
මුර දෙවියන් නිදි වරනා
නැති දා ඔබ අප ඉන්නෙ නැත සැනසිලා
මල් යහනා අත හැර ආ
ඔබ දිරියෙන් ගිනි නිවුනා
අපි ඔබ රකිමු සැමදා අත් අල්ලා ලග රැදිලා
හිතෙන් හිතට සතුට ගෙනෙමු අපි වෙනුවෙන් අපි ආයේ
දොරින් දොරට සෙනෙහෙ දැනෙන පැහැබර දවසක සිත් මල් පිපෙන රෑනේ
මුදු සුලගේ ඔබ ඇසෙනා
නිල් අහසේ රුව පිපෙනා
කිසිදා මතු නෑ ඉන්නේ ඔබ තනි වෙලා
සිහිනේ ඔබේ තනි වී
මාගේ මෙන් දකිමි
ඔබෙ සිහිනේ එලි කරමී දුක පිස දා හිත සනසා
ලගින් ඉදන් හීන දිනමු අපි වෙනුවෙන් අපි ආයේ
ලොවක් උතුම් මවට වදින පෙම්බර සංවර අත්වල් සිත් යායේ
අපේ හමුදාවෙ කොල්ලො ටික නැත්තන් අදටත් අපිට පන බයේ ගැහි,ගැහි තමා ඉන්න වෙන්නෙ.සීතල කාමර වලට වෙලා කට්ටිය මොන බයිල ගැහුවත් game එක play කරන්න හිටියෙ මෙයාල විතරනෙ.
ReplyDelete(අපේ අයියෙක් වෙන කෙනෙක් ඉන්නව ලුතිනන් කෙනෙක්,ඕනෙ නම් අදුන්වල දෙන්නත් බැරි කමක් නෑ.)
ප.ලි:- කපුකමක් එහෙම නෙමෙයි ඕං. හි......හි....
හසලක ගාමිණී, ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ අයගෙ ඉඳල කර්නල් මුතාලිෆ්, කර්නල් නිලබ්දීන්, නීරෝ , කර්නල් ලලිත්සිංහ විතරක් නෙමෙයි මේ යුද්ධය පටන්ගත්තු දවසෙ ඉඳල අද වෙනකම් රටක් වෙනුවෙන් ජීවිතය දීපු ආබාධිත වෙච්ච ඒ රණවිරුන් කවදාවත් ලංකාවෙ මිනිස්සුන්ට අමතක වේවි කියල මම නම් හිතන්නෙ නෑ. ඒ අය මිනිසුන්ගේ හදවතේ කොනක හැමදාම ජීවත් වෙනවා.
ReplyDeleteතව නමක් තියනවා මතක් කරන්න ඕන. සටන් විරාම කාලේ පැහැරගෙන අන්තිමේදී කොටි වධකාගාරෙක වද විඳලා මිය ගිහිපු පොලිස් පරීක්ෂක ජෙයරත්නම් වගේ පොලිස් නිළධාරීනුත් ඔය අතරෙ ඉන්නවා.
ReplyDeleteදිනේශ් : #$%^&*((*&^#$%^&*()(*&^%$#$%^&*()(*&
ReplyDeleteසුසිත : ඔව්... ඇත්ත ඒ හැමෝම අපේ රට වෙනුවෙන් පණ දුන්න හැමෝම අපි මතක් කරන්න ඕනේ. හැබැයි මම මේ පෝස්ට් එක නම් ලිව්වේ මගේ හදවතට සමීප වුණ අය නිසා.
හැබැයි ඔය මිනිස්සුන්ගේ හදවතේ කොනක තියෙනවා කියන කතාව නම් මම පිලි ගන්නේ නෑ. මම යුද්දෙ ඉවර වෙලා අවුරුද්දක් යද්දි මිනිස්සුන්ගේ වෙනස් වීම දැක්කා. ඇත්තටම කියන්න පිලිකුල් සහගතයි රණවිරුවා හමුදාකාරයා වෙලා ඉවරයි. එක මනුස්සයෙක් යුහXXXX කියල ගහපු වාහනයක් හරවද්දි කිව්වා "ඕකුන් කොහොමත් මැරෙන්න ඉන්න එවුන් නේ" කියලා. මගේ වාහනයක හිටියා නම් ඇදලා දානව එලියට "පුලුවන් විදියකට වර" කියලා.
ආබාධිත රණවිරුවෝ නම් ඇත්තටම අපිට අමතක වෙලා තමයි. එක දවසක් මම අහගෙන හිටිය කවුරු හරි රණවිරු සෙවණට සම්බන්ධ නිලධාරියෙක් කියනවා ඔබේ විශේෂ දවසක් ගත කරන්න එන්න රණවිරු සෙවණට එයාල එක්ක ඇවිල්ල හිනා වෙලා කතා කරලා සින්දුවක් කියලා යන්න. ඊට වඩා සතුටක් එයාලට නෑ කියලා. ඇත්ත තමයි. ඒත් තනියම ඒ වගේ බරක් ගන්න අමාරුයි අපිට. සල්ලි තියෙන ඔෆීස් වලින් අවුරුද්දකට සැරයක් තරු 5 හෝටල්වලට ගෙවන ගෙට් ටු ගෙදෙර් එකක් ඒ වගේ තැනක තියන්න හිතනවා නම්... ඒ අයට පොඩි තෑග්ගක් අරන් දෙන්න පුලුවවන් නම්..... මේ රටේ මිනිස්සුන් ට එහෙම හිතෙනවා මම නම් දකිනවා හරි අඩුයි. ඇත්තටම හිතෙන්නේ නැති තරම්
හ්ම්ම්ම්ම්...අඬන්නද? හිනාවෙන්නද තේරෙන්නෙ නෑ ...ආයෙමත් මම අතීතයට ගියා සංජු......ඔයා කොයිතරම් සංවේදී වෙලාද?
ReplyDeleteඒක ඒ වෙලාවෙ කියන්න බැරි තරම්.... අදටත් මට හිතා ගන්න බෑ ඔයා ඒ දුක දරාගෙන ඉන්නෙ කොහොමද කියල. ඒ හැඟීමට උපමා කරන්න උපමාවකුත් මට නෑ. ඒ හැඟුමෙන්ම බාගයක් අදටත් මට දැනෙන නිසා. හේතුව ඔයා දන්නවනෙ
Delete