ටීච ගේ බබා



අද ලියන්න හදන්නේ ටීච කෙනෙක් වෙච්ච නිසාම මුහුණ දෙන්න වෙන අපූරුඅත්දැකීමක් ගැන. මේවා අපේ ප්‍රසන්න මල්ලි, මාර අයියා එහෙම ලියලා තියෙන ටීචලාගේ දුවලා සම්බනධ කතා කියවද්දි තමා මත වුණේ. ඒ නිසා අමතක වෙන්න කලින් ලියන්න හිතුවා. 

ඉතින් ඔය ගොඩක් ටීචලා තමන්ගේ බබා ව තමන් ඉන්න ඉස්කෝලෙටම දා ගන්නවනේ. ඒ ඉතින් ළමයාව ඉස්කෝලෙ ගෙනියන්න එක්කරගෙන එන්න තියෙන පහසුවට, ළමයා ඉස්කෝලේ ඇරිලා තමන් ගෙදර එනකල් තියන්න තැනක් නොමැති වීම වගේ ම ළමයාගේ අධ්‍යාපනයට නිරන්තරව ඇගිලි ගසා ඒකාව 5 වසරේ සිස්සත්ත විභාගයෙන් හොදින් හෝ නරකින් ගොඩ යවා ගන්න එක තමා මේ ටීච අම්මලාගේ පරම පිවිතුරු චේතනාව.  

මම දැන් ඉන්න තක්සලාවේ එහෙම ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුගෙ පුතා හිටියේ මම එහෙ යනකොට 2 ශ්‍රේණියේ. මට කොල්ලගේ නම නම් මතක නෑ. අහ්හ් හලි හලි මතක් වුණා භානු තමා නම. ඉතින් මේ භානු හිටියේ අම්මා ලගමයි. පන්තියේ නෙවෙයි. භානුට කවුරු හරි සත්තමක් දැම්මද භානු අම්මට කියනවා සත්තම දාපු එකාට අම්මගෙන් ගුටි. භානු කෙලින්ම නඩුව ගෙනියන්නෙ අම්මට. අම්මා ටීචත් ඉතින් හොයන්නේ බලන්නේ නැතුව අනික් ළමයට පාර දෙනවා. මේ කේස් වලට වඩියෙන්ම අහු වුනේ ඒ පන්තියේම තව චණ්ඩි පොඩ්ඩෙක් වෙන රසාංග. ටීච අම්මගේ ගුටියට ලක්වෙන රසාංග ව හොරෙන් ගෙනියලා සනසන්නේ අපි.  

හැබැයි භානු ට වැඩේ ටිකක් වැරදෙන්න ගත්තේමම 3 වසර දි ඉංග්‍රීසි උගන්නන්න ඒ පන්තියට ගියාම. මට 40 ම එකයි. භානු ට වගේ අමතක වෙච්ච දේවල් ඉල්ලගෙන එන්න අනික් ළමයින් අම්මා ගාවට දුවන්න බෑ නෙ. ඉතින් දවසක් මම කතුරු ගම් බෝතල් ගේන්න කියලා මූට අමතක වෙලා. ඔන්න අම්මා ගාවට දුවන්න ලැස්තිය. මම කනෙන් අල්ලලා ඉන්දවලා අනික් ළමයින් ට සලකපු විදියටම සැලකුවා. 

ඔන්න මම ඒ වැඩ ඉවර වෙලා ඉන්ටවල් එක වෙලාවේදි ගුරු කාමරය පැත්තට යනකොට ගෘහ විද්‍යාගාරය පැත්තෙන් ඇහෙනවා කුනු කුනුවක්. මම ඒක අහන්න බලාපොරොත්තුවෙන්මයි හිටියෙ. මම ඉතින් කණ දීගෙන හිටියා.  

"අම්මී ඉංග්‍රීසි ටීචට ආයෙ එන්න එපා කියන්න අම්මි එයා හරි සැරයි"  

"එහෙම බෑ නෙ පුතේ ටීච උගන්නන්න එන්න එපායෙ"

"හරි ආවට කමක් නෑ මට එහෙනම් ඒ වෙලාවට අම්මි ගාව ඉන්න ඕනි" 

"එහෙමත් බෑ නෙ මගෙ පුතේ එතකොට පුතා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ?"

"එහෙනම් ටීචට කියන්න මට අනික් ළමයින් ට වගේ සැර කරන්න එපා කියලා මම ටීච කෙනෙක් ගෙ පුතෙක් නේ"

මමත් ඉතින් බලාගෙන හිටියා හිටියා අපේ සහෝදරී ඇවිල්ලා ඕක මට කියනකල්. එයා පැත්ත පලාතේ ආවෙ නෑ ඕක මට කියන්න. කිව්වොත් මගෙන් දසරාජ ධර්මය එක්ක දේශනාවක් අහ ගන්න වෙන බව එයා දැනගෙන හිටියා.  මොකද ඔය ගොන් වැඩ කලා උණාට එයා හරිම හොද ටීච කෙනෙක්. මගේ හොද යාළුවෙක්.

ඊගාව කතාව බගලවතී ඉස්කෝලෙ හාමිනේ ගේ බබාල ගැන. එක්කෙනෙක් හිටියේ 10 වසරේ අනික් එක්කෙනා හිටියේ භානු ගෙ පන්තියේ. 

10 වසරේ හිටිය එක්කෙනා නම් ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්. ඒත් අම්මාගේ තියෙන නැහැදිච්ච ගතිය නිසා ඒ ළමයාට උනත් ගුරුවරුන් ගෙන් හොදක් අහන්න උනේ නෑ. බගලවතී ඉස්කෝලෙ හාමිනේ හැම වෙලාවෙම උත්සහ කලේ ඒ පන්තියේ හොදට වැඩ කරන අනික් ළමයින් ව මානසිකව වට්ටන්න. ඉතින් ඒකට අපිත් වෙලාව හම්බ උනාම රිටර්න් එක දීල තියෙනවා. ඒවා කිව්වොත් මටයි කට්ටියගෙන් බැනුම් අහන්න වෙන්නේ. ඒක නිසා අහන්න එපා ඇහුවත් කියන්නේත් නෑ. :)

ඉතින් ඔයාල දන්නව ඇතිනේ 11 වසරේදි කෘෂිකර්මය කරන ළමයි බීජ පෙට්ටියක් හදන්න ඕනි නේ ප්‍රායෝගික වලට. ඒ අවුරුද්දේ 11 වසරෙ ළමයින් ගේ ප්‍රායෝගික ඉවර වුණා විතරයි මෙන්න එනවා බගලවතී ඉස්කෝලෙ හාමිනේ දුවගෙන.  

"සංජු ටීච බීජ පෙට්ටි ආපහු ළමයින් ට දුන්න ද?"
"නෑ බගලවතී ටීච, ඇයි?"
"එහෙනම් යෙශාන් ගේ බීජ පෙට්ටිය මට දෙන්නකෝ. අපේ කෙල්ල ආයේ අලුතින් එකක හදන්නේ මොකටද මේක තියෙද්දි අපරාදෙනේ විසි කරලා දාන එකනේ"  

ඒ වෙලාවේ මගෙ කටට ආවා මාර දෙයක් මම කිව්වෙ නෑ කට වහගෙන බීජ පෙට්ටිය දුන්නා. මේ වෙනකොට කෘෂිකර්මය කරපු ටීච ප්‍රසූත නිවාඩු ගිහින් හිටියේ. අපි එයාට කතා කරලා විස්තරේ කිව්වා. එයාගෙ නියෝගය වුනේ වහාම බීජ පෙට්ටි ටික ආයේ එකතු කරලා එයාගේ කබඩ් එකට දාලා වහන්න කිව්ව එකයි. අපිත් ඉතින් පැනලා බීජ පෙට්ටි ටික එකතු කලා.  බීජ ටික කුණු වෙලා ගියත් වෙන ළමයෙකු ගේ මහන්සියෙන් තව කෙනෙක් නිකන් ලකුණු දා ගන්නවට ඇත්තටම අපි කැමති නෑ. 

ඊගාවට බගලවතී ටීචගේ පොඩි දුව. එයා තමා භානුගේ පන්තියේ ඉන්නේ.  

ඉතින් මේ කෙල්ල අම්ම ටීච නිසා ඕනි වෙලාවක ගුරු කාමරේ අස්සේ රිංගනවා. ඒක අපිට හරිම ඇණයක්. ඇවිල්ලා අපෙන් අහනවා "අපේ අම්මව දැක්කද?" කියලා. එක දවසක් මගෙන් එහෙම අහලා මම කිව්වා "ඔයාගෙ අම්මා කොහෙද මෙහෙ ඉන්නේ? මේකෙ ඉන්නේ ටීචලා විතරයි ඔයා කොයි ටීච ගැනද අහන්නේ?" කියල. කෙල්ල වාශ්ප වුනා ඊට පස්සෙ මගෙත් එක්ක නෝ කතා. 

එයත් භානු වගේ ම අම්මගේ පට්ටමෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අනික් අය එයාට අනික් ළමයින් ට වඩා විශේෂයක් කරලා සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නැති උණාම අම්මා ගාවට ගිහින් බොරු හේතුවක් කියලා ගුරු කාමරේ දෙදරන්න කෑ ගහලා අඩනවා. දැන් එයා ඉන්නේ 5 වසරේ. ඒත් තාම ඒ විදියමයි. 

තව කතාවක් තියෙනවා. මේක සිද්ධ උනේ මම සීමාවාසික පුහුණුවේ හිටිය පළවෙනි ඉස්කෝලෙදි. ඒ ඉස්කෝලෙ පේරාදෙණියේ තියෙන විශ්ව විද්‍යාලය කියන වචනෙට සමාන වචනෙකුයි මල් වත්තට කියන සමාන පදයකුයි එකතු කරලා නම දාලා තියෙන ඉස්කෝලයක්.

ඒකෙදි මම ඉගැන්නුවා 4 වසර පන්තියකට. ඒ පන්තියේ ටීච ටත් පෙට් කෙනෙක් හිටියා පන්තියේ. ගෑණු ළමයෙක්. එයා වැඩටත් දක්ෂයි. 

දවසක් මම ඒ පන්තියට ගියා ඉන්ටවල් එක වෙලාවෙදි මොනවා හරි දෙයක් අහන්න. මම ඒ ටීචත් එක්ක පන්තියේ කතා කර කර ඉන්න අතරේ ඒ පන්තියේ ඉන්න කොලුවෙක් ආවා ඒ ටීච ගාවට. අවිල්ල "මැඩම් මගේ කෑම එක දෙනවද?" (අරෙහෙ ටීච මෙහෙ මැඩම් වුනේ එක එක පලාතේ ගුරුවරියන්ට ආමන්ත්‍රණය කරන විදිය වෙනස් නිසා. පානදුරේ මම හිටිය ඉස්කෝලෙදි ළමයි කිව්වෙ මිස් කියලා) ඇහුවා. ඒ ටීච ටක් ගාල එයාගේ බැග් එකේ තිබිලා කෑම එකක් අර ළමයට දුන්නා. කොලු පැටියත් ඒක අරගෙන ගිහින් කන්න පටන් ගත්තා. 

මම ඇහුවා "එයාගෙ කෑම එක අමතක වෙලා අම්ම ගෙනත් දුන්නා ද?" කියලා.ඒ ටීච පොඩි හිනාවක් දාල කිව්වා "ඒ මගේ පුතා" කියලා. 

මගෙ ඔලුව ටිකක් විතර කචල් උණා ඒක අහලා. වෙන ටීචලා තමන්ගේ දරුවට ඉස්කෝලේ දාගෙන සලකන විදියයි මේ ටීච සලකන විදියයි අහසට පොළව වගේ. හරිම පුදුමයි.  මේ කොල්ල ඉන්නෙත් පන්තියේ මුල්ලක. ඒ තරම් දක්ෂ දරුවෙකුත් නෙවෙයි. හැබැයි ඉගෙන ගන්න පුළුවන්. මම ටිකක් ඇහැ ගහගෙන හිටියා මේ අම්මගෙයි පුතාගෙයි සම්බන්ධෙ ගැන. අම්මා මේ පුතාගේ අත ඉස්කෝලේ ගේට්ටුව ගාවදි අත හරිනවා. ඈ නැවත ඒ අත අල්ලා ගන්නේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවහමයි. ඒ අතර තුර කාලයේදි ඒ දෙන්නාගේ තියෙන්නේ ගුරු ගෝල සම්බන්ධයක් විතරමයි. ඒත් ඇයත් අම්මා කෙනෙක් නේ. දරුවාගේ බර ටිකක් හරි අඩු කරන්න ඇය කෑම එක පමනක් ඇයගේ බෑගයේ දාගෙන එනවා. ඒක ඉල්ලන්න ආව වෙලාවක මමත් එතන ඉදලා තමා මේ වැඩේ මට මීටර් උනේ. නැත්නම් අදටත් මම මේ ගැන දන්නේ නෑ.

මේවායෙන් සංජු නම් ඉගෙන ගත්තේ එකම එක පාඩමයි. සංජුගේ බබා නම් කවරදාකවත් සංජු යන ඉස්කෝලේටම යන්න වාසනා කර නැති බබෙක් බවයි. ඒක බබාටත් සංජු ටත් දෙන්නාටම හොදය. සංජු ටත් වඩා ඒක බබා ට හොද වෙන්නේ බබා ස්වාධීන පුද්ගලයෙකු ලෙස හැදෙන එක බබාට ඉතා හොද බැවිනි. 

Comments

  1. අපේ ස්කෝලෙත් හිටිය සර්ල,මිස්ල කීප දෙනෙකුගෙම ළමයි.අපෝ ඔය වාගෙ සීන් අනන්තයි.එක සර් කෙනෙක් හිටිය ටියුෂන් කරණ එක්කෙනෙක්.(O/L) කාලෙ.එතනනම් පිය,පුතු මාර සම්බන්දයක්.මොකද හවස ටියුෂන් ක්ලාස් එකට දෙන ටියුට්ස් බෙදන්නෙ ස්කෝලෙදිමයි.ඒක පංති ගානෙ ගිහින් බෙදන්නෙ පුතා.හෆොයි තව ස්පෝට් මීට් දවස් වලට වෙන දේවල් .මේව කියන්න ගියොත් අද මට වැඩට යන්න වෙන්නෙත් නෑ.
    ඒක නෙමෙයි සංජුටත් ආස නැද්ද ඉක්මණටම තමන්ගෙම බබෙක්ගෙ අතින් අල්ලගෙන ස්කෝලෙ එක්ක යන්න;).

    ReplyDelete
  2. ඔය මාතෘකාව ගෙන කතා කරනවානම් ලියන්න කතා එමටයි.

    ReplyDelete
  3. අක්කේ ඔයා වගේ ගුරුවරු නම් ඕනෙ තරම්. ඒත් අර මැඩම් කියලා එයාගේ පුතාගෙන් අහගත්තා ළමයාගේ අම්මා නම් ඇත්තටම මැඩම් කෙනෙක්.

    මේ මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න ඔයාට පෙට් කෙනෙක් නැද්ද කියලා.

    තව ප්‍රශ්නයක්.. මේකට පිළිතුර බ්ලොග් එකේ දාන්න එපා. සමහරවිට අක්කා මාව දන්නවත් ඇති. මොකද මමත් පානදුරේ. ඒ වගේම ගොඩක් ස්කෝලවලටත් ගිහින් තියෙනවා. ස්කොලේ යද්දියි අස්වුනාට පස්සෙයි කොම්පියුටර් වැඩ වලට. අක්කා පානදුරේ උගන්නපු ස්කෝලේ නම මට ඊමේල් එකක් දාන්නකෝ බලන්න.

    ReplyDelete
  4. ඔයා සැර චීචර් කෙනෙක් දෑ............. :D

    ReplyDelete
  5. අපේ ඉස්කොලෙත් මේ වගේ ලමයි හිටියා. ඕනෙ වැරැද්දක් කරලා බේරෙනවා ටීචර්ගෙ පුතානෙ කියලා.

    ReplyDelete
  6. ඔය පොඩි එවුංට වැරදිලාවත් අම්මලා නැති උනාට පස්සෙ උඩ බිම නෑ.

    කොහොම උනත් ඔය සීන් ඔක්කොම 7,8 වසර වෙනකං විතරයි. ඊටපස්සෙ අම්ම-අප්පොච්චිගෙ පට්ටමෙං සද්ද දාන්න එන අයව "පද්ධතිය විසිංම මර්ධනය කෙරෙනවා" ;).

    ReplyDelete
  7. You have taken a good decision. and it is correct to the best of my knowledge

    ReplyDelete
  8. \\අරෙහෙ ටීච මෙහෙ මැඩම් වුනේ එක එක පලාතේ ගුරුවරියන්ට ආමන්ත්‍රණය කරන විදිය වෙනස් නිසා...\\
    මගෙ ගමෙ ඉස්කෝලෙදි හිටියේ ටීචලා... නුවර ඉස්කෝලෙට ආවට පස්සේ ඉන්නෙ මැඩම්ලා... සිංහල උගන්නන්ට හිටියේ ෆැන්ෂන් යන්ට කිට්ටු වුන ගුරුවරියක්... තාම මතකයි ආපු පළවෙනි දවසෙම පරණ පුරුද්දට ටීච කියලා කතා කරලා අහගත්තු හැටි... බැන්නේ මට විතරක් නෙවෙයි... ගම් වල ඉඳන් අලුතින් ආපු සෙට් එකට ගම් බයියෝ කිය කිය දුන්නා හොඳ දේශනාවක්...

    ReplyDelete
  9. heee Sanju mata unicode naha me wikara OS eke unicode wada karanne naha..

    Mage ammath Teacher kenek. Habayi mage karumekata amma ekka iskole yanna one eka wasaredi witharayi. Ewurudde ammagen hamba wechcha e attention eka mata tikak anayak una. Moko one widihata natanna baha. Hama weleme mage teacher ekka katha karanawa. Mage panthiye hitiya ambanata danga kollek. Issara mama haliborange thama mage bottle eke tiyenne. Me kolla hamadama oka bonawa. eth mata kawadawath oka ammata kiyanna hithune naha. Meka kiyapuwahama mata hithune aparade widayaka balathala pawichchi karanna thibba kiyala :D

    ReplyDelete
  10. අධිෂ්ඨානය ගැන නම් කියන්න දෙයක් නැහැ, උපරිමයි, ඇත්තටම තහනම් කලා නම් වටිනව අම්ම හරි තාත්තා හරි උගන්නන ඉස්කෝලෙට දරුවො ඇතුලු කරන එක,ප්‍රායෝගිකව කරන්න පුලුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ,

    ReplyDelete
  11. අපූරු කතා ටිකක්. නිවාඩු පාඩුවෙ ආපහු කියවන්න ඕනේ.

    ReplyDelete
  12. අම්මලගෙ ආදරේ ගැන ඉතිං අපට කියන්න වචන නැහැ නොවැ....

    ළමයින් අනුකරණ වාදීන්; සමානව සැලකීම ඉතින් පුංචි පංතියෙ ඉදන්ම ආදර්ශයෙන්ම ළමයින්ට ඉගැන්විය යුතු දෙයක්.

    ඒක තේරුම් ගත්ත අය නැතෙයි කියල කියන්න බැහැනෙ, මේ කතා කාරියයි අර ගුරුමහත්මියයි ඉන්නකං පැති දෙකම සමබරයි නොවැ.

    ReplyDelete
  13. අක්කා කියන ජාති දෙකටම අයිති ළමයි මටත් හම්බවෙලා තියෙනවා. ඒත් මට හම්බුණු හුඟාක් අය අම්මලා තාත්තලා ටීචර්ලා කියලා ලොකු සයිස් දාන්නේ නැතිව පාඩුවේ ඉන්න අය.

    අනිත් අතට අපේ අම්මත් ගුරුවරියක්. නංගී ඉගෙන ගන්නෙත් අම්මා ඉන්න ඉස්කෝලෙමයි. අපේ තාත්තා තමා ඒ ඉස්කෝලේ ප්‍රථමාධාර පංති කරන්නේ. ඒක නිසා අපේ කෙලී නම් හරි ඔළුවෙන් ඉන්නේ :))

    ReplyDelete
  14. දිනේශ් : ඉතින් ලියන්නකො ඒ කතා ත්. කවුද හලෝ ආසා නැත්තේ? ආසාව තිබ්බට වැඩක් නෑ නෙ. ඇමරිකාවේ වගේ හදන්න බෑ නෙ.

    ReplyDelete
  15. My Cottage : එවාත් ලියන්න අපිට කියවන්න.

    ReplyDelete
  16. ප්‍රසන්න : නෑ ඉතින් මට නම් හිතෙන්නේ ඒ ටීච ට කරන්න වෙන දෙයක් තියෙන්න නැතුවම ඇති.
    මට ඇත්තටම පෙට් ලා නෑ. ඒක මම හිතලම කරපු දෙයක්. ඒක නිසා ඔක්කොමලා මාත් එක්ක ෆිට්.
    හික් හික් ඉස්කෝලෙ කියන්න ඕනි නෑ ඔයාව මූණු පොතේ දැක්ක ගමන් මම අදුනා ගත්තා. ඔයා ගියපු ඉස්කෝලෙම තමා මමත් ගියේ. කොටින්ම ඔයයි මමයි එහෙ ලැබ් එකේදි ගත්ත ෆොටෝ එකකුත් මගේ ගාව තියෙනවා. හේමන්තව එහෙම මතක ඇති නේද?

    ReplyDelete
  17. සෝරෝ : හික් හික් හික් ඒක වෙලාවේ හැටියට තමා ඉතින්. අද නම් මම සැර වෙලා හිටියේ ටිකක් මගේ ශිෂ්‍ය නායකයෝ ටික පිස්සු කරලා

    ReplyDelete
  18. පිණිබිදු : හ්ම්ම්ම්ම්ම්ම්... මගෙන් නම් ඒ සෙල්ලම් නෑ

    ReplyDelete
  19. බුධා : සමහර වෙලාවට එහෙමත් නෑ ඉතින්. ලොකු වෙනකල් ම අම්මා ඕනි. අර බගලවතී ඉස්කෝලෙ හාමිනේ ගෙ ලොකු දුව ඒකට උදාහරණයක් . ඒත් පොඩි කාලෙම ළමයි ස්වාධීන වෙනවනම් හොදයි කියලයි මම නම් හිතන්නේ.

    ReplyDelete
  20. පුතා : හපෝ ඔව් එහෙම සීන් එකක් නම් තිබ්බා තමයි. මටත් හරි අමාරු වුනා මැඩම් ට පුරුදු වෙන්න. චා වෙන්න වෙයි කියලා කොහොම හරි පුරුදු වුනා

    ReplyDelete
  21. rc7200 : හී හී හී මගෙ නම් හැලිබොරේන්ජ් තිබ්බ දවසට මම ඉගෙන ගන්නවට වඩා කලේ මගේ බෝතලේ මුර කරන එක :)ගොඩක් වෙලාවට ඒක තිබ්බෙ මගේ බෙල්ලේ එල්ලිලාමයි. නැත්නම් කටේ ගහගෙන.

    ReplyDelete
  22. රවි : එහෙම වෙන එකක් නෑ. අපේ රටේ කොහේ ගියත් නෑයින්ට සංග්‍රහ කරනවා වැඩියි නේ. මගේ පැටියා පව් කියලත් හිතෙනවා. ඒත් ඉතින් මම කැමතියි මගේ පැටවු පොලවේ පය ගහලා ඉන්නවා බලන්න.

    ReplyDelete
  23. Ano Brother : yes I think so. and it will never be changed. I want my children to be down to earth men and women.

    ReplyDelete
  24. ශාකුන්තල : ස්තූතියි මේ පැත්තේ ආවට. :)

    ReplyDelete
  25. හිෂාන් : ඒත් මම වගේ හිතන්නේ නෑ නෙ ගොඩක් අය. (මටත් පිස්සුද කියලා හරියටම දන්නෙත් නෑ නෙ ) ඔව් ලමයි දැන ගන්න ඕනි ඒගොල්ලොත් ලොකු සමාජෙක කොටසක් තමන්ට විතරක් හැම වෙලාවෙම අනික් අයගේ උදව් ලැබෙන්නේ නෑ කියලා.

    ReplyDelete
  26. හසිත : එහෙම අය අඩුයි මල්ලි. එහෙම ළමයි ඉන්නවා නමුත් හරිම අඩුයි.

    ReplyDelete
  27. හේමන්තව මොකෝ මතක නැත්තේ, අර මීමුරේ අයියානේ...

    ReplyDelete
  28. සමහර ගුරුවරුන්ට * වචන වලින් බනින්න මටනම් හිතිල තියෙනව අක්කි

    ReplyDelete
  29. යසියා : ඔය කාගේ කාගෙනුත් අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩයි. ඒවා ඉගෙනගෙන අමතක කරලා දාන්න.

    ReplyDelete
  30. හපෝ ඔවු සංජු අම්ම යන ඉස්කෝලෙටම යන්න වෙන එක මල වාතයක් .කිසිම දඟ වැඩක් කරන්න බෑ. අනික් ටීචර්ලගෙ රොයිටර් සේවයෙන් වාර්තාව අම්මගෙ කනට යනවා. වාර විබාගෙට ලකුණු අඩු වුනත් මල වදේ.ඒකත් රිපෝට් එක දෙන්න කලින්න අම්මගේ කනේ තියෙනවා .මම ඔය මරාලෙන් ගැලවෙන්න ඕනෙ නිසාමයි පහවසර සිස්සත්තේ පාස්වුනේ .එතකොට වෙන ඉස්කෝලෙකට යන්න පුලුවන්නේ . අපේ අම්ම නම් මම ඉස්කොලේ උන්නද මලාද කියල බැලුවෙ නෑ. මාව මකල හදල ගන්න වැඩේ අනික් ටීචර්ලට පවරල තිබුණේ .

    ReplyDelete
  31. akke mat oya kiyapu iskole tama aurudu 11k hitiye...oya madam lage pet prashne nisa matat sahena karadara wela tiyenawa.kohomat O/L karala eken panaganta taran mama pin karala tibba.mama O/L kale 2004.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම