ෆේල්...! ඩිල්ශාන්, අනාස්, ඩිලාන් සහ උමේන්ද්‍රා ගේ කතාව.



මේ 2011 වසරේ මට ගන්නට සිදු වූ අසීරුතම තීරණයයි. මගේ පන්තියෙන් 10%ක් ෆේල් කරන්නට නියෝග ලැබුණි. මම උත්සාහ කලේ කොහොම හරි 40 ම 8 වන ශ්‍රේණියට රැගෙන යාමටය. 40ක් පන්තියේ සිටීම නිසා මට 4 දෙනෙකු ෆේල් කරන්නට සිදු වීය. ඒ මේ හතර දෙනාය. 

1. ඩිල්ශාන් - 

ඩිල්ශාන් ගැන කතාවක් මගේ පරණ ලිපියකද ලිව්වෙමි. ඩිල්ශාන් තරමක් කෙලි ගති තිබුණ කොල්ලෙකි. ඒ ඔහු පවුලේ එකම කොල්ලා වීමත් ඔහු වටා අක්කලා හා නංගිලා 5ක් පමණ සිටීමත් ය. 

 මගේ පන්තියේ කොල්ලො 18ක් සහ කෙල්ලො 22ක් විය. දිනක් මට හදිසියේ ගණන අමතක වී මම පන්තියෙන් "කීයක් ඉන්නවාද?" කිය ඇසුවෙමි. ධනේශ් දුන් උත්තරයෙන් මට වැඩ අමතක විය. "ටීච කොල්ලො 17 කෙල්ලො 23" .... මුළු පන්තියේම කොල්ලෝ හක හක ගාති. කෙල්ලෝ මුහුණු වසාගෙන සිනා සෙති. "මොකක්ද ඒ හරුපේ තේරුම?"

"ටීච ඩිල්ශාන් ව අපේ ගොඩට ගන්න බෑ. එයා ගෑනියෙක් වගේනේ"   දීපල්ලකෝ උත්තර!

පන්තියම හක හක ගායි. ඩිල්ශාන් කඩුලු පිසිමින් අඩයි. යන්නට ආ සිනහව මැඩගෙන මම පන්තියට තරවටු කලෙමි. නමුත් ඒ කතාව යම්තාක් දුරට ඇත්තය. පන්තියේ කේලම් ගුරුවරුන්ට ගොස් පවසන්නේ ඩිල්ශාන් ය. ඒ නිසා කොල්ලෝ ඩිල්ශාන් ට අකමැතිය. මටද මුල් දවස් කිහිපයේ කේලාම් කියාගෙන පැමිණ පන්නා ගත් බැවින් හේ මට කේලාම් කීමට එන්නේ නැති මුත් අනික් ගුරුවරුන්ට ගොස් කේලාම් කියයි. ඉතින් පන්තියේ කොල්ලන්ට ඩිල්ශාන් "ගෑනි"ය. 

 2. අනාස් - 

අනාස් මගේ පන්තියේ සිටි එකම මුස්ලිම් කොල්ලා ය. අනාස් ගේ අයියා අස්ලම් ය. හේ ද අකුරක්වත් ලිවීමට නොදත් කොල්ලෙකි. අනාස් ගේ නංගී අස්නා ය. කොහෙද යන්නේ මල්ලේ ලැප්ටොප් එකක් යැයි කියන වර්ගයේ ය. පවුලටම අකුරු උගන්වන්න අපි මහත් වෙහෙසක් දරුවෙමු. නමුත් ඒවා ගගට කැපූ ඉනිය. අද කියා දෙන අකුර හෙට මතක නැත. මම මේ ලිව්වේ ඉංගිරිසි ගැන නොව සිංහල ගැනයි.  

 අනාස් වැඩි කලබලයක් නැති පාඩුවේ සිටින කොල්ලෙකි. හිටියාද නැද්ද කියා මට මීටර් වන්නේ නම් පොත ලකුණු කරන විටය. නමුත් ඉතින් ඉස්ස්කෝලේ කෙරුවාව ගැන නම් කතා කොට වැඩක් නැත. අනාස් ගේ ආශ්‍රයට වැටී පන්තියේ 6 වෙනියාව සිටි යසිත් පන්තියේ 10 වෙනියා දක්වා පසු බැස්සේ ය. වැඩ බැරි උනත් ඔහුගේ ආශ්‍රයෙන් යසිත්ට සිද්ද වූ දෙය නම් මටද අදටත් සිතා ගන්නට බැරිය. දෙන්නාගේ ලව් එක හමාර කොට පන්තියේ වෙන් කර තැන් දෙකකට දැමීමෙන් මම ඒ ප්‍රශ්නය විසදා ගතිමි. 

3. ඩිලාන් -  

ඩිලාන් මගේ පන්තියේ තාත්තාය. අපේ තාත්තා මේ අවුරුදු 54 ට දන්නා දේවල් ඩිලාන් හා සසදන විට අපේ තාත්තා ලදරුවෙකි.  වලි කොතනද ඩිලාන් එතැනය. කෙල්ලන්ට අඩත්තේට්ටම් කලා නම් ඒ ද ඩිලාන් ය. කුනුහරුපයක් කිව්වා නම් ඒ ද ඩිලාන් ය. 

ඩිලාන්ගේ ද අක්කා අපේ ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගනියි. සාර්ථක 2 වන වසර ද 10 වන ශ්‍රේණියේ ගත කළ ඈ යන්තම් මේ වසරේ 11 ශ්‍රේණියට පැන ගත්තේ එකම ශිෂ්‍යා 2 වරක් අසමත් කිරීමට නොහැකි නීතිය මතය. නැත්නම් මේ අක්කලා මල්ලිලා ට සිදු වන්නේ ජීවිත කාලයම ඉස්කෝලේ යාමටය.  

ඩිලාන් සම්බන්ධව එන පැමිනිලි ද එසේ මේසේ පැමිනිලි නොවේ. පොලිසියට යන්නට තරම් දුර දිග යා හැකි ඒවාය. එක දිනක් මගේ පන්තියේ කෙලි පැටික්කියක් අඩාගෙන අවුත් මට පැමිණිල්ලක් කලාය. " ටීච ඩිලාන් මාව තේ කැලේට ඇදගෙන ගිහින් ********* කිව්ව." කොල්ලා ශිෂ්ඨ ම ක්‍රියා පදයෙන් හිස්තැන පුරවා තිබුනි.  ඒවා විසදීම මම උතුමාටම බාර දී කට පියාගෙන සිටිමි. 

4. උමේන්ද්‍රා - 

උමේන්ද්‍රා 5 පන්තියේ සිට මගේ පන්තියට එන විට එකම කිළුටු ගොඩකි. 5 පන්තිය භාරව සිටි කුමාරි ටීච මට දිනක් කතා කර උමේන්ද්‍රා ගේ හිස පෙන්නුවාය. කොණ්ඩයේ සියලු කෙස් ගස් අතරින්ද ගොතා තිබූ කොණ්ඩ කරල් දෙක දිගේ ද උකුණන් රංචු පිටින් ඉහල පහල යයි. දෙවියන්ගේ පිහිටෙන් එවැනි දෙවල් වලට අප්පිරියා නොවීමේ ගතිය ඇති නිසා මම උමේන්ද්‍රාව පසෙකට කැදවා නා පිරිසිදු වීම ගැනත්, උකුනන් වද කිරිම ගනත් කියා අම්මව එක්කරගෙන එන ලෙස පැවසීමි.  අම්මා කෙසේ වෙතත් මම සතියකින් උමේන්ද්‍රාට ලයිසින් බෝතලයක් අරගෙන දී "මේක ගාල නාල උකුනෝ වද කරගෙන ආවෙ නැත්නම් ඊළග දවසේ පන්තියෙන් එලවනවා" කී නිසා කෙල්ලගේ ඔලුව පිරිසිදු වී තිබුණි. 

ඊළගට කොණ්ඩය.... කපුටන් කෙටුවා සේ උදේට ඉස්කෝලේ එන කෙල්ලන් ඔක්කෝටම මගෙන් සැලකිල්ලක් ලැබුණි. අඩු වැඩි නැතිව උමේන්ද්‍රාටත් අනික් අයටත් සමානව ලැබුණි. ඔවුන්ගෙන් ඊළග දින හොදින් ආ යට මම ප්‍රසංශා කලෙමි. උමේන්ද්‍රා පුලුවන් තරම් හොදට ආවාය. ඇයටත් මම හොද කීමි. කොණ්ඩයේ ප්‍රශ්නය හමාර විය. 

මට හදා ගන්න ට බැරිම උනේ ඇයගේ පාසල් ගමනයි. මා සමග සිටි වසර 2 ටම ඕ පාසල් පැමිනියේ දින 30ක් පමණය. මම දන්නා දහම් ගැට දැමුවද ඒවා එකක්වත් හරි ගියේ නැත. ගිය වාර විභාගයට ඇය පැමිණියේ නැත. 

මේ 4 දෙනාගේ කතාව් මා සිතුවාට වඩා දික් විය. නමුත් ඔවුන් මා සමග 8 වන ශ්‍රේණියට යන්නට ආවේ නැත. ලිවීමේ හා කියවීමේ නොහැකියාව මත ඔවුන් ට අසමත් වීමට සිදු විය. එය කාගේ වරදක් දැයි සිතීමට හෝ වරදකාරයින් සොයා ඔවුන් ගේ පිට පටවන්නට හෝ මට අවශ්‍ය නැත. නමුත් ඔවුන් ජීවිතයේ වසරක් පසුපසට ගොස් ඇත. ඒ වසර නැවත ඔවුනට ලැබේ ද? වසරක් එහි සිටියා කියා ඔවුන් ට දියුණුවක් ලැබේ ද? 

මගේ පන්තියෙන් නිලූශ ඉවත් වී කොල්ලන් 17ක් විය. දැන් තව 3 දෙනෙක් එක වරම මට අහිමි විය. දැන් මට සිටින්නේ කොල්ලන් 14ක් පමණි. 

Comments

  1. ටීචගෙ පන්තිය ගැන කියවගෙන යද්දි මට මගේ ගමේ ඉස්කෝලෙ මතක් වුනා... මම තුනේ පන්තියට එද්දි භාගයක් විතරම හිටියේ ෆේල් වෙච්ච ළමයි... මම හිතුවේ ඒ කාලෙන් පස්සේ ෆේල් කරන කතන්දරෙ නැවතුනා කියලා...

    ReplyDelete
  2. මොන පිස්සුද? විදුහල්පතිට අසමත් කරන්න බලය තියෙනවා මම දන්න තරමින්.

    ReplyDelete
  3. ඩිලාන් මාර ඩයල් එකක්නෙ.මූ හතේ පංතියෙදි ඔහොමනම් .....හික්......හික්......ඉස්සර අපි පහේ පංතියෙ ඉන්නකොට අපිත් එක්කලත් හිටිය ඩිලාන් කියල එකෙක්.දවසක් සර් "ළමයි සොමි කියන්නෙ මොකේටද" කියල සර් අහපු වෙලේ මූ ගානක්වත් නැතුව "සර් සොමි කියන්නෙ සොමියටනෙ" කියපි.
    ඔය වාගෙ අන්ඩපාලයොනම් මොනව කලත් හදන්න බෑ.
    කොහොම උනත් අපේ සංජුව හොඳ ටීච කෙනෙක් කියල පේනවා.මටත් ඉස්සර අපේ අටේ විද්‍යා මිස්ව මතක් උනා.

    ReplyDelete
  4. මාත් හිතන් හිටියෙ ෆේල් කරන එක දැන් නැවතිලා කියලා. ළමයින්ගෙ මානසික තත්වය ගැන මීට වඩා හිතන්න ඕනෙ. සංවේදී සටහනක් සහෝදරී. ඔන්න අද තමා මම මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
  5. දිනේශ් : ඩී අකුරෙන් නම පටන් ගන්න අයගේ හැටිද මන්දා! ඔයා මාව මුරුංගා අත්තේ තිබ්බට ඉස්තූතීඊ ඈ... :)

    ReplyDelete
  6. පිණිබිදු : ස්තූතියි මේ පැත්තේ ආවාට. (අක්කෙක් කියා උපකල්පනය කරනවා :) )

    ඔය වැඩේ කරලා ගෙදර එනකොට හවස ප්‍රවෘත්තිවලට කිව්වා හැටන් අධ්‍යාපන කලාපයේ 7 වන ශ්‍රේණියේ ළමයෙක් ෆේල් කලා කියලා ගෙදර ගිහින් නිවාඩු දුන් දා හවසම ගෙල වැල ල ගෙන දිවි නසා ගෙන කියලා. මම නිවාඩු කාලේ හිටියේ ඇගේ ලේ නැතුව. එහෙම ළමයින් ව යොමු කරන්න වෙනම ක්‍රියා පිලිවෙලක් ඇත්තටම තියෙන්න ඕනී. නැත්නම් ඒගොල්ලො කවදා හරි සමාජයට වෛර කරාවි. ජනප්‍රිය පාසල් වලට වඩා අපේ වගේ පාසල් වලට මේ ප්‍රශ්නය වැඩියි මම හිතන්නේ.

    ReplyDelete
  7. අනේ පවු වැඩක්නෙ අප්ප එහෙම කරන එක ටීචට බැරි උනාද නවත්තගන්න

    ReplyDelete
  8. MaRIaN : බැරි උණානේ. අපේ බොස් එක්ක තර්ක කරන්න බෑ. එය කියන දේ දේව වාක්‍ය වගේ පිලි ගන්න ඕනි. නැත්නම් වසලා හමාරයි.

    ReplyDelete
  9. ඒත් එහෙම කලාම ඒ ලමයි මානසිකව වැටෙනව නෙ.... :(

    ReplyDelete
  10. මෙහෙම් දෙයක් තියෙනවා. එකිනෙකා පහු කරගෙන තමන් 1 වෙන්න හදන ලෝකයක කවුද ළමයින් ගෙවත් කාගෙවත් මානසික තත්ත්වය ගැන හිතන්නෙ?????

    ReplyDelete
  11. තව දෙයක් තියනවා කවදාවත් පලවෙනිය වෙන එක සදාකාලික නෑ නේද....? හැමෝටම මුලු ජීවිත කාලෙදිම පලවෙනිය වෙලා ඉන්නත් බෑ නේද?
    ඉතින් නොලැබෙන දෙයක් පස්සෙන් ඇයි අපි පන්නන්නේ අනිත් අයව පාගගෙන.... කවදාහරි හති වැටිල අපිටම නවතින්න වෙනවා...
    ඉතින් ඒක හින්දා පල වෙනිය වෙනවට වඩා තව කෙනෙක්ව මානසිකව වට්ටන්නෙ නතුව තව කෙනෙක්ට කරදර කරන්නෙ නැතුව අපේ ගමන යන එක නේද ටීච හරි....

    අපි කවදා හරි හතිවැටිල නවතිද්දි අපි තරගෙට දිවුවනම් අනිත් අය අපිව පාස් කරගෙන යද්දි තමයි අපිට තෙරෙන්නෙ අපි කරපු දෙවල් අන්න එතකොට තමයි තෙරෙන්නෙ අපි මේ කරන්නෙ බොරුවක් කියලා.... අපි පලවෙනිය වෙද්දි අපි ලබන සතුට එතකොට මහ දුකක් වෙනව නේද? ඊට වඩා අපි අපේ පාඩුවෙ අපේ ගමන යන එක හොදයි නේ.....

    සැලකිය යුතුයි: මේ මගේ අදහසක් මීට

    ReplyDelete
  12. හැබෑට ඔහොම නීතියක් තියනවද? බැරිවෙලා හරි ළමයි හැමෝම හොද ලකුණු ගත්තොත්?

    ReplyDelete
  13. Marian : ඔයා කියන දේට මමත් එකගයි. ඒත් ඉතින් පද්ධතිය හැදිලා තියෙන්නේ එහෙම නම් ඒකට එකගව ජීවත් වෙනවා මිස උඩු ගං බලා පීනන්න හැදුවොත් වෙන්නේ තමන්ගේ පැවැත්ම නැති වෙන එකයි. මම එහෙම කරන්න උත්සහ කරා ඒත් ඒවායෙන් ලැබුණු ඇත්දැකීම් මත මමත් තීරණය කලා මේ රටේ ජනාධිපතිකම මට ලැබෙනකල් තියෙන විදියට ඉන්නවා කියලා. :)

    ReplyDelete
  14. බ්ලොග් ගඩොල් පුරු : මෙහෙමයි මල්ලියෝ ඉතින්.... අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිමයත් 75% ට වඩා ගන්න වෙලාවල් තිබ්බා. එතකොට ඉතින් අවුලක් නෑ. මෙයාලගේ සීන් එක තියෙන්නේ අවම පරිසාධන මට්ටම හෙවත් 35% ට එන්න බැරි එක. මේ අයගේ කෙරුවාව තියෙන්නෙ 16% වගේ. ඒ වගේ වෙලාවට විදුහල්පති බලතල පාවිච්චි කරන්න පුලුවන්.

    ReplyDelete
  15. මහ ගංගාවක් උනත් හැදෙන්නේ වතුර බිංදු එකතු වෙලා නේද ටීච ඉතින් එහෙම එකේ එක්කෙනා දෙන්නා හරි උඩු ගං බලාගෙන පීනුවොත් අපි යන ගමනෙදි අපිට තව අය හම්බෙනවා නේද? අනිත් එක අනිත් අයව පරද්දගෙන ඉස්සරහට යන්න හැදුවට එහෙම යන අය ගොඩක් වෙලාවට ඒක කැමැත්තෙන්ම කරනවද කියන එක ප්‍රශ්නයක්,,,, හැමෝම අනිත් අය කරනවට කරනවා..... මං හිතනව ටීච ඒකට එකග වෙනව කියලා

    අර සිංදුවකුත් තියෙන්නේ "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන, සුනිල දිය දහර වෙමු එකම ගගකට ඇදෙන" අපිට බැරිද ඇත්තටම මෙහෙම කරන්න....?

    ReplyDelete
  16. නම වැරදියට ඉදිරිපත් කිරිම වෙනුවෙන් ටීචට නඩු දාන්නයි වෙන්නෙ..... :P

    ReplyDelete
  17. අනේ මන්දා ඉතින් මම නම් දැන් උත්සහ කරන්නෙ පාඩුවේ ජීවත් වෙන්නයි දග වැඩ ටිකකුත් කරගෙන. අර සින්දුවේ වගේ කරන්න පුලුවන් හැම දෙනාම ඒ විදියට හිතනවා නම්.

    නම ගැන කතා කරන්න එප සුදා මල්ලී ඔයා තමා නම හරියට ලියලා නැත්තේ!!!!!

    ReplyDelete
  18. :P අනේ නෑ මං හරියට නම ලියල තියෙන්නේ.... (හරි හරි කොහොමහරි ලියලනෙ තියෙන්නේ.....)

    හැමදෙනාටම එක පාරට කරන්න අමාරුයිනෙ ටීච කවුරුහරි පටන් ගන්න ඕනා අන්න එතකොටයි එකා දෙන්න එකතු වෙන්නෙ.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම