මාතෘකාවක් නැති කතාවක්!



එදා වෙනදා වගේම සුපුරුදු ඉස්කෝලේ දවසක්. මම 7.30 බස් එකට නැගලා වාඩි වෙලා හිටියේ. බස් එකේ රේඩියෝ එකේ ඔලුව FM එකේ නිවේදකයෙකුයි නිවේදිකාවකුයි පත්තර කියවනවා. 

ඔන්න එක ප්‍රවෘත්තියක් ගියා.  

"ඉංග්‍රීසි ගුරු සංගමය ඉල්ලා හිටිනවලු පාසැල් පවත්වන කාලය වැඩි කරනව නම් ගුරුවරුන්ගේ පඩියත් ඒ ආකාරයෙන්ම වැඩි කරන්න ඕනේ කියලා"

"ගුරුවරු එහෙම ඉල්ලා හිටිනවට වඩා ගන්න පඩියටවත් වැඩ කරනවනම් හොදයි කියලයි මට හිතෙන්නේ" 

වාචාල නිවේදකයාගේ මුවෙන් පිට වුණ.  

මගේ ශරීරයේ තිබ්බ සියළුම රෝමකූප කේන්තියෙන් කෙලින් වුණා. ATI එකේ දි රැග් එකෙන් ඉගෙන ගත්ත ඔක්කොම කුණුහරුප ටික මට මතක් වුණා. ඊටත් වඩා බස් එකක මගේ ඉස්කෝලේ ළමයි දෙමාපියන් ඉස්සරහා ඒ වගේ පහරක් ගුරුවරයෙකුට ගහනවා කියන්නේ එතන ඉන්න ඕනෑම ගුරුවරයෙක් තමන් ඒ කැටගරියට වැටුනත් නැතත් ගොඩක් අමාරුවේ වැටෙන වෙලාවක්. 

ගුරුවරයෙක් වැඩ කරනවා මනින මිම්ම මොකක්ද?  

නගරයේ සීත කාමරයක ඉදගෙන කටට එන වාචාල කියවනවාට සල්ලි ගන්නා, ගෙදරටම ට්‍රාන්ස්පෝට් ලැබෙන හැත්තට නම් ගුරුවරයා යනු හිගන්නෙක් විය හැක. ටියුශන් කඩකාරයෙක් විය හැක. නිතරම නිව්ස් වල ඇසෙන පරිදි ළමයින්ට පහර දෙන තරවටු කරන යක්ශයෙක්ද විය හැක. මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙක්ද විය හැක.  

සීත කාමරයෙන් එලියට විත් බලන ලෙස මම ඔබට කියමි. ඉස්පිරිතාලයෙන් එලියට එන දොස්තර ප්‍රයිවෙට් බෙහෙත් දෙනවිට කිසිවෙක් නොබනී. නමුත් ගුරුවරයෙක් ටියුශන් කරන විට ඒ ගුරා කඩකාරයෙක් වේ. මිනී මස් විකුණන්නෙක් වෙයි.  ටිකක් හිතන්න. කඩකාරයන් වෙනමම සිටියි. නමුත් තමන්ට ලැබෙන වැටුප දරු පවුල නඩත්තු කිරීමට නොසෑහෙන නිසා අමතර මුදලක් සොයා ගන්නට ගුරුවරු ටියුශන් කරති. ඒ ද කඩකාරයෝ ද? එය එසේ නම් ඒ කඩකාරයින් ගාවට දරුවන් යවන්නේ ඇයි?

මට පසුගිය සතියේ එක් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු විය.  ඉන් මම ලොකු පාඩමක් ඉගෙන ගතිමි. 

මගේ ප්‍රතිපත්ති වෙනස් කර මම 11 ශ්‍රේණියේ දරුවන්ට හවස 2.30 සිට 4.30 දක්වා අමතර පන්තියක් පාසල් කාලයෙන් පසුව දැමුවෙමි. නමුත් මගේ ශිල්පය නොවිකුණන බවට වන ප්‍රතිපත්තිය රැකීමි.  එය පින් අමතර පන්තියක් හෙවත් නොමිලේ අමතර පන්තියකි. 

ළමයින් ට 2.30 වන තුරු විවේකයක් දී මම බිස්කට පැකට්ටුවක් ගෙන ඒම සදහා නගරයට ගියෙමි. ඒ පන්තිය නිසා මට දවල් කෑම වේල නැතිවන නිසාය.  බිස්කට් පැකට්ටුව ගෙන කඩයෙන් එලියට ආ මට දකින්න ලැබුණේ 11 වසරේ පුතුන් දෙදෙනෙක් තම බෑග් ද එල්ලාගෙන ටවුමේ සීඩී කඩයට රිංගන අයුරුයි. වටපිට බලන මුවාවෙන් මම තවත් ඒ දෙස බලා සිටියෙමි. තවත් අය ඇතුලේය. මම කරබාගෙනම පාසලට පැමිණියෙමි. 

පන්තියේ කොල්ලන් 4 දෙනෙකු ඇර අනෙක් සියලුම දෙනා පන්තියෙන් අතුරුදහන්ව ඇත. (අතුරුදහන් වී ඇත්තේ කොහාටදැයි මම දනිමි) 

පටන් ගත් දවසේ ම මම පන්තිය නැවැත්වීමට තීරණය කලෙමි. ඒ සැනින් මගේ අසල්වාසී පාසලක ඉංග්‍රීසි ගුරුවරයා මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගැන්වීමට පන්තියක් පන්සලේ දැම්මේ ය.  සියළුම ළමයි එහි යති. ඒ ගුරුවරයා ද මගේ ශ්‍රේණියේම මගේ පුහුණුවම ලත් පුද්ගලයෙකි. නමුත් ඔහු වැරදි තේරුම් ඉගැන්වූ අවස්ථා මට හසු වී තිබේ. ළමයි ඔහු ගාවට යති. ඒ මුදල් යනු සියල්ලෝම දී ලබා ගන්න වටිනා දෙයක් නිසාත් මම දුන් ශිල්පය පින් ටියුශන් නිසාත් ය. 

ළමයින් මෙසේ නම් රතු පලසින් පය බිම නොතබන පුද්ගලයින් ගැන කවර කතා ද?  

මගේ එකම ඉල්ලීම නම් මේ කඩකාරයින්ගේ මිම්මෙන් සියළුම ගුරුවරුන් මනින්නට සූදානම් නොවන ලෙසයි. මේ ආකාරයේ සිත් රිදවීම් වලින් මේ රැකියාව හැර යන්නන් වැඩි වී අවසානයේ ඉතිරි වන්නේ කඩකාරයන් පමණක් බැවිනි. මගේ දරුවා ඉගෙන ගැනීමට ගුරු දෙවියෙක් ලගට යවන්නට මිස කඩකාර ගුරෙක් ලගට යැවීමට මම ද කැමති නැත. 

දවල් ට කන්නට බත්පතක් නැතිව උගන්වන ගුරුවරු මේ ලංකාවේ සිටිති. උගුර ලේ රස වන තුරු උගන්වා වතුර උගුරු කිහිපයකින් බඩ පුරවා උගුර සනසා නැවත උගන්වන ගුරුවරු මේ රටේ සිටිති. ළමයින්ගේ බඩගින්න ගැන කතා කරන අයට මේ ගුරුවරු නොපෙනෙන්නේ ඇයි? 

උදේ පාන්දර 4 ට නිවසින් තම කිරි දරුවාට අවසන් කිරි උගුර පොවා එලියට එන සමහර ගුරුවරියෝ නැවත තම දරුවට ඊලග කිරි උගුර දෙන්නේ රත්‍රී 7 ට ය. එතෙක් ඈ පාරේ බස් වලය. පාසලේදී එරෙන කිරි හිර වෙන්නට පෙර දොවා ඒවා වැසිකිලි වලට දමා එන්නේ ඒවා පාසල් භූමියේ බල්ලන්ට හා කපුටන්ට ආහාර වන නිසාය.  ඒ දුක ගැන නොදැනෙන්නෙක් වේ නම් ඒ මව්කිරී නොබී ජීවිතය ආරම්භ කල එකෙකි. 

අර ඉංග්‍රීසි ගුරු සංගමයේ අය එවැනි කතාවක් කියා ඇත්තේ තම තමන්ගේ ටියුෂන් පාඩු වෙන නිසා තමන්ට වෙන පාඩුව මකා ගැනීමට විය හැක. නමුත් අපි කාලයක් නොමිලේම ඒ වැඩේ කලෙමු. නොමිලේ දෙන ශිල්පය මේ රටේ දෙමාපියන්ට හා සිසුන්ට අරහං බැවින් එක අතකට ඒ ඉල්ලීමද සාධාරණය.  (ගුරු සංගමවලින් ඇත්තටම ගුරුවරුන්ට වෙන සෙතක් නැති තරම්ය. සියල්ලෝම එසේ නොවුණත් සංගම් නිලවරණයට චන්දය ඉල්ලීමට මුහුණ පෙන්නා සංගමේ පත්තරයක් දී ගියාට සහ ප්‍රවෘත්ති සාකච්චා වලින් මේ රටේ ගුරුවරුන්ගේ ප්‍රශ්න විසදී බඩකට පිරී යන බව සිතාගෙන ඉන්නා අය නිසාද කෙල වෙන්නේ අපිටමය.) හලේ ඉංග්‍රීසි ගුරු සංගමය කියලා එකක් තියෙනවා කියාද මම දැන ගත්තේ අර වාචාල නිවේදකයින් දෙදෙනා නිසාය. 

ගුරුවරුන්ට බනින්න කලින් ගුරුවරුන්ට අදාල පරිපාලනමය කටයුතු කරන ආයතන ගැන හොයන්නේ නැත්තේ ඇයි? මොන දුක විදගෙන හරි වැඩ කරන ගුරුවරයාගේ සුළු වැරැද්දත් ලොකු කරගෙන දගලන සමහර අය ට මේ ඔෆිස් වල වැරදි වැරදි නොවෙන්න පුළුවන්. ඔන්න මම මටම වෙච්ච සිද්දියක් ලියන්නම්. මේ ලියන්නෙත් නොලියා බැරිකමට. ඉවසලා බැරිම තැන.  

අපේ ඔෆිස් එකේ ෆයිල් ක්ලාක් අපිටත් වඩා පොඩි ගෑණු ළමයෙක්. එයාගේ පෙම්වතා ඉන්නෙත් ඒ ඔෆිස් එකේමයි. අපි යන කොයිම වෙලාවකවත් එයා සීට් එකේ නෑ. එක්කො ශොපින් ගිහින් එහෙම නැත්නම් කැන්ටිමේ. කොල්ලා ඔෆිස් එකේ හිටියත් මෙයා සමහර වෙලාවට ඔෆිස් එකේ නෑ කොල්ලා කෝල් දීල තමා ගෙන්න ගන්නේ.  

දවසක් එයාව අල්ල ගන්න ඕනි නිසා අපි උදේ 8 වෙද්දි ඔෆිස් එකට ගියා. 10 වෙනකනුත් එයා නෑ. ඉවසලා බැරිම තැන පරිපාලන නිලධාරිතුමා හම්බ වෙන්න ගියා අපේ වැඩේ වෙන්නත් එපායැ. එයා මගේ දිවුරුම් ප්‍රකාශය ගත්ත ගමන් කිව්වේ ඒක පුරවලා තියෙන විදිය වැරදි කියලා.  මම කිව්වා මම ඕක පුරවලා ගෙනාවේ කලින් දවසක එතකොට ඕකෙ වැරදි තියෙනවා කියලා ෆයිල් ක්ලාක් මට කිව්වේ නෑ කියලා. පරිපාලන නිලධාරිතුමා වහාම ෆයිල් ක්ලාක් ට එන්න පණිවිඩ ඇරියා. 

ආවේ අල්ලපු මේසේ ෆයිල් ක්ලාක්. ඇය ඇවිල්ලා අපිව දැකලා ඇඹරෙන්න පටන් ගත්තා. 

"කෝ *** මිස්?"

"එයා තාම ඇවිල්ලා නෑ සර්" වෙලාව 10.30

"එන්නේ නෑ කිව්වද? හාෆ් ඩේ දාලද?"

"නෑ සර්"

මා දන්නා තරමින් නොදන්වා සේවයට වාරතා නොකිරීම වරදකි. අපි එසේ කලහොත් මේ පරිපාලන නිලධාරීතුමාද අපේ ඉස්කෝලේදීම අපිට බැන වදීවී. ඒත් ඔහුගේ යටත් සේවිකාවක් එසේ කල විට ඔහු නිරුත්තර විය. මා කල එකම දෙය නම් පල් හිනාවක් දැමීම පමණි.  අනික ඒ දිනය බදාදා දිනයකි. මහජන දිනයයි. ගුරුවරුන් ට පවා වැඩ කරවා ගැනීමට යා හැක්කේ එදාට පමණි. ඒ ගුරුවරුද අධ්‍යාපන ඔෆිස් වලට මහජනතාව පමණක් බැවිනි. අපට එන්නට තියෙන දුර සහ දුශ්කර බව කිසිවෙකුට වැදගත් නැත. එදා අපි 1.30 වන තෙක් සිටියෙමු. ෆයිල් ක්ලාක් ආවේ නැත. 1.30 ට ඔෆිස් එකේ ලොක්කා ස්ටාෆ් මීටිමක් ගත්තේ ය. එය ඉවර නොවෙන බව පෙනුන අපි ආපසු ආවෙමු. ඒ 2.30 බසය මග ඇරුනොත් බෝඩිමට යන්නට රෑ 10 වන නිසාය.

අපට කෑම පැය වේලාව විනාඩි 20ක් වේ. මේ අය කෑම පැය 2ක් ගනියි. ඉන්පසු අපි යන පීරියඩ් වලට ප්‍රමාද වන විනාඩි පහ බැගින් වැඩ කරන පීරියඩ් ගනනින් වැඩි කර එය සතියේ හෝ මාසයේ හෝ වැඩ කරන දින ගනනින් වැඩි කර අපෙන් අහිමි වන මිනිස් පැය ගණන ගණනය කර ඒ හා සමානව අපේ පඩි කපන බවට අපට බැන වදියි. මේ ඇසූ මට දිනක් කියවුනේ "ගුරුවරුන්ට මූත්‍රා කිරීමට හෝ වතුර උගුරක් බීමට පීරියඩ් අතර ගුරු විවේකාගාරයට යාම තහනම් ද ? නැත්නම් ගුරුවරුන්ට මූත්‍රා බර සහ වතුර පිපාසය සෑදෙන බව මේ අය දන්නේ නැද්ද?" කියා ය. අපේ මිනිස් පැය ගණනය කිරීම එසේනම් මහත්වරුනි ගනන් කරන්න ඔබේ පැය ගනන. ඔබට වැටුපක් ඉතිරි නොවනු ඇත. 

අර ෆයික් කලාක් ලගට මා දවසක් ගියේ මට අවශ්‍ය අයදුම්පත් කිහිපයක් ලබා ගැනීමටයි. ඒවා මොනවාද කියාවත් නොඇසූ ඈ කීවේ "අර පියන්ගෙන් ඉල්ලා ගන්න" කියාය. අඩුම ගනනේ ඒවා පුරවන අයුරු කියා දීමටවත් ඈ උනන්දු වුනේ නැත.  ඒ තබා ඒවා ලැබුණාද කියාවත් ඈ නැවත ඇසුවේ නැත. කොහෙන් හෝ ඒවා අපි සොයාගෙන අපේ වැඩේ නිසා ගෙනැවිත් දෙන බව ඕ දන්නීය.

ඇයගේ අනික් හොදම වැඩේ නම් අපි දෙන ලිපි ලේඛන අස්ථාන ගත කිරීමයි. අපේ සමහර ගුරුවරු එකම ලිපිය 4 වරක් භාර දී ඇති අතර ඒ 4 වතාවම ඈ ඒවා නැති කර ඇත.  අපේ ෆයිල් එක එලියට ගන්නට ඈ කබඩ් එක ගාවට යන්නේ අපට ඔරවාගෙන ය. එමෙන් ම ඒ අපි දස වතාවක් පමණ ඇයට ඇවටිලි කිරීමෙන් පසුවය. ෆයිල් එක දිගහැරිය විට ඈ නැතිකර ඇති බව හසු වන බැවින් ඈ ෆයිල් අපි ඉදිරියේ දිග හැරීමට කැමති නැත. 

මම බස්නාහිර පලාතේ පානදුර අධ්‍යාපන කලාපයට අයත් පාසලක වසරක සීමාවාසික පුහුණුවේ සිටියෙමි. ඒ මා දැනට දුටු හොදම පාසල් වලින් එකකි. හොදම අධ්‍යාපන කලාප වලින් එකකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මා දුටු හොදම අධ්‍යාපන පළාතද එයයි.  එයට පොඩි උදාහරණයක් මගේ ඇත්දැකීමෙන්ම මම ඉදිරිපත් කරමි.

ඒ 2006 ඉංග්‍රීසි දිනයයි.මමත් මගේ සීමාවාසික සගයනුත් එක්ව එහි සංවිධාන කටයුතු වලට සහයෝගය දුන්නෙමු. එය නැරඹූ පලාත් අධ්‍යක්ෂවරයෙකු අපට මුව නොසෑහෙන සේ ප්‍රශංශා කොට ගියා පමණක් නොව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයද සහිතව ප්‍රශංසා ලිපි අපේ නමට වෙන වෙනම එවා තිබුණි.

නමුත් මා මේ දැන් වැඩකරන අපායට පැමිණි දා සිට මා කිසිවෙකුගෙන් හොදක් අසා නැත. හොදක් කලද එයට බැන වැදී හෝ සමච්චල් කර එය නැවත නොකෙරෙන තැන ට වැඩ සිද්ධ කරන්නෝ මෙහි සිටිති. එන ලොකු ලොක්කෝද කරන වැඩය ට වචනයකින් හෝ හොදක් නොකියා බැන වැදීම යයි.   එක ලොකු මහත්තයෙක් මට නිවාඩු පෙන්නමින් දිනක් බැන වැදුනේ ය. ඒ ජනාධිපති කාර්ය සාධන වැඩමුළුවකට දින 10කට ගිය රාජකාරි නිවාඩු දහය පෙන්නමිනි. ඒ දින 10ත් සමගම මම 11 වන දිනය නිවාඩු ගත්තේ මගේ සොහොයුරාගේ විවාහ මංගල්‍යයටයි. හේ එය පෙන්නමින් ඊටත් වඩා මට බැන වැදුනේය. එහෙම ටීච නිවාඩු ගත්තාම මේ ළමයින් ට මොකද වෙන්නේ යැයි හේ ඇසීය. මම මුවින් නොබැන සිටියෙමි. ඒ මින්පසු හේ ජනාධිපති කාර්යසාධන බලකායේ තබා ජනාධිපති කීවත් මට නිවාඩු නොදෙන බව මට පෙනී ගිය නිසාය. අපේ නිවසේ මගේ සොහොයුරන්ගේ කටයුතු, මගේ මවගේ පියාගේ කටයුතු සහ තවමත් අවිවාහක මගේ මංගල කටයුතු පවා හේ කරදෙන බව මට පැහැදිලි වූ නිසාය. මම නිවාඩු දමාගෙන ඒවාට යා යුතු නැත. ඒවා ඔවුන් බලාගන්නවා ඇත. (මා විවාහ වූ දිනෙක  මට ඉස්කෝලේ යන්න, නිවාඩු දමන්නට එපා යැයි කියා මගේ සැමියා සමග ඔවුන් මධුසමයට යන දවස තෙක් මම ඇගිලි ගනිමි.)

දැන් ටිකක් හෝ මොළයක් තිබේ නම් කෙනෙකුට සිතන්නට යමක් ඉතිරි වී ඇත. ඒ සේවායෝජකයා සේවාදායකයාට සලකන ආකාරය අනුව ඒ ආයතනයේ දියුණුව හා පිරිහීම රදා පවතින බවය.  බස්නාහිර පලාතේ අර තරම් දියුණුවකුත් මේ ප්‍රදේශයේ මේ තරම් පිරිහීමකුත් දක්නට ලැබෙන්නේ මේ අපූරු සැලකිලි නිසාම වන්නට පිලිවන. මක්නිසාද යත් ගුරුවරු යනු වෙනත් අභූත සත්ව කොඨ්ඨාශයක් නොව මනුෂ්‍යයන් වන බැවිනි. මනුෂ්‍යයෝ අගය කිරීම් දිරි ගැන්වීම් වලට කැමතිය. ළමයින් පමනක් නොව වැඩිහිටියෝද එසේය. තවත් නොතේරේ නම් බල්ලෙක් පවා උගේ ඔලුව අත ගානවාට කැමතිය. එසේනම් මිනිසුන් ට වචනයකින් හෝ හොදක් දිරි ගැන්වීමක් ගුරුවරයෙකුට කරන්නට සිතෙන්නේම නැද්ද?

බොහෝ රස්සාවල උත්සව කාලයට බෝනස් ලැබේ. අපට උත්සව අත්තිකාරමක් ලැබේ. රු.7500 ක එම උත්සව අත්තිකාරම මැයි මාසයේ සිට රු.750 බැගින් කපා ගනියි. ඒ ඇරෙන්නට අපට වෙන ලැබෙන දෙයක් නැත.  එවන් දිරි ගැන්වීම් බෝනස් අපට නැත. ටියුෂන් අල්ල ගත් අයට ටිකක් වැඩිපුර හම්බ වේ. 

වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අසලින් යනවිට මම සැමදාම අපූරු වැකියක් කියවමි. බන්ධනාගාර තාප්පයේ සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා අලි තඩි අකුරින් ලියා ඇත.  අමතක වූ අයට මතක් කර දෙනු පිණිස මම ඒ වැකිය වෙනස් කර ලියමි. 

"ගුරුවරයෝද මනුෂ්‍යයෝය"  



ප.ලි.  මට රැකියාව ඉහත හේතු නිසා හා වෙනත් හේතු නිස තිත්ත වී ඇත. එම නිසා මේ දිනවල ඔබ්සර්වර් පත්තරය වණපොත් කරමින් වෙනත් රැකියාවක් සොයමි. හිතට අල්ලන රැකියාවක් ලැබුනොත් මම හෙට වුවද මගේ රැකියාවට ආයුබෝවන් කියමි. ඒ ගුරුකමට ආදරය නැතිව නම් නොවේ. නමුත් මෙලොව හොදම රැකියාව එයයි. නමුත් මනුස්ස තරුණියක් ලෙස මගේ ජීවිතයේ සොදුරුතම වසර 7ක් ඒ වෙනුවෙන් කැප කිරීම නිසා සන්තකව තිබූ බොහෝ මානසික සහ සමාජීය වටිනාකම් ක්ෂය වී ගිය බැවිනි.තවදුරටත් සිටියහොත් මගේ මෙන්ම මගේ දෙමාපියන්ගේ ජීවිතද මා නිසා කාළකන්නි වනු දැකීමට මට සිදුවනු ඇත. ඊට පෙර මා මෙහි අවසානයක් දැකිය යුතුය. රැකියාවට ආයුබෝවන් කීමට මුලින් අකමැතිවූ මගේ මවගේ පූර්ණ අනුමැතියද පියාගේ අර්ධ අනුමැතියද මේ වෙන විට මට ලැබී ඇත. ඒ තීරණය ඉක්මන් හා ස්ථීර කිරීමට මට උදව් කර ඔළුව FM එකේ වාචාල නිවේදකයාට හා නිවේදිකාවට ද මම මගේ හදපතුලෙන්ම ස්තූති කරමි. 

Comments

  1. අක්කා අහපු ප්‍රවෘත්තියම මාත් ඇහුවා.. අම්මපා අරෑගේ මූනට මට දෙකක් ඇන ගන්න විදියක් නැහැනේ. ඇයි යකෝ හවස ස්කෝලේ පන්ති දැම්මාම ස්කෝලේ යන කෙල්ල එන්නේ හතරට, එතකොට අපි 1.30 ඉදන් ඇවිදින්නේ අරෑගේ කෙල්ල එක්කද?

    (වෙන පැත්තකින් බැළුවේ)

    ReplyDelete
  2. ප්‍රසන්න : මම මොකෝ නොදන්නේ ඔයාට අනික් අයට වඩා පුළුල් දෘෂ්ටි කෝණයක් තියෙනවනේ

    ReplyDelete
  3. මොනවා කියන්නද මම දන්නෙ නැහැ නංගි. මේ කියපු අවස්ථා බොහොමයකට මමත් මුහුණ දීලා තියෙනවා. අපෙ සමහරු හිතන්නෙ ගුරුවරු 2න් පස්සෙත් ගෙදර, සති අන්තෙත් ගෙදර ඒ මදිවට නිවාඩු මාස තුනක්ම තියෙනවා කියලනේ.
    මම හිටපු කලාපෙ ක්ලාක් නෝනා ඔළුව උස්සලා බලන්නෙවත් නැහැ " මිස්" කියලා කතා නොකෙරුවොත්. ( අනේ නගේ කොටින්ම කියනවා නම් මේක දැකලා පරණ දේවල් මතක් වෙලා ලේත් කෝප උනා :( )

    ReplyDelete
  4. කතාව නම් සහතික ඇත්ත. මේක දැකලා අපේ ගෙදර ගුරු තතු මතක් වුනා. ගුරු ජීවිතය ගැන මගේ අම්ම කියන කතා පොඩිකාලේ ඉඳන්ම අහපු මගේ අක්කා කල් තියාම කිව්වා "මම නං ජීවිතේට ටීචර් කෙනෙක් වෙන්නේ නෑ" කියලා. හැබැයි මම පොදුවේ දැකපු එක දෙයක් තිබුනා. මොන කට්ට කාගෙන හරි උනන්දුවෙන් ගුරුහරුකම් දුන්නු ගුරුවරුන් වදාපු ළමයෙකුටවත් වරදින්නේ නෑ. යහපත් ව්‍යායාමය‍ට සමාජයෙන් මොන ගැරහුම් ආවත් සවභාවධර්මයෙන් නිසි සැලකිලි ලැබෙනවා. ඒත් අක්කගේ තීරණයට දොසක් කියන්නත් බෑ.

    ReplyDelete
  5. ඉස්කෝල වල ඔ‍ෆිස් එකේ ඉන්න ක්ලාක්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ අක්කේ.මම අස්වීමේ සහතිකය ගන්න ගිහිල්ලා විදපු දුකක්.දවස් තුනක් ඒකට රස්තියාදු වුනා.මුන්ට ඇත්තටම පඩි ගෙවන්නෙ මොකටද මන්දා.කරන වැඩකුත් නෑ

    ReplyDelete
  6. හරී අක්කා : හ්ම්ම්ම්ම්ම්ම් ඔයා නම් ගැලවුණා දුක් ගොඩකින්. අපි නම් තාම වලේ

    ReplyDelete
  7. රවිමල් : ජීවිතේම නාස්ති වුනාට පස්සේ අඩලා වැඩක් නෑ කියලා මට හිතුණා

    ReplyDelete
  8. cricketer : මම ලිව්වේ ඉස්කෝලවල ඉන්න ක්ලාක් ලා ගැන නෙවෙයි. එයාලා මේ ගොල්ලන්ට වඩා ටිකක් හොදයි. මම මේ ලිව්වේ අධ්‍යාපන පරිපාලන කන්තෝරුවල අය ගැන

    ReplyDelete
  9. Your frustration is understandable but changing your teaching Job may not guide you for the heaven. As we are in private sector jobs, we also having the same feeling that hate to the current place. The important thing is that you like this “profession" or not. Sometime your effort will be succeeded but jumping one place to another within the same society equal to Carrom coin in carrom table. Irrespective to the location of the coin on the table, it supposed to be strike.
    Jaya- Dubai

    ReplyDelete
  10. පයිතගරස් කියන පුද්ගලයා කියලා තියෙනවා මෙන්න මෙහෙම
    "තරහා ඇති වන්නේ මෝඩකම නිසාය. ඒය අවසාන වන්නෙ පසුතැවිල්ලෙනි."
    ඒක නිසා ආවේගයෙන් කලබලේට තීරණ ගන්න එපා. කලබලෙන් ගන්න තීරන වරදින්න තියෙන සම්භාවිතාව වැඩියි.
    ඔයා කියල කාරනය සම්පූර්ණ ඇත්තක්. හැබැයි ඒක ගුරු වෘත්තියට විතරක් නෙවෙයි. ගොඩක් වෘත්තීන්ට පොදු සත්‍යයක්. හැමෝම අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන එක විතරයි කරන්නෙ. තමුන්ගේ ඇහේ පොල් පරාලෙ දකින්නෙ නෑ. විවේචන වලට සැලෙන්න එපා. තම්න්ගේ කාර්‍යය කරන්න. තමුන්ගේ අතේ වරදක් නැත්නම් සක්කරයගෙ පුතා වයිමා ආවත් බය වෙන්න එපා.
    පහනකින් කොච්චර දුරකට එලිය දුන්නත් පහන යට අඳුරුයි. පහන යටට එලිය දෙන්න තවත් පහණක් ඕන. එතන තමයි සාමුහිකත්වය කියන දේ එන්නෙ. දුක් වෙන්න එපා ඔයා පහනක්. ඔයා තව දහස් ගානකට එලිය දෙනවා. ඔයාගේ අඳුර දුරු කරන්න වෙන පහන් නොදැල්වෙන එක ඔයාගෙ වරදක් නෙවෙයි අක්කේ. ඒක මේ සමාජෙ වරදක්. නමුත් කමක් නැහැ. සතුටු වෙන්න. ඔයාගෙන් එලිය ලබපු අය ඔයාට හැමදාම ආශිර්වාද කරාවි. ඒක ඇති ඔයාට තෘප්තිමත් වෙන්න.

    ReplyDelete
  11. Ano (Jaya) : I think 7 years from my life is more than enough for me to take a decision about my future. Most probably this will be a matrimonial change rather than changing the job. May be or May be not. But at the moment I have my full ability and endurance to give maximum to the job but in this job I use only about 40% from it. So it's another problem I face. At this moment I don't need heaven sir I just need a stress less life for me and my family. And now yes this has become a profession. Not an honored service anymore. Teachers like us wont survive in this scenario.

    ReplyDelete
  12. අනු : ඉක්මන් තීරනයක් නම් නෙවෙයි මේක මම 2007 දි ඉදලා ගන්න හදන තීරණයක්. මේ වෙනකල් මට ගෙදරින් කැමැත්ත දුන්නේ නෑ. ඒත් දැන් ටික ටික ඒක ලැබෙමින් පවතිනවා. මොකද මම විදින දුක එයාලට දැන් දැනෙන නිසා. සමහර වෙලාවට මේක මම දරු පවුලක් හදා ගන්න ගන්න තීරණයක් වෙන්නත් ඉඩ තියෙයි මොකද මම ආසයි මගේ සැමියට දරුවොන්ට හොදට සලකන්න රසට කන්න බොන්න දෙන්න.

    සාමුහිකත්වය මල්ලි වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනි මාතෘකාවක්. ගුරුවරු එකට වැඩ කරන්නේ කන වෙලාවට විතරයි. අනික් වෙලාවට තමන්ට බැරි වුණත් පුළුවන් එකාගේ කකුලෙන් ඇදලා පාගලා බිම දාල ආයේ නොනැගිටින්න පහර දෙන ජාතියක්. තවම මට ඒ ක්‍රමේ ඉගෙන ගන්න බැරි වුණා හැබැයි මේ රස්සවේ දිගටම හිටියොත් දිවි රැක ගැනීමේ උපක්‍රමයක් විදියට මම ඒ දෙයත් ඉගෙන ගනියි. පාවිච්චි කරයි.

    ReplyDelete
  13. @සංජු: මමත් ඔය කියපු රේඩියෝ කතාව ඇහුව. ඒත් කරුමෙක මහත කියන්නෙ ගුරුවරු සහ ඒ ‍රැකියාව ගැන දන්න සීමිත පිරිස ඇරුනම ඔය කතාව අහන අති මහට් බහුතරයක් පිරිස හිතන්නෙ ඔය FM වාචාලය කියපු දේම තමයි.
    එක අතකට බලද්දි ඔය ගුරු සංගම් වල කට්ටියට කොහෙන්ද ඔය වැඩ කරන්න නිවාඩු . . .??? ඒගොල්ල ඔය මාද්ය සාකච්චා, විරෝදතා ආදී දේවලට යොදවන්නෙ රස්සාවට යෙදවිය යුතු කාලය නේද ??? ඉතිං අඩි විස්සකට තිහකට වඩා ඉස්සරහ හිතන්න බැරි ඔය වගේ වාචාල හැත්ත ඔය විදියට කතා කියන එක වැරදි නෑ නේද???

    ReplyDelete
  14. ඕනයා : ඔයා දැකලා තියෙනවද දොස්තරලා නර්ස් ලා වගේ ගුරුවරු දිනපතා උද්ඝෝෂන වැඩ වර්ජන කරනවා? මේවා කරන්නේ හරිම සුළු පිරිසක්. ඉතිරි ටිකට ඕකෙන් ලැබෙන දෙයක් නැති නිසා අනික් අය ඕවට අත නොදා පැත්තකට වෙලා රස්සාව කරගෙන ඉන්නවා. අනේ මට ඔය මාධ්‍ය සාකච්චාවේ පින්තූරයක් හොයා ගන්න තිබ්බනම් ඔයාට පෙන්නන්න තිබ්බා මොන වගේ හාල්පාරුවෝද ඒකේ ඉන්නේ කියලා. ගුරුවරයෙකුගේ සේවා ස්ථානවල පහසුකම් නංවන්න වෘත්තීමය හැකියාවන් වැඩි කරන්න උනන්දු නොවෙන මේ හාල්පාරු සංගම් නිසා අපෙත් හම යන එක ගැනයි මට දුක.

    ReplyDelete
  15. කතාව නං සහතික ඇත්ත . . . ටිකදෙනෙක් කරන ගොං වැඩ නිසා බහුතරයකගේ සායම හේදීම තමා හැම තැනම වෙන්නෙ . . . ඕනෙ එකටයි ඕනෙ නැති එකටයි හැම මගුලකටම කෑගහල අන්තිමටම අත්‍යාවශ්ය හේතුවකට කෑගහද්දි . . . . කොටිය පැනපු එකේ අනිත් එක තමයි වෙන්නෙ.

    ReplyDelete
  16. මමනම් කියන්නේ තමන් කැමැත්තක් නැත්නම් තවදුරටත් ඒ රස්සාව කරන එක තේරුමක් නෑ.ඊට වඩා හොදයි වෙන රස්සාවක් හොයාගන්න එක.

    ReplyDelete
  17. මේක කියවලනම් මගෙත් ලේ කෝප උනා. ඔයා කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත. හිතේ සතුටක් නැත්නම් තවත් ඔය රස්සාව කරන එකේ තේරුමක් නැහැ.

    ReplyDelete
  18. I like the final decesion . Tnis is why i never wanna be a teacher.

    decide what u really want to do rather trapped in this job . But remember if u wanna go to private sector never expect permanent jobs . all contract basis depending on ur performance. but in most places job satisfaction + salary is quite decent .

    ReplyDelete
  19. සංජු, නුවරඑලිය කළාප කාර්‍යාලෙ ඔය ප්‍රශ්ණය මමත් අත් විදල තියනව. මට ප්‍රහ්ණයක් තියනව, ඔයාගේ කළකිරීමට හේතුව අධ්‍යාපන පරිපාලනය ද ? නැත්නම් පුද්ගලික හේතුවක් ද ?

    මොකද මම එහෙම අහන්නෙ මේ ප්‍රශ්ණ දෙකට තියෙන්නෙ උත්තර දෙකක් නිසා.

    හේතුව අධයාපන පරිපාලන නිළධාරී(වාදය) නම් , ඔය ප්‍රශ්නය සාපේක්ෂයි.

    හේතුව පුද්ගලිකනම් , ඔය නිවැරදිම තීරණයද ? ඔයාට 100 % විශ්වාසද?

    ReplyDelete
  20. දයාබර : ඒකත් සාපේක්ෂයි. මේ රස්සාවට මම ආදරෙයි. නමුත් ගැහැණියක් විදියට මම හිතුවොත් පිරිමි අයට වඩා පවුල ගැන වගකීමක් ගැහැනියකට තියෙනවා. මම තවමත් එල්ලිලා ඉන්නේ තවම මම අවිවාහක නිසා. විවාහ වෙලා කොහාට යන්න් වෙයිද කියලා දන්නෙත් නැති නිසා ඔහේ ඉන්නවා.

    අනික තමා මට මගේ ගැනම ඇතිවෙලා තියෙන ආත්මානුකම්පාව. මම හැමදේකින්ම පාසැල් කාලයේදි ඉදිරියෙන් හිටපු කෙනෙක්. නමුත් දැන් ඒ හැම දෙයක් ම නැති වෙලා. මගේ නිර්මාණශීලී චින්තනය, කියවන්න තිබ්බ ආශාව, සිංහල ව්‍යාකරණානුකූල රචනා ශෛලිය මගේ මානුශික ගුණාංග හැම දෙයක් ම. මෙතන වෙන පුද්ගලික හේතුවක් නෑ.

    ReplyDelete
  21. ලංකාවේ අධ්‍යාපන බලධාරීහු ගුරුවරයාගේ කාර්යභාරය ගැන නො දනිති. 1.30ට පාසල ඇරෙන නිසා හා නිවාඩු කාල තුනක් ඇති නිසා ගුරුවරයා ලබන වැටුප ගැනවත් නො සිතා ඉරිසියා කරති. ගුරුවරයාගේ කාර්යය 1.30න් අවසන් වන්නේ නැත. හොඳ ගුරුවරයෙකු නම් ඔහු බහුශ්‍රැතයෙක් හෙවත් බො‍හෝ ඇසූ පිරූ තැන් ඇත්තකු විය යුතු ය. බහුශ්‍රැත වීම සඳහා වැය කරන කාලය ද රැකියාවට අදාළ ය.

    වත්මන් අධ්‍යාපන ඇමති ටියුෂන් දේශකයකු මිස අධ්‍යාපන විද්‍යාව හැදෑරූ අයෙකු නො වේ. අධ්‍යාපනය කියා ඔහු දන්නේ ඒ දිනවල ටියුෂන්කාරයකු ලෙස ඔහු කළ කී දේ ය. ඒවා හොඳ සල්ලි හොයන්නට ය.

    ගුරු වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් හා වෘත්තීය සංවර්ධනය පිළිබඳ වෘත්තිකයන්ගේ මැදිහත් වීමේ දුර්වලකම මෙහි තිබේ. ගුරු සංගම්වලට බැන බැන සිට වැඩක් නැත. කළ යුත්තේ වෘත්තියේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් කිරීමට පොදු පෙළඹවීමක් ඇති කර ගැනීමයි.

    ReplyDelete
  22. හරි , ඔයාගෙන් මම මෙහෙම අහන්නම්. අපි හිතමු ඔයා ඔය සේවයෙන් (රස්සාවෙන්) අයින් උනා කියල. ඊට පස්සෙ.... (වෙන හොද පුද්ගලික අායතනයක රස්සාවක් හොයා ගන්නව.)
    ඔයාට හොද පඩියක් (දැනට ලැබෙනවට වඩා) ලැබෙයි. අනිවාර්‍යයෙන්ම 8 - 5 (5 කිවුවට 5හම නෙවෙයි.). (ඔයා හිතනව) ඔයාට මීට වඩා නිදහසක් / නිර්මානකරණයට අවස්ථාවක් ලැබෙයි.

    දරුවෝ..... මම අවුරුදු 10 ක් තිස්සෙ ඉන්නෙ ඔය කියන පුද්ගල්ක අංශයෙ. (ඉන් අවුරුදු 05 + ම හොදම හොද (අනිත් අය කියන්නෙ) රැකියා නිලයක (පමුමපාරි හෙම නෙවෙයි.)).
    මට අද මගෙ රැකියාව මාරුකරන්න අවස්ථාවක් දුන්නොත් මම ඉස්සෙල්ලම යන්නෙ ගුරුකමට. විහිළු නෙවෙයි. ඒ මොකවත් නිසා නෙවෙයි, මට මේ රස්සාවෙන් නොලැබෙන මිලකල නොහැකි දෙයක් ගුරුකමින් ලැබෙනව. ඒ ආත්ම තෘප්තිය.

    කවුරැහරි හිතයි ආත්ම තෘප්තිය කන්නද කියල. නෑ ආත්ම තෘප්තිය ඕන ජීවත් වෙන්න..............

    ReplyDelete
  23. oke pathi 2k thiyenawa.oya announcer kiwwa widihe teacherslath lankawe nathuwa neme.mokada mata ehema athdakeem thiyana hinda.eth dewiwaru wage guruwaruth onatharam innawa.mata mathakai api O/L karana dawaswala apita ugannapu samahara guruwaru amathara panthi dagana apata igannuwe pudumakara kapaweemakin.eka teacher kenek kakula damage wela kihili karuwen awididdith iskoole awa lamainge padam paduwenawa kiyala.apita Social studies karapu teacher section head ekka randuth una eyata amathar panthiwalata dawas madi kiyala.a guruwaru kawadawath hambena padiya aragena nikam hitiye na.

    eth ehema nathi aya one tharam innawa.thamange waraddak pennala dunna hinda apita anthima pahath widihata banala ape O/L results gana wagakeema thaman baraganne na kiyala api gana principalta complain karapu,kisima padam hariyata ugannapu nathi guruwariyekuth apit hitiya.

    ekai man mulinma kiwwe oke pathi 2k thiyenawa kiyala.

    anith 1 lankawe godak government officewala thathwe okama thamai.

    job 1n aswenna gaththa decision 1 gananam mata mukuth kiyanna ba.eka personal decision 1kne.eth godadenek hithana widihata teaching kiyanne godakma ganu lamayekta galapena career 1k.aththa thama.nidahas.eth aluthen deyak karanna godak amaru field 1k kiyala hithuna hindai man puluwankama thibilath teacher kenek nowune.(mehema kiwwata guruwaru mata bani samaharawita.eth me mage personal idea 1 witharai)

    ReplyDelete
  24. උපේක්ෂාව දියුනු කර ගන්න නංගියේ. මමත් දැං ටියුෂන් කරනවා. ඒ අවුරුදු තුනක් නිකං උගන්නලා පාසල් වෙලාවෙන් පස්සේ.ළමයි ඔහොමයි. ඔයා ටීචිං දාල යන්න එපා. අනික් තැන් වල මේ දේ මෙහෙමවත් නෑ. ළමයි පනහකින් හැටකින් ඉන්න එක ළමයා සිහිකරන්න එපා වෙන වෙලාවට. මම එහෙමයි කරන්නේ. බුදුන් බණ කියලත් රහත් උනේ එක්කෙනයි. අපේ වචන අහන පනහකින් එක්කෙනෙක් හැදෙනවා කියන්නෙත් ලොකු දෙයක්. මෙන්න මේක බලන්න. මේ අද දවස. මෙතන වෙනස් අපි ඉගෙන ගත්ත දාට වඩා. නමුත් අපේ දෙමාපියන් අප තුලින් දැක්ක බලා පොරොත්ත කඩවෙන්න දෙනන නරකයි.
    http://arunasir.wordpress.com/2011/03/23/%e0%b6%94%e0%b6%b6-%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%80%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%9a%e0%b6%af%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%b6%e0%b7%92%e0%b6%af%e0%b6%9a/

    ReplyDelete
  25. hithana apita alut deyak thanks sanju......mechara kalayak guruwaru gana hithagena hitapu widiha mama ada idan wenas kara...

    ReplyDelete
  26. පොදුවේ ගුරුවරු කියන කුලකය ඇතුලෙ බල්ලො බලල්ලුන්ටත් වද අන්ත උන් මගේ පාසල් අවදියෙ මම අත්විදල තියෙනවා.. ඒ වගේම දේවත්වයෙන් පුදන මිනිස්සුත් ඉන්නවා.... කොච්චර කට්ටක් කාල ඉගන්නුවත් අර දෙවිවරුන්ගේ ලමයි සේරම හොදට ඉගෙන ගත්තා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම